75 වසරක මෙහෙවර සැමරීමේ සමාරම්භය

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල අතර පැරණිතම විද්‍යාලය වන කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලය 1948 දී ආරම්භ කර ඇත. දේශීයව හා විදේශීයව කෘෂිකර්ම කේෂ්ත්‍රයට මධ්‍යම මට්ටමේ තාක්ෂණ ශිල්පීන් ලෙස මානව සම්පත බිහි කිරීම සඳහා ඉමහත් මෙහෙයක් ඉටුකරමින් සිටින කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයට 2023 වර්ෂයේදී වසර 75 සපිරෙයි.

75වන සංවත්සරය සැමරීමේ ආරම්භක වැඩසටහන ලෙස 2023.01.27 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් හා පසු දින 75නමක් සඳහා දහවල් දානය පිරිනමන ලදී. කෘෂිකර්ම විද්‍යාලයේ ආදී විද්‍යාර්තින් වෙනුවෙන් 79/81 කණ්ඩායම මෙහිදී දහවල් දානය සඳහා අනුග්‍රහය දක්වන ලදී. 75 වසරක කෘෂිකර්ම විද්‍යාලීය මෙහෙවර සඳහා දායක වූ සියළුම විදුහල්පතිවරුන්, කථිකාචාර්වරුන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයට පින් පැමිණවීමත් සිදු කරන ලදී.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ව්‍යාප්ති හා පුහුණු අංශයේ අධ්‍යක්ෂ ජගත් සුදසිංහ මහතා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් හා ආදී සිසුන් සහභාගී විය.