වැල්දොඩම් (passion fruit)















උද්භිද විද්‍යාත්මක නාමය - කහ ප්‍රභේදය
(Passiflora edulis f. flavicarpa)
- දම් ප්‍රභේදය (passiflora edulis f. edulis)

කුලය - පැසිෆ්ලොරේසියේ (Passifloraciae)




නිර්දේශිත ප්‍රභේද
වගාව සඳහා සුදුසු ප්‍රභේද



හොරණ ගොල්ඩ්


  • හොරණ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් නිපදවන ලද මෙම වැල්දොඩම් ප‍්‍රභේදය අපේ රටේ පහත රට තෙත්, අතරමැදි හා වියළී කලාපයේත් මැදරට තෙත්, අතරමැදී කලාපයේත් වියළි කලාපයේත් වගා කිරීමට සුදුසු වේ.
  • ඉහළ අස්වැන්නක් ලබා දේ.
  • ගෙඩියක සාමාන්‍ය බර ග‍්‍රෑම් 135 ක් පමණ වේ.
  • මදය කහ පැහැයට හුරු තැඹිලි පැහැයක් ගනී.
  • ඉදුණු විට පොත්තේ වර්ණය කහ තැඹිලි පැහැයෙන් යුක්තය.
  • රවුම් හෝ දිගටි හැඩයේ ඵල දරයි.
  • පැළ නිෂ්පාදනය බීජ මඟින් සිදු කරයි.

 

බණ්ඩාරවෙල දම්



  • බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිෂ්පාදනය කොට ඇත.
  • උඩරට අතර මැදි හා උඩරට තෙත් කලාපයන් සඳහා නිර්දේශ කර ඇත.
  • ගෙඩිවල පොත්ත රතු පැහැයට හුරු දම් පැහැයක් ගනී.
  • ගෙඩිවල හා පහුරුවල දම් පැහැති වර්ණය වැඩිපුර දක්නට ඇත.
  • කඳ මැද සිදුරක් නොමැත.
  • ගෙඩියක බර ග‍්‍රෑම් 100 - 120 ත් අතර වේ. යුෂය කහ පැහැ වන අතර බි‍්‍රක්ස් අගය 17 ක් වේ.
  • වෛරස් හා මුල් කුණුවීමේ රෝගයන්ට මධ්‍යස්ථ ලෙස ප‍්‍රතිරෝධි වේ.
  • පැළ සිටුවා මාස 10 කින් පමණ පළමු අස්වැන්න ලබා ගත හැකිය.
  • පළමු වසර තුළදී වැලකින් කිලෝග‍්‍රෑම් 16 ක් දෙවන වසර තුළදී වැලකින් කිලෝග‍්‍රෑම් 24ක අස්වැන්නක් ද ලබා ගත හැකිය.

 

රහන්ගල දෙමුහුම (Rahangala hybrid)



 

  • කහ හා දම් පැහැති ප්‍රභේද දෙමුහුම්කර සාදා ඇති වර්ගයකි.
  • ගෙඩි රෝස පැහැයට හුරු දම් පාටය.
  • යුෂයේ ගුණාත්මය වැඩිය.
  • උඩරට ප්‍රදේශ සඳහා නිර්දේශිතය.

 

දේශගුණික අවශ්‍යතා හා පස
දේශගුණික අවශ්‍යතා

වසර මුළුල්ලේම හොඳින් පැතිරුණු වාර්ෂාපතනයක් ඇති තෙත් කලාපීය ප්‍රදේශවල මෙය පහසුවෙන් වගා කල හැකිය. වියළි හා අතරමැදි කලාපවල වගාකරන විට වියළි කාලවලදී ජල සම්පාදනය කල යුතුය.

පස

මනා ජලවහනයක් පවතී නම් සැහැල්ලු වැලි ලෝම මෙන්ම මැටි ලෝම පස්වලද මෙම බෝගය වගාකල හැකිය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 6.0 - 7.5 වේ.


වාගා කිරීම සඳහා සුදුසු ප්‍රදේශ

වැඩිපුරම වගා කරනු ලබන දිස්ත්‍රික්ක වනුයේ කළුතර, ගම්පහ, රත්නපුර හා කුරුණෑගල දිස්ත්‍රික්ක වලය. නමුත් මේ බෝගය ගාල්ල, කොළඹ, නුවරඑළිය යනන දිස්ත්‍රික්ක වලද පහසුවෙන් වගා කළ හැකිය. අනුරාධපුර හා යාපනය වැනි වියළි කලාපීය ප්‍රදේශ වල ජල සම්පාදන පහසුකම් යටතේ වගා කළ හැකිය.

