- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- E- Mail : doadfrd@gmail.com
- Telephone :(+94) 0812 030 040
- Fax :(+94) 0812 030 048
Banana
Banana
The web pages in English Language are under construction and will be available soon…
මිල්ලෑව සුවදැල්
- කඳ මීටර් 2.5 -3 පමණ උස් වේ
- කැනක බර කි.ග්‍රෑම් 13.5 – 15 පමණ වේ
- කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකි අතර කෙසෙල් කැන සිලින්ඩරාකාර හැඩයක් ගනී.
- බ්‍රික්ස් අගය 24 වන අතර මියිරි පැණිරසයකින් යුක්තයි.
ගන්නොරුව සීනි I (BSK 143)
- පැරකුම් ප්‍රභේදයට වඩා වැඩි ඵලදාවක්ලබා දෙන අතර එම ප්‍රභේදයට වඩා රසයෙන් අඩුය.
- ගුණාත්මකභාවයෙන් ඉහළපලතුරකිෙ.
- පැනමා රෝගය සඳහා ප්‍රතිරෝධීතාවය පෙන්වයි.
- කෙසෙල් පොත්තේ අවපැහැ ගැන්වීම අඩුය.
- පළමුවැනි කෙසෙල් කැන දවස් 462 කින් ලබා ගත හැකි අතර කෙසෙල් කැනක බර කිලෝ ග්‍රෑම් 22 ක් පමණ වේ.
- එක් කෙසෙල් කැනක ඇවරි 9 -11 ක් ලබාගත හැකි අතර කෙසෙල් කැන සිලින්ඩරාකාර හැඩයක් ගනී.
රත් කෙසෙල්
භාවිතා කරන නම – ගන්නොරුව රෙඞ් බනානා
- කෙසෙල් කැනක බර කිලෝ ග්‍රෑම් 32ක් පමණ වන අතර එක් කෙසෙල් කැනක ඇවරි 8 ක් පමණ තිබේ.
- පිට පොත්තේ පැහැය දුඹුරු පැහැයට හුරු රතු පැහැයකි.
- කෙසෙල් ගෙඩියේ ඇතුළත පැහැය ක්‍රීම් පැහැයට හුරු තැඹිලි පැහැයකි.
- බීජ රහිතය.
- කෙසෙල් මදය පිටි සහිතය.
වියළි කලාපය හා අතරමැදි කලාපය
සීනි කෙසෙල් (ABB)
- ප්‍රදේශය අනුව උස මීටර් 2 – 4 අතර වෙනස් වේ.
- කඳ දීප්තිමත් කොළ පාටයි.
- පත්‍ර වෘන්තයේ දාර මුළුමනින්ම ඇතුලට නැමී ඇත.
- පත්‍ර තලය පළල්ය.
- කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත තැබිලි පාටට හුරු රතු පාටය.
- කොළපුවල නාරටි මතු වී ඇත.
- කැන්වල ප්‍රමාණය පාලන තත්ත්ව මත වෙනස් වේ.
ඇම්බන් (AAA)
- කඳ මීටර් 4 – 4.5 පමණ උස් වේ.
- කොළ පාට කදේ දම් පාට පැල්ලම් ඇති වේ.
- පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය.
- කෙසෙල් මුහයේ කොළපු දම් පාටය.
- ඇවරි කිට්ටුවෙන් ඇහිරී ඇත.
- ගෙඩියක් සෙ.මී. 16 – 18 පමණ දිග වන අතර පරිධිය සෙ.මී. 14 – 16 පමණ වේ.
ආනමාළු (AAA)
- මීටර් 3 – 5 පමණ උස් වන ප්‍රභේදයකි.
- කඳ කොළ පැහැතිය.
- පත්‍ර තලය පළල්ය. පත්‍ර නටුව පිටතට වක්‍ර වනසේ හොඳින් විවෘතව ඇත.
- කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත දම් පාටට හුරු කොළ පාට වන අතර ඇතුලත පෘෂ්ඨය කහ පාටට හුරු කොල පාටය. මුල් අවස්ථාවේ කෙසෙල් මුහය කොළ පාටට හුරුය.
- ගෙඩි සාමාන්‍යයෙන් සෙ.මී. 25 පමණ දික්වන අතර පරිධිය සෙ.මී. 1.5 -1.8 පමණ වේ.
- කැනක බර කි.ග්‍රෑම් 12 – 18 පමණ වේ.
කෝලිකුට්ටු (AAB)
- ගසක් මීටර් 2 1/2 – 3 ක් පමණ උස්ව වැඩේ.
- කඳ කොළ පාටය.
- පත්‍ර නටුව කෙලවර දම් පාටට හුරු රෝස පාට දාරයක් සහිතය.
- පත්‍ර කඳ කොළ පාටය, පළල්ය.
- වැඩි වශයෙන් කඩුපත් මොරෙයියන් හටගනී.
- කෙසෙල් මුහය දම් පාටට හුරුය.
- කැන පහලට එල්ලා වැටෙන අතර කැනේ මැද නාරටිය දම් පාටට හුරුය.
- මිහිරි සුවදක් ඇති අතර ගෙඩි තරමක් වක්වී ඇත.
- ලාක්ෂණික වශයෙන් මෙම ප්‍රභේද ඉදෙන විට ගෙඩිවල පුල්ලි මතුවන අතර ඉදෙන විට ලෙල්ල දික්අතට පිපිරීම සිදුවේ.
ඇඹුල් කෙසෙල් (AAB)
- මීටර් 3 – 3.5 පමණ උස්ව වැඩෙන දම් පාටට හුරු රතු පාට කඳක් ඇත.
- බොහෝ විට දම් පාට වර්ණක ව්‍යාජ කදේ දැකිය හැකිය.
- පත්‍ර නටුවේ දාර දම් පාටය.
- පත්‍ර මැද නාරටිය දම් පාටට හුරු කොළ පාටය.
- ගෙඩි තරමක් වක්වී සිලින්ඩරාකාරව පවතී.
- ඉදෙන විට දීප්තිමත් කහ පාටක් ගනී.
- ගෙඩි ඇඹුල් රසයෙන් යුක්තය.
- මනා පාලන තත්ත්ව යටතේ කිලෝ ග්‍රෑම් 25 – 30 දක්වා වූ කැන් ලබා ගත හැක.
රතඹලා (AAA)
- ගසක් උසින් මීටර් 3 – 3.5 දක්වා වැඩේ.
- රතු පාට පැල්ලම් දැකිය හැක.
- පත්‍ර වෘන්තය යටි පැත්තට වක්‍රවී ඇති අතර එහි දාරය දම් පාට දාරයකින් සීමා වී ඇත.
- පත්‍රයේ උඩු පෘෂ්ඨය කොළ පාට වන අතර යටි පැත්ත රතු පාටය.
- කැන අර්ධව තිරස්ව වර්ධනය වේ.
- පොත්ත තද පාට වන අතර මදය තැඹිලි පාටය.
- කැනක බර සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 8 – 18 පමණ වේ.
- කෙසෙල් ගුල්ලාගේ හානියට අධික ලෙස පාත්‍ර වේ.
කණ්ඩුල (AAAB)
- චතුර්ගුණ ප්‍රභේදයකි
- දෙමුහුම් වර්ගයකි.
- මෙය පළතුරක් හා එළවළු වශයෙන් භාවිතා කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි.
- කඳ කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය.
- උස මීටර් 2 – 2.5 පමණ වේ.
- කඳ ඉතා ශක්තිමත්ය.
- පත්‍ර තද කොළ පාට වන අතර මුහයේ පැහැය තද දම් පාටය.
- නියං ප්රතිරෝධීය.
- කළු සිගටෝකා පත්‍ර ලප රෝගයට ප්රතිරෝධීය.
- ශක්තිමත් කඳක් සහිත නිසා අහිතකර දේශගුණික හා පාංශු තත්ත්වයන්ට ඔරොත්තු දෙයි.
නදී (AAB)
- ඇඹුල් කෙසෙල් වගා දර්ශයන් අතරින් උසස් ගුණාත්මයෙන් යුතු කෙසෙල් වගා දර්ශයකි.
- පළතුරක් ලෙස පමණක් ගැනෙන ප්‍රභේදයකි.
- ලා කොළ පාට කඳක් ඇති අතර පත්‍ර වල ස්වභාවය ඇඹුල් කෙසෙල් ආකාර වෙයි.
- මනා පාලන තත්ත්ව යටතේ විශාල කැන් හටගනී
පිසීමට ගන්නා කෙසෙල් ප්‍රභේද
පුලතිසි (AABB)
- චතුර්ගුණ ප්‍රභේදයකි
- දෙමුහුම් ප්‍රභේදයකි.
- කඳ මීටර් 1 1/2 – 2 පමණ උසක් ඇත.
- කඳ තද කොළ පාට, පත්‍ර පළල්ය.
- කෙසෙල් මුහ විශාලය, මුහයේ කොලපු හැලීමක් සිදු නොවේ.
- දිගු කලක් කැනෙහි මධ්‍ය නාරටියට ඇලී පවතී.
- නියං ප්‍රතිරෝධී වන අතර කළු සිගටොා්කා රෝගයටද ප්රතිරෝධීය.
- නිසරු පසේ වුවද හොදින් ප්‍රතිචාර දක්වයි.
- වරකට එක් ඇවරියක් බැගින් ගසේ කැන තිබියදීම කපා ගෙන පරිභෝජනය කළ හැකිය.
- සැකසීම සදහා ඉතාමත් සුදුසු ප්‍රභේදයකි.
ප්‍රසාද්
- දේශීය අළු කෙසෙල් වර්ගයකි.
- සාමාන්‍ය අළුකෙසෙල් ලක්ෂණ මේ වර්ගයටද පොදු වේ.
- ගෙඩිවල කෙලවර ප්රමුඛ ඉදිමුමක් ඇත.
- අළුකෙසෙල් වියළි කලාපයට පමණක් නිර්දේශ කර ඇති නමුත් ප්‍රසාද් වියළි හා තෙත් කලාප දෙකටම නිර්දේශ කර ඇත.
- කැනක බර කිලෝ ග්‍රෑම් 15 – 16 පමණ වේ.
මොන්දන් (ABB)
- පිසීම සඳහා පමණක් යොදා ගනී.
- ව්‍යාජ කඳ කොල පාටය.
- පත්‍ර නටුව ලා කොල පාටය. පත්‍ර තලයේ උඩු පෘෂ්ඨය තද කොළ පාටය.
- කෙසෙල් මුහය ඉලිප්සාකාරය.
- කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය.
මැටි කිතල (ABB)
- කදේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත.
- පත්‍ර තලය දම් පාටට හුරු කොළ පාටය.
- පත්‍ර නටුවේ දම් පාට දාරයක් ඇත. එය පිටතට වක්වී නොමැත.
ඇටමුරු (ABB)
- පිසීම සඳහා යොදා ගනී.
- සමහර ගෙඩි වල බීජ කිහිපයක් ඇත.
- කඳ කොළ පාට වන අතර ලා දම් පාට පැල්ලම් ඇත.
- පත්‍ර තලයේ උඩු පැත්ත තද කොළ පාටය. යටි පැත්ත ලා දම් පාටය.
අළු කෙසෙල් (ABB)
- ඉතාමත් ජනප්‍රිය එළවළුවක් වශයෙන් යොදා ගන්නා ප්‍රභේදයකි.
- කඳ කොළ පැහැතිය. පත්‍ර තලය අදුරු කොළ පැහැතිය.
- කෙසෙල් මුහයේ කොළපු දම්පාටය. පැහැදිලි කොළපු නාරටි බේරී ඇත.
- නොමේරූ කැන් ඇන්ත්‍රැක්ස්නෝස් දිලීර රෝගයට පාත්රවේ.
තෙත් කලාපය
පූවාළු (ABB)
- ව්‍යාජ කඳ මීටර් 03 පමණ උස්වේ.
- පත්‍ර පාද වල දුඹුරු පාටට හුරු කළු පාට සළකුණු ඇත.
- පත්‍ර නටුවේ දම්පාට දාරයක් ඇත.
- කොළපු වල පැහැදිලි නාරටි ඇත.
- කෙසෙල් කැන තරමක් කෝණයකට තිරස්ව පිහිටා ඇත.
- කැනේ නටුව දම් පාටට හුරු කොළ පාටය.
- ගෙඩියක් සෙ.මී. 12 – 15 පමණ දික්වේ. එහි පරිධිය සෙ.මී. 15 – 18 පමණ වේ.
- ගෙඩිය හරස්කඩකට කැපූ විට ත්‍රිකෝණාකාරය.
- සාමාන්‍යයෙන් කැනක් කිලෝ ග්‍රෑම් 15 – 16 පමණ යහපත් පාළන තත්ත්ව යටතේ ලබා ගත හැක.
බිං කෙසෙල් (AAA)
- සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ.
- ඩ්වෝෆ් කැවෙන්ඩිෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි.
- කදේ උස මීටර් 1.5 – 1.7 පමණ වන අතර කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය.
- පත්‍ර නටුව දාරයේ දම් පාට බෝඩරයක් ඇත.
- පත්‍ර තලය තද කොළ පාටය.
- කෙසෙල් මුහෙහි කොළපු කෙසෙල් කැනෙහි කඳට අවසානය දක්වාම ඇලී පවතී.
- මෙය වඳ පීදීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
- ඉතා රසවත් ප්‍රභේදයකි.
මෙම ප්‍රභේදවලට අමතරව වියළි කලාපයටද ඔරොත්තු දෙන පහත සදහන් ප්‍රභේද ද තෙත් කලාපයට නිර්දේශ කර ඇත.
තෙත් කලාපයට සුදුසු ප්‍රභේද
නදී | ඇඹුල් වර්ග |
ඇම්බන් | ආනමාළු |
රතඹලා | කණ්ඩුල |
සීනි කෙසෙල් | පැරකුම් |
තෙත් කලාපයට නිර්දේශිත එළවළු ප්‍රභේද
මැටි කිතල | ඇටමුරු |
ප්‍රසාද් | මොන්දන් |
දේශගුණික අවශ්‍යතා
මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ සියළුම ප්‍රදේශවල සාර්ථකව කෙසෙල් වගාකල හැක. මි.මී. 1250 – 1900 දක්වා පැතිරුණු වර්ෂාපතනයක් පවතින සෙ.ග්‍රේ. අංශක 27 – 30 අතර උෂ්ණත්වයක් තිබීම වඩාත් සුදුසුය. උෂ්ණත්වය අඩුවීමේදී මොරෙයියන් ඇතිවීම, පත්‍ර වර්ධනය හා මල් ඇති වීම අඩු වේ. එමෙන්ම අධික සුළං ඇති ප්‍රදේශ වල වගාව ආරක්ෂා කිරීමට ප්‍රතිකර්ම කළ යුතුය.
පස
කෙසෙල් වගාව පුළුල් පාංශු පරාසයක් තුළ සිදුකළ හැකි අතර වැදගත් වන්නේ මනා ජල වහනයයි. පසේ මැටි ගතිය 40% වඩා අඩු වීමත් භූජල මට්ටම මීටර් 01 වඩා පහලින් පිහිටීමත් හිතකර වේ. පාංශු පී.එච් අගය 4.5 – 8 ත් දක්වා වගා කළ හැකි නමුත් ප්‍රශස්ථ මට්ටම වන්නේ පී.එච් 6 – 7.5 අතර මට්ටම වේ.
පැළ සකසා ගැනීම සහ භූමිය සැකසීම
පැළ සකසා ගැනීම
කෙසෙල් වගාවේ ප්‍රධාන ගැටළුවක් වී ඇත්තේ අවශ්‍ය පමණ නීරෝගී, වැඩි අස්වනු දෙන සිටුවීමට සුදුසු පැළ සොයා ගැනීමේ අපහසුතාවයයි. මේ නිසා ගොවීහූ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් තමන්ගේ වගාව සදහා රෝපණ ද්‍රව්‍ය ලබා ගනී. මේ නිසා කෙසෙල් වගාවට හානිකර රෝග සියල්ලන්ම පාහේ රට පුරා ඇති කෙසෙල් වගාවනට පැතිරී ඇත.
ස්වභාවික ක්‍රම මගින් පදුරකින් ගලවා ගන්නා ලද පැළ
සාමාන්‍යයෙන් කෙසෙල් පදුරක මව් ශාකය සමග පැළ 2-3 ක් පමණ තබා ගැනීම නිර්දේශ කෙරේ. මීට අමතරව රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම සදහා පදුරක පැළ 2-3 පමණ වර්ධනය වීමට සැලැස්විය හැක. මෙයට වඩා වැඩි පැළ ප්‍රමාණයක් සිටුවීමට සුදුසු අවස්ථාව වන තෙක් මව් පදුරේ තබා ගැනීමෙන් මව් පදුරේ වර්ධනය බාල වී මව් ගසේ කැන් වල ප්‍රමාණය කුඩා වේ.
සිටුවීමට සුදුසු යැයි සලකනු ලබන්නේ අඩුම වශයෙන් සෙ.මී. 70-80 තරම් වර්ධනය වූ පැළයකි. මෙම ක්‍රමය මගින් පදුරකින් අවුරුද්දකදී ලබා ගත හැකි වන්නේ අඩු පැළ සංඛ්‍යාවකි.
කෙසෙල් පදුරක හටගන්නා මොරෙයියන් ප්‍රධාන වශයෙන් තුන් වර්ගයකි.
කඩුපත් මොරෙයියන්
මෙම මොරෙයියන්ගේ කෝමය (අලය) හොදින් වර්ධනය වී ඇති අතර කද පහල සිට ඉහලට ක්‍රමයෙන් සිහින් වේ. එනම් කේතු හැඩයක් ගනී. මෙවැනි පැළ වල ආරම්භයේදී හටගන්නා පත්‍ර සිහින් දිගැටි හැඩයක් ගන්නා බැවින් මෙම පැළ කඩුපත් මෙරෙයියන් ලෙස හැදින්වේ. මෙවැනි පැළ සිටුවීම සදහා යොදා ගත හැකි නම් වඩාත් සුදුසුය. අලය ප්‍රමාණයෙන් විශාල නිසා පැළයේ වර්ධන වේගය වැඩිය. විශාල කැනක් හටගනී. කෙසෙල් මව් ගසේ අලයේ වඩා ගැඹුරින් පිහිටා ඇති අංකුර වලින් මෙම මොරෙයියන් හටගනී. නමුත් වගාවක හටගන්නා මෙවැනි පැළ ප්‍රමාණය සීමිත වන අතර ප්‍රභේද අනුවද ලබාදෙන පැළ සංඛ්‍යාව වෙනස් වේ.
කන්‍යා මොරෙයියන්
මෙම මොරෙයියන්ගේ පත්‍ර පළල්ය. කඳෙහි හැඩය මඳ වශයෙන් කේතු ආකාරය. කෙසෙල් අලය මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් සහිතය. මේ පැළ වල වර්ධනය වේගවත් වන අතර විශාල කැන් හටගනී. මෙවැනි පැළද සිටුවීම සදහා සුදුසු වේ.
දියපත් මොරෙයියන්
කෙසෙල් මව් ගසෙහි අලයේ ඉහලින්ම (පස් මට්ටමේ ආසන්නයේ ) පිහිටි අංකුර වලින් හටගනී. මේ කඳ ඉතා දුර්වල වන අතර සිලින්ඩරාකාර හැඩයක් ගනී. කෝමය ඉතා කුඩා නිසා එහි තැන්පත් වී ඇත්තේ ඉතා සුළු ආහාර ප්රමාණයකි. පත්‍ර පර්ව අතර දුර ඉතා අඩු වන අතර බොහෝ විට පත්‍ර එකම ස්ථානයකින් හටගන්නා ස්වරූපයක් පෙන්නුම් කරයි.
ස්වභාවිකව ඇති වන අංකුර උත්තේජනය මගින් පැළ නිපදවීම
අංකුර කැබලි වලින් පැළ නිෂ්පාදනය
- මෙහිදී නීරෝගී පදුරකින් මාස 8-9 වයසැති (පීදීමට පෙර) පැළ ගලවා ගන්න.
- අලය ව්‍යාජ කඳින් වෙන් කර තියුණු පිහියකින් මුල් හා හානි කොටස් කපා පිරිසිදු කර ගන්න. නමුත් මේරූ අංකුර වලට හානි නොවන පරිදි මේ කාර්ය කළ යුතුය.
- සෑම අලයක්ම ග්‍රෑම් 750 ක් කිලෝ 1 ක් පමණ බරති කැබලි ලෙස කපාගත යුතුයි.
- පසුව එය අමු ගොම උකු දියරයක් ලෙස සකසා එයට අළු, මිශ්‍රණයේ ලීටර එකක් සදහා කැප්ටාන් ග්‍රෑම් 10ක් පමණ එක් කර කපාගත් අල කැබලි එම දියරයේ විනාඩි 10 පමණ ගිල්වා තබන්න.
තවාන් කිරීම
පළල සෙ.මී 90 හා අවශ්‍ය පමණ දිගක් සහිත වන සේ පාත්ති සකසා ගන්න. තවාන් මාධ්‍ය ලෙස වැලි මතුපිට පස් , කොමිපොස්ටි 2:1:1 මිශ්‍රණය හා භාවිතා කරන්න. තවානේ එකිනෙකට ආසන්නව මෙම අල කැබලි සිටුවන්න.
අංකුර වර්ධනය ආරමිභ වීමට පටන් ගන්නා අවස්ථාවේදී එනමි දින 14 ක් 21 අතර දී අල කැබලි ගලවා ගන්න. එක් කැබැල්ලක අංකුරය හරි මැදින් බෙදෙන සේ එක් කැබැල්ලක් කැබලි 4 කට වෙන් කරගන්න.
එක් කැබැල්ලක් ග්‍රෑම් 75-100 පමණ වීම අවශ්‍ය වේ. අල කැබැල්ල කුඩා වන විට ලැබෙන පැළ ප්‍රමාණයද අඩු වේ.
පසුව පළමු තවාන් මිශ්‍රණයම භාවිතා කර පේලි දෙක අතර පරතරය සෙ.මී 20-25 හා අල කැබලි දෙක අතර සෙ.මි 15 ක පරතරයට තවාන් කරගන්න.
