Fruit Crops – Beli-S

1 horana logo

බෙලි (Beli)

උද්භිද විද්‍යාත්මක නාමය – Aegle marmelos (L.) Corr.
කුලය – Rutaceae

වියළි කලාපයේ මෙන්ම තෙත් කළාපයේ ද හොඳින් වැඩෙන පෝෂණීය අගයෙන්, ඖෂධීය ගුණයෙන් ඉහළ හා ආගමික වටිනාකමක් ඇති පලතුරු බෝගයකි.බෙලි ගසක් ගෙවත්තෙහි වගා කරගන්නේ නම් එම නිවසට සිරිකත ලඟා වන්නේ යැයි පිළිගැනීමක් ආසියාතික ජන සමාජය තුළ ඇත.හින්දු ආගමට අනුව බෙලි ගස පූජනීයත්වයෙන් සලකයි. හින්දු බැතිමත්හු බෙලි කොළ ශිව දෙවියන් පිදීමට යොදා ගනිති.ඉදුණු බෙලිවල ප්‍රෝටීන් බහුලය. විටමින් A,B සහ C වලින් පොහොසත්‍ය. බෙලි බීජවල 62% ප්‍රෝටීන්ද 32% මේදයද ඇති බැව් පෙන්වා දී ඇත.

ප්‍රභේද

දේශීය බෙලි විශේෂ රාශියක් දක්නට ලැබේ. දැනට දේශීය බෙලි වර්ග ප්‍රධාන වශයෙන් ඇත් බෙලි හා බෙහෙත් බෙලි වශයෙන් හඳුන්වන අතර ගෙඩිවල ප්‍රමාණය, වර්ණය, හැඩය, බීජ තිබෙන ප්‍රමාණය හා ගසෙහි වර්ධන විලාශය යනාදී ලාක්ෂණික වෙනස්කම් අනුව බෙලි විශේෂ රාශියක් දක්නට ඇත.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් “සුපුන්“ යනුවෙන් බෙලි ප්‍රභේදයක් වසර ගණනාවකට පෙර නිර්දේශ කර ඇතත් එම ප්‍රභේදය සංවර්ධනය කර නැත.

දේශගුණික අවශ්‍යතා
කටුක පරිසර තත්ත්ව වලට ඔරොත්තු දෙන අතර රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, බදුල්ල, කුරුණෑගල, ගම්පහ සහ කළුතර ආදී තෙත් කලාපීය ප්‍රදේශ වලද අනුරාධපුරය, මොණරාගල, පොළොන්නරුව වැනි වියළි කලාපීය ප්‍රදේශ වලද බෙලි දක්නට ලැබේ.සෙන්ටිග්‍රේට් අංශක 46ක් පමණ ඉහළ කටුක උෂ්ණත්වයටද සෙන්ටිග්‍රේට් අංශක 7ක් වැනි සීතල තත්ත්වයනටද බෙලි හොඳින් ඔරොත්තු දෙයි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25-35 දක්වා වන නිවර්තන, උපනිවර්තන කලාපයේ හොඳින් වැඩේ.

පස
විවිධ දේශගුණික තත්ත්ව යටතේ මෙන්ම ඉතා නිසරු පසකද ඉතා සරු පසකද හොඳින් වැඬේ.ආම්ලික භාෂ්මික හෝ ලවණ සහිත වූ ආම්ලික අගය pH 5-10 දක්වා (දැඩි භාෂ්මික) වෙනස් වන පසක වුවද බෙලි ඒකාකාරීව වර්ධනය වේ.pH අගය 5-10 ක් පමණ වන හොඳින් වාතනය වන සහ ජලය බැස යාම සිදුවන පසක හොඳින් වැඬේ.

ප්‍රචාරණය

සිටුවීම සඳහා රෝපණ ද්‍රව්‍ය බීජ මඟින්, අතු කැබළි මඟින්, අතු බැඳීම මඟින්, මුල් කැබලි මඟින් හා බද්ධ පැළ මඟින් ලබා ගත හැකිය. ගුණාත්මක ගෙඩි ලබාදෙන බෙලි ගසකින් ලබා ගන්නා ඉදුණු ගෙඩිවලින් බීජ වෙන් කර ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කර ගැනීමෙන් පසුව ඒවා වැලි තවානක තවාන් කළ යුතුය.දින 8-10 ක් පමණ කාලයකදී පැළවීම ආරම්භ වේ.

