අන්නාසි (Pineapple)











කුලය - බ්‍රොමිලියේසි කුලය
උද්භිත විද්‍යාත්මක නාමය - Ananas comosus
නිර්දේශිත ප්‍රභේද

මුරුසි



  • මෙම ප්‍රභේදය ක්වීන් කාණ්ඩයට අයත් වේ.
  • නැවුම් පලතුරක් වශයෙන් වැඩි වශයෙන් ආහාරයට ගනී.
  • පත්‍ර කටු සහිතය. ගස මධ්‍යස්ථ ප්‍රමාණයකින් යුක්තයි.
  • අන්නාසි ගෙඩිය කේතු ආකාර හැඩයක් ගනී.
  • පොත්තේ වැඩි ගැඹුරකින් පිහිටා ඇති ඇස් පැහැදිලිව පිටතට නෙරා ඇත. ඉදුණු ගෙඩි වලින් ප්‍රසන්න සුවඳක් හමයි.
  • එවැනි ගෙඩිවල මදය තද රන්වන් කහ පැහැතිය. ඉදුණු විට ගෙඩියේ පිට පෙත්තේ පැහැය එහි රසයට කෙලින්ම සම්බන්ධතාවයක් දක්වයි.
  • පැණිරස බව වැඩිය. (Brix අගය 15) මේ වර්ගයේ ගසකින් වැඩි මෙරෙයියන් සංඛ්‍යාවක් ලබාගත හැක
  • සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්‍රක් ටොන් 16ක් වේ.
  • ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 1.5-1.8 පමණ වේ.



කිව්



  • මෙම ප්‍රභේදය කේයින් කාණ්ඩසට අයත් වේ.
  • ටින්වල ඇසිරීමට යොදා ගනී. පත්‍රවල කටු රහිතය. මුරුසි වලට වඩා ගස විශාලය.
  • ගෙඩිය බොහෝදුරට සිලින්ඩරාකාරය. (බැරල් හැඩති) පොත්තේ ඇති ඇස් විශාලය, පැතිලිය, නොගැඹුරින් පිහිටා ඇත.
  • නොමේරූ ගෙඩි කළුවන් කොළ පැහැතිය.
  • මුරුසි වලට සාපේක්ෂව ඉදුණු ගෙඩි වල ඇඹුල් රසය වැඩිය. (Brix අගය 11) මදය ලා කහ පාටය. මදය ලා කහ පාටය. ඉදෙන විට පොත්තේ පැහැය මගින් මදයේ රසය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම අපහසුය.
  • ගසකින් ලබාගත හැකි මොරෙයියන් සංඛ්‍යාව මුරුසි ප්‍රභේදයට වඩා අඩුය.
  • සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාර් එකකට මෙට්‍රක් ටොන් 25ක් වේ.
  • ගෙඩියක සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 2 - 2.5 පමණ වේ.
දේශගුණික අවශ්‍යතා හා පස
වසරකට මිලි මීටර් 1500-3000 ක පමණ වර්ෂාපතනයක් සහ සෙන්ටි ග්‍රේට් 24-32 පමණ උෂ්ණත්වයක් පවතින ප්‍රදේශ වගාව සඳහා සුදුසු වේ.


පස
වගාවට ඉතාම සුදුසු වන්නේ වැලි ලෝම පසකි. මැටි හෝ හුණු අධික පස් වගාව සඳහා නුසුදුසුය. එසේම හොඳින් ජලය බැස නොයන ඉඩම්වල ද වගාව සාර්ථක නොවේ. පී.එච්. අගය 5.5 - 6 ක් වූ තරමක් ආම්ලික ස්වභාවයක් ඇති, අභ්‍යන්තර ජල වහනය උසස් මට්ටමකින් පවතින, ලැටරයිට් (කබොක්) පස ද අන්නාසි වගාව සඳහා සුදුසුය.


වගා කළ හැකි කාලය

ඔක්තෝබර් නොවැම්බර්

වගා කළ හැකි ප්‍රදේශ

මේ අනුව පහතරට තෙත් කලාපයේ ගම්පහ, කොළඹ, කළුතර සහ ගාල්ල දිස්ත‍්‍රික්ක වල ද, පහතරට අන්තර් කලාපයේ කුරුණෑගල, හලාවත, වලස්මුල්ල,
බෙලිඅත්ත, මහඔය, පදියතලාව, මොණරාගල වැනි ප‍්‍රදේශයන්හි සහ මහවැලි සී කලාපය තුළ ද අන්නාසි වගාව ඉතා සාර්ථකව කළ හැකිය. උඩරට අතරමැදි
කලාපයට අයත් ප‍්‍රදේශ අතුරින් බදුල්ල සහ හාලිඇල ප‍්‍රදේශ අන්නාසි වගාව සඳහා ඉතා සුදුසුය.

අනුරාධපුර, මහවැලි බී කලාපය, ඇඹිලිපිටිය, හම්බන්තොට වැනි වියලි ප‍්‍රදේශවලද සාර්ථකව අන්නාසි වගාව සිදුකල හැකි බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

වියළි කලාපවල අන්නාසි වගා කරන විට අමතර ජල සම්පාදනයක් අවශ්‍ය වන අතර සෙවන සඳහා අතුරු බෝගයක් (කෙසෙල්, අඹ, දෙහි, ලෙමන්, පොල්, ග්ලිරිසීඩියා වැනි) ස්ථාපනය කල යුතුය.


බිම් සැකසීම

වෙනත් බෝගය මෙන් මූලික බිම් සැකසීම මඟින් පස පෙරලන්න.

පසුව සෙන්ටි මීටර් 20 ගැඹුර හා සෙන්ටි මීටර් 20 පළල කාණු සකසන්න. බෑවුම් සහිත ඉඩමක නම් කාණු දැමිය යුත්තේ සමෝච්ච ක්‍රමයට. ඉවත් කරන පස් බෑවුම ඇති දිසාවේ කුඩා වැටියක් සෑදෙන ආකාරයට සකස් කරන්න. තැනිතලා නම් නැගෙනහිර - බටහිර දිශාව ඔස්සේ කාණු කැපීම වඩා සුදුසුය.
රෝපණ ද්‍රව්‍ය
රෝපණ ද්‍රව්‍ය

විවිධ ආකාරයේ මොරෙයියන් සිටුවීම සඳහා භාවිතා කල හැකිය. මෙම මොරෙයියන්ගේ විශාලත්වය, ප‍්‍රභේදය, වගා කරන ප‍්‍රදේශය හා පාලන තත්ත්ව අනුව පහත දක්වා ඇති කාලයන් සුළු වශයෙන් වෙනස් විය හැක.




මොරෙයියන් වර්ග ස්වභාවිකව මල්හට ගැනීමට ගතවන
කාලය (මාස)

1. මුල් මොරෙයියන් 12 - 14
2. අක්‍ෂි මොරෙයියන් 12 - 14
3. නටු මොරෙයියන් 14 - 16
4. කරඩුව 18 - 20



බහුල වශයෙන් සිටුවීම සඳහා යොදා ගන්නේ අක්‍ෂි මොරෙයියන්ය. නටු මොරෙයියන් හා කරඩුව සිටුවීම සඳහා යොදා ගන්නේ මුල් හා අක්‍ෂි මොරෙයියන් ලබා ගැනීම අපහසු නම් පමණි. මෙයට අමතරව කඳ කැබලිවලට කපා සිටුවීමෙන් ද පටක රෝපණය මගින්ද පැළ නිපදවා ගත හැකිය.

