කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය අභිමානයෙන් සැමරූ වගයි.

කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ 75 වන සංවත්සරය වෙනුවෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ව්‍යාප්ති හා පුහුණු  මධ්‍යස්ථානය හා කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේද සහයෝගය ඇතිව වැඩසටහන් මාලාවක් පැවැත්විණි. 75 වන සංවත්සර උත්සවයට සමගාමීව පිරිත් පිංකමක්ද,ලේ දන්දිමේ වැඩසටහනක්ද, අන්තර් කෘෂිකර්ම විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියක්ද, මහනුවර දිස්ත්‍රික් අන්තර් පාඨශාලීය කෘෂිකාර්මික දැනුම මිණුම තරඟාවලියක්ද කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය විසින් සංවිධානය කර පැවැත්විමට කටයුතු යොදා තිබිණි.මෙම වැඩසටහන් මාලාවේ අවසන් අදියර ලෙස අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනයක් අගෝස්තු මස 04,05 සහ 06 යන දිනයන්හි පවත්වන ලද අතර එහි සමාරම්භක උත්සවය 2023.08.04 දින ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

            සමාරම්භක උත්සවය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවියගේ ආරාධනයෙන් ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා , පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මැතිතුමා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි විය. මෙම සුවිශේෂි අවස්ථාව සදහා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී. මාලතී මෙනවිය ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්,ප්‍රධාන මූල්‍ය නිලධාරී, අධ්‍යක්ෂ වරුන්, අතිරේක අධ්‍යක්ෂ වරුන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශාල නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මීට අමතරව වෙනත් දෙපාර්තමේන්තුවල නිලධාරීන්, පෞද්ගලික අංශයේ නිලධාරීන් සහ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමයේ සාමාජිකයන්ද විශාල සංඛ්‍යාවක් සහභාගි විය.

            මෙහිදී ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා පිළිගැනීමෙන් ඉක්බිතිව 75 වන සංවත්සරයේ සමරුඵලකය නිරාවරණය කරන ලද අතර ඉන් අනතුරුව ගරු අමාත්‍ය තුමා ඇතුළු ආරාධිතයින් ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවේ යෙදිණි. කෘෂිකාර්මික අධ්‍යාපනයේ ප්‍රමුඛ ආයතනයක්  ලෙස  කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය මෙම ප්‍රදර්ශන භූමිය පුරාවට ගොවි ජනතාව , කෘෂිකාර්මික පාඨමාලාවන් හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ පාසල් සිසුන්ගේ කෘෂි අධ්‍යාපනයට අවශ්‍ය දැනුම හා තාක්ෂණය වැඩිදියුණුකරගත හැකිවන පරිදි විවිධ ප්‍රදර්ශන ක්ෂේත්‍ර හා කුටි සකස්කර තිබුණි.

            එමෙන්ම පැමිණි මහජනතාව සඳහා සකස්කර තිබූ වෙළද ප්‍රදර්ශන කුටි මගින් විවිධ කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබද දැනුවත් කිරීම් සහ කෘෂිකාර්මික යෙදවුම් ,උසස් ප්‍රමිතියේ පැල වර්ග ,කෘෂි ආම්පන්න හා කෘෂි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ හැකියාවද උදාකරදී තිබුණි.

            ක්‍රීඩා පිටියේ සකස්කරන ලද විශේෂ මණ්ඩපයක පැවති සමාරම්භක උත්සවය සදහා දහසකට අධික පිරිසක් සහභාගි වූ අතර 75 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද අන්තර් කෘෂිකර්ම විද්‍යාලීය ක්‍රිකට් තරගාවලියේ හා මහනුවර දිස්ත්‍රික්කයේ අන්තර් පාඨශාලීය කෘෂි දැනුම මිණුම තරගාවලියේ ජයග්‍රාහකයින් උදෙසා ජය සංකේත ප්‍රදානය ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා අතින් මෙහිදී සිදු විය.

            කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා දහස් සංඛ්‍යාත ඩිප්ලෝමාධාරීන් බිහි කිරීම සදහා මහත් කැපවීමකින් කටයුතු කරන ලද විදුහල්පතිවරුන් හා කථිකාචාර්යවරුන් වෙනුවෙන් ගුරු උපහාර තිලිණ ප්‍රදානයක් සංවිධානය කරතිබීම මෙම උත්සවයේ කැපීපෙනුණු සුවිශේෂ කාර්යක් විය.

            “විදු බිමෙන් තාක්ෂණය හෙටට” යන තේමාව යටතේ සමාරම්භ දිනයද සමගින් දින 03ක් පුරාවට පැවති මෙම අධ්‍යාපනික හා වෙළද ප්‍රදර්ශනය නැරඹීම සදහා ගොවි ජනතාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශවල නිලධාරීන් ,පාසල් සිසුන් හා වෙනත් කෘෂිකර්ම පාඨමාලා හදාරණ සිසුන් ඇතුළු දසදහස් සංඛ්‍යාත පිරිසක් දිනපතා පැමිණෙනු දක්නට ලැබුණි.