Field Crops – Finger Millets – Sinhala

කුරක්කන්

ආසියානු හා අප‍්‍රිකාණු රටවල සම්භවය වී ඇති කුරක්කන් වැඩි පෝෂණීය වටිනාකමක් සහිත වේ.
වියළි හා අතරමැද කළාපවල සාර්ථකව වගා කළ හැකි බෝගයකි. වර්තමානයේදී හෙක්ටයාර් 5000 පමණ වපසරියකට කුරක්කන් වගාව සීමාවී ති‍බේ. කෙසේ වුවද කුරක්කන් කෙරෙහි පවතින ඉල්ලුම නිසා මෑතකදී සිට ආනයනය කිරීමට පවා සිදුවී ඇත. එහි පවතින ඖෂධීය ගුණ නිසා බොහෝ දෙනෙකුගේ අවදානය මෙම වගාව කෙරෙහි මෑතකදී සිට වැඩිපුර යොමු වීමට හේතු වී තිබේ.

Fingermillets
කුරක්කන් වගාව

වර්ෂා පෝෂිත තත්ත්ව යටතේ හෝ ජල සම්පාදනය යටතේ වියළි සහ අතර මැදි කලාප වල ද කුරක්කන් වගා කළ හැක. උෂ්ණත්වය 18°C – 27°C අතර සහ වාර්ෂික වර්ෂාපතනය මි.මී. 800 – 1000 ක් ලැබෙන ඕනෑම ප‍්‍රදේශයක වගා කළ හැක.මහ කන්නයේදී වර්ෂා ජලයෙන් මෙන්ම යල කන්නයේදී ජල සම්පාදනය යටතේ මෙම බෝගය වගා කළ හැකිය.

කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ජලය හොඳින් බැස යන සාරවත් පසක් (වැලිමය ලෝම) සුදුසුය. පී.එච්. අගය 5 සිට 8.2 අතර පැවතීම සුදුසුය.

මහ කන්නයේ දී ඔක්තෝබර් මස දී වගාව ආරම්භ කළ යුතුය. යල කන්නයේදී අපේ‍්‍රල් මස මුල සිට මැයි මාසය දක්වා කාලය තුළ වගාව ආරම්භ කරන්න. ජල සම්පාදන ආකාරය අනුව වගා කළ යුතු කාලය වෙනස් වේ.

රාවනා
සෙ.මී. 70 – 80 උසැති සෘජු වර්ධන විලාශයක් ඇති ප‍්‍රභේදයකි. යල කන්නයේ ජල සම්පාදනය යටතේ වගාවට සුදුසුය. අස්වනු නෙලීමට ගත වන කාලය දින 100 – 120 (මාස 3½-4) වේ. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2500 – 4000

ඕෂධ
සෘජු වර්ධන විලාශයක් ඇත. උස සෙ.මී. 90 – 96 පමණ වේ. කොළ පාලූවට ඔරොත්තු දෙන නිසා මහ කන්නයට සුදුසු වේ. අස්වනු නෙලීමට ගත වන කාලය දින 100-120 (මාස 3½-4) වේ. අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2500 – 3500

වැපිරීම සඳහා – හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 8.0
පැළ සිටුවීම – හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 2.0

පේළියට බීජ දැමීමේ දී හා පැළ සිටුවීමේ දී පේළි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 30 ක් (යාන්ත‍්‍රික වල් මර්ධනය භාවිතා කරන්නේ නම් පේළි පරතරය සෙන්ටිමීටර 45 ක් පවත්වා ගන්න) සහ පැළ දෙකක් අතර පරතරය සෙ. මි. 10 -15 පමණ පවත්වා ගන්න.