කෙසේ වුවද ආර්ථිකව වඩා ඵලදායී වගාවන් සඳහා යෝග්‍ය වන්නේ අක්‍ෂි හා මුල් මොරෙයියන් පමණි. නටු මොරෙයියන් හා කරඩු සිටුවීමෙන් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම අපහසුය.

රෝපණ ද්‍රව්‍ය තේරීමේ වැදගත්කම

අන්නාසි ගසකින් විවිධ වර්ගයේ මොරෙයියන් හටගන්නා අතර සිටුවීම සඳහා වඩාත් යෝග්‍ය වන්නේ අක්‍ෂි (Axil suckers) සහ මුල් මොරෙයියන්ය ( Root suckers) මොරෙයියන්ගේ වර්ග, සිටුවන අවස්ථාවේ දී මොරෙයියාගේ ප‍්‍රමාණය (suckers size) අනුවද මල් හට ගැනීමට ගත වන කාලය වෙනස් වේ.



සිටුවීමට යොදා ගන්නා අක්‍ෂි හා මුල් මොරෙයියන් හි පත‍්‍ර 12 - 14 ත් අතර අවස්ථාවේ පැවතීම, සිටුවීමට සුදුසුම අවස්ථාව ලෙස සැලකේ. පත‍්‍ර 8 හෝ ඊට කුඩා මොරෙයියන් සිටුවීමට භාවිතා කලහොත් අස්වැන්න ලබා ගැනීමට වැඩි කාලයක් ගතවන නිසා වැඩිපුර මාස 3 - 4 ක් පමණ වගාව නඩත්තු කිරීමට, අමතර මුදලක් දැරිය යුතු වේ.

මේ හේතූව නිසා අන්නාසි ගෙඩියක නිෂ්පාදන වියදම ඉහල යනු ඇත. පත‍්‍ර 20 හෝ ඊට වඩා වැඩි ලොකු පැල සිටුවීමෙන් ඉක්මනින් අස්වැන්න ලබා ගත හැකි වුවද ගෙඩි කුඩා වීම නිසා අස්වැන්න අඩුවේ. මේ හේතු නිසා අන්නාසි වගාවක් අළුතෙන් ආරම්භ කරන ගොවීන් තම වගාව සඳහා පැල තේරීමේදී ඉතා කුඩා හෝ ඉතා විශාල පැල තෝරා නොගත යුතු අතර මධ්‍යම ප‍්‍රමාණයේ පැල තේරීමට වග බලා ගත යුතුය.

මොරෙයියන් නිෂ්පාදනය

නිරෝගී වගාවකින් අවශ්‍ය තරම් මොරෙයියන් ලබා ගැනීමට අපහසුවීම, නව අන්නාසි වගාවක් ඇති කිරීමේදී පැන නගින විශාල ගැටළුවකි. මේ නිසා පැල මතුවීම උත්තේජනය කිරීම තුලින් වැඩිපුර පැල නිපදවා ගත හැකි ක‍්‍රම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇත. ඒ සඳහා යොදා ගත හැකි ප‍්‍රධාන ක‍්‍රම 02 කි.

1. වර්ධක අවධියේ ඇති ගස් වලින් මොරෙයියන් නිපදවීම (අග‍්‍රස්ථ අංකුර ඉවත් කිරීමේ ක‍්‍රමය)

මේ සඳහා හොඳින් වැඩුනු පත‍්‍ර 25 - 30 ක් සහිත අන්නාසි ශාකවල පහතින් දක්වා ඇති ආකාරයට සාදාගත් උපකරණයක් භාවිතා කර අග‍්‍රස්ථ අංකුරය ඉවත් කර ගත යුතුයි.


අග‍්‍රස්ථ අංකුරය ඉවත් කිරීමට භාවිතා කරන උපකරණය



උපකරණය භාවිතා කර අග්‍රස්ථ අංකුරය
ඉවත් කිරීමේ මුල් පියවර



උපකරණය භාවිතා කර අග්‍රස්ථ අංකුරය
ඉවත් කිරීමේ දෙවන පියවර


අග‍්‍රස්ථ අංකුරය ඉවත් කිරීමෙන් පසු පැල හොඳින් වැඞීම සඳහා පැලයකට යූරියා ග‍්‍රෑම් 15 ක් පමණ පසට යොදනු ලැබේ. වගාව සුපුරුදු ආකාරයෙන් නඩත්තු කර සති 9 - 12 කාලයකදී එක් පැළයකින් මොරෙයියන් 4 - 9 පමණ සංඛ්‍යාවක් ලබාගත හැකිය. මෙම මොරෙයියන් නෙලා ගැනීමෙන් පසුව පැලයකට යූරියා ග‍්‍රෑම් 25 - 30 ත් පමණ යොදා පසට තෙතමනය ලබා දිය යුතුය. ඉන්පසු නැවත සති 08 - 10 කාලයකදී මෙවැනිම මොරෙයියන් සංඛ්‍යාවක් ලබා ගත හැකිය.

මේ ආකාරයට සෙ.මී. 25 - 30 x සෙ.මී. 25 - 30 x මීටර 01 ක් ලෙස දෙපේලි ක‍්‍රමයට මොරෙයියන් සිටුවා මනා ලෙස නඩත්තු කරගෙන යන්නේ නම් මේ වගාව ස්ථීර පැල තවානක් ලෙස පවත්වාගෙන යා හැකි ය. කෙසේ වෙතත් මේ ආකාරයට එක් ශාකයකින් තුන් හතර වතාවක් මොරෙයියන් නෙලා ගත් පසු තවත් මොරෙයියන් දෙකක් වැඞීමට සලස්වා ඒවායේද අග‍්‍රස්ථ අංකුරය පෙර සඳහන් පරිදි ඉවත් කර මොරෙයියන් නිපදවා ගත හැක. මෙහිදී මාස 02 - 03 කට වරක් මොරෙයියන් වැඩි ප‍්‍රමාණයක් නිපදවා ගැනීමට හැකිය. කෙසේ වුවද පැල නිෂ්පාදනය තවදුරටත් අවශ්‍ය නොවන විට එම අන්නාසි වගාව ගෙඩි නිපදවීම සඳහා මල් උත්තේජනයට ලක් කළ හැකිය.




2. අස්වැන්න නෙලා ගත් ගස් වලින් මොරෙයියන් නිපදවීම

මෙම ක‍්‍රමයේදී ගෙඩි කඩාගත් පසුව ඉතිරි වන මව් ගස් යොදා ගනිමින් පැල නිෂ්පාදනය කිරීම අපේක්‍ෂා කෙරේ. මෙම ක‍්‍රමය පියවර වශයෙන් පහත ආකාරයට වේ.

කඳන් සූදානම් කිරීම

ගෙඩි කඩාගත් පසුව එම ගස් මුල් ද සමඟ ගලවා ගන්න. ඒවායේ පත‍්‍ර සියල්ලම අතින් ඇද ගලවා ඉවත් කර මුල් සියල්ලම කපා කඳ පිරිසිදු කිරීම කළයුතුය. ඉන්පසුව එම කඳන් සෙ.ගේ‍්‍ර. අංශක 55 -65 ත් පමණ උණුසුම් ජලයේ විනාඩි 02 - 03 ක් පමණ ගිල්වා තබන්න. (පිටි මකුණන් විනාශ කිරීම සහ අංකුර උත්තේජනය කිරීම සඳහා)


උණු වතුර ප්‍රතිකාරයට ලක් කිරීම


කඳන් කැබලි කිරීම

ඉවතට ගත් කඳන් කැබලි මතුපිට ඇති අංකුර පිහියකින් හෝ රළු මතුපිටක අතුල්ලා යාන්තමින් තුවාල කිරීම මගින් පොකුරු වශයෙන් පැල මතු කර ගත හැකිය. එහෙත්් පළපුරුද්ද හා අත්දැකීම් ලද පසුව පමණක් මෙසේ අංකුර තුවාල කර පොකුරු වශයෙන් පැළ නිපදවීමට නැඹුරු වීම වඩාත් යෝග්‍ය වේ.


