පටක රෝපණ අවශ්‍යතා

පටක රෝපණ විද්‍යාගාරය

විද්‍යාගාර සැලසුම් කිරීම


පටක රෝපණ ක්‍රියාවලිය නිසියාකාරව සහ පහසුවෙන් සිදුකර ගැනීමට හැකිවන පරිදි රසායනාගාරය සැලසුම් කළ යුතුය. එහි තිඛිය යුතු අත්‍යවශ්‍ය අංශ පහත දැක්වේ.

පිරිසිදු කිරීම් සිදුකරන කාමරය(washing room)


බාහිරින් ගෙන එනු ලබන ශාක කොටස් පිරිසිදු කිරීම හා අවශ්‍ය ලෙස පිළියෙල කර ගැනීම ද වීදුරු භාජන ආදිය පිරිසිදු කිරීමද මෙහිදී සිදු කරනු ලැබේ.

මාධ්‍ය පිළියෙල කරන කාමරය (media preparation room)


සාන්ද්‍ර ද්‍රාවණ (stock solutions), රෝපණ මාධ්‍යය ආදිය පිළියෙල කිරීම සහ ජීවානුහරණය කිරීම මෙහිදී සිදු කරයි.

රෝපණය සිදු කරන කාමරය (transfer room)

පූර්වක ස්ථාපනය, උප රෝපණය වැනි ක්‍රියාකාරකම් අනවරත ප්‍රවාහ කුටීරයක (Laminar air flow cabinet) ආධාරයෙන් සිදු කරයි. මෙහි සනීපාරක්ෂ තත්ත්වයන් හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

රෝපණාගාරය (culture room)

රෝපිත හොඳින් වර්ධනය හෝ ගුණනය හෝ කර ගැනීම සඳහා යෝග්‍ය පාරිසරික තත්ත්වයන් ලබා දෙන්නේ රෝපණාගාරය තුළදීය. රෝපිත බඳුන් විශේෂයෙන් සැකසූ රාක්ක වල තැන්පත් කරනු ලබන අතර ඊට ඉහළින් සවි කරන ලද ප්‍රතිදීප්ත පහන් (fluorescent tube lights) වලින් අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය ලබා දෙන අතර ස්වයංක්‍රීය පාලන ක්‍රමයක් මඟින් (time switch) ආලෝකය ලබාදෙන කාල සීමාව පාලනය කරයි.

රෝපණාගාරය තුළ උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය නියමිත ආකාරයට පවත්වා ගැනීම වැදගත් වන අතර මේ සඳහා වායුසමීකරණ යන්ත්‍ර භාවිත කෙරේ. සාමාන්‍යයෙන් වර්ධක කුටීරය තුළ උෂ්ණත්වය 25±20 ක් හා සාපේක්ෂ ආර්ද්‍රතාවය 70% ක් පවත්වාගෙන යාම යෝග්‍යය. සාපේක්ෂ ආර්ද්‍රතාව 50% ට වඩා අඩු වූ විට රෝපණ මාධ්‍යයෙන් ජලය ඉවත් වී ලවණ සාන්ද්‍රණය වැඩි වීම රෝපිත වලට අහිතකර ලෙස බලපාන අතර ඉහළ ආර්ද්‍රතාව (80%-100%) යටතේ රෝපිත ක්ෂුද්‍ර ජීවී ආසාදනයට ලක්විය හැකිය.මෙම කාමරය තුළ ඉතා ඉහළ සනීපාරක්ෂක තත්ත්වයන් පවත්වා ගැනීමද ඉතා වැදගත් වේ.

පැළ ගෘහය


පැළ ගෘහය, පටක රෝපිත පැළ සාමාන්‍ය පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දෙන අයුරින් දැඩි කිරීම සඳහා යොදා ගනී. මෙම කාර්යය සඳහා හරිතාගාර, වීදුරු නිවාස හෝ දැල් නිවාස ආදිය භාවිත කළ හැකිය.

කාර්ය මණ්ඩලය සඳහා කාමර ද රසායන ද්‍රව්‍ය හා උපකරණ සඳහා වෙන්වූ ගබඩා කාමර ද පවත්වා ගැනීම සුදුසුය.

එක් එක් කාමර වලට ඇතුළු වන ආකාරය පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මාධ්‍යය පිළියෙල කරන කාමරයෙන් පූර්වක ස්ථාපනය කරන කාමරයටත් ඉන් අනතුරුව එම කාමරයෙන් රෝපණ කුටීරයටත් ආදි වශයෙන් සෘජුව ඇතුළුවිය හැකි පරිදි දොරවල් තැබීම වැදගත්‍ය.රෝපිත ස්ථාපනයෙන් පසු බඳුන් සෘජුවම රෝපණ කුටීරයට ගෙන යාම මඟින් ක්ෂුද්‍රජීවී ආසාදන හටගැනීමට ඇති ඉඩ ප්‍රස්ථා අවම කර ගත හැකිය.

රසායනාගාර සනීපාරක්ෂාව

රසායනාගරය තුළ සහ ඒ අවට සනීපාරක්ෂාව පවත්වා ගැනීම ඉතා වැදගත්‍ය. මයිටාවන්, පැළ මැක්කා සහ විවිධ කෘමීන් මෙන්ම ක්ෂුද්‍ර ජීවීන් මඟින් රෝපිත පහසුවෙන් ආසාදනය විය හැකිය. මෙහිදී අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක් පහත දැක්වේ.

  • සතුනට ඇතුළුවිය හැකි ජනෙල්,වාකවුළු ආදිය වසා දැමීම.
  • දොරවල් හැකි සෑම විටකම වසා තැබීම.මේ සඳහා ස්වයංක්‍රීය දොර වසනයක් සවිකළ හැකිය.
  • බිත්ති වල කැඩී බිඳී ඇති තැන් පිළිසකර කිරීමෙන් කුඩා සතුනට සැඟවී සිටිය හැකි ස්ථානයන් අවම වේ. බිත්ති පින්තාරු කිරීමේදී දිලීර ආදිය නොවැඩෙන ආරක්ෂිත ද්‍රව්‍ය අඩංගු සුදු පැහැති තීන්ත අලේප කිරීම වඩාත් සුදුසුය. ඇතුළත බිත්ති වල එනමල් තීන්ත අලේප කිරීමෙන් පහසුවෙන් පවිත්‍ර කළ හැකිය.
  • පොළව සැකසීම සඳහා ටයිල් වැනි පහසුවෙන් පිරිසිදු කළ හැකි ද්‍රව්‍ය භාවිත කිරීම ඉතා වැදගත් වේ.
  • විද්‍යාගාරය තුළ මෙන්ම අවට භූමියද පවිත්‍රව තබා ගැනීම වැදගත් වේ. ආසන්නයේ ඇති ගස් හා අතු ඉවත් කිරීමෙන් සතුන්ට ඇතුළු වීමට ඇති ඉඩකඩ අඩු වන අතර, හොඳින් හිරු එළිය ලැබීමෙන් අවට වියළි තත්ත්වයක්ද පවත්වා ගත හැකිය.
  • විද්‍යාගාරය තුළට ඇතුළු වීමේදී තමන් පැළඳ සිටි පාවහන් ගලවා,රසායනාගාරය සඳහා වෙන්කර ඇති පාවහන් පැළඳීම, රසායනාගාර කබා පැළඳීම, සබන් යොදා දෙඅත් පිරිසිදු කිරීම ආදිය අනිවාර්යයෙන්ම කළ යුතුය.
  • විද්‍යාගාරයේ බිම නිතිපතා විෂබීජ නාශක යොදා පිරිසිදු කිරීම වැදගත්ය. එහි දොරවල්, ජනෙල් හා බිත්ති ආදියද අවශ්‍ය පරිදි පිරිසිදු කිරීම කළ යුතුය.
  • විද්‍යාගාරයේ වහලය හා සිවිලිම ගැන නිරන්තරයෙන් සොයා බලා අවශ්‍ය පිළිසකර කිරීම් සිදුකළ යුතුය. සිවිලිමටද සුදු පැහැති තීන්ත ආලේප කිරීමෙන් දීලීර වර්ධනය වීම් හා කුඩා සතුන් ආදින් පැහැදිලිව හඳුනාගත හැකිය
විද්‍යාගාරයේ උපකරණ සහ කාර්යාල උපකරණ

