[Ongoing Page] Field Crops – Big Onion – Tamil

ලොකුළූණු

Allium cepa L.
Family – Amaryllidaceae

ශී‍්‍ර ලංකාවේ අත්‍යාවශ්‍ය කුළුබඩු බෝගයක් වන ලොකු ලූනු වගාව ප‍්‍රධාන වශයෙන් වියළි කලාපයේ සිදු කෙරේ. ලොකු ලූනු බල්බ නිෂ්පාදනය සිදුවන අවස්ථාවේදී දිගු දිවා කාලයක් පැවතීම යෝග්‍ය වන බැවින් වගාව ප‍්‍රධාන වශයෙන් යල කන්නයට සීමා වී ඇත. බල්බ මෝරන අවස්ථාවේ දී මාස 1½ ක් පමණ වියළි උණුසුම් කාළඟුණයක් පැවතීම හා වායුගෝලීය තෙතමනය 70% අඩු විය යුතු නිසා මෙවැනි දේශගුණික තත්ත්වයන් ඇති වියළි කලාපයේ යල කන්නයේ වගාවට යෝග්‍යයි.

onions
ලොකුළූණු වගාව

මුහුදු මට්ටමේ සිට මීටර් 2000 දක්වා වූ ප‍්‍රදේශයන්හි වගා කළ හැකි බෝගයකි. නමුත් වගා කාල සීමාව තුල දී ලැබෙන වර්ෂාපතනය මි.මී. 750 ක් නොඉක්මවිය යුතුය. වගාවේ ආරම්භයේදී මෙන්ම අවසාන කාල සීමාවේදී ද තද වර්ෂාව පැවතීම සුදුසු නොවේ. වායුගෝලීය තෙතමනය 70% ට වඩා වැඩි වූ විට දිලීර රෝග වලින් වගාවට විශාල වශයෙන් හානි සිදු වේ.

යල කන්නය ප්‍රධාන වගා කාලය වන ළූණු,  බල්බ සදහා  යල කන්නයත්  බීජ සදහා මහ  කන්නයත්  ලෙස වගාකරනු ලැබේ.

සකස් කරගත් බීජ පැළ හෝ වියළි බල්බ යල කන්නයේ දී අපේ‍්‍රල් මස මැද භාගයේ සිට මැයි මස මැද භාගය දක්වා කාලයේ ද මහ කන්නයේදී වගා කරන්නේ නම් දෙසැම්බර් මාසය  තුලත්  සිටුවිය යුතුය. කෙසේ වෙතත් මහ කන්නයේ පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්ව යටතේ වගාවට බහුල වශයෙන් දිලීර රෝග වැළඳිය හැකි නිසා ඒ ගැන විශේෂ අවධානයකින් සිටීම ඉතා වැදගත් වේ. එසේම වැසි සහිත කාළගුණික තත්ත්ව සහ දිනකට සූර්යාලෝකය ලැබෙන පැය ගණන අඩුවීම නිසාද බල්බ වර්ධනය දුර්වල විය හැකිය.
මහ  කන්නයේදී  වැසි ආවරණ යටතේ හෝ පොලිතීන් යොදා සාදාගත් ආවරණතුල බීජ නිෂ්පාදනය කර ගැනීම වඩාත් සුදුසුය.

වියළි කළාපයේ බහුලව දක්නට ලැබෙන රතු දුබුරු පසෙහි ද, රෙගසෝල් පසෙහි සහ ඇල දොළ ආශ්‍රිතව දක්නට ලැබෙන දියළු පසෙහි ද සාර්ථකව ලොකු ළූණු වගා කළ හැකිය. වගා කරන පසෙහි පී. එච්. අගය 6.5 – 7.8 අතර තිබීම වඩා යෝග්‍යය.

දඔුල්ල වරණය – දේශීයව වරණය
බල්බය ලා රෝස / ලෝකඩ පැහැයක් ගනී. සැර බව මධ්‍යස්ථයි. දිගු කාලයක් ගබඩාකර තබා ගත හැක. සත්‍ය බීජ නිෂ්පාදනයට වඩාත් සුදුසුය. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 85-90ක් පමණ ගතවේ. විභව බල්බ අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 30. විභව බීජ අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 650 වේ.

MIBO-01 – දේශීය වරණය
කෙටිකාලීන ප්‍රභේදයකි. බල්බය ලා රෝස පැහැයක් ගනී. සැර බව මධ්‍යස්ථයි. දිගු කාලයක් ගබඩාකර තබා ගත හැක. සත්‍ය බීජ නිෂ්පාදනයට වඩාත් සුදුසුය. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 75-85ක් පමණ ගතවේ. විභව බල්බ අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 38. විභව බීජ අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 750 වේ.

පූසා රෙඩ් – ඉන්දියන් ප‍්‍රභේදයකි
බල්බය ලා රෝස/ ලෝකඩ පැහැයක් ගනී. සැරබව අධිකය. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 85 – 90 පමණ ගතවේ. දිගු කාලයක් ගබඩාකර තබා ගත හැක.

රාම්පූර් – ඉන්දියන් ප‍්‍රභේදයකි
බල්බය ලා රෝස පාටය. සැර බව අධිකයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 80 – 85 ක් පමණ ගතවේ. දිගු කාලයක් ගබඩාකර තබා ගත හැක. සත්‍ය බීජ නිෂ්පාදනයට සුදුසුයි. වසන්තීකරණයට ලක් නොකළ ද සතුටුදායක බීජ අස්වැන්නක් ලබා දේ.

ඇග‍්‍රිෆවුන්ඩ් ලයිට් රෙඩ් – ඉන්දියන් ප‍්‍රභේදයකි
බල්බ ලා රෝස පැහැයක් ගනී. සැර බව අධිකයි. වැඩි කාලයක් ගබඩා කර තබා ගත හැකිය. සත්‍ය බීජ නිෂ්පාදනයට සුදුසුයි. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට ගතවන කාලය දින 85-90 කි.

නාසික් රෙඩ් – ඉන්දියන් ප‍්‍රභේදයකි
බල්බය දම් රතු පැහැතිය. සැරබව අධිකය. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 100 – 110 ක් පමණ ගතවේ. දිගු කාලයක් ගබඩාකර තබා ගත නොහැකිය. කොළ ලූනු වශයෙන් අලෙවි කිරීම සඳහා සුදුසුය.

කල්පිටිය වරණය – දේශීය වරණයකි
බල්බය ලා රෝස පාටය. ප‍්‍රමාණයෙන් කුඩාය. සැරබව මධ්‍යස්ථ වේ. පැල සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 80 – 85 පමණ ගතවේ. කල්තබා ගැනීම සඳහා සුදුසුය. ගබඩා කර තබා ගත හැකිය.

බොම්බේ රෙඩ්
බල්බ තද රතු පැහැයක් ගනී. සැර බව අධිකය. පැළ සිටුවීමෙන් පසු අස්වැන්න නෙලීමට දින 90 – 100 ත් අතර කාලයක් ගතවේ. කල් තබා ගැනීමේ හැකියාව මධ්‍යස්ථ වේ.

ක්ෂේත‍්‍රයේ සිටුවීම සඳහා බීජ තවාන් දමා සකස් කර ගත් පැළ හෝ වියළි බල්බ භාවිතා කළ හැකිය.

තවාන් පාත්ති සැකසීම මීටර් 3 ක් දිග සෙ.මී. 75 ක් පළල සෙ.මී. 15 ක් පමණ උසැති පාත්ති සකස්කර ගන්න. පාත්තියකට කාබනික පොහොර කිලෝ 3-6 ක් යොදා මිශ්‍ර කර  පාත්තිය තෙමා පිදුරු හා දහයියා යොදා ගිනිතබා තවාන් පාත්ති හොඳින් ජීවාණුහරණය කරන්න.

සම්මත ප‍්‍රමාණයේ තවානක් සඳහා යූරියා ත්‍රිපල් සුපර් පොස්පේට් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් පිලිවෙලින් ග‍්‍රෑම් 15, 30, 15 ප‍්‍රමාණයක් යොදා පස සමඟ හොඳන් කලවම් කරන්න.

බීජ ප්‍රතිකාර

බීජ තවාන් කිරීමට පෙර බීජ කිලෝග්‍රෑම් එකක් සදහා තිරාම් 80% ග්‍රෑම් 5 හෝ කැප්ටාන් 80% ග්‍රෑම් 4 හෝ කැප්ටාන් 50% ග්‍රෑම් 6 හෝ තයෝෆනේට් මීතයිල් 50% + තිරාම් 30% WP ග්‍රෑම් 4 හෝ යොදා හොදින් මිශ්‍ර කරන්න .

බීජ පේළියට දැමීම

  • සකස් කර ගත් පාත්තියෙහි රීප්පයක දාරයකින් ගැඹුර සෙ.මී 1ක් වන ලෙස සෙ.මී.10 පරතරයෙන් ඇළි සකසා ඇළි දිගේ බීජතවාන් කර තුනී පස් තට්ටුවකින් වසන්න. සම්මත පාත්තියක් සඳහා බීජ ග‍්‍රෑම් 35-40ක් පමණ අවශ්‍ය වේ. අක්කරයකට අවශ්‍ය තවාන් පාත්ති ප්‍රමාණය 60 – 70 පමණ වේ.

ඒකාකාරීව බීජ වැපිරීමෙන්

  • අක්කරයකට පැළ සිටුවීමට අවශ්‍ය තවාන් පාත්ති ප‍්‍රමාණය 30-35ක් පමණ වේ. බීජ කි.ග‍්‍රෑ 1කින් සම්මත ප‍්‍රමාණයේ තවාන් පාත්ති 14-15ක් පමණ වැපිරිය හැකිය.

තවාන් නඩත්තුව

  • බීජ දැමීමෙන් පසු ජීවාණුහරිත පස් තට්ටුවකින් වසා දහයියා පොතු 2-3ක ඉතා තුනී තට්ටුවක් යොදා , ඒ මත පිදුරු යොදා වසුන් කරන්න. වසුන හොදින් තෙමෙන ලෙස නිර්දේශිත දිලීරනාශකයක් මල් බාල්දියකින් යොදන්න. දිනපතා ජලය සපයන්න.
  • දින 3 – 4 කින් පැළ වී එන විට පිදුරු වසුන ඉවත් කරන්න. දහයියා තට්ටුව මගින් වල්පාලනයත් පසේ තෙතමනය ආරක්ෂාවීමත් සිදුවේ. තවාන් දමා මසකට පමණ පසු බීජ පැළ දැඩි කිරීම අරඹන්න.
  • පින්න සහ වැසි ඇතිවිට පොලිතීන් ආවරණයක් යොදා ළපටි ආරක්‍ෂා කරගන්න.
  • බීජ තවාන්කර සති 4-5කින් පැළ ක්ෂේත‍්‍රයේ සිටුවියහැක.

