Sinhala: HORDI Crop – Tomato

HORDI - LOGO

තක්කාලි

Solanum lycopersicon

සොලනේසි කුලයට අයත්, විටමින් ඒ, සී සහ ඛනිජ ලවණ සහිත ජනප්‍රිය එළවළු බෝගයකි. උඩරට  තෙත් කලාපය හැර ශ්‍රී ලංකාවේ අනෙකුත් සියලු කෘෂි දේශගුණික කලාපවල වගා කළ හැකි තක්කාලි වැදගත් වාණිජ බෝගයක් වන අතර ඒ සඳහා හොඳ අපනයන විභවයක් ද ඇත.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

ප්‍රශස්ථ දේශගුණික තත්ත්වයන් වනුයේ

  • 21oC-24oC උෂ්ණත්වය
  • පාංශු pH අගය 5-7.5 අතර විය යුතුය
  • උන්නතාංශය 1000-2000 m

පස

තක්කාලි බෝගයට පුළුල් පරාසයක pH අගයක් දරාගැනීමේ හැකියාව තිබෙන  නමුත් 5.5-7.5 pH අගය සහිත පසෙහි හොඳින් වැඩෙයි. කාබනික ද්‍රව්‍ය එකතු කිරීම මගින් ප්‍රශස්ත වර්ධනයක් ලබාගත හැකිය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට ග්‍රෑම් 200-250

තවාන් කළමනාකරණය

සුදුසු කාලය මාර්තු මැද හෝ අගෝස්තු අග වේ.

1 m x 3 m ප්‍රමාණයේ පාත්ති සැකසීම (15-20 cm පමණ උස් වු පාත්ති) නිර්දේශ කෙරේ. පස් කැටිති හා ඉපනැල්ල ඉවත් කරන්න.හොඳින් දිරාපත් වූ ගොවිපල පොහොර සහ මතුපිට පස් 1: 1 අනුපාතයට මිශ්‍ර කර පාත්ති මත සෙන්ටිමීටර 5 ක ඝනකමට අතුරන්න.

පාත්ති ජීවාණුහරණයට පාත්ති මත දහයියා සහ පිදුරු ස්ථර මාරුවෙන් මාරුවට  දමා සුළං දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ගිනි තබා තවාන් පාත්ති පුළුස්සා ගන්න. තවාන් පාත්තිවල බීජ දැමීමට පෙර  බීජ ග්‍රෑම් 125 ක් සඳහා දිලීර නාශක (කැප්ටන් හෝ තිරාම්) ග්‍රෑම් 2 ක් යොදා බීජ ප්‍රතිකාර කිරීම සිදු කරන්න. තවාන් පාත්තියේ හරස් අතට  12-15cm දුරින් 0.5 cm ගැඹුරට රේඛා අඳින්න. මෙම රේඛා මත තුනී ස්තරයක් ලෙස බිජ වපුරා ගන්න. ඉන්පසු බීජ සිහින් පස් තට්ටුවක් යොදා ආවරණය කරගන්න. පිරිසිදු පිදුරු භාවිතයෙන් තවාන් වසුන් කර දිනපතා පාත්තියට  වතුර දමන්න. පැළ මතුවූ පසු වසුන ඉවත්කරගත යුතුය.  

බිම් සැකසීම

පස් ගැඹුරට පෙරළීමෙන් පසු පොලොව මට්ටම් කරන්න. දක්වා ඇති පරතරය අනුව වලවල් සලකුණු කරන්න, ඉන්පසු  දිරාපත් වූ පොහොර හෝ කාබනික ද්‍රව්‍ය (හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 6-12) එකතු කරන්න. ජලය රැදීම වළක්වා ගැනීම සඳහා කාණු යෙදිය යුතුය. පැළ සිටුවීමට  දින 2-3 කට පෙර මූලික පොහොර (රසායනික පොහොර) යොදන්න

පැළ සිටුවීම

බීජ වැපිරීමෙන් දින 14-18 කට පසුව බීජ පැල ක්ෂේත්‍රයේ  රෝපණය කරන්න. බීජ පැල සිටුවීමට සතියකට පෙර ජලය යෙදීම අඩු කිරීමෙන් බීජ පැල දැඩි කළ යුතු නමුත් බීජ පැල පාත්තියෙන් ගලවා ඉවතට ගැනීමට පැය 12-14 කට පෙර ඒවායේ මුල්වලට අධික ලෙස හානිවීම වළක්වා ගැනීම සඳහා නැවත හොඳින් වතුර දැමිය යුතුය. හොදින් වර්ධනය වූ නිරෝගී  පත්‍ර 3-5 සහිත බීජ පැල ක්ශේත්‍රයේ සිටුවීම සදහා  වඩාත් සුදුසු වේ. බීජ පැල ක්ශේත්‍රයේ රෝපණය කිරීමේදි සිදු වන  කම්පනය අවම කිරීම සඳහා  සවස් කල සිටුවා පැල ග්ලිරිසීරියා වැනි ශාක අතු වලින් ආවරණය කළ සෙවන සැලසීම යෝග්‍ය වේ. අව්රශ්මිය අඩු සවස් කාලයේ පැළ සිටුවීම යෝග්‍ය වේ.

