ETC- services-Agribusiness -si

222 Extention & training Centre

කෘෂි ව්‍යාපාර සංවර්ධන හා තොරතුරු සේවය

කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය හෙවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු මධ්‍යස්ථානය යටතේ පවතින කෘෂි ව්‍යවසාය සංවර්ධන සහ තොරතුරු සේවය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර සහ කෘෂි ව්‍යවසාය සංවර්ධන කටයුතුවල කේන්ද්‍රස්ථානය වන අතර එය විවිධ ප්‍රවේශයන් හරහා කෘෂි ව්‍යවසාය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරයි.

කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය යටතේ පාලනය වන ප්‍රධාන වැඩසටහන්

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) යොදාගනිමින් කෘෂි ආහාර නිෂ්පාදනවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳ ප්‍රාරම්භයන්

“යහපත් කෘෂිකාර්මික පිළිවෙත් හරහා දේශීය හා විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කෙරෙන කෘෂි වෙළඳ ද්‍රව්‍යවල ගුණාත්මකබව සහ ආරක්ෂිතබව තහවුරු කිරීමට යාන්ත්‍රණයක් පිහිටු වීමේ” වැඩසටහන කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් ක්‍රියාත්මක කෙරේ.

දේශීය වෙළඳපල අංශය සලකන විට ක්ෂේත්‍රයේ (පස සහ බීජ) සිට සිල්ලර වෙළඳපොළ දක්වා වන සමස්ත අගය දාමය පිළිබඳ උපදෙස් සැපයීම, පරීක්ෂා කිරීම හා මෙහෙයුම්කරණය සහ යුරෝපීය අපනයන වෙළඳපොළ සඳහා සපයනු ගබන විට ජාතික ශාක නිරෝධායන සේවය (NPQS) දක්වා වන ක්‍රියාවලියේ දී නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම, කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයට අනුයුක්ත කර ඇති නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරි සහ වගකීම් වේ. අඛණ්ඩ සැපයුම සහතික කිරීම සඳහා අතිරික්ත නිෂ්පාදන පරිමාවක් පවත්වා ගැනීමට සතිපතා පදනම් වූ බෝග වගා දින දර්ශනය (Cropping Calendar) සකස් කිරීම ද ඔවුන්ගේ රාජකාරිවලට ඇතුළත් ය.

පලතුරු සහ එළවළු සඳහා බෝග පදනම මත යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) හඳුන්වා දෙනු ලැබේ. නිෂ්පාදකයින්, තත්ත්ව සහතිකලත් සැපයුම්කරුවන් ලෙස කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශයේ ලියාපදිංචි කරනු ලබන අතර අදාළ පාර්ශ්වයන් හට අවශ්‍ය තොරතුරු සැපයීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් ලෙස කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය කටයුතු කරයි. ක්ෂේත්‍රයේ කෘෂි ව්‍යාපාර සංවර්ධකයින් හට තොරතුරු කඩිනමින් ව්‍යාප්ත කිරීමට හා අනුරේඛනය සඳහා QR කේතය නිකුත් කිරීමට අවශ්‍ය නවතම තොරතුරු තාක්ෂණ පහසුකම් (ඇන්ඩ්‍රොයිඩ් ටැබ් පරිගණක, ලැප්ටොප් පරිගණක ආදිය) ද සපයා දී ඇත.

  • ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රමිති වෙළුම 2 (වී) සහ 3 (අනෙකුත් ක්ෂේත්‍ර බෝග) සැකසීම සඳහා පහසුකම් සැලසීම
  • ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ පළතුරු හා එළවළු ගොවිපල සහ වෙනත් ක්ෂේත්‍ර බෝග ගොවිපල ස්ථාපිත කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ ආදර්ශ ගොවිපලවල් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ/ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ/ මහවැලි ගොවිපලවල පිහිටුවීම
  • දිවයින පුරා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීම් සහ පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • මුද්‍රිත ප්‍රකාශන උපයෝගී කරගනිමින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් පිළිබඳ දැනුවත් කිරීම
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතිකලත් කෘෂි නිෂ්පාදන දේශීය වෙළඳපොලට අලෙවි කරන අලෙවිසැල් පිහිටුවීම
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත්වල සාර්ථකත්වය පිළිබඳ මාධ්‍ය වැඩසටහන් පැවැත්වීම
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කරනු ලබන ගොවීන් පිළිබඳ තොරතුරු ගොනුවක් පිහිටුවීම
  • යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයට හා ප්‍රාදේශීය ම්‍යස්ථානවලට පහසුකම් සැලසීම
  • සහතික කිරීමේ ආයතන ක්‍රියාකාරකම් පහසු කිරීම
  • කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන්
  • වාණිජ මට්ටමේ ගොවිපල සංවර්ධනය සඳහා තාක්ෂණික සහාය ලබා දීම
  • කෘෂි ව්‍යාපාර වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම

යනාදිය ව්‍යාපෘතියට ඇතුළත් ක්‍රියාකාරකම් වේ.

