ජම්බෝල (පැඟිරි කුලයේ ශාක)



කුලය : Rutaceae

උද්භිද විද්‍යාත්මක නාමය : Citrus maxima

නිර්දේශිත ප්‍රභේද
ජම්බෝල - ප්‍රභේද (පැඟිරි කුලයේ ශාක)


වගා කළ හැකි ප්‍රභේද

 

ජම්බෝල HRPumello1



 

මෙම ජම්බෝල ප‍්‍රභේදය හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සොයා ගෙන ඇත.
බද්ධ කිරීම මඟින් පැළ නිෂ්පාදනය කර ගත හැක.
පැළ සිටුවා වසර තුනකින් පමණ මල් පිපීම ආරම්භ වේ.
මල් පිපී මාස 4.5 - 5ක් අතර කාලයේ ඵල හට ගැනීම සිදුවේ.
සාමාන්‍යයෙන් වසරේ පෙබරවාරි, මාර්තු හා අගෝස්තු මාස වල මල් හට ගැනීම සිදුවන අතර මැයි, ජූනි සහ ඔක්තෝබර්, නොවැම්බර් මාස වල ඵල හට ගනී.
ගෙඩියක සාමාන්‍ය බර ග‍්‍රෑම් 1900 ක් පමණ වේ.
ඵලාවරණය කහ පැහැති වර්ණයක් ගන්නා අතර මදය රෝස පැහැයට හුරු සුදු පැහැයක් ගනී.

 

ජම්බෝල HRPumello2

 

 
මෙම ජම්බෝල ප‍්‍රභේදයත් හොරණ පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් සොයා ගෙන ඇත.
බද්ධ කිරීම මඟින් පැළ නිෂ්පාදනය කර ගත හැක.
පැළ සිටුවා වසර තුනකින් පමණ මල් පිපීම ආරම්භ වේ.
මල් පිපී මාස 4.5 - 5ක් අතර කාලයේ ඵල හට ගැනීම සිදුවේ.
සාමාන්‍යයෙන් වසරේ පෙබරවාරි, මාර්තු හා අගෝස්තු මාස වල මල් හට ගැනීම සිදුවන අතර මැයි, ජූනි සහ ඔක්තෝබර්, නොවැම්බර් මාස වල ඵල හට ගනී.
ගෙඩියක සාමාන්‍ය බර ග‍්‍රෑම් 1900ක් පමණ වේ. ඵලාවරණය කොළ පැහැයට හුරු කහ පැහැයක් ගන්නා අතර මදය රෝස පැහැයක් ගනී.



බීජ මඟින් පැළ නිපදවීම නිසා ජම්බෝලවල විශාල විවිධත්වයක් දක්නට ලැබේ මෙම වර්ග ප්‍රධාන වශයෙන්,

  • රතු ප්‍රභේදය
  • සුදු-රතු අතරමැදි ප්‍රභේද
  • සුදු ප්‍රභේද

ලෙස වර්ග කළ හැක.


රතු ප්‍රභේදයේ ජම්බෝල ඵල


සුරත් වරණය

  • ඵලය විශාලය.
  • බර ග්‍රෑම් 1400 පමණ වේ.
  • පොත්තේ ඝනකම සෙ.මී. 1.5ක් පමණ වේ.
  • මදය රතු පැහැතිය.
  • යුෂ ප්‍රමාණය වැඩිය.
  • යුෂය පැණි රසකින් යුක්තය.
  • බ්‍රික්ස් අගය 11ක් පමණ වේ.
  • රේණු ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. මෘදුය.
  • කෑමෙන් පසු දැනෙන තිත්ත ගතිය ඉතා අඩුය.
  • වසර පුරාම ඵල දරයි.

සුරත් වර්ණයේ ජම්බෝල ඵල


P- 4 වරණය

  • ගස මධ්‍යම ප්‍රාමාණයට වැඩි.
  • ඵලය ද මධ්‍යම ප්‍රමාණය වන අතර බර ග්‍රෑ.750ක් පමණ වේ.
  • පොත්තේ ඝනකම සෙ.මී. 2ක් පමණ වේ.
  • ඵලයේ මදය රෝස - සුදු පැහැතිය.
  • යුෂය තරමක් පැණි රසකින් යුක්තය.
  • ආම්ලික ගතිය ද අඩුය.
  • බ්‍රික්ස් අගය 9ක් පමණ වේ.
  • කෑමෙන් පසු සුළු තිත්ත ගතියක් දැනේ.

P- 4 වරණයේ ජම්බෝල ඵල

දේශගුණික අවශ්‍යතා හා පස

පාංශු හා දේශගුනික අවශ්‍යතා

විශාල පරාසයකට අයත් පස් වර්ගවල වගාකල හැකි වුවත් ජල වහනය හොදින් සිදුවන ඝන පස් තට්ටු හෝ බොරළු වලින් තොර මීටර් දෙකක් පමණ ගැඹුරු භූගත ජල මට්ටම පස මතුපිට සිට මීටර් එකකට වඩා පහලින් පිහිටන සැහැල්ලු පස් වඩාත් සුදුසුය.
හොදින් හිරු එළිය අවශහ්‍ය වන අතර මි.මී. 1750 - 2000 පමණ වාර්ෂික වර්ෂාපතනයක් අවශ්‍ය වේ. ඵල හට ගැනීම උත්තේජනය කිරීමටත් ඵල හොඳින් මේරීමටත් වර්ෂය තුල මාස 1-2 නිශ්චිත වියළි කාලයක් සහ අඩු වායුගෝලීය තෙතමනයක් තිබීම අවශ්‍යවේ.

සරුසාර ජම්බෝල ශාකයක්

රෝපණ ද්‍රව්‍ය
රෝපන ද්‍රව්‍ය සකසා ගැනීම

ජම්බෝල බීජ ප්‍රරෝහනය කර ලබා ගන්නා පැළ මඟින් මෙන්ම බද්ධ කරන ලද පැළ මඟින් ද සිටුවිය හැක. ප්‍රරෝහනය කර ලබා ගන්නා පැළ සිටවූ විට ප්‍රභේදය වෙනස් වන අතර ගස්වල ඵල හට ගැනීමට වැඩි කාලයක් ගත වේ. ගස් විශාලත්වයෙන් වැඩි වේ. එසේම වගාවේ විවිධ ගස්වල එකිනෙකට වෙනස් ලක්ෂණ පැවතීමට ඉඩ තිඹේ බීජවල බහු කළලතාවය නැති හෙයින් ඇතිවන සියලුම පැළ ලිංගික පැළ වන නිසා මෙම වෙනස්කම් සිදුවේ.
 
නමුත් අතිශයින් හානිදයක වන ට්‍රිස්ටෙසා වෛරස් රෝගය බීජ පැළ මඟින් නව වගාවක් කරා ව්‍යප්ත නොවීම වාසියකි.

 

ජම්බෝල බීජ

 
බද්ධ කරන ලද පැළ සිටුවීම සඳහා යොදා ගන්නා විට විශේෂයෙන් ට්‍රිස්ටෙසා වෛරස් රෝගය වැනි රෝග එම පැළ සමඟ නව වගාව වෙත බෝවීමට ඉඩ තිඹේ එ නිසා බද්ධ පැළ නිපදවා ගැනීමේ දි නිරෝගී මවු ශාක වලින් පමණක් අංකුර ලබා ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
මෙම අවදානම නොපවතී නම් බීජ පැළ සිටවූ වගාවක දැකිය හැකි වෙනත් අයහපත් ලක්ෂණ බද්ධ පැළ සිටවූ වගාවක ඇති නොවේ.


ජම්බෝල බද්ධ පැලයක්


බීජ පැළ සකසා ගැනීම


සිටුවීම සඳහා බීජ පැළ සකසා ගැනීමේ දි පළමුව සුදුසු ගුණාංග සහිත මව් ගස් තෝරා ගන්න. වසරක් පාසා සතුටුයක අස්වැන්නක් ලබා දිම, මිහිරි රසැති විශාල ගෙඩි හටගැනීම, රෝග හා කෘමි හානිවලට ඔරොත්තු දීම වැනි ලක්ෂණ සහිත ගස්වලින් හොදින් ඉදි ඇති ගෙඩි ලබාගෙන බීජ වෙන්කර ගන්න.
ගෙඩිවලින් වෙන්කරගත් විගස බීජ හොදින් සෝදා හැකි ඉක්මණින් තවාන් කරන්න. එසේ නැතහොත් බීජවල ජීව්‍යතාවය ඉතා ඉක්මනින් නැතිවී යා හැක.

සුදුසු ගුණාංග සහිත මව් ශාකයක්


තවාන් කිරීම

වැලි තවාන

මේ සඳහා පිරිසිදු සියුම් ගංගා වැලි භාවිතා කර සෙ.මී. 15 - 20 පමණ උස මීටරයක් පමණ පළල තවානක් සකසා ගන්න.
බීජ තවාන් කළ යුත්තේ එකිනෙකට සෙ.මී. 5ක් පරතරයට වූ පේලිවල සෙ.මී. 4ක් පමණ දුරකින් හා සෙ.මී. 1ක් පමණ ගැඹුරකිනි. පේළිය තුළ බීජ 2ක් අතර පරතරය සෙ.මී. 3ක් පමණ වන සේ පවත්වා ගන්න. බීජ සිටුවීමෙන් පසුව පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යකින් තවාන් වසුන් කරන්න.

තවාන සැකසීමට ගන්නා පිරිසිදු ගංගා වැලි

බීජ පැළවීමට දින 7-14ක් පමණ කාලයක් ගත වේ. තවාන වියළී යාම වළක්වා ගැනීම සඳහා වරින්වර ජලය සපයන්න. වැලි තවානේ බීජ පැළවී සති 3ක් පමණ ගතවූ පසුව බඳුන් කළ හැක.

බීජ පැළවී ඇති වැලි තවානක්


ස්ථිර තවාන
 
වැලි තවානක් නොදමා ස්ථිර තවානක ද බීජ පැළ කර ගැනීමට පුළුවන. මේ සඳහා පළමුව මීටරයක් පමණ පළල පාත්ති සකසා ගන්න.
 
මතුපිට පස් සහ හොඳින් දිරාපත් වූ කොම්පෝස්ට් පොහොර සල්ලඩයකින් හලා ගෙන සම ප්‍රමාණ වලින් එකිනෙක සමඟ මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය සකසා ගත් තවාන් පාත්තිය මතුපිට සෙ.මී. 15ක් පමණ ඝනකම් තට්ටුවක් ලෙස අතුරන්න.
 
මෙම සියුම් තවාන් මිශ්‍රණය මත එකිනෙකට සෙ.මී. 10ක පරතරයකින් සෙ.මී. 1ක පමණ ගැඹුරකින් බීජ දමන්න. පේලිය තුළ බීජ 2ක් අතර පරතරය සෙ.මී. 5ක් පමණ පවත්වා ගන්න.

මිශ්‍ර කරගත් වැලි හා කොම්පෝස්ට්

වැලි තවානෙන් ගලවා පොලිතීන් බඳුන්වල සිටුවීමෙන් පසු පැළ වැඩෙන වේගයට වඩා වැඩි වේගයකින් මේ අන්දමට සකසා ගත් තවානක පැළ වර්ධනය වේ. එනිසා වඩා ඉක්මනින් ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු තත්ත්වයකට පත් වීමට මෙවැනි පැළ වලට හැකි වේ.

ජම්බෝල පැළවලට ශක්තිමත් මූල පද්ධතියක් තිබේ එනිසා මේ අන්දමට හොෙදින් වැඩී ඇති පැළ නැවත බඳුන් කිරීමේදී පැළ මැරීයාමේ අවදානම අඩුය.