වැලි තවානෙහි පත්‍ර 2-3ක් පමණ හටගත් පසු පැළ බඳුන් කළ යුතුය. පැළ බඳුන් කිරීම සඳහා සෙ.මී. 15ක් පමණ පළල සෙ.මී. 25-30 ක් පමණ උසැති ඝනකම ගේප් 300 පොලිතින් බෑගය බඳුන් මිශ්‍රණයෙන් (මතුපිට පස් : වැලි : ගොම පොහොර 1:1:1) පුරවා ගත යුතුය. බීජ පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා මාස 6-12ක් පමණ ගතවේ. බීජ පැළ වල මව් ගසෙහි ඇති ගති ලක්ෂණ ඇතිවීමේ හැකියාව අඩුය. මව් ගසෙහි ගති ලක්ෂණ ලබා ගැනීමට වර්ධක ප්‍රචාරණය මඟින් පැළ බෝකර ගැනීම කළ යුතුය. මේ සඳහා රිකිලි බද්ධය වඩාත් සුදුසුය. සෑදල හා පැති බද්ධයද සුදුසුය. පැරණි බෙලි ගස් මුදුන් බද්ධය මඟින් පුනරුත්ථාපනය කළ හැකිය.

පැළ සිටුවීම

බීජ පැළ සඳහා පරතරය මීටර් 6×6 වන ලෙසත් බද්ධ පැළ සඳහා මීටර් 3×3 පරතරයත් සුදුසුය. පැළ සිටුවීම සඳහා සෙන්ටි මීටර් 60×60×60 ප්‍රමාණයේ වලවල් කපා මතුපිට පස් හා කොම්පොස්ටි හෝ දිරූ ගොම පොහොර මිශ්‍ර කර වලවල් එම මාධ්‍යයෙන් පිරවිය යුතුය. එම පුරවා ගත් වලෙහි මධ්‍යයෙහි පැළ සිටුවිම කළ යුතුය.වර්ෂා කාලයන්හිදී පැළ සිටුවන්නේ නම් වඩාත් සුදුසුය. වියළි කාලයකදී නම් ජලය සැපයීම කළ යුතුය. සිටුවන ලද පැළය සතුන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා ආවරණය කළ යුතුය.රසායනික පොහොර යොදන්නේ නම් N.P.K 12:14:14 මිශ්‍රණයෙන් ග්‍රෑම් 450 ක් පැළ සිටුවිමට දින 3කට පෙර පස් සමඟ මිශ්‍රකර වල සැකසිය යුතුය.

අස්වනු නෙළීම

බීජ පැළයක් සිටුවා වසර 7-9 ක් පමණ කාලයදී මල් පිපීම ඇරබේ. බද්ධ පැළයක නම් වසර 3-4ක දී මල් පිපීම සිදුවේ. වසරක් පමණ වයස් ගත වූ අතුවල මල් හටගනී. මුළු මල් ප්‍රමාණයෙන් 70% ක පමණ කුඩා ළපටි ගෙඩි හටගන්නා අතර ඉන් වැඩි ප්‍රමාණයක් හැලී යයි. බෙලි ගෙඩි මේරීමට මාස 7-10ක් පමණ කාලයක් ගතවේ. පළමු මාසය තුළ ගෙඩි ඉතා සෙමින් වර්ධනය වේ. පසුව සීඝ්‍ර වර්ධනයක් සිදුවේ.බෙලි ගෙඩි ගසෙන් නෙලා ගත් පසුව ඉදීමක් සිදු නොවේ. ඒනිසා හොඳින් ඉදුණු පසු අස්වැන්න නෙළිය යුතුය. ගසෙහි වයස අනුව අස්වැන්නද සාමාන්‍යයෙන් වැඩි වේ. අවුරුදු 15ක් පමණ වයස ඇති බීජ පැළයකින් ගෙඩි 200-400ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය.බෙලි ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 100-725ක් පමණ වේ. බෙලි කටුවෙහි ඝනකම මිලි මීටර් 2-3ක් පමණ වන අතර ගෙඩියක බීජ 3 – 64 ක් පමණ ක් පමණ ඇත.

රෝග හා පළිබෝධ

රෝග

පිටිපුස් රෝගය
පැළ කුඩා කාලයේදී බෙලි පත්‍ර හා ළපටි අංකුර මත මෙම ආසාදනය බහුලව දක්නට ලැබේ. මේ සඳහා සල්ෆර් අඩංගු කෘෂි රසායන ඉසීම.


ගම් වෑස්සීමට
කොපර් අඩංගු දිලීර නාශක යෙදීම.



කෘමි හානි


හම්බෙල්ලන්

කුඩා බීජ පැළ වලට හානි කරනු ලබයි. මොවුන් අතින් ඇහිඳ විනාශ කිරීම හා මෙටා වැනි කෘෂි රසායන යෙදීමෙන් පාලනය කළ හැකිය.

පත්‍ර කනින්නාගේ හානිය
දරුණු ලෙස පවතී නම් කොහොඹ නිස්සාරකය යෙදීම

කොළ කන දළඹු හානිය
අතින් ඇහිඳ විනාශ කිරීම අපහසු වන්නේ නම් සුදුසු කෘෂි රසායන යෙදීම.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)