Fruit Crops – Anona-S

1 horana logo

අනෝදා (Anona)

Order   :          Magnoliales
Family :          Annonaceae
Genus  :          Annona 

  1. කටුඅනෝදා– Annona muricata L. soursop
  2. වැලිඅනෝදා – A. reticulata L – Bullocks heart, custaral apple
  3. සීනි අනෝදා – A. squamosa L sugar apple/ sweet sop
  4. චෙරිමෝයා- A. cherimola Mill

රසවත් හා ගුණවත් පලතුරක් ලෙස ලොව පුරා ජනප්‍රියව ඇති අනෝදා වල විශේෂ ගණනාවකි. ශ්‍රී ලංකාවේ ගෙවතු ආශ්‍රිතව එයින් විශේෂ කිහිපයක් ව්‍යාප්තව ඇත. වඩාත් ජනප්‍රිය විශේෂය වන්නේ කටු අනෝදා (Annona muricata යි. චෙරිමෝයා (Annona cherimola Miller.), සීනි අනෝදා (Annona squamosa L.) වැලි අනෝදා (Annona reticulata L.) සහ ඇටිමෝයා (සීනි අනෝදා සහ චෙරිමෝයා විශේෂ වල දෙමුහුමකි) යන විශේෂද අප ගෙවතු වල ජනප්‍රිය පලතුරු වේ. මෙයට අමතරව වගුරු ඉඩම් වල ආක්‍රමණශීලී වල් ශාකයක් ලෙස වැවෙන වෙල් අනෝදා glabra (pond apple )බහුලව දැකිය හැකි වේ.  තවද අනෝනාසියේ කුලයට අයත්   රොලිනීයා Rolinia mucosa විශේෂයක් ද ඇත.

මෙම අනෝදා විශේෂ රූප විද්‍යාත්මකව විවිධත්වයක් පෙන්වන අතර විශේෂයෙන්ම ඵලයේ හැඩය සහ ඵලාවරණයේ ස්වරූපය එම විශේෂ එකිනෙක වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වේ.

1.කටුඅනෝදා- Annona muricata L. soursop

 

කටු අනෝදා හෝ කටු ආතා ලෙස හඳුන්වන මෙහි ඵලය කොළ පැහැතියි. බොහෝවිට ඕවලාකාර හෝ අක්‍රමවත් හැඩයක් ගනි.ඵලාවරණයේ කටු වැනි නෙරීම් දක්නට ඇත.ඇඹුල් මිශ්‍ර පැණි රසයකින් යුතු යුෂ වලින් පිරුණු සුදු පැහැති කෙදි ස්වාභාවයකින් යුතු පල්පය ඉතා රසවත්ය. දුර්වල පරාගනය නිසා ඵල හට ගන්නේ සුලු ප්‍රමාණයකි.අක්‍රමවත් හැඩැති විකෘති නොපිරිණු ඵල හට ගත හැකිය.

 

2.වැලිඅනෝදා – A. reticulata L – Bullocks heart, custaral apple

බොහෝවිට හෘදාකාර හැඩයක් ගන්නා වැලි අනෝදා ඵලයේ ඵලාවරණය දුඹුරු පැහැයට හුරු කහ පැහැතිය.ඵලාවරණය ඕවලාකාර හැඩ වලින් සලකුණු වී ඇති නමුත් නෙරීම් දක්නට නොලැබේ.මේවායේ අවර්ණ රසවත් පල්පය ක්‍රීම් ආකාර වන අතර එහි වැලි ආකාර ශල්කමය කොටස් අඩංගු වේ.වැලි ආතා ලෙසද මෙය ජන වහරේදී හඳුන්වනු ලබයි.

 

3.සීනි අනෝදා – A. squamosa L sugar apple/ sweet sop

සීනි අනෝදා, සීනි ආතා ලෙසද හඳුන්වනු ලබයි.බොහෝදුරට රවුම් ඕවලාකාර හෘදයාකාර හැඩැති සීනි අනෝදා ඵලය මඳුළු කොටස් පිටතින් වෙන්කර හඳුනාගත හැකි පරිදි පැහැදිලි රවුම් හෝ ඕවලාකාර හැඩැති නෙරීම් වලින් වෙන් වී ඇත.මේවා පිට පොත්ත කොළ හා දම් පැහැති වර්ග දෙකකින් දක්නට ඇති අතර අනිකුත් අනෝදා වර්ග හා සසඳන විට ප්‍රමාණයෙන් කුඩාය.සුදු පැහැති කස්ටඩ් ආකාරයේ මාංශලයකි.ඇඔුල් රසයක් ද සහිත ඉතා පැණි රස මාංශලයකි.

 

4 චෙරිමෝයා- A. cherimola Mill

හෘදයාකාර කෝණාකාර ඕවලාකාර හා රවුම් ඵල හට ගනී. පිට පොත්ත තුනීය.ඉදුණු විට කොළ පැහැයට හුරු කහ පැහැයක් ගනී.තරමක් ඇඔුල් රසැති පැණි රස සුදු පැහැති මාංශලයක් ඇත.ලාක්ෂණික රසයක් ඇත.ශ්‍රී ලංකාවේ මෙය සාර්ඵකව වගා කළ හැක්කේ වියළි, ආර්ද්‍රතාවය අඩු ශීත දේශගුණයක් සහිත උස් බිම් ප්‍රදේශ වලය.

5. frd,Skshd – Rollinia mucosa

මෙහි ඵලය බොහෝවිට හෘදයාකාරය.ඵලාවරණය ලා කොළ පැහැතිය.එහි ඇති නෙරීමේ කෝණාකාරය.මෙහි ක්‍රීම් පැහැති පල්පය ජෙලිමය ස්වාභාවයක් ගනී. ඉතා රසවත් පලතුරකි.

අනෝදා බොහෝ විට නිවර්තන හා උප නිවර්තන දේශගුණයක් සහිත ප්‍රදේශවලට වඩා යෝග්‍ය වේ. කටු අනෝදා උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-30  පරාසයක් ඇති  , වසර පුරා පැතිරුණු මිලි මීටර් 1500 කට වඩා වැඩි වර්ෂාපතනයක් ඇති, මුහුදු මට්ටමේ සිට මීටර් 1200 ක් දක්වා සාර්ඵකව වගා කළ හැකිය. චෙරිමෝයා උෂ්ණත්වය සෙල්සියස් අංශක 22 ට අඩු, වියළි, ආර්ද්‍රතාවය අඩු ශීත දේශගුණයක් සහිත උස් බිම් ප්‍රදේශ වල වගා කළ හැකිය. මෙය අධික ආර්ද්‍රතාවයට ඔරොත්තු නොදේ. වැලි අනෝදා ආර්ද්‍රතාවය වැඩි ප්‍රදේශ වලට වඩා සුදුසු වුවත් අර්ධ ශුෂ්ක ප්‍රදේශවලද හොඳින් වැවේ. සීනි අනෝදා වලට වඩාත්ම සුදුසු වන්නේ පරිසර උෂ්ණත්වය වැඩි, පහත් බිම් ප්‍රදේශයන්ය. වැලි අනෝදා යනු නිසරු පසක වුවද හොඳින් වගාකළ හැකි විශේෂයකි. එසේම කටු අනෝදා සහ සීනි අනෝදා වැලි පසේ සිට මැටි පසක් දක්වාවූ විවිධ වූ පාංශු පරාසයක වගා කිරීමේ හැකියාව පවතියි. පී.එච් අගය 6-7.5 අතර  පවතින හොඳින් ජලවහනය වන ගැඔුරු කාබනික ද්‍රව්‍ය බහුල සාරවත් පසක ප්‍රශස්ඵ වර්ධනයක් ලබාගත හැකිය..

කටු අනෝදා හා වැලි අනෝදා වඩාත් බහුලව දක්නට ඇත්තේ ශ්‍රී ලංකාවේ පහතරට හා මැදරට තෙත් කලාපයේය. සීනි අනෝදා පහතරට වියළි කලාපයේ බහුලව ව්‍යාප්ත වී ඇත. චෙරිමෝයා වඩාත් හොඳින් පැතිරී ඇත්තේ මධ්‍යම කඳුකරයට අයත් උස්බිම් වලය.

හොඳින් හිරුඑළිය ලැබෙන හොඳින් ජලවහනය වන ගැඔුරු කාබනික ද්‍රව්‍ය බහුල සාරවත් පසක් තෝරා සී සෑම හා කැට පොඩි කිරීමෙන් පසු නියමිත පරතර වලට වලවල් කපා ගන්න.


ප්‍රචාරණය

අනෝදා ප්‍රචාරණය සඳහා

  1. බීජ හා
  2. බද්ධ පැළ යොදා ගත හැකිය.

බීජ ප්‍රරෝහණයට මාසයක් පමණ ගතවන අතර සාමාන්‍යයෙන් 90%-95% ක් පමණ ප්‍රරෝහණ ප්‍රතිශතයක් ලබාගත හැකිය. බීජ වල ජීව්‍යතාවය ඉක්මනින් අඩුවන බැවින් බීජ ඵල වලින් ඉවත් කළ වහාම ප්‍රරෝහණයට භාවිතා කිරීම වඩා සුදුසු වේ. සියළුම අනෝදා වර්ග බද්ධ කිරීම මගින් සාර්ථකව ප්‍රචාරණය කළ හැකි අතර කූඤ්ඤ බද්ධ ක්‍රමය වඩා සාර්ථක ක්‍රමයයි. මෙහිදී ගුණාත්මයෙන් ඉහළ රෝග හා පළිබෝධ හානි වලින් තොර  සුදුසු මව් ශාකයකින් ලබාගත් අංකුර, අනෝදා මූල ග්‍රාහක වලට බද්ධ කිරීමෙන් ඉක්මනින් ඵල දරණ වගාවක් ලබා ගත හැකිය.

පැළ සිටුවීම

පැළ සිටුවීම සඳහා පරතරය

කටු අනෝදා – මීටර් 4×4
සීනි අනෝදා – මීටර් 4×4
චෙරිමෝයා – මීටර් 4×4

දිග, පළල, උස සෙන්ටි මීටර් 60 x 60 x 60 වනසේ වලවල් සකසා ගෙන මතුපිට පස් හා ගොම/කොම්පොස්ට් සම ප්‍රමාණයෙන් මිශ්‍ර කර සකසාගත් මාධ්‍යයෙන් පුරවා සතියකට පමණ පසු තෝරාගත් නිරෝගි පැළ සිටුවිය යුතුය.

නඩත්තුව

පැලය අවට ජලය රඳා නොපවතින පරිදි පොළව මට්ටමෙන් තරමක් උස්ව සිටින සේ පැලය වටා පස් එකතු

කරන්න. සිටවූ විගස පැලයට ජල සම්පාදනය කරන්න.

පැල කුඩා කාලයේදී හිරු ඵළියෙන් ආරක්ෂා කරගැනීමට පොල්අතු හෝ 65% සෙවණ දැල් වලින් සෙවණ සපයන්න.වියලි කාළයේදී ප්‍රමාණවත්ව ජලය සපයන්න.තද නියං තත්ව වලදී වියළි තණකොළ හෝ පිදුරු වසුනක් යොදන්න.

  •  

පැළය සෘජුව වර්ධනය කර ගැනීමට පැළය අසලින් කෝටුවක් සිටුවා එයට කිට්ටු කර ප්‍රවේශමෙන් ගැට ගසන්න.බද්ධ පැළයක් නම් බද්ධ අංකුරයට පහළින් එන සියලු අංකූර තියුණු පිහියකින් කපාදමන්න.සිටුවා මාස 6 ක් වන තෙක් මේ පිළිබඳ අවධානය යොමු කරන්න.පැළය අවට මීටර් 1ක පවතින රවුමට වල් පැළ අතින් උදුරා ඉවත් කරන්න.ක්ෂේත්‍රයට අවශ්‍යවිට ජලය සැපයීමෙන්, පසට වැඩිපුර දිරාපත් කාබනික ද්‍රව්‍ය යෙදීමෙන්, නිරන්තරයෙන් ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම මඟින් අහිතකර වල්, කෘමීන් හා රෝගකාරක ඇතිවීම පාලනය කර සාර්ථක නිරෝගි වගාවක් පවත්වා ගත හැකිය. සුළං බාධක යොදා වගාව සුළඟින් ආරක්ෂා කිරීමද වැදගත්ය.

කප්පාදුව

සිටවූ පැලය මීටර් 1 පමණ උසට වැඩුණු පසු සෙ.මී 80-90 පමණ උසකින් කපා දැමීම කළ යුතුයි.විවිධ දිශා වලට යොමු වූ අතු 3-4 ක් පමණක් වැඩීමට සලස්වන්න. අතු එකිනෙක අතර අඩියක් පමණ පරතරයක් පවත්වා ගන්න.ගස මැදට හිරුඵළිය හොඳින් වැටෙන පරිදි වියන සකසන්න.ප්‍රාඵමික අතු සෙ.මී. 40 ක් පමණ දුරින් නැවත කපා ද්චීතීයික අතු වර්ධනයට සළස්වන්න. ද්චීතීයික අතු සෙ.මී. 30 ක් පමණ දුරින් නැවත කපන්න. තෘතීයික අතු සෙ.මී. 20 ක් පමණ දුරින් නැවත කපන්න. මෙලෙස සෑම දිශාවකටම සමබරව ගසේ අතු විහිදීමට සලස්වන්න.

ගස මීටර් 3-3.5 ක් පමණ උසට පවත්වා ගන්න.මෙලෙස කප්පාදු කීරීම සඳහන් කළද අපිට අවශ්‍ය ආකාරයටම අතු වර්ධනය නොවීමට ඉඩ ඇත.එබැවින් කප්පාදුවේ අවසාන අරමුණ විය යුත්තේ හොඳින් සූර්යා ලෝකය ශාකය මත පතිත වන පරිදි ශාක වියන සකසා ගැනීමයි.

 

ශාකයේ අනවශ්‍ය දිරාපත්, රෝගී අතුරිකිළි කප්පාදුකර නිසි සැලකිල්ලක් පවත්වාගෙන යාම නිරෝගී ගුණාත්මක වගාවකට අත්‍යාවශ්‍ය වේ.


මල් පරාගනය

ක්ෂේත්‍රයේ සිටුවා වසර 1  1/2  හෝ 2 කට  පසු අනෝදා මල් හටගැනීම ඇරඹේ
අනෝදා ගසක මල් බොහෝ හට ගත්තත් මල් සංඛ්‍යාවට අනුව ඵල හට නොගැනීම සහ අක්‍රමවත් හැඩැති ඵල හට ගැනීම ප්‍රධාන ගැටලුවකි. ඊට හේතුව වන්නේ මල් ස්වභාවිකව පරාගණය වීම අඩු වීම සහ අසම්පූර්ණ පරාගණයයි.එසේ වන්නේ අනෝදා මල් ද්වීලිංගික පුෂ්පයක් වුවද පුමාංගි හා ජයාංගී කොටසේ පරිණතවීම එකවර සිදුනොවීමයි. එනම් මලෙහි ජයාංගික කොටස උදේ වරුවේ පරිණත වන අතර එදින සවස් වරුවේ පුමාංගි කොටස පරිණත වේ.සවස් වන විට එම මලෙහි ජයාංගි කොටසේ ග්‍රාහීතාවය නැතීවී යයි.තවද පරාගණය සිදුකරන කෘමීන් සුලභ නොවීමද පරාගණය දුර්වල වීමට එක් හේතුවකි. ස්වභාවිකව පරාගණය වන්නේ Nitidulidae කුලයේ කුරුමිණි විශේෂ හෝ වෙනත් කෘමීන් මඟිනි.

මේ හේතුන් නිසා අනෝදා මල් කෘත්‍රීමව  පරාගණය කිරීමෙන් හොඳින් පිරුණු එකාකාරී හැඩයක් ඇති ඉහළ ගුණාත්මයෙන් යුතු ඵල ලබා ගත හැකිය.

කෘත්‍රීමව  පරාගණය කිරීම

පරාගණය කිරීමට සූදානම් වන දිනට පෙර දින සවස 3.00-6.00 අතර කාලයේදී හොඳින් පිපුණු මලක් කඩාගෙන කුඩා පීරිසියකට දමා කඩදාසි අත් පිස්නාවකින් රැයක් වසා තබන්න.

හොඳින් පිපුණු මල

පසු දින උදෑසන පෙති ඉවත් කළවිට පරාග සමඟ පරාග ධානි පීරිසිය මතට වැටී තිබෙන් දැකිය හැකිය.

පරාග සමඟ පරාග ධානි

එදින උදෑසන 6-11 අතර කාලයේදී අර්ධව විවෘතවූ මලක පෙති අතින් ඈත් කර මෘදු පින්සලක් මඟින් කහ පැහැති පරාග කලංකය මත තවරන්න

අර්ධව විවෘතවූ මල

කෘත්‍රීමව පරාගණය කිරීම

මෙලෙස කෘත්‍රීමව  පරාගණය කිරීමෙන් හොඳින් පිරුණු එකාකාරී හැඩයක් ඇති ඉහළ ගුණාත්මයෙන් යුතු ඵල ලබා ගත හැකිය.

අනෝදා වල රසය නිසි ලෙස විඳීමට නම් නිවැරදි පරිනත අවධියේදී ඵල නෙලාගැනීම සිදුකළ යුතුය. ඒ සඳහා ඵලාවරණයේ පැහැය හා නෙරීම් වල ස්වාභාවය වෙනස් වීම හඳුනා ගැනීම වැදගත් වේ. මෙහිදී කටු අනෝදා ඵලයේ පිරුණු බවත්, ඵලාවරණය තද කොළ පැහැයේ සිට ලා කහ කොළ පැහැයට වෙනස්වීමත්, නෙරීම් /කටු ඈත්වීම සිදුවී ඵලාවරණය තරමක සුමුදු තත්ත්වයකට පත්වීමත් දැක්විය හැකිය. ඵල නෙලීම පෙ.ව. 10 ට පෙර හා ප.ව. 3.00 න් පසු සිදු කළ යුතු අතර වැසි සහිත දින මඟ හැරිය යුතුයි..අස්වැන්න නෙලීමෙන් දින 3-5 කට පසුව ගෙඩි ඉදීම සිදුවේ.

නෙලා ගත් ඵලදාව කේෂ්ත්‍රය තුළදී කූඩ වලට තනි තට්ටුවක් ලෙස අසුරා තද අව්වට නිරාවරණය නොවන පරිදි සෙවණක තැබිය යුතුයි.

අනෝදා වල පසු අස්වනු හානිය අවම කරගැනීමට හොදින් පැසුණු ගෙඩි ආරක‍ෂිතව නටුව සමඟ නෙලාගෙන බාහිරාවරණයට හානි සිදුනොවන සේ පෙට්ටි වල අසුරා, ප්‍රවාහනය කිරීම වඩා උචිත වේ. යාන්ත්‍රික හානි. කෘමි හානි රෝග ලක්ෂණ සහිත අසාමාන්‍ය හැඩැති හා පමණට වඩා කුඩා ගෙඩි ඉවත් කරන්න.තෝරා ගත් ගෙඩි නැවත ප්‍රමාණය අනුව වර්ග කර වෙළඳපොළට යවන්න.

දේශීය වෙළඳපොළට යැවීමේදී තනි තට්ටුවක් ලෙස ඇසිරිය යුතුයි.තට්ටු එකකට වඩා අසුරන්නේනම් ගෙඩිවල අතර මැදට පත්තර තබා තදවීම වළක්වාගත යුතුයි.අපනයනය සඳහා ඇසුරුම් කිරීමේදී සුදු කඩදාසි වල හෝ රැලි කඩදාසි වල එක් එක් ගෙඩිය ඔතා තනි තට්ටුවක් ලෙස කාඩ්බෝඩ් පෙට්ටි වල අැසිරිය යුතුයි.එම පෙට්ටි ප්‍රෙව්සමින්  ලොරියකට පටවා හොඳින් වතාශ්‍රය ලැබෙන පරිදි ප්‍රවාහනය කළයුතුයි.

 

ඇන්ත්‍රැක්නෝස් රෝගය අනෝදා ඵල වල ගුණාත්මයට හානි කරයි. මේ සඳහා ක්ෂේත්‍රයේදී ගස් නිසි ලෙස නඩත්තු කිරීමෙන් ගසට මනාව හිරුඑළිය ලැඛෙන සේ අතු කප්පාදු කිරීමෙන්, නිසි පරිදි ජලය හා පොහොර සැපයීමෙන් රෝගය පාලනය කරගත හැකිය

පසු මැරීමේ  (Dieback) රෝගය ද ක්ෂේත්‍රයේදී අනෝදා වගාවක දක්නට ලැබිය හැකිය.නමුත් වගාව මනාව පවත්වා ගැනීමෙන්, අතු කප්පාදුව මෙගින් මෙම රෝගය මර්දනය කළ හැකි අතර, ඉතා අවදානම් අවස්ථාවලදී සුදුසු දිලීර නාශකයක් යෙදීමෙන් පාලනය කළ යුතුය.

අනෝදා වගාවට හානිකරන පිටිමකුණා කොහොඹ ඇට නිස්සාරකය ඉසීම මඟින් පාලනය කළ හැකිය.

කඳ විදින කුරුමිණියා ගේ හානිය බහුලව දැකි හැකිය. හානිය ඇති විට අතු මැල විමක් නිරීක්ෂණය කළහැකි අතර ඒවායේ ඉතා කුඩා සිදුරු දැකිය හැකිය. සති 2ක් පමණවිට මෙම අතු වියලී යයි. මෙම හානි පාලනය කර ගැනීම සඳහා වගාව සෙෘඛය සම්පන්නව පවත්වා ගැනීම වැදගත් වේ.ඒසේම හානි වූ අතු තිබේ නම් කපා ඉවත් කර පුලුස්සා දැමිය යුතුයි.

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)