Fruit Crops – Banana-S

1 horana logo

කෙසෙල් වගාව (Banana)

උද්භිද විද්‍යාත්මක නම – මියුසා විශේෂ

කුළය. Musaceae

    1.  
  1. Nadee නදී –           Embul-AAB
  2. Kandula කණ්ඩුල-      Dual Purpose-AABB
  3. Pulathisi පුලතිසි-           Cooking banana-ABBB
  4. Prasad ප්‍රසාද්-          Ash plantain-ABB
  5. Agra අග්‍රා –           Kolikuttu-AAB
  6. Parakum පැරකුම්-    Seeni Kesel-ABB
  7. Millewa Suwandel මිල්ලෑව සුවදැල් –           Suwandel-AAB
  8. Gannoruwa Seeni 1ගන්නොරුව සීනි –           Seeni Kesel-ABB
  9. Gannoruwa red banana ගන්නොරුව රත් කෙසෙල්- Rath Kesael-AAB

 

1.Nadee නදී- (Embul-AAB)

  • ඉතා උසස් ගුණාත්මයෙන් යුතු ඇඹුල් කෙසෙල් වරණයකි.
  • ලා කොළ පාට කඳක් ඇත.
  • මනා පාලන තත්ත්ව යටතේ විශාල කැන් හටගනී.(කි.ග්.15 පමණ)
  • මෙම කෙසෙල් පුභේදය 1996 වසරේදී නිර්දේශ කරන ලදී.

2.Kandula කණ්ඩුල-Dual Purpose-AABB

  • චතුර්ගුණ දෙමුහුම් ප්‍රභේදයකි.
  • මෙය පළතුරක් හා එළවළු වශයෙන් භාවිතා කළ හැකි ද්විකාර්ය ප්‍රභේදයකි.
  • කඳ කළු පාටට හුරු තද දම් පාටින් යුක්තය.
  • උස මීටර් 2 – 2.5 පමණ මධ්‍යස්ඵ උසකි.
  • ඉක්මනින් පීදිම සිදුවේ.
  • කඳ ඉතා ශක්තිමත්ය.
  • නියඟය,සුළඟ,කෙසෙල් ඉරි වෛරස්  රෝගයට මරොත්තු දේ.
  • පත්‍ර තද කොළ පාට වන අතර මුහයේ පැහැය තද දම් පාටය.
  • මෙම ප්‍රභේදය නිසරු හා ආන්තික ඉඩම් වලද හොඳින් වගා කළ හැකිය.
  • කැනක සාමාන්‍ය බර කි.ග්. 25 ක් පමණ වේ.
  • මෙම කෙසෙල් පුභේදය 2002 වසරේදී නිර්දේශ කරන ලදී.
  • සියලු කෘෂි දේශගුණික කලාප සඳහා සුදුසුයි.

 

3. Pulathisi පුලතිසි-Cooking banana-ABBB

  • චතුර්ගුණ දෙමුහුම් ප්‍රභේදයකි.
  • කඳ මීටර් 1 1/2 – 2 පමණ උසක් ඇත. නියඟයට,සුළඟට මරොත්තු දේ
  • කඳ තද කොළ පාට, පත්‍ර පළල්ය.
  • කළු සිගටෝකා පත්‍ර ලප රෝගයටද ප්‍රතිරෝධීය.
  • නිසරු පසේ වුවද හොදින් ප්‍රතිචාර දක්වයි.
  • එළවළු වක් මෙන්ම විවිධ නිෂ්පාදන සැකසීම සදහා ඉතාමත් සුදුසු ප්‍රභේදයකි.
  • කැනක සාමාන්‍ය බර කි ග්. 26 ක් පමණ වේ.
  • මෙම කෙසෙල් පුභේදය 2002 වසරේදී නිර්දේශ කරන ලදී.

4.Prasad ප්‍රසාද්-        Ash plantain-ABB

  • දේශීය අළු කෙසෙල් වරණයකි.
  • සාමාන්‍ය අළුකෙසෙල් ලක්ෂණ මේ වර්ගයටද පොදු වේ.
  • ගෙඩිවල කෙලවර ප්‍රමුඛ ඉදිමුමක් (nipple end )ඇත.
  • අළුකෙසෙල් වියළි කලාපයට පමණක් නිර්දේශ කර ඇති නමුත් ප්‍රසාද් වියළි හා තෙත් කලාප දෙකටම නිර්දේශ කර ඇත.
  • කැනක බර කිලෝ ග්‍රෑම් 15 – 16 පමණ වේ.ගුණාත්මය ඉහලයි.ඇවරි ප්‍රමාණයද වැඩියි.
  • මෙම කෙසෙල් පුභේදය 2002 වසරේදී නිර්දේශ කරන ලදී.

5.Agra අග්‍රා      -Kolikuttu-AAB

  • ඉතා උසස් ගුණාත්මයකින් යුතු කෝලිකුට්ටු වරණයකි.
  • කැනක සාමාන්‍ය බර කි.ග් 15-20 ක් පමණ වේ.
  • සාමාන්‍ය කෝලිකුට්ටු ගෙඩි වල හට ගන්නා තද කොටස් (hard lumps) මෙම ප්‍රභේදයේ හට නොගනී.
  • ජල සම්පාදන තත්ව යටතේ වියළි කලාපයේ දී ප්‍රශස්ඵ අස්වැන්නක් ලබා දේ.
  • මෙම කෙසෙල් පුභේදය 2005 වසරේදී නිර්දේශ කරන ලදී.

6.Parakum පැරකුම්-Seeni Kesel-ABB

  • ගුණාත්මයෙන් උසස් සීනි කෙසෙල් වරණයකි.
  • කැනක සාමාන්‍ය බර කි.ග් 16-18 ක් පමණ වේ.
  • කැන් අඳුරු කොළ පැහැයක් ගනී.
  • සාමාන්‍ය සීනි කෙසෙල් තරමටම ඉදීමට පෙර ආහාරයට ගත යුහැකිය.
  • මදයේ ජෙලටිනීය ස්වභාවයක් (rubbery texture) ඇත.
  • මදයේ ඇතුලත කහ පැහැයක් ගනී.
  • මෙම කෙසෙල් පුභේදය 2005 වසරේදී නිර්දේශ කරන ලදී.

6.Millewa Suwandel මිල්ලෑව සුවදැල්            -Suwandel-AAB

  • ගුණාත්මක සුවඳැල් වරණයකි.
  • කැනක බර කි.ග්‍රෑම් 14 ක් පමණ වේ
  • කෙසෙල් කැනක ඇවරි 9 -10 ක් ලබාගත හැකි අතර කෙසෙල් කැන සිලින්ඩරාකාර හැඩයක් ගනී.
  • මදය රසවත්ය. පිටි සහිතයි. 
  • තෙත් කලාපයේ සාර්ඵකව වගා කළහැකිය.
  • මෙම කෙසෙල් පුභේදය 2010 වසරේදී නිර්දේශ කරන ලදී.

7.Gannoruwa Seeni 1ගන්නොරුව සීනි -Seeni Kesel-ABB

  • උසස් ගුණාත්මයකින් හා ප්‍රණීත රසයකින් යුතු සීනි කෙසෙල් වරණයකි.
  • කැනක සාමාන්‍ය බර කි.ග් 22 ක් පමණ වේ.
  • එක් කෙසෙල් කැනක ඇවරි 9 -11 ක් ලබාගත හැකි අතර කෙසෙල් කැන සිලින්ඩරාකාර හැඩයක් ගනී.
  • ගෙඩි වල වර්ණය ලා කොළ පැහැ වන අතර ඉදුණු විට කහ පැහැයක් ගනී.
  • කෙසෙල් පොත්තේ අවපැහැ ගැන්වීම අඩුය.
  • මෙම වර්ගයේ පැණි රස ප්‍රමාණය අනෙක් සීනි කෙසෙල් ප්‍රෙභ්ද වලට වඩා අඩුයි.
  • පැනමා රෝගය සඳහා ප‍්‍රතිරෝධීතාවය පෙන්වයි.
  • මෙම කෙසෙල් පුභේදය 2016 වසරේදී නිර්දේශ කරන ලදී

8.Gannoruwa red banana ගන්නොරුව රත් කෙසෙල්

  • උසස් ගුණාත්මයකින් හා ප්‍රණීත රසයකින් ඉතා විශාල කැන් සහිත රත් කෙසෙල් වරණයකි
  • කෙසෙල් කැනක බර ඉහල පාලන තත්ව යටතේ කිලෝ ග‍්‍රෑම් 35ක් පමණ වන අතර සාමාන්‍ය පාලන තත්ව යටතේ වුවද කිලෝ ග‍්‍රෑම් 25ක් පමණ බර කැන් ලබා ගත හැකිය.
  • පිට පොත්තේ පැහැය දුඹුරු පැහැයට හුරු රතු පැහැයකි. ඉදුණු විට කහ රත් පැහැයකට හැරේ.
  • කෙසෙල් ගෙඩියේ මදය ක‍්‍රීම් පැහැයට හුරු තැඹිලි පැහැයකි.
  • කෙසෙල් මදය පිටි සහිතය.
  • අඩු පැල ප්‍රමාණයක් හට ගනී.
  • මෙම කෙසෙල් පුභේදය 2016 වසරේදී නිර්දේශ කරන ලදී

මෙම නිර්දේශත ප්‍රභේද වලට අමතරව පහත වර්ගද වගා කෙරේ.

ඇම්බන් (AAA)

  • කඳ මීටර් 4 – 4.5 පමණ උස් වේ.
  • කොළ පාට කදේ දම් පාට පැල්ලම් ඇති වේ.
  • පත්‍ර තලයේ උඩ පෘෂ්ඨය තද කොළ පාටය, යටි පෘෂ්ඨය ලා කොළ පාටය.
  • කෙසෙල් මුහයේ කොළපු දම් පාටය.
  • ඇවරි කිට්ටුවෙන් ඇහිරී ඇත.
  • ඉදුණු විට ලා කහ පැහැයක් ගනී.
  • කැනක බර කි.ග්‍රෑම් 15 – 20 පමණ වේ.

ආනමාළු (AAA)

  • මීටර් 3 – 5 පමණ උස් වන ප්‍රභේදයකි.
  • කඳ කොළ පැහැතිය.
  • පත්‍ර තලය පළල්ය. පත්‍ර නටුව පිටතට වක්‍ර වනසේ හොඳින් විවෘතව ඇත.
  • කෙසෙල් මුහයේ කොළපුවල පිට පැත්ත දම් පාටට හුරු කොළ පාට වන අතර ඇතුලත පෘෂ්ඨය කහ පාටට හුරු කොල පාටය. මුල් අවස්ථාවේ කෙසෙල් මුහය කොළ පාටට හුරුය.
  • කැනක බර කි.ග්‍රෑම් 15-18 පමණ වේ.

පිසීමට ගන්නා කෙසෙල් ප්‍රභේද

මොන්දන් (ABB)

  • පිසීම සඳහා පමණක් යොදා ගනී.
  • ව්‍යාජ කඳ කොල පාටය.
  • පත්‍ර නටුව ලා කොල පාටය. පත්‍ර තලයේ උඩු පෘෂ්ඨය තද කොළ පාටය.
  • කෙසෙල් මුහය ඉලිප්සාකාරය.
  • කෙසෙල් මුහය රතුපාටට හුරු දම් පාටය.

කිතල (ABB)

  • කදේ රතු පාටට හුරු දම් පාට පැල්ලම් ඇත.
  • පත්‍ර තලය දම් පාටට හුරු කොළ පාටය.
  • පත්‍ර නටුවේ දම් පාට දාරයක් ඇත. එය පිටතට වක්වී නොමැත.

ඇටමුරු (ABB)

  • පිසීම සඳහා යොදා ගනී.
  • සමහර ගෙඩි වල බීජ කිහිපයක් ඇත.
  • කඳ කොළ පාට වන අතර ලා දම් පාට පැල්ලම් ඇත.
  • පත්‍ර තලයේ උඩු පැත්ත තද කොළ පාටය. යටි පැත්ත ලා දම් පාටය.

 පූවාළු (ABB)

  • ව්‍යාජ කඳ මීටර් 03 පමණ උස්වේ.
  • පත්‍ර පාද වල දුඹුරු පාටට හුරු කළු පාට සළකුණු ඇත.
  • පත්‍ර නටුවේ දම්පාට දාරයක් ඇත.
  • කොළපු වල පැහැදිලි නාරටි ඇත.
  • කෙසෙල් කැන තරමක් කෝණයකට තිරස්ව පිහිටා ඇත.
  • කැනේ නටුව දම් පාටට හුරු කොළ පාටය.
  • ගෙඩිය හරස්කඩකට කැපූ විට ත්‍රිකෝණාකාරය.
  • සාමාන්‍යයෙන් කැනක් කිලෝ ග්‍රෑම් 15 – 16 පමණ යහපත් පාළන තත්ත්ව යටතේ ලබා ගත හැක.

බිං කෙසෙල් (AAA)

  • සාමාන්‍ය ව්‍යවහාරයේදී නැව් කෙසෙල් වශයෙන්ද මෙම ප්‍රභේදය හැදින්වේ.
  • ඩ්වෝෆ් කැවෙන්ඩි‍ෂ් වර්ගය ලෙසද දැක්වෙන්නේ මෙම ප්‍රභේදයයි.
  • කදේ උස මීටර් 1.5 – 1.7 පමණ වන අතර කඳ කළු පාටට හුරු තද දුඹුරු පාටය.
  • පත්‍ර නටුව දාරයේ දම් පාට බෝඩරයක් ඇත.
  • පත්‍ර තලය තද කොළ පාටය.
  • කෙසෙල් මුහෙහි කොළපු කෙසෙල් කැනෙහි කඳට අවසානය දක්වාම ඇලී පවතී.
  • මෙය වඳ පීදීමේදී වෛරසයට අධික ලෙස පාත්‍ර වේ.
  • ඉතා රසවත් ප්‍රභේදයකි.

 

විවිධ කෘෂි දේශගුණික කලාප වලට සුදුසු කෙසෙල් වර්ග

කෘෂි දේශගුණික කලාප

පළතුරක් ලෙස භාවිතයට

ව්‍යාංජන සඳහා

වියළි කළාපය

කෝලිකුට්ටු, ඇඹුල්, සීනි කෙසෙල්, කන්ඩුල,

 

අලු කෙසෙල්, මොන්දන්, පුලතිසි, ඇටමුරු

අතරමැදි කලාපය

කෝලිකුට්ටු, ඇඹුල්, සීනි කෙසෙල්, කන්ඩුල,ආනමාලු, ඇම්බන්, රත් කෙසෙල්, නේත්‍රම්පලම්

 

අලු කෙසෙල්, මොන්දන්, පුලතිසි, ඇටමුරු

තෙත් කලාපය

ඇඹුල්, සීනි කෙසෙල්, කන්ඩුල,ආනමාලු, ඇම්බන්, රත් කෙසෙල්, නේත්‍රම්පලම්,සුවඳැල්,පුවාලු, බිං කෙසෙල්,

මොන්දන්, පුලතිසි, ඇටමුරු

 

දේශගුණය

මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ සියළුම ප්‍රදේශවල සාර්ථකව කෙසෙල් වගාකල හැක. මි.මී. 1250 – 1900 දක්වා පැතිරුණු වර්ෂාපතනයක් සහ සෙ.ග්‍රේ. අංශක 15 – 38 අතර උෂ්ණත්වයක් පරාසයක් තුළ වගා කළ හැකිය. ප්‍රශස්ඵ උෂ්ණත්වය සෙ.ග්‍රේ. අංශක 27 පමණවේ. අධික සුළං පැවතීම වගාවට නුසුදුසු චුචද  සුළං බාධක සිටුවීමෙන් සුළඟින් වන හානිය වළක්වා ගත හැකිය.

 

පස

කෙසෙල් වගාව පුළුල් පාංශු පරාසයක් තුළ සිදුකළ හැකි අතර වැදගත් වන්නේ මනා ජල වහනයයි. පසෙහි ගැඹුර මීටර් 1 ½ පමණ සහ මනා ජල වහනයක් ඇති ලෝම පසක් වීම වඩා හිතකරය. නමුත් මැටි අධික, ජලවහනය දුර්වල, බෑවුම් සහිත චූ ඉඩම් වල අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද සොදා ගනිමින් කෙසෙල් වගාව සිදු කළ හැකිය. පාංශු පී.එච් අගය 5.5-6.5 අතර පැවතීම වඩා සුදුසුයි.

බිම් සැකසීම

හොඳින් හිරුඑළිය ලැබෙන හොඳින් ජලවහනය වන ගැඔුරු කාබනික ද්‍රව්‍ය බහුල සාරවත් පසක් තෝරා සී සෑම හා කැට පොඩි කිරීමෙන් පසු නියමිත පරතර වලට වලවල් කපා ගන්න.