 

සිටුවීමට සකසන පොලිතින් බදුනක්


වැලි තවානෙන් හෝ තවානෙන් ගලවා ගන්නා පැළ සෙ.මී. 20ක් පමණ විෂ්කම්භයක් සහිත සෙ.මී.30ක් පමණ උස පොලිතීන් බඳුන්වල සිටුවන්න. ඒ සඳහා වැලි, මතුපිට පස් සහ කොම්පෝස්ට් සම ප්‍රමාණ වලින් මීශ්‍ර කර මෙම බඳුන් පුරවන්න.
 
කෙසේ වුවද බඳුනේ ඉහල කෙලවර සිට සෙ.මී. 1- 1 1/2 පමණ පහලින් සිටින සේ බඳුන් මිශ්‍රණය පිරවීම වැදගත් වේ. එවිට බඳුන් වලට යොදන ජලය අපතේ නොයයි. වැලි තවානෙන් ගලවා පොලිතින් බඳුන්වල සිටුවන පැළ ක්ෂේත්‍රෙය් සිටුවීමට සුදුසු තත්ත්වයට පත් වීමට මාස 5 - 6 පමණ කාලයක් ගත වේ.

සිටුවීමට සැකසූ පොලිතින් බදුනක්

නමුත් ස්ථිර තවානේ හොදින් වැඩීමට සැලැස්වීමෙන් අනතුරුව මෙවැනි බඳුන්වල සිටවූ පැළ සති තුනක පමණ කාලයක් ගතවූ පසුව ක්ෂේත්‍රයේ සිටුවීමට හැක. කෙසේ වුවද ක්ෂේත්‍රයේ සිටුවීමට පෙර මෙම පැළ දැඩිකර ගැනීම වැදගත්ය.
 
සිටුවීම සඳහා යොදා ගත යුතු දිරියෙන් වැඩි බීජ පැළ පමණකි. එනිසා අවශ්‍ය පැළ සංඛ්‍යාවට වඩා දෙගුණයක් පමණ පැළ ලබාගත හැකි වන සේ සෑහෙන බීජ සංඛ්‍යාවක් තවාන් කළ යුතුයි.

 

සිටුවීමට සැකසූ පැළ

බද්ධ පැළ නිපදවා ගැනීම

බහු කළලතාවය (එක බීජයකින් පැළ කිහිපයක් හට ගැනීම) නොමැති හෙයින් බීජ වලින් හට ගනුයේ ලිංගිකව හට ගන්නා පැළ පමණි. මෙම පැළ වලින් පිහිටුවන වගා ඒකාකාරී නොවන අතර ලැබෙන ඵලවල ගුණාත්මය ද විවිධය.

මේ නිසා උසස් ගුණාත්මයෙන් යුතු පැළ සහිත ඒකාකාරී වගාවක් ඇතිකර ගැනීමට වර්ධක ප්‍රචාරණ ක්‍රම (බද්ධ ක්‍රම) මඟින් නිපදවා ගත් පැළ සිටුවිය යුතුය. මේ සඳහා ද පළමුවෙන්ම කළ යුතු වන්නේ ග්‍රාහක සඳහා අවශ්‍ය බීජ පැළ නිපදවා ගැනීමයි.

බහු කළලතාවය දැක්වූ බීජයක්

ග්‍රාහක පැළ නිපදවා ගැනීම සඳහා බීජ ලබාගත යුතු වන්නේ උසස් අස්වැන්නක් ලබා දෙන ගසකිනි. එසේම බීජ ලබා ගන්නා ගසේ ලෙඩ රෝගවලට ඔරොත්තු දිමේ හැකියාව කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කළ යුතුය.
ග්‍රරාහක සඳහා පැළ නිපදවා ගැනීම පිලිපීන් රෙඩ් ලයිම් හා නස් නාරං බීජ බහුලව යොදා ගනී. සිටුවීම සඳහා බීජ පැළ සකසා ගන්නා ආකාරයටම මෙම බීජ වැලි තවානක හෝ ස්ථිර තවානක දමා පැළ කරගන්න.