වගා කරන කාලය
වර්ෂා කාලය ආරම්භ වන සැප්තැම්බර්, ඔක්තෝබර් මාස වලදී වගා කිරීම වඩා සුදුසුය. මෙම කාලය තුලදී පැල සිටුවීමෙන් මල් හටගැනීම ප්‍රමාද නොවේ.


රෝපණ ද්‍රව්‍ය
රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය

වැල් දොඩම් වගාව සඳහා අවශ්‍ය පැල බහුල වශයෙන් නිෂ්පාදනය කරනුයේ බීජ මඟිනි. දඩු කැබලි මුල් අද්දවා ගැනීම මඟින්ද පැල නිපදවා ගත හැක. හොරණ ගෝල්ඩ් පැෂන් ෆෘට් වල සහතික කල බීජ රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගත යුතුය. රහංගල ප්‍රභේදයේ දඩු කැබලි මුල් අද්දවා ගැනීමෙන් පමණක් පැල ලබාගැනේ.

සාමාන්‍ය වගාවකින් බීජ ලබා ගන්නේනම් වැඩි අස්වැන්නක් ලබාදෙන විශාල ගෙඩි හටගන්නා තුනී ලෙල්ලක් සහිත නිරෝගී වැල් අතර පරාගනයෙන් අවශ්‍ය බීජ නිපදවා ගත යුතුය. අවම වශයෙන් වසරකදී ගෙඩි 150ක් 200ක් පමණ හටගන්නා වැල් වලින් බීජ හෝ දඩු කැබලි ලබා ගන්න.

බීජ ප්‍රරෝහණය

ගෙඩි පලා මදය සූරා යුෂ ඉවත් කර බීජ වටා ඇති ජෙලටිනිමය ද්‍රව්‍ය ඉවත් වන ලෙස බීජ රෙදි කැබැල්ලක ඔතා හොඳින් මිරිකා හරින්න. ඉතිරි වන සිවි කොටස් ඉවත් වන ලෙස හොඳින් සෝදා හරින්න. ඉන්පසු දින 5ක් පමණ පවනේ වේලා ගන්න. වියළ බීජ කිලෝග්‍රෑම් 0.5ක් ලබා ගැනීම සඳහා ගෙඩි 175ක් පමණ අවශ්‍ය වේ. මෙපමණ ගෙඩි ප්‍රමාණයක බීජ 8000-10000ක් පමණ තිබේ.

 ඉක්මනින් තවාන් කිරීමෙන් ප්‍රරෝහණ ප්‍රතිශතය වැඩි කර ගත හැකිය. නැතහොත් පොලිතීන් කවරයක බහා සීල් කර ශීතකරණයක තැන්පත් කිරීමෙන් අවුරුද්දක පමණ කාලයක් බීජ ගබඩා කොට තබා ගත හැකිය.

 

තවාන් සැකසීම.

පිරිසිදු ස්ථානයකින් ලබාගත් මතුපිට පස් කොටස් එකකට හොඳින් දිරූ ගොම/කොම්පෝස්ට් පොහොර හා වැලි කොටස් එකක් බැගින් මිශ්‍ර කර සල්ලඩයකින් හලාගන්න. මෙම මිශ්‍රණය විෂ්කම්භය සෙන්ට්මීටර 30 පමණ පළල පොලිතීන් බදුන්වලට පුරවා ගන්න. බීජ සිටුවීමට පෙර පැය 24-36 පමණ ජලයේ පොගවන්න. ඉන් පසු එම බීජ පිරිසිදු ජලයෙන් සෝදා හැර බඳුන්වල තැන්පත් කරන්න.

එක් බඳුනක බීජ 100 පමණ වන ලෙස බීජ එකිනෙක මත නොවැටෙන සේ බඳුනේ තැන්පත් කරන්න. කොහුබත් හා වැලි 1:1 මිශ්‍රණයකින් තුනී තට්ටුවක් එම් බීජ මත යොදන්න. බීජ බඳුන්වල ජලය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යන්න. එනම් ජලය වැඩිපුර, අඩුවෙන් යෙදීමෙන් වළකින්න. ජලය වැඩිවීමෙන් බීජ පැල දියමලන් කෑම වැනි රෝගවලට ගොදුරු විය හැකිය. ජලය අඩුවීමෙන් පැල වී ගෙන එන බීජ පැල වියලී මිය යාම හෝ බීජ පැල නොවීම සිදුවිය හැකිය. බීජ බීජ ප්‍රරෝහණයට දින 9-21 දක්වා කාලයක් ගතවේ.


