Fruit Crops – Pomegranate-E

1 horana logo

Pomegranate

Botanical NamePunica granatum

 

Family – Punicaceae

The web pages in English Language are under construction and will be available soon…

1. කල්පිටිය දෙමුහුම්

 

 

  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරන ලද ප‍්‍රථම දෙමුහුම් දෙළුම් ප‍්‍රභේදයයි.
  • මෙම ප‍්‍රභේදය ආනයනික දෙළුම් ප‍්‍රභේද හා තරඟ කළ හැකි ප‍්‍රභේදයකි.
  • ඵලයේ මදුලු රත් පැහැයක් ගනී. මෘදු බීජ සහිතය.
  • ගෙඩිය රවුම් වන අතර මධ්‍යම ප‍්‍රමාණයෙන් යුක්තය.
  • තැඹිලි රෝස පැහැයක් ගන්නා ඵල ආවරණය තුනීය.
  • වසර 5 ක් පමණ වයස ගසක හටගන්නා ගෙඩියක බර ග‍්‍රෑම් 230 – 260 ක් පමණ වේ.
  • කිලෝග‍්‍රෑමයකට ගෙඩි 4 – 5 ක් අල්ලයි.
  • ඉතා මිහිරි රසයකින් යුතු පල්පය තද රතු පැහැතිය.
  • බි‍්‍රක්ස් අගය 15 – 16 ක් වේ.
  • දැනට නිර්දේශ කර ඇති හා ආනයනික දෙළුම් ප‍්‍රභේද වලට වඩා වැඩි ප‍්‍රතිඔක්සිකාරක ගුණයකින් යුක්තය.

2. නිමාලි

  • මෙහි ගෙඩිය මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් ගන්නා අතර, පොත්ත කහ පාටය.
  • පොත්ත දේශීය වර්ගවලට වඩා තුනීය. (මී. මී. 3.3 පමණ) දේශීය වර්ගවල පොත්ත මී.මී. 7.0 ක් පමණ වේ.
  • ගෙඩියේ පල්පය රෝස පාටය.
  • බීජ කුඩාය. මෘදුය. පහසුවෙන් සැපේ.
  • දේශීය වර්ගවලට වඩා යුෂය වැඩි අතර පැණි රසයෙන්ද වැඩිය. (බ්‍ර්ක්ස් අගය 14 – 16 ක් පමණ වේ).
  • වැඩිම ජනප්‍රිය ප්‍රභේදය මෙයයි.

3. දයා

  • මෙහි ගෙඩියද මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් සහිතය.
  • පොත්ත කහ පාටය.
  • පොත්ත දේශීය වර්ගවලට වඩා තුනීය. (මී. මී. 3.3 පමණ)
  • පල්පය නිමාලි වර්ගයට වඩා පැහැයෙන් අඩුය.
  • බීජ කුඩාය වන අතර මෘදුය, පහසුවෙන් සැපේ.
  • දේශීය වර්ගවලට වඩා යුෂ වැඩිය, පැණි රසයෙන්ද වැඩිය. (බ්‍ර්ක්ස් අගය 14 – 16 ක් පමණ)

4. නයන

  • මෙම වර්ගයේ ශාකයෙහි කඳ ‍අනෙකුත් වර්ගවලට වඩා තරමක් තද අළු දුඹුරු පැහැයෙන් යුක්තය.
  • ක‍දේ කටු වැඩිය.
  • පත්‍ර තද කොළ පැහැතිය.
  • ශාකයේ වර්ධනයද අනෙක් වර්ග දෙකට වඩා වැඩිය.
  • ගෙඩිය මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුක්තවන අතර, පොත්ත ලා රෝස පාටට හුරුය. පොත්ත තුනීය. (මී. මී. 3.3 පමණ)
  • පල්පයද අනෙක් වර්ග දෙකට වඩා රෝස පාටය.
  • මෙහි බීජ තද නිසා සෙසු ප්‍රභේද දෙකට වඩා ඉල්ලුම අඩුය.

