Field Crops – Sweet Corn – Sinhala

පැණි ඉරිඟු

Zea mays convar. saccharata var.
Family – Poaceae

සාමාන්‍ය බඩඉරිඟු බීජ වල භ‍්‍රෑණපෝෂයේ සීනි පිෂ්ඨය බවට පත්වීම පාලනය කරනු ලබන ජාන වල ස්වාභාවිකව සිදු වූ ස්වංජාත නිලීන විකෘතියක ප‍්‍රතිඵලයක් ලෙස පැණි ඉරිඟු (Sweet Corn) ඇති වූ බවට විශ්වාස කෙරේ. කිරි කරල් ලෙස අස්වනු නෙලූ අවස්ථාවේ සිට භ‍්‍රෑණපෝෂයේ සීනි පිෂ්ඨය පවට පත් වී පැණි රස අඩු වීම වේගයෙන් සිදුවේ. එබැවින් නැවුම් ව ආහාරයට ගැනීම එහි නියම රසය විදීමට වැදගත් වේ. ගබඩා කිරීම හෝ ප‍්‍රවාහනය සිදු කරන්නේ නම් ශීත තත්ත්ව සිදුකල යුතුය. එමෙන්ම ටින් කිරීම මඟින් ද කල් තබා ගත හැක. ශී‍්‍ර ලංකාවේ සැලකිය යුතු වගා වපසරියක පැණි ඉරිඟු වගාව සිදු කෙරුණත්, මේ සඳහා නගරබද ප‍්‍රදේශ වල විශේෂ ඉල්ලූමක් පවතියි (සංචාරක හොටල් ආශ‍්‍රිතව). එමෙන්ම ටින් කරන පැණි ඉරිඟු සැලකිය යුතු ප‍්‍රමාණයක් අපේ රටට වාර්ෂිකව ආනයනය කරනු ලබයි.

Sweet Corn
පැණි ඉරිඟු වගාව
  • සාමාන්‍ය බඩ ඉරිඟු මෙන්ම හොඳින් පැතිරී ගිය වර්ෂාපතනයක් අවශ්‍යයයි. ප‍්‍රශස්ථ වාර්ෂික වර්ෂාපතනය 600-1000 mm පමණ වේ. මීට වඩා අඩු වර්ෂාපතන තත්ත්ව යටතේ ජල සම්පාදනය අවශ්‍ය වේ.
  • හොඳින් වර්ධනය සඳහා ප‍්‍රශස්ථ උෂ්ණත්වය 25 – 30°C ක්‍ පමණ වේ. අධික ලෙස ආම්ලික හෝ භාෂ්මික නොවන ගැඹුරු ජල වහනය හොඳින් පවතින ලෝම පසක් ඉතා සුදුසුය.
  • පී.එච්. අගය 5.8 සිට 7.0 අතර පැවතීම සුදුසුය.
  • අනෙක් බඩ ඉරිඟු වගාවන්ගෙන් වෙන්ව වගාව පවත්වාගත හැකි නම් ප‍්‍රභේදයට ආවේනික බීජ වල ඒකාකාරි පැහැය රසය හා ව්‍යුහය පවත්වා ගත හැක.

පැණි ඉරිඟු සඳහා වසරේ පුරා ම ඉල්ලූමක් පවතින බැවින් ලෙඩ රෝග මනාව පාලනය කල හැකිනම් ජල සම්පාදනය යටතේ වියළි හා අතරමැදි කලාපවල පවතින උස්බිම්වල මහ කන්නයේ දී මෙන්ම කුඹුරු ඉඩම් වල යල කන්නයේ ද නියමිත කාලයකින් තොරව ද සාර්ථකව වගා කළ හැක.

විදේශයන් ගෙන් ආනයනය කරන ලද ප‍්‍රභේද කිහිපයක් ම නිර්දේශ කර ඇත.

ආනයනික ප‍්‍රභේදය

සාමාන්‍ය කරල් අස්වැන්න mt/ha

බීජ ක්‍ෂේත‍්‍රයේ පිහිට වූ දින සිට අස්වනු නෙලීමට ගතවන කාලය දින

Super sweet corn

8.5-9.0

72-73

Sugar star

7.5-8.0

69-71

Sugar queen

8.5-9.0

69-71

Golden cob

8.0-8.5

69-70

Golden sweet

8.5-9.0

69-70

SA 20

9.0-10

75-77

SA 40

8.0-9.0

75-77

Hybrix- 39

8.5-9.0

72-74

  • ඉහත දක්වා ඇති දෙමුහුම් ප‍්‍රභේද අක්කරයක් සඳහා බීජ අවශ්‍යතාවය කි.ග‍්‍රෑ. 3.0 – 3.5

පේළි දෙකක් අතර පරතරය සෙ.මී. 60 ක් ද පේළිය තුළ සෙ.මී. 30 ක් ද පවත්වා ගනිමින් ක්‍ෂේත‍්‍ර බීජ ස්ථාපනය කල යුතුය. එක් සථානයක එක් පැළයක් නඩත්තු තල යුතුය.

  • අවම වශයෙන් සෙ.මි. 15-20 ගැඹුරට පස පෙරලීමක් කල යුතුය.
  • සියුම්ව සකසා සමතලා කර ගත් හොඳින් ජලය බැස යන බිමක් බීජ සිටුවීමට වඩාත් යෝග්‍ය වේ.

අවස්ථාව අනුව පොහොර

යූරියා (කි.ග්‍රෑ./හෙක්.)

ත්‍රිත්ව සුපර් පොස්පේට්

(කි.ග්‍රෑ./හෙක්.)

මියුරියේට් ඔෆ් පොටෑෂ්

(කි.ග්‍රෑ./හෙක්.)

මූලික පොහොර

75

100

50

මතුපිට පොහොර (සති 4-5 දී)

250

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

මුල් සති 3 – 4 කාලය තුල වල් පැළෑටි වලින් තොරව ක්‍ෂේත්‍රය පවත්වා ගත යුතුය. බීජ සිටුවා දින 10 – 15 අතර පහත සඳහන් පශ්චිම නිර්ගමන වල් නාශකයක් නිවැරදි ආකාරයට යෙදීමෙන් වල් පැල පාලනය කර ගත හැක. ටොප්රොටසෝන් 336 ග්‍රෑම්/ලීටරයට එස්.සී.මේ සඳහා හෙක්ටයාරයට මි.ලී. 100 යෙදීම. නිකොසැල්ෆියුරොන් 40 ග්‍රෑම්/ලීටරයට ඕ.ඩී. හෙක්ටයාරයට මි.ලී. 1250 යෙදීම.

රෝග – කොපු අංගමාරය, කොළ පාළුව, බැක්ටීරියා කඳ කුණු වීමේ රෝගය, දුඹුරු පුල්ලි රෝගය, මලකඩ රෝගය, හෙල්මින්තස්පෝරියම් පත්‍ර පුල්ලි රෝගය, නොදර්න් පත්‍ර අංගමාරය

පළිබෝධ – කූඩිත්තා, කරල් විදින දළඹුවා, බඩ ඉරිඟු ගුල්ලා, පුරුක් පණුවා, සේනා දළඹුවා

  • අස්වනු නෙලීමට වඩාත් සුදුසුම අවස්ථාව හඳුනා ගැනීම බීජවල රසය සහ ව්‍යුහය කෙරෙහි බලපායි. එබැවින් බීජ අතේ ඇඟිලි අතර තබා තද කරන විට කිරි පාට දියරයක් පිටතට ඒනම් සහ බීජ වල රස පරීක්‍ෂා කර හෝ ප‍්‍රභේදයට අදාල නිශ්චිත දින ගණනට ගත වූ පසු අස්වනු නෙළිය යුතුය. අස්වනු නෙලූ විගස ශීත ගබඩා කිරීම හා ප‍්‍රවාහනයේදී ශීත තත්ත්ව යටතේ එය සිදු කිරීම අත්‍යාවශ්‍ය වේ.
  • කරල් ලෙස තම්බා ගන්නා විට හුමාලය භාවිතා කල හැකිනම් පැණි ඉරිඟු ඉතා හොඳින් රස විඳිය හැක.