Sinhala: HORDI Crop – Kohila

HORDI - LOGO

කොහිල

Lasia spinosa

කොහිල දළු සහ අල ජනප්‍රිය හා ගුණදායක ආහාරයක් වේ. කෙඳි ගතිය වැඩි හෙයින් අර්ශස් රෝගීන්ට හා උදරාබාධ වලට එය ගුණදායකය.

පවතින වර්ග

කොහිල වර්ග දෙකක් තිබේ. ඒවානම්;

දේශීය කොහිල: පත්‍රය බොහෝවිට ඛණ්ඩිකා වලට බෙදී නැත. වර්ධනය සෙමෙන් සිදුවන අතර අස්වැන්න ද අඩුය. අල මහත් නොවන අතර මාංශල ගතිය ද අඩුය.

රට කොහිල: පත්‍රය බොහෝ ඛණ්ඩිකා වලට බෙදී ඇත. වැඩි වර්ධන වේගයක් පෙන්වන අතර අස්වැන්න ද වැඩිය. දේශීය වර්ගයට වඩා අල මහත් වේ. මාංශල ස්වභාවය වැඩිය.

දේශගුණික අවශ්‍යතා/ වගා කිරීම සඳහා සුදුසු ප්‍රදේශ

සෙවණ සහිත පරිසර තත්ත්වයන් යෝග්‍යය. බහුලව තෙත් කලාපයේ ව්‍යාප්ත  වී ඇත. ජල සම්පාදනය යටතේ වියළි කලාපයේද සාර්ථකව වගා කළහැක.

පස

වගා කළ හැක්කේ නිතර ජලය රඳා පවතින ස්ථානවල පමණි. කොහිල වගුරු බිම් වලට යෝග්‍ය බෝගයක් වේ. මේ නිසා මෙම වගාව සඳහා සෙවණ තිබීම යෝග්‍ය වේ. සෙවණ නොමැති වූ විට පත්‍ර කුඩාවේ.

ක්ෂේත්‍රය සකස්කිරිම හා සිටුවිම

මඩ සහිත ස්ථානයක සෙ.මී. 20-25 (8-10˚) පමණ ගැඹුරට වරින් වර බිම පෙරළා වල්පැළ විනාශ කර, වැඩිපුර ජලය රඳාපවතින ස්ථානවල සුදුසු පරිදි කාණුයොදා ජලය බැසයාමට සලස්වන්න. අඩි 5 පමණ පළලකින් යුතු පාත්ති සකසා අවශ්‍ය විටෙක ජලය බැඳ, නියමිත පරතරයට අනුව, දඬු කැබැල්ලේ පර්ව කිහිපයක් පසට යට කිරීමට වග බලා ගන්න.

වගා කළ යුතු කාලය

නියමිත පාරිසරික තත්වයන්ට අනුකූලව වසර මුළුල්ලේම වගා කළ හැක.

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා වැඩි වශයෙන් භාවිතා වන්නේ සෙ.මී. 20 – 25 (අඟල් 8-10) ප්‍රමාණයේ අග්‍රස්ථ දඬු කැබලිය. මේවා හඳුන්වනු ලබන්නේ කොහිල කරටි වශයෙනි. කොහිල කඳෙන් හටගන්නා පාර්ශවික අංකුර ද මේරූ පසුව සිටුවීම සඳහා භාවිතා කළ හැකිය. මෙයට අමතරව මඩ සහිත සෙවණ ස්ථානයක සකසා ගත් පාත්තිවල නොගැඹුරු ලෙස කඳන් කැබලි වැළලීමෙන් අංකුර හට ගැනීමට සලසා, සිටුවීම සඳහා යෝග්‍ය අංකුර වැඩි ප්‍රමාණයක් කෙටි කාලයකදී ලබා ගත හැකිය.

පරතරය

අංකුර හෝ කරටි කැබළි, පේළි අතර සෙ.මී. 30 හා පේළිය තුළ සෙ.මී. 30 (අඩි1×1) පරතරයට සිටුවන්න.

