දිලීර

පශ්චිම අංගමාරය - Phytopthora infestans

ලෝකයේ අර්තාපල් වගාකරන බොහෝ රටවල වගාවන්ට දැඩි ලෙස හානිකරන රෝග අතුරින් මෙම දිලීර රෝගය ප‍්‍රධාන තැනක් ගනී. මෙම රෝගය ප‍්‍රථම වරට 1840 දී වාර්තා වී ඇතත් 1861 දී Anton de Bary විසින් Phytopthora infestans ලෙස හඳුනාගන්නා ලදි.

හිතකර පාරිසරික තත්ත්වයන්

ශීත, තෙතමනය අධික, සුළං සහිත පාරිසරික තත්ත්වයන්වලදී මෙම දිලීර රෝගය ඉතාමත් හානිදායක වේ. එම රෝග තත්ත්වය එම පාරිසරික තත්ත්වයන්වලදීම තක්කාලි, මිරිස් වැනි ශාකවලට ද හානිදායක වේ.

හානිය

ශාක වර්ධනයේ ඕනෑම අවස්ථාවකදී ශාක පත‍්‍ර සහ කඳන් සම්පූර්ණයෙන්ම හෝ කොටසක් මෙම දිලීර ආසාධනය නිසා විනාශවීමේ හැකියාව ඇත. එමෙන්ම රෝග කාරකය වර්ධනය සඳහා හිතකර පාරිසරික තත්ත්ව ඇති විටදී සතියක් පමණ කෙටි කාලයකදී වුව ද ශාක මුළුමනින්ම විනාශ වීමට ප‍්‍රවනතාවයක් ඇත.අර්තාපල් ආකන්ද වලට සිදුවන හානිය වගා ක්‍ෂේත‍්‍රයේදී හෝ ගබඩාවේ දී සිදුවිය හැකිය. පශ්චිම අංගමාරයට පාත‍්‍ර වූ ශාකවල හානිය අවම වුවත් අස්වැන්න නෙලීමේදී ඇතිවන ආසාධනය නිසා ගබඩාව තුළදී අර්තාපල් ආකන්ද කුණුවීමට ලක්වේ.

රෝග ලක්ෂණ

මෙම දිලීර රෝග ලක්‍ෂණ මුලින්ම හඳුනාගත හැකි වන්නේ, ශාකයේ පහළ පත‍්‍රවල අග‍්‍රස්ථයේ ඇති වන තෙත් වූ කුඩා ලප ලෙසය. දිලීර වර්ධනයට පාරිසරික තත්ත්වයන් හිතකර නම් මෙම පැල්ලම් ඉතාමත් සීඝ‍්‍ර‍්‍ර‍්‍ර ලෙස විශාලවීම සිදු වේ. එම පැල්ලම දුඹුරු පැහැති අක‍්‍රමික දාර සහිතව තව දුරටත් සීඝ‍්‍රයෙන් වර්ධනය වේ.

පත‍්‍රවල යටි පැත්තේ පැල්ලම වටා මි.මි. 3-5 ක දාරයක් ලෙස සුදු පැහැති දිලීර ජාලක් වර්ධනය වී පත‍්‍ර මුළුමනින්ම විනාශ වේ. රෝගය උග‍්‍ර වූ විට සම්පූර්ණ ශාකයම කුණුවීම සිදු වේ. එවැනි ශාක වලින් ආවේණික දුගඳක් වහනය වේ.

පශ්චිම අංගමාරයට පාත‍්‍ර වූ ශාකවලින් ලබාගන්නා ආකන්ද එම රෝග කාරකය මඟින් ආසාධනය විය හැකිය. එවැනි ආසාධිත අර්තාපල් ආකන්දවල දුර්වර්ණ වු දුඹුරු පැහැති ඇතිවන මෙම හානිය මි.මී. 5-10 ක් ගැඹුරට වූ පටක කොටස් විනාශ කරයි. මෙම රෝග ලක්‍ෂණ ඉතා පැහැදිලිව දක්නට ලැබෙනුයේ රතු අර්තාපල් ප‍්‍රභේදවලය. තෙත් පැල්ලම් ලෙස මුලින්ම දැක ගතහැකි වුවත් ගබඩාවලදී වියළීම හේතුවෙන් මෙම ආකන්දවල මතුපිට පෘෂ්ඨයේ ආසාධිත කොටස් වියළී ගොස් තද ගතියෙන් යුත් ගිලූණු පැල්ලම් ලෙස නිරීක්‍ෂණය වේ. මෙම පැල්ලම් ප‍්‍රමාණයෙන් කුඩා හෝ සමහර විට ආකන්දයේ අභ්‍යන්තර පටකවලට පැතිරීමක් සිදුවීම දැක ගතනොහැක. ගබඩාවේ දී හානිය තව දුරටත් වර්ධනය වීමේ ප‍්‍රවනතාවයක් ඇත.

පාලනය

පශ්චිම අංගමාරය සාර්ථකව පාලනය කරගැනීමට නොයෙකුත් පාලන ක‍්‍රම ඒකාබද්ධ ලෙස යොදා ගැනීමට අවශ්‍ය වේ. ක්ෂේත‍්‍ර පවිත‍්‍රතාවය, නිර්දේශිත ප‍්‍රමාණවලින් රසායන ද්‍රව්‍ය භාවිතකිරීම ආදිය පාලන ක‍්‍රම ලෙස දැක්විය හැක. තව ද අසාධිත බීජ අර්තාපල් නව වගාවක් සඳහා යොදා ගැනීම නොකළ යුතුය. එමෙන්ම නව වගා ක්ෂේත‍්‍රයක් සුදානම් කිරීමට පෙර ක්ෂේත‍්‍රයේ තැනින් තැන පැල වී ඇති අර්තාපල් ශාක කොටස් ඉවත්කර පුළුස්සා දැමීම කළ යුතුය.

එමෙන්ම රෝගය පාලනය කරගැනීම සඳහා ප‍්‍රතිරෝධී ප‍්‍රභේද භාවිතකිරීම ඉතාමත්ම වැදගත් වේ.දැනට වගාකරන ජනප‍්‍රිය ප‍්‍රභේද රාශියක්ම පශ්චිම අංගමාරයට ග‍්‍රාහී වන නිසා ප‍්‍රභේද තෝරා ගැනීම ගැටළු සහගතය. දැනට වගාකරන රාජා, එස්කොටි, මරංකා ආදි ප‍්‍රභේද තරමක් දුරට මෙම අංගමාර රෝගයට ප‍්‍රතිරෝධීතාවයක් දක්වයි. මෑතකදී සීතාඑළිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය මඟින් හඳුන්වාදෙන ලද හිල්ස්ටාර් ප‍්‍රභේදය මෙම රෝගය සඳහා සම්පූර්ණ ප‍්‍රතිරෝධීතාවයක් පෙන්නුම්කරයි.රසායනික පාලනයේදී භාවිතකළ හැකි දිලීර නාශක වලින් ස්පර්ශක දිලීර නාශක ලෙස මැන්කොසෙබ්, මැනෙබ්, ප්‍රොපිනෙබ් හා ක්ලෝරෝතැලොනිල් භාවිතකළ හැක.

රෝග කාරක වර්ධනයට හිතකර පරිසර සාධක නොමැති ප‍්‍රදේශවල ඉහත සඳහන් දිලීර නාශක මඟින් පමණක් රෝගය මර්දනය කළ හැකි නමුත් නුවරඑළිය වැනි ප‍්‍රදේශවල මීට අමතරව සංස්ථානික දිලීර නාශක ලෙස මෙටලැක්සිල් (Metalaxyl), ඔක්සිඩැක්සිල් (Oxydaxyl)" ප්‍රොපමොකාබ් (Propamocarb), භාවිතකළ හැකිය. විශේෂයෙන් සංස්ථානික දිලීර නාශක යෙදීම කළයුතු වන්නේ තෙත් කාළගුණික තත්ත්වයන් දිගටම පවතින අවස්ථාවලදී පමණි. දිලීර නාශක යෙදීමේදී රෝග කාරකය පැතිරීමට ප‍්‍රථමයෙන් නිර්දේශිත සාන්ද්‍රනයෙන් යුත් දිලීර නාශකය ශාක පත‍්‍රවල උඩු සහ යටි පෘෂ්ඨ දෙකටම හොඳින් ස්පර්ශ වන ලෙස යෙදීම මඟින් සාර්ථකව පාලනය සිදු කළ හැක.

වගා රටාව ක‍්‍රමවත් කරගැනීම තවත් එක් පාලන ක‍්‍රමයක් ලෙස හඳුන්වා දියහැක උදාහරණයක් ලෙස නුවරඑළිය ප‍්‍රදේශයේ අර්තාපල් වගාව, වසර පුරාම සිදුකිරීමට හැකියාව ඇතත් පශ්චිම අංගමාර රෝගය අධික ලෙස වර්ධනය වීම නිරිත දිග මෝසම් වර්ෂා කාලය වන මැයි සිට සැප්තැම්බර් මාසවලදී සිදුවන හෙයින් එම කාල සීමාව මගහැර වගාව ස්ථාපිතකිරීම සහ වගාව ඔක්තොම්බර් සිට අපේ‍්‍රල් යන කාල පරිච්ඡේදයන්ට සීමා කිරීමෙන් මෙම රෝගය පාලනය කිරීම සිදු කළ හැක. ඊසාන දිග මෝසම් වර්ෂාව බලපාන ප‍්‍රදේශවල ජනවාරි සිට අපේ‍්‍රල් දක්වාත්, ජුනි, ජුලි මාසවලදීත් වගාව ආරම්භකිරීම සුදුසුය.

රූපය 01

රූපය 02

රූපය 03