ශ්‍රී ලංකාවේ වී ක්ෂේත්‍රය තුල පවතින ගැටළු පිලිබඳ අවධානය යොමු කරන විද්වත් වැඩමුළුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ “ශ්‍රී ලංකාවේ වී වගා ක්ෂේත්‍රය” පිළිබඳව විද්වත් වැඩමුළුවක් 2023.02.20 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ දී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරුන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ කෘෂිකර්මයට සම්බන්ධ අනෙකුත් දෙපාර්තමේන්තුවල හා ආයතනවල ප්‍රවීණ විද්‍යාඥයින් හා උසස් නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් සහභාගී විය.

මෙහිදී වැඩමුළුවේ ආරම්භය ලෙස අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) විසින් පිළිගැනීමේ කතාව සිදු කරන ලද අතර, ආරම්භක දේශනය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් තුමිය විසින් සිදුකරන ලදී.

මෙහිදී  රටෙහි වී වගාවේ පවතින වත්මන් තත්ත්වය හා ගැටලු පිළිබඳවත් එමෙන්ම වී වගා ක්ෂේත්‍රයේ  සංවර්ධන කටයුතු පිළිබඳවත්  සැකසුනු ඉදිරිපත් කිරීම් හතරක් ආචාර්ය චමිලා චන්ද්‍රසිරි (සමාජ ආර්ථික හා සැලසුම් මධ්‍යස්ථානය), ආචාර්ය ජයන්ත සේනානායක – අධ්‍යක්ෂ (RRDI), ජගත් සුදසිංහ මහතා – අධ්‍යක්ෂ (ETC) හා සතීස්වරන් මහතා – අධ්‍යක්ෂ (SPMDC) යන මහත්ම මහත්මීන් විසින් සිදුකරන ලදී. 

මෙම වැඩමුළුවේ සවස සැසිය සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද සහභාගී විය.

ශ්‍රී ලංකාවේ වී වගා ක්‍ෂේත්‍රය තුළ මේ වන විට සැලකිය යුතු අස්වනු පරතරයක් මෙන්ම අලෙවිකරණයේ සැලකිය යුතු ප්‍රශ්න රැසකට ද මුහුණ දී සිටි. පවතින අභියෝග හඳුනා ගැනීමටත්, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ක්‍ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය උපාය මාර්ග සැකසීමත්, මෙන්ම  වී ක්ෂේත්‍රයේ තත්ත්‍ව විශ්ලේෂණයක් සිදු කිරීම කාලීන අවශ්‍යතවක් ලෙස හඳුනා ගැනුනි. එබැවින් මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ ලෙස  ශ්‍රී ලංකාවේ වී ක්ෂේත්‍රය සඳහා වසර 3, 5,10 ලෙස ආංශික සැලැස්මක් සකස්කිරීම පිළිබඳව වූ සාකච්චාව  ප්‍රමුකත්වයක් ගෙන තිබුණි. එමෙන්ම එක් එක් ක්ෂේත්‍ර සඳහා, ඉදිරි පස් අවුරුදු කාලය සඳහා නිෂ්පාදන ඉලක්කය නිර්ණය කිරීම, ජාතික වී නිෂ්පාදනය සඳහා කෙටි කාලීන සහ මධ්‍ය කාලීන ප්‍රතිපත්ති, මාර්ගෝපදේශ සකස් කිරීම, වී ක්ෂේත්‍රය සඳහා කෙටි කාලීන හා මධ්‍ය කාලීන වැඩසටහන් සංවර්ධනය කිරීම සහ කෙටි කාලීන ක්‍රියාකාරී සැලැස්මක් හඳුනා ගැනීම ද මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණක් ලෙස ගෙන තිබුණි.