පොහොර

කාබනික පොහොර

වගාව ආරම්භ කිරීමට පෙර දිරාපත් වූ විවිධ කාබනික පොහොර වර්ග හා කොළ පොහොර වැනි දෑ පාත්තිවලට යොදා පසට කළවම් කරන්න. මැනවින් කාබනික පොහොර යෙදීමෙන් පසෙහි තෙතමනය ආරක්‍ෂාවීමටත්, පසෙහි සාරවත් බව වැඩිකර ගැනීමටත් උපකාරී වේ. කාබනික පොහොරක් ලෙස ගොම යෙදීමෙන් වල් පැළෑටි බහුලව හට ගැනීමේ ඉඩකඩක් පවතී.

රසායනික පොහොර (වර්ග මීටර් 100 කට කි.ග්‍රෑ. – Kg/100m2)

පොහොර යොදන අවස්ථාව

යූරියා

ත්‍රිත්ව සුපර් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර

1.0

1.5

1

මතුපිට පොහොර සිටුවා සති 4 කට පසු

1.0

සෑම මාස 6 කට වරක්

1.0

සෑම අස්වැන්න නෙළීමකට පසු  

0.5

0.5

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

වගාව තුළ තෙතමනය පැවතීම අවශ්‍ය වුවත් දිගුකලක් ජලයෙන් යටවී පැවතීම මඟින් වර්ධනය බාල වේ. එනිසා වරින් වර වගාවට ජලය ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතුය.

වල් මර්ධනය

කොහිල වගාවේ ප්‍රධානතම ගැටළුව වන්නේ වල් පැළෑටි පාලනයට ඇති දුෂ්කරතාවයයි. කරටි හෝ අංකුර සිටුවීමෙන් පසු පොළොව වැසීයන පරිදි පිදුරු වැනි වසුනක් යොදන්න. එසේම වගාවේ විවිධ අවස්ථාවලදී ද වරින් වර නැවත මෙසේ වසුන් යෙදීමෙන් පසු අවස්ථාවලදී ඇතිවන වල් පැළෑටි පාලනය කළ හැකිය.

Pest Management

රෝග කළමනාකරණය

රෝග කාරකය: Fusarium sp.

රෝග ලක්ෂණ :

කොහිල අලය වටේ කුණුවීමට ලක්වේ. පත්‍ර කහ පැහැවේ.

පාලනය:

වගා කොටුවේ ජලය සම්පුර්ණයෙන් ඉවත්කර අළුහුණු යෙදීම(වර්ග අඩියකට අළුහුණු ග්‍රෑම් 40 වන පරිදි) හෝ හෝමායි / කැප්ටාන්/ තිරාම් වැනි දිලිරනාශක යෙදීම. පැය  24 කට පසු ජලය බදින්න

රෝග කාරකය: Ralstonia solanacearum

රෝග ලක්ෂණ :

අල කුණුවීමට ලක් වේ. අලය කැපු විට දුඹුරු පැහැ පෙනුමක් ඇත. අල කැබලි ජලයට දැමු විට කිරිපාට ශ්‍රාවයක් දැකිය හැකි වේ.

පාලනය:

රෝගී පැල ගලවා ඉවත්කර අළුහුණු යෙදීමෙන් (ජලය ඉවත් කර) යම් මට්ටමකට පාලනය කර ගත හැකි වේ.

අස්වැන්න

කොහිල සිටුවා මාස 8-12ක පමණ කාලයක් ගතවූ පසු දළු අස්වැන්න ලබා ගත හැකි වේ. ඉන්පසු සෑම දින 8-10 කට වරක් දළු අස්වැන්න ලබා ගත හැකිවේ.

වර්ග මීටර් 50 ක පමණ වගාවකින් කි.ග්‍රෑ. 2,000 – 2,500 පමණ “අල” අස්වැන්නක් ද, වරකට දළු මිටි 150 පමණ අස්වැන්නක් ද ලබාගත හැකිය.

Yield