බීජ තවාන් කර සති 8 – 10 ක් පමණ කාලයක් නඩත්තුකර ලබා ගන්නා පදම් කර ගත් කුඩා ලූනු බල්බ, වියළි බල්බ ලෙස හඳුන්වනු ලැබේ.

මහ කන්නයේදී ලොකු ලූනූ වගා කිරීමේදී බහුල වශයෙන් සිටුවීමට යොදා ගන්නේ වියළි බල්බය. සිටුවීමට අවශ්‍ය වියළි බල්බ නිෂ්පාදනයට තවාන් දැමිය යුත්තේ ජුලි – අගෝස්තු  මාස වලදීය. යල කන්නයේදී වියළි බල්බ සිටුවීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා තවාන් දැමිය යුත්තේ දෙසැම්බර්, ජනවාරි මාස වල පවතින තද වැසි වලින් පසුවය.

හොඳින් සකස් කරන ලද මීටර් 3 ක් දිග සෙ.මී. 75 ක් පමණ පළල පාත්තියකට ලොකු ලූනු බීජ ග‍්‍රෑම්. 30 – 40 බැගින් ඒකාකාරීව වපුරන්න. බීජ ජීවානුහරිත තුනී පස් තට්ටුවකින් වසා පිදුරු වලින් වසුන් කරන්න. බීජ වපුරා සති 3 දී හා 5 දී එක් පාත්තියකට යූරියා ග‍්‍රෑම්. 15 ක් සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් ග‍්‍රෑම්. 10 ක් ජලය ලීටර් 4.5 දියකර පැළ වලට යොදන්න. පැළ වල තැවරී ඇති පොහොර නැවත පිරිසිදු ජලයෙන් සෝදා හරින්න. බීජ දමා සති 06 කට පමණ පසුව දෛනිකව ජලය යෙදීම නවතා දින 3 ට වරක් බැගින් ජලය සපයන්න. බල්බ විශ්කම්භය සෙ.මී. 1 ක් පමණ විශාල වූ විට ජලය සැපයීම නවතා  තවාන වියළීමට ඉඩ හරින්න. පත‍්‍ර හොඳින් වියලූන පසුව බල්බ සහිත පැළ ප‍්‍රවේශමෙන් ගලවන්න. මෙම පැළ ඒවායේ ඇති වියළි පත‍්‍ර වලින්ම මිටි බැඳ සුප්තතාවය ඉවත් වන තුරු වාතාශ‍්‍රය හාඳින් ඇති තැනක එල්ලා තබන්න. මෙම වියළි බල්බ ගලවා සති 6 – 8 කට පසුව සිටුවීම සඳහා යොදාගත හැකිය.

හොඳින් හිරුඑළිය වැටෙන හොඳ ජල වහනයක් ඇති ක්ෂේත‍්‍රයක් තෝරාගන්න. සෙ.මී. 20 පමණ ගැඹුරට පස පෙරලන්න. යල කන්නයේදී කුඹුරු වල වගා කරන විට ගැඹුරට පස පෙරලීම මඟින් ඉඩමෙහි ජලවහනය දියුණු වේ. එහි ඇති ගල් බොරළු ආදිය හැකි පමණ ඉවත් කරන්න. බිම් සැකසීම් කිරීමේ දී දහයියා අඟුරු/අඟුරු වර්ග මීටරයකට කි.ග‍්‍රෑ. 0.5 – 3.0 අතර ප‍්‍රමාණයක් එක්කර පසට මිශ‍්‍ර කිරීමෙන් බල්බ අස්වනු 20 – 70% අතර ප‍්‍රමාණයකින් වැඩි කර ගැනීමට හැකි වනු ඇත.

සති 4 – 5 ක් පමණ වයසැති පත‍්‍ර 3 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සහිත කුඩා බල්බයක් සටහන් වී ඇති නිරෝගී පැළ පමණක් සිටුවීම සඳහා තෝරා ගන්න. දිලීර රෝග වැළඳීම පාලනය කර ගැනීම පිණිස සිටුවීම සඳහා තෝරා ගත් පැළ වල බල්බ සහිත කොටස, තයෝෆනේට් මීතයිල් 70% WP ග‍්‍රෑම් 20 හෝ තිරාම් 80% WP ග‍්‍රෑම් 15 හෝ තයෝෆනේට් මීතයිල් 50% + තිරාම් 30% WP ග‍්‍රෑම් 18 ජලය ලීටර් 10 ක් සමඟ මිශ‍්‍ර ද්‍රාවණයේ විනාඩි 30 ක් ගිල්වා සිටුවීමට ගන්න.

  • පැළ සිටුවීමට පෙර පාත්ති හොඳින් තෙත් කරන්න.
  • පරතරය සෙ.මී 10 x 10 වන ලෙස සෙ.මී 1 – 1.5 ක් පමණ ගැඹුරින් පැළ සිටුවීම යෝග්‍ය වේ.
  • සෙ.මී 10 x 10 පරතරයට ඇන ගසා සදා ගත් රේක්කයකින් පරතරය ලකුණු කර සිටුවීම වඩා ඉක්මන්ය.

හොඳින් දිරාපත් වූ කාබනික පොහොර හෙක්ටයාරයකට මෙ.ටොන්. 10 – 12 යෙදීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක.

