ගොවි ක්ෂේත්‍ර දිනය - 2023
ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, මහඉලුප්පල්ලම

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනය, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය සහ බීජ සහ රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරනු ලැබූ ගොවි ක්ෂේත්‍ර දිනය 2023.07.31 දින මහඉලුප්පල්ලම කෘෂි ක්ෂේත්‍ර සංකීර්ණයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලති මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල නිලධාරීන්, ගොවිජනතාව, පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය හදාරන සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

මෙහිදී, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවතම පර්යේෂණ තොරතුරු, නව බෝග ප්‍රභේද, කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා ජෛව තාක්ෂණයේ යොදාගැනීම් පිළිබඳව මෙන්ම දෙමුහුන් බීජ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම සිදුවිය. පර්යේෂණ මගින් සොයාගනු ලැබූ නව බෝග වර්ග වගා ආදර්ශන, මෙනේරි වර්ග ඇතුළු වගා ආදර්ශන දැකබලා ගැනීමට මෙය මහඟු අවස්ථාවක් වූ අතර ගොවිපල යන්ත්‍රෝපකරණ භාවිතය සහ ප්‍රදේශයේ ක්ෂේත්‍ර තත්වයන්ට අනුව ජලසම්පාදන ක්‍රම භාවිතය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී වීමටද ජනතාවට අවස්ථාව උදා විය.