ජමනාරන්




කුලය : Rutaceae

උද්භිද විද්‍යාත්මක නාමය : Citrus reticulata

නිර්දේශිත ප්‍රභේද

ප්‍රභේද


ජූසි


  • හොරණ පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයෙන් නිපදවන ලද මෙම ප‍්‍රභේදය අපේ රටේ පහත රට කලාපයේ වගාව සඳහා නිර්දේශ කර ඇත.
  • නැවුම් පලතුරක් සඳහා හා යුෂ නිෂ්පාදනයට මෙම වර්ගය යොදාගත හැකිය.
  • ප‍්‍රධාන අස්වනු වාර දෙකක් ඇත.
  • වසර පුරා පැතිරුණු අස්වැන්නක් ලබාදේ.
  • එක් ගසක් වසරකට කිලෝග‍්‍රෑම් 60 ක පමණ අස්වැන්නක් ලබාදේ.
  • ග‍්‍රෑම් 100 - 130 අතර බර විශාල ඵල දරයි.
  • මදය තැඹිලි පැහැයක් ගනි.

මධූ


මධූ ප්‍ර‍භේදයේ ශාකයක්
  • වැඩුණු ගසක් මීටර 2 - 2.5ක් පමණ වැඩේ.
  • ශාක වියන පැතිරුණු ස්වභාවයක් කරයි.
  • පත්‍ර ලා කොළ හෝ කහපාට විය හැක.
  • පත්‍ර ලංසාකාරය.
  • පත්‍ර වෘන්තය පියාපත් රහිතය.
  • ගසේ කටු රහිතය.
  • ඵලය රවුම් හෝ ඕවලාකාරය.
  • එහි කෙලවර තරමක් ඇතුලට නෙරා ඇත.
  • ඵල බීජ රහිතය. ඇතැම් විට බීජ 1-2ක් තිබිය හැක.
  • යුෂය ලා කහ හෝ ලා තැඹිලි පාටය.
  • නොමේරූ ගෙඩි තද කොළ පාට වන අතර පැසුණු විට ලා කොළ හෝ කහපාට කොළපාට විය හැක. (මෙය වගා කරන ප්‍රදේශය අනුව තීරණය වේ)
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )
මධූ ප්‍රභේදයේ ඵල


කහ ජමනාරං

හොරණ එහිමි 1



  • පොත්ත කහපාටය
  • බීජ රහිතයි.
  • පොතු ගැලීම ඉතා පහසුයි.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 120 කි.
  • වසර 4 කදී මීටර් 1.5 ක් පමණ උසැතිය වන අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.
  • අගෝස්තු - සැප්තැම්බර් හා අප්‍රියෙල් - ජූනි කාලවල ඵලදැරීම සිදුවේ.
  • පැණිරස ප්‍රමානය මණින Brix අගය 12.1 පමනවේ.
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )

හොරණ එහිමි 2






පොත්ත කහපාටය.

  • බීජ රහිතයි.
  • පොතු ගැලීම ඉතා පහසුයි.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම්100 කි.
  • වසර 4 කදී මීටර් 1.3 ක් පමණ උසැතිය වන අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.
  • අගෝස්තු - සැප්තැම්බර් හා මාර්තු -අප්‍රිෙයල් කාලවල ඵලදැරීම සිදුවේ.
  • පැණිරස ප්‍රමානය මණින Brix අගය 12.5 පමනවේ.
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )

හොරණ එහිමි 3



  • පොත්ත කහපාටය.
  • බීජ රහිතයි.
  • පොතු ගැලීම ඉතා පහසුයි.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 85 කි.
  • වසර 4 කදී මීටර් 1.3 ක් පමණ උසැතිය වන අතර මීටර 1.5-2 පත්‍ර වියන පැතිරේ.
  • අගෝස්තු - සැප්තැම්බර් හා මැයි -ජූනි කාලවල ඵලදැරීම සිදුවේ.
  • පැණිරස ප්‍රමානය මණින Brix අගය 11.4 පමනවේ.
  • ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ(අතර මැදි කලාපය )

ජමනාරං- ඉන්දු

  • මීටර් 2-2.5 ක් පමණ උසැතිය.
  • වසර 4 කදී මීටර් 2-2.5 ක් පමණ උසැතිය වන අතර මීටර 2-3 ක පත්‍ර වියන පැතිරේ.
  • ඵලයක සාමාන්‍ය බර ග්‍රෑම් 90-120 පමණ වේ.
  • පොත්ත පහසුවෙන් ගැලවේ.
  • ඉදි ඇති විට ගෙඩියේ මාංශලය දිප්තිමත් තැඹිලි පාටය.
  • ගෙඩියක බීජ 2 -8 පමණ තිඹේ
  • මිහිරි රසයෙන් යුතුය.
  • පහත රට තෙත් කලාපය සඳහා සුදසු වේ.


රහංගල වරනය

පලය පැතලි ගෝලාකාරය වේ.

  • යුෂ කහ තැඹිලි පැහැතියි.
  • පොත්ත පහසුවෙන් ගැලවේ.
ඌව, මධ්‍යම පළාත් සඳහා සුදසු වේ.
දේශගුණික අවශ්‍යතා හා පස
දේශගුනික අවශ්‍යතා


පොදු ජන වහරේ පැගිරි කුලය ලෙස හඳුන්වනු ලබන ශාක කුලයට පැණි දොඩම් සහ ජමනාරං යන දෙවර්ගයම අයත් වේ. මෙය විද්‍යාත්මකව හඳුන්වන්නේ රුටේසි ශාක කුලය ලෙසය. පැගිරි කුලයේ බෝග උපනිවර්තන දේශගුණික තත්ත්ව වලට වඩාත් හොඳ ප්‍රතිචාර දක්වයි. ලංකාව වැනි රටක පවතින විවිධ දේශගුණික කලාප තුල පැගිරි කුලයේ බෝග ව්‍යාප්තිය සැලකූවිට, ජමනාරං වගාව ශීත වියළි මෙන්ම තෙත් දේශගුණික කලාප වලද පැතිරී ඇති බව පෙනීයයි.

මෙලෙස ජමනාරං ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කිරීමට හැකිවීම මගින් එහි නිෂ්පාදනය ඉහල නංවා ගැනීමට හොඳ විභවයක් පවතී. එමගින් ආනයනික ජමනාරං ප්‍රමාණය අවමකර හොඳ ගුණාත්මයෙන් යුතු ජමනාරං නිපදවා ගැනීමට හැකිවනු ඇත.


කෙසේ වුව ද ජමනාරං වගාවේ සාර්ථකත්වය සඳහා ගසට මැනවින් සූර්යාලෝකය ලැබීම අතිශයින් වැදගත් වේ. වසරේ මාස එකක් දෙකක් පමණ හෝ කෙටි වියළි කාලගුණයක් පවතින විට ගස්වල මල් හට ගැනීම උත්තේජනය වේ.



පාංශු අවශ්‍යතා

හොදින් ජලවහනය වන කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු ලොම් පස වගාව සඳහා වඩාත් සුදුසුය. එසේම පසෙහි මීටර් දෙකක් පමණ ගැඹුරක් දක්වා වූ ප්‍රදේශයෙහි බොරළු හෝ තද පස් තටිටුවක් නොමැති වීමද වගාවේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය වේ.
මෙම බෝගය සඳහා පසෙහි තිබිය යුතු වඩාත් සුදුසු pH අගය 5-6 පමණ වේ. pH අගය මෙයට වඩා අඩු හෝ වැඩි වුවහොත් නොයෙක් මූලද්‍රව්‍ය විෂවීම් සහ ඌණතාවයන් නිසා වගාව දුර්වල වීමට ඉඩ තිබේ.
වගාවට සුදුසු භූමියක්

බිම් සැකසීම

බිම් සැකසීම

වගා කරන ඉඩම සෝදා පාළුවීම වළක්වා ගැනීම සඳහා සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න. ඉන් පසු නිසි පරතරයට අනුව පැළ සිටුවීම සඳහා වලවල් කපන්න.

