Fruit Crop Research and Development Station, Peradeniya – S

1 horana logo
1 horana logo


පළතුරු බෝග පර්යේෂණ සංවර්ධන ස්ථානය

හැදින්වීම

ආයතනයේ සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර 14.73 (අක්කර 36.83) වන අතර එය කාර්යාල පරිශ්‍රයකින්, නිල නිවාස සඳහා වෙන්වූ බිම් කොටස් 15කින් සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා භාවිත කරන බිම් කොටස් 10කින් සමන්විත වේ.

II වන රාජසිංහ රජ සමයේ, 1638 දී උඩරට රාජ්‍යයට පහරදීම සඳහා පැමිණි පෘතුගීසී හමුදාව පරාජයට පත්කල විජයග්‍රාහී ගන්නෝරු සටන නිසා ඉතිහාස ගත වූ මෙම භූමිය, උතුරින් හා බටහිරින් කදුකර රක්ෂිතයකින්ද, දකුණින් හා නැගෙනහිරින් මහවැලි ගංඟාවෙන්ද සීමා වූ සුන්දර බිම් පෙදෙසක පිහිටා ඇත. රක්ෂිත වලින් ගලා එන කිසිදින නොසි‍‍දෙන ජල උල්පත්වලින් සහ සරු පසින් පොහොසත් මේ භූමිය ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික කටයුතුවල මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කල බව පෙනේ.

ආයතනය පිළිබඳව හැදින්වීම

මුලින්ම මෙම භූමිය “රජ්ජුරුවන්ගේ වත්ත” ලෙස හැදින්වූ අතර එහි විවිධාකාරයේ කෘෂි බෝග වගාවන් හා පර්යේෂණ කටයුතු සිදුකර ඇති අතර එය කාලයත් සමඟ විකාශනයට පත් වීමෙන් වර්තමානයේ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානය බවට පත්වී ඇත.  දැනට පලතුරු බෝග පිළිබඳව පමණක් පර්යේෂණ, සංවර්ධන හා ව්‍යප්ති කටයුතු සිදු කරයි. ගන්නෝරුව පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානය රට තුළ මධ්‍යගතව පිහිටා ඇති බැවින් ලංකාවේ විවිධ වූ පලතුරු බෝග සඳහා අත්හදා බැලීම් සිදු කරයි. තෙත් කලාපයට අවේණික වූ ලංකාවේ වාණිජ වටිනාකමකින් යුතු පලතුරු විශේෂ වන දූරියන්, අලිපේර, අඔ ප්‍රභේද, රඹුටන්, කෙසෙල්, වරකා ආදී හා වර්ථමානයේ වැඩි ඇති වෙමින් පවතින ඌන භාවිත පලතුරු ගණයට වැටෙන නෙල්ලි, මොර, මසං, මාදං,වෙරළු, ජම්බු, කරවල කැබිල්ල , අනෝදා ආදී පලතුරු ප්‍රභේදවල පර්යේෂණ, තාක්ෂණයන් වැඩි දියුණු කිරීම හා පැල නිෂ්පාදනය සිදු කරයි.   දැනට, පලතුරු ප්‍ර‍භේද 14 ක් පමණ ආයතනය මඟින් නිදහස් කර ඇත. ප්‍රධාන පලතුරු ප්‍රභේද 5 ( ගන්නෝරුව ස්වීට් දූරියන්, ගන්නෝරුව සුදු සීනි කෙසෙල්, ගන්නෝරුව  – රත් කෙසෙල්, ගන්නෝරුව අඹ-1 සහ ගන්නෝරුව පේර-1) හා  ඌණ භාවිත පලතුරු ප්‍රභේද 8ක් (ගන්නෝරුව නෙල්ලි, ගන්නෝරුව මොර- නීරෝධා, ගන්නෝරුව මසං –ග්‍රීන් බිග්, ගන්නෝරුව මාදං- එලදං සහ පර්පල් බිග්, ගන්නෝරුව – කරවිල කැබිල්ල- රෙඩ් බන්ච්, ජම්බු වර්ග 3 ක් රූබි ජයන්ට්, රූබි  ඩ්‍රොප් සහ තායි රෙඩ්), මේ සඳහා ඇතුළත් වේ.

පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානය ප්‍රධාන වශයෙන් අංශ 3කින් සමන්විත වේ. පර්යේෂණ අංශය, ශාක ප්‍රචාරණ හා තවාන් කළමනාකරණ අංශය හා ව්‍යප්ති අංශය ලෙසිනි. පර්යේෂණ අංශය මඟින් ප්‍රධාන පලතුරු හා ඌණ භාවිත පලතුරු වලට අදාළව පර්යේෂණ සිදු කිරීම, ප්‍රභේද නිදහස් කිරීම හා නව තාක්ෂණයන් ජනනය කිරීම සිදු කරයි. ශාක ප්‍රචාරණ හා තවාන් කළමනාකරණ අංශය මඟින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබයි. ව්‍යප්ති අංශය මඟින් නව කෘෂිකාර්මික දැනුම හා තාක්ෂණය ගොවි ජනතාව වෙත බෙදා හරී.

ව්‍යප්ති හා පුහුණු වැඩසටහන් ප්‍රධාන අරමුණු 3ක් පෙරදැරිව ක්‍රියාත්මක වේ. එනම්, රටේ පලතුරු නිෂ්පාදනය / ඵලදායිතාවය වැඩි කිරීමේ ක්‍රම හා තාක්ෂණයන් හඳුන්වා දීම, පලතුරු පරි‍භෝජනය වැඩි කිරීම සඳහා ජනතාව උනන්දු කරවීම තුළින් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේ  හැකියාව පිළිබඳ දැනුවත් කිරීම හා පළතුරු නිෂ්පාදකයාගේ  වෙළඳපොල පුළුල් කිරීම ,  පසු අස්වනු සැකසුම් ක්‍රම හා අගය එකතු කිරීමේ තාක්ෂණයන් හඳුන්වා දීම සඳහා ක්‍රියාත්මක කරයි.

ආයතනයේ ඉතිහාසය හා විකාශය

බ්‍රිතාන්‍යයන් උඩරට රාජධානිය යටත්කර ගැනීමට පෙර උඩරට රාජධානි‍‍‍යේ රජුගේ පලතුරු උයනක් ලෙස හා විනෝද කටයුතු සඳහා උයනක් ලෙසත් පේරාදෙණිය ගන්නෝරුව අවට ප්‍රදේශය භාවිතා විය. ඒ නිසාම එකල ‍මෙම ප්‍රදේශය රජ්ජුරුවන්ගේ වත්ත ලෙස හැඳින්විය.

වර්ෂ 1825 දී බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වූ සර් එඩ්වඩ් බාන්ස් විසින් ගන්නෝරුව පිහිටි මෙම ප්‍රදේශයෙන් අක්කර 500ක බිම් කඩක් වෙන්කර ‘උස් බිම් වගාවක්’ පිහිටුවා ඔහුගේ පෞද්ගලික වතු යායක් ලෙස පවත්වාගෙන ගියේය. එහි තෘණ, පලතුරු, කුළුබඩු හා ඖෂධීය බෝග වගා කරන ලදී. ඔහුගේ අභාවයෙන් පසුව 1902 දී එය රජයට අත්කර ගැණුනු අතර කොකෝවා, පොල්, රබර්, දොඩම්, දෙහි, සාදික්කා, තණකොළ ආදී බෝග වගා කරන ලදී. විදේශ රටවලින් මෙරටට ගෙන්වන ලඳ විවිධ පලතුරු විශේෂ මෙහි වගා කිරීම සඳහා අත්හදා බැලීම්ද සිදු කරන ලදී.

ආයතනය පිළිබඳව හැදින්වීම

වර්ෂ 1912-1922 කාල පරිච්ජේදය තුල ප්‍රථම කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වූ ආර්.එල්. ලයින් මහතා මෙම අක්කර 500ක භූමිය පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නා ලදී. පසුව මෙය ගන්නෝරුව රජයේ ගොවිපල ලෙස හදුන්වා ස්වාධීන කළමනාකරණ ඒකකයක් බවට පත් කලේය. දෙවන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වූ එෆ්.ඒ. ස්ටොක්ඩේල් මහතා විසින් මෙම පර්යේෂණ ස්ථානය ගන්නෝරුව ආදර්ශ ගොවිපල බවට පත් කරන ලදී (1916). මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රථම ආදර්ශ ගෙවිපලද, පර්යේෂණ ස්ථානයද විය. ආදර්ශ ගොවිපල පිහිටුවීමෙන් පසුව තේ, පොල්, රබර්, කෝපි, කොකෝවා, ගම්මිරිස්, පැණි දොඩම්, දෙහි, ලෙමන්, ග්‍රේප් ෆෘට්, ජම්බෝල, ජමනාරං, අඹ, කොස්, වී හා වෙනත් බෝග පිළිබඳව පර්යේෂණ කරන ලදී.

වර්ෂ 1923-1932 කාල පරිච්ඡේදය තුල අන්නාසි පිළිබඳව පර්යේෂණ සිදු  කරන ලදී. කිවි, මුරුසි සහ රිප්ලේ ක්වීන් වැනි අන්නාසි ප්‍රභේද පිළිබඳව පර්යේෂණ සිදු කරන ලද අතර රෝපණ ද්‍රව්‍ය අලෙවියද සිදු කරන ලදී. වාණිජ මට්ටමින් පලතුරු රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනයේ වගකීම උද්භිත උද්‍යානයෙන් නිදහස් කර මෙම ආයතනයට පවරන ලදී.

වර්ෂ 1933-1942 කාල පරිච්ඡේදය තුල ඒ.සී. රිචඩ් මහතා කැලි‍ෆෝනියාවේදී පලතුරු පිළිබඳ පශ්චාත් උපාධිය නිමකර දෙවන උද්‍යාන බෝග භාර නිලධාරියා ලෙස පත්වීම් ලැබ පැමිණියේය. ටී.එච්. පර්සන් මහතා පළමු උද්‍යාන විද්‍යා නිලධාරියා විය. උසස් තත්වයේ දේශීය දූරියන්, රඹුටන්, අඹ, සැපදිල්ල, පැණි දොඩම්, ජමනාරං, අලිපේර, කොස් හා වෙනත් බොහෝ පලතුරු ප්‍රභේද හා තේ, පොල්, රබර් පිළිබඳ වැඩිදුර පර්යේෂණ දිගටම කරගෙන යන ලදී.

වර්ෂ 1953-1962 කාල පරිච්ඡේදය තුල ගන්නෝරුව මධ්‍යම පර්යේෂණ ආයතනය විවෘත වීමත් සමඟම පලතුරු පර්යේෂණ කටයුතු ඊට භාරවිය. ගන්නෝරුව පර්යේෂණ ගොවිපල – ගන්නෝරුව රජයේ බීජ ගොවිපල් ලෙස නැවත නම් කිරීමත් සමඟම කෘෂීකර්ම දෙපාර්තමේන්තුවේ ‍රෝපණ ද්‍රව්‍ය නිපදවන ආදර්ශ ගොවිපලක් බවට පත් විය. පර්යේෂණ කටයුතුවල අඩුවීමක් දක්නට ලැබුණු අතර ගන්නෝරුව බීජ ගොවිපල ඒළවළු බීජ සැපයුම් හා උසස් තත්වෙය් පලතුරු රෝපණ ද්‍රව්‍ය ප්‍රචාරණ හා සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්විය.

වර්ෂ 1973-1982 කාල පරිච්ඡේදය තුලදී  ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහන මඟින් ආරම්භ කරන ලද උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ගන්නෝරුව රජයේ බීජ ගොවිපල,  ගන්නෝරුව උද්‍යාන විද්‍යා පර්යේෂණ ගොවිපල බවට පත්විය. මෙය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන විද්‍යා අංශය වෙත භාරවූ අතර පලතුරු බෝග ව්‍යාපෘති, ව්‍යාප්ති හා පර්යේෂණ කටයුතුවල පර්යේෂණ මධ්‍යස්ථානය බවට නැවත පත්විය. මුළු දිවයිනටම පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය උසස්  ගුණාත්මයෙන් යුතු රෝපණ ද්‍රව්‍ය නිපදවා බෙදා හැරීමත් ඒවා වගා කිරීමත් සම්බන්ධීකරණ කරන ලදී.

වර්ෂ 1993-2002 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය ස්ථාපිත වූ අතර මේ සමඟම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන විද්‍යා අංශය අහෝසි වී උද්‍යාන විද්‍යා පර්යේෂණ ගොවිපල, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතේ උද්‍යාන විද්‍යා පර්යේෂණ ඒකක II බවට පත්වීමෙන් නැවතත් පලතුරු පර්යේෂණ පිළිබඳ පිබිදීමක් ඇතිවිය.

වර්ෂ 2012 දී උද්‍යාන විද්‍යා පර්යේෂණ ඒකක II, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පරිපාලයෙන් ඉවත් කර පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය යටතට පත් කරන ලද අතර එය පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ස්ථානය ලෙස නම් කරන ලදී.

මෙහෙවර

“ පලතුරු බෝග පිළිබඳ ඵලදායී තාක්ෂණයන් වැඩිදියුණු කිරීම හා  අදාල දැනුම ප්‍රචාරණය තුලින් තිරසාර ආර්ථිකයක් ළඟාකරගැනීම. ”

කාර්ය භාරය

“නව ජාන ප්ලාස්ම ග‍‍වේෂණය, එකතු කිරීම සහ ඒවායේ ආර්ථික හා සමාජ වටිනාකම ඇගයීම තුළින් නව ප්‍ර‍භේද ජනනය කිරීම, ජාන ප්ලාස්ම සංරක්ෂණය කිරීම, දියුණු කල නව තාක්ෂණය, දැනුම බෙදාහැරීම හා ඒවා ප්‍රචලිත කිරීම”

ආයතනයේ කාර්ය භාරය...

  • ආහාර සුරක්ෂිතතාවය හා බෝග විවිධාංගීකරණය යටතේ ප්‍රධාන හා දේශීය ඌන භාවිතපලතුරු බෝග වල ජාන සම්පත් ගවේෂණය, ඇගයීම, ගුණනය හා නව පලතුරු ප්‍රභේදයන් ජාතියට දායාද කිරීම.
  • පලතුරු ප්‍ර‍භේද වල ඵලදායිතාවය හා ගුණාත්මය වැඩි දියුණු කිරීම සඳහා නව තාක්ෂණයන් ජනනය කිරීම.
  • ප්‍රචලිත නොවූ අඩුඅවධානයක් සහිත පලතුරු වල විශේෂිත ගුණාංග,  ‍‍‍ඖෂධීය වටිනාකම පිළිබඳ පර්යේෂණ සිදු කිරීම.
  • ඌණ භාවිත පලතුරු ගෙවතුවල(නාගරික/ග්‍රාමීය) ප්‍රචලිත කිරීම හා තාක්ෂණය ජනනය කිරීම.

       – බදුන් වගාව

       – පලතුරු බෝග ආශ්‍රයෙන් භූමි අලංකරණ තාක්ෂණය

  • බෝග නඩත්තුව හා විශේෂිත තාක්ෂණයන් පිළිබද පුහුණු වැඩසටහන් පැවැත්වීම.

ප.බෝ.ප.ස.ස් හි ආයතන ප්‍රධානී

ඒ.වී.සී.අභයගුණසේකර මිය

නියෝජ්‍ය අධ්‍යක්ෂ



(පර්යේෂණ)

අප අමතන්න