RRDI_HomePage – si

RRID- Bathalagoda LOGO

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයට සාදරයෙන් පිළිගනිමු

ව්‍යාප්ති වැඩසටහන්

වී වගාව , පර්යේෂණ ප්‍රතිඵල හා නව තාක්ෂණය මහජනතාවට ලබාදීම

අප ගැන

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය (RRDI) කුරුණෑගල දිස්ත්‍රික්කයේ බතලගොඩ, ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටා ඇත (7.53240N, 80.43400E)

 

මෙහෙවර 

වී ගොවිතැනේ ඵලදායිතාව සහ ලාභදායී බව මෙන්ම සහලේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍යය වන නවීන තාක්ෂණයන් හඳුනාගැනීම සහ ව්‍යාප්තිය සඳහා වන ජාතික මධ්‍යස්ථානය බවට පත්විම.

වැඩිපුර විස්තර...

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය (RRDI) කුරුණෑගල දිස්ත්‍රික්කයේ බතලගොඩ, ඉබ්බාගමුව ප්‍රදේශයේ පිහිටා ඇත (7.53240N, 80.43400E). මෙම ආයතනයට අනුයුක්තව බෝඹුවල, අම්බලන්තොට, ලබුදුව, බෙන්තොට, සමන්තුරේ, මුරුන්කන් හා පරන්තන් යන ස්ථාන වල ප්‍රාදේශිය පර්යේෂණ මධ්‍යස්ථාන 7ක් ඇත.

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සමස්ත පර්යේෂණ සහ පරිපාලන කටයුතු සඳහා වගකීම දරණු ලබන්නේ බතලගොඩ පිහිටි ප්‍රධාන කාර්යයාලයේ අධ්‍යක්‍ෂ (වී පර්යේෂණ හා සංවර්ධන) විසිනි. එමෙන්ම බතලගොඩ, බෝඹුවෙල සහ අම්බලන්තොට පවතින පර්යේෂණ මධ්‍යස්ථානයන්හි පර්යේෂණ කටයුතු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පර්යේෂණ) විසින් සහ බෙන්තොට, ලබුදූව, සමන්තුරේ, පරන්තන් සහ මුරුකන් යන ප්‍රාදේශීය ආයතනයන්හි පර්යේෂණ සහ පරිපාලන කටයුතු සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ (පර්යේෂණ) විසින් අධීක්ෂණය කරනු ලබයි.

ඉහළ අස්වැන්නක් සහිත නව වී වර්ග පර්යේෂණ වැඩසටහන් හරහා නිපදවා ගොවීන් වෙත නිකුත් කිරීම. වැඩි අස්වනු විභවයන් සඳහා ගොවීන්ට මග විවරකර දීම ආදී සේවා හරහා මෙම ආයතනය රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ වැඩසටහන් මගින් ඉදිරි වසර 05 තුල ගොවිපල ඵලදායිතාව හෙක්ටයාරයකට ටොන් 4.3 සිට හෙක්ටයාරයකට ටොන් 5.0 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම, වී වල ධාන්‍ය ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත.

කෙටි කලකදී වී අස්වැන්නේ වැඩි වර්ධනයක් ලබා ගැනීමේ ප්‍රයත්නයක් ලෙස, අඩු පඳුරු සහිත ප්‍රබේද හඳුන්වා දිම, වී ශාකයේ ක‍ඳෙහි ශක්තිමත් බව හරහා වැඩි බීජ සහිත කරල් වැඩි ප්‍රමාණයක් සහිත පඳුරු ඇති ප්‍රබේද වැනි කරුණු අභිමුක කරගෙන වී අභිජණන වැඩසටහන පවත්වා ගෙන යනු ලබයි. අභිජනන වැඩසටහනේදී සාම්ප්‍රදායික වී ප්‍රභේද සහ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයෙන් හඳුන්වා දුන් නව ප්‍රබේද දෙවර්ගයම මව් ශාක ලෙස භාවිතා වේ.

වී ශාකයේ පෝෂක භාවිතයේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට උපකාරී වන තාක්ෂණික ක්‍රම දියුණු කිරීමට උත්සාහ දරනු ලැබේ. රටේ කාබනික කෘෂිකාර්මික සංකල්ප මත පදනම් වූ අවශ්‍යතා මූලික පොහොර යෙදීමේ ක්‍රම පරීක්‍ෂා කෙරේ. මෙමගින්, යෙදෙන යෙදවුම් වල සඵලතාවය උපරිම කිරීමට සහ නිෂ්පාදන පිරිවැය අඩු කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා වෙනත් කෘෂි විද්‍යාත්මක භාවිතයන් පිළිබඳ පර්යේෂණ සිදු කරමින් පවතී.

පසුගිය වසර 50 තුළ සහල් නිෂ්පාදනයේ දස ගුණයක වැඩි වීමක් සහ සාමාන්‍ය අස්වැන්නේ 5.5 ගුණයක වැඩිවීමක් දක්නට ඇත. වැඩි දියුණු කළ නිෂ්පාදන තාක්ෂණයන් මහා පරිමාණයෙන් භාවිතා කිරීම අස්වැන්න මෙලෙස වැඩිවීමට ප්‍රධානතම හේතුවයි. කෙසේ වෙතත්, වැඩිවන ජනගහනයේ අවශ්‍යතා සපුරාලීම සඳහා, අනාගතයේදී වැඩි නිෂ්පාදනයක් අවශ්‍ය වේ. පලිබෝධ වැනි ජෛවීය ආතති , ජීව විද්‍යාත්මක සහ සමාජීය සාධක කිහිපයක් ඵලදායිතාව සීමා කිරීමට අඛණ්ඩව හේතුවන බැවින් බැවින් මෙය බරපතල අභියෝගයක් වන අතර, අඩු ඉඩම්, ශ්‍රමය සහ ජලය සහ අනෙකුත් සම්පත් සීමිත භාවිතයකින් වී නිෂ්පාදනය වැඩි කිරීමට අවධානය යොමුකර ඇත

එබැවින් මෙම ආයතනය මගින්, වී ප්‍රභේද වැඩිදියුණු කිරීම, පාංශු සාරවත් බව සහ එහි තිරසාරභාවය, පළිබෝධ, රෝග සහ වල්පැලෑටි කළමනාකරණය, පසු අස්වැන්න, ධාන්‍ය තත්ත්ව සහ නිෂ්පාදන තාක්ෂණයන් පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාකාරකම් අඛණ්ඩව සිදු කරයි.

ඉතිහාසය

බතලගොඩ යනු කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල, හත්පත්තුව ප්‍රදේශයේ පිහිටි පැරණි ගම්මානයකි. බතලගොඩ ගම්මානය ඇතුළු ප්‍රදේශයට වාරි ජලය සැපයූ පෞරාණික වාරි වැව 18 වන සියවසේ අග භාගය වන විට අබලන්ව පැවති අතර 1902 දී ඉංජිනේරුවෙකු වූ පාකර් මහතා විසින් එය වැඩිදියුණු කරන ලදී. මේ හේතුවෙන් ප්‍රදේශයේ වී වගා කිරීමට හැකි වන පරිදි ස්ථාවර ජල සැපයුමක් ලැබුණි. යල සහ මහ දෙකන්නයේම අඛණ්ඩව වාරිජලය යටතේ වී වගාව සහතික කර ඇත.

