කෘෂි තාක්ෂණ දැක්ම Agri tech – 24

37 ආසියා ෆැසිපික් සමුළුවට සමගාමීව ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ සංකල්පයකට අනූව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ සියළුම ආයතන සහ පෞද්ගලික ආයතන 150ට අධික සහභාගීත්වයෙන් “කෘෂි තාක්ෂණ දැක්ම – 2024” කෘෂි ප්‍රදර්ශනය මාර්තු මස 2,3,4 සහ 5 යන දිනයන්හි හුංගම බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානයේදී සාර්ථකව පැවැත්විණි.

ගරු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යතුමන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියකගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රදර්ශනය මහජනතාවට විවෘත විය.

නව තාක්ෂණය ගොවි ජනතාවට, කෘෂි ව්‍යවසායකයින්ට හා පාසැල් සිසුන්ට ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය. මාර්තු 02 කෘෂිකර්ම දිනය, මාර්තු 03 පශු සම්පත් සංවර්ධන දිනය, මාර්තු 04 වැවිලි කර්මාන්ත දිනය, මාර්තු 05 ග්‍රාමීය සංවර්ධන දිනය ලෙස තේමාවන් 04ක් ඔස්සේ මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බටඅත කෘෂි තාක්ෂණික උද්‍යාන භූමියේ පැවති සාම්ප්‍රධායික හේන, නාගරික ගෙවත්ත, ඌණ භාවිත පළතුරු උද්‍යානය, වී වගා ක්ෂේත්‍රය, නව තාක්ෂණික එළවළු වගාව සහ මත්ස්‍ය සම්භාහන පොකුණ මහජනතාව අතර, ඉතාමත් ආකර්ශනය ලත් ස්ථාන විය. බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය මහජනතාවට නැරඹීමට පෙළඹවීමක් මෙම ප්‍රදර්ශනය හරහා සිදුවිය.

එමෙන්ම එළවළු, පළතුරු සහ අතිරේක ආහාර බෝගවල රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය හා නඩත්තුව පිළිබඳ ප්‍රායෝගික පුහුණුව සහ ආදර්ශන, එළවළු හා අතිරේක ආහාර බෝගවල අස්වනු නෙලීම සහ පසු අස්වනු නෙලීම සම්බන්ධ තාක්ෂණික දැනුම ලබාදීම, ජල සැපයුම සහ අනෙකුත් ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සඳහා නවීන තාක්ෂණය සහ යාන්ත්‍රීකරණය පිළිබඳව ආදර්ශන පැවැත්වීම. දෙමුහුම් බීජ නිෂ්පාදනයේ වගා තාක්ෂණයන්, ගොවිපල යාන්ත්‍රීකරණය, උසස් තාක්ෂණ කෘෂිකර්මය වැනි බොහෝ තොරතුරු මහජනතාවට ප්‍රායෝගිකව කෘෂි විශේෂඥයින් මෙන්ම පර්යේෂණ ක්ෂේත්‍රවල අත්දැකීම් ලත් පිරිසකගෙන් ලබාදීමට හැකිවිය.