කංකුන්



උද්භිද විද්‍යාත්මක නාමය - අයිපෝමියා අැක්වටිකා (Ipomea aqatica)
කුලය -

නිර්දේශිත ප්‍රභේද

ශාක කඳෙහි, කොළ වල හා මල් වල වර්ණය අනුව කංකුන් ආකාර දෙකක් තිබේ.

  • දම් පැහැති වර්ගය

මෙහි කඳ දම් පැහැයට හුරුය. මල් දම්පාටය. වාණිජ වශයෙන් සමහර ප්‍රදේශවල වගා කරනු ලැබේ. කිරි ගතිය සාපේක්ෂව වැඩිය.

  • කොළ පැහැති වර්ගය


කඳ කොළ පැහැතිය. මල් සුදු පාටය. දේශීය වර්ගය හා තායි වර්ගය වශයෙන් විශේෂ දෙකක් හඳුනාගෙන ඇත. මෙම වර්ග දෙකම වාණිජ වශයෙන් වගා කරනු ලැබේ. මෙම වර්ග වල කිරි ස්වභාවය සාපේක්ෂව අඩුවන අතර, වැඩියෙන් ජනප්‍රිය වී ඇත.

වර්ධන විලාශය අනුව කංකුන් ආකාර දෙකකි.

  • වැල් ආකාරය

කඳ දම් පැහැයට හුරු කොළ පාට වේ. ධාවකයක් ලෙස වර්ධනය වේ. මල් දම් පාට වේ.

  • පඳුරු ආකාරය

කඳ කොළ පැහැතිය. මල් සුදු පාටය. පඳුරක් ලෙස වර්ධනය වේ.

  1. තායිලන්ත වර්ගය
  2. චයිනීස් වර්ගය
දේශගුණික අවශ්‍යතා හා පස

දේශගුණික අවශ්‍යතා



උඩරට ශීත ප්‍රදේශ වල හැර වෙනත් ඕනෑම ප්‍රදේශයක ජලය අවශ්‍ය තරම් ඇති විට කංකුන් වගා කළ හැකිය. වැඩි ජල අවශ්‍යතාවය නිසා බහුල වශයෙන් තෙත් කලාපයේ වගා කරනු ලැබේ. ජලය රඳා පවතින වගුරු පසේ මෙන්ම නිතර ජලය සැපයිය හැකි උස් බිම්වල ද සාර්ථක ලෙස වගා කළ හැකිය. උස් බිම්වල වගා කිරීමේදී ජලය සැපයීම අතපසු කළ හොත් ඉක්මනින් මල් පිපේ. වියළි කලාපයේ වැව්, වගුරු, ජල මාර්‍ග ආශ්‍රීතව ද කංකුන් මනාව වැඩේ. පී.එච්. අගය 6.00 - 7.00 අතර වූ යන්තමින් ආම්ලික වූ පස වගාව සඳහා වඩා සුදුසුය.

බිම් සැකසීම



බිම් පෙරළා වතුර බැඳ වල් දිරාපත් වීමට හරින්න. ඉන්පසු අවශ්‍ය විටක ජලය බැස්සවීම සඳහා ලියදි වල කාණු කිහිපයක් සකසන්න. කැට පොඩි කර බිම සමතලා කොට සෙ.30× 30 ක පරතරයකට දඬු කැබලි සිටවන්න. අහඹු ලෙස ද දඬු සිටුවිය හැකි වේ. ජලය ඉවත් කළ නොහැකි වඟුරු වල බිම් සැකසීමකින් තොරව අග්‍රස්ථය ඉවත් කළ දඬු කැබලි ජලය මත විසුරුවා හරින්න.

උස් බිම් වල වගා කිරීම

බිම් පෙරළා කැට පොඩි කොට වල් පැළෑටි ඉවත් කිරීමෙන් පසුව ලියදි(ගිල් වූ පාත්ති) ආකාරයට පාත්ති සකස් කරගන්න. ඉන්පසු ලියදි තෙත් වන සේ හොඳින් ජලය සපයා සෙ.මී 30×30 පරතරයට කංකුන් දඬු සිටවන්න.

රෝපණ ද්‍රව්‍ය


දඬු වලට අමතරව බීජ මඟින් ද වගාව පිහිටු විය හැකිය. බීජ නිෂ්පාදනය සඳහා තායිලන්ත වර්ගය යොදාගත හැකි අතර බීජ හට ගැනීම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වැනි උෂ්ණත්ව අඩු කාල වලදී හොඳින් සිදු වේ. මේ සඳහා තමන් වගා කරන ක්ෂේත්‍රයෙන් කොටසක් වෙන් කර තබා ගත හැකිය. නිරෝගි වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබා ගත යුතුය. ගැට 3-4 සහිත සෙ.මී. 20-30 පමණ දිග කඳ කැබලි සිටුවීම සඳහා යොදා ගනී. සිටුවීමට පෙර පත්‍ර ඉවත් කළ යුතුය.

වගා පිළිවෙත්

සිටුවිය යුතු කාලය


ජලය පවතින පහත් බිම් වල ඕනෑම කාලයක වගා කළ හැකිය. උස් බිම් වල වගා කරන විට නිතර ජලය සැපයිය යුතු නිසා වර්ෂා කාලයේදී වගාව ආරම්භ කිරීම වඩා සුදුසුය.

වල් මර්දනය


කංකුන් සමග වැඩෙන වල් පැළෑටි වරින් වර ගලවා ඉවත් කොට ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගත යුතුය.