සති 2-3 ගත වන විට අංකුර මතු විම සිදුවේ. එක් අංකුර කැබැල්ලකින් පැළ 1-7 දක්වා ප්‍රමාණයක් ලබා ගත හැක.
සෙ.මී 15-20 පමණ උස් වු එනමි මාස 1- 1 1/2 වයසැති පැළ තෝරා පොලිතින් බදුන් වල සිටුවන්න. එම පැළවල කෝමය ඉතා කුඩා බැවින් හා මුල් ස්වල්පයක් ඇති බැවින් එක්වරම ක්ෂේත්රයේ සිටුවිම අපහසුය. බදුන් කිරීම සදහා සෙ.මි 25 පළල සෙ.මි 35 උසැති ගේජ් 300 විනිවිද පෙනෙන පොලිතින් බදුන් සකසා ගන්න. බදුන් මිශ්‍රණය සදහා තවානට භාවිතා කල මිශ්‍රණයම හෝ මතුපිට පස් , කොමිපෝස්ටි, වැලි 1:1:1 මිශ්‍රණය භාවිතා කරන්න. මේ අනුව බදුන් කළ පැලයක් ක්ෂේත්රයේ සිටුවීමට සුදුසු පැළයක් මාස 4-5 දී ලබා ගත හැකිය. බඳුන් තුල පෝෂණය ප්‍රමාණවත් නොවන නිසා මාසකට වරක් කෙසෙල් පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම් 5-10 බදුනකට යොදන්න.
මාස 7-8 වැනි කාලයක් තුලදී එක් අලයකින් පැළ 80-140 පමණ ලබා ගත හැකි වීමත් ක්ෂේත්රයේ සිටුවන අවස්ථාවේදී හොදින් මූල පද්ධතියක් සහිත පැළ නිපදවා ගත හැකි වීම මෙම ක්රමයේ විශේෂිත ලක්ෂණයකි.
පදුරු පාළනයේදී ඉවත්වන මොරෙයියන් භාවිතය
පදුරු පාලනයේදී ඉවත් කරන පැළ වලින් ප්‍රයෝජනයක් ගැනීමටත් එයින් අමතර පැළ ලබාගැනීමටත් මෙම ක්‍රමය උපයෝගී කර ගත හැක.
අඩියක් පමණ උස නීරෝගී මොරෙයියන් අලයද සමග මව් ශාකයෙන් වෙන්කර ගන්න. මේ වන විට කෝමයේ ආහාර සංචිතයක් ඇති බැවින් මව් ශාකයෙන් වෙන් කලද පැළ වලට තනිව වර්ධනය වීමේ හැකියාව තිබේ.
මෙවැනි පැළ ක්ෂේත්රයේ සකසා ගත් තවානක තවාන් කර ගන්න. සෙ.මී. 15-20 ක් උසට සකස් කළ වැලි තවානක හෝ වැලි කොම්පෝස්ට් හා මතුපිට පස් 2:1:2 අනුපාතයට සැකසූ තවාන් මාධ්‍යයේ පේලි 2 අතර පරතරය සෙ.මී. 60 ක් හා පැළ 2ක් අතර පරතරය සෙ.මී. 45 වන සේ පැල සිටුවන්න. තවාන් වෙනුවට ඉහත මිශ්‍රණයම බදුන් වල එනම් ගේජ් 300 විනිවිද පෙනෙන සෙ.මී. 25 පළල සෙ.මී. 35 උස බදන්සිටුවා ගත හැක. පැළ වල වර්ධනය වේගවත් කිරීමට 2% යූරියා ද්‍රවණයක් සති 2 වරක් යොදන්න. තවද කදෙහි ශක්තිමත් භාවය වැඩි කිරීමට මියුරියේට් ඔෆ් පොටෑෂ් ස්වල්පයක්ද යොදන්න.
මාස 31/2 – 4 දී සිටුවීමට සුදුසු පැළ ලබාගත හැකි වේ. මේ අන්දමට මොරෙයියන් ලබා ගැනීමේදී මව් ශාකයට අහිතකර බලපෑමක්ද ඇති නොවන පරිදි එක් වරම සියළුම පැළ නොගලවා කාල පරතරයක් සහිතව පැළ ගලවා ගන්න.
පුෂ්ප අංකුරය විනාශ කිරීම මගින් පැළ උත්තේජනය කිරීම
මෙහිදී ක්ෂේත්රයේ පවතින පැළයකින් පැළ 16-18 ක් පමණ ලබාගත හැකිය. මේ ක්‍රමයේදී අංකුර වර්ධනය අනුව විවිධ අවස්ථා වලදී ක්‍රමයෙන් පැල ලබා ගැනීමේ හැකියාව ලැබේ.
මව් ශාකයේ අග්රස්ථ ප්‍රමුඛතාවය ඉවත් කිරීම, එනම් පුෂ්ප අංකුරය ආරම්භ වන අවස්ථාවේදීම විනාශ කිරීම මගින් පාර්ශ්වික අංකුරවල වර්ධනය වේගවත් කිරීම සිදු කරණු ලැබේ. මේ සදහා නිරෝගී මාස 7-9 ක් වයසැති කෙසෙල් ශාකයක් තෝරා ගෙන එහි පුෂ්ප අංකුරය විනාශ කරන්න. හොදින් නඩත්තු කර ශාකයක පුෂ්ප අංකුරය වර්ධනය වීම මාස 7-9 ක් අතර තුලදී සිදුවේ. සාමාන්‍යයෙන් ඇඹුල් ප්‍රභේදයේ 28 වන පත්‍රය පිටතට විවෘත වන විට පුෂ්ප අංකුරයේ වර්ධනය ආරම්භ වේ.
පුෂ්ප අංකුර හටගන්නේ කෝමය හා කෙසෙල් ව්‍යාජ කද සම්බන්ධ වන ස්ථානයේ ව්‍යාජ කද මැදය.
උපකරණයක ආධාරයෙන් කද සිදුරුකර සර්පිලව කැරකවීමෙන් පුෂ්ප මූලාකෘතිය විනාශ කර දමන්න. මේ අවස්ථාවේ පත්‍ර වර්ධනය වූ පත්‍ර සංඛ්‍යාවක් ඇති අතර ව්‍යාජ කද තුල විවෘත වීමට නියමිත පත්‍ර 10-12 පවතී. මේ නිසා ප්‍රභාසංස්ලේෂණය හා ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අඩාල නොවන බැවින් සක්‍රීයවන මොරෙයියන්ගේ වර්ධනය වේගවත් වේ.
මෙවැනි පැල ලබා ගැනීමේ ක්‍රියාවලියේදී මව් ශාක සාමාන්‍ය වගාවකදී මෙන් නොව අඩු පරතරයකින් එනම් මීටර් 2×2 පරතරයට ක්ෂේත්රයේ සිටුවන්න. මාස 7-8 කදී පුෂ්ප අංකුරය විනාශකර පාර්ශ්වික පැළ ලබා ගන්නා අතර මව් ශාකයේ වර්ධනය දුර්වල වන විට එක් පැළයක් නව මව් ශාකය ලෙස වර්ධනය වීමට සලස්වනු ලැබේ. එයද පුෂ්ප මූලකෘති අවධියට පත් වූ පසු නැවත ඉහත ක්රමයම අනුගමනය කරන්න. මෙලෙස අවු.2-3 පොහොර හා ජල සම්පාදනය ක්රමාණුකූලව ලබා දෙන්නේනම් පැළ වර්ධනය ශීඝ්‍රයෙන් සිදුවේ.