දැනට වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පිහිටා ඇති ඉඩම හමිදු මුහන්දිරම් මහතා සතු විය. රජය මෙම ඉඩම 1929 දී පවරාගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ලබා දුන්නේය. එය වාරියපොළ කෘෂිකාර්මික ගොවිපළ යටතේ පාලනය විය. මේ වන විට මහඉලුප්පල්ලම පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානයේ වී ප්‍රභේද සංවර්ධනය හා පර්යේෂණ සිදු කෙරෙමින් තිබුණි. මහඉලුප්පල්ලම ප්‍රදේශයේ කුඹුරුවලට ස්ථාවර ජල සැපයුමක් නොතිබූ නිසා එහි කළ වී පිලිබඳ පර්යේෂණ දුෂ්කරතා රැසකට මුහුණ පෑවේය. මෙම යුගයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්භිද විද්‍යාඥ ආචාර්ය අබේරත්න මහතා වී පර්යේෂණ වැඩසටහන මහඉලුප්පල්ලමේ සිට බතලගොඩ ගොවිපළ වෙත ගෙන යාමට තීරණය කළේය. ඒ අනුව මහඉලුප්පල්ලමේ වී පර්යේෂණ කළ හෙක්ටර් වීරරත්න මහතා බතලගොඩට ස්ථාන මාරු කර බතලගොඩ ගොවිපළේ වී පර්යේෂණ වැඩසටහනක් ආරම්භ කළ අතර එමඟින් වීරරත්න මහතාට ස්ථාවර ජල සැපයුමක් සමඟ හොඳ පර්යේෂණ වැඩසටහනක් දියත් කළ හැකි විය.

බතලගොඩ ගොවිපළේ සිදුකෙරෙන කාර්යයේ වැදගත්කම වටහාගත් මහාමාන්‍ය ගරු ඩී.එස්.සේනානායක මැතිතුමා ගොවිපළට අඛණ්ඩ ජල සැපයුමක අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස බතලගොඩ වැවෙන් ජලය නිකුත් කිරීමේදි වැවේ ජල මට්ටම අඩි 3ක් දක්වා අඩුවු පසු ජලය සැපයීම බතලගොඩ ගොවිපළට පමණක් සිදුකරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නියෝග කළේ ගොවිපළට වාරි ජලය සැපයීම සහතික කරමිනි. වර්තමානයේ පවා එම නියෝගය ක්‍රියාත්මක වේ.

1952 දී බතලගොඩ ගොවිපළ මධ්‍යම වී අභිජනන මධ්‍යස්ථානය (CRBC) ලෙස නම් කරන ලදී. අම්බලන්තොට, බෙන්තොට, බෝඹුවෙල, ලබුදූව, සමන්තුරේ, පරන්තන් සහ මුරුන්කන් යන ස්ථානවල පිහිටි පර්යේෂණ මධ්‍යස්ථාන මෙම ආයතනයට අනුයුක්ත කිරීමෙන් එය තවදුරටත් ශක්තිමත් විය. CRBC නැවත 1993 දී වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ලෙස නම් කරන ලදී.

ආරම්භයේදී ගොවිපල ගොඩනැගිල්ල පමණක් පැවති අතර 1982 දී මෙම ආයතනයෙහි විද්‍යාත්මක පර්යේෂණ සඳහා පහසුකම් සැලසීම සඳහා පර්යේෂණ ගොඩනැගිල්ලක් ඉදිකරන ලදි. එමෙන්ම 2009 වසරේ දී 70 දෙනෙකුට නේවාසික පහසුකම් සහිත පුහුණු මධ්‍යස්ථානයක් සහ නේවාසිකාගාරයක් ඉදිකරන ලද්දේ උත්පාදනය කරන ලද තාක්ෂණයන් කාර්යක්ෂමව හුවමාරු කිරීම සඳහා ය. ගොවීන්ට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා 2016 දී  නව පරිපාලන හා පර්යේෂණ ගොඩනැගිලි සංකීර්ණයක් ද ස්ථාපිත කරන ලදී.

අප අමතන්න

ලිපිනය: : වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය (RRID), බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව​

 විද්‍යුත් තැපෑල : rrdi@doa.gov.lk

දුරකථන : +94 372 258561

ෆැක්ස් : +94 212 285406

විවෘතයි : විවෘත: සඳුදා සිට සිකුරාදා දක්වා – උදේ 8.30 සිට සවස 4.15 දක්වා (සෙනසුරාදා සහ ඉරිදා වසා ඇත)

කෘෂිකර්ම අමාත්‍යාංශය

කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සඳහා ලංකා කවුන්සිලය (CARP)

රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය                       
වැඩිදුර සබැඳි…