Sinhala: HORDI Crop – Kathurumurunga

HORDI - LOGO

කතුරුමුරුංගා

Sesbania grandiflora

රනිල කුලයට අයත් බෝගයකි. පහසුවෙන් වගා කළහැකි ගුණදායක පලාවර්ගයකි. කෘෂි රසායනික ද්‍රව්‍යය යෙදීම අනවශ්‍ය, වටිනා ඖෂධීය පලා වර්ගයකි.

පවතින වර්ග

සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හට ගන්නා යනුවෙන් වර්ග 3ක් තිබේ. කලාතුරකින් මල් හටගන්නා වර්ගය “හරිත” ලෙස නම්කර තිබේ. බහුලව මල් හට ගන්නා දෙවර්ගයේම කොළ සහ මල් ආහාරයට ගත හැකිය. සුදු මල් සහිත වර්ගය වඩාත් ජනප්‍රියය.

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

පහතරට සහ මැදරට තෙත් හා වියළි කලාපවල සාර්ථකව වගා කළ හැකිය. උෂ්ණාධික දේශගුණය කතුරු මුරුංගාවලට වඩාත් හිතකරය. සිසිල් දේශගුණයක් සහිත කඳුකර ප්‍රදේශවල සාර්ථකව වගා කිරීම අපහසුය.

පස

හොදින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය සහිත පසක් යෝග්‍ය වේ.

රෝපණ ද්‍රව්‍ය

බීජ මඟින් හා දඬු කැබළි මගින්:

බීජ මඟින්:

 බීජ ලබා ගත යුත්තේ මෝරා කහ ගැසී වියලුණු අළුත්ම කරල් වලින්ය. බීජ වලින් පැළ නිපදවා ගැනීම සඳහා ලොකුවට කපා ගත් කුට්ටි සහිත කුට්ටි තවාන්, පොලිතීන් බෑග්, කඩදාසි බෑග් හා වෙනත් බඳුන් යොදා ගත හැකිය. වැඩිපුර බීජ යොදා පැළවූ පසු එකක් ඉතුරු කොට වැඩි පැළ ගලවා දැමිය යුතුය. සෙ.මී. 15 – 20 පමණ උස්වූ පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යෝග්‍ය වේ.

පැන්සලක ප්‍රමාණයේ අළුත් අතුවල පොතු වලයක් ඉවත් කොට ඒ වටා තෙත් කළ කොහුබත් තබා බැඳ ලේයර් කිරීමෙන් (අතු බැදීමෙන්) ද සති 3-4 ක දී පමණ එය ගසින් වෙන් කොට බඳුන් ගතකොට තබා රෝපණය සඳහා සකස් කර ගත හැකි වේ.

දඬු මඟින් – අඩුවෙන් මල් හට ගන්නා හරිත වර්ගය දඬු මඟින් ප්‍රචාරණය සඳහා සුදුසුය.

ක්ෂේත්‍රය සකස් කිරීම සහ සිටුවීම

සෙ.මී. 45x45x45 පමණට සකසන ලද වළවල් වලට කොම්පෝස්ට්, ගොම ආදී පොහොර සමඟ මතුපිට පස් කලවම් කොට යොදා ඒ මත පැළ රෝපණය කරන්න. පැළ රෝපණය කිරීමට පෙර, දින කිහිපයක් හිරු එළියට නිරාවරණය කොට දැඩිකර ගත යුතුය

වගා කාලය

වසර පුරාම වගා කළ හැකි බෝගයකි. වර්ෂාවත් සමග වගා කිරීම වඩාත් සාර්ථක වේ.

පරතරය

පේළි අතර මීටර් 2.0 පේළිය තුළ මීටර් 2.0

පොහොර

ක්ෂේත්‍රයේ රෝපණය කරන අවස්ථාවේදී හා මාස 5-6 කට වරක්, හැකිතාක් දුරට ගොම, කොම්පෝස්ට් පොහොර, කුකුල් පොහොර ආදී ඓන්ද්‍රිය පොහොර යෙදීම ඉතා සුදුසුය.

ජල සම්පාදනය

වියළි කාලගුණයක් පවතින අවස්ථාවල දී ජල සම්පාදනය කිරීමෙන් සරු කොළ අස්වැන්නක් ලබා ගත හැකිය.