පැළ සකසා ගැනීම

පැළ සකසා ගැනීම

රෝපන  ද්‍රව්‍ය

කෙසෙල් පැළ නිපදවා ගැනිමේ ක්‍රම ප්‍රධාන ආකාර කිහිපයකට වෙන් කළ හැකිය.

 

1.ස්වභාවිකව හට ගන්නා මොරෙයියන් භාවිතය (conventional method)

2.ස්වභාවිකව ඇති වන අංකූර උත්තේජනය කිරීම මඟින් පැළ නිපදවා ගැනිම (modified conventional method)

3.පටක රෝපනයෙන් පැළ නිපදවා ගැනිම (tissue cultured planting materials)

 

ස්වභාවික ක්‍රම මගින් පදුරකින් ගලවා ගන්නා ලද පැළ

සාමාන්‍යයෙන් කෙසෙල් පදුරක මව් ශාකය සමග පැළ 2 ක් පමණ තබා ගැනීම නිර්දේශ කෙරේ. මීට අමතරව රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීම සදහා පදුරක පැළ 2-3 පමණ වර්ධනය වීමට සැලැස්විය හැක. මෙයට වඩා වැඩි පැළ ප්‍රමාණයක් සිටුවීමට සුදුසු අවස්ථාව වන තෙක් මව් පදුරේ තබා ගැනීමෙන් මව් පදුරේ වර්ධනය බාල වී මව් ගසේ කැන් වල ප්‍රමාණය කුඩා වේ.

සිටුවීමට සුදුසු යැයි සලකනු ලබන්නේ අඩුම වශයෙන් සෙ.මී. 70-80 තරම් වර්ධනය වූ පැළයකි. මෙම ක්‍රමය මඟින් එක් පඳුරකින් අවුරුද්දක දී ලබා ගත හැකි වන්නේ අඩු පැළ සංඛ්‍යාවකි.

කෙසෙල් පදුරක හටගන්නා මොරෙයියන් ප්‍රධාන වශයෙන් තුන් වර්ගයකි.

කඩුපත් මොරෙයියන්
මෙම මොරෙයියන්ගේ කෝමය (අලය) හොදින් වර්ධනය වී ඇති අතර කද පහල සිට ඉහලට ක්‍රමයෙන් සිහින් වේ. එනම් කේතු හැඩයක් ගනී. මෙවැනි පැළ වල ආරම්භයේදී හටගන්නා පත්‍ර සිහින් දිගැටි හැඩයක් ගන්නා බැවින් මෙම පැළ කඩුපත් මෙරෙයියන් ලෙස හැදින්වේ. මෙවැනි පැළ සිටුවීම සදහා යොදා ගත හැකි නම් වඩාත් සුදුසුය. අලය ප්‍රමාණයෙන් විශාල නිසා පැළයේ වර්ධන වේගය වැඩිය. විශාල කැනක් හටගනී. කෙසෙල් මව් ගසේ අලයේ වඩා ගැඹුරින් පිහිටා ඇති අංකුර වලින් මෙම මොරෙයියන් හටගනී. නමුත් වගාවක හටගන්නා මෙවැනි පැළ ප්‍රමාණය සීමිත වන අතර ප්‍රභේද අනුවද ලබාදෙන පැළ සංඛ්‍යාව වෙනස් වේ.

කන්‍යා මොරෙයියන්

මෙම මොරෙයියන්ගේ පත්‍ර පළල්ය. කඳෙහි හැඩය මඳ වශයෙන් කේතු ආකාරය. කෙසෙල් අලය මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයක් සහිතය. මේ පැළ වල වර්ධනය වේගවත් වන අතර විශාල කැන් හටගනී. මෙවැනි පැළද සිටුවීම සදහා සුදුසු වේ.

 

දියපත් මොරෙයියන්

කෙසෙල් මව් ගසෙහි අලයේ ඉහලින්ම (පස් මට්ටමේ ආසන්නයේ ) පිහිටි අංකුර වලින් හටගනී. මේ කඳ ඉතා දුර්වල වන අතර සිලින්ඩරාකාර හැඩයක් ගනී. කෝමය ඉතා කුඩා නිසා එහි තැන්පත් වී ඇත්තේ ඉතා සුළු ආහාර ප්‍රමාණයකි. පත්‍ර පර්ව අතර දුර ඉතා අඩු වන අතර බොහෝ විට පත්‍ර එකම ස්ථානයකින් හටගන්නා ස්වරූපයක් පෙන්නුම් කරයි.මෙවැනි පැළ වල වර්ධන වේගය ඉතා දුර්වල බැවින් එවැනි පැළ සිටුවීම සඳහා නිර්දේශ නොකෙරේ.


පළල් පත්‍ර සහිත මොරෙයියන්

 

පළල් පත්‍ර සහිත මොරෙයියන් වනුයේ සිටුවීමට සුදුසු අලයක් සහ ශක්තිමත් කඳක් සහිත පත්‍ර පළල් වූ මොරෙයියන්ය. අල කැබලි වලින් පැළ නිෂ්පාදනයේදී සහ පටක රෝපණයෙන් ඇති වනුයේ පළල් පත්‍ර සහිත මොරෙයියන්ය. මේවා හොඳින් නඩත්තු කළවිට වේගයෙන් වර්ධනය වේ.එසේම එවැනි ගස් වල විහාල කැන් හට ගනී.

 

 

 

ස්වභාවිකව ඇති වන අංකූර උත්තේජනය කිරීම මඟින් පැළ නිපදවා ගැනිම

  1. කෙසෙල් අල කැබලි ක්‍රමය

Bits System

අඩු ඉඩ ප්‍රමාණයකින් කෙටි කාලයකදී විශාල පැළ සංඛ්‍යාවක් ලබා ගැනීම සඳහා මෙම ක්‍රමය උපයෝගි කර ගත හැකිය.මෙහි දී පැළ නිෂ්පාදනය කිරීම සඳහා තවානක් සකස් කිරීම අවශ්‍ය වේ.

පළමුව හොඳින් බිම පෙරළා ක්ෂේත්‍රය සමතලා කර ගන්න.සෙ.මී 30 ක් පමණ පමණ පළල හා සෙ.මී 25-30 ක් පමණ ගැඹුර කානු පිළියෙල කර ගන්න. කානු 2 ක් අතර පරතරය සෙ.මී 60 ක් පමණ වේ.කානු වල දිග කේෂ්ත්‍රෙය් පිහිටීම අනුව තීරණය කර ගත හැකිය.

කපා ගත් කානු

සකසා ගත් කාණු වල පතුලට පළමුවෙන් සෙ. මී. 5 ක පමණ ඝන තට්ටුවක් ලෙස දිරාපත් වූ පිදුරු, වියළි තණකොළ, පරණ වූ කොහුබත් හෝ ලී කුඩු වැනි ද්‍රව්‍යයක් දමන්න.ඉන්පසු මතුපිට පස් සහ දිරාපත් වූ ගොම පොහොර කලවම් කර කානුව පුරවන්න.

අල කැබලි ලබා ගැනීම

මාස 6-7 ක් පමණ වූ නිරෝගි ගසක අලය (කෝමය) ගලවා ගන්න.කෙසේ නමුත් කැන් කපා ගත් පසු එවැනි ගස් වල කෝමය වුවද භාවිතා කළහැකිය.අලයට (කෝමය) ඉහලින් අඟල් 2ක් පමණ ව්‍යාජ කඳ ඉතිරි වන සේ කපා ඉවත් කරන්න.

ලබා ගත් අලවල මුල් කපා ඉවත් කරන්න.එසේම කෙසෙල් ගුල්ලා ගේ හානි සහිත කොටස් තිබේ නම් ඒවාද කපා ඉවත් කර පිරිසිදු කර ගන්න. සෑම කැබැල්ලකම ක්‍රියාකාරි එක් අංකුරයක් බැගින් සිටින සේ අලය කැබලි කර ගන්න.අලයේ විශ්කම්භය හා විශාලත්වය අනුව කැපිය හැකි කැබලි ගණන තීරණය වේ.එක අල කැබැල්ලක බර අවම වශයෙන් ග්‍රෑම් 750- කිග්‍රෑම් 1 ක් පමණ වීම සුදුසුය.අල කැබැල්ලේ ප්‍රමාණය අඩු වන විට ලැබෙන පැළ වල ශක්තිමත්භාවය අඩුවේ.