පරතරය

80 සෙ.මි. X 50 සෙ.මි.

පොහොර

හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය (ගොම පොහොර) හෙක්ටයාරයකට ටොන් 10 ක්  පමණ වගා ක්ෂේත්‍රයේ පස සමඟ මිශ්‍ර කරන්න. පහත සඳහන් නිර්දේශ පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර යොදන්න

බදුල්ල දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශ සඳහා රසායනික පොහොර නිර්දේශය

යෙදිය යුතු  අවස්තාව

යුරියා

 

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර – පැළ සිටුවීමට දින 1-2 කට පෙර

65

325

65

මතුපිට පොහොර ( පැළ සිටුවා සති 03 කට පසු)

65

 

මතුපිට පොහොර (පැළ සිටුවා සති 06 කට පසු)

65

65

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉහත නිර්දේශිත ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 215 ක් වන ලෙස යොදන්න.

ජල සම්පාදනය

බෝගයට ප්‍රමාණවත් සහ ඒකාකාර ලෙස ජලය ලබා දෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.

වල් පැළෑටි පාලනය

හැකි සෑම විටම වගාව වල් පැළෑටි වලින් තොරව තබා ගැනීමෙන් කෘමි සහ රෝග වලට පාත්‍ර වීම අවම කරගත හැක. පැළ සිටුවා සති 3 දී හා 6 දී වගාව වල් පැළෑටි වලින් තොරවීම විශේෂයි. තවද, විශේෂයෙන් සෑම පොහොර යෙදීමකට පෙර ක්ෂේත්‍රයේ වල් මර්දනය කරන්න.

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

  • දිලීර රෝග
රෝග කාරකය :  Phythium spp.,Phytophthora spp.,Fusarium spp.,Rhizoctonia spp.,Sclerotium spp., Colletotrichum spp රෝග ලක්ෂණ:  මුල් ආසාදනය හේතුවෙන් බීජ පැල මියයාම.
රෝග කළමනාකරණය :
  • සොලනේසියේ කුලයේ බෝග කලින් වගා නොකල භූමියක තවාන් පාත්ති සැකසීම.
  • තවාන් පාත්ති තාපය මගින් ජීවානුහරණය කිරීම.
  • බීජ ප්‍රතිකාර කිරීම – තිරාම්  80wp 5g/1Kg හෝ හෝමායි 4g/1kg
  • පාංශු ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp  7g/5 l/m-2 හෝ හෝමායි  5g/5 l/m-2
රෝග කාරකය :  Alternaria solani රෝග ලක්ෂණ : ශාකයේ පත්‍ර, ඵල හා කදේ සර්පිලා කාර පැල්ලම් පැවතීම.
කළමනාකරණය:
  • රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019)
-මැන්කොසෙබ් 80% WP – 20g/10l -මෙටලැසයිල්  8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l
රෝග කාරකයPhytophthora infestans රෝග ලක්ෂණ :
  • ශාකයේ පත්‍ර, කද හා ඵල වල වේගවත් මරණය.
  • පළමුව පහළ මේරු කොළවල රෝග ලක්ෂණ පහළ වේ.
  • කොළ -අළු පාට තෙත් ලප දැකිය හැකිය.
  • පසුව ලප කළු පාට වී පසුව දිලීර වර්ධනයක් පෙන්වයි
කළමනාකරණය:
  • රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019)
-මැන්කොසෙබ් 80% WP – 20g/10l -මෙටලැසයිල්  8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l

රෝග කාරකයCorynespora cassiicola 

රෝග ලක්ෂණ

  • පත්‍ර මත කහ පැහැති වළල්ලකින් වට වු සර්පිලාකාර රටාවකින් යුතු වටකුරු, තද දුඹුරු පැහැති නෙක්ට්‍රොටික් පැල්ලම් සියලු පත්‍රිකා වලට පැතිරේ.
  • පත්‍ර කහ පැහැයට හැරෙන අතර වේගයෙන් බිමට පතිත වී මිය යයි.
  • කඳේ හා ඵල වල ද ලප ඇතිවේ.

කළමනාකරණය: සුදුසු දිලීරනාශක පර්යේෂණ මට්ටමේ පවතී.

රෝග කාරකය : Oidium lycopersicum රෝග ලක්ෂණ:
  • පත්‍රයේ ඉහළ පෘෂ්ඨය මත ලා කොළ සිට දීප්තිමත් කහ පැහැති පැල්ලම් ඇති වේ.
  • දිලීර බීජාණු සාදන විටදී ඉහළ පෘෂ්ඨයේ සුදු පැහැති කුඩු වැනි පැල්ලම්  වර්ධනය වේ.
  • දරුණු ආසාදන තත්වයකදී ප්‍රතිඵලය ලෙස පත්‍ර පතනය වීම සිදුවේ.
කළමනාකරණය:                                                     
  • රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019)
    •  80% WG සල්ෆර් යෙදීම 50 g/10 l ජලය
    • ක්ලෝරෝතැලෝනිල් 500g/l SC- 30 ml/10 l ජලය
    • කර්බෙන්ඩිසිම් 50% WP- 7 g/10 l of water
‍රෝග කාරකය: Colletotrichum coccodes රෝග ලක්ෂණ
  • අග්‍ර අංකුර වල සිට ශාකය මිය යාම හා පුෂ්ප වැටීම
  • කළු පැහැති, ගිලුණු පැල්ලම් පත්‍ර , කඳ සහ ඵල මත දක්නට ලැබේ.
  • ඵල කුණුවීම.
රෝග කළමනාකරණය:
  • බීජ වැපිරීමට පෙර නිර්දේශිත දිලීර නාශක භාවිත කරමින් බීජ ප්‍රතිකාර සිදු කිරීම.
  • රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019)

රෝග කාරකය: Septoria lycopersici

රෝග ලක්ෂණ :

  • බලපෑමට ලක් වූ පත්‍ර මත ඇති තෙත් පැල්ලම් වටකුරු බවට පත්වන අතර ඒවායේ මධ්‍යස්තය දුඹුරු පැහැයේ සිට අළු පැහැය බවට පත්වේ.

පාලනය: නිර්දේශිත දිලීරනාශක භාවිතය

  • ඩැකොනිල්       15- 30 ml/10L
  • මැන්කොසෙබ්    20 ml/10L
  • ටොප්සින්          6g/10L                                           
  • කාර්බෙන්ඩිසම් 7g/10L

රෝග කාරකය:

Fusarium spp., Rhizoctonia spp. , Sclerotium spp.

රෝග ලක්ෂණ

රෝග කාරකය ශාකයේ පාමුල කොටසට හානිකරයි, ආසාදනය පහළ පත්‍ර වියළීමට තුඩු දෙන අතර අවසානයේ මුළු ශාකයම වියළී ගොස් මැලවීමේ සාමාන්‍ය රෝග ලක්ෂණයක් පෙන්චන අතර එය අවසානයේ මරණයට හේතු වේ.

  • බැක්ටීරියා රෝග

රෝග කාරකය: Ralstonia solanacearum

රෝග ලක්ෂණ

  • පසෙහි ප්‍රශස්ථ ජල මට්ටමේදීද ශාකය ස්ථිර මැලවීම පෙන්වයි
  • ජලයේ ගිල්වු විට කැපූ කෙළවරේ දුස්ස්රාවී ශ්‍රාවයක් පිටවීම

රෝග කළමනාකරණය:

  • ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතා කරන්න
  • රනිල කුලයට අයත් බෝග, ධාන්‍ය වර්ග ආදිය සමඟ බෝග මාරු කිරීම.
  • ක්ෂේත්‍ර සනීපාරක්ෂාව පවත්වාගෙන යාම

රෝග කාරකය: Clavibacter michiganensis subsp. michiganensis (Cmm)

රෝග ලක්ෂණ:

  • තක්කාලි කොළ දාර කහ පැහැති මායිමක් සහිත දුඹුරු පැහැයක් ගනී
  • පහළ කොළ බොහෝ විට එක් පැත්තක් පමණක් මැලවීම,.
  • මුළු ශාකයම කඩා වැටී මිය යා හැකිය.
  • කඳ කපා විවෘත කළ විට සනාල පද්ධතියේ දුඹුරු ඉරි දැකිය හැකිය.
  • කඳ පැලී දුඹුරු කැලැල් සාදයි.
  • කඳේ අභ්‍යන්තර දුර්වර්ණ වීම
  • ගෙඩි මත කුඩා දුඹුරු හෝ දුඹුරු මධ්‍යස්ථයක් සහිත ක්‍රීම්, සුදු ලප (කුරුළු ඇසේ ලප).

රෝග කළමනාකරණය:

  • නිරෝගී බීජ භාවිතය
  • බෝග මාරුව
  • ක්ෂේත්රයේ සනීපාරක්ෂාව පවත්වාගෙන යාම
  • වයිරස් රෝග

TYLCV වෛරසය සුදු මැස්සාගෙන් සම්ප්‍රේෂණය වේ.

රෝග ලක්ෂණ

  • පත්‍ර  ඉහළට කරකැවීම.
  • පත්‍ර දාර  (ක්ලෝරෝටික්) කහ පැහැති වේ.
  • සාමාන්‍යය පත්‍රවලට වඩා කුඩා පත්‍ර ඇති වේ.
  • තක්කාලි පැල කුරු වන අතර මල් හැලේ.
  • තක්කාලි පැළවල වර්ධනයේ මුල් අවධියේදී ආසාදනය වී ඇත්නම්,  ඵල හට ගැනීමක් සිදු නොවේ.
  • ආසාදිත ශාක ක්ෂේත්‍රය පුරා අහඹු ලෙස පෙනෙන්නට පුළුවන.

රෝග කළමනාකරණය

  • නිරෝගී බීජ භාවිතය
  • බෝග මාරුව
  • ක්ෂේත්රයේ සනීපාරක්ෂාව පවත්වාගෙන යාම

රෝග ව්‍යාප්තිය : පත්‍ර කීඩෑවන්  මගින් සම්ප්රේෂණය වේ

  • මැද නාරටිය දිගේ පත්‍ර උඩු අතට හැකිලේ.
  • පත්‍ර වෘන්තය හා මැද නාරටිය ක්‍රමයෙන් පහතට වක්‍රව පත්‍ර ආනතියක් දැක්වුවත් පත්‍ර මැළවුණු ලක්ෂණ නොපෙන්වයි.
  • පත්‍ර ඝනකම්,බොකුටු හා  කැඩෙනසුලු වන අතර තද කොළ පැහැ පත්‍ර වල දම් පැහැති වූ පත්‍ර නාරටි දක්නට ලැබේ.
  •  

රෝග කළමනාකරණය

  • නිරෝගී බීජ භාවිතය
  • බෝග මාරුව
  • ක්ෂේත්රයේ සනීපාරක්ෂාව පවත්වාගෙන යාම

TSWV රෝගය කුඩා කෘමියෙක් වන පැළමැක්කා මගින් ව්‍යාප්ත වේ.

රෝග ලක්ෂණ.

  • ශාක පත්‍ර තඹ පැහැ වී රැලි ගැසේ, නෙක්‍රෝටීය ඉරි සහ ලප පත්‍ර මත දක්නට ලැබේ.
  • පත්‍ර නාරටි වල, ශාකයේ කදෙහි හා වර්ධනය අග්‍ර වල තද දුඹුරු ඉරි ඇති වේ.
  • ශාක කුඩා වන අතර කුරු බවට පත්වේ.
  • ඉදුණු ඵල ලා රතු හෝ කහ පැහැ ප්‍රදේශ දක්නට ලැබේ.
  • උග්‍ර නෙක්‍රෝසීය තත්ව වලදී ශාක මියයයි.

වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම:

  • වල් පැලෑටි ඉවත් කිරීම.
  • පැරණි බෝග සුන්බුන් ඉවත් කරන්න

රෝග කළමනාකරණය

  • නිරෝගී බීජ භාවිතය
  • බෝග මාරුව
  • ක්ෂේත්රයේ සනීපාරක්ෂාව පවත්වාගෙන යාම

රෝග ව්‍යාප්තිය:  කුඩිත්තන් මගින් සම්ප්රේෂණය වේ

රෝග ලක්ෂණ

  • මුල් අවධිය කහ වී පඳුරු ගැසී සැලකිය යුතු ලෙස කුරැවේ. පසුව, සපත්තු පටි වැනි කොළ තල ඇති වේ
  • ශාක කුරු වීම, පත්‍ර කහ වීම , පත්‍ර සිහින් වීම, ගෙඩි කුඩා වීම, අඩුවීම හා ප්‍රමාද වී මේරීම.
  • පත්‍ර පුල්ලි වැටීම.

රෝග කළමනාකරණය

  • රෝග රහිත බීජ භාවිතා කරන්න
  • වල් පැලෑටි වලින් තොර ක්ෂේත්‍ර සහ ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
  • වාහක ගහනය අඩු කිරීම (කෘමිනාශක මගින්)

අස්වනු නෙළීම

ගෙඩි කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්ථාවේදී නෙලාගන්න. ගෙඩිවල ප්‍රමාණය හා ගුණාත්මය අනුව කාණ්ඩ කර හොදින් වාතාශ්‍රය ඇති තැනක ගබඩා කරන්න

අස්වැන්න

වගා කරන කන්නය , ප්‍රභේදය සහ කාලගුණය සමඟ වෙනස් වේ. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ටොන් 20-30 අතර අස්වැන්නක් ලැබේ.