වල් පැළ පාලනය

බෝගය පිරිසිදුව පවත්වා ගැනීමට පහසු ලෙස වල් මර්දනය කළ යුතුය.

පළිබෝධ කළමනාකරණය

ගොළුබෙල්ලන්ගේ හානිය,කොළ කන දළඹුවන්ගේ හානිය (පැළ කුඩා අවධියේදී) ඇතිවීය හැක.

අතින් අහුලා ඉවත් කිරීම හෝ අලු යොදා පාලනය කිරීම

රෝග කළමනාකරණය

රෝග කාරකය: fungi

රෝග ලක්ෂණ  

  • ආරම්භයේදී පත්‍ර මත සුදු පැහැති පිටි වැනි කඩා වලයාකාර පැල්ලම් දැකගත හැක.
  • පත්‍රයේ උඩ ස්ථරයෙහි පිටි විසිරි ඇති ආකාරයට දිස්වන අතර පසුව පත්‍රයේ යටි ස්ථරයේද දැකගත හැකිය
  • අවසානයේදී පත්‍ර කහ පැහැවී හැලී යයි

පාලනය

  • වියළි කාලයේදී පිටිපුස් රෝගය වැළදිය හැකිය. එවැනි අවස්ථාවල කොළ ආකාරයට ගැනීම අපහසු බැවින් කප්පාදු කොට ඉවත් කිරීම සුදුසුය. ජල වහනය දුර්වල වූ විට වර්ධනය බාලවේ. පත්‍ර හැලී ශාකය මිය යයි. පාමුල කුණුවීමට ද ඉඩ ඇත.

අස්වනු නෙළීම

සිටුවා මාස 8 කින් කොළ අස්වැන්න ද වසරකට පමණ පසු මල් අස්වැන්න ද ලබා ගත හැකිය. උදය කාලයේ දී එනම්, කොළවල මැනවින් ජලය අඩංගු අවස්ථාවේ දි අස්වැන්න නෙළීම වඩාත් යෝග්‍යය.

අස්වැන්න

වරකට අක්කරයකට කි.ග්‍රෑ. 4000 – 8000 පමණ අස්වැන්නක් ලබාගත හැකිවේ.

කප්පාදු කිරීම

බහු වාර්ෂික බෝගයක් බැවින් කප්පාදු නොකළහොත් ශාකය මීටර් 6 ඉක්මවා වැඩේ. එවිට උස ගස් වලින් මල් හා කොළ නෙළා ගැනීම අපහසුය. කප්පාදු කොට ජල සම්පාදනය කිරීමෙන් මල් හට ගැනීම අඩුවේ. වැඩිපුර කොළ හටගනී.

ගස මීටර් 1 පමණ උසට වැඩුණු පසු අග්‍රස්ථ අංකුරය කඩා දමා පාර්ශවික අතු වැඩීමට සලස්වා වර්ධනය වු අතු විවිධ දිශාවන්ට පැතිරෙන සේ අතු 3-4 ක් ඉතුරු කොට සෙසු අතු ඉවත් කරන්න. මෙම පාර්ශවික අතු මීටර් 1 – 1 1/2 ක් පමණ උස් වූ පසු නැවත මුදුන් කප්පාදු කළ යුතුවේ. එම ස්ථානවලින් මතුවන රිකිළි මල් හට ගැනීමට පෙර කපා කොළ අස්වැන්න ලෙස ප්‍රයෝජනයට ගත හැකිවේ. කල් යෑමේදී මෙම කප්පාදු කළ ස්ථානය ගැටයක් මෙන් සකස් වේ. සමහරු කතුරු මුරුංගා ගස් මීටර් 1 1/2 ක් පමණ උස් වන සේ කප්පාදු කොට පහසුවෙන් අස්වනු නෙළාගත හැකි වන පරිදි සකස් කර ගනී. අස්වැන්න නෙළීමෙන් පසු ඓන්ද්‍රීය පොහොර යෙදීම සුදුසුය. යූරියා ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් නැවත දළු ලෑම කඩිනම් වේ. කප්පාදු කිරීමේදී හා අස්වැන්න නෙළීමේ දී තිබෙන සියළුම අතු රිකිළි (කොළ සහිත) ඉවත් කිරීම සුදුසු නැත.