කෙසෙල් ගසේ අග්රස්ථ අංකුරය විනාශ කිරීම
මෙමගින් වඩා පහසුවෙන් වැඩි පැළ ගණනක් කෙටි කාලයකදී ලබා ගත හැකි ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැක. මේ මගින් මාස 2-21/2 පමණ පැළ ලබා ගත හැකි වේ. ඒකාකාරී වර්ධනයක් සහිත පැළ ලබා ගත හැකි මෙම ක්රමයේ සාර්ථකත්වය 100% වේ.
මේ සදහා වයස මාස 7-8 වන හොදින් පත්‍ර විහිදුණු නිරෝගී කෙසෙල් ගසක් තෝරා ගන්න. මෙම ගස තනි ගසක් වශයෙන් හා පැරණි පදුරකට සම්බන්ධ වී ඇති මොරෙයියකු වශයෙන් හෝ තිබෙනවා විය හැක. මේ ගස කද පොළව මට්ටමට සෙ.මී. 05 පමණ ඉහලින් කපා වෙන් කරන්න.
මෙසේ වෙන්කර ගත් පසුව උල්කරන ලද කෝටුකැබැල්ලකින් (කූඤ්ඤයක්) ගෙන එය එය කැපුම් මුහුණත මැදට තබා තදකොට අලය තුලට ඇතුල් කරන්න. ඉන්පසුව එය ඉවත් නොකර එසේම තිබීමට ඉඩහරින්න. මෙම ගසට ජල සම්පාදනය කළ විට වටේට මොරෙයියන් මතුවීමට පටන්ගනී. ඒවා වයස මාස 21/2-3 අතරදී ගලවා වෙන්කර සිටුවීමේ හැකිවේ.
මෙරෙයියන් මතුවීම ආරම්භ වූ පසුව රසායනික පොහොර ස්වල්පයක් යෙදීමෙන් වඩාත් ශක්තිමත් මෙරෙයියන් හටගනී.
වියළි හා අතර මැද කලාප සදහා (එක් පැළයකට) | තෙත් කලාපය සදහා (එක් පැළයකට) |
යූරියා ග්‍රෑම් 120 | යූරියා ග්‍රෑම් 110 |
සුපර් පොස්පේට් ග්‍රෑම් 80 | සුපර් පොස්පේට් ග්‍රෑම් 150 |
මියුරියේට් ඔෆ් පටෑෂ් ග්‍රෑම් 250 | මියුරියේට් ඔෆ් පටෑෂ් ග්‍රෑම් 190 |
මේ ක්‍රමයේදී සති 2-3 වන විට පොළව මට්ටමට පහලින් පිහිටි කෙසෙල් පැළයේ අලය කොටසින් මොරෙයියන් මතු වීමට පටන් ගනී. මෙම පැළ වල වයස මාස 2 1/2-3 වන විට ගලවා සිටුවීමට යොදා ගත හැක. දිගින් දිගටම පැළ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ නම් එක් පැළයක් එම ස්ථානයේ ඉතිරි කර අනෙක් පැළ ගලවා ඉවත් කරන්න.
මෙහිදී ගස් අතර පරතරය මීටර් 3×3 හෝ මීටර් 3.5×3.5 වන පරිදි වලවල් සලකුණු කිරීම පළමුවෙන් සිදු කර ගන්න. මේ පරතරය ප්‍රභේද අනුව වෙනස් වීමක් සුළු වශයෙන් සිදුවේ. ලකුණු කරගත් ස්ථාන වල 60x60x60 cm ප්‍රමාණයට වලවල් කපා ඒවා මතුපිට පස් සහ කොම්පෝස්ට් හෝ වෙනත් කාබනික පොහොර සමග මිශ්‍රකර වල මුදුන් වන සේ පුරවා දින කිහිපයක් තබා සිටුවීමට යොදා ගන්න.
එක් පැලයක් සිටුවා මාස 04 වනවිට එක් මොරෙයියකුට පමණක් වර්ධනය වීමට ඉඩ හැරිය යුතුය. නමුත් මව් ගස වැඩීමේ දුර්වල නම් තව මාස 02 පමණ මොරෙයියකු ඇති වීම වැළැක්විය යුතුය. වගාවේ සෑම මාස 04 වරක් එක් මොරෙයියකු පවත්වා ගත් විට නිතරම පදුරක පීදුණු කැන කැපීමට සූදානම් ගසක්, පීදුණු ගසක් සහ වර්ධන අවධියේ ගසක් වශයෙන් ගස් 03 පදුරක පවත්වාගත හැක.
මේ ක්‍රමයට හෙක්ටයාරයකට පැළ 1100 අවශ්‍ය වේ.
අඩු පරතරයට සිටුවීම
මෙහිදී කෙසෙල් වගාව වසරක් තුල පමණක් පවත්වා ගන්නා අතර මව්ගස් පමණක් නඩත්තු කෙරේ.
පේලි අතර මීටර් 03 පේලිය තුල මීටර් 01 වන සේ වලවල් සලකුණු කරන්න. වලක ප්‍රමාණය සෙ.මී. 45x45x45 වනසේ කුඩාවට කපනු ලැබේ.
වල් මර්දනය
කෙසෙල් වගාවක් නිතර පිරිසිදු කිරීමට අවශය වන්නේ මුල් මාස කිහිපය තුළදී පමණි. මුල් කාලයේදී වල් මර්දනය සඳහා ගසේ පාමුල සිට සෙ.මී. 60 පමණ වටයක් අතින් හෝ මුල් නොකැපෙනසේ උදළු ගෑමක් හෝ සිදු කළ හැක.
පොහොර යෙදීම
වියළි හා අතරමැදි කලාපය
සාම්ප්‍රදායික වගාව (වර්ෂා ජලයෙන්)
යොදන ආකාරය | යොදන කාලය | වර්ගය | ප්‍රමාණය | ||||
කාබනික පොහොර යෙදීම | සිටුවීමට සති 2 පෙර | කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් | කිලෝ ග්‍රෑම් 10 වලකට | ||||
රසායනික පොහොර | – | වර්ගය සහ ප්‍රමාණය | පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම් | ||||
– | යුරියා | TSP | MOP | N | P 2O 5 | K 2 O | |
සිටුවීමට පෙර | 60 | 40 | 125 | 28 | 18 | 75 | |
සිටුවා මාස 2 වරක් | 120 | 80 | 250 | 55 | 37 | 150 | |
සෑම මාස 6 කට වරක් | 180 | 120 | 375 | 83 | 55 | 225 | |
කාබනික පොහොර සෑම වර්ෂයකම යෙදිය යුතුයි. |
පොහොර යෙදීම
වියළි හා අතරමැදි කලාපය
සාම්ප්‍රදායික වගාව( ජලසම්පාදනය යටතේ)
යොදන ආකාරය | යොදන කාලය | වර්ගය | ප්‍රමාණය | ||||
කාබනික පොහොර යෙදීම | සිටුවීමට සති 2 පෙර | කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් | කිලෝ ග්‍රෑම් 10 වලකට | ||||
රසායනික පොහොර | – | වර්ගය සහ ප්‍රමාණය | පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම් | ||||
– | යුරියා | TSP | MOP | N | P 2O 5 | K 2 O | |
සිටුවීමට පෙර | 60 | 40 | 125 | 28 | 18 | 75 | |
සිටුවා මාස 2 වරක් | 120 | 80 | 250 | 55 | 37 | 150 | |
සෑම මාස 6 කට වරක් | 120 | 80 | 250 | 55 | 37 | 150 | |
කාබනික පොහොර සෑම වර්ෂයකම යෙදිය යුතුයි. |
තෙත් කලාපය
සාම්ප්‍රදායික ක්‍රමයට
යොදන ආකාරය | යොදන කාලය | වර්ගය | ප්‍රමාණය | ||||||
කාබනික පොහොර යෙදීම | සිටුවීමට සති 2 පෙර | කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට් | කිලෝ ග්‍රෑම් 10 වලකට | ||||||
අළුහුණු | සිටුවීමට සති 2 පෙර | ඩොලමයිට් | ග්‍රෑම් 500 වලකට | ||||||
රසායනික පොහොර | – | වර්ගය සහ ප්‍රමාණය | පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම් | ||||||
– | යුරියා | TSP | MOP | කීසරයිට් | N | P 2O 5 | K 2 O | MgO | |
සිටුවීමට පෙර | 55 | 50 | 95 | – | 25 | 23 | 57 | – | |
සිටුවා මාස 2 වරක් | 110 | 100 | 190 | 100 | 50 | 46 | 114 | 24 | |
සෑම මාස 4 කට වරක් | 110 | 100 | 190 | 100 | 50 | 46 | 114 | 24 |
කාබනික පොහොර ලෙස කුකුල් පොහොර යොදන විට හොදින් දිරූ ඒවා විය යුතු අතර වෙනත් කාබනික පොහොර මෙන් අඩක් පමණක් යෙදිය යුතුය.
ජල සම්පාදනය
වියළි හා අන්තර් කලාපවල වගාකරන විට තෙත් කලාපයේදී මෙන් නිතර වර්ෂාව නොලැබෙන නිසා ජල සම්පාදනය වැදගත් වේ. සාමාන්‍යයෙන් දින 07 – 10 වරක් ජල සම්පාදනය කිරීම ප්රමාණවත්ය. ජලය වඩාත් හිඟ වන විට වර්ධනය බාල වන අතර වැඩිපුර ජලය සම්පාදනය කළ විට දිලීර ආසාදනය වැඩි වශයෙන් ඇති වීමට ඉඩ ඇත.
කෙසෙල් වගාව සඳහා ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීමේදී ස්ප්රින්කලර් (විසිරුම්) ක්‍රමය නුසුදුසුය. එයට හේතුව එමඟින් විසිරෙන ජල බිංදු සිගටෝකා වැනි පත්‍රලප රෝග කාරක බීජාණු ව්‍යාප්ති වන නිසාය. මේ නිසා ක්ෂුද්‍ර ජල සම්පාදනය මඟින් කදේ පහළ කොටසට ජලය විසිරෙන පරිදි සකසා ගත යුතුය.
කැන්වල ගුණාත්මය වැඩි කිරීම
කැන් නඩත්තු කිරීම
කැන් පීදීම ආරම්භ වූ පසුව අවසාන ඇවරිය මතුවී කෙසෙල් මුව කොටස දික් වීමට පෙර පටන් ගන්නා අවස්ථාවේ දී අවසාන ඇවරියේ සිට අඟල් හතරක් පමණ ඉතිරි කර කෙසෙල් මුහය කපා ඉවත්කළ යුතුය. මේ අනුව කෙසෙල් කැන විශාල වන අතර හානිකර සතුන්ට වාසස්ථානයක් අහිමි වීමද සිදුවේ.
ආවරණ යෙදීම
කෙසෙල් මුහය කැපූ විගස එය ආවරණය කළ යුතුය. එවිට කැන පෘෂ්ටිමත්වීම,රෝග හා පළිබෝධ හානි අවම වීම නිසා බාහිරින් මනා පෙණුමක් ඇති තිත්, කැලැල් රහිත ඉදෙන විට ඒකාකාරී කහ පාටක් ගන්නා කැන් ලබාගත හැක.
ආධාරක තැබීම
කැන් පිදීම සිදුවන විට එහි බර වැඩි වන බැවින් මද සුළඟින් පවා ගස් බිදී යාමට ඉඩ ඇත. එම නිසා ආධාරක කණු සවි කිරීමෙන් ගසට කැන දරාසිටීමට සහයෝගයක් පිටතින් ලබා දෙයි.
අග ඇවරි ඉවත් කිරීම
කෙසෙල් කැනක අඟ ඇවරි 2 එනම් මල් ඇවරි දෙක ඉවත් කළ විට කැනෙහි ඉතිරි ඇවරි වල ගෙඩි පෘෂ්ටිමත් වෙයි. නමුත් සාමාන්‍ය වෙළඳපොලට සපයන විට නම් එය ඉවත් කිරීම ලාභදායි නොවනු ඇත.
අස්වැන්න සහ පසු අස්වනු තාක්ෂණය
කෙසෙල් අවුරුද්ද මුළුල්ලේම ඵල ලබා ගත හැකි රසයෙන් හා පෝෂණීය තත්ත්වයෙන් උසස් පළතුරකි. ප්‍රමාණය ඉක්මවා මේරූ කෙසෙල් කැන් කැපීම අප රටේ සිදුකරන සාමන්‍ය සිරිත වේ. එසේ කිරීමෙන් ගෙඩි පැලීම නිසා ඇති වන හානිය මෙන්ම ප්‍රවාහනය කරන කාලය තුලදී ඉදීම හා තැලීමෙන් නාස්ති වීමට ඇති හැකියාවද වැඩිය. තවද සිදු වන සීරීම් මඟින් ඉදුණු ගෙඩි වල ආකර්ෂණීය බව අඩු කරයි. මේ නිසා පාශ්චාත් අස්වනු හානිය අධිකය. මෙය අවම කර ගැනීමට ක්‍රම කිහිපයකින් සිදු කර ගත හැක.
අස්වනු නෙලන අවධිය
යම් කෙසෙල් වර්ගයක පීදීමේ සිට ගෙඩි සෑදීමට ගත වන කාලය නිශ්ච්තය. වියළි කලාපයේ මෙය ආසන්න වශයෙන් සති 12ක් පමණ වේ. කෙසෙල් ගෙඩි කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරෙන විටද, ගෙඩිවල දාරමය ස්වභාවය පහව ගියවිට ගෙඩි මේරීම බොහෝ විට සිදු වේ. අස්වනු නෙලීම සඳහා යෝග්‍ය කාලය වන්නේ මල් පිපීමෙන් සති 12 කට පසුවය. අස්වනු නෙලීම සවස් වරුවේ සිදුකළ යුතුය.
කෙසෙල් කැන පරිනත වීම ප්‍රභේදය අනුව නියමිත දින ගනනකින් සිදුවේ.
කෙසෙල් වර්ගය | කාලය |
ආනමාළු හා ඇම්බන් | මාස 03 |
ඇඹුල් | මාස 03 සති 01 |
කෝලිකුට්ටු | මාස 04 |
සීනි කෙසෙල් | මාස 04 සති 02 |
පුවාළු | මාස 05 |
පවතින දේශගුණික තත්ත්වය යටතේ සිටවූ පැළ වල දිරිය හා නඩත්තු කටයුතු මෙම කාලසීමාවට වෙනස් විය හැකිය.