ග්‍රාහක ලෙස ගන්නා රෆ් ලෙමන්

ඉන්පසු සෙ.මී. 20 පමණ විෂ්කම්භයක් සහිත සෙ.මී. 25-30 පමණ උසැති පොලිතීන් බඳුන් වල නැවත මෙම පැළ සිටුවන්න. මෙකී පැළ වල වයස මාස 5 - 6 වූ පසුව බද්ධ කිරීම සඳහා සුදුසු වේ.

මෙම බෝගයෙහි බද්ධ පැළ නිපදවා ගැනීම සඳහා වඩාත් සාර්ථක කූඤ්ඤ බද්ධ ක්‍රමයයි. නමුත් “ටී“ බද්ධ ක්‍රමය ද බොහෝවිට සාර්ථක වේ. බද්ධ කල පසු බද්ධ සන්ධිය පොලිතීන් පටියකින් වෙලා සම්පූර්ණ පැළයම විනිවිද පෙනෙන පොලිතීන් බෑගයකින් ආවරණය කරන්න.

ඉන්පසු 40% - 50% සෙවන ලබා දෙන දැල් ආවරණයක් තුල තබන්න. බද්ධය සාර්ථක වීමට සාමාන්‍යයෙන් සති තුනක් පමණ ගතවේ. ළපටි පත්‍ර මතුවන විට පියවරෙන් පියවරට ආවරණ ඉවත් කිරීම යෝග්‍ය. සාර්ථක බද්ධ පැළ සති 4-6දී සම්පුර්ණ හිරු එළියට නිරාවරණය කළ යුතුයි.

බද්ධ කිරීමට සුදුසු ග්‍රාහක

වගා පිළිවෙත්

ක්‍රේෂ්ත්‍රය සැකසීම

වගා කරන ඉඩම සෝදා පාළුවීම වළක්වා ගැනීම සඳහා සුදුසු පාංශු සංරක්ෂණ ක්‍රම අනුගමනය කරන්න. ඉන් පසු නිසි පරතරයට අනුව පැළ සිටුවීම සඳහා වලවල් කපන්න.


පරතරය

තනි වගාවක් ලෙස වගා කරන්නේ නම්,

පරතරය - මීටර් 4 « 5

වලක ප්‍රමාණය - සෙ.මී. 60 « 60 « 60

හෙක්ටයාර එකකට පැළ ගණන - 550

මීට පාළු සිටුවීමට අවශ්‍ය පැළ සංඛ්‍යාව ද ඇතුලත්ය.

පැළ සිටුවිය යුතු පරතරයක්

මතුපිට පස් හා කාබනික පොහොර සම සමව ගෙන මිශ්‍රකර සාදාගත් මිශ්‍රණයෙන් පැළ සිටුවීමට සති 1-2කට පෙර වලවල් පුරවන්න. පසෙහි ආම්ලික බව වැඩි නම් එනම් පී.එච්. අගය 4.5ට වඩා අඩුනම් මෙවැනි වලකට ඩොලමයිට් කිලෝ ග්‍රෑම් 3 පමණ ද යොදා පස් සමඟ හොඳින් කලවම් කරන්න.
 
ඩොලමයිට් යොදා අවම වශයෙන් සති 2ක් පමණ ගතවූ පසුව මූලික පොහොර ලෙස සෑම වළකටම යෙදිය යුතු නියමිත රසායනික පොහොර ප්‍රමාණය යොදා පස් සමඟ මිශ්‍ර කරන්න.

වල පිරවීම


පැළ සිටුවීම

මෙසේ සකසා ගත් වල තුල පස හොඳින් තැන්පත් වූ පසු පැළය සිටුවිය යුතුයි. පැළයේ මූල කොටස පමණක් පසට යටවන සේ පැළය සිටුවීම ඉතාමත් වැදගත්ය . බද්ධ පැළවල බද්ධ සංධිය පසට යටවුව හොත් එම පැළ ඉක්මනින්ම දුර්වල විය හැක.