කැබලි කර ගත් කෝමය

අමු ගොම ජලය සමඟ කලවම් කර උකු දියරයක් සාදා එයට අලු ස්වල්පයක් මිශ්‍ර කරන්න. මිශ්‍රණයේ ලීටර එකක් සදහා කැප්ටාන් ග්‍රෑම් 10ක් පමණ එක් කර කපා ගත් අල කැබලි විනාඩි 10 ක් පමණ කාලයක් එම ද්‍රාවනයේ ගිල්වා තබන්න.ඉන් පසු දින 5-7 පමණ පවනේ වියළීම.

මුලින් සකසා ගත් කානුවල,සෙ.මී 45 පරතරයකට අංකූරය ඉහලට සිටින සේ, අල කැබලි තිරස් අතට සිටුවා ගන්න. තෙතමනය ආරක්ෂා වීම සඳහා පිදුරු හෝ වියළි තණකොළ වලින් වසුනක් යොදන්න.අවශ්‍ය පරිදි ජල සම්පාදනය කරන්න.සති 4-5 දී අංකුර වැඩීමට පටන් ගනී. අවශ්‍ය පරිදි පැල වල වර්ධනය වේගවත් කිරීමට දියර පොහොරක් පත්‍ර වලට ඉසීම කළහැකිය.මාස 3 1/2 -4 කින් පමණ සිටුවීම සඳහා සුදුසු පැළ ලබා ගත හැකිය.

අංකුර කැබලි වලින් පැළ නිෂ්පාදනය

  • මෙහිදී නීරෝගී පදුරකින් මාස 8-9 වයසැති (පීදීමට පෙර) පැළ ගලවා ගන්න.
  • අලය ව්‍යාජ කඳින් වෙන් කර තියුණු පිහියකින් මුල් හා හානි කොටස් කපා පිරිසිදු කර ගන්න. නමුත් මේරූ අංකුර වලට හානි නොවන පරිදි මේ කාර්ය කළ යුතුය.
  • සෑම අලයක්ම ග්‍රෑම් 750 ක් කිලෝ 1 ක් පමණ බරති කැබලි ලෙස කපාගත යුතුයි.
  • පසුව එය අමු ගොම උකු දියරයක් ලෙස සකසා එයට අළු, මිශ්‍රණයේ ලීටර එකක් සදහා කැප්ටාන් ග්‍රෑම් 10ක් පමණ එක් කර කපාගත් අල කැබලි එම දියරයේ විනාඩි 10 පමණ ගිල්වා තබන්න.

තවාන් කිරීම

පළල සෙ.මී 90 හා අවශ්‍ය පමණ දිගක් සහිත වන සේ පාත්ති සකසා ගන්න. තවාන් මාධ්‍ය ලෙස වැලි මතුපිට පස් , කොමිපොස්ටි 2:1:1 මිශ්‍රණය හා භාවිතා කරන්න. තවානේ එකිනෙකට ආසන්නව මෙම අල කැබලි සිටුවන්න.

අංකුර වර්ධනය ආරමිභ වීමට පටන් ගන්නා අවස්ථාවේදී එනමි දින 14 ක් 21 අතර දී අල කැබලි ගලවා ගන්න. එක් කැබැල්ලක අංකුරය හරි මැදින් බෙදෙන සේ එක් කැබැල්ලක් කැබලි 4 කට වෙන් කරගන්න.

එක් කැබැල්ලක් ග්‍රෑම් 75-100 පමණ වීම අවශ්‍ය වේ. අල කැබැල්ල කුඩා වන විට ලැබෙන පැළ ප්‍රමාණයද අඩු වේ.

පසුව පළමු තවාන් මිශ්‍රණයම භාවිතා කර පේලි දෙක අතර පරතරය සෙ.මී 20-25 හා අල කැබලි දෙක අතර සෙ.මි 15 ක පරතරයට තවාන් කරගන්න.

සති 2-3 ගත වන විට අංකුර මතු විම සිදුවේ. එක් අංකුර කැබැල්ලකින් පැළ 1-7 දක්වා ප්‍රමාණයක් ලබා ගත හැක.

සෙ.මී 15-20 පමණ උස් වු එනමි මාස 1- 1 1/2 වයසැති පැළ තෝරා ‍පොලිතින් බදුන් වල සිටුවන්න. එම පැළවල කෝමය ඉතා කුඩා බැවින් හා මුල් ස්වල්පයක් ඇති බැවින් එක්වරම ක්ෂේත්‍රයේ සිටුවිම අපහසුය. බදුන් කිරීම සදහා සෙ.මි 25 පළල සෙ.මි 35 උසැති ගේජ් 300 විනිවිද පෙනෙන පොලිතින් බදුන් සකසා ගන්න. බදුන් මිශ්‍රණය සදහා තවානට භාවිතා කල මිශ්‍රණයම හෝ මතුපිට පස් , කොමිපෝස්ටි, වැලි 1:1:1 මිශ්‍රණය භාවිතා කරන්න. මේ අනුව බදුන් කළ පැලයක් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු පැළයක් මාස 4-5 දී ලබා ගත හැකිය. බඳුන් තුල පෝෂණය ප්‍රමාණවත් නොවන නිසා මාසකට වරක් කෙසෙල් පොහොර මිශ්‍රණයෙන් ග්‍රෑම් 5-10 බදුනකට යොදන්න.


මාස 7-8 වැනි කාලයක් තුලදී එක් අලයකින් පැළ 80-140 පමණ ලබා ගත හැකි වීමත් ක්ෂේත්‍රයේ සිටුවන අවස්ථාවේදී හොදින් මූල පද්ධතියක් සහිත පැළ නිපදවා ගත හැකි වීම මෙම ක්‍රමයේ විශේෂිත ලක්ෂණයකි.

 

පදුරු පාළනයේදී ඉවත්වන මොරෙයියන් භාවිතය

පදුරු පාලනයේදී ඉවත් කරන පැළ වලින් ප්‍රයෝජනයක් ගැනීමටත් එයින් අමතර පැළ ලබාගැනීමටත් මෙම ක්‍රමය උපයෝගී කර ගත හැක.

අඩියක් පමණ උස නීරෝගී මොරෙයියන් අලයද සමග මව් ශාකයෙන් වෙන්කර ගන්න. මේ වන විට කෝමයේ ආහාර සංචිතයක් ඇති බැවින් මව් ශාකයෙන් වෙන් කලද පැළ වලට තනිව වර්ධනය වීමේ හැකියාව තිබේ.

මෙවැනි පැළ ක්ෂේත්‍රයේ සකසා ගත් තවානක තවාන් කර ගන්න. සෙ.මී. 15-20 ක් උසට සකස් කළ වැලි තවානක හෝ වැලි කොම්පෝස්ට් හා මතුපිට පස් 2:1:2 අනුපාතයට සැකසූ තවාන් මාධ්‍යයේ පේලි 2 අතර පරතරය සෙ.මී. 60 ක් හා පැළ 2ක් අතර පරතරය සෙ.මී. 45 වන සේ පැල සිටුවන්න. තවාන් වෙනුවට ඉහත මිශ්‍රණයම බදුන් වල එනම් ගේජ් 300 විනිවිද පෙනෙන සෙ.මී. 25 පළල සෙ.මී. 35 උස බඳුන් වල සිටුවා ගත හැක. පැළ වල වර්ධනය වේගවත් කිරීමට 2% යූරියා ද්‍රවණයක් සති 2 වරක් යොදන්න. තවද කදෙහි ශක්තිමත් භාවය වැඩි කිරීමට මියුරියේට් ඔෆ් පොටෑෂ් ස්වල්පයක්ද යොදන්න.

මාස 31/2 – 4 දී සිටුවීමට සුදුසු පැළ ලබාගත හැකි වේ. මේ අන්දමට මොරෙයියන් ලබා ගැනීමේදී මව් ශාකයට අහිතකර බලපෑමක්ද ඇති නොවන පරිදි එක් වරම සියළුම පැළ නොගලවා කාල පරතරයක් සහිතව පැළ ගලවා ගන්න.

පුෂ්ප අංකුරය විනාශ කිරීම මගින් පැළ උත්තේජනය කිරීම

මෙහිදී ක්ෂේත්‍රයේ පවතින පැළයකින් පැළ 16-18 ක් පමණ ලබාගත හැකිය. මේ ක්‍රමයේදී අංකුර වර්ධනය අනුව විවිධ අවස්ථා වලදී ක්‍රමයෙන් පැල ලබා ගැනීමේ හැකියා‍ව ලැබේ.

මව් ශාකයේ අග්‍රස්ථ ප්‍රමුඛතාවය ඉවත් කිරීම, එනම් පුෂ්ප අංකුරය ආරම්භ වන අවස්ථාවේදීම විනාශ කිරීම මගින් පාර්ශ්වික අංකුරවල වර්ධනය වේගවත් කිරීම සිදු කරණු ලැබේ. මේ සදහා නිරෝගී මාස 7-9 ක් වයසැති කෙසෙල් ශාකයක් තෝරා ගෙන එහි පුෂ්ප අංකුරය විනාශ කරන්න. හොදින් නඩත්තු කර ශාකයක පුෂ්ප අංකුරය වර්ධනය වීම මාස 7-9 ක් අතර තුලදී සිදුවේ. සාමාන්‍යයෙන් ඇඹුල් ප්‍රභේදයේ 28 වන පත්‍රය පිටතට විවෘත වන විට පුෂ්ප අංකුරයේ වර්ධනය ආරම්භ වේ.පුෂ්ප අංකුර හටගන්නේ කෝමය හා කෙසෙල් ව්‍යාජ කද සම්බන්ධ වන ස්ථානයේ ව්‍යාජ කද මැදය.

උපකරණයක ආධාරයෙන් කද සිදුරුකර සර්පිලව කැරකවීමෙන් පුෂ්ප මූලාකෘති‍ය විනාශ කර දමන්න. මේ අවස්ථාවේ පත්‍ර වර්ධනය වූ පත්‍ර සංඛ්‍යාවක් ඇති අතර ව්‍යාජ කද තුල විවෘත වීමට නියමිත පත්‍ර 10-12 පවතී. මේ නිසා ප්‍රභාසංස්ලේෂණය හා ආහාර නිපදවීමේ ක්‍රියාවලිය අඩාල නොවන බැවින් සක්‍රීයවන මොරෙයියන්ගේ වර්ධනය වේගවත් වේ.

මෙවැනි පැල ලබා ගැනීමේ ක්‍රියාවලියේදී මව් ශාක සාමාන්‍ය වගාවකදී මෙන් නොව අඩු පරතරයකින් එනම් මීටර් 2×2 පරතරයට ක්ෂේත්‍රයේ සිටුවන්න. මාස 7-8 කදී පුෂ්ප අංකුරය විනාශකර පාර්ශ්වික පැළ ලබා ගන්නා අතර මව් ශාකයේ වර්ධනය දුර්වල වන විට එක් පැළයක් නව මව් ශාකය ලෙස වර්ධනය වීමට සලස්වනු ලැබේ. එයද පුෂ්ප මූලකෘති අවධියට පත් වූ පසු නැවත ඉහත ක්‍රමයම අනුගමනය කරන්න. මෙලෙස අවු.2-3 පොහොර හා ජල සම්පාදනය ක්‍රමාණුකූලව ලබා දෙන්නේනම් පැළ වර්ධනය ශීඝ්‍ර‍යෙන් සිදුවේ.

කෙසෙල් ගසේ අග්‍රස්ථ අංකුරය විනාශ කිරීම

මෙමගින් වඩා පහසුවෙන් වැඩි පැළ ගණනක් කෙටි කාලයකදී ලබා ගත හැකි ක්‍රමයක් ලෙස මෙය හැදින්විය හැක. මේ මගින් මාස 2-21/2 පමණ පැළ ලබා ගත හැකි වේ. ඒකාකාරී වර්ධනයක් සහිත පැළ ලබා ගත හැකි මෙම ක්‍රමයේ සාර්ථකත්වය 100% වේ.

මේ සදහා වයස මාස 7-8 වන හොදින් පත්‍ර විහිදුණු නිරෝගී කෙසෙල් ගසක් තෝරා ගන්න. මෙම ගස තනි ගසක් වශයෙන් හා පැරණි පදුරකට සම්බන්ධ වී ඇති මොරෙයියකු වශයෙන් හෝ තිබෙනවා විය හැක. මේ ගස කද පොළව මට්ටමට සෙ.මී. 05 පමණ ඉහලින් කපා වෙන් කරන්න.

මෙසේ වෙන්කර ගත් පසුව උල්කරන ලද කෝටුකැබැල්ලකින් (කූඤ්ඤයක්) ගෙන එය එය කැපුම් මුහුණත මැදට තබා තදකොට අලය තුලට ඇතුල් කරන්න. ඉන්පසුව එය ඉවත් නොකර එසේම තිබීමට ඉඩහරින්න. මෙම ගසට ජල සම්පාදනය කළ විට වටේට මොරෙයියන් මතුවීමට පටන්ගනී. ඒවා වයස මාස 21/2-3 අතරදී ගලවා වෙන්කර සිටුවීමේ හැකිවේ.

මේ ක්‍රමයේදී සති 2-3 වන විට පොළව මට්ටමට පහලින් පිහිටි කෙසෙල් පැළයේ අලය කොටසින් මොරෙයියන් මතු වීමට පටන් ගනී. මෙම පැළ වල වයස මාස 2 1/2-3 වන විට ගලවා සිටුවීමට යොදා ගත හැක. දිගින් දිගටම පැළ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වේ නම් එක් පැළයක් එම ස්ථානයේ ඉතිරි කර අනෙක් පැළ ගලවා ඉවත් කරන්න.

සම්ප්‍රදායික ක්‍රමයට වගා කිරීම (බහුවාර්ෂික ක්‍රමය)

මෙහිදී වර්ගය අනුව (කෝලිකුට්ටු මීටර් 2.5×2.5 ,ඇම්බුන් මීටර් 3.5×3.5 ,අනික් වර්ග මී 3×3 ) නියමිත පරතරය සලකුණු කර වලවල් සලකුණු කිරීම පළමුවෙන් සිදු කර ගන්න. ලකුණු කරගත් ස්ථාන වල 60x60x60 cm ප්‍රමාණයට වලවල් කපා ඒවා මතුපිට පස් සහ කොම්පෝස්ට් හෝ වෙනත් කාබනික පොහොර සමග මිශ්‍රකර වල මුදුන් වන සේ පුරවා සති 2 ක් පමණ තබා සිටුවීමට යොදා ගන්න.

එක් පැලයක් සිටුවා මාස 04 ක් වන තුරු මතුවන සියලු මොරෙයියන් ඉවත් කරන්න.මාස 4 කට පසු  එක් මොරෙයියකුට පමණක් වර්ධනය වීමට ඉඩ හැරිය යුතුය. ගස පීදීම සිදුවනවිට තව මොරෙයියකුට පමණක් වර්ධනය වීමට ඉඩ හරින්න.. නැවත කැන කපන අවස්ඵාවේදී තව මොරෙයියකුට වර්ධනය වීමට ඉඩ හරින්න..  වගාවේ සෑම මාස 04 වරක් එක් මොරෙයියකු පවත්වා ගත් විට නිතරම පදුරක කැනක් සහිත ගසක්, විවිධ වර්ධන අවධි වල පවතින ගස් 2ක්  වශයෙන් ගස් 03 පදුරක පවත්වාගත හැක.

මේ ක්‍රමයට මී 3×3 දී හෙක්ටයාරයකට පැළ 1111 අවශ්‍ය වේ.

වාර්ෂික ක්‍රමය (අඩු පරතරයට සිටුවීම)

මෙහිදී කෙසෙල් වගාව වසරක් තුල පමණක් පවත්වා ගන්නා අතර මව්ගස් පමණක් නඩත්තු කෙරේ.
පේලි අතර මීටර් 03 පේලිය තුල මීටර් 01 වන සේ වලවල් සලකුණු කරන්න. වලක ප්‍රමාණය සෙ.මී. 45x45x45 වනසේ කුඩාවට කපනු ලැබේ.

ත්‍රිෙකා්ණාකාර ක්‍රමයේ දී නියමිත පරතරයට කූක්ඤ ගසා එක තැන පැල 3ක් සිටුවා එම ගස් 3 පමණක් නඩත්තු කරනු ලැබේ.

වල් මර්ධනය

කෙසෙල් වගාවක් නිතර පිරිසිදු කිරීමට අවශය වන්නේ මුල් මාස කිහිපය තුළදී පමණි. මුල් කාලයේදී වල් මර්දනය සඳහා ගසේ පාමුල සිට සෙ.මී. 60 පමණ වටයක් අතින් හෝ මුල් නොකැපෙනසේ උදළු ගෑමක් හෝ සිදු කළ හැක.

 

පොහොර යෙදීම
වියළි හා අතරමැදි කලාපය
සාම්ප්‍රදායික වගාව (වර්ෂා ජලයෙන්)

යොදන ආකාරය

යොදන කාලය

වර්ගය

ප්‍රමාණය

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 පෙර

කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්

කිලෝ ග්‍රෑම් 10 වලකට

රසායනික පොහොර

වර්ගය සහ ප්‍රමාණය
පැළයක් සදහා ග්‍රෑම්

පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම්

යුරියා

TSP

MOP

N

25

2 O

සිටුවීමට පෙර

60

40

125

28

18

75

සිටුවා මාස 2 වරක්

120

80

250

55

37

150

සෑම මාස 6 කට වරක්

180

120

375

83

55

225

කාබනික පොහොර සෑම වර්ෂයකම යෙදිය යුතුයි.

පොහොර යෙදීම
වියළි හා අතරමැදි කලාපය
සාම්ප්‍රදායික වගාව( ජලසම්පාදනය යටතේ)

යොදන ආකාරය

යොදන කාලය

වර්ගය

ප්‍රමාණය

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 පෙර

කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්

කිලෝ ග්‍රෑම් 10 වලකට

රසායනික පොහොර

වර්ගය සහ ප්‍රමාණය
පැළයක් සදහා ග්‍රෑම්

පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම්

යුරියා

TSP

MOP

N

25

2 O

සිටුවීමට පෙර

60

40

125

28

18

75

සිටුවා මාස 2 වරක්

120

80

250

55

37

150

සෑම මාස 6 කට වරක්

120

80

250

55

37

150

කාබනික පොහොර සෑම වර්ෂයකම යෙදිය යුතුයි.


තෙත් කලාපය
සාම්ප්‍රදායික ක්‍රමයට

යොදන ආකාරය

යොදන කාලය

වර්ගය

ප්‍රමාණය

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 පෙර

කුකුල් පොහොර ,ගොම පොහොර හෝ කොම්පෝස්ට්

කිලෝ ග්‍රෑම් 10 වලකට

අළුහුණු

සිටුවීමට සති 2 පෙර

ඩොලමයිට්

ග්‍රෑම් 500 වලකට

රසායනික පොහොර

වර්ගය සහ ප්‍රමාණය
පැළයක් සදහා ග්‍රෑම්

පෝෂක ප්‍රමාණය පැළයකට ග්‍රෑම්

යුරියා

TSP

MOP

කීසරයිට්

N

25

2 O

MgO

සිටුවීමට පෙර

55

50

95

25

23

57

සිටුවා මාස 2 වරක්

110

100

190

100

50

46

114

24

සෑම මාස 4 කට වරක්

110

100

190

100

50

46

114

24

කාබනික පො‍හොර ලෙස කුකුල් පො‍හොර යොදන විට හොදින් දිරූ ඒවා විය යුතු අතර වෙනත් කාබනික පොහොර මෙන් අඩක් පමණක් යෙදිය යුතුය.

ජල සම්පාදනය

වියළි හා අන්තර් කලාපවල වගාකරන විට තෙත් කලාපයේදී මෙන් නිතර වර්ෂාව නොලැබෙන නිසා ජල සම්පාදනය වැදගත් වේ. සාමාන්‍යයෙන් දින 07 – 10 වරක් ජල සම්පාදනය කිරීම ප්‍රමාණවත්ය. ජලය වඩාත් හිඟ වන විට වර්ධනය බාල වන අතර වැඩිපුර ජලය සම්පාදනය කළ විට දිලීර ආසාදනය වැඩි වශයෙන් ඇති වීමට ඉඩ ඇත.

කෙසෙල් වගාව සඳහා ජල සම්පාදන ක්‍රම තෝරා ගැනීමේදී ස්ප්‍රින්කලර් (විසිරුම්) ක්‍රමය නුසුදුසුය. එයට හේතුව එමඟින් විසිරෙන ජල බිංදු සිගටෝකා වැනි පත්‍රලප රෝග කාරක බීජාණු ව්‍යාප්ති වන නිසාය. මේ නිසා ක්ෂුද්‍ර ජල සම්පාදනය මඟින් කදේ පහළ කොටසට ජලය විසිරෙන පරිදි සකසා ගත යුතුය.


කැන්වල ගුණාත්මය වැඩි කිරීම
කැන් නඩත්තු කිරීම

කැන් පීදීම ආරම්භ වූ පසුව අවසාන ඇවරිය මතුවී කෙසෙල් මුව කොටස දික් වීමට පෙර පටන් ගන්නා අවස්ථාවේ දී අවසාන ඇවරියේ සිට අඟල් හතරක් පමණ ඉතිරි කර කෙසෙල් මුහය කපා ඉවත්කළ යුතුය. මේ අනුව කෙසෙල් කැන විශාල වන අතර හානිකර සතුන්ට වාසස්ථානයක් අහිමි වීමද සිදුවේ.

ආවරණ යෙදීම

කෙසෙල් මුහය කැපූ විගස එය ආවරණය කළ යුතුය. එවිට කැන පෘෂ්ටිමත්වීම,රෝග හා පළිබෝධ හානි අවම වීම නිසා බාහිරින් මනා පෙණුමක් ඇති තිත්, කැලැල් රහිත ඉදෙන විට ඒකාකාරී කහ පාටක් ගන්නා කැන් ලබාගත හැක.


ආධාරක තැබීම

කැන් පිදීම සිදුවන විට එහි බර වැඩි වන බැවින් මද සුළඟින් පවා ගස් බිදී යාමට ඉඩ ඇත. එම නිසා ආධාරක කණු සවි කිරීමෙන් ගසට කැන දරාසිටීමට සහයෝගයක් පිටතින් ලබා දෙයි.

අග ඇවරි ඉවත් කිරීම

කෙසෙල් කැනක අඟ ඇවරි 2 එනම් මල් ඇවරි දෙක ඉවත් කළ විට කැනෙහි ඉතිරි ඇවරි වල ගෙඩි පෘෂ්ටිමත් වෙයි. නමුත් සාමාන්‍ය වෙළඳපොලට සපයන විට නම් එය ඉවත් කිරීම ලාභදායි නොවනු ඇත.

අස්වැන්න සහ පසු අස්වනු තාක්ෂණය

කෙසෙල් අවුරුද්ද මුළුල්ලේම ඵල ලබා ගත හැකි රසයෙන් හා පෝෂණීය තත්ත්වයෙන් උසස් පළතුරකි. ප්‍රමාණය ඉක්මවා මේරූ කෙසෙල් කැන් කැපීම අප රටේ සිදුකරන සාමන්‍ය සිරිත වේ. එසේ කිරීමෙන් ගෙඩි පැලීම නිසා ඇති වන හානිය මෙන්ම ප්‍රවාහනය කරන කාලය තුලදී ඉදීම හා තැලීමෙන් නාස්ති වීමට ඇති හැකියාවද වැඩිය. තවද සිදු වන සීරීම් මඟින් ඉදුණු ගෙඩි වල ආකර්ෂණීය බව අඩු කරයි. මේ නිසා පාශ්චාත් අස්වනු හානිය අධිකය. මෙය අවම කර ගැනීමට ක්‍රම කිහිපයකින් සිදු කර ගත හැක.

අස්වනු නෙලන අවධිය

කෙසෙල් වර්ගය හා චෙළඳ පල අනුව අස්වනු නෙලන දින ගණන් වෙනස් විය හැක. කෙසෙල් ගෙඩි කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරෙන විටද, ගෙඩිවල කෝණික ස්වභාවය අඩුවී රවුම් හැඩයට පත් වූ විට ගෙඩි මේරීම බොහෝ විට සිදු වේ. අස්වනු නෙලීම සඳහා යෝග්‍ය කාලය වන්නේ මල් පිපීමෙන් සති 12 කට පසුවය. දේශිය වෙළඳ පල සඳහා ගෙඩිය 85%-95% පීරී ඇති විට හා විදේශීය වෙළඳ පලට 70%-75% පීරී ඇති අස්වනු නෙලීම සිදුකළ යුතුය. අස්වනු නෙලීම උදෑසන හෝ සවස් කාලයේදී කළ යුතුය

කෙසෙල් කැන පරිනත වීම ප්‍රභේදය අනුව නියමිත දින ගනනකින් සිදුවේ.

කෙසෙල් වර්ගය

කාලය

ආනමාළු හා ඇම්බන්

මාස 03

ඇඹුල්

මාස 03 සති 01

කෝලිකුට්ටු

මාස 04

සීනි කෙසෙල්

මාස 04 සති 02

පුවාළු

මාස 05


පවතින දේශගුණික තත්ත්වය යටතේ සිටවූ පැළ වල දිරිය හා නඩත්තු කටයුතු මෙම කාලසීමාවට වෙනස් විය හැකිය.

 

අස්වනු සැකසීම හා ඇසිරීම

 

  • නෙලූ විගස ගබඩා වෙත ගෙන යෑම හා pre cooling කිරීම
  • ඇවරි වෙන් කිරීම
  • හානි වූ සහ ඉදී ඇති ගෙඩි ඉවත් කිරීම
  • 2% ඇලම් හා 20% ක්ලෝරින් දියරය යෙදීම
  • ඉක්මනින් සෝදා ඉවත් කිරීම හා වරින් වර ජලය ඉවත් කළ යුතුයි.
  • පවනේ වියලීම හා කැපුම් පෘෂ්ඪය මත දිලීර නාශක ආලේප කර ඇවරි වල ප්‍රමාණය අනුව තේරීම කළයුතුයි. කුඩා,මධ්‍යම,විශාල

ඇසිරීම

විදේශීය වෙළඳ පල සඳහා සිදුරු සහිත fiberboard box වල ඇසිරීම සිදු කළ යුතුයි. පෙට්ටියේ ප්‍රමානය ගැනුම්කරු මත තීරණය වේ. පෙට්ටියට පොලිතීන් යොදා ඒ තුලට ඇවරි ඇසිරීම කළ යුතුයි.ඇවරි seal වීම සිදු විය යුතුයි.10-300C වල ගබඩා කර ප්‍රවාහනය කළ යුතුයි.

දේශිය වෙළඳ පල සඳහා large bamboo boxes ,wooden crates, plastic crates, corrugated boxes භාවිතා කළ හැක. වියළි කෙසෙල් පත්‍ර හෝ පත්තර භාවිතා කර ආවරණය කිරීම මඟින් ප්‍රවාහනයේදී හානි සිදුවීම අඩු කර ගත හැකිය.

ප්‍රවාහනය

ප්‍රමාණයට වඩා පැටවීම නොකළ යුතුයි. වාහනය තුල හොඳින් වාතාශ්‍රය ලැබිය යුතුයි.වහලයක් සහිත වාහනයක් විය යුතුයි.(වැස්ස හා අව්වෙන් ආරක්ෂා වීම සඳහා)

උදය,හවස හෝ රාත්‍රී කාලයේදී ප්‍රවාහනය කළයුතුයි.ඉදී ඇති හා අමු ගෙඩි වෙන වෙනම ප්‍රවාහනය කළයුතුයි

දිලීර රෝග

පැනමා රෝගය

රෝග කාරකයා –   ෆියුසාරියම් ඔක්ඩිස්පෝරම්

 Fusarium oxysporum cubense

 කෙසෙල් වගාවට ඇති විය හැකි දරුණුම දිලීර රෝගයකි. ලංකාවේ වගා කරන කෙසෙල් රෝග අතරින් ඇඹුල් හැර අනෙකුත් සියළුම වර්ග පැනමා රෝගයට ග්‍රාහී වේ. රෝග කාරකයා පාංශු දිලීරයකි. එමනිසා ආසාදිත පස් මගින් හෝ ආසාදිත රෝපණ ද්‍රව්‍ය මගින් හෝ රෝගී ක්ෂේත්‍රයක් නඩත්තු කරන ගොවිපළ උපකරණ මගින් රෝග කාරකයා නිරෝගී ක්ෂේත්‍රයකට ව්‍යාප්ත විය හැක. එසේම රෝගී ශාක කොටස් ජල මාර්ගවලට දැමීමෙන්ද ආසාදිත පඳුරු හරහා වන ජල සම්පාදනයෙන්ද රෝග කාරකයා ව්‍යාප්ත විය හැක.

රෝග කාරකයා මූල මණ්ඩලයට ආසාදනය වීමෙන් සනාල පටක අවහිර කරයි. ව්‍යාජකඳේ මෙන්ම කෝමයේද දුඹුරු පැහැයට හුරු දුර්වර්ණ ප්‍රදේශ දැකිය හැක. ජල අවශෝෂණයට වන බාධාව නිසා මැලවීමේ රෝග ලක්ෂණ පෙන්වයි. පත්‍ර කහපාට වී පිති වලින් කඩා වැටේ පසුව ශාකය මිය යයි. රෝග ලක්ෂණ දැකිය හැක්කේ කෙසෙල් කැන් ඇති වීමට ආසන්න පඳුරු වලයි. කුඩා පැලවල රෝග ලක්ෂණ දැකිය නොහැක.

රෝග පාලනය

  • රෝග පාලනය සඳහා දිලීර නාශක යෙදීම සාර්ථක නොවේ. එමනිසා රෝගය වළක්වා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.
  • ජලවහනය ක්‍රමවත්ව කල යුතුයි.
  • රෝගී ශාක කොටස් ජල මාර්ග වලට නොදැමිය යුතුය.
  • ඇඹුල් වැනි ප්‍රතිරෝධී ප්‍රභේද සමඟ මාරුවෙන් මාරුවට වගා කිරීම කළයුතුයි.
  • නිරෝගී මව් ශාක වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම කළ යුතුයි.
  • ආම්ලික පාංශු තත්ව රෝග කාරක ඝනත්වය වැඩි කිරීමට හේතු වන බැවින් ඩොලමයිට් හෝ අළු හුණු යෙදීම මගින් පසේ ආම්ලිකතාවය අඩු කිරීමට කටයුතු කළයුතුයි.
  • පටක රෝපිත පැළ නිරෝගී රෝපන ද්‍රව්‍ය ලෙස යොදාගත හැක. නමුත් ආසාදිත ක්ෂේත්‍රයක සිටුවීමෙන් ඒ පැළ වලටද රෝගය වැළදීමේ හැකියාවක් ඇත.

 

ඇවරිමුල කුණුවීම (crown rot)

මෙම රෝගය පසු අස්වනු රෝගයක් ලෙස වැදගත් වේ. මෙම රෝගය ඇති කිරීමට රෝග කාරකයන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරිත්වය හේතු වේ. කෙසෙල් කැනෙන් ඇවරි වෙන් කිරීමේදී ආසාදිත කැනක ඇවරි කැපීමෙන් පසු පිරිසිදු නොකල පිහි වැනි උපකරන මගින් ද නිරෝගී කැන් වලට ආසාදනය වේ. මෙහිදී ඇවරි කැනට සම්බන්ධ වන ස්ථානයට (crown) මෙන්ම පසුව කෙසෙල් ගෙඩිවල නටුවටද පැතිරී යයි.

තවද ආසාදිත ඇවරි සේදූ ජලය නැවත භාවිතය නිසාත් ගෙඩිවලට සිදුවන යාන්ත්‍රික හානි නිසාත් රෝග කාරකයා ඇතුළු විය හැක. තවද නියමිත පරිනතියට පත්නොවී කැන් කැපීම නිසාද මෙම තත්වය ඇති විය හැක.

රෝග පාලනය

  • කැන්වලට තුවාල නොවනසේ අස්වනු නෙලීම කලයුතුය.
  • නියමිත පරිණතියේදී අස්වනු නෙලිය යුතුයි.
  • ඇවරි සෝදන්නේ නම් පිරිසිදු ජලයෙන් වෙන් වෙන්ව සේදිය යුතුයි.

 ඇන්ත්‍රැක්නෝස් රෝගය

රෝග කාරකයා – colletortichum spp

ශ්‍රී ලංකාවේ වගා කරන කෙසෙල් ප්‍රභේද අතරින් අළු කෙසෙල් මෙම රෝගයට වඩාත් පාත්‍ර වේ. අනෙක් වගා කරන කෙසෙල් ප්‍රභේදවල ගෙඩි ඉදෙන අවස්ථාවේදී තැන තැන ඇති වූ කළු පාට වලයාකාර ලප හා ඒවා ඒකරාශී වී සෑදුණු කළු පාට පැල්ලම් ලෙස දැකිය හැකි අතර ඒ තත්වය පසු අස්වනු අවස්ථාවේදී ඇතිවන රෝගී තත්වයකි.

රෝග පාලනය

  • ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව පිළිබඳව අවශ්‍ය කටයුතු කළ යුතුයි. එනම් පරඬැල් ඉවත් කර වගාව පිරිසිදු තත්වයෙන් තබාගත යුතුයි.
  • අළු කෙසෙල්වලට නම් මුහයෙන ඇවරි වෙන්වීම ආරම්භ වූ පසු මැන්කොසෙබ් හෝ ක්ලෝරොතැලොනිල් අඩංගු දිලීර නාශකයක් සති 2 ක කාලාන්තර වලින් යෙදිය යුතුය.
  • කැන් ආවරණය කිරීමද සුදුසුයි.

 පත්‍ර ලප රෝග

සිගටෝකා පත්‍ර ලප රෝගය

කහ සිගටෝකා රෝගය

රෝග කාරකයා – Mycosphorella musicola

පත්‍රයේ පාර්ශ්වික නාරටිවලට සමාන්තරව කහ දුඹුරු පාටට පැල්ලම් ඇති වේ. ඇතැම්විට මෙම රෝගය දරුණුම ආසාදනයවීම නිසා පත්‍ර වියලීයාම සිදුවිය හැක. අධි ඝණත්ව වගාවේදී හා වියළි කලාපයේ සුළං තත්ව සමඟ මෙම බීජාණු පැතිරීම වේගවත් වේ. අධි ඝණත්ව වගාවේදී මෙම රෝගය ආර්ථිකව හානිදායී රෝගයකි. තවද පොටෑසියම් ඌනතාව මෙම රෝගය වැළඳීමට පහසු තත්ව ඇති කරයි. තෙත් කලාපයේ නම් පරිනත පත්‍රවලට වැළඳෙන නිසා ආර්ථික වශයෙන් හානිදායී නොවේ. රෝග ලක්ෂණ ඇති වන්නේ සාපේක්ෂව පහල පත්‍ර වලයි.(4-5 වැනි පත්‍ර)

 

 බැක්ටීරියා රෝග

 බැක්ටීරියා කුණුවීම – Erwinia

 රෝග කාරකයා – Erwinia chrysanthemr

 මෙම බැක්ටීරියාව ආසාදනය නිසා කෙසෙල්වල රයිසෝමය තෙත් කුණුවීමට භාජනය වේ. තවද කෙසෙල් පත්‍ර නටුව කඳ සමඟ සම්බන්ධ වන ස්ථානයෙන්ද තෙත් ගඳ කුණුවීමක් දැකිය හැක. බැක්ටීරියා රෝග පාලනයට රසායනික ප්‍රතිකර්මයක් නැත. කෙසෙල් රයිසෝමයට ආසාදනය වී තිබේනම් කෙසෙල් පඳුර ගලවා විනාශ කිරීම හැර රසායනික පාලන ක්‍රමයක් නැත. එසේම මෙම රෝගය ආසාදිත ශාකයකින් නිරෝගී ශාකයකට ආසාදනයවීම භාවිතාකරන උපකරන මගින්ද සිදුවේ. එනම් ආසාදිත ශාකයක පරඬැලි කපා ඒ පිහිය සේදීමකින් තොරව නිරෝගී ශාකයක පරඬැල් කැපීමට යොදාගත්තොත් මෙසේ නිරෝගී ශාකයකට ආසාදනය වීමද සිදුවිය හැක. එමනිසා මෙම රෝගය කෙසෙල් පත්‍ර නටුව ව්‍යාජ කඳට සම්බන්ධ වන ස්ථානය ආශ්‍රිතව පමණක් දැකිය හැකි නම් පරඬැල් කැපීම සිදුකර එම ස්ථානයේ ක්ලෝරීන් 0.1g ක් ජලය ලීටරයකට දියකර ආලේප කිරීම පමණක් කළහැක. එසේම මුලින්ම නිරෝගී ශාකවල පරඬැල් කපා පසුව රෝගී ශාකවල පරඬැල් කැපීම කළයුතුයි. ඒ සෑම වාරයකදීම පිහිය ක්ලෝරීන් ද්‍රාවණයක ගිල්වා සෝදා ගැනීමද වඩාත් සුදුසුයි.

 

වයිරස් රෝග

 කෙසෙල් වඳපීදීම

 කෙසෙල් වගාවේ බහුලව දැකිය හැකි වයිරස් රෝගයකි. මෙම වයිරස් ආසාදනය ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් සිදුවිය හැක. ප්‍රාථමික ආසාදනය සිදුවන්නේ රෝගී පඳුරුවලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලිනි. මෙහිදී පත්‍ර සෙව්වන්දියක ආකාරය ගනී. ඉදිරි වර්ධනයක් සිදුනොවේ. ද්විතීක ආසාදනය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නම් කූඩිත්තා යුෂ උරාබීම නිසා සිදුවේ. එමගින් රෝගී ගස්වලින් නිරෝගී ගස්වලට රෝගය පැතිරේ. ද්විතීකව ආසාදනයවීම නිසා අළුතෙන් ඇතිවන පත්‍ර පටුවීමත් ඒවායේ මැද නාරටිය හා පාර්ශ්වික නාරටි ආශ්‍රිතව තද කොළපාටට විහිදුනු ඉරිවැනි ස්වභාවයක් ඇතිවීමක් සිදුවේ. ඇතැම්විට ගොබ හිරවීමද දැකිය හැකිය. නොපීදුණු ගසක් නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන සාමාන්‍ය ලෙස වර්ධනය නොවී කඳේ ස්ථානයකින් කැන එළියට මතුවේ.

 

රෝග පාලනය

 රසායනික මර්දන ක්‍රමයක් නැත.

  • නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුයි.
  • රෝගී ශාක ගලවා විනාශ කළයුතුයි.
  • කූඩිත්තන් පාලනයට කටයුතු කළයුතුයි.
  • රෝගීපත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි.
  • වියළි කලාපයේ විසිරුම් ජල සම්පාදනය මෙම රෝග ව්‍යප්තියට උදව් විය හැක.
  • ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ක්ලෝරොතැලෝනිල් හෝ මැන්කොසෙබ් දිලීරනාශක පත්‍ර තෙමෙන ලෙස ස්ප්‍රේ කළහැක.

 

කළු සිගටෝකා පත්‍ර ලප රෝගය

 රෝග කාරකයා – Mycosphorella fijiensis

 පාර්ශ්වික නාරටිවලට සමාන්තරව විහිදෙන පැල්ලම් තද දුඹුරු පාටට හුරුය.

  • රෝග ලක්ෂණ ඇතිවන්නේ සාපේක්ෂව ඉහල පත්‍ර වලයි. (2-4 වැනි පත්‍ර)
  • කහසිගටෝකා පත්‍ර රෝගයට සාපේක්ෂව මේ රෝගය ආර්ථික වශයෙන් හානිදායී වේ. මේ නිසා අස්වැන්න 35-50 පමණ අඩුවීමක් වියහැක. සියළු වගාකරන කෙසෙල් ප්‍රභේද මේ සඳහා ග්‍රාහී වේ.
  • සාමාන්‍යයෙන් පත්‍ර 5ක් වත් නිරෝගී ඵලදායී තත්වයේ පැවතීම අස්වැන්න වැඩිවීමට බලපායි. මෙම රෝගය වැලදීම නිසා අස්වැන්නට සැලකිය යුතු බලපෑමක් ඇති විය හැක. එනම් ගෙඩි අපරිණත අවස්ථාවේ ඉදීම හා ඒකාකාර ඉදීමක් සිදුනොවීම වැනි තත්ව ඇතිවියහැක.

රෝග පාලනය

 මෙම රෝගය දැනට ලංකාවේ වාර්තා නොවේ.

  • රෝග ලක්ෂණ පවතීනම් එම ශාක ඉවත්කිරීමට කටයුතු කළයුතුයි.

 

කෝඩානා පත්‍ර ලප රෝගය

 රෝග කාරකයා – Codana musqe

 පත්‍ර තලය මතුපිට ඕවලාකාර පැල්ලම් ඇති වී ඒවා පත්‍ර දාරය දෙපසට පැතිරී යයි.

  • මෙම පැල්ලම් දුඹුරු අළු පැහැති මධ්‍ය ප්‍රදේශයකින් යුතු අතර සංකේන්ද්‍රීය වලලු ආකාරයේ මෝස්තරයක් ලෙසද දැකිය හැක.
  • එසේම ඒ පැල්ලම් කහපාට දීප්තිමත් වලයකින් වටවී ඇත.

රෝග පාලනය

 ආසාදිත පත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුය.

  • ක්ලෝරොතැලෝනිල් අඩංගු දිලීර නාශකයක් හෝ මැන්කොසෙබ් දිලීර නාශකය භාවිතා කළහැක.

 

 

 

Useful Links

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

Ministry of Agriculture  

Sri Lanka Council for Agricultural Research Policy(CARP)

Government Information Centre                       More Links…

 

Address :  Fruit Research and Development Institute, Kananwila ,Horana, Sri Lanka.

Email : doadfrd@gmail.com

Telephone : (+94) 0342261323

Fax : (+94) 0342261323

Open : Mon to Fri – 8.30am to 4.30pm (Saturday & Sunday Closed)