රසායනික පොහොර
කල්පිටිය හැර සෙසු ප‍්‍රදේශ සඳහා පොහොර නිර්දේශය

පොහොර යොදන අවස්ථාවයූරියා
(කි.ග‍්‍රෑ./හෙක්.)
ත‍්‍රිත්ව සුපර් පොස්පේට්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මියුරියේට් ඔෆ් පොටෑෂ්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මූලික පොහොර
(පැල සිටු වීමට දින 1,2 කට පෙර)
6510050
සිටුවා සති 3 පසු65
සිටුවා සති 6 පසු6525

කල්පිටිය වැනි වැලි අධික පස් ඇති ප‍්‍රදේශ සඳහා පොහොර නිර්දේශය

පොහොර යොදන අවස්ථාවයූරියා
(කි.ග‍්‍රෑ./හෙක්.)
ඇමෝනියම් සල්ෆේට්
(කි.ග‍්‍රෑ./හෙක්.)
ත‍්‍රිත්ව සුපර් පොස්පේට්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මියුරියේට් ඔෆ් පොටෑෂ්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මූලික පොහොර
(පැල සිටු වීමට දින 1,2 කට පෙර)
15010050
සිටුවා සති 3 පසු65
සිටුවා සති 6 පසු6525

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

සාර්ථක ලොකු ලූනූ අස්වැන්නක් ලබා ගැනීම සඳහා ජල සම්පාදනය ඉතාමත් වැදගත් වේ. ලොකු ළූණු වල නොගැඹුරු මූල මණ්ඩලයක් ඇති බැවින් මූලමණ්ඩල ගැඹුර හැකිතාක් වැඩි කර ගැනිම සඳහා බෝගය පිහිටුවීමෙන් පසු තාවකාලික ජල හිඟතාවයක් බෝගයට ලබාදීම ද වැදගත් වේ. එය මූලමණ්ඩලය ගැඹුරට වර්ධනය වීමට රුකුලකි. එලෙසම වගාවේ මේරීමේ අවසාන අවදියේදී ගසේ කද පොලවට ආසන්නයෙන් කඩා හැලෙන විට ජල සම්පාදනය සීමා කිරීම හෝ නතර කිරීමද කළ යුතුය.

යල කන්නයේදී සාමාන්‍ය වාරි ජල අවශ්‍යතාවය හෙක්ටයාරයකට සෙ.මී. 70 ක් පමණ වේ. මතුපිට ජල සම්පාදනය, ක්‍ෂුද්‍ර ජල සම්පාදනය (MICRO Jet), බිංදු ජල සම්පාදනය යන ක‍්‍රම ඔස්සේ ද ජල සම්පාදනය කළ හැකිය. විසිරුම් ජල සම්පාදනය දිලීර රෝග පාලනයේදී ගැටළුකාරී බැවින් ප්‍රවේසම් විය යුතුය.

 
01) මතුපිට ජල සම්පාදනය
 

පළමු මාස 2 තුල ජලය සපයන කාල අන්තරය දින 3-4 කට වරක් ලෙස පවත්වා ගන්න. අවසන් මාසයේදී දින 5-6 දක්වා වැඩි කරන්න. පසෙහි වැලි ස්වභාවය අධික නම් දිනකට දෙවරක් පමණ බැගින් වුවද ජලය යෙදීම අවශ්‍ය විය හැකිය.බල්බ මේරීමටත් විශාල වීමටත් ජලය පාලනය  වැදගත්වේ.

අස්වැන්න නෙලීමට සති දෙකකට පමණ පෙර වගාවට ජලය සැපයීම නතර කරන්න. ලොකු ළූණූ වගාව සඳහා මතුපිට ජල සම්පාදනය මගින් ජලය සැපයීමේ වඩාත්ම සුදුසු  ක්‍රමය වන්නේ කාණු මගින් පාත්ති කීපයකට  ජලය සපයා පාත්තියට උරා ගැනීමට සැලැස්වීමයි. මේමගින් රෝග පැතිරීම පාලනය කල හැක.

වියළි කලාපයේ බහුල වශයෙන් දක්නට ලබෙන රතු – දුබුරු පස් සහිත ප්‍රදේශ වල සකසාගත් මීටරයක් පමණ පළල සහ මීටර 4-5 පමණ දිගකින් යුත් සෙ.මී. 15  උස් පාත්ති 3-4ක් වටවන සේ සවිමත් නියරක් සකසා ගන්න. මෙවැනි නියරකින් වටවී ඇති පාත්තිවල උස, සම මට්ටමකින් පැවතීම ජල සම්පාදනයේදී පහසුවක් වේ. සියළුම පාත්ති වටා ජලය ගමන් කළ හැකි වන පරිදි කාණු සකසා ගන්න. නියරට පිටතින් ජලය සපයන  කාණුවත් ජලය ඉවත්  කරන කාණුවත්  යොදන්න. පාත්තියේ මතුපිට ආසන්නයට වතුර බැද පාත්තියට උරා ගැනීමට හරින්න. වැඩි ජලය ඉවත්  කරන කාණුවෙන් ඉවත් කර වගාවෙන් පිටතට  හරීන්න. මේමගින් පාත්ති   කාන්ඩ සදහා වෙන වෙනම ජලය සැපයීම  කලහැකි බැවින්ද  පාත්ති කාන්ඩ හරහා ජලය සැපයීම සිදූනොවන බැවින්ද ජල සම්පාදනයේදී රෝග පැතිරීම අවමවේ.