කෙසේ වුවද මූලික පොහොර යෙදිම පැළය සිටුවන අවස්ථාවේ ද කළ හැකිය. නියමිත මූලික පොහොර ප්‍රමාණය පැළය වටා විසුරුවා හැර යන්තම් පසට මිශ්‍රකර පැළය වටා බේසම් ආකාරයට පස සකස් කර ජලය සපයන්න.

පැළය සිටුවීම

එසේම වියළි තණකොළ වැනි ද්‍රව්‍යය භාවිතා කර ගස වටා වසුනක් යොදන්න. බද්ධ පැළයක් ක්‍රේෂ්ත්‍රයේ සිටවූ විට 50%-60% සෙවන ලබා දී සති 4-6 නඩත්තු කර පසුව ක්‍රමයෙන් සෙවන ඉවත් කළ යුතුයි.
සාමාන්‍යයෙන් වර්ෂා කාලය ආරම්භ වීමත් සමඟ පැළ සිටුවනු ලැබුවද ජල සම්පාදනය කළ හැකි නම් වසරේ ඕනෑම අවස්ථාවක පැළ සිටුවිය හැකිය.

පැළය වටා වසුනක් යෙදීම


පොහොර යෙදිම

සිටුවන අවස්ථාවේ මූලික පොහොර යෙදූ පසු වසරක් පාසා ගසකට අවශ්‍ය පොහොර ප්‍රමාණය යෙදිය යුතුයි. රසායනික පොහොර වලට අමතරව කාබනික පොහොර ගසේ විශාලත්වය අනුව අවශ්‍ය ප්‍රමාණ වලින් යෙදිය යුතුයි.
ජල සම්පාදන පහසුකම් තිබේ නම් වසරකට ගසකට අවශ්‍ය පොහොර ප්‍රමාණය සමාන කොටස් හතරකට බෙදි වසරකදි මාස තුනකට වරක්ද , වර්ෂාපෝෂිත වගාවක් නම් සමාන කොටස් දෙකකට බෙදා දෙවරක් ද යෙදිය යුතුයි.


යොදන රසායනික පොහොර මිශ්‍ර කිරීම

පොහොර යෙදිම කල යුත්තේ ගසේ අතු විහිදි ඇති ප්‍රමාණය තුල ගසවටා විසුරුවා හැර පසට මිශ්‍ර කිරීමෙනි. මේ සඳහා උදලු මුල්ලුවක් භාවිතය වඩාත් සුදුසුය. පොහොර යොදා වසුනක් යෙදිම කළ යුතුයි.

පොහොර යොදා වසුන් යෙදීම


වල් මර්දනය

ජම්බෝල වගාවක මුළු ක්ෂේත්‍රයේම වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම අවශ්‍ය නොවේ. ගස් වටා අතු විහිදී ඇති ප්‍රදේශය පමණක් වල් පැළෑටි වලින් තොරව තබා ගැනීම ප්‍රමාණවත්ය. ඉතිරි කොටසේ වැඩෙන වල් පැළ කැති ගැසීමෙන් කපා දැමීම ප්‍රමාණවත්ය. වල් මර්දනය කිරීමේදි කඳේ පාදස්ථයට හා මුල් වලට හානි නොවන සේ එය කල යුතුයි. කඳට හානි සිදුවුවහොත් පාදස්ථ කුණුවීමේ රෝගය පහසුවෙන් ඇති විය හැක. එබැවින් වසුන් යොදා හෝ පැරකොට් වැනි වල් නාශකයක් යොදා ගස වටා වල් මර්දනය වඩාත් සුදුසුය.

