කොමඩු


ශ්‍රී ලංකාවේ මහවැලි ව්‍යාපාරය ඇතුළු වියළි කලාපීය ප්‍රදේශවල සරුවට වැවෙන කොමඩු, අපේ රටේ ගොවීන් අතර ඉතා ජනප්‍රිය බෝග වගාවකි. අපේ රටේ වගාකරන කුකර්බිටේසියේ කුලයට අයත් කොමඩු ශාකයට යුරෝපය, ජපානය හා නෙදර්ලන්තය වැනි රටවලින් විශාල ඉල්ලුමක් පවතී. මෙය අප්‍රිකානු මහද්වීපයේ සම්භවය වු බෝගයකි.

ප්‍රභේද
උද්භද විද්‍යාත්මක ලක්ෂණ අනුව කොමඩු ප්‍රභේද ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක.

1. පැණි කොමඩු - Sweet melon
2. පත්තක්කා - Water melon

මස්ක් මෙලන්, රොක් මෙලන්, කැන්ටලුප් යනාදිය පාණි කොමඩු ගණයට අයත් වේ.

ශ්‍රී ලංකාවේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත්තේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දුන් "තිළිණි" නම් වු කොමඩු විශේෂයයි. විදේශ වෙළදපොලේ මෙය "සුගර් බේබි" නමින් හදුන්වයි.

පෝෂණ ගුණය
ඉදුණු කොමඩු මදය ග්‍රෑමි 100 ක අඩංගු ද්‍රව්‍ය

ජලය

ග්‍රෑම් 95.8

ශක්තිය

කි. කැලරි 16.0

ප්‍රෝටීන්

ග්‍රෑම් 0.2

මේදය

ග්‍රෑම් 0.2

කාබෝහයිඩ්‍රේට්

ග්‍රෑම් 3.3


මෙවැනි පොෂණයක් කොමඩු ඵල ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි අතර පලතුරක් ලෙස බහුලව මෙය භාවිතා කරයි. ජල පිපාසය සංසිදුවා ගැනීමටද මෙය කෑමට ගනී.

දේශගුණික අවශ්‍යතා
හොදින් හිරුඑළිය ලැබෙන 65% - 75% අතර ආර්ද්‍රතාවයකින් යුත් ප්‍රදේශ වගාවට වඩාත්ම සුදුසු වන අතර මෙය නිර්දේශ කරනු ලබන්නේ යල් කන්නයේ වගාවක් ලෙසයි.

ජල වහනය හොදින් සිදුවන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි සහිත පසක් ඉතා සුදුසුය. පී. එච්. අගය 6.0 ක් 7.3 ක් පමණ තිබිය යුතුය. කොමඩු ශාකයේ මුදුන් මුල එතරම් ශක්තිමත් නොමැති නිසා මැටි පසක් වගාවට සුදුසු නොවේ.

වගා කිරීම
ප්‍රථමයෙන්ම බිම් පෙරලා කැට පොඩිකර පස සකස් කරගත යුතුය. වගා කරන අවස්ථාවේදී විටින් විට ජල සම්පාදනය කලයුතු නිසා එයට ගැලපෙන පරිදි මීටරයක් පමණ පළලට උස් පාත්ති සකස් කරගැනීම වැදගත් වේ. සෙන්ටි මීටර් 30 x 30 x 30 ප්‍රමාණයට වලවල් සකස් කරන්න. ගොම හෝ කොම්පෝස්ට් පොහොර සමග මූලික පොහොර කලවම් කර බෝග සිටුවීමට දින දෙකකට පමණ පෙර වලවල් පිරවීම කල යුතුය. අක්කර එකක් සදහා මෙවැනි වලවල් 8000 ක් පමණ සකස් කර ගත හැකිය.

බීජ අවශ්‍යතාවය
එක් එක් කොමඩු ප්‍රභේදයන්හි බීජවල විශාලත්වය වෙනස් වන නිසා ග්‍රෑම් 500 ක බීජ 12000 ක් - 20000 ක් අතර ප්‍රමාණයක් අඩංගු විය හැකිය. වගා කරනු ලබන ප්‍රශේදය අනුව වගාවට අවශ්‍ය බීජ ප්‍රමාණය තීරණය කල යුතුය.

බීජ සිටුවීම
පසේ වයනය, තෙතමනය හා කොමඩු වර්ගය අනුව බීජ සිටුවන ගැඹුර අගල් 1/2 සිට අගල් 1 1/2 පමණ දක්වා වෙනස් විය යුතුය.

පසේ තෙතමනය අධික අනස්ථාවේදීත් ජල සම්පාදනය යටතේදීත් බීජ සිටුවන ගැඹුර අඩුකල යුතුය. එමන්ම කුඩා ප්‍රමාණයේ බීජ අඩු ගැඹුරකින් සිටුවිය යුතු අතර එක් වලක බීජ තුන බැගින් සිටුවිය යුතුය.

පසේ උෂ්ණත්වය අනුව බීජ පැලවීමට ගතවන කාලය දින 7 - 15 දක්වා වෙනස් වේ. උෂ්ණත්වය අඩු නම් බීජ පැලවීමට ගතවන කාලය වැඩි වේ.

බීජ ප්‍රරෝහණයවී පත්‍ර දෙකක් වැඩුනු පසු වැඩි පැල ගලවා ඉවත් කල යුතු අතර පැල ගලවා ඉවත් කිරීම අවස්ථා දෙකකදී කල යුතුය. මෙසේ අවස්ථා දෙකකදී පැල ගලවා ඉවත්කිරීමෙන් සමස්ථ වගාවේම කුඩා පැලවලට කෘමීන්ගෙන් සිදුවන හානිය අවම කරගත හැකිය.

වගා නඩත්තුව
බීජ ප්‍රරෝහණය වීමට හෝ පැල සිටුවීමට පෙර පුර්ව නිර්ගමන වල් නාශකයක් භාවිතා කිරීමෙන් වල් පැල පාලනය පහසු වේ. තවද වල් පැල පාලනය පහසු වේ. තවද වල් පැලවීමට පෙර පාත්තිය මත අගල් හතරක් ඝනකම පිදුරු තට්ටුවක් යෙදීමද කල හැකිය.

කාබනික පොහොර අධික පසේ කොමඩු වගාව හොදින් කල හැකිය. අවශ්‍ය අවස්ථාවලදී රසායනික පොහොර භාවිතා කිරීමද කල හැකිය. අක්කර එකක් වගාවක් සදහා පොහොර මිශ්‍රණය පහත සදහන් වේ.

යුරියා

- කි. ග්‍රෑම් 174 - 217

ත්‍රිත්ව සුපර් පොස්පේට්

- කි. ග්‍රෑම් 125 - 350

මියුරියේට් ඔෆ් පොටෑෂ්

- කි. ග්‍රෑම් 175 - 350


මනා බෝග වර්ධනය සදහා පසේ තෙතමනය මැනවින් පවත්වා ගැනීමෙන් ඵල වර්ධනයද වේගවත් වන අතර ගුණාත්මක භාවයද වැඩිවේ.

මල් පිපීම
කොමඩු වැලක මල් පිපීම ආකාර දෙකකට සිදුවේ. පලමුවෙන්ම හට ගන්නේ පිරිමි මල්ය.

ගැහැණු මල් හටගන්නේ ඊට පසුවය. ඒවායින් ගෙඩිහට ගැනීම සිදුවේ. මල් හට ගැනීම පටන් ගන්නේ වගාවේ වයස දින තිහක් පමණ වු විටය. මල් පරාගණය කෘමීන් මගින් සිදුවේ.

අස්වැන්න
හොදින් වැඩුණු වගාවක් තුලින් අක්කරයකින් මෙට්‍රික් ටොන් 20 - 30 ක් අතර අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න නෙලීම
ගෙඩි හොදින් මේරූ පසු අස්වැන්න නෙලා ගත යුතුය. "තිළිණි" ප්‍රභේදය නෙලා ගත යුත්තේ ගෙඩිය මත අළු පැහැති ස්වභාවයක් ඇතිවීමට පටන් ගත් පසුය. මේ සදහා දින 45 - 60 ක් ගත වේ.

රෝග හා පළිබෝධ
දිය මලන් කෑම, යටි පුස් රෝගය, පැල මැලවී යාම, හිටු මැරීම, පත්‍ර විච්ත්‍ර රෝගය, මූල ගැටිති වටපනු රෝගය ආදී රෝග කොමඩු වගාවට වැලදෙන රෝග ලෙස දැකිවිය හැක. බෝග මාරුව හා පසේ තෙතමනය නඩත්තු කිරීම මගින් මෙම රෝග හා පළිබෝධ වලක්වා ගත හැකිය.