එම උපකරණ විධිමත් සැලැස්මකට අනුව තැබිය යුතු අතර එවිට වැඩ කටයුතු වඩා කාර්යක්ෂමව ඉටු කර ගත හැකිවීම මඟින් පිරිසිදු කිරීමද පහසුවේ. උපකරණ ස්ථානගත කළ යුතු ආකාරය 3.1 වගුවෙහි දක්වා ඇත.
ප්‍රදේශය
පිරිසිදු කරන කාමර (Washing room)
විදුලි උදුන, පීඩන තාපක, ජල ආසවන උපකරණය, වියළන(dryer) වැඩ බංකු, ජල කරාම සහිත බේසම්, රාක්ක,කැපීමට භාවිත කරන බෝඩ්, පිහි, කසල බඳුන්
මාධ්‍යය පිළියෙල කරන කාමරය (Media preparation room)
මිණුම් උපකරණ, රසායනික තුලා, ශීතකරණ, pH මීටර්,කලතනය සහිත විදුලි උදුන, මේස, වැඩ බංකු, වීදුරු බඳුන් ආදිය ගබඩා කිරීමට රාක්ක/අල්මාරි, ට්‍රොලි
රෝපණ සිදු කරන කාමරය (Transfer room)
අනවරත ප්‍රවාහ කුටීර, ගෑස් සැපයුම, කලතන, ට්‍රොලි, වායු සමීකරණ යන්ත්‍ර
රෝපණාගාරය (Culture room)
රෝපිත සඳහා රාක්ක, කලතන, වායු සමීකරණ යන්ත්‍ර,
උපරිම අවම උෂ්ණත්වමාන සහ ආර්ද්‍රතාමාන

රසායනාගාර තුළ ආරක්ෂක ක්‍රමවේදයන් භාවිතය

පටක රෝපණ රසායනාගාර තුළ විදුලිය, ගෑස්, මධ්‍යසාර සහ විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරන බැවින් සේවකයින්ගේ මෙන්ම රසායනගාර උපකරණ ආදියෙහි ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් විය යුතුය. විදුලිය, ගෑස් කාන්දුවීම් හෝ නොසැලකිලිමත්කම නිසා ගිනි ගැනීම් වැනි අනතුරු සිදුවිය හැකි අතර ඒවා පාලනය සඳහා පහත දැක්වෙන ක්‍රියාමාර්ගයන් අනුගමනය කළ යුතුය.

  1. විදුලි පද්ධතිය නිතිපතා පරීක්ෂාව හා අවශ්‍ය පිළිසකර කිරීම් සිදු කිරීම.
  2. ගෑස් භාවිතයේදී පරීක්ෂාකාරි වීම සහ අවශ්‍ය පරිදි පිළිසකර කිරීම් සිදු කිරීම.
  3. ගිනි නිවන උපකරණ භාවිතය - මෙහිදී විදුලි කාන්දුවීම් සහ මධ්‍යසාර, ඉන්ධන ආදිය මඟින් ඇතිවන ගිනි ගැනීම් වලදී භාවිත කළ හැකි, ක්‍රියාත්මක තත්ත්වයේ ඇති ගිනි නිවන උපකරණ රසායනාගාරය තුළ තිබිය යුතුය. මීට අමතරව ගිනි නිවීම සඳහා භාවිත කළ හැකි ගෝනි වැනි ආවරණ (fire blanket) වැලි ආදිය ද රසායනාගාර තුළ තබා ගැනීම වැදගත් වේ.
  4. අවදානම් සහිත රසායනික ද්‍රව්‍ය වන පොටෑසියම් නයිට්‍රේට් සහ මධ්‍යසාර භාවිතයේදී මෙන්ම ඒවා ගබඩාකරණයේදී සැලකිලිමත් විය යුතුය.මේවා විශාල තොග ලෙස තබා නොගත යුතු අතර නියමිත ප්‍රමිතීන්ට අනුව ගබඩා කළ යුතුය.
  5. ප්‍රථමාධාර සඳහා අවශ්‍ය පහසුකම් රසායනාගාරය තුළ පවත්වාගෙන යා යුතුය.
  6. රසායනාගාර ආරක්ෂිත කබා, අත් වැසුම්, මුඛවාඩම් ආදිය භාවිත කිරීම මඟින් සේවකයින්ට සිදුවිය හැකි හානි මෙන්ම රෝපිත ආසාදනයන්ද අඩු කරගත හැකිය.
  7. රසායනාගාර උපකරණ භාවිතයේදී ද නිවැරදි පිළිවෙත් අනුගමනය කළයුතුය.විශේෂයෙන් රසායනාගාර උදුන්, පීඩන තාපක වැනි උපකරණ භාවිත කිරීමේදී පිළිස්සීම් වැනි අනතුරු වලට ලක්විය හැකි හෙයින් ඉතා ප්‍රවේශම්කාරී විය යුතුය.

උපකරණ

අනවරත ප්‍රවාහ කුටීරය (Laminar air flow cabinet)


පූර්වක රෝපණය කිරීම සිදු කළයුතු වන්නේ ජීවාණුහරිත තත්ත්ව යටතේදීය. එසේ නැතහොත් පූර්වක ඇතුළු කිරීමට බඳුන් විවෘත කරන විට අවට පරිසරයේ ඇති ක්ෂුද්‍ර ජීවීන් මාධ්‍යය බඳුනට ඇතුළු වී ආසාදන ඇති කරයි. අනවරත ප්‍රවාහ කුටීරය යනු මෙම තත්ත්වය මගහැරීම සඳහා භාවිත කරන උපකරණයයි. එහි ඇති 0.3 μm පමණ කුඩා සිදුරු වලින් යුත් ‘හෙපා ෆිල්ටරය‘. (HEPA-High Efficiency Particulate Air filter)මඟින් සම්පූර්ණයෙන්ම ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කරන ලද වාතය නොනවත්වා එහි ඇති කුටීරය වෙත යොමු කරයි. විනාඩි 30 ක් පමණ යන්ත්‍රය ක්‍රියාත්මක කර තැබූවිට එහි ඇති කුටීරය ජීවාණුහරිත තත්ත්වයට පත්වන අතර එහිදී මාධ්‍යය බඳුන් විවෘත කළද ආසාදන ඇති නොවේ. තවද අනවරත ප්‍රවාහ කුටීරය තුළ බොහෝ විට පාරජම්බුල කිරණ (ultra violet ) විහිදුවන බල්බ සවිකර ඇති අතර ඒ මඟින් ද ක්ෂුද්‍ර ජීවීන් විනාශ කළ හැකිය.