ළූණූ වගාවේ ජලය සම්පාදනය මෙන්ම වැඩි ජලය හෝ ජලය රඳන ස්ථාන වල ඇති ජලය බැස යාමට සැලැස්වීම වගාවේ සාර්ථකත්වය සඳහා ඉතාම වැඳගත් වේ. දුර්වල ජල වහනය නිසා වගාවේ රෝගී තත්වයන් ඇතිවී වගාව අසාර්ථක විය හැක.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වලදී ක්ෂේත්‍රයේ එලන ලද නල පද්ධතියක් මගින් හා ජල පොම්පයක් භාවිතයෙන් ලොකු ළූණූ පාත්ති මතට ජලය සම්පාදනය කෙරේ. මේ සඳහා බෝගය මතුපිටින් ක්ෂුද්‍ර විසුරුමක් ආකාරයට විසිරුම් හිස් මගින් හෝ බට පද්ධතියේ සවිකර ඇති ජල බිංදු විසර්ජක ඩ්‍රිපර්ස් මගින් බිංදු ආකාරයට හෝ ජලය ලබාදිය හැක.

මෙම බට පද්ධතියෙහි ප්‍රධාන පාලක ඒකකයක් අඩංගු වේ. එයට පොහොර යෙදීමේ උපාංග කට්ටලයක් ද සවිකිරීම මගින් ජලය සමඟ ද්‍රාව්‍ය පොහොර බෝගයේ අවශහ්තාවය අනුව ලබාදිය හැක. ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම මගින් පාංශූ තෙතමන තත්වය නිරතුරුවම ක්ෂේත්‍ර ධාරිතා අවස්ථාවේ පවත්වා ගැනීමට හැකිවීම නිසා පස මතුපිට තද ස්ථරයක් සෑදීම වැළකී ඉතා හොද වාතාශ්‍රයක් මූල මණාඩලයට ලැ‍බේ.මෙයට අමතරව පාංශු උෂාණත්වය මූල මණාඩලයට හිතකර මටිටමක පවත්වාගෙන යාම නිසා අනෙකුත් ජල සම්පාදන ක්‍රම හා සැසදීමේදී මෙම ක්‍රමය මගින් ලොකු ළූණූ අස්වැන්න ගුණාත්මකව හා ප්‍රමාණාත්මකව වැඩිකර ගැනීමට හැකි වේ. ඒ නිසා වගාවේ ආර්ථක වාසිදායක තත්වය වැඩි වේ. මෙම කරුණු වලට අමතරව මෙවැනි ජල සම්පාදන ක්‍රම නිසා මතුපිට ජල සම්පාදන ක්‍රම මගින් ජලය සපයන අවස්ථා වලට වඩා 30% -50% කින් පමණ ජලය ඉතිරිකර ගැනීමටද හැකි වේ.
 
 
 

පිටාර ජලසම්පාදන ක්‍රමයේදී නියරවල් වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින් කුඩා ලියදි සකස් කර (කුඩා බේසම් ආකාරයට) එම ලියදි වල පැල සිටුවීම සිදුවේ. මෙවිට වගා භූමියේ ඉඩ නියරවල් සඳහා වැයවීම සාපේක්ෂව වැඩිය. ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම වලදී ප්‍රමාණයෙන් විශාල ලියදි භාවිතා කෙරේ. මේ නිසා ලොකු ළූණු සිටුවීම සඳහා වැඩි ඉඩ ප්‍රමාණයක් ලැබේ එමගින් ඒකක ක්ෂ්ත්‍රයක පැල සංඛාව වැඩි කර එමගින් අස්වැන්නද වැඩි කර ගත හැකි වේ.

02) බිංදු ජල සම්පාදනය

බිංදු ආකාරයට ක්‍රමික පිළිවෙලකට බෝග මූල පද්ධතියට සෙමින් ජලය සපයන මෙම ක්‍රමය මගින් වැය වන ජල ප්‍රමාණය සාමාන්‍ය ක්‍රමය සඳහා අවශ්‍ය වන ජල ප්‍රමාණයෙන් හරි අඩක් පමණ වේ. මෙය විශාල ජල ඉතිරියකි. මේ සඳහා පෙර තීරණය කරගත් පරතරයකට ක්ෂ්ත්‍රයේ ඇති නල පද්ධතියේ පොලිඑතිලින් පාර්ශික නල මත සවිකර ඇති ජල බ්ංදු විසර්ජක මගින් නියමිත කාලාන්තර වලදී නිරතුරුව ජලය සැපයේ.
 

එමගින් ලොකු ළූණු වගා කර ඇති පසේ මනා තෙතමන තත්වයක් පවත්වා ගැනීමට හැකිවේ. එසේම ලොකු ළූණු සඳහා ආසාදනය විය හැකි ශාක රෝග හා පාංශු රෝග පාලනය කිරීම මෙම ජල සම්පාදන ක්‍රමය නිසා ඉතා පහසු වේ. පාංශු තෙතමනය හා පසට යෙදිය හැකි රසායනික ද්‍රව්යෙඅද පහසුවෙන් මෙමගින් පාලනය කල හැකි වීම මෙයට හේතුවයි.

 

පාංශු තෙමීමේ රටාව

ලොකු ළූණු වගා කරන පස් වර්ගය හා යොදාගන්නා නල පද්ධතියේ ජල බිංදු විසර්ජක මගින් වරකට ලබාදෙන ජල ප්‍රමාණය අනුව පසේ පාර්ශ්වික හා පස තුල සිරස්ව පහලට ජලය පැතිරීමේ ආකාරය සැලකිල්ලට ගත යුතුය.

ලොකු ළූණු වගා කරන
රතු දුබුරු පස
ඇලදොළ ආශිත දියළු පස
රතු කහ පොඩ්සොලික් පස්

වර්ග සඳහා නියමිත ජලය, තෙමීමේ රටාවක් ලබාගැනීම සඳහා පාත්ති සැලසුම හා පාර්ශික නල හා යෙදිය යුතු ජල බිංදු විසර්ජක වර්ගය පහත දක්වා ඇත. පාත්තියක දිග මීටර් 20-50ක් පමණ විය යුතුය. මෙය භාවිතා කරන ජල පොම්පයේ හා පාර්ශ්වික නල වල විෂ්කම්භය අනුව ජල විසර්ජක වල (ඩ්‍රිපර්ස්) ස්වභාවය අනුව වෙනසා විය හැකිය. පාත්ති වල උස සෙ. මී. 18-30ක් පමණ සුදුසු වේ. පාත්ති 2ක් අතර සෙ.මී. 30 ක් පමණ පළල ජලවහන කාණු ඉදිකල යුතුය. ඉතා වියළි කාලවලදී මෙවැනි කාණු නොමැතිව වුවද පාත්ති සැකසිය හැකි නමුත් මෙවැනි ඉඩ ප්‍රමාණයක් පාත්ති අතර තිබීමෙන් වගා පාලන කටයුතු පහසු වේ. පාත්තියක පළල සෙ.මී. 80 – 120 ක් පමණ විය හැකිය. එක් පාත්තියකට පාර්ශ්වික නල දෙකක් යෙදිය යුතුය. මෙම පාර්ශ්වික නලවල සෙ.මි. 40 ක පරතරයකින් ජල බංදු විසරජක තිබිය යුතුය. මෙම විසර්ජක මඟින් පැයකට ලීටර් 12-20 දක්වා විසර්ජනයක් ලබාදිය යුතුය.

 

එවිට දින දෙකකට වරක් පැයක පමණ කාලයක් ජලය ලබා දීම මගින් ළූණූ පාත්තියෙහි පස අවශ්‍ය මට්ටමට තෙත් කර ගත හැකිය. ලොකු ළූණූ වගාවේ පැල සිටවූ මුල් අවධියේදී දිනකට දෙවතාවක් බැගින් හා හොදින් මුල් වැඩුනු පසු දිනකට හෝ දින 2 ට වරක් බැගින් හෝ ජලය ලබාදීම කළ යුතුය. පසේ සෙ. මී. 15-20ක ගැබුරක් දක්වා තෙත්වන පරිදි ජලය සැපයීම වැදගත් වේ.ප්‍රායෝගික වශයෙන් ඉහත දක්වා ඇති කරුණු වගා කරන පස් වර්ගය ප්‍රදේශයේ වාෂාපීකරණ, උත්ස්වේදන වේගය, ළූණු වගා කරන කන්නය උෂාණත්වය යන කරුණු මත සුළු වශයෙන් වෙනස් විය හැකිය. පහත රට වියළි කලාපයේ බෝගයේ උපරිම වර්ධන අවධියේදී හෙක්ටයාර් 1ක් සඳහා දිනකට ජලය ඝන මී. 60-65 (දිනකට මිලි මී. 8-9)ක ප්‍රමාණයක් පමණ අවශ්‍ය වේ.

ජලය සමඟ පොහොර යෙදීම

බිංදු ජල සම්පාදන ක්‍රම මගින් ද්‍රාව්‍ය පොහොර, කෙටි කාලාන්තර වලදී ජලය සමඟ දියකර, නල පද්ධතිය තුලින් සැපයීම වඩාත් වාසිදායකය. මේ සඳහා ජල සැපයුම් පද්ධතියට පොහොර යෙදීමේ උපාංග කට්ටලයක් සවිකර ගත යුතු වේ. මෙහිදී සම්පූර්ණයෙන් ජලයේ දියවන පොහොර වර්ග පමණක් භාවිතා කල යුතු අතර කෙටි කාලාන්තර වලදී බෝගයේ අවශහ්තාවය අනුව පොහොර යෙදීමෙන් ළූණූ බල්බ වල බර හා විශාලත්වය වැඩි වේ.

 

අස්වනු ගුණාත්මයද ඉහළ යයි. දැනට වෙළදපලේ ඇති යුරියා සහ වෙනත් ජලයේ දියවන පොහොර වර්ග මෙලෙස යොදාගත හැක. සාමාන්‍ය ආකාරයට අතින් පොහොර යොදන අවස්ථාවලදී ද එසේ යෙදීමෙන් පසු වාරි පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් පොහොර පස සමඟ මිශ්‍ර වී බෝගයට උරා ගැනීම පහසු කරයි.

03) විසුරුම් ජල සම්පාදනය

බිංදු ජල සම්පාදනය හා සැසදීමේදී විසුරුම් ජල සම්පාදනය ලොකු ළූණු වගාවට ඉතා උචිත වන්නේ ලොකු ළූණු බල්බ කෙටි පරතර වලින් ක්ෂ්ත්‍රයේ සිටුවන බැවිනි. මතුපිට ජල සම්පාදන ක්‍රමයකදී අවශහ් වන ජල ප්‍රමාණයෙන් 2/3ක් පමණ ප්‍රමාණයක් විසුරුම් ජල සම්පාදනය සඳහා තිබීම සෑහේ.

 
විසුරුම් ජල සම්පාදන පද්ධතියක් පිහිටුවීමේදී එක් විසුරුම් හිසකින් අනෙක් විසුරුම් හිසේ පාමුලට ජලය විසුරුවා ලන ආකාරයෙන් පාංශු තෙමීමේ රටාවක් ලැබෙන අන්දමට ජල සැපයුම් පද්ධතිය ක්ෂාත්‍රයේ පිහිටුවිය යුතුය. විසුරුම් ජල සම්පාදන පද්ධතියක් මඟින් ජලය විසුරුවා හැරීමේදී 100% ක තෙමීමේ රටාවක් පසට ලැබෙන පරිදි විසුරුම් හිස් සංස්ථාපනය කලයුතුය.
 
උදා :
විසුරුම් හිසේ තෙමීමේ අරය මී. 5 නම් පාර්ශ්වික නල අතර පරතරය මී. 5 ක් විය යුතු අතර පාර්ශ්වික නල අතර විසුරුම් හිස් වල පරතරය මී. 5 විය යුතුය.
 
ලොකු ළූණූ වගාවකට විසිරුම් හිස් සහිත නල පද්ධතිය යොදන ආකාරය
ලොකු ළූණු සිටුවන පරතරය සෙ.මී.10 x10 (අඟල් 4x 4)
 

පාත්තියක දිග පළල විවිධ ප්‍රමාණ විය හැකි නමුත් හොදින් ජලය බැස යන අයුරු සැකසූ මී. 20 x මී 10 වැනි පාත්ති වඩාත් සුදුසුය. භූමි සැලැස්ම හා ක්ෂුද්‍ර වාරි සැලැස්ම අනුව මෙම දිග පළල වෙනස් විය හැක.

ජල වහන කාණුව

සෙ. මී. 20-30 හා අනුරූප දිග පළල අනුව, විසිරුම් හිස හා එහි ඉහල නැගුම් නලයේ උස නිෂාපාදනය කළ සමාගමේ පිරිවිතර වලට අනුකූලව විසුරුම් හිස් ක්ෂ්ත්‍රයේ සවිකල යුතුය.

උදා : විසුරුම් හිසෙහි තෙමීමේ විශ්කම්භය මී. 10 වන විට 50% අති පිහිත වීමේ රටාව ලබාගැනිමට මී.5×5 පරතරයෙන් විසුරුම් හිස් සවිකල යුතුය.
 

පොළොව මට්ටමේ සිට විසුරුම් හිසට උස

බෝගයට ඉහලින් ජලය පතිත වන ආකාරයට උස සීරු මාරු කළ යුතුය. ලොකු ළූණූ වගාව සඳහා පැයකට ලී. 50 සිට ලී. 180 දක්වා ජල පරිමාවක් විසුරුවා හරින සහ තෙමීමේ අරය මී. 2 සිට මී. 8 පමණ වූ පරාසයක සියුම් ජල බිංදු විසුරුවා හැරිය හැකි විසුරුම් හිස් භාවිතය සුදුසුය.
 
භාවිතා කළයුතු විසිරුම් හිස සියුම් ජල බිංදු විසුරුවා හරින ආකාරයේ එකක් වීම මගින් ජල බිංදු විශාල වීමෙන් ශාකයට හා පසට සිදුවන හානිය වලක්වා ගත හැකිය. ලොකු ළූණූ ශාකවල මූල පද්ධති විහිදී ඇති ගැබුරු තෙමීයන පරිදි පෙරදී තීරණය කරගත් කාල පරිච්ජෙදයක් තුළදී දිනපතා හෝ දින දෙකකට වතාවක් බැගින් හෝ ජලය සැපයිය යුතුය.

එසේම, වගාවේ වර්ධක අවධියේදී පසේ තෙතමනය ක්ෂ්ත්‍ර ධාරිතා අවස්ථාවට ආසන්නව නිරතුරුවම පවත්වා ගත යුතුය. මෙමගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිය. බිංදු ජල සම්පාදනය සඳහා අවශ්‍ය වන ආකාරයට විසුරුම් ජල සම්පාදනය සඳහා ද පාත්ති සකස් කල යුතුය. ක්ෂාත්‍රයේ ජල වහනය ඉතා සතුටුදායක වන ඉඩම් සඳහා සහ වර්ෂාව නොලැබෙන වියළි කාල වල දී ස්ප්‍රින්ක්ලර් යොදා ජල සම්පාදනය කරන්නේ නම්, පාත්ති වල පළල මී.2-5 පමණ මට්ටමක් දක්වා වුවද පවත්වා ගත හැකිය.

කෙසේ නමුත් වගා කාලය තුළ ලැබෙන අමතර ජලය වගා බිමෙන් ඉවත් කරීම සඳහා සුදුසු වන අන්දමට කාණු පද්ධතියක් සැකසීම විශේෂයෙන් වැදගත් වේ. වගාව ක්‍රමයෙන් වැඩෙත්ම විසුරුම් හිස් ඉහලට එසවීම මගින් පාංශු තෙමීමේ රටාව හා ජලය පතිතවීම ශාකයට හානියක් නොවන පරිදි ඒකාකාරස්ව සිදු කරගත හැකිය. විසුරුම් හිස් මගින් ලබාදෙන ජලයෙන් සම්පූර්ණ වගා ක්ෂ්ත්‍රයම තෙමීමකට භාජනය වන අතර, එමගින් මූල මණ්ඩලයේ අවශ්‍ය ගැබුරට ජලය ලැබෙන පරිදි ජල සම්පාදන කාල සීමාව තීරණය කළ යුතුය. පොහොර යෙදීම බිංදු ජල සම්පාදනයේදී මෙන්ම විසුරුම් හිස් මගින් ද ද්‍රාව්‍ය පොහොර පමණක් බෝගයට ලබා දිය හැකිය. මේ සඳහා ජල සැපයුම් නල පද්ධතියට පොහොර යෙදීමේ උපාංග කට්ටලයක් අමතරව සවිකර ගත යුතු වේ.
 