 

දේශගුණික අවශ්‍යතා

ස්වභාවයෙන් දෙළුම් ශාකය අනුවර්තනය වී ඇත්තේ තද ශීතකාලයක් හා තද උණුසුම් කාලයක් පවතින ප්‍රදේශවලය. මෙම ශාකය ශුෂ්ක ප්‍රදේශවල හොඳින් වැවෙන අතර, තද නියං තත්ත්වයට හොඳින් ඔරොත්තු දේ. නමුත් එවැනි ප්‍රදේශවල උසස් අස්වැන්නක් ලබාගැනීමට නම් ජල සම්පාදනය කළ යුතුය.


පස

දෙළුම් ශාකය විවිධ පස් වර්ග රාශියක වගා කළ හැකි වුවද මැටි ලෝම පස වගාවට වඩා උචිතය. තවද වෙනත් පළතුරු භෝගවලට වඩා දෙළුම් ශාකය පසෙහි පවතින ක්ෂාරීය හා ආම්ලික තත්ත්වයන්ට ඔරොත්තු දේ. කල්පිටිය, මන්නාරම වැනි වැලි පස් සහිත ප්‍රදේශවල පසට කාබනික පොහොර යොදා වගාවට ජල සම්පාදනය කිරීමෙන් දෙළුම් ඉතා සාර්ථකව වගා කළ හැක.

මීටර් 3 x 3 පරතරයට සෙන්ටි මීටර් 60 x 60 x 60 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න. වලවල් පතුලට පොල් ලෙලි තට්ටුවක් අතුරන්නේ නම් වඩාත් සුදුසුයි. වැලි සහිත පසේ වගා කරන්නේ නම් මේ අන්දමට පොල් ලෙලි යෙදීම ඉතා වැදගත්ය. ඉන්පසු මතුපිට පස් හොඳින් දිරාපත් වූ ගොම හෝ කොම්පෝස්ට් හා මූලික පොහොර ලෙස යෙදිය යුතු රසායනික පොහොර සහිත මිශ්‍රණයකින් වලවල් පුරවන්න.

රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම

සිටුවීම සඳහා දෙළුම් පැළ නිෂ්පාදනය, ආකාර තුනකට කළ හැකිය. දෙළුම් බද්ධ කිරීම සාර්ථක නැත.


බීජ පැළ

මව් ගස්වලින් තෝරාගත් මේරූ ගෙඩිවල බීජ තවාන් කිරීමෙන් බීජ පැළ නිපදවාගත හැකිය. මෘදු බීජ සහිත වර්ගවල බීජ සතියකින් පමණ පැළ වේ. මෙම බීජ පැළ සුදුසු තත්ත්වයට පත්වූ විට බඳුන් කර මාස 4 – 5 පමණ නඩත්තු කිරීමෙන් සිටුවීමට යෝග්‍ය තත්තවයට පත්වේ. දෙළුම් ශාකයේ වැඩි වශයෙන් ස්ව පරාගනය සිදු වුවද පරපරාගනය යම් තරමකට සිදු වේ. එනිසා මෙවැනි බීජ පැළවල මව් ශාකයට වඩා වෙනස් ලක්ෂණ තිබිය හැකිය.

දෙළුම් මල් ආවරණයකර පරපරාගනය පාලනය කිරීම මඟින්, පැළ නිපදවා ගැනීම සඳහා වඩාත් හොඳ බීජ නිපදවාගත හැකිය.



මුල් ඇද්දවූ දඬු කැබලි

මව් ශාකයේ ලක්ෂණ ඒ ලෙසම පවතින පැළ නිපදවා ගැනීම, මව් ශාකයේ දඬු කැබලි මුල් අද්දවා ගැනීමෙන් කළ හැකිය. මීට මව් ශාකයේ පහත ප්‍රදේශයෙන් පැත්තට වැඩි ඇති අතු වලින් සෙන්ටිමීටර් 3/4 – 1 පමණ මහත මේරූ දඬු කැබලි ලබා ගැනීම වඩාත් සුදුසුය.