බීජ පැල සිටුවීම

ඉහත තවාන් බඳුනේ බීජ පැල සියල්ල එකවර පැලවීම බොහෝ විට සිදුවේ. මෙම බීජ පැලවල පත්‍ර 3-4ක් වර්ධනය වන විට ඒවා අඟල් 4 විෂ්කම්භය සහිත අඟල් 6 උස පොලිතීන් බඳුන්වල සිටුවිය යුතුයි. මෙම කුඩා පොලිතීන් බඳුන් මතුපිට පස් : කොම්පෝස්ට් : වැලි 1 : 1: 1 මිශ්‍රණයකින් පුරවා ගන්න. බීජ පැල බදුන්වලද ජලය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගෙන යන්න.


බීජ පැල අවශ්‍යතාවය
තැනිතලා ප්‍රදේශයක නම් අක්කරයට පැල 450ක්, බෑවුම් සහිත ඉඩමක නම් අක්කරයට පැල 400යි.


දඬු කැබලි තවාන

රහංගල දෙමුහුම් වර්ගය පැල නිෂ්පාදනය සෑමවිටම සිදු කරනු ලබන්නේ අතු කැබලි මුල් අද්දවා ගැනීමෙනි. එසේ නොමැතිව එහි බීජ භාවිතා කර පැල නිෂ්පාදනය කළහොත් ඊළග පරම්පරාවේදී ලක්ෂණ වෙනස් වේ.

තෝරාගත් වැල් වල හොඳින් වැඩී ඇති අතු තෝරා ගන්න. මෙම අතුවලින් පුරුක් 3 - 4 ක් ඇති දඬු කැබලි කපා ගන්න. දඬු කැබලි කැපූ වහාම ජල බඳුනක ගිල්වා තබන්න. ඉන්පසු සකස් කරගත් පොලිතීන් මලුවල හෝ තවානක මේවා සිටුවා ගත හැකි වේ. මුල් ඇදීම සඳහා භාවිතා කරන හොමෝනයක් සිටුවන කෙළවර කැපුම් තලයේ තැවරීමෙන් මුල් ඇදීම ඉක්මනින් මෙන්ම සාර්ථකව සිදු වේ.

අතු කැබලි සිටුවීමෙන් පසු හැම පැත්තක්ම ආවරණය කළ ප්‍රොපගේටරයක දැමීම මඟින් අතු කැබලි වියළී යාම වලක්වා හොඳින් මුල් අද්දවා ගැනීම කරගත හැකිය. දඬු කැබලිවල ඇති අංකුර සෙන්ටිමීටර් 25 - 30 පමණ වර්ධනය වූ පසු මෙම දඬු කැබලි ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා සුදුසු වේ.
වගා පිළිවෙත්

 

ක්ෂේත්‍රය සැකසීම

හොඳින් හිරු එළිය ලැබෙන හොඳින් ජලය බැස යන ක්ෂේත්‍රයක් වගාව සදහා තෝරාගන්න. ක්ෂේත්‍රය වටා ගැඹුරු කාණු සකස් කරන්න. පස බුරුල් වන ලෙස සකස් කොට හොඳින් මට්ටම් කරගන්න.

පන්දලම සැකසීම

මේ සඳහා ආධාරක කණු ලෙස කොන්ක්‍රීට් කණු GI බට හෝ දැව කණු යොදා ගත හැකිය. කණුවක උස සිටවූ පසු මීටර් 2 (අඩි 6) පමණ විය යුතුය. දැව ආධාරක යොදාගන්නා විට ඒවා අවුරුදු 3ක් වත් කල් පැවතිය යුතුය. කූඩිත්තන් බෝවී වෛරස් පැතිරවීමේ අවධානමක් ඇති බැවින් ග්ලිරිසිඩියා/වැට මාර ආධාරක කණු ලෙස යොදා ගැනීම නිර්දේශ නොකෙරේ.

පේළි සකස්විය යුත්තේ ක්ෂේත්‍රයේ උතුර දකුණ දිශාවටය. පේළියක් තුල මීටර් 4½ ක පරතරය සිටින ලෙස ආධාරක කණු සිටුවා ගන්න. පේළි 2ක් අතර පරතරය මීටර් 2ක් විය යුතුය. කණු වලින් ඉහළ මට්ටමින් ගේජ් 14 ගැල්වනයිස් කම්බියක් අදින්න.

ඉදිරියේදී වැල් වැඩීමත් සමඟ බර දරා ගත හැකි වන ලෙස මෙම කම්බිය හොඳින් තද කරන්න.