මූලික බිම් සැකසීමේ දී ක්ෂේත‍්‍රය ගැඹුරට පෙරලීම මඟින් ආරම්භයේ දී සැලකිය යුතු ලෙස වල් පැළ පාලනය කර ගත හැකිය. මෙමඟින් අතින් ගැලවීමට ඇති වල් පැල ප‍්‍රමාණය අඩු කර ගත හැකිය.

පාත්ති වල ලූනු පැළ සිටුවා අවසන් වූ වහාම පූර්ව නිර්ගමන වල් නාශකයක් නිවැරදි ආකාරයට යෙදීමෙන් සති 3 – 4 ක කාලයක් වගාවේ වල් පැලෑටි පාලනය කර ගැනීමට හැකිය. මෙහි දී පසේ තරමක තෙතමනයක් පැවතීම වල් නාශකයේ කාර්යක්ෂමතාවය වැඩි කිරීමට හේතු වේ.

මේ සඳහා;

  • ඔක්සිෆ්ලූවොර්ෆෙන් 240 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට මි.ලී.500 යෙදීම.
  • පෙන්ඩිමෙතලීන් 300 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට ලී.5 යෙදීම.
  • ඇලක්ලෝර් 480 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට ලී.5 යෙදීම.

පැල සිටුවා සති 2-3 න් පිදුරු වසුන් යෙදිය හැක. මෙයින් වල් පැල මර්ධනය වීම මෙන්ම ඉහල ගුණාත්මයෙන් යුත් තද පැහැති විශාල ප‍්‍රමාණයේ බල්බ ලබා ගත හැකි වනු ඇත.

  • රෝග – තවාන් දියමලන් කෑමේ රෝගය (Fusarium spp. / Pythium spp. / Rhizoctonia spp. / Sclerotium spp.), පූර්ව දියමලන් කෑම, පශ්චිම දියමලන් කෑම, දිලීර මගින් සිදුවන බල්බ කුණු වීම (Fusarium spp. / Pythium spp. / Rhizoctonia spp. / Sclerotium spp.), බැක්ටීරියා මගින් සිදුවන බල්බ කුණු වීම (Ralstonia solanacearum/ Erwinia spp.), දම් පැල්ලම් රෝගය(Alternaria pori), ඇන්ත‍්‍රැක්නොස්/ඩිස්කෝ පත‍්‍ර දඟර රෝගය (Colletotrichum gloeosporiduies)
  • පළිබෝධ – පැළ මැක්කා, ලූණු දළඹුවන්, ලූණු බල්බ මයිටාවන්

පැළ සිටුවා දින 85 – 100 දී දැනට වගා කරනු ලබන ප‍්‍රභේද බොහොමයක අස්වැන්න නෙලා ගත හැකිය. මෝරන ලද වගාවන් හි පත‍්‍ර කහ පාටවී බල්බයට මදක් ඉහින් (ගෙල) කඩා වැටේ. අස්වැන්න නෙලීමට සති 3 කට පෙර සිට වගාවට කෘමි නාශක යෙදීම ද සති දෙකකට පෙර ජල සැපයුම ද නවත්වන්න.
ක්ෂේත‍්‍රයේ පදම් වීමට ඉඩහැර අස්වනු නෙලා ගැනීම සිදු කරන්න. ක්ෂේත‍්‍රයේ පදම් කිරීමේදී බල්බ මතට තද අව්ව නොවැටෙන සේ තබා ගන්න.

බල්බ වල ගෙල ප‍්‍රදේශයේ කොල පැහැය ඉවත් වන තුරු නෙලා ගත් අස්වැන්න තවදුරටත් පවනේ වියලා පදම් කරගන්න. (බල්බ වල ගෙල ප‍්‍රදේශය හොඳින් සිහින් වන තෙක්) අලෙවිය සඳහා සූදානම් කිරීමේදී බල්බයේ ගෙල කොටසෙහි කොළ පැහැය නැතිවී දුඹුරු පැහැයට පත් වූ පදම් කළ බල්බ වල වියළි පත‍්‍ර ඉවත් කරන්න. බල්බයට හානි නොවන පරිදි ගෙල කොටස සෙ.මී. 2.5 වැනි සුළු ප‍්‍රමාණයක් ඉතිරි කර කපා ඉවත් කළ යුතුය.

හොඳින් පදම් වූ බල්බයට හානි නොවූ බල්බ පමණක් ගබඩා කිරීමට ගන්න. හොඳින් වාතාශ‍්‍රය සහිත අදුරු නොවන වියළි ස්ථානයක රාක්ක මත බල්බ 2 – 3 නොවැඩි ඝනකම සහිත තට්ටුවක් ලෙස බල්බ අතුරා තබන්න. වරින්වර පැලවෙන හා කුණුවෙන ගෙඩි ඉවත් කරන්න. හොඳින් පදම් වූ බල්බ  හොද ගබඩා පාලනයක යටතේ මාස 3 -5 ක් පමණ අවම හානියකින් ගබඩා කර තබාගත හැක.

සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 18 – 20

இப்பக்கம் வடிவமைப்பு செயற்பாட்டில் இருப்பதனால்  அதுவரைக்கும் கீழேயுள்ள பக்கங்களை அணுகவும்.