ඇසිරීම හා ප්‍රවාහනය
දිලීර රෝග
පැනමා රෝගය
රෝග කාරකයා – ෆියුසාරියම් ඔක්ඩිස්පෝරම්
Fusarium oxysporum cubense
කෙසෙල් වගාවට ඇති විය හැකි දරුණුම දිලීර රෝගයකි. ලංකාවේ වගා කරන කෙසෙල් රෝග අතරින් ඇඹුල් හැර අනෙකුත් සියළුම වර්ග පැනමා රෝගයට ග්‍රාහී වේ. රෝග කාරකයා පාංශු දිලීරයකි. එමනිසා ආසාදිත පස් මගින් හෝ ආසාදිත රෝපණ ද්‍රව්‍ය මගින් හෝ රෝගී ක්ෂේත්රයක් නඩත්තු කරන ගොවිපළ උපකරණ මගින් රෝග කාරකයා නිරෝගී ක්ෂේත්රයකට ව්‍යාප්ත විය හැක. එසේම රෝගී ශාක කොටස් ජල මාර්ගවලට දැමීමෙන්ද ආසාදිත පඳුරු හරහා වන ජල සම්පාදනයෙන්ද රෝග කාරකයා ව්‍යාප්ත විය හැක.
රෝග කාරකයා මූල මණ්ඩලයට ආසාදනය වීමෙන් සනාල පටක අවහිර කරයි. ව්යාජකඳේ මෙන්ම කෝමයේද දුඹුරු පැහැයට හුරු දුර්වර්ණ ප්‍රදේශ දැකිය හැක. ජල අවශෝෂණයට වන බාධාව නිසා මැලවීමේ රෝග ලක්ෂණ පෙන්වයි. පත්‍ර කහපාට වී පිති වලින් කඩා වැටේ පසුව ශාකය මිය යයි. රෝග ලක්ෂණ දැකිය හැක්කේ කෙසෙල් කැන් ඇති වීමට ආසන්න පඳුරු වලයි. කුඩා පැලවල රෝග ලක්ෂණ දැකිය නොහැක.
රෝග පාලනය
- රෝග පාලනය සඳහා දිලීර නාශක යෙදීම සාර්ථක නොවේ. එමනිසා රෝගය වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
- ජලවහනය ක්‍රමවත්ව කල යුතුයි.
- රෝගී ශාක කොටස් ජල මාර්ග වලට නොදැමිය යුතුය.
- ඇඹුල් වැනි ප්‍රතිරෝධී ප්‍රභේද සමඟ මාරුවෙන් මාරුවට වගා කිරීම කළයුතුයි.
- නිරෝගී මව් ශාක වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම කළ යුතුයි.
- ආම්ලික පාංශු තත්ව රෝග කාරක ඝනත්වය වැඩි කිරීමට හේතු වන බැවින් ඩොලමයිට් හෝ අළු හුණු යෙදීම මගින් පසේ ආම්ලිකතාවය අඩු කිරීමට කටයුතු කළයුතුයි.
- පටක රෝපිත පැළ නිරෝගී රෝපන ද්‍රව්‍ය ලෙස යොදාගත හැක. නමුත් ආසාදිත ක්ෂේත්රයක සිටුවීමෙන් ඒ පැළ වලටද රෝගය වැළදීමේ හැකියාවක් ඇත.
ඇවරිමුල කුණුවීම (crown rot)
මෙම රෝගය පසු අස්වනු රෝගයක් ලෙස වැදගත් වේ. මෙම රෝගය ඇති කිරීමට රෝග කාරකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරිත්වය හේතු වේ. කෙසෙල් කැනෙන් ඇවරි වෙන් කිරීමේදී ආසාදිත කැනක ඇවරි කැපීමෙන් පසු පිරිසිදු නොකල පිහි වැනි උපකරන මගින් ද නිරෝගී කැන් වලට ආසාදනය වේ. මෙහිදී ඇවරි කැනට සම්බන්ධ වන ස්ථානයට (crown) මෙන්ම පසුව කෙසෙල් ගෙඩිවල නටුවටද පැතිරී යයි.
තවද ආසාදිත ඇවරි සේදූ ජලය නැවත භාවිතය නිසාත් ගෙඩිවලට සිදුවන යාන්ත්‍රික හානි නිසාත් රෝග කාරකයා ඇතුළු විය හැක. තවද නියමිත පරිනතියට පත්නොවී කැන් කැපීම නිසාද මෙම තත්වය ඇති විය හැක.
රෝග පාලනය
- කැන්වලට තුවාල නොවනසේ අස්වනු නෙලීම කලයුතුය.
- නියමිත පරිණතියේදී අස්වනු නෙලිය යුතුයි.
- ඇවරි සෝදන්නේ නම් පිරිසිදු ජලයෙන් වෙන් වෙන්ව සේදිය යුතුයි.
ඇන්ත්රැක්නෝස් රෝගය
රෝග කාරකයා – colletortichum spp
ශ්‍රී ලංකාවේ වගා කරන කෙසෙල් ප්‍රභේද අතරින් අළු කෙසෙල් මෙම රෝගයට වඩාත් පාත්‍ර වේ. අනෙක් වගා කරන කෙසෙල් ප්රභේදවල ගෙඩි ඉදෙන අවස්ථාවේදී තැන තැන ඇති වූ කළු පාට වලයාකාර ලප හා ඒවා ඒකරාශී වී සෑදුණු කළු පාට පැල්ලම් ලෙස දැකිය හැකි අතර ඒ තත්වය පසු අස්වනු අවස්ථාවේදී ඇතිවන රෝගී තත්වයකි.
රෝග පාලනය
- ක්ෂේත්රයේ සනීපාරක්ෂාව පිළිබඳව අවශ්‍ය කටයුතු කළ යුතුයි. එනම් පරඬැල් ඉවත් කර වගාව පිරිසිදු තත්වයෙන් තබාගත යුතුයි.
- අළු කෙසෙල්වලට නම් මුහයෙන ඇවරි වෙන්වීම ආරම්භ වූ පසු මැන්කොසෙබ් හෝ ක්ලෝරොතැලොනිල් අඩංගු දිලීර නාශකයක් සති 2 ක කාලාන්තර වලින් යෙදිය යුතුය.
- කැන් ආවරණය කිරීමද සුදුසුයි.
පත්‍ර ලප රෝග
සිගටෝකා පත්‍ර ලප රෝගය
කහ සිගටෝකා රෝගය
රෝග කාරකයා – Mycosphorella musicola
පත්‍රයේ පාර්ශ්වික නාරටිවලට සමාන්තරව කහ දුඹුරු පාටට පැල්ලම් ඇති වේ. ඇතැම්විට මෙම රෝගය දරුණුම ආසාදනයවීම නිසා පත්‍ර වියලීයාම සිදුවිය හැක. අධි ඝණත්ව වගාවේදී හා වියළි කලාපයේ සුළං තත්ව සමඟ මෙම බීජාණු පැතිරීම වේගවත් වේ. අධි ඝණත්ව වගාවේදී මෙම රෝගය ආර්ථිකව හානිදායී රෝගයකි. තවද පොටෑසියම් ඌනතාව මෙම රෝගය වැළඳීමට පහසු තත්ව ඇති කරයි. තෙත් කලාපයේ නම් පරිනත පත්රවලට වැළඳෙන නිසා ආර්ථික වශයෙන් හානිදායී නොවේ. රෝග ලක්ෂණ ඇති වන්නේ සාපේක්ෂව පහල පත්‍ර වලයි.