කඳන් කැබලි රළු මතුපිටක ඇතිල්ලීම


එසේ මතුපිට තුවාල කර ගත් කඳන් සෙ.මී. 10 ක පමණ කැබලි වලට කපා එම කැබලි දිග අතට තීරු 04 කට පලා ගන්න. මෙම කපා ගත් කඳ කැබලි කැප්ටාන් ග‍්‍රෑම් 10 ක් ජලය ලීටර් 10 ක හෝ තිරාම් ග‍්‍රෑම් 15 ක් ජලය ලීටර් 10 ක දියකර සාදාගත් ද්‍රාවණයක විනාඩි 20 - 30 ක් පමණ ගිල්වා තැබීමෙන් දිලීර ආසාදනයන් වළක්වා ගත හැකිය.


කඳන් කැබලි කිරීම

තවාන් පාත්ති සැකසීම

මේ සඳහා තෝරා ගත යුත්තේ තරමක සෙවනක් ඇති ස්ථානයකි. වැලි, මතුපිට පස්, කාබනික පොහොර සහ දහයියා අඟුරු 2:2:2:1 අනුපාතයට මිශ‍්‍ර කර සෙ.මී. 10 ක පමණ උස මීටර් 01 පළල තවාන් පාත්ති සකස් කර ගන්න.

මෙම පාත්ති වලට වර්ග මීටරයකට සාන්ද්‍ර සුපර් පොස්පේට් (TSP) ග‍්‍රෑම් 450 - 500 ක් පමණ මිශ‍්‍ර කළයුතුය. මෙසේ සාදාගත් පාත්ති වල සෙන්ටි මීටර් 5 - 6 පමණ ගැඹුරට සෙන්ටි මීටර් 10 පරතරයට කුඩා කානු සාදා ගතයුතුය.


කැබලි තවාන් කිරීම

ප‍්‍රතිකාර කර ගත් අන්නාසි කඳන් කැබලි කැපුම් මුහුණත යටට සිටින සේ තිරස් ලෙස තැන්පත් හොඳින් වසන්න. ඉන්පසු ජල සම්පාදනය කර තරමක සෙවනක් යටතේ පවත්වා ගැනීම අවශ්‍ය වේ.


කඳන් කැබලි තවාන් කිරීම


පොහොර යෙදීම

දින 10-15 වන විට මොරෙයියන් මතුවීමට පටන් ගනී. මොරෙයියන් මතු වී සති 04 ක් පමණ වන විට යූරියා ග‍්‍රෑම් 10 ක් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) ග‍්‍රෑම් 20 ක් වතුර ලීටරයක දිය කර මල් බාල්දියක් මගින් මොරෙයියන්ගේ පත‍්‍ර මතට ඉසින්න. මෙසේ දින 7 - 10 කට පමණ වරක් යෙදීම මගින් ඉක්මණින් මොරෙයියන් වර්ධනය කර ගැනීමට හැකිය.

පැළ වෙන්කර ගැනීම

මතු වන පැල මාස 05 ක් පමණ ගත වූ පසුව සිටුවීමට සුදුසු තත්ත්වයට පත් වේ. එක් කැබැල්ලකින් මොරෙයියන් 5 - 10 ක් බැගින් කඳකින් මොරෙයියන් 100 - 110 ක් පමණ ලබාගත හැකිය. මෙසේ සෑදෙන පැල පොකුරු අතින් ගලවා පහසුවෙන් වෙන් කර ගත හැකිය. කුඩා පැල ඒ ආකාරයට තබා වර්ධනය වූ පසුව ඒවාද සිටුවීම සඳහා යොදා ගත හැකිය. (පැල පොකුරු වලින් පැල වෙන් කිරීමේදී එම පැල සෙ.මී. 20 - 25 ක් වත් උස විය යුතුය.) මෙම පැල ක්‍ෂේත‍්‍රයේ සිටුවා අවුරුද්දක් ගතවන විට පීදීම සිදුවේ.


මෙම පැල නිෂ්පාදන ක‍්‍රමයේ වාසි

  • ඉවතලන කඳන් වලින් පැල නිපදවීමට හැකි වීම.
  • පිටි මකුණාගෙන් තොර පැල ලබා ගැනීම.
  • ඒකාකාරී වර්ධනයක් සහිත පැල ලබා ගැනීමට හැකි වීම.
  • තවානේ වර්ග මීටරයකින් පැල 100 ක් පමණ ලබා ගත හැකි වීම.
  • පැල කුඩා නිසා ප‍්‍රවාහනය පහසුවීම.
  • පැල වල මුල් ඇති නිසා මූලික පොහොර යෙදිය හැකිවීම.
  • සීමිත ඉඩකින් වැඩි ආදායමක් ලැබීම.

මොරෙයියන් සඳහා පූර්ව ප‍්‍රතිකාර

අවුරුදු දෙකකට වඩා වැඩි නිරෝගී වගාවකින් පැල ලබා ගැනීම ආර්ථික වගාවක් සඳහා ඉතා වැදගත් වේ. එමගින් ඒකාකාර
වගාවක් පවත්වා ගත හැකි අතර ඉක්මනින් ඵල දැරීමක් සහ වැඩි අස්වැන්නක් ලබා ගත හැකිවේ.

අන්නාසි වලදී විශේෂයෙන් වැදගත් වන්නේ පිටි මකුණා මගින් පැතිරෙන අන්නාසි මැලවීමේ වෛරස් රෝගයෙන් තොර පැල තෝරා ගැනීමයි. මෙම වෛරස් රෝගය වැළඳුන පසු පාලනය කිරීම අපහසු වන අතර මෙම වෛරස් රෝගය ඇතිවුවහොත් වගාව 100% ක්ම විනාශ විය හැකිය. මේ නිසා මුල් පියවරේදීම නිරෝගී වැඩුනු පැල තෝරා ගැනීම ඉතා වැදගත් වේ.

මේ නිසා සිටුවීමට බලාපොරොත්තු වන මොරෙයියන් මගින් නව වගාවන් වෙත බෝවීමට ඉඩ ඇති අන්නාසි මැලවීමේ වෛරස් රෝගය පතුරුවන පිටි මකුණා ද දිලීර රෝගද මුල් අවස්ථාවේදීම පාලනය කර ගැනීම සඳහා පහත සඳහන් ආකාරයට ප‍්‍රතිකාර කළයුතු වේ.

පළමුව සිටුවීම සඳහා තෝරා ගන්නා ලද නියමිත පත‍්‍ර සංඛ්‍යාව ඇති පැල විශාල, මධ්‍යම, කුඩා ලෙස ශ්‍රේණි ගත කිරීම අවශ්‍ය වේ. ඉන් පසුව ප‍්‍රතිකාර කිරීම ආරම්භ කල හැකිය.