යහපත් කෘෂිකර්මික පිළිවෙත් ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වීමත් සමඟ යුරෝපීය වෙළඳපොළ සඳහා පළතුරු සහ එළවළු අපනයනය ප්‍රවර්ධනය වී ඇත. තවද, තොගවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය ද සහතික කෙරේ. එමඟින්, අපනයන වෙළඳපොළේ සිදුවන නිෂ්පාදන ප්‍රතික්ෂේප වීම් සංඛ්‍යාව 389ක (2013 වසර) සිට 12 (2016 වසර) දක්වා අවම කර ගැනීමට හැකි වී තිබේ.

ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ප්‍රමිතීන් සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය ලබා දී ඇත. මෙය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ වෙනත් අදාළ රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් සංවර්ධනය කරන ලදි. වර්තමානය වන විට එම ප්‍රමිතීන් “ශ්‍රී ලංකා ප්‍රමිති 1523, 1:2016 කොටස, UDC 631.57:634” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධන වැඩසටහන

වැඩසටහනේ අරමුණු:

  • කෘෂි ව්‍යාපාර තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ නවෝත්පාදනයන් හඳුන්වාදීම.
  • මධ්‍යම මට්ටමේ කෘෂිකර්ම ව්‍යවසායකයින් බිහි කිරීම.
  • කෘෂිකර්මාන්තය වාණිජකරණය කිරීමට දිරි ගැන්වීම.
  • වෙළඳපොළ ඉලක්ක කරගත් ගොවිපල සහ ඒවායේ ලාභය ඉහළ නැංවීම.

කෘෂි ව්‍යවසායකයින් වීමට උනන්දුවක් දක්වන පාර්ශ්ව සඳහා ධාරිතා වර්ධන වැඩසටහන්

සෑම වසරකම කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය මඟින් කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පාඨමාලා සංවිධානය කර පැවැත්වීය. සාර්ථක ව්‍යවසායකයෙකු වීමේ මූලික න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරුණු ලබා දෙන මොඩියුල 14ක් ඇත. මෙම මොඩියුලය මඟින් ගොවිපල වගාවන්, අගය එකතු කිරීම සහ විභව කෘෂි ව්‍යාපාර හඳුනාගැනීම සහ ව්‍යාපෘති යෝජනා ලිවීම ආවරණය කරයි.   

ගොවිපල සංවර්ධන සහ ඵලදායිතා ඉහළ නැංවීම සඳහා වූ තාක්ෂණික උපදේශන සේවා

කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ඌන උපයෝජිත වාණිජ මට්ටමේ ගොවිපල සංවර්ධනය කිරීම සඳහා සිය සේවාවන් ලබා දෙන ලදි. දේපල හිමිකරුට දේපලවල වර්තමාන තත්ත්වය පිළිබඳ විස්තර සමඟ විධිමත් ඉල්ලීමක් කළ හැකි අතර ඒ පිළිබඳ ඇති උනන්දුව ද ප්‍රකාශ කළ හැකි ය. ඉන් අනතුරුව ගොවිපල වෙත යාමට ඇති උනන්දුව සහ අපේක්ෂිත නිෂ්පාදනය ලබා ගැනීම සදහා අවශ්‍ය තාක්ෂණික නිර්දේශයන්වලට අනුකූලව ආයතනය විසින් විශේෂඥයින් කණ්ඩායමක් තෝරා ගනු ලැබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවාවන් සම්බන්ධ කිරීම

 

බීජ සහතික කිරීම, ශාක නිරෝධායනය, පරීක්ෂණාගාර සේවා සහ ව්‍යාප්ති සේවා වැනි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණික තොරතුරු සහ සේවාවන් ලබා ගන්නා ව්‍යවසායකයින් සදහා අවශ්‍ය සහාය නිසි සම්බන්ධීකරණ කාර්ය මණ්ඩලයක් හරහා කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය විසින් ලබා දෙනු ඇත.