Field Crops – Porso Millet – Sinhala

මෙනේරි

හැදින්වීම

Panicum milliaceum L. යන විද්‍යාත්මක නමින් හැඳින්වෙන මෙනේරි ශී‍්‍ර ලංකාවේ අඩුවෙන් අවධානයට ලක් වූ ඉතා ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත වන සුළු ධාන්‍ය බෝගයකි (Minor millet). මිනිසා විසින් පළමුවෙන්ම වගාව සඳහා තෝරාගත් බෝගයන් අතර විශේෂ තැනක් අත්කරගෙන සිටි මෙනේරී දැනට පවතින තොරතුරු අනුව චීනයේ දී සම්භවය වූ බවට විස්වාස කරයි. මෙනේරි ධාන්‍ය මිනිස් ආහාරයක් ලෙස මෙන්ම සත්ත්ව ආහාරයක් ලෙස ඇමරිකාවේ යුරෝපයේ දී භාවිතයට ගැනේ.

කෙටි කාලයක් තුලදී මේරීම සිදු වී අස්වනු නෙලීම සිදු කල හැකි බැවින් අඩු වර්ෂාපතනයක් පවතින ප‍්‍රදේශවල හා පසේ අඩු පෝෂක තත්ත්වයන් නිසා අනෙකුත් බෝග වගාව සිදුකිරීමට අපහසු ඉඩම් සඳහා සුදුසු බෝගයකි. සාපේක්‍ෂව වියළි පරිසරයට වඩාත් සුදුසු වන අතර අනෙකුත් බෝ වලට වඩා සමශීතෝෂ්ණ පරිසර තත්ත්වයන්ට හොඳින් ගැලපේ.

නොගැඹුරු මූල පද්ධතියක් සහිත ශාකය වර්ග අනුව සෙ. මි. 30 සිට 100 දක්වා වර්ධනය වේ. කඳ කුහර සහිත වන අතර පත‍්‍ර ලංසාකාරව පවතියි. හොඳින් පඳුරු දමන බෝගයකි. පුෂ්ප මංජරිය වී ශාකයේ මෙන් හැඩයක් ගන්නා අතර උපරිමව සෙ. මි. 45 දක්වා උසකට වර්ධනය වේ. බීජයක දිග මි. මි. 2- 2.5 ක් ද පළල මි. මි. 2 පමණ ද වන ඕවලාකාර හැඩයක් ගනී. බීජ වල පැහැය සුදු පැහැයේ සිට ක‍්‍රීමි දුඹුරු හා කළු පැහැය දක්වා පරාසයක පවතියි. එමෙන්ම බීජ දහසක ස්කනධය 5-6.5 g ක අගයක පවතියි.

බීජ 100g ක අඩංගු වන පෝෂණීය අගයයන්

පෝෂණ සංඝටකය

අඩංගු ප‍්‍රතිශතය %

ජලය

11.9

කාබොහයිඬේට

68.9

ප්‍රෝටීන

12.5

ඛණිජ ලවණ

3.4

කෙඳි

2.2

Proso Millet
මෙනේරි වගාව

පෝෂක ගුණාංග වලින් අඩු ආන්තික ඉඩම් වල සිට කාබනික ද්‍රව්‍යන් බහුල ව පවතින හොඳින් ජලය බැසයන පාංශු තත්ත්ව යටතේ මෙම බෝගය වගාකල හැක. වාර්ෂික වර්ෂාපතනය මි. මි 300 තරම් අඩු තත්ත්වයක් යටතේත් ශාකය හොඳින් වර්ධනය වී සැලකිය යුතු අස්වැන්නක් ලබා දේ. ශ‍්‍රී ලංකාවේ පාරම්පරික හේන් වගාව සමඟ ගැළපෙන වර්ෂාපතනය අඩු යල කන්නය සඳහා වඩාත් සුදුසු බෝගයකි.

ක්‍ෂේත‍්‍රයේ පේළියට බීජ දැමීමට අක්කරයක් සඳහා කි. ග‍්‍රෑ 3.5 – 4.5 පමණ අවශ්‍ය වේ.

වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ වගාවට වඩාත් සුදුසු බෝගයක් වුවත් ජල සම්පාදනය යටතේත් වගාකිරීමේදී හොඳ වර්ධනයක් හා පඳුරු දැමීමක් ක්‍ෂේත‍්‍රයේ නිරීක්‍ෂණය කර ඇත. එබැවින් පාංශු හා කාලගුණික තත්ත්වයන් අනුව දින 7-10 වරක් ක්‍ෂේත‍්‍රයට ජල සම්පාදනය කිරීම ප‍්‍රමාණවත් වේ.

මෙනේරි පොහොර සඳහා හොඳින් ප‍්‍රතිචාර දක්වන බැවින් අකක්කරයට යූරියා කි. ග‍්‍රෑ 26 ක් ද සුපර් පොස්පේට් කි. ග‍්‍රෑ 22 ක් ද හා මියුරේට් පොටෑෂ් කි. ග‍්‍රෑ 33 ක් ක්‍ෂේතයේ බීජ ස්ථාපනයට පෙර පසට මිශ‍්‍ර කිරීම හා මතුපිට පොහොර ලෙස යූරියා කි. ග‍්‍රෑ 52 ක් බීජ වපුරා සති 4- 5 කින් පමණ මතුපිට ඉසින්න. පොහොර යොදන අවස්ථාවේ දී පසේ අවශ්‍ය ප‍්‍රමාණයට තෙතමනය පැවතීම ඉතා වැදගත් වේ.

මූලික අවස්ථාවේදී මෙනේරි ශාකයේ වර්ධනය අඩු බැවින් වල් පැළෑට් සමඟ තරඟ කිරීම අපහසු නිසා ක්‍ෂේත‍්‍රයේ වල් මර්දනය ඉතා වැදගත් වේ.

රෝග හා කෘමි හානි අවම වන අතර කුරුල්ලන්ගේ හානිය ඉතා අධික බැවින් කුරුල්ලන්ගෙන් වගාව ආරක්‍ෂා කරගැනීමට වගබලා ගැනීම වැදගත් වේ.

දැනට ගොවීන් විසින් භාවිතා කරන වර්ග හා පර්යේෂණ මට්ටමේ පවතින වර්ග බොහොමයක බීජ දින 65-70 අතර කාලයක දී මේරීම සිදු වේ. එබැවින් එම කාලය ගත වූ පසු ක්‍ෂේත‍්‍රය පරීක්‍ෂා කර බලා මෙනේරි පඳුරේ මුලින්ම කපා අස්වනු නෙලා ගත හැක.

සාමාන්‍ය වගා තත්ත්ව යටතේ දැනට හඳුනා ගෙන ඇති වර්ග හෙක්ටයාරයකට මෙ. ටො. 2.0-2.5 ක (අක්කරයට කි.ග‍්‍රෑ. 800-1000) බීජ අස්වැන්නක් ලබා දේ.

කකුලෙන් පෑගීම මඟින් හෝ මල්ලකට දමා තදින් පහර දීමෙන් කුඩා වපසරියකින් කපා ගත් කරල් වලින් බීජ වෙන්කර ගත හැක. එමෙන්ම මහා පරිමාණයේ වගාවකදී අත් ට‍්‍රැක්ටරය මඟින් හෝ වෙනත් බීජ වෙන්කරන යන්ත‍්‍රයක් භාවිතා කරමින් බීජ වෙන්කර ගැනීම සිදුකල හැක.

බීජ කුඩා ප‍්‍රමාණයක් නම් භ‍්‍රෑණ පෝෂය ට ඉතා තදින් බැඳී ඇති මෙනේරි බීජයේ පොත්ත ඉවත් කිරීමට නිවසේ පවතින වංගෙඩිය භාවිතා කල හැක. මහා පරිමාණයෙන් බීජ සකස් කරන්නේනම් සාමාන්‍ය වී අඹරන යන්ත‍්‍රය ඉතා සුළු වෙනස් කිරීමකින් පසුව භාවිතා කිරීමේ හැකියාව පවතියි.