පළමුව මොරෙයියන්ගේ පහළින්ම ඇති ශල්ක පත‍්‍ර 3 - 4 පමණ ඉවත් කරන්න. මෙම මොරෙයියන් ප‍්‍රථමයෙන් කෘමිනාශක ද්‍රාවණයක ගිල්වා තබන්න. මේ සඳහා පහත ආකාරයට සාදා ගත් කෘමිනාශක ද්‍රාවණයක් භාවිතා කල හැකිය. පැලයේ පාදස්ථ කොටසින් 2/3 ක් ගිලෙන සේ විනාඩි 5 ක් ගිල්වා තැබීම ප‍්‍රමාණවත්ය.


කෘමිනාශකය

ජලය ලීටර් 10ක දිය කල යුතු ප‍්‍රමාණය

ප්‍රොෆෙනොපොස් 500g/1 EC

මි.ලී 30

ප්‍රොතියෝපොස් 500g/1 EC

මි.ලී 30

ඇසිටැම්ප‍්‍රිඞ් 20% SP

ග‍්‍රෑම් 10



කෘමි නාශක ද්‍රාවණයේ මොරෙයියන් ගිල්වීම

කෘමිනාශක ප‍්‍රතිකාරයෙන් දිනකට පසු මෙම මොරෙයියන් දිලීර නාශක ද්‍රාවණයක ද ගිල්වා ගත යුතුය. මේ සඳහා පහත දිලිර නාශකය භාවිතා කල හැකි අතර දිලීර නාශක ද්‍රාවණයේ ගිල්වා විනාඩි 20 - 30 ත් පමණ තැබිය යුතුය.


දිලීර නාශකය

ජලය ලීටර් 10 ක දිය කල යුතු ප‍්‍රමාණය (ග‍්‍රෑම්)

මැන්කොසෙබ් 64% + මෙටලැක්සිල් 8%

20

මෙලෙස කෘමිනාශක හා දලීර නාශක වල ගිල්වීමේදී ආරක්‍ෂිත අත් ආවරණ හා මුහුණු ආවරණ භාවිතා කිරීම අත්‍යාවශ්‍ය වේ. එලෙසම දිලීර නාශක හා කෘමිනාශක එකට කලවම් කර ප‍්‍රතිකාර කිරීම නොකල යුතුය. මෙලෙස පූර්ව ප‍්‍රතිකාර කරගත් පැළ දින 2 - 3 ක් සෙවන සහිත ස්ථානයක පත‍්‍ර පහළට සිටින සේ අසුරා තබා සිටුවීම සඳහා යොදා ගත හැකිය.


පූර්ව ප‍්‍රතිකාර කරගත් පැළ සෙවන සහිත ස්ථානයක අසුරා තැබීම


වගා පිළිවෙත්

පැළ සිටුවීම

සකස් කරගත් කාණු දිගේ මොරෙයියන් කෙලින් සිටින පරිදි වැටියට හේත්තු කරන්න. වැටියට විරුද්ධ පැත්තෙන් පස් සූරා ගෙන මොරෙයියන්ගේ පාදස්ථ කොටසින් සෙ.මී. 10-15 පමණ වැසෙන සේ පසේ මට්ටමට යොදන්න.



අන්නාසි වගාව තනි බෝගයක් ලෙස ද අතුරු බෝගයක් ලෙසද වගා කළ හැකිය.

තනි බෝගයක් ලෙස

තනි වගාවකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා සිටුවීමේ පරතරය වෙනස් කර පැල ගහණය වැඩි කර ගත හැකිය. අක්කරයකට පැල 21000 (හෙක්ටයාරයකට පැළ 53,000) දක්වා වැඩිකර ගැනීමෙන් ගෙඩි වල විශාලත්වය කෙරෙහි අහිතකර ලෙස බල නොපාන බව සොයාගෙන ඇත. (පළමු මුරයේ අස්වැන්න සඳහා) තනි පේලි හෝ දෙපේලි ක්‍රමයට වගාව පිහිට විය හැක.


තනි පේලි ක‍්‍රමය

මෙහිදී පේලි අතර පරතරය මීටර් 02 ක් වන අතර පේලි තුල පැල අතර පරතරය පහත ආකාරයට අවශ්‍ය ලෙස වෙනස් කර ගත හැකිය.

පේලි තුළ පැළ අතර පරතරය
(සෙ.මී.)

හෙක්ටයාරයට
අවශ්‍ය පැල සංඛ්‍යාව
(සෙ.මී.)

30

16,650

45

10,000




තනි පේලි ක්‍රමයට සිටුවා ඇති වගාවක්


දෙපේලි ක‍්‍රමය

මෙම ක‍්‍රමයේදී දෙපේලියේ ඇති පේලි දෙක අතර පරතරය සෙ.මී. 60 කි. දෙපේලි යුගලක් අතර පරතරය මීටර් 1.5 කි. පේලි තුල පැල අතර පරතරය වෙනස් කිරීමෙන් හෙක්ටයාරක පැල සංඛ්‍යාව තීරණය කල හැක. මෙමගින් වැඩි අස්වැන්නක් ලබා ගත හැක. කෙසේ වෙතත් වෙළදපොල අනුව පැල ඝණත්වය තීරණය කිරීම මගින් අවශ්‍ය උපරිම අස්වැන්න ලබා ගත හැකිය. එමෙන්ම වල් පැලෑටි ඇතිවීම අඩුවන අතර අනෝන්‍ය ආධාරයක් ලැබෙන බැවින් ගස් පෙරලී යාමද අවම වේ.

පේළි තුළ
පැල අතර පරතරය
සෙ.මී.

දෙපේලි
යුගලක් අතර පරතරය මීටර්

හෙක්ටයාරයකට
අවශ්‍ය පැල
සංඛ්‍යාව

30

1.5

37,500

45

1.5

25,000




දෙපේලි ක්‍රමයට සිටුවා ඇති වගාවක්


අතුරු බෝගයක් ලෙස වගා කිරීමේදී

පොල් සහ රබර් වගා කර ඇති ඉඩම්වල අතුරු බෝගයක් ලෙස ද අන්නාසි වගා කිරීම නිර්දේශ කරනු ලැබේ. තවද කෙසෙල් සහ වෙනත් අපනයන කෘෂිකර්ම බෝග සමඟ මිශ්‍ර බෝගයක් ලෙසද වගා කල හැක.

අන්නාසි සහ පැපොල් යන බෝග දෙක එකම ඉඩමේ වගා කිරීම අවදානම් සහිතය. එයට හේතුව පයිටොප්තෙරා දිලීර විශේෂයට අයත් දිලීරය නිසා පාදස්ථ කුණු වීමේ රෝගය වැළදිය හැක.

රබර් වගාවක පළමු අවුරුදු 03 දක්වා කාලය තුලදී ද, පොල් වගාවේ වයස අවු. 5 දක්වා සහ අවුරුදු 20 ක් ගතවූ පසු අතුරු බෝගයක් ලෙස අන්නාසි වගා කල හැක.

පොල් සමඟ වගා කරන විට පොල් ගසේ පාදස්ථයේ සිට මීටර් 02 ඈතින් අන්නාසි වගා කළ යුතුය.