එම දඬු කැබලි සෙන්ටිමීටර් 20 – 25 පමණ දිග කැබලි වලට කපා ඒවායේ කැපුම් පෘෂ්ඨයේ මුල් ඇද්දවීමට යොදා ගන්නා හෝමෝනයක් (උ.ද: රූටෝන්, සෙක්ටෝ) තවරා දඬු කැබලි වලින් 2/3 පමණ යට වනසේ තවාන් පාත්තියේ සිටුවා ගත යුතුය. මෙම දඬු කැබලි වලින් මුල් හටගෙන වැඩෙන පැළ, වසරකින් පමණ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා සුදුසු තත්ත්වයට පත්වේ.

නමුත් සාමාන්‍ය තත්ත්වය යටතේදී දඬු කැබලි මුල් අද්දවා ගැනීම තරමක් අපහසුය. එනිසා විශේෂ ප්‍රචාරක ව්‍යුහයක් (ප්‍රොපගේටරයක්) තුළ දඬු කැබලි මුල් අද්දවා ගැනීම වඩාත් උචිතය.


වායව අතු බැදීම

වායව අතු බැඳීම මඟින්ද සාර්ථකව පැළ නිපදවා ගත හැකිය. නමුත් ප්‍රායෝගිකව මෙයින් නිපදවා ගත හැකිය. නමුත් ප්‍රායෝගිකව මෙයින් නිපදවා ගත හැක්කේ සීමිත පැළ සංඛ්‍යාවකි.

සිටුවීම

දෙළුම් වගාවට හොඳින් හිරුඑළිය අවශ්‍ය නිසා තනි වගාවක් ලෙස වගා කිරීමෙන් උපරිම අස්වැන්නක් ලබාගත හැකිය. නමුත් වගාවේ මුල් වසරේදී ගස් අතර කෙටි කාලීන වාර්ෂික බෝග වගා කිරීම සුදුසුය. කල්පිටිය ප්‍රදේශයේ ගොවීන් විසින් දෙළුම් වගාවේ මුල් වසරේදී ළූණු, මිරිස් වැනි වාර්ෂික බෝග වගා කිරීමෙන් භූමියේ වැඩි ඵලදාවක් ලබා ගැනීමට සමත් වී තිබේ. මේ නිසා දෙළුම් වගාවද නිරායාසයෙන්ම ඉතා හොඳින් නඩත්තු වේ.


පැළ සිටුවීම

පැළ සිටුවීම වර්ෂා කාලය ආරම්භය සමඟ සිදු කිරීම වඩා සුදුසුය. පැළය වටා බේසමක් ආකාරයට පස සකස්කර ජලය සපයන්න. එසේම වියළි තණ කොළ වැනි ද්‍රව්‍ය භාවිතාකර ගස වටා වසුනක් යොදන්න.

ගස් පුහුණු කිරීම

ආරම්භයේ සිටම දෙළුම් ගස් ක්‍රමාණුකූලව පුහුණු කිරීම මඟින් ගසට මනා පෙනුමක් ලැබෙන අතර උසස් ගුණාත්මයෙන් යුත් අස්වැන්නක්ද ලබාගත හැක.

ගස පුහුණු කිරීම එක් ප්‍රධාන තනි කඳක් ලෙස කළ හැකි වුවද, බොහෝ විට කරනු ලබන්නේ ගසේ පහළ සිට ප්‍රධාන කඳන් තුන හතරක් පමණ සංඛ්‍යාවක් වර්ධනය වීමට ඉඩ සැලසීමයි. මෙම ආකාර දෙකේදීම එම ප්‍රධාන කඳන් සෙ.මී. 60 – 75 පමණ වැඩුණු පසු අග්‍රස්ථ ඉවත්කර අතු බෙදීම දිරි ගන්වණු ලැබේ. එසේ වැඩෙන අතුද වරින් වර කප්පාදු කිරීමෙන් ඉහළ සැකිල්ල සාදාගත හැකිය. සෑම ප්‍රධාන කඳකම පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 60 – 75 පමණ උසක් දක්වා ඇතිවන අමතර අතු ඉවත් කළ යුතුය.