තවාන් කළමනාකරණය
  • තවාන් දැමීම යල කන්නයේ අපේ‍්‍රල් මුල් සතියේ සහ මහ කන්නයේ දී සැප්තැම්බර් මුල් සතියේ සිදු කළ යුතුය.
  • පැළ සිටුවීම සඳහා බීජ අවශ්‍යතාව හෙක්ටයාරයකට කි. ග‍්‍රෑම් 2 කි.
  • මතුපිට සමතල පාත්ති සියුම්ව සකස් කර ගන්න.
  • හොඳින් දිරාපත් වූ කාබනික පොහොර කිලෝග‍්‍රෑම් 5-6 ක් පාත්තියක ට එකතු කර පස සමඟ මිශ‍්‍ර කරන්න.
  • පිදුරු හා දහයියා තට්ටු එක මත එක මාරුවෙන් මාරුවට ස්ථර 4 ක් යොදා පුළුස්සා ගැනීමෙන් තවාන් පාත්ති ජීවාණුහරණය කර ගන්න. පහළ තට්ටුව සෙ. මි. 3-5 ක් පමණ ඝනකමකින් යුත් පිදුරු තට්ටුවක් විය යුතු අතර ඒ මත සමාන ඝකමක් සහිත දහයියා තට්ටුවක් තිබිය යුතුය.
  • ජීවාණුහරණය කිරීමෙන් පසු ප‍්‍රමාදයකින් තොරව බීජ තවාන් කිරීම කළ යුතුය.
  • නොදැවුනු පිදුරු සහ දහයියා ඉවත් කිරීමෙන් පසු පාත්තියේ මතුපිට පස ඉතිරි අළු සමග මිශ‍්‍ර කරන්න.
  • බීජ ඒකාකාරව විසිරවීම හෝ පේළි වලට දැමීම සිදු කලහැක. පේළි දෙකක් අතර පරතරය සෙන්ටිමීටර 10-15 වන අතර බීජ තුනී පස් ස්ථරයකින් වැසීම සිදුකරන්න.
  • ඉන්පසු හොඳින් වියළන ලද පිදුරු තුනී ස්ථරයකින් ආවරණය කරන්න.
  • පසේ තෙතමනය අනුව දිනපතා ජලය දැමීම අවශ්‍ය වේ.
  • තවාන් දැමීමෙන් දින 3-4 කට පසු පිදුරු ඉවත් කළ යුතුය.
  • තවාන් දැමීමෙන් දින 18-21 කට පසුව බීජ පැළ ක්ෂෙත‍්‍රයේ සිටුවීම සිදුකල හැක.
  • තවාන් කාලය තුළ රෝග පාලනය සඳහා නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම හා අවධානය යොමු කිරීම අවශ්‍ය වේ.
  • වැසි ජලය කාර්යක්ෂමව භාවිතා කිරීම සඳහා වර්ෂාව ආරම්භ වීමත් සමඟ ඉඩම් සකස් කිරීම කළ යුතුය.
  • බිම් පෙරලා මහ කන්නයේ පළමු වර්ෂාව සමඟ සියුම්ව පස සකසා බීජ වැපිරීම හෝ සිටුවීම කළ හැක.
  • තැටි නගුලකින් සෙ. මී. 15-20 පමණ ගැබුරට සී සෑම කළ යුතුය.
  • සතියකට පමණ පසු දෙවන සී සෑම සඳහා කොකූ නගූලක් හා රොටොවේටරයක් භාවිතයෙන් පස් කැට හොඳින් කුඩු වන සේ බිම් සකසා ගන්න.
  • පැළ සිටුවීම සඳහා පාත්ති නැගෙනහිර බටහිර දිශාවට මුහුණලා සැකසීම වඩාත් යෝග්‍ය වේ.
  • මහ කන්නයේදී අතිරේක ජලය බැස යාමට කාණු සකස් කරන්න.
  • බීජ වපුරන්නේ නම් ඒකාකාරීව බීජ විසුරුවා හැරිය යුතුය.
  • බීජ පේළි වලට දැමීමේදී සෙ. මී. 30 දුරින් සකසා ගත් පේළි දිගේ බීජ දමන්න.
  • සති තුනේදී පමණ පැළ අතර සෙ. මී. 10-15 පරතරය තබා වැඩි පැළ ඉවත් කරන්න.

අනපේක්ෂිත නියඟ කාලගුණයක් ඇති නොවන්නේ නම් මහ කන්නයේදී ලැබෙන වර්ෂාපතනය බෝගයේ ජල අවශ්‍යතාව සපුරාලනු ඇත. යල කන්නයේ දී අමතර ජල සම්පාදනය කළ හැකි නම් අස්වැන්න වැඩි කරගත හැක. වියළි කාල වල සතියකට වරක් ජලය සපයන්න. මහ කන්නයේ වර්ෂාව වැඩි බැවින් ජලවහනය දියුණු කිරීම අවශ්‍ය වේ.

පොහොර යොදන අවස්ථාව යූරියා (කි.ග‍්‍රෑ./හෙක්.) ත‍්‍රිත්ව සුපර් පොස්පේට් (කි.ග‍්‍රෑ./හෙක්.) මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග‍්‍රෑ./හෙක්.)
මූලික පොහොර 65 55 75
සති 5 දී 125
සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

වල් පැලෑටි වර්ධනය පාලනය සඳහා නිසි බිම් සකස් කිරීමක් අවශ්‍ය වේ. බෝගය ළපටි අවස්ථාවේ දී වර්ධනය සෙමින් සිදු වන නිසා දින 45 ක් යන තුරු වල් පැළ පාලනය වැදගත්ය. පේළි දිගේ බීජ වපුරා ඇති විට හා පැළ සිටුවා ඇති විට වල් පැළ පොහොර යෙදීමත් සමඟ උදළු ගා පාලනය කළ හැකිය. යාන්ත‍්‍රික වල් පැලෑටි පාලනය ද භාවිතා කළ හැකිය.

රෝග – කොළ පාළුව
පළිබෝධ – පුරුක් පණුවා, කෘමි හානි (දරුණු කෘමි හානි නැත.)

රන් වන් දුඹුරු පැහැයට හැරී ඇති කරල් දෑකැති වලින් කපා දින 2 – 3 අව්වේ වේලා පසුව බීජ වෙන් කර ගන්න. අස්වැන්න කරල් ලෙස හෝ බීජ වෙන් කිරීමෙන් පසුව නිසි ලෙස වාතශ‍්‍රය ඇති ස්ථානයක ගබඩා කළ හැකිය. බීජ වෙන් කිරීම අතින් හෝ ට‍්‍රැක්ටරයක් මඟින් කළ හැකිය. අස්වනු සැකසීමේදී හා වියළීමේදී වැලි හා වෙනත් අපද්‍රව්‍ය බීජ වලට එකතුවීම වළක්වා ගැනීම සඳහා ටාපෝලින් අතුරනයක් භාවිතා කරන්න.