ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීම

ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රවල පවතින ඛනිජ මූලද්‍රව්‍ය පිළිබඳ අවකාශීය සිතියම් එළිදැක්වීමේ උත්සවය 2023 පෙබරවාරි 24 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කෘෂිකර්ම පීඨ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. මෙම අවකාශීය සිතියම් සකස් කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ලෝක බැංකුවේ වේගවත් උසස් අධ්‍යාපන ව්‍යාප්තිය සහ සංවර්ධනය (AHEAD) ව්‍යාපෘතිය මගින් සපයන ලද අරමුදල් වලින් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් පිරිසක් මෙම ව්‍යාපෘතියට එකසේ දායක වූහ.

මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ වී වගා කරන පහත් බිම්වලින් පස් සාම්පල 9,067ක් ලබා ගන්නා ලද අතර ශාක වර්ධනයට අවශ්‍ය අත්‍යවශ්‍ය ඛනිජ මූලද්‍රව්‍ය (පොස්පරස්, පොටෑසියම්, මැග්නීසියම්, සින්ක්, තඹ, මැන්ගනීස්, මොලිබ්ඩිනම්, යකඩ) සහ කොබෝල්ට්, ඇලුමිනියම් සහ සෝඩියම් සාන්ද්‍රණය සඳහා පරීක්‍ෂා කරන ලදී. . මීට අමතරව, විෂ සහිත මූලද්‍රව්‍යවල සාන්ද්‍රණය ද පරීක්ෂා කරන ලදී (ආසනික්, කැඩ්මියම්, ඊයම්). පාංශු සාම්පලවල පාංශු pH අගය සහ විද්‍යුත් සන්නායකතාව (EC) ද මැන බලන ලදී. එම දත්ත අවශ්‍ය පාර්ශ්වකරුවන්ට ලබා දීම සඳහා අවකාශීය සිතියම් ජනනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කරන ලදී.

පහත ආකාරයට ඔබට සිතියම් වෙත ප්‍රවේශ විය හැකිය;

  1. “කෘෂිකර්ම දෙපාර්තමේන්තුව” වෙබ් අඩවියට ගොස්, “සිතියම්” මත ක්ලික් කරන්න, එහි පාංශු පෝෂක තත්ව සිතියම්” මත ක්ලික් කරන්න.
  2. වෙබ් සබැඳිය භාවිතා කරන්න: https://doa.gov.lk/soil-fertility-map/
  3. ගූගල් හි ” පාංශු පෝෂක තත්ව සිතියම් ” යන මූල පද සොයන්න.

ශ්‍රී ලංකාවේ කුඹුරුවල ඇති ඉහත මූලද්‍රව්‍යවල අවකාශීය සිතියම්, එම මූලද්‍රව්‍යවල ව්‍යාප්තිය පිළිබඳ සාරාංශ සංඛ්‍යාලේඛන සහ තීරණාත්මක අගයන් වෙත ප්‍රවේශ වීමට ඔබට හැකි වනු ඇත. ව්‍යාපෘති කණ්ඩායම ලෙස, ඔබගේ තොරතුරු අවශ්‍යතාවය  සහ තීරණ ගැනීම සඳහා මෙම දත්ත සමුදාය භාවිතා කිරීමට අපි ඔබව දිරිමත් කරමු.

ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, කරුණාකර මහාචාර්ය LDB සූරියගොඩ lalith.suriyagoda@agri.pdn.ac.lk ඇමතීමට කාරුණික වන්න.