ගස් වටා ඇති තෘණ විසි කැති කිරීම


ජල සම්පාදනය

මනා වර්ධනයක් සඳහා වසර පුරාම හොඳ ජල සැපයුමක් තිබිය යුතුයි. මල් හට ගැනීමට පෙර කෙටි වියළි කාලයක් තිබිය යුතුය. මල් හට ගැනීම උත්තේජනය වූ පසු පසේ තෙතමනය ගෙඩි මෝරණ තෙක් පවත්වාගෙන යා යුතුය. නැතහොත් මල් සහ කුඩා ඵල හැලීයාම සිදුවේ. ඵල හට ගැනීමෙන් පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජල සැපයුම ප්‍රමාණවත්ය. සම්ප්‍රදායික ක්‍රම වලට වඩා ජල සම්පාදන ක්‍රම වඩාත් සුදුසුය. මෙමඟින් ගස වටා සම්පූර්ණ මූල මණ්ඩලය තෙත්වීම සිදුවේ.


කුඩා ගැට හට ගැනිම


ගස් පුහුණු කිරීම හා කප්පාදුව

හොඳ ඵලදාවක් ලබා ගැනීමටත්, බෝග පාලන කටයුතු පහසුකර ගැනීමටත්, අලංකාර වගාවක් ඇති කර ගැනීමටත්, පැළ පුහුණු කිරීම අවශ්‍ය වේ. පැළය සෙ.මී. 45 - 60 පමණ තනි කඳක් සේ වැඩීමට එම කොටසේ හට ගන්නා රිකිලි සියල්ලම ඉවත් කල යුතුයි.

ගස් පුහුණු කළ යුතු අයුරු

මෙසේ කිරීමෙන් ග්‍රාහකයෙන් හට ගන්නා රිකිලි ද ඉවත් වීමෙන් වගාවට වන හානිය ද මග හරවා ගත හැක. පැළය සෙ.මී. 45 - 60 ක් පමණ උසට වැඩුණු පසු එයට ඉහලින් සෙ.මී. 15ක් පමණ පරතරය සහිතව ගස වටා සමබරව සිටින සේ අතු 3-4ක් වැඩීමට ඉඩ දි අනෙක් අතු ඉවත් කල යුතුයි.

මෙලෙස ගසේ ප්‍රධාන සැකිල්ල සපයා ගත්පසු පළල් කෝන සහිතව අතු වැඩීමට සැලැස්වීමෙන් තිරස්ව පැතිරුන ශාක වියනක් සහිත ගසක් සකසා ගත හැක. මෙවිට ගසේ ඵල හටගන්නා රිකිලි ප්‍රමාණය වැඩිවී අස්වැන්න ද වැඩි වේ.

ගස් පුහුණු කළ යුතු අයුරු

පැළයක් මුල් අවස්ථාවේදීම හොදින් පුහුණු කර වැඩීමට සැලැස්වුවහොත් පසුව අවශ්‍ය වන කප්පාදුව අවම කර ගත හැක.
කප්පාදු මගින් රෝගි අතු, දුර්වල හා මැරුණු අතු හා ගසට අනවශ්‍ය ලෙස සෙවන ඇති කරන අතු ඉවත් කෙරේ. මෙමගින් ගසේ ඵලදායිතාවය ඉහල නංවාගත හැක. හොදින් පුහුණු නොකළ වගාවක නම් වැඩිපුර කප්පාදු කිරීමට සිදුවන අවස්ථා ඇත. එහෙත් එකවර වැඩිපුර කප්පාදු කිරීම වගාවට සුදුසු නැක.
 
වැඩිපුර කප්පාදු කලවිට මල් හට නොගන්නා ගසක් නම් මල් හට ගැනීමට ගතවන කාලය තවත් වැඩි වීමත්, ඵල දරණ ගසක් නම් ඵල හට ගැනීම අඩු වීමත් සිදුවිය හැක.
 
ඵල දරණ ගස් කප්පාදු කිරීම කල යුත්තේ අස්වනු නෙලාගත් පසුවය. මල් පිපීමට ආසන්න කාලයේ දී කප්පාදු කලහොත් ගසේ වර්ධක වර්ධනය උත්තේජනය වී මල්හට ගැනීම අඩුවිය හැක. කප්පාදුව තද වියළි හා තද වැසි සහිත කාලවල නොකල යුතුයි.