මීට අමතරව දිය රිකිළි ඉවත් කිරීම, අනවශ්‍ය ලෙසට දිගට වැ‍‍‍ඩෙන අතු කෙටි කිරිම, පො‍ළොව සමඟ ස්පර්ශවන හා ඉතා පහළින් හටගන්නා අතු ඉවත් කිරීම, මැරුණ අතු හා පිළිල සහිත අතු ඉවත් කිරිමද වරින්වර කළ යුතුය.


පොහොර යෙදීම

හොඳින් දිරාපත් වූ කාබනික පො‍හොර සහ නිර්දේශිත පරිදි රසායනික පොහොර යෙදීම සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට හේතු වේ.

රසායනික පොහොර

යෙදිය යුතු අවස්ථාව

ගසට යොදිය යුතු පොහොර ප්‍රමාණය (ග්‍රෑම්)

 

යූරියා

ත්‍රිත්ව සුපර් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

පැළ සිටුවීමට දින 2-3 පෙර

120

135

100

පළමු වසර සෑම මාස 4 වරක් බැඟින්

40

45

40

දෙවන වසර සෑම මාස 4 වරක් බැඟින්

60

70

55

ඵල දරණ ගස් සඳහා

පළමු වසර සෑම මාස 4 වරක් බැඟින්

100

120

90

තුන්වන වසර සෑම මාස 4 වරක් බැඟින්

150

185

125

සිවුවන වසරේ සිට සෑම මාස 4 වරක් බැඟින්

200

275

175

කාබනික පොහොර

සකස් කරනලද වලකට පැළ සිටුවීමට සති 2 පමණ පෙර හොඳින් දිරාපත් වූ කාබනික පොහොර කි.ග්‍රෑ. 10 පමණ යොදා පස් සමඟ කලවම් කරන්න. ඉන් පසු හැකි සෑම අවස්ථාවකදීම වසරකට දෙවරක් පමණ ගස වටා කාබනික පොහොර විසිරුවාහැර පස් සමඟ මිශ්‍ර කරන්න.

මූලික පොහොර ලෙස යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය පැළ සිටුවීමට දින 2 – 3 පමණ පෙර, සකසා ගස් වලට යොදා පස් සමඟ කළවම් කරන්න.

ඉන්පසු යොදන රසායනික පොහොර ගස වටා එහි අතු විහිදී ඇති ප්‍රදේශයට යොදා පස් සමඟ කළවම් කරන්න.

වැලි ස්වභාවය අධික පස්වල සෑම මාස දෙකකට වරක් බැඟින් රසායනික පොහොර යොදන්න. මේ සඳහා මාස හතරකට වරක් බැඟින් යෙදිය යුතු පොහොර ප්‍රමාණයෙන් අඩක් බැඟින් භාවිතා කරන්න. පොහොර යෙදීමෙන් පසු වගාවට ජලය සපයන්න.


ජල සම්පාදනය

දෙළුම් ශාකය ජල හිඟ තත්ව වලට ඔරොත්තු දෙන ශාකයක් වුවද, වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා වියළි කාලවලදී ගසට ජලය සැපයීම වැදගත්ය. මේ අන්දමට සපයනු ලබන ජලය තරමක් ලවණ සහිත වුවද එමඟින් ගසට එතරම් හානියක් සිදු නොවේ.

කල්පිටිය වැනි වැලි පස් සහිත ප්‍රදේශ වල ඇති ‍දෙළුම් වගාවන් සඳහා අඩු කාල අන්තරවලින් ජල සම්පාදන කළ යුතුය. මෙම පසට කාබනික ද්‍රව්‍ය හා කොහුබත් වැනි දේ මිශ්‍ර කිරීමෙන්ද සිටුවන වලට පොල්ලෙලි යෙදීමෙන්ද ජලය රදවා ගැනීමේ හැකියාව වැඩි දියුණු කළ හැකි අතර, ජලය සැපයීමේ වාර ගණනද අඩු කරගත හැක.


වල් පැළෑටි පාලනය
ගස වටා ඇති ප්‍රදේශය වල් පැළ වලින් තොරව තබා ගන්න. වියළි තෘණ වැනි ද්‍රව්‍යයක් භාවිතාකර ගස වටා වසුන් කරන්න. පැළ පේලි අතර වීසි ගැසීම මඟින් වල් පැළෑටි පාලනය කළ හැකිය.

 

අස්වනු නෙලීම

 

දෙළුම් ගසේ වසර පුරාම මල් හටගනී. නමුත් වර්ෂා කාලයේදී මල් හටගැනීම වැඩිය. මලකින් ගෙඩියක් හටගෙන මාස 4 – 5 දී මේරීම සිදුවේ. දෙළුම් ශාකයේ වසර පුරාම ගෙඩිය දැකිය හැකි නමුත් වැඩිම ඵල දරන්නේ වසරේ මැද සිට අවසානය දක්වාය.

ගෙඩි අස්වනු නෙලීමට සුදුසු අවස්ථාවට පත් වී ඇති බව තීරණය කිරීම සඳහා ඇඟිලිවලින් ගෙඩි මතට තට්ටු කිරීමේදී ඇතිවන විශේෂිත ශබ්දය උපයෝගී කරගත හැක.

දෙළුම් ගෙඩි නෙලා ගැනීමෙන් පසුව තවදුරටත් ඉදීම සිදුනොවේ. එනිසා නෙලීමට සුදුසු අවස්ථාවේ ඇති ගෙඩි පමණක් තෝරා ගැනීම වැදගත්ය.

ගෙඩි නෙලාගත යුත්තේ පිහියකින් නටුව කපා ගැනීමෙනී. වෙළඳපොලට ඉදිරිපත් කිරීමට පෙර ගෙඩියට ආසන්නයෙන් නටුව කපා ඉවත්කළ යුතුය.

සමහර රටවල දෙළුම් ගෙඩි මිළදී ගන්නේ මේස සැරසිලි සඳහා යොදා ගැනීමටය. එනිසා ගෙඩියේ බාහිර පෙනුම උසස් මට්ටමකින් පවත්වා ගැනීම වැදගත්ය. කුඩා කාලයේදීම ගෙඩි ආවරණය කිරීමෙන් හිරුඑළියෙන් හා කෘමීන් ගෙන් ගෙඩියේ පොත්තටවන හානි වළකා හොඳ පෙනුමක් ඇති ගෙඩි ලබාගත හැක.

වෙළඳපොල වෙත සැකසීම

වෙළඳපොල අලෙවියට දෙළුම් විවිධ ආකාරයට ඉදිරිපත් කළ හැක.


පලතුරක් ලෙස

මෙහිදී විශාලත්වය අනුව ගෙඩි ශ්‍රේණිකර කඩදාසි හෝ පිදුරු වැනි දෙයකින් ගෙඩි ආවරණයකර පෙට්ටිවල අසුරා වෙළඳපොළට යාවේ.

දෙළුම් ගෙඩි සෙ.අංශක 5 – 6 උෂ්ණත්වය හා සාපේක්ෂ ආර්ද්‍රතාවය 80% – 85% යටතේ ගෙඩිවලට හානි නොවී මාස 7ක් පමණ ගබඩාකර තබාගත හැකිය. එසේම නෙලාගත් දෙළුම් ගෙඩි පොලිතීන් බෑග්වල අසුරා සීල්කර සාමාන්‍ය ශීතකරණයක් තුළ මාසයක් පමණ කාලයක් ගබඩාකර තබාගත හැකිය.

දෙළුම් ගෙඩිය පලතුරක් ලෙස පිළිගැන්වීමේදී විශේෂිත ආකාරයකට කැපිය යුතුය. මෙහිදී ගෙඩියේ කෙළවර පොත්ත මත සෙන්ටි මීටර් 3ක් පමණ අරයට පිහිතුඩින් ලකුණුකර එම කොටසේ පොත්ත පරිස්සමින් ඉවත් කරන්න. ඉන්පසු, කැපූ කෙළවර සිට දික් අතට පහතට පිහිතුඩින් මදුළුවලට හානි නොවන අයුරු ගෙඩිය සමාන කොටස් කිහිපයකට බෙදෙන සේ ඉතිරි පොත්ත මත ඉරි කීපයක් අඳින්න. එවිට එම කැපුම්වලින් ගෙඩිය පහසුවෙන් පලුකර ගලවා ආහාරයට ගතහැක.


සැකසූ නිෂ්පාදන ‍

මදුලු ලෙස

දෙළුම් ගෙඩියේ මදුළු හානි නොවන ලෙස වෙන්කර පොලිතීන් මළුවල අසුරා සීල්කර සෙ.අංශක 5 – 6 උෂ්ණත්වය යටතේ සති 2ක් පමණ ගබඩාකර අලෙවියට යෙදාගත හැක.

සිරප්

දෙළුම් යුෂ මිරිකා සිරප් නිෂ්පාදනයකර දේශීයව ‍අලෙවි කිරීමට පුළුවන. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර තාක්ෂණ අංශයෙන් ලබාගත හැක.

වයින්

උත්සව අවස්ථා සඳහා දේශීයව අප රටේ නිෂ්පාදනය කරන වයින් සඳහා දෙළුම් යුෂය භාවිතා කළ හැකිය.

කෘමි හානි පාලනය

දෙළුම් සමනලයා – (Virachola isocrates)

අප රටේ දෙළුම් වගාවේ වැදගත්ම පලිබෝධකයා වන්නේ දෙළුම් සමනලයායි. මෙම සමනලයා විසින් ගෙඩි හා මල් මත බිත්තර දමන අතර, පිටවන කීටයා ගෙඩිය තුළට ඇතුලුවී එය විනාශ කරයි. ‍ගෙඩිය පිට පැත්තේ සිදුරුකර තිබීමෙන් හානිවූ ගෙඩි පහසුවෙන් හඳුනාගත හැක.

පාලනය

  • ගෙඩිය ළපටි කාලයේදී රෙදි හෝ කඩදාසි උරවලින් ආවරණය කිරීමෙන් මෙම හානිය සාර්ථකව පාලනය කළ හැක. උර සඳහා, පාවිච්චියට ගතනොහැකි කෘත්‍රීම සාරි රෙදි භාවිතා කළ හැක. කඩදාසි උර ජලය උරා ගන්නා නිසා හා සතුන්ගෙන් හානි සිදුවීම නිසා පැවැත්ම අඩුය.
  • මෙම කෘමි හානිය පාලනයට කෘමි නාශක යෙදිය හැකි වුවද විවිධ වර්ධන අවස්ථාවේ පවතින ගෙඩි තිබීම හේතුවෙන් පරිභෝජනයට ගන්නා ‍ගෙඩි වලටද කෘමිනාශක යෙදීමට සිදුවීම ප්‍රායෝගික ගැටළුවකි. එසේම දෙළුම් ගෙඩියේ පොත්තේ තද බව නිසාද කෘමිනාශක යෙදීමෙන් කෘමි මර්ධනයට ඇති බලපෑම අඩුය.
  • හානියට පත්වූ හා වැඩුණු ගෙඩි සියල්ල එකතුකර විනාශ කිරීම හෝ වළලා දැමීම කළ යුතුය.



වෙනත් කෘමි හානි

දෙළුම් ශාකයට කඳ විදින්නන් විසින් හානි කිරීම නිසා අතු මැරී යාමට ඉඩ ඇත. එසේම සුදු මැස්සන්, පිටි මකුණන් හා කොරපොතු කෘමීන් විසින් ගසේ පත්‍රවලට හානි සිදුකරන අවස්ථාවේ, හානිය වැඩිනම් පමණක් කෘමිනාශක භාවිතා කිරීම සුදුසුය.

එසේම වියළි කාලයේදී වේයන් විසින් ගසේ කඳ පහළ ප්‍රදේශයට හානිකළ හැකිය. මෙය පාලනය කිරීමට කළුතෙල් වැනි ක‍‍ඳේ පහත ප්‍රදේශයේ ආලේපනය කිරීම හා කෘමි නාශකයක් (උදා: ක්ලෝරොපයිරිපොස්) යෙදීම කළ හැක.


රෝග පාලනය

සාමාන්‍යයෙන් අධික ආර්ද්‍රතාවයක් ඇතිවිට හෝ වර්ෂා කාලයේදී දෙළුම් වගාවන්හට වැඩි වශයෙන් රෝග වැළඳිය හැකිය. තෙත් කලාපයේ හා අතරමැදි කලාපයේ දෙළුම් වගාවට ප්‍ර්‍රධාන බාදාව වන්නේ මෙයයි. රෝග අතුරින් ගෙඩි කුණුවීම, ගෙඩි හා පත්‍ර මත ලප ඇතිවීම හා අතු මැරී යාම වැදගත්ය. තෙත් කලාපයේ වගා කරන දෙළුම් වගාවන්හි වැඩි වශයෙන් ගෙඩි කුණුවීම දක්නට ලැබේ.

ගෙඩි කුණුවීමේ රෝග

ඇන්ත්‍රැක්නෝස් රෝගය

(Spnacelma punicae) කොලෙට්‍රොට්‍රිකම් ග්ලොයෙස්පෝරියෝඩමස් (Colletotrichum gloeosporioides) ඕල්ටනේරියා විශේෂ (Alternaria Spp) හා පෝමෝපිස් විශේෂ (Phomopsis Spp) වලට අයත් දිලීර මඟින් මෙම රෝගය ඇතිවේ. පළමුව කුඩා ගෙඩි මත පොත්තේ කළු පාට පැල්ලම් හටගනී.


පරිණත ගෙඩි කුණුවීම

ඇස්පර්ජිලස් Aspergillious හා පෙනිසිලියම් Penicillium විශේෂවලට අයත් දිලීර වර්ග මෙම රෝගයේ රෝග කාරකයන්ය. පරිනත ඵලවල මතුපිට පිපිරීම් ඇතිවූ විට, එම ස්ථානවලින් ‍දිලීර ඇතුල් වී ගෙඩිය තුළ කුණුවීම ඇති කරයි. ගෙඩි පිපිරීමට හේතු නිශ්විතව මේ දක්වා හඳුනාගෙන නැත. එසේ වුවත් කායික විද්‍යාත්මක සාධක මෙයට බලපානු ඇතැයි විශ්වාස කෙරේ.


පත්‍ර පුල්ලි රෝගය

කොලෙට්‍රොටිකම් (Collectotrichum) පෝමොප්සිස් (Phomopsis) සර්කස්පොරා (Cercouspora) සහ පෙස්ටලෝෂියා (Pestaloshiya) යන විශේෂයන්ට අයත් දිලීර නිසා මෙම රෝගය හටගනී. රෝග ලක්ෂණ වශයෙන් දැකගත හැකි වන්නේ පත්‍ර මත කළු දුඹුරු පුල්ලි හට ගැනීමයි. ශාක පොෂණය දුර්වල වූ විට රෝගී තත්ත්වය උග්‍රවී පත්‍ර හැලී යයි.


අග්‍රස්ථයේ සිට අතු මැරී යාම (Die back)

සෙතොස්පෝරා ෆයිලොස්ටිකා (cethospora phyllostica) සහ ප්ලියුරොප්ලැසෙනිමා (Pleuroplacenema) විශේෂයනට අයත් දිලීර මෙම රෝගයට හේතුවන බව සොයාගෙන තිබේ. රෝගී ශාකවල අග්‍රස්ථ ප්‍රදේශයේ සිට පහළට අතු මැරීයයි.

දෙළුම් වගාවේ දිලීර රෝග පාලනය කිරීම සඳහා ඒකාබද්ධ රෝග පාලන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වැදගත් වේ. මේ සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිර්දේශ කරනු ලැබේ.

  • ගස් තුළට හොඳින් වාතාශ්‍රය හා හිරුඑළිය ලැබෙන පරිදි අනවශ්‍ය හා දුර්වල අතු ඉවත්කර වගාව නඩත්තු කරන්න.
  • නිර්දේශිත පරිදි වගාවට රසායනික පොහොර සහ කාබනික පොහොර යොදන්න. මෙමඟින් ශාක වඩා දිරිමත් වර්ධනය වීමට ඉඩ සැලසේ.
  • ජලය හොඳින් බැසයන පසක වගා කරන්න.
  • රෝගී ශාක කොටස් කේෂ්ත්‍රයෙන් ඉවත්කර විනාශ කරන්න.
  • දිලීර රෝග හටගැනිමේ අවදානමක් පවතින අවස්ථාවන්හිදී ක්‍රමවත් ආකාරයට නිර්දේශිත පරිදි දිලීරනාශක යොදන්න. මේ සඳහා පළමුව වගාවේ මල් හටගන්නා අවස්ථාවේදී පහත සඳහන් දිලීර නාශකයක් යොදන්න. එමඟින් වගාවෙහි රෝගකාරක දිලීරවල ඝනත්වය ආරම්භයේදීම අඩුකරගත හැකියි.

දිලීරනාශකය

ජලය ලීටර් 10 සමඟ මිශ්‍ර කළයුතු ප්‍රමාණය

කාබෙන්ඩසිම් 50% Wp

ග්‍රෑ 07

කාබෙන්ඩසිම් 500 g/l sc

මි.ලී 07

ක්ලොරොතැලොනිල් 75 % Wp

ග්‍රෑ 20

ක්ලොරොතැලොනිල් 500 g/l sc

මි.ලී 20


ඉන්පසු ගෙඩි ඉතා කුඩා අවස්ථාවේදී සහ නැවත දින 10කට පමණ පසුව අවස්ථා දෙකකදී ඉහත සඳහන් දිලීරනාශකයන්ට හෝ පහත සඳහන් දිලීරනාශකයන්ම හෝ මාරුවෙන් මාරුවට වගාවට යොදන්න.

දිලීරනාශකය

ජලය ලීටර් 10 සමඟ මිශ්‍ර කළ යුතු ප්‍රමාණය

තයොෆනේට් මීතයිල් 50% Wp

ග්‍රෑම් 06

මැනෙබ් 80% Wp

ග්‍රෑම් 20

මැන්කොසෙබ් 80% Wp

ග්‍රෑම් 20

ප්‍රොපිකොනසෝල් 250 g/l Ec

මි.ලී 10

දිලීරනාශක යෙදීමෙන් පසුව ඵලවලට ආවරණ යොදන්න. එවිට රෝග හා කෘමි ආසාදන වැළදීම අවම කරගත හැකිය.

ගෙඩි පිපිරීම

දෙළුම් ගෙඩි පිපිරීම සමහර ප්‍රදේශවල සමහර කාලවලදී සිදුවේ. නමුත් මෙයට ස්ථිර හේතු තවම සොයාගෙන නැත. නොමේරූ ගෙඩි පිපිරීම බෝරෝන් නම් මූලද්‍රව්‍ය ඌණවීම නිසා යයි සැක කෙරේ. නමුත් මේරූ ගෙඩි පිපිරීම, පසෙහි සහ වායුගෝල තෙතමනයේ වෙනස්කම් නිසා සිදුවිය හැකියි. මෙය අවම කිරීමට වියළි කාලයේදී ජල සම්පාදනය, සුළං බාධක යෙදීම, ගෙඩි ආවරණය කිරීම වැනි ක්‍රම අනුගමනය කළ හැක.

දෙළුම් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)