පොහොර යෙදීම


හොඳින් දිරාපත් වු ගොම පොහොර, කුකුල් පොහොර හෝ කොම්පොස්ට් පොහොර වර්ග මීටර් 1000 ක බිම් ප්‍රමාණයකට (අක්කර 1/4 ට) මෙ.ටො. 1 ක් පමණ කංකුන් සිටුවීමට සති 1 කට පෙර පසට එකතු කරයි.

කාබනික පොහොර

හොඳින් දිරාපත් වු ගොම පොහොර හෝ කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් පොහොර වර්ග මීටර් 1000 ක බිම් ප්‍රමාණයකට (අක්කර 4 1/2 කට) මෙ.ටො. 1 ක් පමණ කංකුන් සිටුවීමට පෙර පසට එකතු කළ යුතුය. වටපණු හානිය අඩුවන නිසා වල් පැළෑටි පැතිරීම සිදු නොවන නිසාත් ගොවීහු කුකුල් පොහොර බහුල වශයෙන් භාවිතා කරති.

රසායනික පොහොර යෙදීම


මූලික පොහොර යෙදීම :- කංකුන් සිටුවීමට දින දෙකකට පෙර මූලික පොහොර මිශ්‍රණය පසට මිශ්‍ර කරනු ලබයි. (වර්ග මිටර් 100 කට) මූලික පොහොර

යූරියා - කි.ග්‍රෑ. 9

සාන්ද්‍ර සුපර් පොස්පේට් - කි.ග්‍රෑ. 13.5

මියුරේට් ඔෆ් පොටෑෂ් - කි.ග්‍රෑ. 10.0

මතුපිට පොහොර යෙදීම

  1. සිටුවා සති 4 කට පසු වර්ග මීටර් 1000 කට යූරියා කි.ග්‍රෑ. 9 ක් ඉසින්න.
  2. සෑම අස්වනු නෙලීමකටම පසු වර්ග මීටර් 1000 කට යූරියා කි.ග්‍රෑ. 4.5 ක් හා මියුරේට් ඔෆ් පොටෑෂ් ග්‍රෑ. 1.5 ක් යොදන්න.
  3. සෑම මාස 6 කට වරක් වර්ග මීටර් 1000 කට සාන්ද්‍ර සුපර් පොස්පේට් කි.ග්‍රෑ. 6.5 ක් යොදන්න.

අස්වනු නෙළීම


ආකාර දෙකකට සිදු කළ හැකිය. වගාව ක්ෂේත්‍රය පුරා විසිරී යාමට සලස්වා වරින් වර අස්වැන්න නෙලා ගැනීම. නිර්දේශිත පරතරයට සිටුවා දින 20 - 30 අතර කාලාන්තරයකින් අස්වැන්න නෙලීම මඟින් පඳුරක් ආකාරයට පවත්වාගෙන යා හැකිය. මෙමඟින් අස්වැන්න නෙලීම හා වල් මර්දනය පහසු වේ.

උස්බිම්වල වගා කල විට කංකුන් සිටුවා දින 30 කට පමණ පසු පළමු අස්වැන්න ලබා ගත හැකි වේ. ඉන්පසු සෑම දින 20 කට පමණ වරක් අස්වැන්න ලබා ගත හැකිය. වර්ග මීටර් 1000 කට වරකට ටොන් දෙකකි. පහත් බිම් වල වගාවන් සිටුවා දින 20 කට පමණ පසු පළමු අස්වැන්න ලබා ගත හැකිය. ඉන්පසු සෑම දින 20 - 25 කට පමණ වරක් අස්වැන්න නෙළා ගත හැකිය. වර්‍ග මීටර් 1000 (අක්කර 1/4) ක වගාවකින් වරකට කි.ග්‍රෑ. 2000 ක පමණ අස්වැන්නක් ලැබේ.

රෝග හා පළිබෝධ හානි

රෝග


දුඹුරු පුල්ලි රෝගය



සර්කස්පෝරා දිලීර විශේෂයක් මඟින් පත්‍ර වල දුඹුරු රවුම් පුල්ලි ඇති කරනු ලැබේ. පසුව, පත්‍ර කහ පැහැ වී මිය යයි. පොටෑසියම් පොහොර යෙදීමෙන් හා රෝග පාත්‍රී වූ පත්‍ර ඉවත් කිරීමෙන් සෑහෙන දුරට රෝගය පාලනය කරගත හැකිය.

සුදු මලකඩ රෝගය



පළමුවෙන් රෝගී ගස් වල පත්‍ර වල යටි පැත්තේ සුදු පැහැති තිත් වැනි ස්ථාන හට ගනී. පසුව මෙය පත්‍රය පුරාම විහිදේ. ඒ අවස්ථාවේදී පත්‍ර මතුපිට සමහර ස්ථාන කහ පැහැයට හැරේ. රෝගය උත්සන්න වූ විට පත්‍ර සිහින් වී ශාකයේ කඳ අසාමාන්‍ය ලෙස මහත් වේ. පසුව අග්‍රස්ථයේ වැඩීම බාල වේ.

රෝග පාලනය

පොටෑසියම් පොහොර යෙදීමෙන් හා රෝග පාත්‍රී වූ පත්‍ර ඉවත් කිරීමෙන් සෑහෙන දුරට රෝගය පාලනය කර ගත හැකි වේ.