පීඩන තාපකය (Autoclave)


මෙහිදී අධික උෂ්ණත්වයක් හා අධික පීඩනයක් යටතේ ජල වාෂ්ප මඟින් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සිදුවේ. පීඩන තාපකය මඟින් සිදු කරන ජීවානුහරණය තෙත් තාප ජීවානුහරණය ලෙස ද හඳුන්වයි. පටක රෝපණ මාධ්‍යය, ජලය, උපකරණ, මෙවලම් සහ වීදුරු භාජන ආදිය ජීවානුහරණය කිරීම සඳහා පීඩන තාපකය යොදා ගැනේ. මේ තුළ අධික පීඩනයක් (1.05kg/cm2) යටතේ 1210C ක් හෝ ඊට වැඩි උෂ්ණත්වයක් නියමිත කාලයක් තුළ පවත්වා ගැනීමෙන් මාධ්‍යය හෝ ද්‍රවයේ හෝ ජීවානුහරණය කරගත හැකිය.

ජල ආසවන උපකරණය(water distillation unit)


පටක රෝපණයේදි භාවිත වන මාධ්‍යය, විවිධ ලවණ හා අනෙකුත් රසායන ද්‍රව්‍ය වල එකතුවක් වන අතර ඒවා නියමිත සාන්ද්‍රණ අනුපාත වලින් තිබීම අතිශයන්ම වැදගත් වේ. සාමාන්‍ය ජලයෙහි විවිධ ලවණ වර්ග අඩංගු විය හැකි බැවින් පටක රෝපණ මාධ්‍යය පිළියෙල කර ගැනීම සඳහා එම ජලය භාවිත කළහොත් මාධ්‍යයේ රසායනික සංයුතිය නියමිත ආකාරයට පවත්වා ගැනීමට නොහැකිය. එබැවින් පටක රෝපණ මාධ්‍යය පිළියෙල කිරීම සඳහා වරක් හෝ දෙවරක් ආසවනය කරන ලද ජලය යොදාගන්නා අතර, ඒ සඳහා භාවිත කරනු ලබන්නේ ජල ආසවන උපකරණයය.

විදුලි උදුන (Hot air oven)


පටක රෝපණයට භාවිත කරන වීදුරු භාජන හා පිහි, ඩැහි අඩු ආදි මෙවලම් ජීවානුහරණය සඳහා විදුලි උදුන භාවිත කරයි. කඩදාසි, තුනී ඇලුමිනියම් ආවරිත (Aluminum foil) වලින් ආවරණය කරන ලද මෙවලම් ආදිය 150-1800C ක උෂ්ණත්වය යටතේ විනාඩි 60-90 ක පමණ කාලයක් පවත්වා ගත යුතුය. මෙහිදී කාලය ගණනය කළ යුත්තේ ජීවානුහරණ උෂ්ණත්වයට ළඟා වූ අවස්ථාවේ සිටය. මෙය වියළි තාප ජීවානුහරණයයි.

ශීතකරණය (Refrigerator)


අඩු උෂ්ණත්ව තත්ත්ව (40C) යටතේ ගබඩා කළයුතු රසායන ද්‍රව්‍ය , පිළියෙල කරන ලද සාන්ද්‍ර ද්‍රාවණ (stock solutions) ආදිය දිගු කාලීනව ප්‍රයෝජනයට ගැනීම සඳහා ශීතකරණයක ගබඩා කළ යුතුය. සාන්ද්‍ර ද්‍රාවණ කාමර උෂ්ණත්වය යටතේ ගබඩා කිරීමෙන් ක්ෂුද්‍ර ජීවී ආසාදන වලට ලක්වීම ඉක්මන් වේ.

ඉලෙක්ට්‍රොනික තුලාව(Electronic balance)


මාධ්‍යය පිළියෙල කිරීමට අවශ්‍ය කරනු ලබන මහා පෝෂක, සීනි, ඒගාර් ආදිය කිරා ගැනීම සඳහා භාවිත කරයි. මෙහි නිරවද්‍යතාවය දශම ස්ථාන දෙකක් වීම ප්‍රමාණවත්ය.

විශ්ලේෂක තුලාව (Analytical balance)


ක්ෂුද්‍ර පෝෂක, හෝමෝන ආදිය කිරා ගැනීම සඳහා භාවිත කරන මෙම උපකරණය දශමස්ථාන හතරක අගයක් නිවද්‍යතාවය පෙන්විය යුතුය.

කලතනය (Shaker)


ද්‍රව මාධ්‍යය වල පටක රෝපණය සිදු කරන අවස්ථාවලදී පූර්වක මාධ්‍යයේ ගිලීමෙන් ඇති වන නිර්වායු තත්ත්වය වළක්වා ගැනීම සඳහාත් ඇතැම් විට පූර්වක ජීවානුහරණ ක්‍රියාවලියේදීත් කලතනය භාවිත කරයි.

pH මීටරය (pH meter)


මාධ්‍යය වල pH අගය සැකසීම සඳහා මෙය අත්‍යාවශ්‍ය වේ. ඒගාර් වැනි ඝනීකාරක ද්‍රවයේ මාධ්‍යය ද්‍රාවණයට මිශ්‍ර කිරීමට පෙර pH අගය මැනිය යුතුය

කලතනය සහිත තාප උදුන (stirrer with hotplate)


මෙය මාධ්‍යය හෝ ද්‍රාවණ පිළියෙල කිරීමේදී වැදගත්වන උපකරණයකි. මෙය උදුනක් සේ ක්‍රියා කරන බැවින් ද්‍රාවණ රත් කරගත හැකි අතර චුම්භකයක් (magnetic bar) භාවිතයෙන් ද්‍රාවණය හොඳින් කලතා මිශ්‍ර කර ගැනීමටද හැකියි.

මයික්‍රෝවේව් උදුන (Microwave oven)


ද්‍රාවණ රත්කර ගැනීමටද, මාධ්‍යය පිළියෙල කිරීමේදි ඝනීකාරක ද්‍රව්‍ය ද්‍රව තත්ත්වයට එනතෙක් රත් කිරීම ආදියට මයික්‍රොවේව් උදුන භාවිත කළ හැකිය.


ගෑස් උදුන
/ගෑස් සිලින්ඩර්

විශාල වශයෙන් මාධ්‍යය පිළියෙල කරන විට ගෑස් උදුනක් භාවිත කිරීම ඵලදායී වනු ඇත.
වීදුරු උපකරණ සහ අනෙකුත් මෙවලම්

වීදුරු උපකරණ මිලදී ගැනීමේදී තාපයට ඔරොත්තු දෙන බෝරොසිලිකේට් වීදුරු වලින් නිෂ්පාදිත ඒවා මිලදී ගත යුතුය. පටක රෝපණය සඳහා අවශ්‍ය වන වීදුරු උපකරණ සහ අනෙකුත් මෙවලම් ඇත.
මීට අමතරව ඩැහි අඩු (forceps 15cm,25cm) තල මාරු කළහැකි සැත්කම් පිහි (scalpel handles)(No 34) කතුරු, බ්ලේඩ් (No 10,11, 22 හා 23) පිපෙට් රාක්ක, රෝපණ නල සඳහා රාක්ක ආදියද අවශ්‍ය වේ.

වීදුරු වලින් තැනූ බීකර, මිනුම් සරා ආදිය වෙනුවට පොලි ප්‍රොපිලීන් වලින් සෑදු ඒවාද භාවිත කළ හැකිය. මිල අධික වීදුරු භාණ්ඩ බිඳී යාමේ අවදානමට මෙය හොඳ පිළියමක් වන නමුත් මේවා විදුලි හෝ ගෑස් උදුන් මත තැබිය නොහැකිය.

රෝපණ මාධ්‍යය

රෝපණ මාධ්‍යය, පටක රෝපණය සඳහා වන මූලික අවශ්‍යතාවයකි. ශාක වර්ධනයට අවශ්‍ය මූලද්‍රව්‍ය, විටමින්, හෝමෝන, ශක්ති ජනක ද්‍රව්‍ය, ඇමයිනෝ අම්ල, ජලය ආදිය මෙහි මූලික සංඝටකයන් වන අතර නියමිත pH අගයන් මාධ්‍යයයේ පවත්වා ගැනීම රෝපිත වල වර්ධනයට ඉතා වැදගත් වේ.

ශාක විශේෂය, පටක රෝපණය කිරීමේ අරමුණ සහ පටක රෝපණ ක්‍රම (කිණක රෝපණය, අංකුර රෝපණය ආදි) ආදිය මත භාවිත කරන රෝපණ මාධ්‍යය වෙනස් වේ. කුමන මාධ්‍යයක් භාවිත කළද, එය නියමිත ප්‍රමිතීන්ට අනුව ඉතා නිවැරදිව පිළියෙල කිරීම වැදගත්‍ය. පිරිසිදුතාවයෙන් ඉහළ විශ්ලේෂක ශ්‍රේණියේ (AR-analytical reagent)රසායනික ද්‍රව්‍ය රෝපණ මාධ්‍යය සෑදීම සඳහා භාවිත කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට පහසුවනු ඇත. එනමුත් මේවා සාමාන්‍ය රසායනික ද්‍රව්‍ය වලට වඩා අතිශයින් මිල අධිකය. එකම රසායනික ද්‍රව්‍යයේ මිල නිෂ්පාදිත සමාගම අනුවද බෙහෙවින් විචල්‍ය වේ.

පටක රෝපණයේදී, අවශ්‍යතාව අනුව ඝන,අර්ධ ඝන හා ද්‍රව ආකාරයෙන් මාධ්‍යය සකස් කරගනු ලැබේ. ඝන මාධ්‍යය හා අර්ධ ඝන මාධ්‍යය පිළියෙල කිරීමේදී මාධ්‍යයට ඒගාර්, ෆයිටොජෙල්, ජෙලටීන් වැනි ඝණීකාරක එකතු කරනු ලැබේ මාධ්‍යයයේ ඝණීකරන හැකියාව එම ඝණීකාරකයේ නිෂ්පාදන සමාගම/සන්නම් නාමය (Manufacture/brand ), තත්ත්වය (grade) එහි සාන්ද්‍රණය සහ pH අගය ආදිය මත රඳා පවතී.

පටක රෝපණය සඳහා විවිධ විද්‍යාඥයින් විසින් නිශ්චය කර ඇති මාධ්‍යයන් රැසකි. ඇතැම් මාධ්‍යය කිසියම් වූ නිශ්චිත කාර්යයන් සඳහා සුවිශේෂී වන අතර මුරාෂිගේ සහ ස්කූග් (Murashi and Skooge) 1962 වැනි මාධ්‍යය ක්ෂුද්‍ර ප්‍රචාරණය ඇතුළු බොහෝ කාර්යයන් සඳහා යොදා ගනී. බහුලව භාවිත වන මාධ්‍යය කිහිපයක් පහත දැක්වේ.
  1. මුරාෂිගේ සහ ස්කූග් (Murashige and Skoog 1962)-MS
  2. ගැම්බර්ග් - BS (Gamborg 1968)
  3. නඩ්සන් මාධ්‍යය (Knudson C,1946)
  4. නිෂ් සහ නිෂ් (Nish & Nish,1969)
  5. බොක්සස් (Boxus,1974)
  6. මොන්ටසෝමා සහ ගුයිමොරේස් මාධ්‍යය(M&G, 1974)
ඉහත මාධ්‍යයන් නියමිත පරිදි රසායන ද්‍රවයේ මිශ්‍ර කිරීමෙන් සාදාගත හැකි අතර නිමි මිශ්‍රණ (ready-made mixtures)ලෙසද මිලදී ගත හැකිය. නිමි මිශ්‍රණ භාවිත කිරීම මඟින් ශ්‍රමය සහ කාලය ඉතිරි කර ගත හැකි අතර දෝෂ ඇති වීමට ඇති ඉඩකඩ ද ඉතා අඩු වේ. මෙය පහසු ක්‍රමයක් වන නමුත් අධික පිරිවැයක් දැරීමට සිදු වන බැවින් බොහෝ රසායනාගාර වල භාවිත නොකරයි.

මාධ්‍යය සංඝටක

ජලය

ශාක වල වර්ධනයට සහ පැවැත්මට ජලය අත්‍යාවශ්‍ය සාධකයක් බැවින් පටක රෝපණ මාධ්‍යයේ ද වැඩි ප්‍රතිශතයක් ජලය අඩංගු වේ. මේ සඳහා ආස්‍රැත ජලය හෝ අයන ඉවත් කරන ලද ජලය (de-ionized water) භාවිත කරනු ලැබේ ඉතා සරල පටක රෝපණ ක්‍රම (ක්ෂුද්‍ර ප්‍රචාරණය) සඳහා ආස්‍රැත ජලය භාවිත කිරීම ප්‍රමාණවත් වන නමුදු වඩා උසස් තාක්ෂණයෙන් යුතු ක්‍රම සඳහා දෙවරක් ආස්‍රැත කළ ජලය හෝ අයන ඉවත් කරන ලද ජලය භාවිත කිරීම වඩාත් සුදුසුය.

අකාබනික ලවණ
මාධ්‍යයේ සංඝටක ලෙස භාවිත කරන විවිධ ලවණ, මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක ලෙස වර්ගීකරණය කර ඇති අයුරු වගුවෙහි දක්වා ඇත
මහා පෝෂක හා ක්ෂුද්‍ර පෝෂක

මහා පෝෂක

ක්ෂුද්‍ර පෝෂක

N- නයිට්‍රජන්

Fe- ෆෙරස්

P- පොස්පරස්

Co- කෝබෝල්ට්

K- පොටෑසියම්

B- බෝරෝන්

Ca- කැල්සියම්

Zn- සින්ක

Mg- මැග්නීසියම්

Cu- කොපර්

S- සල්පර්

Mb- මොලිබ්ඩිනම්

I- අයඩින්

Mn- මැන්ගනීස්

ශාක වර්ධනයට මූලික වශයෙන් නයිට්‍රජන් පොස්පරස් සහ පොටෑසියම් අවශ්‍ය වේ. නයිට්‍රජන්, ඇමෝනියම් හෝ නයිට්‍රේට් අයන වශයෙන් ශාකයට අවශෝෂණය කරගන්නා බැවින් මාධ්‍යයේ මෙම අයන වර්ග දෙකම තිබීම පටක වර්ධනයට වඩාත් හිතකරය. බොහෝවිට පොටෑසියම් නයිට්‍රේට (KNO3) හෝ පොටෑසියම් සල්පේට් (K2SO4) ලෙස පොටෑසියම් ද, පොටෑසියම් ඩයි හයිඩ්‍රජන් ඕතෝ ෆොස්පේට් (KH2O4) ලෙස පොස්පරස් ද මාධ්‍යයට එක් කරනු ලැබේ. මේ ආකාරයට අනෙකුත් මූලද්‍රව්‍ය සියල්ල ද ලවණ ලෙස මාධ්‍යයට එකතු කරනු ලබයි.
ශාක වර්ධනයට ඉතා සුළු වශයෙන් අවශ්‍ය මූලද්‍රව්‍ය අංශු මාත්‍ර මූලද්‍රව්‍ය ලෙස හැඳින්වුව ද මේවා ශාක වර්ධනයට හා පැවැත්මට අත්‍යාවශ්‍ය වේ. අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය හෙවත් ක්ෂුද්‍ර පෝෂක, අවශ්‍යතාවයට වඩා වැඩියෙන් මාධ්‍යයයේ අඩංගු වුවහොත් ඒවා ශාක වලට විෂ වීමට ඉඩ ඇත.
iii. කාබනික ද්‍රව්‍ය
a.ශක්ති ප්‍රභවයන්
රෝපිත වලට ස්වයං ආහාර සංස්ලේෂණ හැකියාවක් නොමැති බැවින් සුක්‍රෝස්, ග්ලූකෝස්, ෆ්රක්ටෝස් වැනි ද්‍රව්‍ය ශක්ති ප්‍රභවයන් ලෙස මාධ්‍යයට එක් කරයි. සුක්‍රෝස් වෙනුවට පිරිසිදු කළ සාමාන්‍ය සීනි ක්ෂුද්‍ර ප්‍රචාරණය සඳහා බහුලව භාවිත කරයි. (සුපිරි වෙළඳසැල් වලින් මෙම සීනි ලබා ගත හැකිය.)
b.විටමින්
සෛල වල එන්සයිම සක්‍රිය කර සෛල බෙදීම, ශාක වර්ධනය ආදි ක්‍රියාවන් සිදු කිරීම සඳහා විටමින් අත්‍යවශ්‍ය සාධකයකි. පටක රෝපණ මාධ්‍යය සඳහා විටමින් B1 (තයමින් හයිඩ්‍රොක්ලෝරයිඩ්), B6 (පිරිඩොක්සින් හයිඩ්‍රොක්ලෝරයිඩ්), B3(නිකොටිනික් අම්ලය) ඇස්කොබික් අම්ලය (විටමින් C) ආදිය බහුලව භාවිත කරයි.
  1. ඇමයිනෝ අම්ල
රෝපිත පටක වලට යම් ප්‍රමාණයකට ඇමයිනෝ අම්ල සංස්ලේෂණය කර ගැනීමට හැකියාවක් ඇත. එසේ වුවද ඇමයිනෝ අම්ල මාධ්‍යයයට එක් කිරීම වාසිදායක බව පර්යෙෂණ වලදී පෙනී ගොස් ඇත.
ඇමයිනෝ අම්ල අතුරින් ග්ලයිසින් බහුලව භාවිත කරන අතර ඇතැම් අවස්ථා වලදී
ග්ලුටමින්, ට්‍රිප්ටොපෑන් සහ ප්‍රෝලීන් ද භාවිත කරයි.
  1. සංකීර්ණ සංයෝග
මයෝ ඉනසිටෝල්, කේසීන් හයිඩ්‍රොලයිසේට්, මෝලට් නිස්සාරක (malt extract) යීස්ට්
නිස්සාරක (yeast extract) කුරුම්බා වතුර, දොඩම් යුෂ, කෙසෙල් යුෂ ආදිය ආකලන
ද්‍රව්‍ය ලෙස මාධ්‍යයට එක් කරයි. කුරුම්බා වතුර යෙදීමෙන් අංකුර ගුණනය වැඩිකර ගතහැකි බව නිරීක්ෂණය කර ඇත. එහි ඇති සියැටින් හෝමෝනය සහ හඳුනා නොගත් වර්ධක සංයෝග මේ සඳහා දායක වේ.
  1. පැළෑටි වර්ධක යාමක (Plant Growth Regulators)
ඇතැම් අවස්ථාවලදී ශාක හෝමෝන වශයෙන්ද හඳුන්වන වර්ධක යාමක, ශාක සෛලවලින් සංස්ලේශණය වන ශාකයේ වර්ධනය හා විකසනය පාලනය කරන කාබනික සංයෝගයනය. ශාක අංකුර ජනනය, සමස්ථ වර්ධනය හා විකසනය, මල් හටගැනීම ආදී ක්‍රියාවලියන් ශාක හෝමෝන උත්තේජනයන්ගෙන් පාලනය වේ.
ඉතා කුඩා ප්‍රමාණ වලින් සංස්ලේෂණය වන ශාක හෝමෝන ෆ්ලොයම මඟින් ශාකයේ විවිධ කොටස් වලට පරිවහනය වී, සංස්ලේෂණය වන ස්ථානයේදී නොව වෙනත් ස්ථානයකදී ක්‍රියාත්මක වේ. වර්ධක යාමක ප්‍රධාන වශයෙන් කාණ්ඩ 5 කි.
1 ඔක්සීන
2 සයිටොකයනීන
3 ගිබෙරලීන
4 ඇබ්සසික් අම්ලය
5 එතිලීන
පටක රෝපණයේදී ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන්නේ ඔක්සීන හා සයිටොකයනීන යන කාණ්ඩයන් වන අතර GA, වැනි ගිබෙරලීන ද ඇතැම්විට වර්ධක වර්ධනය ඉහළ නැංවීම සඳහා භාවිත කෙරේ. ස්වභාවික හෝමෝන වශයෙන් හඳුනාගෙන ඇත්තේ වර්ග කිහිපයකි. ඉන්ඩෝල් ඇසිටික් අම්ලය ස්වභාවික ඔක්සීනයක් වන අතර සියැටින් සහ 2-අයිසො පෙන්ටයිල් ඇඩිනීන් (2-ip) ස්වභාවික සයිටොකයනීනයන්‍ය. මීට අමතරව පටක රෝපණයේදී ද භාවිත කරන කෘතිම ශාක හෝමෝන වර්ග වෙළඳපොලෙන් මිලදී ගත හැකිය.
පටක රෝපණයේදී බහුලව භාවිත වන පැළෑටි වර්ධක හෝමෝන හා ඒවායේ ක්‍රියාකාරිත්වයන් 3.4 වගුවෙහි දක්වා ඇත.
3.3 වගුව - පටක රෝපණයේදී බහුලව භාවිත කෙරෙන පැළෑටි
වර්ධක හෝමෝන සහ ඒවායේ ප්‍රධාන කාර්යයන්

කාණ්ඩය

නම

කාර්යය

1.ඔක්සීන

IAA (ඉන්ඩෝල් ඇසිටික්

අම්ලය)

මුල් හටගැන්වීම

NAA (නැප්තලින් ඇසිටික්

අම්ලය)

මුල් හටගැන්වීම, කිණක හටගැන්වීම

IBA (ඉන්ඩෝල් බියුට්‍රික්

අම්ලය)

මුල් හටගැන්වීම

2,4 D (2,4 ඩයික්ලෝරෝ

ෆිනොක්සි ඇසිටික් අම්ලය)

කිණක හටගැන්වීම, දෛහික කළල

ජනනය

2,4,5-T(2,4,5-ට්‍රයික්ලෝරෝ ෆිනොක්සි ඇසිටික් අම්ලය

කිණක හටගැන්වීම, දෛහික කළල

ජනනය

2.සයිටොකයනින

6 BAP (6-බෙන්සයිල් ඇමයිනෝ පියුරින්)

උපාංග ජනනය, අංකුර ගුණනය

KIN (කයිනටින්)

අංකුර ගුණනය

ZEA (සියටින්)

අංකුර ගුණනය

TDZ (තයඩයිසුරෝන්)

අංකුර ගුණනය, උපාංග ජනනය

3.ගිබරලීන

GA3(ගිබරලික් අම්ලය)

වර්ධක වර්ධනය උත්තේජනය, පර්ව

දික්වීම

4.වෙනත්

ABA (ඇබිසයික් අම්ලය)

ශාක වර්ධනය නිශේධනය, කිණක

වලින් දෛහික කළල හටගැන්වීම

ඔක්සීන
හෝමෝනය ශාක වල සෛල බෙදීම, සෛල දික්වීම, කිණක හටගැන්වීම සහ මුල් හටගැනීම උත්තේජනය කරයි. එමෙන්ම ඔක්සීන හෝමෝනය පාර්ශ්වික අංකුර හටගැනීම නිශේධනය කරයි.
සාමාන්‍යයෙන් අඩු ඔක්සීන සාන්ද්‍රණ මුල් හට ගැනීම උත්තේජනය කරන අතර, සාන්ද්‍රණය අධික වනවිට මුල් හට ගැනීම නැවතී කිණක ඇතිවීම අරඹයි. අග්‍රස්ථ අංකුර ආශ්‍රිතව සංස්ලේශණය වන ඔක්සීන ශාකයේ පහළ කොටස් වලට සංක්‍රමණය වේ.
සයිටොකයිනීන
ශාකයේ මුල් අග්‍රස්ථයේ සංස්ලේෂණය වන ස්වභාවික සයිටොකයිනීන, ශාකයේ ඉහළ කොටස් වලට සංක්‍රමණය වී සෛල විභාජනය, උපාංග ජනනය මඟින් අංකුර හට ගැන්වීම ආදී ක්‍රියාවලියන් උත්තේජනය කරයි. වැඩි සාන්ද්‍රණයක් ඇති විට ආගන්තුක අංකුර (adventitious shoots) හටගන්වන අතර මුල් හටගැනීම නවත්වයි. පටක රෝපණයේදී සියැටින් සහ 2-ip වැනි ස්වභාවික සයිටොකයිනීන ද කෘතිමව නිෂ්පාදනය කරන ලද BAP, කයිනටින්, TDZ වැනි හෝමෝනද භාවිත කරයි.
සයිටොකයිනීන හෝමෝන සාන්ද්‍රණය නියමිත ප්‍රමාණයට වඩා වැඩි වූ විට, විකෘති වූ හැඩයෙන් යුත් ප්‍රරෝහ ඇතිවීම හා පත්‍ර අනවශ්‍ය ලෙස විශාල වීම සිදුවන අතර විනිවිද පෙනෙන වීදුරු වැනි ස්වභාවයකින් (vitrification) යුත් ප්‍රරෝහ ඇති වේ. මෙවැනි ප්‍රරෝහ හට ගැනීමෙන් ක්ෂුද්‍ර ප්‍රචාරණයේ කාර්යක්ෂමතාව අඩු වන අතරම මෙම පැළ දැඩි කිරීමේදී මිය යයි. ඇතැම් බෝග වර්ග වල මෙවැනි ප්‍රරෝහ ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.
ගිබෙරලීන
විවෘත නොවූ ශාක පත්‍ර, සක්‍රිය අංකුර මුල් හා කළල වල ස්වභාවිකව සංස්ලේශණය වන ගිබෙරලින සෛල දැක්වීම, ශාකයේ වැඩීම හා විකසනය පාලනය කරන අතර ප්‍රරෝහ වල පර්ව දුරස් කරගැනීම සඳහා ද භාවිත කරයි. ස්වභාවික ගිබෙරලීන වර්ග 90 කට වඩා සොයාගෙන ඇති අතර ඉන් බහුලව භාවිතා කරනු ලබන්නේ ගිබෙරලික් අම්ලයයි (GA). සාමාන්‍යයෙන් ගිබෙරලීන මුල් හටගැනීම නිශේධනය කරයි. එමෙන්ම ඇතැම් ශාක විශේෂ වල විභාජක පටක රෝපණයේදී ද වර්ධනය වේගවත් කර ගැනීම සඳහා GA, භාවිත කරන අවස්ථා ඇත.
ඇබ්සසික් අම්ලය
මෙය ශාක වර්ධනය නිශේධනය කරන හෝමෝනයන් ලෙස සලකනු ලැබේ. විශේෂයෙන් ශාකය අහිතකර බාහිර තත්ත්වයන්ට මුහුණ දෙන අවස්ථාවන්හිදී ආරක්ෂාකාරී පියවරක් ලෙස වර්ධනය සීමා කර බීජ හා අංකුර සුප්තතාවයකට පත් කරයි. පටක රෝපණයේදී කලාතුරකින් භාවිත වන මෙම හෝමෝන දෛහික කළල ජනනයේදී භාවිත වේ.
ප්‍රතිඔක්සිකාරක (Antioxidents)
ශාක වල ස්වභාවිකව විවිධ ෆීනෝල් අඩංගු සංයෝග (phenolic compunds)ඇති අතර කිසියම් ස්ථානයක තුවාල වීමක් සිදු වුවහොත් එම සංයෝග ඔක්සිකරණය වීමෙන් පටක කළු-දුඹුරු පැහැයට හැරේ. පටක රෝපණයේදී පූර්වකය ලෙස මව් ශාකයෙන් වෙන් කර ගත් කුඩා කොටස් භාවිත කරන නිසා එම කැපුම් තල වලින් ඉහත සංයෝග මාධ්‍යයට සංක්‍රමණය වී එයද කළු-දුඹුරු පැහැයට හරවයි. මේරූ ශාක කොටස් පූර්වක ලෙස භාවිත කරන විට මෙම සංයෝග වැඩිපුර ස්‍රාවය වීමක් දක්නට ලැබේ. තවද මෙම සංයෝග මාධ්‍යයයේ එකතු වීමෙන් වැඩෙන ශාක කොටසට විෂ වීමට ඉඩ ඇත. මෙම තත්ත්වය මගහරවා ගැනීමට සක්‍රිය අඟුරු (activated charcoal) 0.1-3 % (W/V) හෝ පොලිවිනයිල්පයිරලිඩොන් (polyviylpirrolide) 250-1000 mg/L ක හෝ ඇස්කොබික් අම්ලය 10-100 mg/L ක මාධ්‍යයට එකතු කළ හැකිය.
මාධ්‍යය ඝනීකාරක
රෝපණ මාධ්‍ය ඝන මාධ්‍යයක් ලෙස සැකසීම සඳහා ඝනීකාරක යොදා ගනී. මේ සඳහා ඒගාර්, ජෙල්රයිට් (ෆයිටජෙල්) ආදිය බහුලව භාචිත කරන අතර ක්ෂුද්‍ර ප්‍රචාරණයේදී ජෙලටින් හා වෙනත් විකල්ප ඝනීකාරක ද භාවිත කරනු ලැබේ. (අඩු වියදම් පටක රෝපණය. යටතේ විකල්ප ද්‍රව්‍ය පිළිබඳව විස්තර කර ඇත) භාවිත කළයුතු ඝනීකාරක ප්‍රමාණය ඒවා නිෂ්පාදිත සමාගම් සහ එහි තත්ත්වය (grade) මත රඳා පවතින බැවින් නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැකිය
pH අගය
ශාකයක් හොඳින් වැඩීමට නම් පසේ සුදුසු pH අගයක් පැවැතීම ඉතා වැදගත් වේ. එලෙසම පටක රෝපණ මාධ්‍යයේ ද මෙම අගය ශාක වර්ධනයට යෝග්‍ය මට්ටමක පවත්වාගත යුතුය.
සාමාන්‍යයෙන් මාධ්‍යයේ pH අගය 5-6 ත් අතර පවත්වා ගත්තද පීඩන තාපකය මඟින් ජීවානුහරණය කිරීමෙන් පසු මෙය 0.5 කින් පමණ පහළ යයි. pH අගය 5 ට වඩා අඩු වුවහොත් එය පටක වර්ධනයට අහිතකර වේ. එමෙන්ම මාධ්‍යය ඝනීකරණයද pH
අගය මත සෘජුව රඳා පවතී. ජීවානුහරණය කරන ලද මාධ්‍යය සිසිල් වන විට එය නියමිත ආකාරයට ඝනීභවනය නොවන්නේ නම් එහි pH අගය නියමිත ප්‍රමාණයට වඩා අඩු වී ඇති බව සැලකිය යුතුය. මෙවැනි මාධ්‍යයක පූර්වක ස්ථාපනය කිරීම අපහසුය. එසේම pH අගය නියමිත පරාසය ඉක්මවූ විට මාධ්‍යයයේ ඝන ස්වභාවය වැඩිවේ.
මාධ්‍යය පිළියෙල කිරීම
මාධ්‍යය පිළියෙල කිරීම පටක රෝපණ ක්‍රියාවලියේ වැදගත්ම අංගයකි. පිළියෙළ කිරීමට අපේක්ෂිත මාධ්‍යයයේ නිර්දේශයනට (protocol) අනුව ඉතා නිවැරදිව මාධ්‍යය පිළියෙල කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. රසායනික දව්‍ය කිරා ගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික තුලා භාවිත කළද ඇතැම්විට මැනීමට ඇති ප්‍රමාණ ඉතා කුඩා නිසා දෝෂ ඇතිවිය හැකිය. මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි සාන්ද්‍රණයන්ගෙන් (10X-දස ගුණයක්, 100X-සිය ගුණයක් ආදී වශයෙන්) යුත් ද්‍රාවණ පිළියෙල කරන අතර ඒවා සාන්ද්‍ර ද්‍රාවණ (stock solution) යනුවෙන් හඳුන්වයි.
සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කිරීම
සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කළ පසු ඒවා නියමිත ආකාරයට ගබඩා කිරීම සඳහා රියේජන්ට් බෝතල් (reagent bottle) භාවිත කිරීම වඩාත් සුදුසුය. හිරු එළිය මඟින් බලපෑම් ඇති කළ හැකි ෆෙරස් සල්ෆේට් (FeSo4) වැනි ද්‍රව්‍ය ගබඩා කිරීමට දුඹුරු පැහැති (atnber colour) බෝතල් භාවිත කළ යුතු අතර එසේ නොමැතිනම්, වීදුරු බෝතල් ඇලුම්නියම් ෆොයිල්, කළු කඩදාසි ආදියෙන් ආවරණය කළ හැකිය. සාන්ද්‍ර ද්‍රාවණ බෝතල්, ලේබල් කිරීම නියමිත ආකාරයට සිදු කිරීම ඉතා වැදගත්‍ය.
ද්‍රාවණයේ නම(උදා:stock A), පිලියෙළ කළ දිනය, සාන්ද්‍රණය සහ මාධ්‍යය ලීටරයක් සෑදීම සඳහා භාවිත කළයුතු සාන්ද්‍ර ද්‍රාවණ පරිමාව ආදිය පැහැදිලිව සටහන් කළ යුතුය. සාන්ද්‍ර ද්‍රාවණ ශිතකරණයක 40Cක් උෂ්ණත්වය යටතේ ගබඩා කළයුතු අතර මාස 3 ක් පමණ ඉක්ම යාමට පෙර භාවිත කිරීම වඩාත් සුදුසු වේ. එම නිසා සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කිරිමේදී මාස 3 කට පමණ කාලයකට සෑහෙන ප්‍රමාණයක් පිළියෙල කිරීම වඩාත් සුදුසුය. මහාපරිමාණයෙන් පැළ නිෂ්පාදන කරන අවස්ථා වලදී වැඩි ප්‍රමාණයක් ද පර්යේෂණ ආදිය සඳහා අඩු ප්‍රමාණයකින්ද සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කිරීම වඩා සුදුසු වේ.
MS මාධ්‍යය සඳහා සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කිරීම
MS මාධ්‍යය පටක රෝපණයේදී බහුලව භාවිත වන මාධ්‍යයක් වන බැවින් මෙහිදී එම මාධ්‍යය පිලියෙළ කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.සාමාන්‍යයෙන්
මහා පෝෂක, ක්ෂුද්‍ර පෝෂක, විටමින්, යකඩ අඩංගු සංයෝග සහ හෝමෝන යන කාණ්ඩ සඳහා වෙන වෙනම සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කරනු ලැබේ ඒ පිළිබඳ විස්තර ඇමුණුම 3 හි දක්වා ඇත.
මහා පෝෂක අඩංගු ‘A’ සාන්ද්‍ර ද්‍රාවණය 1000ml පිළියෙල කිරීමේදී ආස්‍රැත ජලය 500 ml ක් පමණ 1000 ml බීකරයකට ගෙන අදාළ සංඝටක එකින් එක එහි දියකර ගන්න. කැල්සියම් ක්ලෝරයිඩ් අවසානයට එක් කිරීමෙන් අවක්ෂේප සෑදීමට ඇති අවස්ථා වළක්වා ගත හැකිය. අනතුරුව ද්‍රාවණය 1000 ml ක පරිමාමිතික ප්ලාස්කුවකට හෝ මිණුම් සරාවකට මාරු කර 1000 ml දක්වා ආස්‍රැත ජලය එක් කරන්න.
ක්ෂුද්‍ර පෝෂක අඩංගු ‘B’ සාන්ද්‍ර ද්‍රාවණය සහ විටමින් අඩංගු ‘C’ සාන්ද්‍ර ද්‍රාවණය ද ඉහත දක්වා ඇති ආකාරයටම පිළියෙල කරගත හැකිය.
යකඩ අඩංගු ‘D’ සාන්ද්‍ර ද්‍රාවණය 200 ml සෑදීමේදී ෆෙරස් සල්පේට් හා ඩයිසෝඩියම් EDTA වෙන වෙනම පිළියෙල කර සෝඩියම් EDTA ද්‍රාවණය 400C-500C වන තෙක් රත්කර එයට ෆෙරස් සල්පේට් ද්‍රාවණය එකතු කරන්න. අනතුරුව පරිමාව 200 ml ලෙස සකස් කරන්න. හෝමෝන සාන්ද්‍ර ද්‍රාවණ පිළියෙල කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. එම ද්‍රාවණ වැඩි කලක් ගබඩා කර තබා ගැනීම
අපහසුය. එබැවින් අවශ්‍යතාව අනුව පිළියෙල කර ගන්නා ප්‍රමාණ තීරණය කිරීම වැදගත්‍ය.
පටක රෝපණයේදී භාවිත කරන හෝමෝන බොහොමයක් ජලයෙහි පහසුවෙන් ද්‍රාවණය නොවේ. එබැවින් ඇමුණුම 04 හි දක්වා ඇති ආකාරයට කිසියම් ද්‍රාවකයක දියකර, අනතුරුව නියමිත පරිමාව තෙක් ආස්‍රැත ජලය එකතු කිරීමෙන් පහසුවෙන් හෝමෝන ද්‍රාවණ පිළියෙල කරගත හැකිය.
MS මාධ්‍යය පිළියෙල කිරීම
MS මාධ්‍යය ලීටරයක් පිළියෙල කිරීමේදී පළමුව ආස්‍රැත ජලය 400 ml ක් පමණ 1000 ml ප්‍රමාණයේ බීකරයකට ගෙන, ඇමුණුම 03 සඳහන් පරිදී සාන්ද්‍ර ද්‍රාවණ A,B,C හා Dද ශාක හෝමෝනයන් ද සීනි, ඉනොසිටෝල් ආදියද නියමිත පරිදි එක් කරනු ලැබේඉන් පසු එම ද්‍රාවණය 1000 ml මිනුම් සරාවකට මාරු කර 990 ml දක්වා ආස්‍රැත ජලය එකතු කරනු ලැබේ. අනතුරුව එම ද්‍රාවණය නැවතත් 1000 ml බීකරයට ගෙන pH අගය 5.8 ලෙස සකස් කරනු ලැබේ. මේ සඳහා ද්‍රාවණය ආම්ලික නම් (pH 5.8 ට වඩා අඩු නම්) 1N සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් (NaOH) බිංදු කිහිපයක් ද ද්‍රාවණය භාෂ්මික නම් (pH 5.8 ට වඩා වැඩි නම්) 0.1N භ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HC1) බිංදු කිහිපයක් එක් කර pH අගය 5.8 වන ලෙස සැකසිය යුතුය. අනතුරුව අවශ්‍ය පරිදී ඝනීකාරක එකතු කර විදුලි හෝ ගෑස් ලිපක් මත තබා හෝ මයික්‍රොවේව් උදුනක ආධාරයෙන්, ඝනීකාරකය හොඳින් දියවන තෙක් ද්‍රාවණය රත් කර අදාළ බඳුන් වලට වත් කරනු ලබයි. අනතුරුව එම බඳුන් රබර් පටිවල ආධාරයෙන් පොලිප්‍රොපිලින් (සෙලෝෆේන්) වලින් ආවරණය කර පීඩන තාපකය (Autoclave) මඟින් ජීවානුහරණය කර ගනු ලැබේ මේ සඳහා පොලිප්‍රොපිලීන් වලින් සෑදූ පියන් වෙළඳපොලෙන් මිලදී ගත හැකි නමුත් මේවායේ මිල අධිකය.
රෝපණය කරන බෝගය සහ එහි වර්ධන සීඝ්‍රතාව අනුව රෝපණ බඳුන් වලට එක් කරන මාධ්‍යය ප්‍රමාණ වෙනස්විය හැකිය. සාමාන්‍යයෙන් ජෑම් බෝතලයක් සඳහා මාධ්‍යය 25-40ml ද 25 x 100ml ප්‍රමාණයේ පරීක්ෂණ නලයකට මාධ්‍යය 10-15ml ද ප්‍රමාණවත් වේ.
මෙසේ ජීවානුහරණය කරන ලද මාධ්‍යය පසුදින රෝපණ කටයුතු සඳහා භාවිත කළ හැකිය. එහෙත් බොහෝ රසායනාගාර වල එම බඳුන් අවම වශයෙන් දින 3 ක් පමණ වියළි සිසිල් ස්ථානයක ගබඩා කර තබා ආසාදනයක් නොමැතියැයි නිශ්චය කිරීමෙන් අනතුරුව රෝපණ කටයුතු සඳහා භාවිත කරයි. ජීවානුහරණ ක්‍රියාවලියෙහි කිසියම් දෝෂ තිබුණි නම් මෙම කාලය තුළදී මාධ්‍යය මත ක්ෂුද්‍ර ජීවී ආසාදන දැකිය හැකිය. එබැවින් මෙම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම ආසාදනයන් අවම කර ගැනීමට රුකුලක් වන අතරම ඉන් කාලය සහ සම්පත් කළමනාකරණය කරගත හැකිවේ.