පොල් වගාවක් යටතේ අන්නාසි වගා කිරීම

වල් මර්ධනය

සුළු පරිමාණයේ වගාවක් නම් උදළු ගෑම මඟින් බහුල වශයෙන් වල් මර්ධනය කර ගත හැක.රසායනික වල්නාශක ලෙස හෙක්ටයාරයකට ඩයිරෝන් 80% තෙත් කල හැකි කුඩු කි.ග්‍රෑම් 02 ජලය ලීටර් 200 මිශ්‍ර කරන්න. මෙය සිටුවා මාසයක් පමණ වූ වගාවන්හි ඇති වල් පැල සඳහා යෙදිය හැක. පසේ තෙත ඇති විටදී යෙදිය යුතුය. (කිලෝ ග්‍රෑම් 2ක් හෙක්ටයාරයකට) මාස 3 ක් පමණ කාලයක් සාර්ථකව වල් පැල පාලනය කරගත හැකිය.


වසුන් යෙදීම හා තෙතමන සංරක්‍ෂණය

අන්නාසි වගාවේ පසේ පවතින තෙතමනය ආරක්‍ෂා කර ගැනීම සඳහා වසුන් යෙදීම ඉතාම යෝග්‍යය සහ පහසුම ක‍්‍රමයයි

වගාව සඳහා පළමුවරට පොහොර යොදා අවසන් වූ පේලි අතරට කොහුබත් යොදනු ලැබේ. නමුත් පිටි මකුණාගේ හානිය නොමැති වගාවකට කොහුබත් යෙදීම සුදුසුය. මේ මඟින් වල් මර්ධනය මෙන්ම තෙතමනයද ආරක්ෂා කර ගත හැක. වසරකට වරක් කොහුබත් යෙදීම ප්‍රමාණවත් වේ.



වසුන් සඳහා කොහුබත් යෙදීම


මේ සඳහා වගාකරුවන් බොහෝදෙනා කොහුබත් භාවිතා කල ද වර්තමානයේ කොහුබත් සඳහා විවිධ අංශ වලින් ඉහළ ඉල්ලූමක් ඇති නිසා කොහුබත් වල මිල ඉහළ ගිය අතර එය අන්නාසි වගාව සඳහා යොදා ගැනීම ආර්ථිකව ලාභදායී නොවන ක‍්‍රමයක් බවට පත් වී ඇත. මේ සඳහා විකල්ප ක‍්‍රමයක් ලෙස පස් වැටි යෙදීම හඳුන්වා දී ඇත.


පස් වැටි වසුන් ක‍්‍රමය

මෙහිදී අන්නාසි වගාවක තනි පේලි දෙපස හෝ දෙපේලි දෙක අතර සෙ.මී. 20 ක් උසට හා සෙ.මී. 60 පලලට ශාකයේ මුල ප‍්‍රදේශයට නොවැටෙන සේ එනම් පේලි වල පිට පැත්තේ සිට අන්නාසි ශාක ඇති පැත්තට ආනතව සිටින් සේ පස් මුදුන් කිරීම සිදුකරනු ලැබේ.


පස් වැටි වසුන් යෙදීම

මෙසේ පස් මුදුන් කිරීමෙන් පස් වැටි යොදා ඇති කරන වසුන් ක‍්‍රමය, පලමු මතුපිට පොහොර මිශ‍්‍රණය යොදන අවස්ථාවේදී සිදුකල හැකිය.


පොහොර යෙදීම
අන්නාසි වගාවෙන් හොඳ අස්වැන්නක් ලබා ගැනීමට කාබනික පොහොර මෙන්ම නිර්දේශිත රසායනික පෙහොර ද නිසියාකාරව යෙදිය යුතුය. එමෙන්ම වගා කරන පස ප‍්‍රශස්ථ ච්‍ය අගයකින් තබාගත යුතුය. ච්‍ය අගය 4 ට වඩා අඩුනම් අන්නාසි පැළ සිටුවීමට සති 2 කටවත් පෙර හෙක්ටයාර එකක් සදහා ඩොලමයිට් ටොන් 02 ක් යෙදීම සුදුසු වේ.

එසේම සිටුවීමට සති 2 කට කලින් කුකුල් පොහොර, ගොම හෝ කොම්පෝස්ට් පොහොර හෙක්ටයාර් එකකට ටොන් 10 ක් යෙදීම මගින් ගුණාත්මක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට ඉවහල් වේ.

අන්නාසි සිටුවීමේදී මූලික පොහොරක් නොයොදන අතර තෙත් කලාපය, වියළි හා අතරමැදි කලාපයට නිර්දේශකර ඇති පොහොර නිර්දේශ පහත පරිදි වේ


රසායනික පොහොර යෙදීම

  • පසේ තෙතමනය ඇති විට හා පත්‍ර අතර වතුර ඇති විටදී පොහොර යෙදීම සිදු කරන්න.
  • පළමු වරට පොහොර යොදන විට පැල ආසන්නයේ පසට යොදන අතර ඉන් පසු ගසේ පහලින් ඇති පත්‍ර අතරට පමණක් පොහොර යොදීම සිදු කරයි.
  • කෘතීමව මල් හටගැන්වීම උත්තේජනය කිරීමට හෝමොන යෙදීමට බලාපොරොත්තු වන දිනට මාසයකට පමණ කාලසිමාවක් තුළදී වගාවට රසායනික පොහොර නොයොදන්න.
  • නිරි වගාවේ ගස් වැඩි නිසා ඒ අනුව පොහොර ප්‍රමාණය වැඩි කරන්න.


වියළි සහ අතරමැදි කලාපය සඳහා

යොදන ආකාරය

යොදන කාලය

වර්ගය

ප්‍රමාණය

කාබනික පොහොර යෙදීම

සිටුවීමට සති 2 පෙර

කුකුල් පොහොර, ගොම පොහොර හෝ කොම්පෝස්ට්

හෙක්ටයාරකට ටොන් 01

රසායනික පොහොර

වර්ගය සහ පැලයක් සදහා ග්‍රෑම් ප්‍රමාණය

යුරියා

TSP

MOP

කීසරයිට්

සිටුවීමට පෙර

-

-

-

-

සිටුවා මාස 1 න්

10

7

15

-

සිටුවීමෙන් මාස 3 හෝ 4 කට වරක්

10

7

15

5


ජල සම්පාදනය

වියලි කාලයේ දී ප‍්‍රමාණවත් ජලසම්පාදනය කිරීම මගින් හොද අස්වැන්නක් ලබාගත හැකි බව සොයාගෙන තිබේ. පසෙහි තෙතමනය ආරක්‍ෂා කර ගැනීම සඳහා සෙ.මී. 20 - 30 ඝනකමට කොහුබත් හෝ වෙනත් සුදුසු වසුනක් පැළ පේලි අතරට යෙදිය යුතුය.

අන්නාසි බෝගය සඳහා පාංශුතෙතමනය ප්‍රමානය පසේ ක්ෂේත්‍ර ධාරිතා අගයට ආසන්නව, මනා ජල බැස්මක් සහිතව දිගින් දිගටම පවත්වා ගැනීම ඉතාවැදගත් වේ. කෙසේ නමුත් අන්නාසි ඵල දරන අවධියේ පාංශු තෙතමනය පාලනය කර අන්නාසි ඵලයේ පැණි රස භාවය මනින බ්‍රික්ස් අගය 15 දක්වා වැඩි කර ගැනීමට හැකි වේ.



මල් හට ගැනීම

බහුල වශයෙන් අන්නාසි වගා කරනු ලබන ගම්පහ වැනි ප‍්‍රදේශ වල වගාවන්හි මල් හටගැනීම ස්වභාවික ලෙස සිදුවන්නේ ජනවාරි, පෙබරවාරි මාස වලදීය. මෙවිට මැයි - ජූනි මාස වලදී අස්වනු නෙලා ගත හැකිය.

ස්වභාවික මල් හටගත් වගාවන්හී අස්වනු එකම කාලයක් තුළදී වෙළඳපොල වෙත ඉදිරිපත් කෙරේ. එමනිසා මෙම කාලයන්හි දී මිල විශාල වශයෙන් පහත වැටේ. මෙයට පිළියමක් වශයෙන් අන්නාසි මල් හට ගැනීම කෘතිමව උත්තේජනය කර අවශ්‍ය කාල වලදී ගෙඩි ලබා ගැනීම කල හැකිය.


කෘතිමව මල් හට ගැන්වීම

හෝර්මෝන යෙදීම

අන්නාසි ස්වභාවිකව මල් පීදෙන ශාකයක් වුවද වාණිජ වගාවේදී කෘතිම හෝර්මෝන යෙදීම මගින් මල් හට ගැනීම උත්තේජනය කරනු ලැබේ. මෙහි ප‍්‍රධාන අරමුණ වන්නේ වගාවේ ඒකාකාරී මල් හටගැන්වීම උත්තේජනය කිරීමයි. හෝර්මෝන යෙදීමට සුදුසුම අවස්ථාව වන්නේ ගසේ පත‍්‍ර 35 - 40 ක් ඇති අවස්ථාවයි. මේ සඳහා හෝර්මෝන වර්ග අඩංගු රසායනික ද්‍රව්‍ය යෙදීම කල හැක.

කෘතිම මල් උත්තේජනය සඳහා එතිෆෝන් නම් රසායනික ද්‍රව්‍යය අඩංගු හෝර්මෝනයක් හෝ නැප්තලීන් ඇසිටික් ඇසිඞ් :භ්්* අඩංගු හෝර්මෝන වර්ගයක් භාවිතා කල හැක. මෙම රසායනික ද්‍රව්‍යයන් ක‍්‍රමවත්ව භාවිතා කල විට සියයට 90 - 99 දක්වා ප‍්‍රමාණයකින් වගාවේ ඒකාකාරීව කෘතිමව මල් හට ගන්වා ගත හැක.

මෙහිදී වැදගත් වන ප‍්‍රධානම කරුණ වන්නේ හෝර්මෝන යොදන අවස්ථාවේ පවතින කාලගුණය ගැන සැලකිළිමත් වීමයි. වියළි කාළගුණයකදී අවම සාන්ද්‍රනයක්ද වැසි සහිත කාළගුණයකදී ඊට වඩා වැඩි සාන්ද්‍රනයක්ද භාවිතා කිරීමෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගත හැක. එසේ නැතහොත් නටුව පිපිරීම, ගෙඩි වක‍්‍ර වීම හෝ ඒකාකාරීව මල් හට නොගැනීම වැනි අනිසි ප‍්‍රථිපල ඇති විය හැක.

එතිෆෝන් යෙදීම
වැසි සහිත කාලගුණයකදී යෙදිය යුතු සාන්ද්‍රණය

එතිෆෝන් මි.ලී. 25 - 30 ක් ජලය ලීටර් 100 ක දියකර එයට යූරියා කි.ග‍්‍රෑ. 1.5 ක් යොදා සාදා ගත් මිශ‍්‍රණයෙන් මි.ලී. 30 ක් එක් ගසක ගොබයට යොදන්න.

වැසි රහිත පායන කාලවලදී යෙදිය යුතු සාන්ද්‍රණය

එතිෆෝන් මි.ලී. 15 - 20 ක් ජලය ලීටර් 100 ක දියකර එයට යූරියා කි.ග‍්‍රෑ. 1 ක් යොදා සාදා ගත් මිශ‍්‍රණයෙන් මි.ලී. 50 ක් ගසේ ගොබයට යොදන්න.

නැප්තලීන් ඇසිටික් යෙදීම

මි.ලී. 10 ක් ජලය ලීටර 45 ක දියකර සාදා ගත් මිශ‍්‍රණයෙන් මි.ලී. 50 ක් ගොබයට යොදන්න.


නටු මොරෙයියන් ඉවත් කිරීම

ගෙඩිවල නටු මොරෙයියන් දුටු විගස ඉවත් කරන්න. මෙමගින් ගෙඩියේ ප‍්‍රමාණය විශාල කරගත හැකිය. කරුවක් සහිත ලීයකින් ගෙඩියට හානි නොවන පරිදි නටු මොරෙයියන් පහළට තද කළ විට ගැලවී යයි.


අස්වනු නෙළීම
අස්වැන්න නෙලීම සහ සැකසීම

නිසි පරිදි පැසී ඇති අන්නාසි ගෙඩි පමණක් නෙලා ගන්න. ගෙඩියේ පිට පොත්තේ ඇති ඇස් හොඳින් පළල් වී සම්පූර්ණ වූ ගෙඩි පැසුණු ගෙඩි වශයෙන් සැලකේ. ගෙඩියෙන් 25% - 50% ප්‍රමාණය පිට පොත්තෙහි වර්ණය කහ පැහැයට හැරී ඇති විට නෙලීම සඳහා යෝග්‍ය වේ. අපනයනය සඳහා ගෙඩි කැඩීම තරමක් කලින් කළ හැක. අස්වනු නෙලීම උදය කාලයේදී සිදු කිරීම සුදුසුය. නටුවේ දිග අගල් 4-6 සහිතව කරඬුවද සමඟ පැසුණු ගෙඩි නෙලා ගන්න.


නිරි වගාව නඩත්තු කිරීම

පළමු අස්වැන්න නෙලා ගත් පසුව ගසෙහි පහලින්ම හොදින් වැඩී ඇති මෙරෙයියන් දෙදෙනකු පමණක් ඉතිරි කර සෙසු මොරෙයියන් ලී කරුවක ආධාරයෙන් ඉවත් කරන්න.මෙමගින් ගෙඩි විශාල කරගත හැක.


අස්වනු සැකසීම හා ඇසිරීම
අස්වැන්න ගබඩා කිරීම හා ප්‍රවාහනය

නෙලා ගත් ගෙඩි නොතැලෙන ලෙස සෙවන ඇති ස්ථානයක නටුව ඉහලට සිටිනසේ අසුරන්න. වර්ෂාවෙන් හා දැඩි හිරු රැසින් ගෙඩි ආරක්ෂා කර ගත යුතුය. ගෙඩියේ පෙණුම වැඩි කර ගැනීම සඳහා නටුවට සම්බන්ධ වී ඇති දිගු පත්‍රද ඉවත් කරන්න. නටුව අගල් 2-4ක් තබා හරහට කපන්න. ප්‍රවාහනයට සුදුසු වන්නේ මඳ වශයෙන් ඉදී ඇති ගෙඩි වේ. ප්‍රවාහනයේදී වාහනයේ පතුලට හා පැතිවලට යම් ඇතිරුමක් යොදා ගැනීමෙන් ගෙඩි තැලීම හා තුවාල වීම අඩුකර ගත හැක. ගෙඩි ඇසිරීම කරනවිට කරඬුව පහලටවන සේ අසුරන්න.

නෙලාගත් ගෙඩි සති 2 පමණ සාර්ථකව තබාගත හැකිය.

අපනයන සඳහා ගෙඩි සකසා ගැනීම

ජනප‍්‍රිය වර්ග

යුරෝපය හා මැද පෙරදිග රටවල් වල වෙළඳපොලෙහි වැඩි ජනප‍්‍රියතාවයක් පවතින්නේ ,මුරිසි, වග_යට අයත්වන ක්වීන් කාණ්ඩයේ අන්නාසි වලටය.

