පත‍්‍ර කනින්නා (Liriomyza huidobrensis)

වර්ෂ 1997 දී පමණ ආනයනික විසිතුරු බෝග මඟින් ආක‍්‍රමනය වූ කෘමියෙකි

ජීවන චක‍්‍රය

සුහුඹුලා
හිස හා උරස පෙදෙස දිළිසෙන කහ පැහැයෙන් යුත් කුඩා කළු පැහැති මැස්සෙකි.ඩිම්බ නිධායකය ආධාරයෙන් බිත්තර දැමීමට හා ශාක යුෂ උරාබීමට පත‍්‍ර සිදුරුකරයි.මේනිසා පත‍්‍ර වලින් ජලය අධික ලෙස වාෂ්ප වීම හා ද්වීතියික ආසාධනයට ඉක්මනින් පාත‍්‍රවීම සිදු වේ.විශේෂයෙන් පශ්චිම අංගමාරයට පහසුවෙන් ගොදුරු වේ.

කීටයා
පත‍්‍ර තුළ උමං සාදමින් පත‍්‍ර අභ්‍යන්තරය ආහාරයට ගනියි.එබැවින් පත‍්‍රයේ කොළ පැහැති කොටස් ඉවත් වී සුදු පැහැති උමං දක්නට ලැබේ.මේ නිසා ප‍්‍රභාසංස්ලේෂණය සීමාවීම, උත්ස්වේදනය අධිකවීම හා ද්වීතියික ආසාධනයට ගොදුරුවීම සිදුවේ.අධි හානිදායක මට්ටමකදී සම්පූර්ණ බෝගයම විනාශ වී යා හැකිය.

හානිකරන බෝග

එළවළු බෝග
අර්තාපල්, බීට්, ගෙඩි සලාද, ග‍්‍රීන් පීස්, සැල්දිරි, ලීක්ස්, කැරට්, ගෝවා, මල් ගෝවා, රාබු, නෝකෝල්, බෘකෝලි
මල් වර්ග
ජර්බරා, ඇස්ටර්, පිටුනියා, කපුරු, නෙස්ටුරියම්​
වල් පැළෑටී
කඩුපහර, ගොටුකොළ, පැනිකම් විශේෂ, වල්අබ, ගිරාපලා, ඇඹුල් ඇඹිලිය, කලූකම්බේර
පාලනය කරගන්නා ආකාරය

වගාව පරික්ෂාකිරීම - වගාව ස්ථාපනයට ප්‍රථම

වගාකිරීමට බලාපොරොත්තු වන ක්‍ෂේත‍්‍රය වටා ආසාධිත පරණ වගාවන් පැවතිය හැක. එවැනි වගාවක සිට සුහුඹුල් මැස්සන් අලූත් වගාවකට පැමිණිය හැක. මේ නිසා වගාකිරීමට බලාපොරොත්තු වන කේෂ්ත‍්‍රය වටා අඩි 5ක් උසට දැල් ගසා ආවරණය කිරීම සුදුසුය.මීට අමතරව තවාන් පැළ ලබාගැනීමේදී හානිය දක්නට නොලැබෙන පැළ ලබාගැනීම හා ආසාධනයට ලක් නොවු තවාන් තෝරාගැනීම කළ යුතුය.

වගාව පරීක්‍ෂාකිරීම - වගාව ආරම්භයෙන් පසුව

මේ සඳහා ඉතාමත් තුනීවට ග‍්‍රීස් තවරන ලද වර්ග අඩි එකේ කහ පොලිතීන් පුවරු ක්‍ෂේත‍්‍රයේ තැනින් තැන රැඳවිය යුතුය. එවිට සුහුඹුල් මැස්සන් කහ පාටට ආකර්ෂණය වී ඔවුන් පුවරුවේ ඇලී සිටිනු දැකිය හැක. මීට අමතරව අර්තාපල් හා බීට් වගාවක නම් පත‍්‍ර මත සුදු පැහැති ලප පැහැදිලිව දැකිය හැක. මෙම ලප සුහුඹුල් සතා බිත්තර දැමීමට හා ශාක යුෂ උරාබීමට උගේ ඩිම්බ නිධායකයෙන් සාදන ලද සිදුරු වේ. හානියේ මුල් අවස්ථාවේදීම කොහොඹ සාරය යෙදීම ආරම්භ කළ යුතුය. මෙහිදී වෙළඳපොළේ ඇති කොහොඹ ඇට කුඩු හෝ නිවසේදී කොහොඹ ඇට තලා සාදා ගන්නා ලද කුඩු භාවිත කළ හැක.
කොහොඹ ඇට නිස්සාරණය සකස් කරගැනීම
කොහොඹ තෙල් නිස්සාරණය නොවන පරිදි කොහොඹ ඇට කුඩු කළ යුතුය. එයින් අවශ්‍ය ප‍්‍රමාණය (සාන්ද්‍රණය : කොහොඹ කුඩු 2ට ක් ජලය 1 ක ක්) ජලය සමඟ කලවම්කර අවම වශයෙන් පැය 4 ක් තැබිය යුතුය. මෙහිදී මෙය කේෂ්ත‍්‍රයට යෙදීමට අදහස් කරන දිනට කලින් දිනයේදී සකස්කර ගතයුතුය. එම මිශ‍්‍රණය රෙදි කැබැල්ලකින් පෙරාගත් ද්‍රාවණයට ජලය මිශ‍්‍රකර වගාවට යෙදීය හැක. මෙසේ සාදා ගත් ද්‍රාවණයට ටීපෝල් ස්වල්පයක් යොදා සවස් කාලයේ ක්‍ෂේත‍්‍රයට යෙදීම සිදුකරන්න. මේ ආකාරයට කොහොඹ සාරය දින තුන හතරකට වරක් බැඟින් අඛණ්ඩව යෙදීම සිදු කළ යුතුය. මේ මඟින් සුහුඹුල් මැස්සන් ගේ හානිය වළක්වා ගතහැක. කොහොඹ නිස්සාරණය සුහුඹූල් මැස්සන්ට විකර්ෂණයක් ලෙස ක‍්‍රියාකරයි. කොහොඹ ඇට දියර භාවිතයේ වැදගත්කම වන්නේ මෙය වියදම් අඩු ලාභදායි ක‍්‍රමයක් වීමයි.
මීට අමතරව නිර්දේශිත අනෙකුත් කෘමිනාශක වනුයේ,

1. සයිරෝමසින් (ට‍්‍රයිගාඞ්) 5 g/l
2. ඇබමැක්ටික් (වර්ටිටෙක්) 1 ml/l
3. ඇසඩි රැුක්ටීන් (නීමසාල්) 2 ml/l

සයිරෝමසින් සහ ඇබමැක්ටික් යන කෘමිනාශක වගාවක් සඳහා දෙවරක් පමණක් යෙදීම නිර්දේශ කරයී.පත‍්‍ර කනින්නා පාලනයට නිර්දේශිත කෘමි නාශක පමණක් භාවිත කළ යුතුය. මීට හේතුව වන්නේ මෙම කෘමියාගේ ජෛව පාලනය හොඳින් සිදුවීම සඳහා ස්වභාවික සතුරන් විශේෂයක් පිටරටින් ආනයනයකර දැනට කේෂ්ත‍්‍රයේ මුදාහැර තිබීමයි. නිර්දේශ නොකරන ලද කෘමි නාශක භාවිත කළ විට මෙම ජෛව පාලකයා විනාශ වේ.

ස්වභාවික සතුරන් මඟින් පාලනය

Hymenoptera ගෝත‍්‍රයට අයත් විශේෂ තුනක් හඳුනා ගෙන ඇත.
1. Diglypus iseae
2. Hemiptarsenoidus semiabiclavus
3. Opius spp

Diglypus iseae
•හානිය ඉතා අධිකව පැවති කාලයේ 1998 වර්ෂයේ පමණ නෙදර්ලන්තයේ කොපෙට් ආයතනයෙන් ආනයනයකර කේෂ්ත‍්‍රයට මුදාහරින ලදී
•මෙම කෘමියා හා කීට අවස්ථාව පත‍්‍ර කනින්නාගේ කීටයන් ගේ ශරීර යුෂ උරාබී ජීවත් වේ
•මෙම පරපෝෂිතයා ඉතා කුඩා රන්වන් දුඹූරු පැහැති කෘමියෙකි
•ඉතා කෙටි ස්පර්ෂක යුගලක් පැවතීම හඳුනාගැනීමට පහසුම ලක්‍ෂණය වේ
•පත‍්‍ර කනින්නාගේ ජීවන චක‍්‍රයේ සෑම කීට අවධියක් මතම පෝෂණය වේ

Hemiptarsenoidus semiabiclavus
• දේශීයව හඳුනාගන්නා ලද විශේෂයකි
• මෙම කෘමියාද රන්වන් දුඹුරු පැහැතිය
• ස්පර්ශක යුගලය දිගය
• පිරිමි සතාගේ ස්පර්ෂක යුගල බුරුසුවක ආකාරයක් ගනී. ගැහැණු සතාගේ ස්පර්ෂක යුගල සිහින් දිගටිය
• බාහිර පරපෝෂි වන අතර, පත‍්‍ර කනින්නාගේ අවසාන කීට අවධි මත පෝෂණය වේ

Opius spp
• මෙම විශේෂය ලා දුඹුරු පැහැයෙන් යුක්තය
• සිහින් දිග ස්පර්ෂක යුගලක් සහිතය
• මෙම විශේෂය ද බාහිර පරපෝෂි වන අතර, පත‍්‍ර කනින්නාගේ අවසාන කීට අවධි මත පෝෂණය වේ.

වෙනත් භෞතික ක‍්‍රම මඟින් පාලනය

කහ පොලිතීන් උගුල
මෙහිදී පොලිතීන් මත ඉතාමත් තුනීවට ග‍්‍රීස් තවරා ශාක මට්ටමට ඉහළින් කේෂ්ත‍්‍රයේ පිහිටුවීම. ඉන් පසු දින 4-5ට වරක් උගුල පිරිසිදුකර නැවත පිහිටුවීම.මීට අමතරව ග‍්‍රීස් තවරන ලද පොලිතීන් උගුල් පුද්ගලයන් 4 හෝ 2 දෙනකු ලවා සුහුඹූල් මැස්සන් කොටුවන ආකාරයට එහා මෙහා කේෂ්ත‍්‍රය උඩින් ගෙනයාම

වැරදි පිළිවෙත්
• තැනින් තැන කහ පාට පොලිතීන්, කොඩි ආකාරයට සිටුවීම.
• වගා කේෂ්ත‍්‍රය වටා ග‍්‍රීස් නොතවරා කහ පොලිතීන් ගැසීම.
• සමනළ අතංගුව භාවිතයෙන් සුහුඹූල් මැස්සන් අල්ලා විනාශකිරීම.

රූපය 01

රූපය 02

රූපය 03