සෑම කණු 2ක් අතරට පැලයක් සිටින ලෙස කණු සිටුවා ඇති පේළියට සෙන්ටිමීටර් 30 (අඩියක්) පමණ ඉදිරියෙන් වලවල් සකසා ගන්න.

 

වලවල් සැකසීම

සෑම කණු 2ක් අතරට පැලයක් සිටින ලෙස කණු සිටුවා ඇති පේළියට සෙන්ටිමීටර් 30 (අඩියක්) පමණ ඉදිරියෙන් වලවල් සකසා ගන්න. ඉඩමේ ඇති පසේ ස්වභාවය අනුව වලේ ප්‍රමාණය තීරණය කරන්න. හොඳින් ජලය බැසයන ගැඹුරු තද පසක් පවතින ඉඩමක 2ʹ x 2ʹ x 2ʹ වලවල් සකසා ගන්න. හොඳින් ජලය බැසයන නමුත් නොගැඹුරු සැහැල්ලු පසක් පවතින ඉඩමක 1ʹ x 1ʹ x 1ʹ වලක් ප්‍රමාණවත් වේ. වල කපන විට මතුපිට පස් හා යටි පස වෙන් කොට තබා ගන්න.

 

 

වලවල් පිරවීම

වලවල් කැපීමේදී වෙන් කල මතුපිට පස්වලට කොම්පෝස්ට් හොඳින් දිරූ ගොම තාච්චි 2 පමණ එක් කරන්න. පසේ pH අගය 5 ට අඩු නම් ඩොලමයිට් ග්‍රෑම් 500 පමණ එයට මිශ්‍ර කර වල පුරවා ගන්න. වල පොළව මට්ටමට අඩියක් පමණ උස වන ලෙස පුරවන්න. පැල සිටුවීමට සති 2කට පමණ පෙර මෙම වලවල් පුරවා සකස් කරන්න.

පැල සිටුවීම

පොලිතීන් බඳුන්වල ඇති පැල 30cm පමණ වැඩුනු පසු එහි පහුරු වැඩීමද ආරම්භ වේ. එවැනි පැල ක්ෂේත්‍රයේ සිටුවීමට ඉතා සුදුසුය. මෝසම් වර්ෂාව ආරම්භ වී දැඩි වර්ෂා කාලය අවසන් වී ගෙන යන විට පැල ක්ෂේත්‍රයේ සිටුවන්න. පැලය අසලින් කෝටුවක් සිටුවා පැලය යන්තමින් ගැට ගසන්න. පැල සිටුවීමෙන් පසු ජලය යොදා පොල් අතු අගිස් දෙකක් සිටුවා පැලයට සෙවන සපයන්න. මෙම සෙවන සති 1-2කින් ඉවත් කරන්න. වර්ෂාව නොමැති විට දින 2-3කට වරක් ජලය සපයන්න.

වැල් පුහුණු කිරීම

ක්ෂේත්‍රයේ සිටුවන ලද කුඩා පැලය ක්‍රමයෙන් කෝටුව දිගේ කම්බිය දක්වා වැඩීමට සලස්වන්න. මෙහිදී වැඩෙන වැල කෝටුව වටා සර්පිලව ඔතමින් කෝටුවට සමීප කර ලිහිලිව ගැට ගසන්න. වැල කම්බිය පසු කර සෙන්ටි මීටර් 15-30 පමණ වැඩෙන විට එහි අග්‍රස්ථය (දල්ල) කපා ඉවත් කරන්න.

එවිට පාර්ශ්වික අංකුර වැඩීම උත්තේජනය වී ඒවා (ද්විතියික ශාඛා) වේගයෙන් වැඩීමට පටන් ගනී. කම්බියට වටාම පහළින් හා ඉහළින් වැඩෙන පාර්ශ්වික අතු ඉතිරි කර අනෙකුත් අතු කපා ඉවත් කරන්න. මෙලෙස ඉතිරි කරන අතු වලින් 1-2ක් කම්බිය දෙපසට පුහුණු කරන්න.

මෙලෙස දෙපසට වැඩෙන අතු යාබද ආධාරක කණුව පසු කරන විට ඒවායේ දල්ල ඉවත් කරන්න. එවිට මෙම අතු වලින් තෘතියික අතු වර්ධනය ඇරඹේ. මල් හා ගෙඩි හටගන්නේ මෙම අතු වලය. එම තෘතියික අතු හොඳින් හිරු එළිය ලැබෙන ලෙස සිරස්ව පහළට එල්ලා වැටෙන ලෙස සකස් කරන්න.  

වැල් කප්පාදුව

මින් අදහස් කරනුයේ මල් හෝ ඵල හටගෙන අවසාන වූ අතු දීර්ඝ කාලයක් මල් හෝ ඵල හට නොගෙන බිම දිගේ දිවෙන අතු, රෝගී අතු, මැරුන අතු ආදිය ඉවත් කිරීමයි. මල් හෝ ඵල හටගෙන අවසාන අතුවල හෝ දිගු කාලයක් මල් හට නොගෙන තිබෙන අතුවල නැවත මල් හට ගැනීමක් සිදු නොවේ. ඉහළ කම්බියේ සිට පහළට පත්‍ර 3-4ක් ඉතිරි වන ලෙස ඉතිරි අතු කොටස කපා දැමීමෙන් පසු එම ඉතිරි කල කොටසේ ඇති අංකුර උත්තේජනය වී නව අතු වර්ධනය ආරම්භ වේ. වැල ප්‍රජනක අවධියේ පවතින විට එනම් වැලේ මල් හා ඵල පවතින අවධියේ මෙලෙස කප්පාදුව මඟින් පුෂ්ප අංකුර සහිත නව අතු හට ගැනීම සිදුවේ.

මල් පරාගනය

කහ වැල් දොඩම් වල ස්වපරාගනය සිදුවන වැල් පවතින්නේ ස්වල්ප ප්‍රමාණයකි. අනෙකුත් වැල් ස්වභාවයෙන්ම ස්ව අසංගනිය හෝ ස්ව වග්ධ්‍යතාවය පෙන්වයි. එනම් එකම මලේ පරාග වලින් හෝ එකම වැලේ හටගන්නා මල් අතර පරාගණය සාර්ථක නොවේ. මේ නිසා වැල් දොඩම් වල ගෙඩි පිහිටීම සඳහා පරපරාගනය සිදුවීම අවශ්‍ය වේ. එනම් වෙනත් වැලක හටගන්නා මලක පරාග තවත් වැලක හටගන්නා මලක කලංකයේ තැවරී පරාගනය සිදුවිය යුතුය.

ස්වභාවිකව වැල් දොඩම් පරාගණය වනුයේ අම්බලන්පාලුවා ලෙස හැඳින්වෙන කෘමියාගෙනි. එම කෘමියාගෙන් පරාගනය වී ඵල පිහිටියද ප්‍රමාණවත් තරම් පරාග කලංකයේ නොතැවරීම හේතුවෙන් ඩිම්බකෝෂයේ පවතින ඩිම්බ සියල්ල පරාගන නොවන නිසා හරිහැටි නොපිරුන ඵලයක් හටගනී. මේ නිසා ඵල වල බර අඩුවේ. එමෙන්ම මෙම කෘමියාගෙන් පරාගනය වී ඵල පිහිටනුයේ හට ගන්නා මල් වලින් 50-60% පමණි. ඵල පිහිටීමේ ප්‍රතිශතය 90% පමණ දක්වා වැඩි කර ගැනීමට හා හොඳින් පිරුන බරින් වැඩි ඵලයක් ලබාගැනීම සඳහා මල් කෘත්‍රිම පරාගනය සිදුකල යුතුය.

 

කෘත්‍රිම පරාගනය

සාර්ථකව පරාගනය වීමට නම් කලංකයේ තැවරීම සඳහා පරාග ලබාගත යුත්තේ වෙනත් වැලක හටගන්නා මලකිනි. මේ නිසා පරාගනය සිදු කිරීමේදී වැල් පේළි දෙක අතර වැල්වල පරාග මාරැ කරමින් පරාගනය සිදු කල යුතුය.

වැල් දොඩම් මල් පිපෙන්නේ මධ්‍යහන දොළහට ආසන්න කාලයේදීය. එම අවස්ථාවේ සිට පස්වරු 4 පමණ වනතෙක් වැල්දොඩම් මල් පරාගනය සිදුකල හැකිය. මල්වල කලංකය ලා කොළ පැහැති අතර රය තුනකට බෙදී ඇත. එම කලංකවල ඛණ්ඩිකා දෙක බැගින් පැහැදිලිව දක්නට ඇත. කලංකය එහි ඛීල මඟින් ඩිම්බ කෝෂයට සම්බන්ධ වී පවතී. ඩිම්බකෝෂයට පහලින් කහ පැහැති පරාග වලින් පිරැන පරාගධානි පහක් දක්නට ඇත. මෙම පරාගධානිවල ඇඟිලි තැවරීමෙන් එම පරාග ඉවත්කර ගත හැකිය.

පරාගනය කිරීමේදී මෙම පරාග කලංකවල ඛණ්ඩිකා වල හොඳින් තැවරීම සිදුකල යුතුය. හොඳින් පිරුන ඵලයක් ලබාගැනීමට මෙම කලංක තුනෙන් දෙකකවත් පරාග තැවරීම සිදුවිය යුතුය.

 




පොහොර යෙදීම

තෙත් කළාපය

වර්ගය

යොදන අවස්ථාව

ප්‍රභවය

ප්‍රමාණය

හුණු යෙදීම *

සිටුවීමට සති 2ට පෙර

හුණු / ඩොලමයිට්

වලකට ග්‍රෑම් 500 *

කාබනික පොහොර

සිටුවීමට සති 2ට පෙර

කුකුල් පොහොර

වලකට කි.ග්‍රෑම් 5 **

ගොම පොහොර / කොම්පෝස්ට්

වලකට කි.ග්‍රෑම් 10 **

 

රසායනික පොහොර

යොදන අවස්ථාව

ප්‍රභවය සහ ප්‍රමාණය වැලකට ග්‍රෑම්

 

යූරියා

රොක් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කීසරයිට්

සිටුවීමට පෙර

45          

80

40

55

සිටුවා මාස 2 කින්

45

80

40

-

සිටුවා මාස 6 කින්  

45

80

40

-

සිටුවීමෙන් මාස 10 ට පසු

45

80

40

55

සිටුවීමෙන් මාස 14 ට පසු  

80

140

70

-

සිටුවීමෙන් මාස 18 ට පසු   

80

140

70

-

සිටුවීමෙන් මාස 22 ට පසු

80

140

70

55

සිටුවීමෙන් මාස 26 ට පසු

115

200

105

-

සිටුවීමෙන් මාස 30 ට පසු

115

200

105

-

සිටුවීමෙන් මාස 34 ට පසු

115

200

105

55

ඉන්පසු සෑම මාස 4 කට වරක්

150

260

140

-


වියළි සහ අතරමැදි කළාප

වර්ගය

යොදන අවස්ථාව

ප්‍රභවය

ප්‍රමාණය

හුණු යෙදීම *

සිටුවීමට සති 2ට පෙර

හුණු / ඩොලමයිට්

වලකට ග්‍රෑම් 500 **

කාබනික පොහොර

සිටුවීමට සති 2ට පෙර

කුකුල් පොහොර

වලකට කි.ග්‍රෑම් 5 **

ගොම පොහොර / කොම්පෝස්ට්

වලකට කි.ග්‍රෑම් 10 **

 

රසායනික පොහොර

යොදන අවස්ථාව

ප්‍රභවය සහ ප්‍රමාණය වැලකට ග්‍රෑම්

 

යූරියා 

ට්‍රිපල් සුපර් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

සිටුවීමට පෙර

55

55

40

සිටුවීමෙන් මාස 2 ට පසු

55

55

40

සිටුවීමෙන් මාස 6 ට පසු

55

55

40

සිටුවීමෙන් මාස 10 ට පසු

55

55

40

සිටුවීමෙන් මාස 14 ට පසු  

90

90

70

සිටුවීමෙන් මාස 18 ට පසු   

90

90

70

සිටුවීමෙන් මාස 22 ට පසු

90

90

70

ඉන්පසු සෑම මාස 4 කට වරක්

135

130

105

 

* PH 5 ට අඩුවිට පමණක් යෙදන්න.
* * හුණු හා කාබනික පොහොර යෙදීම සෑම වසරකටම වරක් සිදු කළ යුතුය. 



අස්වනු නෙළීම
අස්වැන්න නෙලීම

 

වැල් දොඩම් මල් හටගෙන දින 60කින් පමණ අස්වැන්න නෙලීම සිදුකල හැකිය. හොඳින් කහපැහැති වූ ඉදුනු ගෙඩි ස්වභාවිකවම බිම පතිත වේ. එසේ වුවද වාණිජ වගාවේදී ගෙඩිවල වර්ණය කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්ථාවේ එම ගෙඩි නෙලා ගැනීම සිදුකරයි. ගෙඩියේ 25%ක පමණ ප්‍රමාණයක් කහ පැහැයෙන් යුක්ත විය යුතුය. මෙවැනි ගෙඩි නෙලා ගැනීමෙන් පසු දින 5-7කින් පමණ සම්පූර්ණයෙන් ඉදීම සිදුවේ. ගෙඩියේ හොද සුවදක් රසයක් ලැබීමට නම් මෙම ගෙඩි හොඳින් කහ පැහැ වී ඉදීම සිදුවිය යුතුය. හොදින් ඉදීමෙන් පසු තවදුරටත් තබා ගැනීමේදී එම ගෙඩි වල පිට පොත්ත රැලි වැටීම සිදුවේ. මෙවැනි ගෙඩිද තවත් දින 3-4ක් මදයේ ගුණාත්මයට හානි නොවී තබාගත හැකිය.



මල් හටගෙන අස්වනු නෙලීම  උඩරට ප්‍රදේශ සඳහා නිර්දේශිත දම් පැහැති වර්ගය දින 90 කදී ද සිදු කල හැකිය.දම් පැහැති වර්ගයේ තද දම් පැහැයක් තිබිය යුතුය. අධික වශයෙන් පොත්ත රැලි වැටී හෝ මතුපිටින් එබී ගිය ස්වභාවයක් තිබීම සුදුසු නැත.


අස්වනු නෙලීමට සුදුසු අවස්ථාවේ ඇති ගෙඩි තෝරා ගැනීමට ගෙඩියේ පැහැය වෙනස් වීම අනුව පහසුවෙන් සිදුකල හැකිය.



තවද වියළ කාලගුණයක් ඇති විට පමණක් අස්වනු නෙලා ගන්න. ගෙඩියෙහි පිට පොත්තෙහි ජලය තැවරී ඇති ගෙඩි ගබඩා කරනු ලැබූවිට පොත්ත ඉක්මනින් දුර්වර්ණ වේ.

වැල් දොඩම් වගාවක ආර්ථික ජීවින කාලය වසර 5 පමණ වේ. වගාවේ උපරිම අස්වැන්න ලැබෙන්නේ වසර 3 ගතවූ පසුවය.
  • දම් පැහැති වර්ගයේ තද දම් පැහැයක් තිබිය යුතුය. අධික වශයෙන් පොත්ත රැලි වැටී හෝ මතුපිටින් එබී ගිය ස්වභාවයක් තිබීම සුදුසු නැත.
  • කහ පැහැති වර්ගයේ පිට පොත්තෙහි ඒකාකාරී කහ පැහැයක් හෝ දිලිසෙන සුලු ස්වභාවයක් තිබිය යුතුය. මදයේ වර්ණය ලා කොල පැහැති කහ විය යුතුය. ආවේණික සුවඳින් විය යුතුය.
අස්වනු සැකසීම හා ඇසිරීම


අස්වැන්න ගබඩා කිරීම හා ප්‍රවහනය

නෙලාගත් අස්වැන්න හැකි ඉක්මනින් ඵල එකතු කරන මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කල යුතුය. අස්වනු නෙලීමේදී හා ප්‍රවාහණයේදී ගෙඩි තැලීම වලක්වා ගත යුතුය. අස්වැන්න නෙලීමෙන් පසු කල් ගතවෙත්ම ගෙඩිවල බර අඩු වේ. පොත්ත රැලි වැටී විරූපී වේ.

රෝග හා පළිබෝධ හානි

කෘමි හානි හා පාලනය

කූඩිත්තා

  • මොවුන් වැල් දොඩම් ශාකයේ යුෂ උරා බීම සිදු කරයි.
  • නමුත් මෙහි ආර්ථික හානියක් සිදු නොමැත.
  • නමුත් වැල් දොඩම් වෛරස් රෝගය පතුරවන වාහකයා වශයෙන් ක්‍රියා කරන නිසා කූඩිත්තා මර්ධනය කිරීම ඉතා වැදගත්ය.
  • මේ සඳහා ග්ලිරිසීඩියා, පොඩිසිඤ්ඤාමරන්, වතුපාළු වැනි කූඩිත්තාගේ අතරමැදි ධාරක ශාක වර්ග වගාව අවට වැඩීමට ඉඩ නොදෙන්න.


වැල් කපන කුරුමිණීයා

  • දිගැති සිරුරක් සහිත කළු කුරුමිණියකි.
  • රාත්‍රී කාලයේදී ක්‍රියාකාරී වන මෙම කුරුමිණියා වැඩිපුර දැකිය හැකි වන්නේ දෙසැම්බර් ජනවාරි කාල වලදීය.
  • වැල් දොඩම් වගාවට හානි සිදු කරන්නේ ගැහැණු සතාය.
  • බිත්තර දැමීම සඳහා කෘමියා විසින් රාත්‍රී කාලවලදී බෝගයේ ප්‍රධාන වැලකපා දමයි.
  • කපා දැමූ වැල්වල පොත්ත තුල බිත්තර තැම්පත් කිරීමෙන් දින 8දී පමණ කීටයන් බිහි වේ.
  • කපා දැමීම නිසා මැරී ගිය වැල්වල ලීය තුල කුඩා කීටයන් උමං සාදමින් ක්‍රමයෙන් වර්ධනය වේ.
  • කීට අවධිය සඳහා වසරක පමණ දිගු කාලයක් ගත වේ.
  • ඒ නිසා කීටයාගේ වර්ධනයට ප්‍රමාණයෙන් විශාල ප්‍රධාන වැල් පමණක් බිත්තර දැමීම සඳහා කෘමි සතා විසින් තෝරා ගනි.


පාලනය

  • හානිය නිසා මැරී වියළි ගිය සියලුම වැල් වගාවෙන් ඉවත් කර පුළුස්සා දැමීම නිසා බිත්තර හා කීට අවස්ථා විනාශ වේ.
  • මෙම හානිය දරුණු අවස්ථාවල අඩු සාන්ද්‍රනයක් ඇති තාර දියරවල කෘමිනාශකයක් මිශ්‍ර කර වැල්වල කදෙහි පහල කොටසේ ආලේප කරන්න.


වැල් මහත් වන තත්ත්වය

මෙය වැල්දොඩම් වැල්වල ප්‍රධාන කදේ මෙන්ම කම්බිය දිගේ දිවෙන පාර්ශ්වික ශාඛා වලද දක්නට ඇත. මුල් අවස්ථාවේදී කදේ පොත්ත පුපුරා පැලී යන ස්වභාවයක් ඇති අතර පසුව එම ස්ථානය මහත්වී වේලී යන තත්ත්වයක් ඇති වේ. මෙය එක් වරම සිදු නොවන නමුත් මෙම ස්ථානයට ඉදිරියෙන් ඇති වැල් කොටස් කහ පැහැතිවී වේලී මැරී යන තත්ත්වයක් ක්‍රමයෙන් ඇති වේ.

මේ දක්වා කර ඇති පර්යේෂණ හා නිරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ මෙය කෘමි / රෝගකාරක මඟින් ඇති නොවන බවය. වැල් පුහුණු කිරීමේදී වැල් පිළිබඳ මනා සැලකිල්ලක් දක්වමින් ඒවා ඇබරී යාම හෝ පිපිරී යාමට ඉඩ නොදී සිදු කිරීමෙන් මෙය බොහෝ දුරට පාලනය කරගත හැකි බව පෙනී ගොස් ඇත.


රෝග පාලනය

වැල් දොඩම් වෛරස් රෝගය

  • වැල් දොඩම් වගාවට විශාල ලෙස හානි පමුණුවයි.
  • අස්වැන්න බෙහෙවින් අඩු වන අතර ගුණාත්මයද අඩුය.
  • ගෙඩියේ පිට පොත්තේ විචිත්‍ර ලක්ෂණද කහ හෝ කොළ පැහැති තෙත් ස්වභාවයක් ගන්නා පුල්ලිද පිටතට නෙරාගිය ගැට වැනි ස්වභාවයක් ද ඇති වේ.
  • මීට අමතරව රෝගී ගෙඩි අස්වභාවිකව තද ගතියකින් යුක්තය.


පාලනය

  • වගාවට රෝගය වැලදීමෙන් පසු එය සුව කල නොහැකිය. නමුත් රෝගය පැතිරීම අඩු කර ගැනීම සඳහා පහත පියවරවල් අනුගමනය කල හැක.
  • වැල් වල දිරිය වැඩි කර ගැනීම සඳහා ක්‍රමානුකූලව පොහොර යෙදීම.
  • පළමු මාස 06 තුලදී වගාව පරීක්ෂා කර රෝගී වැල් ගලවා පුළුස්සා දමන්න.
  • වගාව අවට කූඩිත්තන්ගේ ධාරක ශාක ලෙස ක්‍රියා කරන වල් පැලෑටි විනාශ කරන්න.
  • වෛරස් වැළදී ඇති වගාවක් කප්පාදු කළ යුත්තේ අත්‍යාවශ්‍ය වූ විටදී පමණි.


මුල් කුණුවීම

  • පසේ ජීවත් වන පීතියම් ෆයිටොප්තරා වැනි දීලීර නිසා ඇති වන රෝගයකි.
  • මෙය තවාන් වල මෙන්ම ක්ෂේත්‍රයේ ඇති පැල වලටද ඇති විය හැකිය.
වැල්දොඩම් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු


වැල්දොඩම් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු

වැල්දොඩම් වගාව