(4-5 වැනි පත්‍ර)
බැක්ටීරියා රෝග
බැක්ටීරියා කුණුවීම – Erwinia
රෝග කාරකයා – Erwinia chrysanthemr
මෙම බැක්ටීරියාව ආසාදනය නිසා කෙසෙල්වල රයිසෝමය තෙත් කුණුවීමට භාජනය වේ. තවද කෙසෙල් පත්‍ර නටුව කඳ සමඟ සම්බන්ධ වන ස්ථානයෙන්ද තෙත් ගඳ කුණුවීමක් දැකිය හැක. බැක්ටීරියා රෝග පාලනයට රසායනික ප්‍රතිකර්මයක් නැත. කෙසෙල් රයිසෝමයට ආසාදනය වී තිබේනම් කෙසෙල් පඳුර ගලවා විනාශ කිරීම හැර රසායනික පාලන ක්‍රමයක් නැත. එසේම මෙම රෝගය ආසාදිත ශාකයකින් නිරෝගී ශාකයකට ආසාදනයවීම භාවිතාකරන උපකරන මගින්ද සිදුවේ. එනම් ආසාදිත ශාකයක පරඬැලි කපා ඒ පිහිය සේදීමකින් තොරව නිරෝගී ශාකයක පරඬැල් කැපීමට යොදාගත්තොත් මෙසේ නිරෝගී ශාකයකට ආසාදනය වීමද සිදුවිය හැක. එමනිසා මෙම රෝගය කෙසෙල් පත්‍ර නටුව ව්‍යාජ කඳට සම්බන්ධ වන ස්ථානය ආශ්‍රිතව පමණක් දැකිය හැකි නම් පරඬැල් කැපීම සිදුකර එම ස්ථානයේ ක්ලෝරීන් 0.1g ක් ජලය ලීටරයකට දියකර ආලේප කිරීම පමණක් කළහැක. එසේම මුලින්ම නිරෝගී ශාකවල පරඬැල් කපා පසුව රෝගී ශාකවල පරඬැල් කැපීම කළයුතුයි. ඒ සෑම වාරයකදීම පිහිය ක්ලෝරීන් ද්‍රාවණයක ගිල්වා සෝදා ගැනීමද වඩාත් සුදුසුයි.
වයිරස් රෝග
කෙසෙල් වඳපීදීම
කෙසෙල් වගාවේ බහුලව දැකිය හැකි වයිරස් රෝගයකි. මෙම වයිරස් ආසාදනය ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් සිදුවිය හැක. ප්‍රාථමික ආසාදනය සිදුවන්නේ රෝගී පඳුරුවලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලිනි. මෙහිදී පත්‍ර සෙව්වන්දියක ආකාරය ගනී. ඉදිරි වර්ධනයක් සිදුනොවේ. ද්විතීක ආසාදනය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නම් කූඩිත්තා යුෂ උරාබීම නිසා සිදුවේ. එමගින් රෝගී ගස්වලින් නිරෝගී ගස්වලට රෝගය පැතිරේ. ද්විතීකව ආසාදනයවීම නිසා අළුතෙන් ඇතිවන පත්‍ර පටුවීමත් ඒවායේ මැද නාරටිය හා පාර්ශ්වික නාරටි ආශ්‍රිතව තද කොළපාටට විහිදුනු ඉරිවැනි ස්වභාවයක් ඇතිවීමක් සිදුවේ. ඇතැම්විට ගොබ හිරවීමද දැකිය හැකිය. නොපීදුණු ගසක් නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන සාමාන්‍ය ලෙස වර්ධනය නොවී කඳේ ස්ථානයකින් කැන එළියට මතුවේ.
රෝග පාලනය
- රසායනික මර්දන ක්‍රමයක් නැත.
- නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුයි.
- රෝගී ශාක ගලවා විනාශ කළයුතුයි.
- කූඩිත්තන් පාලනයට කටයුතු කළයුතුයි.
- රෝගීපත්ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි.
- වියළි කලාපයේ විසිරුම් ජල සම්පාදනය මෙම රෝග ව්‍යප්තියට උදව් විය හැක.
- ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ක්ලෝරොතැලෝනිල් හෝ මැන්කොසෙබ් දිලීරනාශක පත්‍ර තෙමෙන ලෙස ස්ප්‍රේ කළහැක.
කළු සිගටෝකා පත්‍ර ලප රෝගය
රෝග කාරකයා – Mycosphorella fijiensis
- පාර්ශ්වික නාරටිවලට සමාන්තරව විහිදෙන පැල්ලම් තද දුඹුරු පාටට හුරුය.
- රෝග ලක්ෂණ ඇතිවන්නේ සාපේක්ෂව ඉහල පත්‍ර වලයි. (2-4 වැනි පත්‍ර)
- කහසිගටෝකා පත්‍ර රෝගයට සාපේක්ෂව මේ රෝගය ආර්ථික වශයෙන් හානිදායී වේ. මේ නිසා අස්වැන්න 35-50 පමණ අඩුවීමක් වියහැක. සියළු වගාකරන කෙසෙල් ප්‍රභේද මේ සඳහා ග්‍රාහී වේ.
- සාමාන්‍යයෙන් පත්‍ර 5ක් වත් නිරෝගී ඵලදායී තත්වයේ පැවතීම අස්වැන්න වැඩිවීමට බලපායි. මෙම රෝගය වැලදීම නිසා අස්වැන්නට සැලකිය යුතු බලපෑමක් ඇති විය හැක. එනම් ගෙඩි අපරිණත අවස්ථාවේ ඉදීම හා ඒකාකාර ඉදීමක් සිදුනොවීම වැනි තත්ව ඇතිවියහැක.
රෝග පාලනය
- මෙම රෝගය දැනට ලංකාවේ වාර්තා නොවේ.
- රෝග ලක්ෂණ පවතීනම් එම ශාක ඉවත්කිරීමට කටයුතු කළයුතුයි.
කෝඩානා පත්‍ර ලප රෝගය
රෝග කාරකයා – Codana musqe
- පත්‍ර තලය මතුපිට ඕවලාකාර පැල්ලම් ඇති වී ඒවා පත්‍ර දාරය දෙපසට පැතිරී යයි.
- මෙම පැල්ලම් දුඹුරු අළු පැහැති මධ්‍ය ප්‍රදේශයකින් යුතු අතර සංකේන්ද්‍රීය වලලු ආකාරයේ මෝස්තරයක් ලෙසද දැකිය හැක.
- එසේම ඒ පැල්ලම් කහපාට දීප්තිමත් වලයකින් වටවී ඇත.
රෝග පාලනය
- ආසාදිත පත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුය.
- ක්ලෝරොතැලෝනිල් අඩංගු දිලීර නාශකයක් හෝ මැන්කොසෙබ් දිලීර නාශකය භාවිතා කළහැක.
පිපිඤ්ඤා විචිත්‍ර වයිරස් රෝගය
විවිධ පරිසර තත්වයන් යටතේ පිපිඤ්ඤා විචිත්‍ර වයිරසයේ විවිධ මාදිලි මගින් මෙම රෝගය ඇති වේ. රෝග ලක්ෂණද වයිරස් මාදිලිය, පරිසරයේ උෂ්ණත්වය
- Address : Fruit Research and Development Institute, Kananwila ,Horana
- Email : doadfrd@gmail.com
- Telephone : (+94) 0342261323
- Fax : (+94) 0342261323
- Open : Mon to Fri - 8.30am to 4.30pm (Saturday & Sunday Closed)
Useful Links
Sri Lanka Council for Agricultural Research Policy(CARP)
Government Information Centre More Links…
Address : Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.
Email : doadfrd@gmail.com
Telephone : (+94) 0342261323
Fax : (+94) 0342261323
Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)