පුෂ්ප පිපීමට ආසන්න ශාකයක්

කප්පාදුවෙන් පසු කැපුම්වල කැන්ඩසාන් වැනි ද්‍රව්‍යයක් ආලේප කල යුතුයි. එයින් කැපුම් වලින් වන ජල හානියක් හා දිලීර ආසාදනයක් මගහරවා ගත හැක.

ගෙඩි හටගැනීම ප්‍රමාද වීම

හොදින් වැඩී ඇතත් සමහර ගස්වල ගෙඩි හට ගැනීම සිදු නොවීම වගාකරුවන්ට විශාල ගැටළුවකි. මෙවැනි ගස්වල ගෙඩි හට ගැනීම උත්තේජනය කර ගැනීම සඳහා පහත සඳහන් කටයුතු එකක් හෝ කිහිපයක් අනුගමනය කිරීම අවශ්‍ය විය හැකිය.

 

කප්පාදු පෘෂ්ඨවල දිලීරනාශක ආලේපය

  • ගසට හොඳින් හිරු එළිය ලැබීමට සලස්වන්න. මේ සඳහා ගසට සෙවන ඇතිවන වෙනත් ගස්වල අතු කපා ඉවත් කරන්න.
  • ගසේ ප්‍රධාන අතුවල පොල් ලෙලි වැනි එල්ලන්න. මෙවිට එම අතුවලට හොදින් එළිය ලැබේ. නමුත් මෙය කළ යුත්තෙ අතුවලට හානි නොවන පරිදිය.
  • ප්‍රධාන අතු කිහිපයක කඳ වටා පොත්ත ලෙස ඉවත් කරන්න. නමුත් සම්පූර්ණ වල ආකාරයකට පොත්ත ඉවත් කිරීම සුදුසු නැත.

අතුවල පොල් ලෙලි එල්ලීම

අස්වනු නෙළීම
අස්වනු නෙලීම

හොදින් නඩත්තු කළහොත් බීජ පැළ සිටුවා වසර 4ක් පමණ ගතවූ පසු පළමු අස්වැන්න ලබාගත හැක. බද්ධ පැළ සිටුවා තිබේ නම් වසර 2-3 ක කාලයක ඵල හට ගනී.
ගෙඩියක් හොඳින් මේරීමට මාස 4 1/2 ක් පමණ ගතවේ. හොඳින් පැසුන ගෙඩි නෙලා නොගෙන තවදුරටත් ගසේ තිබීමට හැරියහොත් ගෙඩියේ යුෂ නැවත ගසට උරාගන්නා හෙයින් ගෙඩි ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වේ. එමනිසා නියමිත කාලයේ දි අස්වනු නෙලීම වැදගත්ය.
 

පැසැණු ඵල දරන ශාකයක්

පොත්ත තුනීවීම, තද කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරීම හා ගෙඩියේ තද ස්වභාවය අඩුවීම වැනි ලක්ෂණ මඟින් පැසුණු ගෙඩි හඳුනාගත හැක. අස්වනු නෙලීම දවසේ පෙ.ව. 9.00 හා ප.ව. 4.00 අතර තුර කාලය වඩාත් සුදුසුය. පෙ.ව. 9.00 ට පෙර හා ප.ව. 4.00 න් පසු අස්වනු නෙලීමේ දි ගෙඩිවල තෙල් පැල්ලම් ඇතිවී ඒවායේ වෙළඳ වටිනාකම අඩුවිය හැක. ගෙඩි නෙලා ගන්නා විට බිම පතිත වීමට ඉඩ නොදෙන්න. නටුවේ කොටසක් ද සමඟ ගෙඩි නෙලා ගන්න. වෙළඳපොලට යැවීමට පෙර ගෙඩිය ආසන්නයෙන් නටුව කපා දමන්න.

නෙළන ලද අස්වැන්නක්

ජම්බෝල වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු