Field Crops – Groundnut – Sinhala

රටකජු

Arachis hypogaea
Family – Fabaceae

හැදින්වීම
වියළි හා අතරමැදි කලාපවල මහ කන්නයේදී උස්බිම්වල අහස් දියෙනුත්, යල කන්නයේදී කුඹුරුවල ජල සම්පාදනය යටතේත් රටකජු වගාකළ හැකිය. මෙයට අමතරව වගා ලිං යටතේ යල කන්නයේදී උස් බිම් වගාවක් ලෙසද මෙය සුදුසුය.

ශී‍්‍ර ලංකාව තුල ප‍්‍රධාන වශයෙන් බැද හෝ රසකැවිලි ආශි‍්‍රත නිෂ්පාදන ලෙස හෝ තම්බා ආහාරයට ගන්නා රටකජු, වැඩි මේද (48 %) හා ප්‍රෝටීන් (26 %) ප්‍රමාණයක් අඩංගු නිසා ශක්තිය ලබාදෙන ආහාර අතර ප්‍රධාන තැනක් හිමිවේ. වාර්ෂිකව හෙක්ටයාර් 20000 ක පමණ වගා කරයි.

222
රටකජු වගාව

වර්ධක අවධිය තුළ තෙත් සිසිල් කාළගුණයක් ද කරල් මෝරන අවස්ථාවේ වියළි කාලගුණයක් අවශ්‍ය වේ. වියළි කලාපයේ සහ අතර මැදි කලාපයේ සාර්ථකව වගා කළ හැකි බෝගයකි. බීජ ප‍්‍රරෝහනයට 30°C පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වේ.

වර්ෂා පෝෂිත සහ ජල සම්පාදිත තත්ත්වය යටතේ රටකජු ප‍්‍රධානව වගා කරයි. අතරමැදි කලාපයේ සහ වියළි කලාපයේ මහ කන්නයේදී (ඔක්තොම්බර්) ද වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ උස් බිම් වලද ජල සම්පාදිත තත්ත්ව යටතේ කුඹුරු ඉඩම් වල ද වගා කළ හැක. යල කන්නයේ අපේ‍්‍රල් මාසයේ වගා කළ හැක.

මනා ජල වහනයක් සහිත වැලි ලෝම පස වඩාත් සුදුසුය. පී.එච්. අගය 6.5 – 7.0 පමණ වීම යෝග්‍යය.

ඉන්දි
මාස 3½ ප‍්‍රභේදයකි. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2500 – 2800. අංකුර කුණුවීමේ රෝගයට ප‍්‍රතිරෝධී වේ.

ටිකිරි
මාස 3½ ප‍්‍රභේදයකි. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2000 – 2500. තම්බා කෑමට යෝග්‍ය ප‍්‍රභේදයකි.

තිස්ස
මාස 3½ ප‍්‍රභේදයකි. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2000 – 2500. අඩු පාංශු තෙතමන තත්ත්වයන්ට ඔරොත්තු දීමක් පෙන්වයි.

ANKG,1
මාස 3½ ප‍්‍රභේදයකි. විභව අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2300 – 3000. රතු පැහැති බීජාවරණයක් ඇත.

වලව
මාස 4 – 4½ ප‍්‍රභේදයකි. විභව අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2500 – 3000. විශාල බීජ සහිතයි.

ලංකා ජම්බෝ
මාස 3ඃ ප‍්‍රභේදයකි. විභව අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2500 – 4400. විශාල බීජ සහිතය.

  • ලංකා ජම්බෝ සහ වලව ප‍්‍රභේද සදහා කරල් (පොතු සහිත) හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 130.
  • බීජ (පොතු රහිත) හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 100.
  • සෙසු ප‍්‍රභේද සදහා කරල් (පොතු සහිත) හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 100.
  • බීජ (පොතු රහිත) හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 70.

පේලි අතර සෙ.මී. 45 ක් සහ පේලියක පැල අතර සෙ.මී. 15

සෙ.මී. 15 – 20 පමණ ගැඹුරට පස පෙරලා දෙවරක් පමණ කැට පොඩි කර ගන්න. පසේ ස්වභාවය අනුව ඇලි වැටි දැමීම, උස් පාත්ති සැකසීම හෝ පාත්ති නොමැතිව වගා කල හැක. සකසා ගත් ක්ෂේත‍්‍රයේ එක් වලකට එක් බීජයක් වන සේ සෙ.මී. 2.5 – 3.0 පමණ ගැඹුරෙන් සිටුවන්න.

බීජ කි.ග‍්‍රෑ. 1.0 කට තිරාම් ග‍්‍රෑම් 2.0 (2g) හෝ තයෝෆනේට් මීතයිල් 50% + තිරාම් 30% මිශ‍්‍රණය ග‍්‍රෑම් 2.0 ක් වන ලෙස සිටුවීමට පෙර මිශ‍්‍ර කරන්න. බීජ සුප්තතාවය පවතී නම් සිටුවීමට පෙර වතුර ලීටර් 1 ට ඒත‍්‍රල් මි.ලී 5 වන සේ බීජ වලට යොදා පවනේ වියළා ගැනීම මගින් බීජ සුප්තතාවය ඉවත් කල හැක.

සිටුවා සති 4 -6 ක් පමණ වූ විට පැල අසලට පස් එකතු කරන්න. එමඟින් මල් වලින් ඇති වෙන කරල් හට ගන්නා කොටස (ජායාංගධරය) පස තුලට ඇතුළු වීම පහසු කරවයි.

මුල් සති තුන තුළ දී දින 4 කට වරක් ද ඊට පසු සතියකට වරක් ද ජල සම්පාදනය කරන්න. මල් පිපෙන අවධියේ පස තෙත්ව තිබීම ජායාංගධර පස තුළට යැවීමට පහසු කරයි.

පොහොර යොදන අවස්ථාව යූරියා (කි.ග‍්‍රෑ./හෙක්.) ත‍්‍රිත්ව සුපර් පොස්පේට් (කි.ග‍්‍රෑ./හෙක්.) මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග‍්‍රෑ./හෙක්.)
මූලික පොහොර 35 100 75
මල් හට ගැනීමේ දී 30
සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

බීජ සිටුවා සති 3 දී හා 6 දී වගාවේ වල් පැලෑටි පාලනය කරන්න. සති 6න් පසුව බෝගය මඟින් භූමිය ආවරනය කර ගන්නා නිසා ස්ථානීය වල් මර්දනය ප‍්‍රමාණවත්ය. බීජ සිටවූ වහාම පූර්ව නිර්ගමන වල්නාශකයක් වන ඇලක්ලෝර් 480 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට ලී.5ක් යෙදීමෙන් සති 3-4 පමණ කාලයක් වල් පැල පාලනය කර ගත හැක. පසේ තෙතමනය පවත්වා ගැනීම වල් නාශකයේ කාර්යක්ෂමතාවය වැඩි වීමට හේතු වේ.

රෝග – පූර්ව හා පශ්චිම පත‍්‍ර පුල්ලි රෝගය, පාදස්ථ කුණු වීම, බැක්ටීරියා හිටු මැරීම මලකඩ රෝගය, අංකුර කුණුවීමේ රෝගය
පළිබෝධ – පත‍්‍ර කන දළඹුවා, කුඩිත්තා

කරල් වලින් 75% – 80% පමණ මෝරා ඇති අවස්ථාවේ අස්වනු නෙලන්න. මේ සඳහා වගාවේ විවිධ ස්ථාන වලින් පඳුරු කිහිපයක් ගලවා කරලේ පොත්තේ ඇතුල් පැත්ත දුඹුරු පැහැ ලප ඇති වී දැයි බලන්න. ශාකයේ පත‍්‍ර වල පැහැය කහ වර්ණයට හැරීම ද, කරලේ පොත්තේ ඇතුල් පැත්ත දුඹුරු පැහැ වී ඇති විට බෝගය අස්වනු නෙළුමට සුදුසු අවස්ථාවට පැමිණ ඇති බව නිගමනය කළ හැක. වගාවේ බීජ සදහා භාවිතා කිරීමට 8% දක්වා තෙතමනය අඩුකර ගන්න.

සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 1.8 වන අතර යහපත් වගා පාලන ක‍්‍රම අනුගමනය කිරීමෙන් හෙක්ටයාරයකට ටොන් 2.5 – 3.0 ලබා ගත හැක.