වර්ණය

විදේශීය වෙළඳපොලෙහි අලෙවියට ඉදිරිපත් කරන අවස්ථාවේදී ගෙඩි වල පැහැය තද කහ හෝ ලෝහමය තැඹිලි පැහැයක් ගෙන තිබිය යුතුය. එම රට තුළ බෙදා හැරීමට ගතවන කාලය තුළ දී ගෙඩිය සම්පූර්ණයෙන් පැහැගැන්වීමට ඉඩ සැලසෙන පරිදි ගෙඩියෙන් 2/3 ප‍්‍රමාණයක් කහ පැහැ වී තිබෙන අවස්ථාවේදී එම රට කරා ගෙඩි ලඟාවිය යුතුය. කරඩුව තද කොළ පැහැයෙන් පැවතිය යුතුය.

ශ්‍රේණි කිරීම

අපනයනය සඳහා ඉදිරිපත් කරන විට බර අනුව ගෙඩි ශ්‍රේණි කළ යුතුය. යුරෝපය, මැද පෙරදිග හා මාලදිවයින් වෙළඳපොල සඳහා ඉදිරිපත් කරන විට ශ්‍රේණි කළ යුත්තේ පහත සඳහන් ආකාරයට වේ.

ඒ ශ්‍රේණිය - කි.ග‍්‍රෑ. 1.5 වඩා වැඩි
බී ශ්‍රේණිය - කි.ග‍්‍රෑ. 1.1 - 1.5 දක්වා
සී ශ්‍රේණිය - කි.ග‍්‍රෑ. 0.9 - 1.1 දක්වා
ඞී ශ්‍රේණිය - කි.ග‍්‍රෑ. 0.9 අඩ


ගෙඩි ඇසිරීම

රැුළි සහිත කාඞ් බෝඞ් පෙට්ටිවල ගෙඩි 6 බැගින් කරඩුව ඉහලට සිටින සේ අසුරා අපනයනය කරනු ලැබේ. වාතාශ‍්‍රය ලැබීම සඳහා පෙට්ටිය ස්ථාන කීපයකින් සිදුරු කළ යුතුය. ගෙඩි එකිනෙක ස්පර්ශ වීම වළකා ගැනීම සඳහා කාඞ්බෝඞ් තීරු යොදා ගනු ලැබේ.
රෝග හා පළිබෝධ හානි

කෘමි පාලනය

අන්නාසි පිටි මකුණා (Dysmicocus brevipes)

අන්නාසි වගාවේ ප්‍රධාන පළිබෝධකයා පිටි මකුණා වේ. මේ කෘමියා අන්නාසි පත්‍ර පාමුල කරඬුවේ ‍හා ගෙඩිමත බොහෝ විට දක්නට ලැබේ. පිටි මකුණාගේ ශරීරය මත සුදු පැහැති පිටි වැනි ද්‍රව්‍යක් දක්නට ලැබේ. මේ කෘමියා ප්‍රධාන වශයෙන් වගාවට හානි කරනු ලබන්නේ අන්නාසි මැලවීමේ වෛරස් රෝග වාහකයා ලෙසය. මීට අමතරව ගසේ යුෂ උරා බීමද සිදු කරයි. වැසි කාලයේ මැරුණු සතුන් මතුපිට කළු පාට දිලීර ද වැඩීම නිසා ගෙඩියේ ගුණාත්මක භාවය අඩු වේ.

කුඩා කාලයේදී තරමක් එහා මෙහා ගමන් කළත් පසු අවස්ථාවන්හිදී බොහෝ විට එකම ස්ථානයක මෙම කෘමියා රැුඳී සිටී. සුහුඹුලා දළ වශයෙන් මිලි මීටර් 25ක් දිග සහ මිලි මීටර් 1ක් පළලින් යුක්තය. උන් සුදු පැහැති ඉටි ස්ථරයක් දේහය ආවරණය කර ගනිමින් සමූහ ලෙස වාසය කරති. ජීවන චක්‍රයට දින 31-80 පමණ ගතවේ.

පාලනය

  • පිටි මකුණන් වගාවේ විවිධ ස්ථාන කරා රැගෙන යනු ලබන්නේ කුහුඹුවන් විසිනි. එම නිසා වෛරස් මැලවීමේ රෝගය පාලනය කිරීම සඳහා වගාවේ කුහුඹුවන් හා පිටි මකුණන් යන දෙවර්ගයම පාලනය කිරීමට පියවර ගතයුතුය.
  • මොරෙයියන් සිටුවීමට පෙර කෘමිනාශක යොදා පූර්ව ප්‍රතිකාර කරන්න.
  • වගාව තුල වල් පැල හොඳින් පාලනය කරන්න. මේ සඳහා වීසි කැති යොදා ගත හැකිය. පිටි මකුණන් ආහාරයට ගන්නා මකුළුවන් වැනි කුඩා සතුන්ට හිතකර පරිසරයක් මේ නිසා ඇති වේ.
  • පවතින වගාවක ගස් මැලවී යන බව දක්නට ලැබුණු විගස එම ගස් හොඳන් පරීක්ෂාකර බලන්න. මැලවීමට හේතුව පාදස්ථ කුණුවීම නොව වෛරස් රෝගයම බව, අහඹු ලෙස ගස් කිහිපයක් ගලවා පරීක්ෂා කොට තහවුරු කර ගන්න. ඒ අනුව වගාවේ පිටි මකුණන් හා කුහුඹුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් දැක ගත හැකි නම් පහත පරිදි කෘමිනාශක මිශ්‍රණයක් ගස් වල පත්‍ර පාදස්ථය හොඳින් තෙමෙන සේ යොදන්න. 
  • පැල පේලි අතර කොහුබත් වැඩිපුර නොයොදන්න.

කෘමිනාශකය

ජලය ලීටර් 10ක දිය කළ යුතු ප්‍රමාණය

ප්‍රොෆෙනොපොස් 500g/ 1 EC

මි.ලී. 30

ප්‍රොතියෝපොස් 500g/ 1 EC

මි.ලී. 30

ඇසිටැම්ප්‍රිඩ් 20% SP

මි.ලී. 10



අන්නාසි කුරුමිණියා

කාර්පෝපිලස් හියුමෙරාලිස් Carpophilus humeralis) යන නාමයෙන් හඳුන්වනු ලබන කොලියෝප්ටෙරා ගෝත‍්‍රයට අයත් කුඩා කුරුමිණියෙකි. මේරූ සහ ඉදුනු ගෙඩි වලට හානි සිදු කරයි. මෙම පළිබෝධකයා ශාක නිරෝධායන පළිබෝධකයෙකු ලෙස සැලකේ. මෙම හානිය නිසා අන්නාසි ගෙඩි ද්විතියීක දිලීර ආසාදනයන් වලට ලක්වේ. වගාව පිරිසිදුව තබා ගැනීමෙන් මෙම හානිය පාලනය කර ගත හැකිය.

මීට අමතරව අන්නාසි වගාවේ කෘමි හානි ලෙස විවිධ කුරුමිණි විශේෂ වල කීට අවස්ථා (කම්බිලි පණුවන්) මුල් සහ කඳ කා දැමීම සිදුකරනු ලබයි. එවැනි අවස්ථා වල වගාවේ සනීපාරක්‍ෂක කටයුතු (කුණු රොඩු ගොඩ ගසා නොතැබීම) හොදින් පවත්වා ගැනීම අවශ්‍ය වේ.



රෝග පාලනය

ගොබය කුණුවීම සහ පාදස්ථ කුණු වීම

  • පසේ ජීවත් වන පයිටොප්තෙරා (Phytophthera spp) දිලීර නිසා රෝගය ඇති වේ.
  • ගොබ කුණුවීම දක්නට ලැබෙන්නේ අළුත් වගාවන්හිය. එවිට ගොබයේ ලාබාල පත්‍ර පහසුවෙන් ඉදිරීමට පුළුවන
  • කරඩුව ආසාදනයට ලක් වූ විට එහි පත‍්‍රිකා පහසුවෙන් ගැලවී එයි.
  • පාදස්ථ කුණු වීමේදී පත්‍ර රතු පැහැ වී පත්‍ර මැලවේ. ගස් පහසුවෙන් ඉදිරීමට පුළුවන
  • රෝගය දිලීර සහිත පස් මඟින් සහ රෝපණ ද්‍රව්‍ය මඟින් රෝගය පැතිරේ

 

පාලනය

  • නීරෝගී වගාවකින් මොරෙයියන් ලබා ගන්න
  • පැළ සිටුවීමට පෙර දිලීර නාශකයක් යොදා පූර්ව ප්‍රතිකාරක කරන්න
  • වගා කරන ඉඩමෙහි ජලවහනය දියුණු කරන්න
  • වර්ෂාව අධික තෙත් කාළගුණයක් පවතින විට පැළ සිටුවීම නොකරන්න
  • සිටුවන පැළ වල ගොබය තුලට පස් කැට නොවැටීමට වගබලා ගන්න.
  • වැඩි ගැඹුරකින් පැළ සිටුවීමෙන් වළකින්න.
  • පවතින වගාවක ගොබ කුණුවීම දක්නට ලැබේ නම් නිර්දේශිත දිලීර නාශක පටු කෙමියක් සහිත දිලීර ඉසිනයකින් පැළවල ගොබය තුලට යොදන්න
  • පවතින වගාවක පාදස්ථ කුණුවීම හෝ මුල් කුණු වීම වැළදී තිබේ නම් රෝගී ගස්වල පහතින් ඇති පත්‍ර කපා ඉවත් කරන්න. පසුව ඉහත සඳහන් දිලීර නාශකයම ගසේ පා මුල සේදී යන ලෙස වත්කර ගස මුලට පස් එකතු කරන්න


ගෙඩි කුණුවීම 

මෙය කැපුම් හෝ තුවාල මඟින් පසෙහි ජීවත් වන සෙරටොසිස්ටික් පැරඩොක්සා දිලීරය ගෙඩි තුළට ඇතුල්වීම නිසා වැලදෙන රෝගයකි.

රෝග ලක්ෂණ

දිලීරය ඇතුල්වී දින දෙකකට පමණ පසුව ගෙඩියේ නටුව ක්‍රමයෙන් කළු පැහැවීමට පටන් ගනී. මේ කළු පැහැ වීම නටුව දිගේ ගෙඩිය තුළටද පැතිරේ. පස්, වැහි බිංදු, සුළඟ සහ රෝපණ ද්‍රව්‍ය මඟින් රෝගය පැතිරේ.

පාලනය

  • ගෙඩිවලට හානි නොවනසේ ප්‍රවේශමෙන් නෙලා ගත් ගෙඩි පිරිසිදු ස්ථානයක අසුරන්න
  • ගෙඩි එක්රැස් කරන ස්ථානය ඉතා පිරිසිදුව තබා ගන්න. සියළුම අමතර ශාක කොටස් එම ස්ථානයෙන් ඉවත් කරන්න.
  • ගෙඩි රැස් කරන ස්ථානයේ කිසිවිටක සිටුවීමට ගන්නා පැළ නොතබන්න
  • රෝගය තදින් පවතීනම් ගෙඩි රැස් කරන ස්ථානය සහ අවට 2% ෆෝමලීන් ද්‍රාවණයක් මඟින් විෂබීජ නාශනය කරන්න


පිටි මකුණා මගින් පැතිරෙන මැළවීමේ
වෛරස් රෝගය

මැලවීමේ වෛරස් රෝගය හඳුනා ගැනීම

අන්නාසි වගාවේ ඉතාම වැදගත් රෝගය වන්නේ පිටිමකුණා (Dysmicoccus
brevipes)
මඟින් පැතිර යන වෛරස් රෝගය නිසා ගස් මැලවී යාමයි.


රෝග ලක්ෂණ

  • අන්නාසි ගස් අතරට පිටි මකුණන් ගෙන යනු ලබන්නේ කුහුඹුවන් මගිනි. රෝගය වැළඳුන ගස්වල පත්‍ර පළමුව තද රතුපාට වී පසුව රෝස පාටට හැරේ. මේ අවස්ථාවේදී දාරය දිගේ පත්‍ර ඇතුලට නැමේ.
  • නීරෝගී ශාකයක පත්‍රවල පවතින දැඩි ස්වභාවය මෙම පත්‍රවල නැති නිසා පත්‍ර මැලවුන ස්වභාවයක් පෙන්නුම් කරයි.
  • කෙළවර ප්‍රදේශය රබර් පටියක් මෙන් කැඩීමකින් තොරව නැමිය හැකිය.
  • පත්‍ර වල අග්‍රස්ථ ප්‍රදේශය වියලේ.
  • රෝගී ගස් ක්‍රමයෙන් මැරී යයි.
  • වැසි කාලයේ ඉහත රෝග ලක්ෂණ අඩුවේ.
  • නියං ඇති විටදී, ජලය හිඟවීමෙන්ද මෙවැනිම ලක්ෂණ ඇති වේ.
  • ආසාදිත ශාක වල මූල පද්ධතිය දුර්වල නිසා ගසට ලැබෙන ජලය හා පෝෂණය අඩුයි.
  • දුර්වල මූල පද්ධතියක් නිසා මෙවැනි ගසක් පහසුවෙන් ගැලවී එයි.
  • ගෙඩි ඇති නොවීම හෝ දුර්වල ගෙඩි ඇතිවේ.


පාලනය

  • නිවැරදි බිම් තෝරා ගැනීම
  • නීරෝගී වගාවකින් මොරෙයියන් ලබා ගැනීම
  • පැරණි අන්නාසි වගා අසල නව අන්නාසි වගාවන් ස්ථාපනය නොකළ යුතුය.
  • තම වගාවකින් හැර පිටතින් පැල ගෙන එනු ලබන්නේ නම් වයස අවුරුදු 02ක් යනතුරු රෝග ලක්ෂණමතු නොවූ වගාවකින් පැල ලබාගත යුතුය.
  • බාහිරින් පැල ලබාගැනීමේදී පිටිමතුණන්, කුහුඹුවන්සහ රෝගී පැල තිබේදැයි හොඳින් පරීක්ෂා කර බලන්න.
  • තෝරාගත් පැල සිටුවීමට ප්‍රථම කෘමිනාශක මඟින් පූර්ව ප්‍රතිකාර කරන්න.
  • වගාවේ පිටි මකුණා දක්නට ලැබේ නම් නිර්දේශිත කෘමිනාශකයක ගස් හොඳින් තෙමී යන සේ ඉසින්න.
  • රෝගය වැලදුන එක ගසක් හෝ වගාවේ පවතී නම් ගලවා පුළුස්සා දමන්න.
අන්නාසි වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු