කොළ කොඩවීමේ වෛරස් රෝගය

සුදු මැස්සන් විසින් රෝගී ශාකවල යුෂ උරාබීමේ දී උන්ගේ සිරුරු තුළට එම යුෂ ඇතුල් වේ. නැවත නීරෝගී ශාකයක යුෂ උරා බීමේ දී වෛරසය එම පැළයට ඇතුළු වීමෙන් කොළ කොඩවීමේ වෛරසය නිරෝගී මිරිස් වගාවට වැළඳේ. වෛරස් නිසා ඇති වන කොළ කොඩවීමේ රෝගය බහුලව හටගනුයේ තෙත් කලාපයේ ය. වියළි කලාපයේ දී වගාවේ අවසාන කාල සීමාව තුළ ද මෙම රෝගය දක්නට ලැබේ. පත්‍ර ලා කහ පැහැයට හැරී නාරටි පැහැදිලිව දිස්වීමට පටන් ගනී. කඳේ පර්ව කෙටිවීම නිසා රෝගී ශාක කුරු වේ. අධික රිකිළි සංඛ්යාවක් හට ගනී.පතවල විශාලත්වය අඩු වී, ඝන වී, බෝට්ටුවක හැඩය ගනී. ශාකවලට ඇතුල් වී ඇති වෛරස් විශේෂය, කාළගුණික තත්ත්වය, වගාවේ වයස හා අනුගමනය කොට ඇති වගා පාලන ක්‍රම ආදී හේතූන් හා මිරිස් ගස් මඟින් දැක ගත හැකි රෝග ලක්ෂණ අනුව වෙනස් විය හැකිය. රෝග වාහක සුදු මැස්සන් මර්දනය කිරීම විනා වෛරස් රෝගයට ප්‍රතිකාර නොමැත. මේ සඳහා පැළ මැක්කන්, කූඩිත්තන් සඳහා යොදන කෘමිනාශක යෙදිය හැක.

වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට

බෝගය කන්නයට වගා කිරීම, මෙම වෛරසය තක්කාලි, දුම්කොළ වැනි සොලනේසියේ කුලයේ බෝගවලට වැළඳෙන බැවින් එම බෝග සමඟ මිරිස් වගා කිරීම නොකළ යුතුය.

කොළ කොඩවීම පාලනය කිරීම

මෙහිදී මිරිස්වල කොළ කොඩවීම පාලනය කිරීම සඳහා කෘමිනාශක පමණක් භාවිතා කිරීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබිය නොහැකි වේ. මේ සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. පෙර කන්නයේ මිරිස් වගා කරන ලද ස්ථානයක් තෝරා ගැනීමෙන් වැළකිය යුතුය. එසේ කිරීම අපහසු වේ නම් පෙර කන්නයේ මිරිස් වගාවේ ශේෂ සහමුලින්ම විනාශකර දැමිය යුතුය.උසස් ගුණාත්මයෙන් යුත් බීජ භාවිතය, නිර්දේශිත තවාන් ක්‍රම හා තවාන් හොඳින් නඩත්තු කර දිරීමත් පැළ ලබාගෙන නියමිත දින වකවානු තුළ දී ක්ෂේත්‍රයේ රෝපණය කළ යුතුය. යල් කන්නයේ මිරිස් වගාව සඳහා මාර්තු මස මුල් සතිය තුළ තවාන් දමා අප්‍රේල් මස මුල් දෙසතිය තුළ ක්ෂේත්‍රයේ රෝපණය කළයුතුය.විශේෂයෙන්ම පොහොර යෙදීමේ දී නිර්දේශිත ප්‍රමාණය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීමත් අනවශ්‍ය ලෙස අධිකව පොහොර යෙදීමත් නොකළ යුතුය.අධික ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් පටක මෘදු වන බැවින් කෘමීන්ගේ පැවැත්මට හිතකර තත්ත්වයක් ඇතිවේ. එසේ කිරීමෙන් ජූලි සහ අගෝස්තු මාස තුළ අධික වන පැළ මැක්කන්ගේ ගහනය නිසා වන හානියෙන් වගාව බේරා ගත හැකි වේ.තවානට සහ වගාවට ඓන්ද්‍රිය පොහොර නිර්දේශිත ප්‍රමාණවලින් පමණක් යෙදිය යුතුය. වගාව අවට වල් පැළෑටි තිබීම කෘමීන්ගේ වර්ධනයට හිතකර වේ. එනිසා ක්ෂේත්‍රය සහ අවට වල් පැළෑටි වලින් තොරව තබා ගත යුතුය.

කූඩිත්තන් ආදී කෘමීන් මුලින්ම වගාව තුළ දක්නට ලැබෙන මුල් අවස්ථාවේ දීම ඉසින යන්ත්‍රයක් භාවිතකර ජලය පමණක් යොදා, ශාකවල මතුපිට සහ යට පැත්ත හොඳින් තෙත් වනසේ ඉසීමෙන් ද, අතින් විනාශ කිරීමෙන් ද, මුල් අවස්ථාවේ දීම කෘමීන් මර්දනය කරගත යුතුය.මිරිස් වගාව වටා හෝ සුළං හමන දිශාවට මුහුණලා බඩඉරිඟු, සෝගම්, කුරක්කන් ආදී බෝග පේලි 2-3 ක් ආවරණ බෝග ලෙස වගා කිරීමෙන් ද, පැළ මැක්කන්ගේ ව්‍යාප්තවීම වළක්වා ගත හැකි වේ. කෘමිනාශක යෙදිය යුත්තේ නිර්දේශිත වර්ගවලින් හා ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වුවහොත් පමණි.එපමණක් නොව වගාව ආරක්ෂා වන පරිදි හා සුළං බාධක ලෙස පොල් අතු හෝ කෘමි ප්‍රතිරෝධී දැල් යොදා ආවරණයක් යෙදීමෙන් සුළං ප්‍රවාහය සමඟ ගසා ගෙන එන කෘමින් වගාවට ඇතුල් වීම වළක්වා ගැනීමෙන් ද මිරිස් කොළ කොඩවීමේ තත්ත්වය හා වෛරස් රෝග බොහෝ දුරට වළක්වා ගත හැකි වේ.

රූපය 1.

රූපය 2.

රූපය 3.

රූපය 4.

රූපය 5.

රසායනික මර්දනය

කෘමිනාශක යෙදීමෙන් කොළ කොඩ වීමට හේතු කාරක වන පළිබෝධකයින් සංඛ්‍යාව පාලනය කර ගත හැකි වේ. කෘමිනාශක ඉතා විෂ සහිත බැවින් නිර්දේශිත සියලුම ආරක්ෂිත පියවර ගත යුතුය.යුෂ උරාබීම නිසා මිරිස් ශාකයට වන හානියත්, වෛරස් රෝගවල පැතිරීමත් එමඟින් අඩු වේ. රසායනික ද්‍රව්‍ය යෙදීමට පෙර වගාව මැනවින් පරීක්ෂාකර බලා කොළ කොඩවීම පැතිරවීමට ඉවහල් වන කෘමීන් සිටි දැයි තහවුරු කර ගත යුතුය.

විශේෂයෙන්ම පත්‍ර යටි පැත්තේ මයිටාවන් සිටී දැයි පරීක්ෂාකර බැලිය යුතුය. වරක් කෘමිනාශක යෙදීමෙන් පසු නැවත කෘමිනාශක යෙදිය යුත්තේ දින 10-14 ක් ගතවූ පසුවය. කෘමිනාශක යොදා දින 7 කට පමණ පසුව වගාව මැනවින් පරීක්ෂාකර බැලීමේ දී, අලුතින් හටගත් පත්‍ර හැකිලී ඇත්නම් පමණක් දින 10 කට පසු නැවත කෘමිනාශක යෙදීම සුදුසුය. කෙසේ වුව ද බෝගයේ ජීවිත කාලය තුළ 5-7 වාරයක් කෘමිනාශක යෙදීම සෑහේ.මිරිස් කොළ මත ජලය රැඳී සිටීමේ හැකියාව අඩුය. කෘමිනාශකවල ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීම සඳහා තැවරුම්කාරකයක් (surfactant) සමඟ මිශ්‍රකර යෙදීම සුදුසුය.

රූපය 1.

රූපය 2.

රූපය 3.