රෝපණ ද්‍රව්‍ය

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා නිර්දේශිත වර්ගයකින් සාර්ථක බද්ද පැලයක් යොදාගැනීම ඉතා වැදගත් වේ.

වගා පිළිවෙත්

පරතරය

මීටර් 3.5 - 4.0 X 3.5 - 4.0 වන සේ යෝග්‍ය වේ. මේ අනුව හෙක. 1 ක් සඳහා 715 පමණ පැල ප්‍රමාණයක් යෙදිය හැකි වේ.

වලක් සකසා ගැනීම

  • 75 X 75X 75 සෙ.මී. ප්‍රමාණයේ වලවල් සැකසීම.
  • වලවල් කැපීමේදී මතුපිට පස් හා යටි පස් වෙනම ගොඩගැසිය යුතුයි.
  • දින කීපයක් වලවල් සූර්යාලෝකයට නිරාවරණය කරන්න.

පිරවීම

වලවල් හොඳින් දිරූ කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස් 1:1 පමණ වන සේ මිශ්‍රකර පිරවීම කළ යුතුයි. ඩොලමයිට් ග්‍රෑම් 500 ක් පමණ එක් වලකට වන සේ මිශ්‍රකර පිරවීම. වල පිරවීම කන්දක ආකාරයට සිදුකිරීම යෝග්‍ය වේ.

පිරවූ වල මැද කූඤ්ඤයක් ආධාරයෙන් සලකුණු කරන්න.

රෝපණ ද්‍රව්‍ය සකසා ගැනීම

සිටුවීම සඳහා නිර්දේශිත වර්ගයකින් සාර්ථක බද්ද පැලයක් යොදාගැනීම ඉතා වැදගත් වේ.

පැලය සිටුවීම

වලෙහි මතුපිට පස් ප්‍රමාණය පොළව මට්ටමේ සිට සෙ.මී. 5 - 10 පමණ උසින් වන සේ තුනී කරන්න. කුඩා වලක් රූපයේ ආකාරයට සකසන්න. එම වල පොළොව මට්ටමට වඩා සෙ.මී. 5 ක් පමණ වන තෙක් සකසන්න. පසුව එම වලෙහි තෝරාගත් පැලය පොලිතීන් බඳුන ඉවත්කර තැන්පත් කරන්න. මුල් අනවශ්‍ය ලෙස පහතට ඇතිවිට එම මුල් තිරස්ව නමා පැලය වලෙහි තැන්පත් කර නිසි ලෙස තද කරන්න.

සිටවූ පැලයට හොඳින් ජලය දමන්න.

පැලයට සති 1 - 2 පමණ කාලයක් සෙවනක් සැපයීම වැදගත් වේ. මේ සඳහා පොල් අතු හෝ සෙවන දැල් භාවිතා කරන්න.

නඩත්තුව

වර්ධනය වන අවධියේ දී අවශ්‍ය අවස්ථා වලදී ජලය සපයන්න. බද්ධ සංධියට පහළින් එන අංකුර කපා ඉවත් කරන්න. එමගින් ග්‍රාහක පැලයක් ඇතිවීම වැලැක්විය හැක.

නිර්දේශිත පොහොර දක්වා ඇති ආකාරයට යෙදීම වැදගත් වේ. වාර්ෂිකව කාබනික පොහොර පැලයකට කි.ග්‍රෑ. 10 ක් පමණවත් ලැබෙන සේ යෙදීම වැදගත් වේ.

ගස පුහුණු කිරීම

  • පැලය පලමු මාස කීපය තුලදී නිදහසේ වර්ධනය වීමට හරින්න.
  • ප්‍රධාන අතු 3 - 4 ක් ඇතිවන සේ ශාකය පුහුණු කර ගැනීම හොඳ අස්වැන්නක් සඳහා ඉතා වැදගත් වේ.
  • ගසෙහි පාදස්ථයේ සිට සෙ.මී. 25-30 පමණ උසක් වනතුරු අතු බෙදීම ආරම්භ වී නැත්නම් ගසේ අග්‍රස්ථය ඉවත් කරන්න. එවිට අතු බෙදීම ආරම්භ වේ.
  • ගස සමතුලිත වන සේ ප්‍රධාන අතු පුහුණු කිරීම වැදගත් වේ.
  • මේ සඳහා අතු තරමක් හැඩ කර කෝටු වැනි ආධාරකයක් මගින් යොමු කිරීම කල හැක.
  • දිය රිකිලි හා අනවශ්‍ය ලෙස ඉහළට වැඩෙන අතු කපා ඉවත් කිරීම.
  • මැරී යන කොටස් කපා ඉවත්කිරීම
  • ශාකය අභ්‍යන්තරයට වැඩෙන අතු ඉවත් කිරීම.
  • අතු ඉවත් කිරීම මල් හට ගැනීම අවසන් වූ පසුව කළ යුතුය.

වසර 2 - 3 පමණ ගත වන විට ශාකයේ ගෙඩි හටගැනීම ආරම්භ වේ. සාමාන්‍යෙයන් මල් හටගැනීම ජනවාරි අග පෙබරවාරි මුලදී පමණ සිදුවේ. මෙම තත්වය පවතින වර්ෂාපතන රටාව අනුව වෙනස් වේ. ඉතා අධිකව ඵල දැරීමක් වේනම් ඉතා විශාල හා ඉතා කුඩා ඵල ඉවත් කිරීම පොකුරු වශයෙන් ඇති වැඩි ඵල ඉවත් කිරීම මගින් ඵල තුනී කළ යුතුය..

තෙත් කලාපය සඳහා පොහොර නිර්දේශ (එක් ගසක් සඳහා)

යොදන අවස්ථාව

යූරියා

රොක් පොස්පේට්

මිටුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර (සිටුවීමට දින 2-3කට පෙර)

75

120

25

පළමු වසර තුලදී සෑම මාස 4කට වරක්

90

100

20

දෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

140

150

30

තෙවන වසර තුලදී සෑම මාස 4කට වරක්

190

200

50

ඉන්පසුව සෑම මාස 4 කට වරක්

150

225

110

පොහොර යෙදීමේදී සැලකිලිමත් වියයුතු කරුණු

  • පස තෙත්ව ඇති විට
  • හැකි පමණ පසට කලවම් වන ලෙස
  • දැඩි සූර්යා ලෝකයට නිරාවරණය නොවන සේ යොදන්න.
  • උපකරණ භාවිතා කරන විට හැකි පමණ මුල් වලට වන හානිය අවම කරන්න.

රසායනික පොහොර, කාබනික පොහොර නිර්දේශිත ලෙස යෙදූ පසුත් ශාක කහවීමක් පෙන්නුම් කරයි නම් සුදුසු දියර පොහොරක් වසරකට 4-5 ට වතාවක් යෙදීම කළ යුතුය.

ඩොලමයිට් යෙදීම

ආම්ලිකතාවය 5.5 ට වඩා අඩුනම් යෙදීම සුදුසුයි. මෙය වාර්ෂිකව වර්ග මීටරයකට 200 ග්‍රෑම් පමණ වන සේ එක් කළ යුතුයි. පස තෙත්ව ඇති විට යෙදිය යුතුය.

රසායනික පොහොර හා ඩොලමයිට් එකට මිශ්‍රව නොයෙදිය යුතුය.

අස්වනු නෙළීම

අස්වනු නෙලීම

ගෙඩියේ නටුව අවම දිගක් වනසේ ද හැකි පමණ නොතැලෙන අයුරින්ද සිදුකල යුතුය. නියමිත අවස්ථාවේදී පමණක් අස්වනු නෙලිය යුතුයි. නැතහොත් රසය හා ගුණාත්මය අඩුවිය හැක.