Sinhala: HORDI Crop – Snake Gourd

HORDI - LOGO

පතෝල

Trichosanthes cucumerina L

නිවර්තන කලාපීය ආසියානු රටවල ආරම්භ විය. ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, මැලේසියාව, බුරුමය සහ දකුණු චීනය ඇතුළු දකුණු හා අග්නිදිග ආසියාවේ දක්නට ලැබේ.

වියළි කලාපයේ බෝග වගා කරනු ලබන්නේ යල කන්නයේ ය. තෙත් කලාපයේ වසර පුරා බෝග වගා කෙරේ. විශේෂයෙන් මෙම බෝගයට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඖෂධීය වටිනාකමක් ඇත.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උණුසුම් දේශගුණික තත්ත්ව ප්‍රියකරන භෝගයකි. සෙල්සියස් අංශක 25 ට වඩා වැඩි උෂ්ණත්ව වලදී වර්ධනය වැඩි වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ උසක් දක්වා වූ ප්‍රදේශවල සාර්ථකව වගාකළ හැකිය.(මාතලේ, මහනුවර, හම්බන්තොට, කුරුණගල, රත්නපුර යන දිස්ත්‍රික්ක වල සාර්ථකව වගා කරයි)

පස

කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලය බැසයන පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 5.5 – 7.5 පමණ වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට – කිලෝග්‍රෑම් 4 කි.

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය බැවින් තවාන් පාලනයක් සිදු නොවේ

බිම් සැකසීම

ඉඩම හොඳින් සී සා කැට පොඩි කරගන්න. නියමිත පරතරයට සෙන්ටිමීටර් 30 x 30 x 30  ප්‍රමාණයේ වලවල් සකසා ගන්න.

පැළ සිටුවීම

දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස් මිශ්‍රකර වල පුරවාගන්න. සකසාගත් වලෙහි එකිනෙකට තරමක් දුරින් බීජ 3 පමණ සෙන්ටි මීටර් 2 – 3 පමණ ගැඹුරින් සිටුවා හොඳින් ජලය සපයන්න. දින 5-8 දී බීජ ප්‍රරෝහනය වේ.

පරතරය

1.5 මීටර් x 1.5 මීටර්

පොහොර

කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් එකතු කරන්න. පැළ සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර  එකතු කර පැළ සිටුවීමෙන් සති 4 සහ 8 කට පසු මතුපිට පොහොර එක් කරන්න

හෙක්ටයාර 01 ක් සඳහා වන පොහොර නිර්දේශය

 

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

75

200

60

මතුපිට පොහොර (පැළ මතු වී සති 04 කට පසු)

75

 

60

මතුපිට පොහොර (පැළ මතු වී සති 08 කට පසු)

75

 

60

ජල සම්පාදනය

බීජ ප්‍රරෝහනය වන තෙක් දිනපතාම පාහේ ජලය සපයන්න. ඉන්පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජලය සපයන්න. වැල් වටා වසුනක් යෙදීමෙන් වියළි කාලගුණික තත්ත්ව පවතින විට පස වියළී යාම අඩුකර ගත හැකිය.

වල් පැළෑටි පාලනය

බෝගයේ මුල් අවස්ථාවේ දී වල්පැළ පාලනය පිලිබඳ සැලකිලිමත් වන්න. වැල් හොඳින් වැඩී මැස්ස ආවරණය කරගත් පසුව වල් පැළෑටි පාලනය එතරම් ගැටළුවක් නොවේ.

අස්වනු නෙළීම

සිටුවා දින 60 – 75 දී අස්වනු නෙළීම ආරම්භ කළ හැකිය. දින 4 කට වරක් පමණ බැගින් අස්වනු නෙළාගත හැකිය.

අස්වැන්න

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 20,000

වැල් පුහුණු කිරීම

මීටර් 2 පමණ උස ශක්තිමත් පන්දලමකට වැල් යොමු කරන්න. පන්දලමට පහතින් වැලෙහි ප්‍රධාන කඳෙන් හටගන්නා පාර්ශ්වික අතු ඉවත් කරන්න.

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

  • දිලීර රෝග
රෝග කාරකය: Podosphaera xanthii රෝග ලක්ෂණ:
  • පළමුව පරිණත පත්‍රවල ලා කහ පැහැති ලප ලෙස දිස්වේ
  • පත්‍ර මතුපිට සුදු පැහැති සුදුමැලි mycelium වර්ධනය වන විට මෙම ලප විශාල වේ
  • දැඩි හානියට ලක් වූ පත්‍ර දුඹුරු පැහැවීම හා හැකිලීම සහ පත්‍ර පතනය සිදුවේ.
පාලනය:
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත බෝග අවශේෂ  ඉවත්කිරීම.

රෝග කාරකය : Pseudoperonospora cubensis 

රෝග ලක්ෂණ:

  • පත්‍රවල ඉහළ පෘෂ්ඨයේ පත්‍ර නාරටි මගින් සීමා වූ කෝණාකාර කහ පැහැති ලප.
  • පත්‍ර හරිතක්ෂය බවට පත් වන අතර අවසානයේ නික්‍රෝටික් සහ ධාරක ශාක සෛල මිය යයි.

පාලනය:

  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත ශාක කොටස්  ඉවත්කිරීම.

රෝග කාරකය :  Sclerotium spp., Fusarium spp.

රෝග ලක්ෂණ:

  • මුල් අවස්ථාවේදී ශාක තාවකාලික මැලවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි
  • පත්‍ර කහ පැහැ වීම, මැලවීම සහ එල්ලා වැටීම පෙන්නුම් කරයි
  • අවසානයේදී, ශාකය මිය යයි.
  • පාමුල ප්‍රදේශයේ පිහිටි සනාල ගොණු කහ හෝ දුඹුරු බවට පත් වේ.
  • ශාකයේ පාදස්ථයේ සුදු පැහැ දිලීර ජාල දක්නට ලැබේ.

පාලනය:

  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ජලවහනය වැඩිදියුණු කිරීම
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)

රෝග කාරකය : Didymella bryoniae

රෝග ලක්ෂණ:

  • සාමාන්‍යයෙන් ජලයෙන් තෙත් වූ ප්‍රදේශ වල පැතිරීමෙන් පත්‍ර වල සහ පලතුරු වල තුවාල සැදීම ආරම්භවේ
  • මුල් අවස්ථාවේදී හරික්ෂය වූ සිදුරු තිබිය හැක,ඉන්පසු ලා දුඹුරු බවට පත් වි අක්‍රමවත්  හැඩති  විය හැකිය
  • ඵල මත තද පැහැති පැලුණු ගිලුණු ලප ඇති වේ.
  • ගිලුණු, පොතු වලයේ පිළිකා ඇති ස්ථානවල පැල කඩා වැටීම
  • කඳේ ඇති ලප බොහෝ විට ඉරි මෙන් දික් වන අතර ඉරිතැලීම් වලින් මැලියම්  පිටවීම් ඇති විය හැක.
  • පළතුරු, කඳ හෝ පත්‍ර මත තද දුඹුරු පැහැයට හුරු කළු පැහැති බිජාණුධානී (pycnidia) දැකිය හැක.

පාලනය:

  • දිලීර පැවැත්ම අවම කිරීම සඳහා අස්වැන්න නෙලීමෙන් පසු වහාම බෝග අවශේෂ ගැඹුරට සීසෑම කල යුතුය.
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • බැක්ටීරියා රෝග
රෝග කාරකය : Ralstonia solanacearum රෝග ලක්ෂණ:
  • පත්‍ර හදිසි මැලවීම දක්නට ලැබීම
  • අවසානයේදී සම්පුර්ණ ශාකයම මැලවී යයි
  • පත්‍ර දුඹුරු පැහැ වීම සහ , වියලීම
  • සනාල දුර්වර්ණ වීම (දුඹුරු පැහැ වීම)
  • ස්ථිරවම මැලවීම
රෝගකාරක පැතිරීම;
  • ආසාදිත පස, ජලය, බෝග අවශේෂ , නෙමටෝඩාවන් සහ කෘමීන්, කප්පාදු කිරීම, ධාරක ශාක ලෙස වල් පැලෑටි
රෝග විනිශ්චය: ආසාදනයට ලක්වූ ශාකයක කඳ කාපු කෙලවර පැහැදිලි ජලයේ ගිල්වූ විට සුදු පැහැති දුමාරයක් වෑස්සිම පාලනය:
  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ප්‍රතිරෝධී ප්‍රභේද (බණ්ඩක්කා, බඩ ඉරිඟු) සමඟ බෝග මාරුව
  • Cruciferae කුලයේ බෝග සමඟ මිශ්‍ර වගාව
  • ආසාදිත ක්ෂේත්‍රවල සිට ආසාදනය නොවූ ක්ෂේත්‍ර වෙත උපකරණ ගෙන යාමෙන් වැලකීම
  • වෛරස් රෝග
සුදු මැස්සා  (Bemicia tabaci) මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • පත්‍ර උඩු අතට රැලිවීම, පර්ව  කෙටි කිරීම සහ විකෘති වීම
  • පැල කුරුවීම් සහ ඵල විකෘති වීම.
කුඩිත්තන් මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • විචිත්‍ර වූ පුල්ලි සහිත ලප පත්‍ර මත දක්නට ලැබීම.
  • පත්‍ර විකෘති වීම්
  • ඵල විකෘති වීම සහ ගෙඩිවල ප්‍රමාණය කුඩා වීම
  • දරුණු ආසාදනවලදී, ඵල මතුපිට තෙල් සහිත පැල්ලම් දක්නට ලැබේ

බීජ සහ යුෂ මගින් සම්ප්‍රේෂණය සිදුවේ.

රෝග ලක්ෂණ:

  • කොළ පැහැති පුල්ලි ඇතිවීම හා පත්‍ර විකෘති වීම
  • ඵල මත කොළ පැහැති ලප, දීප්තිමත් කහ සහ දිරාපත් වූ ඵල බවට පත් වේ
  • ඵල විකෘති වීම.

රෝග ලක්ෂණ:

  • ශාක කුරු වීම, කහ වීම, හරිතක්ෂය (අවස්ථානුකුලව) , විචිත්‍ර විකෘති පත්‍ර (බිබිලි)
  • ඵල දුර්වර්ණ වීම සහ විකෘති වීම
  • පයිටොප්ලාස්මා  රෝගය / කුඩා පත්‍ර රෝගය
රෝග ලක්ෂණ
  • කුඩා , ඝනකම් වූ සහ කහ පැහැති කොළ පාට වූ පත්‍ර ,
  • පර්ව කෙටිවීම හා ශාක කුරුවීම,
  • සෙව්වන්දි ආකාර වීම,
  • මල් කොළ පැහැයට හැරීම.
ආසාධිත බීජ හරහා සහ පත්‍ර කී කීඩෑවන් මගින් සම්ප්‍රේෂණය වේ රෝග පාලනය ආසාදිත ශාක ඉවත් කිරීම හා නිර්දේශිත කෘමිනාශකයක් භාවිතයෙන් වාහකයන් (පත්‍ර කීඩෑවන් ) පාලනය කරන්න