කොමඩු (Melon)

නිර්දේශිත ප්‍රභේද
ප්‍රභේද

උද්භද විද්‍යාත්මක ලක්ෂණ අනුව කොමඩු ප්‍රභේද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක.

1. පැණි කොමඩු - Sweet melon
2. පත්තක්කා - Water melon

මස්ක් මෙලන්, රොක් මෙලන්, කැන්ටලුප් යනාදිය පැණි කොමඩු ගණයට අයත් වේ.

ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් "තිළිණි" නම් වු කොමඩු විශේෂයයි. විදේශ වෙළදපොලේ මෙය "සුගර් බේබි" නමින් හදුන්වයි.




‘‘තිළිණි” ප්‍රභේදය සෙසු වර්ග වලට වඩා හොඳින් වියළි තත්වයනට ඔරොත්තු දේ. තද කොළ පැහැති රවුම් හැඩැති ගෙඩි ප්‍රමාණයෙන් බොහෝ දුරට ඒකාකාරය. ගෙඩියක බර කි.ග්‍රෑම් 2.5-3.0 පමණ වේ. හොඳින් මේරූ ගෙඩිවල මදය රසවත්ය. රෝස පාටට හුරු රතු පැහැතිය.

දේශගුණික අවශ්‍යතා හා පස
දේශගුණික අවශ්‍යතා

ප්‍රධාන වශයෙන් අප රටේ වියළි කලාපයේ ද, අතර මැද කලාපයට අයත් බොහෝ ප්‍රදේශ වල ද කොමඩු වගාව සඳහා සුදුසු දේශගුණික තත්ත්ව පවතී. පරිසර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 ට අඩු උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ වගාව සඳහා සුදුසු නැත. එනිසා අධික ශීතල දේශගුණය මෙන්ම තෙත් බව වැඩි ප්‍රදේශ ද වගාව සඳහා සුදුසු නොවේ. වර්ෂාව අධික ප්‍රදේශයන්හි පත්‍ර, මුල් හා ගෙඩි වලට වැළදෙන නොයෙකුත් දිලීර රෝග නිසා වගාව පහසුවෙන් විනාශ විය හැකිය. හොඳින් හිරු එළිය ලැබෙන වියළි උණුසුම් කාලගුණික තත්ත්ව පැවතීම වගාවට ඉතා වැදගත්ය. භෝගයට වඩා යෝග්‍ය ආර්ද්‍රතාවය 65-75% පමණ වේ. වගාව සඳහා යල කන්නය වඩා සුදුසුය. මාස් කන්නයේදී තද වැසි අවසාන වූ පසු වගාව ආරම්භ කළ හැකිය.

පස

හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි සහිත පසක් වගාව සඳහා ඉතා සුදුසුය. පසේ තිබිය යුතු වඩා යෝග්‍ය පී.එච්. අගය 5.5-7.0 පමණ වේ. කොමඩු ශාකයේ මුදුන් මුල එතරම් ශක්තිමත් නොවන නිසා මැටි සහිත පසෙහි වර්ධනය සතුටුදායක නොවේ.

බිම් සැකසීම
වගා කිරීම
ප්‍රථමයෙන්ම බිම් පෙරලා කැට පොඩිකර පස සකස් කරගත යුතුය. වගා කරන අවස්ථාවේදී විටින් විට ජල සම්පාදනය කලයුතු නිසා එයට ගැලපෙන පරිදි මීටරයක් පමණ පළලට උස් පාත්ති සකස් කරගැනීම වැදගත් වේ. සෙන්ටි මීටර් 30 x 30 x 30 ප්‍රමාණයට වලවල් සකස් කරන්න. ගොම හෝ කොම්පෝස්ට් පොහොර සමග මූලික පොහොර කලවම් කර බෝග සිටුවීමට දින දෙකකට පමණ පෙර වලවල් පිරවීම කල යුතුය. අක්කර එකක් සදහා මෙවැනි වලවල් 8000 ක් පමණ සකස් කර ගත හැකිය.

පරතරය

මීටර් 1 x මීටර් ½

මේ අනුව අක්කරයක් සඳහා වලවල් 8000 පමණ සකසා ගත යුතුය. (හෙක්ටයාරයකට නම් වලවල් 20000 පමණ අවශ්‍ය වේ.)

බීජ අවශ්‍යතාවය

එක් එක් කොමඩු ප්‍රභේදයන්හි බීජවල විශාලත්වය වෙනස් වන නිසා ග්‍රෑම් 500 ක බීජ 12000 ක් - 20000 ක් අතර ප්‍රමාණයක් අඩංගු විය හැකිය. වගා කරනු ලබන ප්‍රදේශය අනුව වගාවට අවශ්‍ය බීජ ප්‍රමාණය තීරණය කල යුතුය.

තිළිණි කොමඩු ප්‍රභේදයේ බීජ වගා කර නැවත එම වර්ගයේ ලක්ෂණ සහිත පැළ හටගන්නා බීජ නිපදවා ගත හැකිය. නමුත් ආනයනය කරනු ලබන දෙමුහුම් වර්ග වල කොමඩු බීජ වගා කළ හැක්කේ එක වරක් පමණකි. මෙවැනි වගාවක හට ගන්නා බීජ නැවත වගා කල විට එකිනෙකින් බොහෝ සේ වෙනස් වන ලක්ෂණ සහිත ශාක හට ගනී.

වගා පිළිවෙත්
බීජ සිටුවීම

පසේ වයනය, තෙතමනය හා කොමඩු වර්ගය අනුව බීජ සිටුවන ගැඹුර අගල් 1/2 සිට අගල් 1 1/2 පමණ දක්වා වෙනස් විය යුතුය.

පසේ තෙතමනය අධික අවස්ථාවේදීත් ජල සම්පාදනය යටතේදීත් බීජ සිටුවන ගැඹුර අඩුකල යුතුය. එමන්ම කුඩා ප්‍රමාණයේ බීජ අඩු ගැඹුරකින් සිටුවිය යුතු අතර එක් වලක බීජ තුන බැගින් සිටුවිය යුතුය.

පසේ උෂ්ණත්වය අනුව බීජ පැලවීමට ගතවන කාලය දින 7 - 15 දක්වා වෙනස් වේ. උෂ්ණත්වය අඩු නම් බීජ පැලවීමට ගතවන කාලය වැඩි වේ.

බීජ ප්‍රරෝහණයවී පත්‍ර දෙකක් වැඩුනු පසු වැඩි පැල ගලවා ඉවත් කල යුතු අතර පැල ගලවා ඉවත් කිරීම අවස්ථා දෙකකදී කල යුතුය. මෙසේ අවස්ථා දෙකකදී පැල ගලවා ඉවත්කිරීමෙන් සමස්ථ වගාවේම කුඩා පැලවලට කෘමීන්ගෙන් සිදුවන හානිය අවම කරගත හැකිය.

වගා නඩත්තුව

බීජ ප්‍රරෝහණය වීමට හෝ පැල සිටුවීමට පෙර පුර්ව නිර්ගමන වල් නාශකයක් භාවිතා කිරීමෙන් වල් පැල පාලනය පහසු වේ. තවද පැල පාලනය පහසු වේ. තවද වල් පැලවීමට පෙර පාත්තිය මත අගල් හතරක් ඝනකම පිදුරු තට්ටුවක් යෙදීමද කල හැකිය.

කාබනික පොහොර අධික පසේ කොමඩු වගාව හොදින් කල හැකිය. අවශ්‍ය අවස්ථාවලදී රසායනික පොහොර භාවිතා කිරීමද කල හැකිය. අක්කර එකක් වගාවක් සදහා පොහොර මිශ්‍රණය පහත සදහන් වේ.



මනා බෝග වර්ධනය සදහා පසේ තෙතමනය මැනවින් පවත්වා ගැනීමෙන් ඵල වර්ධනයද වේගවත් වන අතර ගුණාත්මක භාවයද වැඩිවේ.


මල් පිපීම
කොමඩු වැලක මල් පිපීම ආකාර දෙකකට සිදුවේ. පලමුවෙන්ම හට ගන්නේ පිරිමි මල්ය.
ගැහැණු මල් හටගන්නේ ඊට පසුවය. ඒවායින් ගෙඩිහට ගැනීම සිදුවේ. මල් හට ගැනීම පටන් ගන්නේ වගාවේ වයස දින තිහක් පමණ වු විටය. මල් පරාගණය කෘමීන් මගින් සිදුවේ.

පරාගනය කිරීම

කොමඩු වැලක ආකාර දෙකකට අයත් මල් හට ගනී. වැලක ප්‍රථමයෙන් හට ගන්නේ පිරිමි මල්ය. පසුව හටගන්නා ස්ත්‍රී ලිංගික හෙවත් ගැහැණු මල් වලින් ඵල ඇති වේ.

මල් හටගැනීම ආරම්භ වන්නේ වගාවේ වයස දින 30 පමණ වූ විටය. මල් පරාගණය ප්‍රධාන වශයෙන් කෘමීන් මගින් සිදුවේ. මී මැස්සා මේ සඳහා ඉතා සුදුසු කෘමියෙකි. වෙනත් රටවලින් වාර්තාවන පරිදි අක්කරයක පරාග පෝෂණය කිරීම සඳහා මී මැසි ජනපද දෙකක් ප්‍රමාණවත් වේ. පරාගනය හොඳින් සිදු නොවුනහොත් අස්වැන්න අඩුවේ.

වගාවේ හටගන්නා ගෙඩිවල විශාලත්වය පාලනය කිරීම සඳහා ගෙඩි තුනී කරනු ලැබේ. අපනයන වෙළද පොළවල් සඳහා වගා කරන විට මෙය වඩා වැදගත්ය.

අස්වනු නෙළීම
අස්වැන්න
හොදින් වැඩුණු වගාවක් තුලින් අක්කරයකින් මෙට්‍රික් ටොන් 20 - 30 ක් අතර අස්වැන්නක් ලබාගත හැකිය.


අස්වැන්න නෙලීම
ගෙඩි හොදින් මේරූ පසු අස්වැන්න නෙලා ගත යුතුය. "තිළිණි" ප්‍රභේදය නෙලා ගත යුත්තේ ගෙඩිය මත අළු පැහැති ස්වභාවයක් ඇතිවීමට පටන් ගත් පසුය. මේ සදහා දින 45 - 60 ක් ගත වේ.
රෝග හා පළිබෝධ හානි
රෝග හා පළිබෝධ

දිය මලන් කෑම, යටි පුස් රෝගය, පැල මැලවී යාම, හිටු මැරීම, පත්‍ර විචිත්‍ර රෝගය, මූල ගැටිති වටපනු රෝගය ආදී රෝග කොමඩු වගාවට වැලදෙන රෝග ලෙස දැකිවිය හැක. බෝග මාරුව හා පසේ තෙතමනය නඩත්තු කිරීම මගින් මෙම රෝග හා පළිබෝධ වලක්වා ගත හැකිය.

 
කොමඩු වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු