පාංශු සංරක්ෂණය

පාංශු සංරක්ෂණ හැඳින්වීම
පස ප්‍රධාන ස්වභාවික සම්පත්වලින් එකකි. එය මත පිහිටා තිබෙන ශාක ගහණය නිසා එම පස හොඳින් සංරක්‍ෂණය වී පවතී. නමුත් මිනිසාගේ අවශ්‍යතාවයන් සඳහා ඉඩම් භාවිතයේදී එම ඉඩම්වල ස්වභාවික ශාක ප‍්‍රජාව ඉවත් කරයි. කෘෂිකාර්මික කටයුතු සඳහා ශාක ප‍්‍රජාව ඉවත් කිරීම මෙයින් ප‍්‍රධාන තැනක් ගනී. ශාක ප‍්‍රජාව ඉවත් කිරීමෙන් පසුව පස බුරුල් කරගනී. බිම හෑරීමෙන් අනතුරුව බෝග සංස්ථාපනය කරයි. මෙලෙස සංස්ථාපනය කළ බෝගවලට පොහොර හා වෙනත් රසායනික ද්‍රව්‍ය යෙදීම, ජල සම්පාදනය, කාබනික පොහොර යෙදීම යනාදියද සිදුකරයි. එයට අමතරව ස්වභාවික දිය කඩුළු සකස්කර බැමි බැඳීම හා භූගත ජලය වගා ඉඩම්වලට යෙදීම ආදිය ද කෘෂිකාර්මික කටයුතුවලදී සිදුකරයි.

මෙවැනි ක‍්‍රියා බොහෝ අවස්ථාවලදී පස පිරිහීයාමට හේතුකාරක වේ. ශ‍්‍රි ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වල පස පිරිහියාම ප‍්‍රධාන ආකාර කිහිපයකින් සිදුවේ.
පාංශු ඛාදනය, පසේ සරු බව හීන වීම, ලවණතාවය ඇතිවීම, පස ආම්ලික වීම ආදිය පිරිහියාමේ ප‍්‍රධාන කාර්යාවලි වේ. ශ‍්‍රි ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වලින් 50% පමණ පාංශු ඛාදනය දක්නට ලැබෙන අතර එය ප‍්‍රධානතම පාංශු හායන ක‍්‍රියාවලිය ලෙස හැඳින්වේ. මෙලෙස පස ඉවත් වීම නිසා වගා ඉඩම්වල මෙන්ම පරිබාහිර ඉඩම්වලද ගැටළු මතුවේ. සරුපස ඉවත්වීම, පසේ පෝෂක හා ජලය රඳා ගැනීමේ හැකියාව අඩුවීම, අඩු ඵලදායිතාවයකින් යුත් යටි පසේ භෝග වගාව හා පසේ ආම්ලිකතාවය වැඩිවීම යනාදිය වගා ඉඩම්වල දක්නට ලැබෙන ගැටළු වේ.

මේ නිසා පාංශු ඛාදනයට ලක්වන ඉඩම්වල භෝග ඵලදායිතාවය හීනවන අතර වගාව ආර්ථික නොවන මට්ටමක පවතී. එලෙසම ඛාදනයෙන් ඉවත් වන පස්, රොන් මඩ ලෙස ජලාශවල තැන්පත් වීම එම ජලාශවල ජලය ගබඩා කිරීමේ ධාරිතාවය අඩුකරයි. එලෙසම රොන්මඩ නිසා ජලයේ ගුණාත්මය හීනවේ.මීට අමතරව පාංශු ඛාදනයේ අතුරුඵල ලෙස ගංවතුර ඇතිවීම, නායයෑම බහුල වීම, ගංගා ඉවුරු කඩාගෙන යාම, වාරිමාර්ග ඇළවල් අවහිර වීම හා නියඟය ආදිය ප‍්‍රධාන තැනක් ගනී. පාංශු ඛාදනය ශ‍්‍රි ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වල දක්නට ලැබෙන ප‍්‍රධාන ක‍්‍රියාවලිය බැවින් පාංශු ඛාදනය අවම කිරීමේ හෝ පාලනය කිරීම පාංශු සංරක්‍ෂණය ලෙස හැඳින්වේ.

මෙම සංග‍්‍රහයේදී පාංශු ඛාදන ආකාර, පාංශු සංරක්‍ෂණ ක‍්‍රම, පාංශු සංරක්‍ෂණය කිරීම සඳහා භාවිතාකරන උපකරණ, පාංශු සංරක්‍ෂණයට නීතිමය ආවරණයක් සැලසීම සඳහා ඇති පාංශු සංරක්‍ෂණ පනත, එම පනත බලපවත්වන ප‍්‍රදේශ, පාංශු සංරක්‍ෂණය හා අදාල විස්තර ඇතුලත් තාක්‍ෂණික ලිපි යනාදිය පිළිබඳව මනා විස්තරයක් ඉදිරිපත් කරයි.

පාංශු ඛාදනය
මිනිස් කි‍්‍රයාකාරකම් නිසා දැනට ලෝකයේ ඉඩම්වලින් හෙක්ටයාර් මිලියන 1966 ක් පමණ හායනයට ලක් වී ඇත. මෙම බිම් ප‍්‍රමාණය ගොඩබිම වපසරියෙන් 15% ක් පමණ වේ. එම ඉඩම්වලින් බහුතරයක් කෘෂිකාර්මික කටයුතුවලට භාවිතාකරන බැවින් කෘෂිකර්මාන්තයෙන් ඉඩම් හායනයට ඇති බලපෑම වඩා උග‍්‍රව පවතී. මෙම ඉඩම් හායනය ප‍්‍රධාන වශයෙන් ආකාර දෙකකට සිදු වේ. ඉන් පළමුවැන්න නම් ජලය හා සුළඟ වැනි කාරකයන් නිසා පසේ සිදුවන භෞතික විස්තාපනයයි. මේ යටතට පාංශු ඛාදනය හා නායයෑම් වැනි කි‍්‍රයාවලීන් ඇතුලත් වේ.දෙවැනි ඛාදන ආකාරය වනුයේ පසෙහි භෞතික විස්ථාපනයක් සිදු නොවී පස භෞතිකව, රසායනිකව හෝ ජීව විද්‍යාත්මක වෙනස්වීම්වලට භාජනය වී හායනයට ලක් වීමයි. මේ යටතේ පහත සඳහන් කි‍්‍රියාවලීන් ප‍්‍රධාන තැනක් ගනී.

  1. පස තදවීම හා පසෙහි ජලය රඳවා ගැනීමේ හැකියාව අඩු වීම.
  2. ප‍්‍රායෝගිකව වැදගත්වන සමහර ක්‍ෂුද්‍ර ජීවී විශේෂ දුබල වීම හෝ සදහටම පසෙන් තුරන් වී යාම.
  3. පසෙහි කාබනික ද්‍රව්‍ය හීන වීම.
  4. පසෙහි ව්‍යූහය වෙනස් වීම.
  5. පසෙහි ක්‍ෂරණය නැමති කි‍්‍රයාවලිය වේගවත් වීම මගින් පස ආම්ලික වීම හෝ ශාක පෝෂක හීනවී යාම.

ශී‍්‍ර ලංකාවේ කෘෂිකාර්මික ඉඩම්වලද පාංශු හායන කි‍්‍රියාවලීන් බෙහෝමයක් දක්නට ලැබේ. ඒවායින් පහත සඳහන් කි‍්‍රයාවලින් ප‍්‍රධාන තැනක් ගනී.

  1. පාංශු ඛාදනය
  2. පසෙහි ශාක පෝෂක හීන වී යාම
  3. අහිතකර ද්‍රව්‍ය පසට එකතුවී පස දුෂණයට ලක් වීම
  4. ලවණතාවය හා ක්‍ෂාරීයතාවය
  5. පස ආම්ලික වීම
  6. ස්වපෝෂීකරණය
  7. පස තදවීම
  8. පස මතුපිට පෘෂ්ඨයේ අවකාශ මැකීයාම
  9. ජල වහනය දුර්වල වීම
  10. පස කිඳා බැසීම
  11. පසේ තෙතමන ප‍්‍රමාණය හීනවී පස වියළිව පැවතීම

මෙම හායන කි‍්‍රයාවලීන්ගෙන් පාංශු ඛාදනය ප‍්‍රධාන තැනක් ගන්නා අතර දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිතාවන ඉඩම්වලින් 50%ක පමණ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පාංශු ඛාදනය දක්නට ලැබේ. මේ අනුව ශී‍්‍ර ලංකාවේ කෘෂිකාර්මික ඉඩම් හායනය කෙරෙහි බලපාන ප‍්‍රධාන කි‍්‍රයාවලිය වනුයේ පාංශු ඛාදනයයි.මිට අමතරව මෑතකදී දක්නට ලැබෙන දේශගුණික විපර්යාස නිසා පාංශු ඛාදනය පසෙහි සිදුවන සාමාන්‍යය භෞතික විස්ථාපනයන්ට අමතරව නායයාම්ද ඉඩම් පරිහානියට දායක වී ඇත.

පාංශු ඛාදනය යනු යම් ස්ථානයක පිහිටි පස් කොටස් පාංශු දේහයෙන් පාංශු සමූහන හෝ අංශු ලෙස වෙන් වී පිහිටි ස්ථානයේ සිට ඊට ආසන්න හෝ දුරින් පිහිටි වෙනත් ස්ථානයක් වෙත ප‍්‍රවාහනය වී තැන්පත් වීමයි. ඒ නිසා පාංශු ඛාදන කි‍්‍රයාවලිය පුළුල්ව සලකා බලන කළ

අවස්ථා තුනකින් සමන්විත වේ.

  1. පාංශු දේහයෙන් පාංශු අංශු සහ සමූහන වෙන්වීම
  2. වෙන්වූ පාංශු සමූහන හා අංශු වෙනත් ස්ථානයක් වෙතට ප‍්‍රවාහනය වීම
  3. අලූත් ස්ථානයක එම පාංශු කොටස් තැන්පත් වීම

මේ කි‍්‍රයාවලි තුන පාංශු ඛාදනයේ දී තිබිය යුතුම වූ අවස්ථාවන්ය.

පාංශු ඛාදන ආකාර

පාංශු ඛාදනය පුළුල් ලෙස ආකාර දෙකකට වර්ග කළ හැක. එනම්,

1.භූ විද්‍යාත්මක ඛාදනය
2.ත්වරිත ඛාදනය

භූ විද්‍යාත්මක ඛාදනය සිදුවනූයේ වනාන්තරයකින් වැසුනු භූමි හා තෘණ භූමි වැනි ස්වාභාවික තත්ත්ව ඇති භූමිවලයි. මේ තත්ත්ව යටතේ දී ඒ භූමිවල අඩංගු කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය අධිකවන අතර පාංශු ඛාදනය අඩුය. එසේම ශාක ගහනය නිසා වැසි ජලය අතුරු කඩනයෙන් පස මතට වැටීම නිසා සිදුවන පාංශු අංශු වෙන්වීම හා සෘජු ලෙසම වැසි ජලය පස මත ගැටීම නිසා සිදුවන අංශු වෙන්වීම ආදිය ඉතා අඩුය. තවද පස තුළට ජලය කාන්දු වීම වැඩිය.

ශාක ගහණයේ මූල මණ්ඩලය මඟින් ද, කාබනික ද්‍රව්‍ය මඟින් ද පසේ සවිවරතාවය ආරක්‍ෂා කරයි. තවද ශාක මඟින් උත්ස්වේදනයෙන් පසේ ජලය වායු ගෝලයට නිකුත් කරයි. එබැවින් පසට ජලය කාන්දු වීම වැඩිවී මතුපිට ගලායන ජල ප‍්‍රමාණය අඩුවේ.

තවද කාබනික ද්‍රව්‍ය අධික වනාන්තර තත්ත්ව යටතේදී පස මත ගලන ජලය ප‍්‍රමාණය හෙවත් මතුපිට ආපදාවය නිසා ගෙනයන පස් අංශු ප‍්‍රමාණය ඉතාම අඩු කරයි. එසේම මේ තත්ත්වය යටතේදී පාංශු ජනනයේ වේගය වැඩි නිසා පස සංවර්ධනයවීමේ කි‍්‍රයාවලියක් සේ වනාන්තර සහ තෘණ බිම් තත්ත්ව යටතේ දී සිදුවන පාංශු ඛාදනය හෙවත් භූ විද්‍යාත්මක ඛාදනය හැඳින්විය හැක.

ත්වරිත ඛාදනය සිදුවනුයේ භූ විද්‍යාත්මක ඛාදනයට හාත්පසින්ම වෙනස් වූ තත්ත්ව යටතේදීය. එනම් කැලෑ හෙළි පෙහෙලි කිරීම හෙවත් පාංශු ආවරණය ඉවත් කිරීම, නුසුදුසු වගා ක‍්‍රම යෙදීම, පස නුසුදුසු ලෙස බුරුල් කිරීම ආදිය හා සතුන්ගේ සංචරණයන් හා වෙනත් කි‍්‍රයා නිසා පස මතුපිට ජලය ගලා යාම වැඩි වීම මෙම ත්වරීත ඛාදනයට හේතු වේ. ඉහත කී තත්ත්ව යටතේ දී පාංශු ජනන වේගයට වඩා පාංශු ඛාදනයේ වේගය වැඩිය. එමනිසා ගොවිතැනේ දී සැලකිය යුත්තේ ත්වරිත පාංශු ඛාදනයයි. එබැවින් පාංශු ඛාදනයට බලපාන සාධක ගැන සලකා බැලීම් වැදගත් වේ.

පාංශු ඛාදන අවස්ථා

ස්ථරීය ඛාදනය

පස මතුපිට කොටස් සියුම් හෝ තරමක් ඝන ස්ථරයක් සේ සේදී යාම මෙයින් හැෙඟ්. මෙය සිදුවනුයේ පස තුළ ඇති වා සිදුරු අවහිර වීම නිසා පස මත එකතු වන අතිරික්ත ජලය සමඟ එහි ඇති පාංශු අංශු භූමියේ පහත් ප‍්‍රදේශ කරා ප‍්‍රවාහනය වීම නිසාය.

ශාක මුල් පොළොව මතුපිටට නිරාවරණය වීම, පාදස්තල නිර්මාණය වීම, යටි පස නිරාවරණය වීම හා කුඩා ගල් කැට ඉස්මතු වීම ආදිය මෙම ඛාදන ආකාරයේ ප‍්‍රධාන ලක්ෂණ වේ. මෙමඟින් මතුපිට සරු පස ඉවත්වීම නිසා ඉඩම් නිසරු වේ.

මෙම සාධක උපයෝගීකර ඛාදනයේ තීව‍්‍රතාවය මත පදනම් වූ ස්ථර ඛාදන අවස්ථා 04 ක් පවතී.

1.
ස්ථර ඛාදනය වී නොමැති අවස්ථාව

  • ස්ථර ඛාදනය පෙන්නුම් කරන ලක්‍ෂණ කිසිවක් දක්නට නොමැත

2. ස්ථර ඛාදනයේ ස්වල්ප අවස්ථාව

  • සුළු වශයෙන් ශාක මුල් නිරාවරණය වීම
  • පාදස්තල නිර්මාණය දක්නට නොලැබීම

3. ස්ථර ඛාදනයේ මධ්‍යස්ථ අවස්ථාව

  • ස්වල්ප ලෙස පාදස්තල නිර්මාණය වීම හෝ ඒවයේ උස සෙ.මි. 5ට අඩු වීම
  • සැලකිය යුතු ප්‍රමාණයක ශාක මුල් නිරාවරණය වී තිබීම
  • මතුපිට පස ඉවත් වීමක් දක්නට ලැබෙන අතර යටිපස නිරාවරණය නොවී පැවතීම

4. ස්ථර ඛාදනයේ උග්‍ර අවස්ථාව

  • මතුපිට පස පැහැදිලිව ඉවත් වී තිබීම
  • පාදස්තල නිර්මාණය වීම හා ඒවායේ උස සෙ.මි. 5ට වඩා වැඩිවීම
  • ශාක හෝ භෝගවල මුල් අධික ලෙස නිරාවරණය වී තිබීම
  • යටිපස නිරාවරනය වී තිබීම හෝ නිරාවරණයට ආසන්නව වීම

ස්ථර ඛාදනය ක‍්‍රම ක‍්‍රමයෙන් සිදුවන දිගුකාලීන කි‍්‍රයාවලියකි. එම කි‍්‍රයාවලිය ඉඩම් පරිහරණ කරන්නන්ගේ අවධානයට යොමු නොවේ. එබැවින් බොහෝ අවස්ථාවලදී නිසිකලට සුදුසු සංරක්‍ෂණ ක‍්‍රම යෙදීම දක්නට නොලැ‍බේ.

ඇලි ඛාදනය

පස මතුපිට එකතුවන අතිරික්ත ජලය භුමියේ පහත් ප‍්‍රදේශ කරා ගලා යන විට එම ජලය ගලා බසින මාර්ග ඔස්සේ ඇලි නිර්මාණය වේ. මෙය ඇලි ඛාදන අවස්ථාවයි. මෙහිදී ඇලියේ ගැඹුර සෙ.මි. 30 ක් දක්වා ඇලි ඛාදනය ලෙස සලකන අතර එම ගැඹුර සෙ. මි. 30ට වඩා වැඩි වූ විට එම අවස්ථාව අගල් ඛාදනය ලෙස වර්ග කෙරේ.

පාදස්ථල නිර්මාණය වීම හා විවිධ ගැඹුරකින් යුත් ඇලි නිර්මාණය වීම මෙම ඛාදන අවස්ථාවේ දක්නට ලැබෙන ලක්‍ෂණ වේ. එම ලක්‍ෂණ උපයෝගී කරගන ඇලි ඛාදන අවස්ථාව වර්ග 04 ක් ලෙස කොටස් කෙරේ.

01. ඇලි ඛාදනය නොමැති අවස්ථාව

  • ඉඩමේ ඇලි නිර්මාණය වීමක් දක්නට නොමැත.

02. ඇලි ඛාදනයේ ස්වල්ප අවස්ථාව

  • සෙ.මි.10 ට නොවැඩි ඇලි ස්වල්පයක් ෙඉඩමේ දක්නට ඇත.
  • ඇලි වලට ඇතුලත් වන වපසරිය ඉඩමේ මුළු වපසරියෙන් 5% ට වඩා අඩු වේ.

03. ඇලි ඛාදනයේ මධ්‍යස්ථ අවස්ථාව

  • සෙ.මි.20 ට නොවැඩි ඇලි සැලකිය යුතු ප‍්‍රමාණයක් ඉඩමේ දක්නට ලැබේ.
  • ඇලි වලට ඇතුලත් වන වපසරිය ඉඩමේ මුළු වපසරියෙන් 25% ට වඩා අඩු වේ

04. ඇලි ඛාදනයේ උග‍්‍ර අවස්ථාව

  • සෙ.මි.30 ට නොවැඩි ඇලි රාශියක් ඉඩමේ දක්නට ලැබේ.
  • ඇලි වලට ඇතුලත් වන වපසරිය ඉඩමේ මුළු වපසරියෙන් 25% ට වඩා වැඩි වේ

මෙම ඇලි ඛාදනය බොහෝ අවස්ථා වලදී කෘෂිකාර්මික හෝ වෙනත් කටයුතු සඳහා බිම් සකසන අවස්ථාවේ බහුල වශයෙන් දක්නට ලැබේ. ගොවිපල උපකරණ භාවිතා කිරීම මඟින් එම ඇලි වලට පස් පුරවා ඉඩම සුමට කරවා නැවත භාවිතයට ගත හැකිය.

අගල් ඛාදනය

ඇලි ඛාදන අවස්ථාවේදී නිසි සංරක්‍ෂණ ක‍්‍රම නොයෙදීම නිසා ඇතැම් ඇලි ප‍්‍රමාණයෙන් විශාල වී අගල් බවට පත්වේ. මෙහිදී ඇලියේ ගැඹුර සෙ. මි. 30 ට වඩා වැඩි වූ විට අගලක් යැයි හදුන්වනු ලැෙබි. අගලක් නිර්මාණයේ පළමු අවස්ථාව වනුයේ ඇලිය ඛාදනයට ලක් වෙමින් එහි පතුල සේදී ගැඹුර වැඩි වීමයි. පසුව එම ඇලියේ දෙපස පස් කොටස් ඉවත් වී ඇලිය පළල් වේ. මෙහි ප‍්‍රතිඵලය වනුයේ ඉවුරුවල ස්ථායිතාවය නැතිවී යාමයි. පසුව මෙම අස්ථායි ඉවුරු තවදුරටත් ඛාදනය වී අගල් නිර්මාණයේ සකී‍්‍රය අවස්ථාවට පැමිණේ.

සකී‍්‍රය අවස්ථාව අවසානයේදී අගල ස්ථාවර වී ඛාදන වේගය අඩුවන් අවස්ථාවකට පත් වේ. එම අවස්ථාවේදී අගලේ ඉවුරු හා පතුල මත ශාක වර්ධනය වීම නිසා ඛාදනය තව දුරටත් හීනවී යයි. අධික වර්ෂාපතනයක් ඇති අවස්ථාවල මෙම අගල් වල ගලන ජලයේ ප‍්‍රමාණය හා වේගය වැඩි වීම සහ සතුන්ගේ කි‍්‍රයා නිසා මෙම ස්ථාවර අගල් නැවත ඛාදනයට භාජනය විය හැකිය.

අගල් ඛාදන අවස්ථා වර්ග 04කට කොටස් කෙරේ

01. අගල් දක්නට නොමැති අවස්ථාව

  • ඉඩමේ ඇලි නිර්මාණය වීමක් දක්නට ලැබුනද ඒවායේ ගැඹුර සෙ.මි. 30කට වඩා අඩුවේ

02. අගල් ඛාදනයේ ස්වල්ප අවස්ථාව

  • සෙ.මි. 50ට වඩා නොගැඹුරු අගල් ස්වල්පයක් දක්නට ලැෙබි
  • අගලට යට වන භූමි වපසරිය 5% ට වඩා අඩුවීම

03. අගල් ඛාදනයේ මධ්‍යස්ථ අවස්ථාව

  • සෙ.මි. 100ට නොවැඩි අගල් සැලකිය යුතු ප‍්‍රමාණයක් දක්නට ලැබේ
  • අගල්වලට යටවන භූමි වපසරිය 5% -25%ත් අතර වේ

04. අගල් ඛාදනයේ උග‍්‍ර අවස්ථාව

  • සෙ.මි. 100ට වඩා ගැඹුරු වූ අගල් දක්නට ලැබේ
  • අගල්වලට යටවන භූමි වපසරිය 25%ට වඩා වැඩි වේ

මෙලෙස අගල් නිර්මාණය වීම නිසා ගොවිපල උපකරණ හා සතුන් රැුගෙන යාමට භෞතික අපහසුතා ඇති වේ. අගල් පුරවා දැමිමට සැලකිය යුතු ප‍්‍රමාණයක් මතු පිට පස් අවශ්‍යවන නිසා එම පිරවූ ප‍්‍රදේශ නැවත ඛාදනයට ලක්වීමට ඉඩ ඇති නිසාත් ඇලි ඛාදනයේදී මෙන් ගොවිපල උපකරණ මඟින් අගල් වසා දමා ඉඩම මතු පිට සුමට කිරිමට නොහැකිය. එබැවින් අගල් සංරක්‍ෂණය සඳහා විශේෂිත වූ සංරක්‍ෂණ ක‍්‍රම අනුගමනය කල යුතු වේ.

අභ්‍යන්තර ඛාදනය

පසට ලැබෙන වැසි ජලය නිිසා මතුපිටින් වෙන්වන පස් අංශු පස තුලට ඇතුලූවන ජලය සමඟ ඇතුලූ වී එහි ඇති අවකාශ වසා සිටින අවස්ථාවකි මෙය. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පස තුළ දැඩි ස්ථරද ඇතිවිය හැක. එසේම පස තුළට කාන්දු වන ජල ප‍්‍රමාණය මේ නිසා අඩු වේ. පාංශු කාබනික ද්‍රව්‍ය පස තුළට ඇතුල් වී යටිපස සරු කිරීම හා පසේ ව්‍යුහය දියුණු කිරීම ආදිය මෙයින් ඇතිවන වාසි වේ.

විශාල කොටස් ලෙස පස් චලනය වීම.

මෙහි දක්නට ලැබෙන විශේෂ සිදුවීම නම් අංශු වෙන්වීමක් නොමැතිව ආරම්භක ස්ථානයේ සිට පස් කඳු, එලෙසින්ම වෙනත් ස්ථානයකට ප‍්‍රවාහනය වීමයි. මීට හේතුවනුයේ බොහෝ විට ගුරුත්වයේ බලපෑමකි. ලංකාවේ කඳුකරයේ මෙය ඇතැම් විට දැකිය හැකි වුවත් අන් රටවල බහුලව සිදුවේ. භූමියේ ප‍්‍රමාණය අනුව සිදුවන හානි වෙනස් වේ. විශාල ලෙස සිදුවන නායයාම් ආදිය නිසා ජනගහනය ද නිවාස හා කෘෂිකාර්මික භූමි ආදියද විනාශ විය හැකිය. මේ නිසා ඇතැම් භූමි වගාකළ නොහැකි තත්ත්වයකට පත් වේ.

මෙවැනි භූමි කොටස් චලනය සහ ප‍්‍රවාහනය වැළකීමට අපහසු වුවද නිසි ලෙස භූමි භාවිතය කිරීමෙන් වන හානිය බොහෝදුරට වළක්වාලිය හැකිය. පස් කඳු සේ කැඞී ඉවත්ව යාම ආකාර තුනකට සිදුවේ.

කුඩා පස් කඳු සේ ලිස්සා යාම, විශාල පස් කඳු සේ කැඞී යාම හෙවත් නාය යාම සහ සතුන් සංචරණය කිරීම නිසා සිදුවන පස් කඳු කඩා වැටීම් වශයෙන් මේවා හැඳින්විය හැකිය. චලනයේ ප‍්‍රමාණය අනුව ආකාර 04 කට වර්ග කෙරේ.

01. විශාල පස් කොටස් චලනය නොවන අවස්ථාව

  • පස් කොටස් චලනයේ ලක්‍ෂණ ඉඩමේ දක්නට නොමැත

02. අල්ප වශයෙන් විශාල පස් කොටස් චලනය වීම

  • චලනයට භාවිතාවන පස් කොටස්වල ප‍්‍රමාණය සාපේක්‍ෂව කුඩාය
  • එකිනෙකට සම්බන්ධ නොවූ භූ චලන ලෙස පවතී

03. මධ්‍යස්ථ වශයෙන් විශාල පස් කොටස් චලනය වීම

  • මධ්‍යස්ථ ප‍්‍රමාණයේ භූ චලන මීට ඇතුළත් වේ
  • එකිනෙට සම්බන්ධ නොවූ භූ චලනයන්ලෙස පවතී
  • භූමි පෘෂ්ඨයේ වපසරියෙන් 0.1% - සිට 1% දක්වා භූ චලනයට භාජනය වේ.

04. උග‍්‍ර වශයෙන් විශාල පස් කොටස් චලනය වීම

  • විශාල පස් කොටස් විශාල ප‍්‍රමාණයන්ගෙන් චලනය වීම මෙහීදී දක්නට ලැබේ
  • එකිනෙකට සම්බන්ධ වූ භූ චලන එකතුවක් ලෙස ඇතැම් අවස්ථාවල දක්නට ලැබේ
  • විශාල පස් ස්කන්ධයක් මෙම ආකාරයේ භූ චලනය මඟින් ඉවත් වී යයි

පස ගිලා බැසීම

ප‍්‍රථමයෙන් තිබුණු මට්ටමක සිට ඊට වඩා පහත් මට්ටමක් දක්වා පස් ගිලා බැසීම මෙහිදී සිදුවේ. මෙය පස තුළ ඇති කාබනික කොටස්වල ඔක්සීකරණය හා ජීරණය යනාදිය නිසා ඒ ඇතුලත ඇති අංශු ඉවත් විම හෝ පාංශු සමූහන සේදීයාම නිසා ඇතිවන කුහරවල හේතුවෙන් සිදුවිය හැකිය. තවද මහා පරිමාණයෙන් භූ ජලය පසෙන් ඉවත් කිරීම නිසා පස තුල අවකාශ ඇතිවිමෙන්ද මෙලෙස පස ගිලා බැසීම දක්නට ලැබේ.

සුළං ඛාදනය

ලංකාවේ සුළං ඛාදනය බොහෝදුරට අඩු වුවද අන් රටවල ඉතා අධික ලෙස සුළං ඛාදන හානි සිදු වේ. ඇමරිකාවේ කැලිෆෝනියාවේ වසරක දී පස් ටොන් දහස් ගණනක් සුළං නිසා ඉවත් වී යයි. එසේම අපි‍්‍රකානු හා අරාබි රටවල්වලද අධිකව සුළං ඛාදන හානි සිදුවේ.

අධික සුළං නිසා පාංශු ඛාදනයන්ට අමතරව නිවාස සහ වෘක්‍ෂලතාදියට ද හානි සිදු වූ වාර අනන්තය. ඇතැම් කාන්තාර ප‍්‍රදේශවල ඇති අධික සුළඟ නිසා වැලි කඳු ආදියේ පිහිටීම නිතර වෙනස් වෙමින් පවතී. වියළි කලාපයේ යල කන්නයේදීත්, කඳුකරයේ ඌව, මිනිපේ, මහියංගනය, හුන්නස්ගිරිය ආදී ප‍්‍රදේශවල ජූලි, අගෝස්තු යන මාසවලදීත් පවතින අධික සුළං නිසා ක්‍ෂේත‍්‍ර බෝග වගාවට බරපතල හානි සිදු වේ.

එලෙසම මෙම ප‍්‍රදේශවල ඉතා සෘජු වශයෙන් සුළං ඛාදනයත් දක්නට ලැබේ. සුළඟින් ඇතිවන ඛාදනය ජල ඛාදන යටතේ සඳහන්කර ඇති පියවරවල් අනුව සිදු වේ. එනම්, පස් අංශු වෙන්වීම, අංශු ප‍්‍රවාහනයවීම සහ වෙනත් ස්ථානයක තැන්පත් වීම යනාදියයි. මෙම ඛාදනය සඳහා සුළෙඟ් ඇති වේගය සහ පසේ ලක්‍ෂණ බලපායි.

පසේ ලක්‍ෂණ ගැන සළකන විට පස් අංශුවල වෙන්විමට ඇති හැකියාවත්, සුළඟට පස් අංශු වෙන් කිරීමට ඇති බලයත් වැදගත් වේ.පස් අංශු අතර ඇති ආතතිය නිසා පස තෙත් වූ විට පස් අංශු වෙන්වීමට ඇති හැකියාව අඩුය.

සුළඟ මඟින් වායුගෝලයේ ඇති සාපේක්‍ෂ ආර්ද්‍රතාවය අඩු කරන නිසා පසේ තෙතමනය ඉවත් වී පාංශු අංශු අතර ඇති ආසක්ති බලය අඩුවීමෙන් පාංශු අංශු වෙන්වීම සිදුවේ. ඒ නිසා ඛාදනය වැළැක්වීමට නම් සුළෙඟ් ප‍්‍රවේගය සහ සුළං සමඟ පස ගැටීම අඩුකළ යුතු වේ.සුළං භාදක ඉදිකිරීම, වසුන් භාවිතය, පස නිතරම තෙත්ව පවත්වා ගැනීම, පසේ ව්‍යුහය දියුණු කිරීම ආදිය මඟින් සුළං ඛාදනය පාලනය කරගත හැකි වේ.

ගංගා ඉවුරු ඛාදනය

ගං ඉවුරුවල බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ දියළු පස්ය. එම පස ස්ථාවර බවින් අඩු අතර පාංශු ඛාදනයට පාත‍්‍ර වේ. නමුත් එම පස හොඳින් ශාක ආවරණයකින් සමන්විත අවස්ථාවලදී ඛාදනය අවම මට්ටමක පවතී. අවිධිමත් ඉඩම් පරිහරණ ක‍්‍රම නිසා මෙම ශාක ආවරණ ඉවත්කර කෘෂිකාර්මික හෝ වෙනත් කි‍්‍රයාවන්වලට යොදා ගැනීමේදී ගං ඉවුරු ඛාදනය බහුල වශයෙන් දක්නට ලැෙබි. දේශගුණික විපර්යාසවල ප‍්‍රථිපලයක් ලෙස අධික වර්ෂා තත්ත්ව පැවතීම හා ගංගා පෝෂක ප‍්‍රදේශවල වනාන්තර එළිපෙහෙළි කිරිම නිසා වර්ෂාවත් සමඟ වර්ෂා ජලයෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් ක්ෂණිකව පෘෂ්ඨීය ආපදාවය ලෙස ගංගා ඇළ දොළවල්වලට එකතු වේ. මෙම ජල ප‍්‍රවාහයන්ද ගංගා ඉවුරු ඛාදනය තීව‍්‍ර කිරිමට ඉවහල් වේ. සුදුසු ශාක ආවරණ මඟින් ගංගා ඉවුරු ස්ථාවර කිරීම මගින් මෙම ඛාදන අවස්ථාව පාලනය කරගත හැකිය. එලෙසම ඇතැම් අවස්ථාවලදී ඉංජීනේරුමය ව්‍යුහ භාවිතා කිරිමට සිදුවේ.

වෙරළ ඛාදනය

ගං ඉවුරුවල මෙන්ම වෙරළ ප‍්‍රදේශවලද බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ස්ථාවර බවින් අඩු රෙගසෝල් වැනි පසය. එම පස ස්වභාවික අවස්ථාවලදී ශාක ගහණය මඟින් හොඳින් ආරක්‍ෂාකර පවත්වා ගනී. නමුත් මිනිසාගේ අවිධිමත් ඉඩම් පරිහරණ ක‍්‍රම නිසා මෙම ශාක ගහණය ඉවත් වී යාම කරණ කොටගෙන වෙරළ ඛාදනය බහුල වශයෙන් දක්නට ලැෙබි. නැවත ශාක ගහණ ස්ථාපිත කිරිම, සුදුසු ඉඩම් පරිහරණ ක‍්‍රම අනුගමනය කිරිම මගින් මෙම ඛාදන අවස්ථාව පාලනය කරගත හැකිය. ඇතැම් අවස්ථාවලදී අධික වියදමක් දරමින් ඉංජීනේරුමය ව්‍යුහ ඉදිකිරිමටද සිදුවේ.

පාංශු සංරක්‍ෂණය
පාංශු සංරක්‍ෂණය

හැඳින්වීම

බාහිර සාධකවල බලපෑම නිසා පස් අංශු වෙන්වීම, වෙන්වූ අංශු ප‍්‍රවාහනය වීම සහ වෙනත් ස්ථානයක තැන්පත් වීම යන ආකාර තුනකින් සිදුවන පාංශු ඛාදනයේ දී පස් අංශු වෙන්වීම හා අංශු ප‍්‍රවාහනය වීම කෘතී‍්‍රම ක‍්‍රම යොදා වැළකීම හෝ අවම කිරීම පාංශු සංරක්‍ෂණය නම් වේ. ප‍්‍රධාන මූලධර්ම තුනක් මත පාංශු සංරක්‍ෂණය පදනම් වී ඇත. දේශීයව ජලය ප‍්‍රධාන පාංශු ඛාදන කාරකයා වන බැවින් පහත සඳහන් කරුණු සැලකිල්ලට භාජනය විය යුතුවේ.
  1. කෙලින්ම පස මතට වැටෙන වැසි ජලයේ ඇති චාලක ශක්තිය නිසා පස් අංශු වෙන්වීම ඛාදනයේ මූලික අවස්ථාව නිසා වැසි ජලය කෙළින්ම පස මත පතිත වීම වැළැක්විය යුතුයි
  2. පස මත ජලය ගලා යාම, ගලායන ජලයේ ප‍්‍රමාණය හා ප‍්‍රවේගය අඩුකළ යුතුයි. මෙමඟින් පස් අංශු වෙන්වීම හා ප‍්‍රවාහනය අඩුකළ හැක
  3. අනවශ්‍ය පරිදි පස බුරුල් නොකිරීමෙන් පසේ අංශු වෙන්වීම වළකින අතර අධික වර්ෂාපතනයක් ඇති කාලවල දී පවා පාංශු ඛාදනය අවමකළ හැක

මෙවැනි කි‍්‍රයා මඟින් සම්පූර්ණයෙන්ම පාංශු ඛාදනය වැළැක්වීමට අපහසුය. ඒ නිසා පාංශු සංරක්‍ෂණ ක‍්‍රම මඟින් එක්තරා ප‍්‍රමාණයකට පාංශු ඛාදනය අවමකළ හැක. පාංශු සංරක්‍ෂණ ක‍්‍රම පහත දැක්වෙන පරිදි වර්ගීකරණය කළ හැක.

අ.යාන්ති‍්‍රක ක‍්‍රම
ආ. ඡීව විද්‍යාත්මක ක‍්‍රම
ඇ. කෘෂිකාර්මික ක‍්‍රම

යාන්ත‍්‍රික ක‍්‍රම

අධික බෑවුම සහිත ඉඩම්වල පාංශු ඛාදනය වැළැක්වීමට කෘෂිකාර්මික සහ ජෛව විද්‍යාත්මක ක‍්‍රම පමණක් යෙදීම ප‍්‍රමාණවත් නොවේ. එවැනි අවස්ථාවලදී කෘතී‍්‍රමව වෙනත් ඉංජිනේරුමය ක‍්‍රම යෙදීමට සිදුවේ. මෙහිදී යාන්ති‍්‍රක ක‍්‍රම වැදගත් තැනක් ගනී. මෙහි ප‍්‍රධාන බාධකය වනූයේ අධික මුදලක් වැය වීමයි.

ගල් වැටි

යෙදීමේ අරමුණ

පොළව මතුපිට වැසි ජලය ගලායන දුර සහ වේගය අඩු කිරීම තුළින් පොළව මතුපිටින් ඇදීයන පස් රොන්මඩ රඳවා ගැනීමට හැකිවීම සහ පස තුළට ජලය කාන්දුවීමේ හැකියාව වැඩි දියුණු කිරීම. යෙදිය හැකි අවස්ථාක ගල් සහිත වූ නොගැඹුරු පසක් සහිත මධ්‍යස්ථ හෝ වැඩි බෑවුමක් සහිත ඉඩම්වලට සුදුසුය. කෙටි කාලීන බෝග, අපනයන කෘෂි බෝග සහ වැවිලි බෝග වගාවන්ට ගැලපේ.

සැලකිය යුතු කරුණු.

  • සෙ.මී. 22 ක් ගැඹුරැුති ගල් පිරවූ අත්තිවාරමක් ම ගල් වැටිය ගොඩනැංවිය යුතුයි.
  • පොළව මතුපිට සිට උස සෙ.මී. 45 ක් උසට වැටිය ගොඩනැගිය යුතුයි.
  • පළල සෙ.මී. 60 ක් පමණ වීම යෝග්‍යය.
  • සම උස මට්ටමක ඉදිකල යුතුයි .
  • ගල් ගැලවී ඉවත් වූ අවස්ථාවල දී නඩත්තු කල යුතුය.
  • ගල් වැටි ගොඩනැංවීමට පුහුණු ශ‍්‍රමය අවශ්‍ය වේ.

හෙල්මළු

යෙදීමේ අරමුණ

  • පොළව මතුපිටින් ගලා යන ජලයේ දුර සහ වේගය අඩුකර වැඩි ජල ප‍්‍රමාණයක් පස තුළට කාන්දුවීමට සැලැස්වීම.
  • බෝග පාලනය පහසුකර ගැනීමේ මතුපිට බිමක් සකසා ගැනීම.
  • පිටාර ජලය ආරක්‍ෂාකාරී ලෙස බැහැර කිරීමට ඉඩ සැලැස්වීම.

යෙදිය හැකි අවස්ථා -

  • සුළු සහ මධ්‍යස්ථ බෑවුම් සහිත ඉඩම්වලට.
  • අර්තාපල්, එළවළු හෝ වැඩි ආදායමක් ලබාදෙන බෝග වගාවන්ට ගැලපෙයි.

සැලකිය යුතු කරුණු -

  • පසේ ගැඹුර සහ බෑවුමේ ස්වභාවය මත හෙල්මළුවෙහි පළලත කණ්ඩියෙහි උසත තීරණයකර ගත යුතුයි.
  • හෙල්මළු කැපීමට පෙර මතුපිට පස් වෙනම එකතු කිරීමත් පසුව ඒවා හෙල්මළු මත විසුරුවා දැමීමත් කළ යුතුයි.
  • හෙල්මළු සම මට්ටමට හෝ පසු බෑවුම් ආකාරයට ඉදිකළ යුතුය.
  • හෙල්මළු ඉහල කෙළවර නොගැඹුරු කාණුවක් යෙදීමෙන් අනවශ්‍ය ජලය ආරක්‍ෂාකාරීව බැහැර කල යුතුය.
  • කණ්ඩිය ගල්වලින් හෝ තෘණ වගා කොට ආරක්‍ෂා කල යුතුය.

කුට්ටි කානු

යෙදීමේ අරමුණ

පොළව මතුපිට වැසි ජලය ගලා යන දුර සහ වේගය අඩු කිරීම මඟින් සෝදාපාළුව අඩුකිරීම හා වැඩි ජල ප‍්‍රමාණයක් පස තුළට කාන්දුවීමට සැලැස්වීම මෙම ව්‍යුහ යෙදීමේ තාක්‍ෂණික පදනමයි. තවද මතුපිට ගලා යන ජලය ආරක්‍ෂාකාරී ලෙස බැසයාමට සැලැස්වීමද මෙමඟින් සිදුවේ.

යෙදිය හැකි අවස්ථා

මද බෑවුම් සහ මධ්‍යස්ථ බෑවුම් සහිත ඉඩම්වලට සුදුසුයි. අපනයන කෘෂි බෝග, තේ, පොල් සහ පලතුරු වගාවන්වලට ගැලපේ.

සැලකිය යුතු කරුණු

  • කානුවේ පළල සෙ.මී. 60 යි.
  • ගැඹුර සෙ.මී. 45 යි.
  • මීටර් 4-5 පරතරයකට කානුව. ඇතුලත සෙ.මී. 45ක් දිග පස් කුට්ටියක් ඉතිරි කළ යුතුයි.
  • පස් කුට්ටිය කානුවේ ගැඹුරට වඩා සෙ.මී. 15 ක් අඩුවිය යුතුයි.
  • කානුව කපන විට ඉවත්කරන පස් කානුවේ යටි පැත්තේ (සෙ.මී. 22 ක්) පමණ දුරකින් වැටියක් ලෙස යෙදිය යුතුයි.
  • මීටර් 80 ක් පමණ දුරකදී කානුව ස්වභාවිකව දිය පහරට හෝ නෙත්ති කානුවකට යොමු කල යුතුයි
  • කානුව සම මට්ටමකට හෝ මීටර් 120ට මීටරයක බැස්මක් සහිතව ඉදිකළ හැකිය
  • කානුවට උඩ පැත්තේ සෙ.මී. 15 ක් දුරින් සැවැන්දරා හෝ පඳුරු තෘණ වර්ගයක් වැටියක් සේ සිටුවිය යුතුයි
  • සෑම වැසි කාලයකටම පසුවම කානුව ගොඩ දැමිය යුතු අතර පස් දැමිය යුත්තේ කානුවෙන් උඩ පැත්තටය

තනි වේදිකා/ඒකීය බිම් තට්ටු

අරමුණ

  • අධික බෑවුම් සහ අක‍්‍රමවත් මතුපිටක් (රැලි බිම් සහ ගල් පර සහිත) ඇති බිමක පස සෝදා පාළුවී යාම අඩුකර ගැනීම සඳහා වඩා සුදුසු ක‍්‍රමයකි.
  • පස නිරාවරණයවන ඉඩ ප‍්‍රමාණය අඩු නිසා සෝදා පාළුව අවම වේ.

යෙදිය හැකි අවස්ථා

  • අධික බෑවුම සහිත ඉඩම්වලට සුදුසුයි අපනයන කෘෂි බෝග, වැවිලි බෝග, පලතුරු බෝග හෝ වන වගාවන්ට ගැලපේ.

සැලකිය යුතු කරුණු

  • ස්ථිර බෝග වගාවන්ට පමණක් යොදා ගත යුතුය.
  • බෝගය අනුව වේදිකාවන් අතර පරතරය තීරණය කරගත යුතුයි.
  • බෝගයේ නිර්දේශිත පරතරය වේදිකාවන් අතර පරතරයයි.
  • වේදිකා අතර තෘණ ආවරණය හොඳින් නඩත්තුකළ යුතුයි.
  • වේදිකාව සම මට්ටම් හෝ පසු බෑවුම් සහිත විය යුතුයි.

සමෝච්ච වේදිකා

අරමුණ

  • පොළව මතුපිට වැසි ජලය ගලා යන දුර සහ වේගය අඩුකිරීම මඟින් පස තුලට වැඩි ජල ප‍්‍රමාණයක් කාන්දුවීමට සැලැස්වීම
  • වේදිකා අතර ඇති තෘණ ආවරණය නිසා වැසි ජලය කෙලින්ම පොළව මතට ඇද වැටී පොළව හා ගැටීමෙන් සිදුවන හානිය අඩුකර ගැනීම
  • බෝග පාලනය පහසුකර ගැනීම

යෙදිය හැකි අවස්ථා

  • මධ්‍යස්ථ හෝ තද බෑවුමක් සහිත ගැඹුරු පසක් සහිත ඉඩම්වලට සුදුසුයි.
  • නිර්දේශිත පරතරයන්ට අනුව සිටුවන ලබන වැවිලි බෝග හෝ පලතුරු බෝග වගාවලට ගැලපේ.

සැලකිය යුතු කරුණු

  • බෝග පැළ සිටුවනු ලබන්නේ වේදිකාවන් තුළයි
  • වේදිකා දෙකක් අතර පරතරය ලෙස තීරණය කරනු ලබන්නේ එම බෝගයේ පැළ අතර පරතරයයි
  • වේදිකාවේ පළල බෝගය අනුව තීරණයවිය යුතුයි
  • කැපීමේ හා පිරවීමේ ක‍්‍රමයට වේදිකා සැකසිය යුතුය
  • වේදිකාව තුළ සිටුවන බෝගය නියමිත පැළ පරතරයට සිටුවිය යුතුය
  • වේදිකාව ඉහළ කෙළවර නොගැඹුරු කාණුවක් යෙදීමෙන් ජලය ආරක්‍ෂාකාරී ලෙස බැහැරකළ යුතුයි
  • වේදිකා දෙකක් අතර තෘණ ආවරණය ඉවත් නොකළ යුතුය

ජීව විද්‍යාත්මක ක්‍රමය

ජෛව විද්‍යාත්මක ක‍්‍රම මඟින් සිදුවනුයේ වගා කරන බෝගයට අමතරව වෙනත් ශාකයක් ක්ෂේත‍්‍රයේ සංස්ථාපනයකර පස සංරක්ෂණය කරගැනීමයි. මෙහිදී දෙවැටි ජීව වැටි, තෘණ හෝ සැවැන්දරා වැටි හා ආවරණ වගා භාවිතා කරයි. දෙවැටි හෝ තෘණ හෝ සැවැන්දරා වැටි බෑවුමට හරස්ව සංස්ථාපනය කරයි. එමඟින් පොළොව මතුපිට ගලා යන ජලයේ වේගය අඩු කරන අතර ප‍්‍රවාහනයවන පස් අංශු රඳවා ගනී. මිට අමතරව ආවරණ වගා මඟින් පසට කාබනික ද්‍රව්‍ය නිරන්තරයෙන්ම එකතු වීම නිසා පසේ ව්‍යුහය වැඩි දියුනුවී ඛාදන හැකියාව අඩුකරයි.

දෙවැටි (ජීව වැටි)

අරමුණ

  • පොළව මතුපිට ගලා යන වැසි ජලයේ වේගය අඩු කිරීම සහ දුර අඩු කිරීම මඟින් පස සෝදා පාළුවීම අඩුකර ගැනීම.
  • වැඩි ජල ප‍්‍රමාණයක් පොළවට කාන්දුවීමට සැලැස්වීම.
  • කප්පාදුකරන ශාක කොටස් පසට.
  • එකතු කිරීමෙන් පසේ ව්‍යුහය සහ සාරවත්භාවය වැඩිකර ගැනීම.
  • ශාක කොටස් පසට ආවරණයක් ලෙස භාවිතා කිරීම මඟින් පසේතෙතමනය ආරක්‍ෂා කිරීම.

යෙදිය හැකි අවස්ථා

  • මධ්‍යස්ථ හෝ තද බෑවුම් සහිත ඉඩම්වලට සුදුසුයි.
  • කෙටි කාලීන ක්‍ෂේත‍්‍ර බෝග, අපනයන කෘෂි බෝග සහ පලතුරු ගාවන්වලට ගැලපේ.

සැලකිය යුතු කරුණු

  • ග්ලිරිසීඩියා, නත්තසූරිය, පාවට්ටා, කැලියැන්ඩ‍්‍රා, ජලෙමින්පියා ආදී ශාක වර්ග දෙවැටි සඳහා යොදා ගත හැකිය.
  • මීට අමතරව සැවැන්දරා හෝ පඳුරු තෘණ වර්ග භාවිතාකළ හැකිය.
  • ග්ලිරිසීඩියා භාවිතා කරයි නම් මධ්‍යස්ථ ප‍්‍රමාණයට මේරූ සෙ.මී.75 ක් දිග කෝටු සපයා ගත යුතුයි.
  • කෝටුවල මුදුන කෝණාකාරව කපා තිබිය යුතුයි.
  • ඉනි සිටුවිය යුත්තේ සෙ.මී. 15 පරතරයට (සෙ.මී. 15-20 ගැඹුරට සමෝච්ච ක‍්‍රමයටය. එකිනෙකට සෙ.මී. 45) ක් ඈතින් අක් වක් ක‍්‍රමයට ඉනි සිටුවිය යුතුය.
  • පේළි දෙකක් එකිනෙකට සමාන්තරව සිටවනු ලැබේ.
  • සිටවූ කෝටුවල උඩු කෙළවර පොලිතීන්වලින් ආවරණය කිරීම හෝ මැටි ආලේප කිරීම සුදුසුය.
  • ඉනි පේළි දෙක අතරට ඉඩමේ වගාවට ප‍්‍රයේජනවත් නොවන ගල් මුල්, වියලි තෘණ සහ කොටු කෑලි ගොඩ ගැසීමකළ යුතුයි.
  • ඉනි පැළවීමෙන් පසු ඇතිවන අතු රිකිලි සෙන්ටිමිටරයක් පමණ දිගකට වැඞීමට ඉඩ හැර කප්පාදු කළයුතු වේ.
  • පැළ නොවූ හෝ විනාශ වූ කෝටු වෙනුවට අලූත් කෝටු සිටුවිය යුතුයි. මෙය පළමු මාසය තුළදීම කිරීම වඩාත් සුදුසුය.

සැවැන්දරා හෝ තෘණ වැටි

සැවැන්දරා හෝ තෘණ වැටි සමෝච්චය ඔස්සේ සිටුවීම කරනු ලැබේ. එකිනෙකට සෙ.මී. 30 ක් ඈතින් සමාන්තරව පේළි දෙකක් සිටුවිය යුතුය. එක් තැනෙක මොරෙයියන් 2-3 බැගින් සෙ.මී. 15 පරතරයට සිටුවීම සුදුසුය. මෙම සැවැන්දරා හා තෘණ පඳුරුවල මුල් මඟින් පස් කැටිති දැඩිව අල්ලා ගැනීම, පස නිරාවරණය වීම වැළැක්වීම හා මතුපිට ගලන ජලයේ වේගය පාලනය කිරීම සිදු කෙරේ. මෙම මඟින් පාංශු ඛාදනය පාලනය කෙරේ.

  • මෙම බෑවුම් ඉඩම්වලට අදාල පරතර ප‍්‍රමාණයන් කාණු හා ගල් වැටිවලට අදාල වේ.
  • 30‍% වැඩි බෑවුම්වලට අදාල පරතරයන්හී ජීව වැටි යොදා ගත හැකි වේ.

ආවරණ වගා

වැසි බිංදු කෙලින්ම පොළව සමඟ ගැටීම වැළැක්වීමත්, මතුපිට ගලන ජලය මඟින් පස් අංශු ගසා ගෙන යාම වැළැක්වීමත් සහ වාෂ්පීකරණය මඟින් පාංශු ජලය ඉවත්වීම අවම කිරීමත් ආවරණ වගා මඟින් සිදුවේ.

ආවරණ වගා ලෙස නිර්දේශිත බෝග බොහොමයක් රනිල කුලයේ වීම නිසා නයිට‍්‍රජන් පොහොර පසෙහි තිර වීමක් ද මෙමඟින් සිදුවේ. ඩෙස්මෝඩියම්, පියුරේරියා, සෙන්ට්‍රෝසිමා වැනි ආවරණ බෝග වර්ග මෙම ක‍්‍රමයේදී බෙහෙවින් භාවිතා කෙරේ.විශේෂයෙන්ම පොල්, රබර්, කොකෝවා වැනි වැවිලි බෝග ඉඩම්වලට මෙම ක‍්‍රමය නිර්දේශිතය.

ආවරණ බෝග යෙදීමේදී ඒ සඳහා බිම වැතිරී වැඩෙන හෝ අර්ධ සෘජු වර්ධන විලාශයක් ඇති වැල් වර්ග හෝ භාවිතා කරයි. මේ සඳහා කැලපගෝනියම් මියුකොනොයිඞ්ස්, පියුරේරියා පේසියෝලොයිඞ්ස්, ග‍්‍රැසිලිස් ස්ටයිලොසැන්තස්, ඩෙස්මෝඩියම් ඕවලිපොලියම් යනාදිය යෝග්‍ය වේ. මේවායේ විශේෂ ලක්‍ෂණයක් වනුයේ සීඝ‍්‍ර වර්ධනයක් ඇති නිසා පස ආවරණය කිරීමයි. මෙබඳු ආවරණ බෝග මඟින් පමණක් ආවරණයකර පාංශු සහ ජල සංරක්‍ෂණය, රබර් සහ පොල් වගාවේ දී බහුලව භාවිතා වේ. ඒ සඳහා ආවරණ බෝග ආකාර කීපයකින් උපකාරී වේ.

සුළඟ සහ වර්ෂා ජලය පස මත ගැටීම නිසා පාංශු අංශු සහ සමූහන වෙන්වීම ආවරණ බෝග මඟින් වළක්වයි. එසේම ආවරණ බෝගය බිම පැතිරී වැඩෙන දුර්වල ශාකයක් නිසා පස මත ආපදා ජලය සමඟ ප‍්‍රවාහනය වන පාංශු අංශු රඳා පවතී.

එම නිසා එය අංශු ප‍්‍රවාහනයේ දී බාධකයක් ලෙසද කි‍්‍රයා කරයි. මුල් හොඳින් වර්ධනයවන නිසා පස හොඳින් බැඳී පවතින අතර එම මුල් මඟින් පසේ ඇති ජලය අවශෝෂණයකර උත්ස්වේදනය මඟින් පිටවීම සිදු කරයි. පසේ ජල අවශෝෂණ ධාරිතාවය වැඩි කිරීමට ආවරණ බෝගය ආධාරවන නිසා පෘෂ්ඨික ආපදාවය සේ ඉවත්වන ජල ප‍්‍රමාණය අඩු කරයි.

මීට අමතරව පත‍්‍ර මඟින් හා දිරායන මුල් මඟින් පසට කාබනික ද්‍රව්‍ය එකතුවන නිසා පසේ ව්‍යුහය, වණර්ය, පාරගම්‍යතාවය, පාංශු සමූහනවල ප‍්‍රමාණය, පාංශු වාතනය, පසේ ජලය රැඳීමේ ධාරිතාවය ආදිය දියුණු කරන බැවින් බෝගයේ වර්ධනයත් ආවරණ බෝගයේ වර්ධනයත් හොඳින් සිදුවේ. එවිට ක්ෂුද්‍ර ජීව කි‍්‍රයාද දියුණු වේ.

පෝෂක පරිසංක‍්‍රමණය සහ පෝෂක තාවකාලිකව එකතු කිරීම වැනි කි‍්‍රයා ආවරණ බෝගය නිසා සිදුවන අන් වැදගත් කරුණු වේ. මේ අනුව පෙනෙනුයේ පස දියුණුවන විට පාංශු සංරක්‍ෂණයට වැදගත් උපකාරයක් වන බවයි. පියුරේරියා පේසියෝලොයිඞ්ස් වැනි ඇතැම් ආවරණ බෝග වියළි දේශගුණ තත්ත්ව යටතේ දී හා අධික සෙවණ ඇති විට වර්ධනය අඩු වේ.

එම කාලය තුළදී ආවරණ බෝගයේ ඡීවන චක‍්‍රය ඉක්මනින්ම සිදුවී මල් සහ බීජ හට ගැනීම නිසා ඊළඟ වර්ෂා කාලය සමඟ එම බීජ ප‍්‍රරෝහණය වෙයි. මෙවැනි දේශගුණ විචලතා නිසා ආවරණ බෝගය විනාශ වී යාම වැළැක්වීම සඳහා ආවරණ බෝග වර්ග කීපයක මිශ‍්‍රණයක් යෙදීම වඩාත්ම හිතකර වේ.

යෙදිය යුතු ආවරණ බෝගය තීරණය කරනුයේ ක්‍ෂෙත‍්‍රයේ වවන ප‍්‍රධාන බෝගය සහ එම බෝගයේ අවස්ථාව ගැන ද සලකා බැලීමෙන් පසුවය. රබර් පැළ නියමිත භූමිවල සිටුවීමේදී පියුරේරියා වැනි ආවරණ බෝග යෙදුවත්, රබර් පැළ තවාන් සඳහා පැළ වසා පැතිරී වැඞීම වැළැක්වීම පිණිස ඩෙස්මෝඩියම් ඕවලිපෝලියම් වැනි ආවරණ ශාක වර්ග යෝග්‍ය වේ.

කෘෂිකාර්මික ක්‍රමය

හැදින්වීම

යම් කිසි භූමියක් වගා කිරීමට සැකසීමේදී හා වගා කාලයේදී භාවිතා කරනු ලබන සියළුම කටයුතු ක‍්‍රමවත්ව හා විද්‍යානුකූලව ඉටුකිරීම මගින් පාංශු ඛාදනය අවම කරගත හැකිවනු ඇත. කෘෂිකාර්මික කටයුතු ලෙස සිදුකරන ක‍්‍රියාකාරකම්වලදී පාංශු සංරක්‍ෂණය සඳහා පහත සඳහන් ක‍්‍රම භාවිතාකළ හැක.

  • අවම ප‍්‍රමාණයට බිම් සැකසීම
  • සමෝච්ච ඔස්සේ සිටුවීම
  • වසුන් යෙදීම
  • වරණීය වල් මර්දනය
  • කාබනික පොහොර භාවිතය
  • වන වගා හෝ ස්ථිර බෝග සිටුවීම

අවම ප‍්‍රමාණයට බිම් සැකසීම

බිම් සැකසීම මඟින් මතුපිට පස් බුරුල් වී වැසි බිංදුවල ඛාදනයට ලෙහෙසියෙන්ම ගොදුරු වේ. මතුපිට ගලායන ජලයත් සමඟ බුරුල් වූ පස ලෙහෙසියෙන් සේදී යයි. පස මතුපිට ඇති හිතකර ක්‍ෂුද්‍ර ජීවීන් පසට යටවී නිර්වායු තත්ත්වය තුළ විනාශ විය හැක. මේ නිසා අවම ප‍්‍රමාණයට බිම් සැකසීම හෝ පස් පෙරලීමකින් තොරව බීජ හා පැළ සිටුවීම පාංශු සංරක්‍ෂණයට උපකාරී වේ.එලෙසම පස පෙරලීමේදී පසේ ඇති කාබනික ද්‍රව්‍ය වියෝජනය වේගවත් වන නිසා පාංශු ඛාදනය වැඩිවේ.

එලෙසම නගුල් යොදා පෙරලීම වෙනුවට ඇතැම් අවස්ථාවලදී රොටවේටරය යොදා බිම් සැකසීම නිසා පාංශු ව්‍යුහය කැඞීයාම මගින්ද පස ඛාදනය වීම වේගවත් කරයි. බෝග වගාවට පස සැකසීමේදී පස බුරුල් වන නිසා පාංශු ඛාදනය වේගවත් වේ.

එබැවින් පස සැකසීම ප‍්‍රවේශමෙන් කළයුතුය. බෝගයට අවශ්‍ය ගැඹුරට පමණක් බිම් සැකසීම, ප‍්‍රමාණවත් වාර ගණනක් පමණක් බිම් පෙරලීම, සමෝච්ච ආකාරයට බිම් සැකසීම, වර්ෂාපතනය අඩු කාලවලදී බිම් සැකසීම ආදිය මෙහිදී අනුගමනය කළ හැකිය. පළමුව බෝගය සිටුවන ස්ථානවල පමණක් බිම් සකසා පසුව අධික වර්ෂාව පහව ගිය පසු සෙසු ප‍්‍රදේශවල බිම් සැකසීම මඟින්ද පාංශු ඛාදනය පාලනයකළ හැකිය. මෙහිදී අදියර කීපයකින් බිම් සැකසීම අනුගමනය කරයි. මෙම ක‍්‍රමවේදය ගොවීන් අතර ප‍්‍රසිද්ධ වී ඇත.

සමෝච්ච ඔස්සේ සිටුවීම

බෝග සිටුවීමේ දී බෑවුම් ඔස්සේ සිටුවීමෙන් පස් සෝදායාමට අවකාශ ලැබේ. මේ නිසා බෝග පේළි සමෝච්ච ඔස්සේ බෑවුමට ලම්භකව බෝග පිහිටුවීමෙන් පස ආරක්‍ෂා වේ.

මෙහිදී මතුපිට ජලය ගලා බැසයාමේ වේගය අඩු කරන අතර ප‍්‍රවාහනය වන පස් අංශු යම් ප‍්‍රමාණයකට රඳවා ගැනීමට බෝග පේළිවලට හැකි වේ. අතීතයේ තේ වැනි බෝග සිටුවීමේදී බෑවුම ඔස්සේ පේළි මත භෝග සිටුවීම කරන ලදී. එමඟින් බෑවුම ඔස්සේ නිර්මාණයවන පේළි අතර පරතරය ඔස්සේ පහලට ජලය ගලා යාම සිදු වේ.

එමඟින් පාංශු ඛාදනය නැති කරයි. තවද පොහොර යෙදීම, වල් නෙලීම, අස්වනු නෙලීම, කෘමිනාශක යෙදීම වැනි බෝග පාලන කි‍්‍රියා සඳහා මෙම බෝග පේළි අතර ගමන් කිරිම නිසා පස බුරුල් වී තවදුරටත් පාංශු ඛාදනය වේගවත් වේ.

මෙම තත්ත්වය පාලනය කිරිම සඳහා සමෝව්චය ඔස්සේ පැළ සිටුවීම නිර්දේශ කෙරේ. මෙහිදී බෝග පැළවල මූල මණ්ඩල එකිනෙක හා සම්පාත වීමෙන්ද සමෝච්ච ආකාරයේ කුඩා වැටි නිර්මාණයවේ. මෙම කුඩා වැටි මත බෝග අවශේෂ තැන්පත් වීම නිසා එම කුඩා වැටි ශක්තිමත් වේ. මෙම සමෝච්ච ආකාරයේ කුඩා වැටි නිර්මාණය වීම මඟින් ඉඩම තුළ ඉහළ සිට පහළට ජලය ගලාගන යාම යම්දුරකට පාලනය කර පාංශු ඛාදනය අවම කරයි. එලෙසම සමෝච්ච ලෙස බෝග පේළි සකස්කර ඇති බැවින් බෝග පාලන කටයුතු සඳහා කම්කරුවන් ඉඩම තුළ ගමන් කිරිමද සමෝච්චයට අනුව සකස් වේ.

බහු වාර්ෂික බෝග මෙන්ම කන්න බෝගද සමෝච්චය ඔස්සේ සිටුවීම මගින් පාංශු ඛාදනය යම්දුරකට පාලනය කිරිමට ඉවහල් වේ.

වසුන් යෙදීම

බෝගයේ පාදස්ථ කොටස හෝ පැළ පේළියේ අවට බිම වැසී යන ලෙස කාබනික ද්‍රව්‍ය යෙදීම මෙහිදී සිදු කෙරේ. දියුණු රටවල බෝගය රහිත මුළු බිම් ප‍්‍රදේශයම වැසී යන ලෙසට පොලිතීන් වැනි ද්‍රව්‍යයකින් පොළව මතුපිට වැසීම කරනු ලැබේ.

කොළ රොඩු, පොල් ලෙලි, පොල් අතු, ග්ලිරිසීඩියා කොළ, පිදුරු, තණ කොළ වැනි ද්‍රව්‍ය වසුන් යෙදීමට බහුලව භාවිතා කෙරේ. පාංශු සංරක්‍ෂණයට අමතරව පසේ තෙතමනය ආරක්‍ෂාවීම, ක්ෂුද්‍ර ජීවී කි‍්‍රයාකාරීත්‍වය වැඩි කිරීම හා පසට කාබනික ද්‍රව්‍ය එක්වීම, මෙම ක‍්‍රමයෙන් ලැබෙන වෙනත් වාසි වේ.

ක්ෂේත‍්‍රයේ බීජ වැපිරිම හෝ පැළ සිටුවීමේ සිට බෝගය හොඳින් වර්ධනය වී බෝගයේ වියන මඟින් පොළව ආවරණයවන තෙක් පස නිරාවරණය වී පවතී. මෙම කාලය සති 03ක් 04ක් පමණ වේ. මෙම කාලය තුළදී පස ආවරණය කිරිම සඳහා පස මතට වසුනක් යොදනු ලැබේ. මේ සඳහා පිදුරු, කොළ අතු, භෝග අවශේෂ යනාදිය භාවිතාකළ හැකිය. තේ වගාවේදී බහුල වශයෙන් වසුන් භාවිතා කරයි. මීට අමතරව විදී භෝග වගාවේදී ග්ලිරිසීඩියා ශාක අතු වසුනක් ලෙසද භාවිතා කරනු ලැබේ. වසුන් යෙදීම මඟින් පස මතුපිට ආවරණයක් පවතින අතර
එමඟින් වර්ෂා ජලය සෘජුවම පස මත වැටීම වළක්වා පාංශු ඛාදනය පාලනය කරයි. තවද වසුනක් මඟින් පොළව මතුපිට ගලා යන ජලයේ වේගය පාලනය කිරිම මඟින් පාංශු ඛාදනය පාලනය කිරිමට ඉවහල් වේ.

මීට අමතරව ඩෙස්මෝඩියම් වැනි පොළව ආවරණය වනසේ වර්ධනය වන පැළෑටි වර්ග වගා කිරිම මඟින්ද ජීව වසුන් පිහිටුවා ගත හැකිය. රබර් වගාවේදී සහ පොල් වගාවේදී මෙවැනි ජීව වසුන් භාවිතය බහුලව සිදු කෙරේ. බෝගවල අස්වැන්න නෙලා ගත් පසුවද ඉඩම නිරාවරණයවන බැවින් අධික පාංශු ඛාදනයක් සිදුවිය හැකිය. මෙවන් අවස්ථාවලදී භෝගයේ අවශේෂ පස මතුපිට වසුනක් ලෙස තැන්පත් කිරිම මඟින් පාංශු ඛාදන හැකියාව අවම කරගත හැකිය.

බඩ ඉරිඟු වැනි භෝග වගාවේදී මෙවන් ක‍්‍රම අනුගමනය කරනු ලැෙබි. වසුන් යෙදීම දිගුකාලීනව කරගෙනයාම මඟින් පසට කාබනික ද්‍රව්‍ය එකතු වීම නිසා පසේ භෞතික තත්ත්වය දියුණු වී ඛාදන හැකියාව පාලනයට ඉවහල් වේ.

කාබනික පොහොර භාවිතය

වැඩි වැඩියෙන් කාබනික පොහොර යෙදීම මඟින් පස්වල ව්‍යුහය දියුණු වී පස් කැටිති අතර බැඳීම වැඩි වේ. එලෙසම පසේ ඛාද්‍යතාව අඩු කරයි. පසක කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය 2% ට වඩා වැඩිව තබා ගැනීමෙන් පසේ ඛාද්‍යතාව අඩු මට්ටමක පවත්වා ගත හැකිය. මේ සඳහා බෝග අවශේෂ, කොළ පොහොර, ගොම පොහොර, කුකුල් පොහොර මෙන්ම කොම්පෝස්ට් පොහොරද යෙදීම යෝග්‍ය වේ. කාබනික පොහොර යෙදීම මගින් බෝගය ඉතා ඉක්මනින් වර්ධනය වී එමගින් පස ආවරණය වීම වේගවත් කරයි. එයද පංශුඛාදනය අවමකර ගැනීමට ඉවහල් වේ.

වරකට කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන් 10 ක් පමණ යෙදීම ප‍්‍රමාණවත්ය. එලෙසම ග්ලිරිසීඩියා වැනි ශාක ක්‍ෂේත‍්‍රයේ භෝගය සමඟ සිටුවා එම ශාකයේ කොළ අතු පසට එකතු කිරීම මඟින් ද පසේ කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය වැඩි කරගත හැකිය. වීදී බෝග වගාවේදී මෙම ක‍්‍රමය අනුගමනය කරනු ලැබේ. තවද සන්හෙම්ප්, කව්පි සහ ගෝතමාලා වැනි ශාක ක්‍ෂේත‍්‍රයේ වැවෙන්නට හැර පසට කලවම්කර ගැනීම මඟින්ද කාබනික ද්‍රව්‍ය මට්ටම ඉහල නංවා ගත හැක.

වරණීය වල් මර්දනය

සෝදා පාළුවට තුඩු දිය හැකි ඉඩම්වල වල් පැළ මර්දනය සැලකිලිමත්ව සිදු කළ යුතුය. මුළු ඉඩමේම ඇති වල් පැළ උදලූ ගෑමෙන් පස නිරාවරණය වී සෝදා පාළුවට ලක් විය හැක. මේ නිසා බෝගය අවට ප‍්‍රදේශ පමණක් (බෝග පැළවල පාදස්ථ) උදලූගා වල් ඉවත් කිරීම සිදුකර සෙසු ප‍්‍රදේශ එසේම තබා ගැනීම හෝ වීසි කැති ගෑම පාංශු සංරක්‍ෂණයට ඵලදායකය. එලෙසම බෝගයට හානිකර මට්ටමට වැඩෙන වල් පැළ පමණක් ක්ෂෙත‍්‍රයෙන් ඉවත් කිරීමද මෙහිදී අනුගමනය කරයි. තවද වල් මර්ධනයේදී උදලුගා වල් පැළෑටි ක්ෂෙත‍්‍රයෙන් ඉවත් කිරීම වෙනුවට රසායනික වල් නාශක යෙදීම යෝග්‍ය වේ. එහිදී මැරීයන වල් පැළෑටිවල අවශේෂ තවදුරටත් ක්ෂෙත‍්‍රයේ පැවතීම නිසා එමගින්ද පාංශු සංරක්ෂණය ඇති කරයි. වල් පැළෑටි බෝග සමඟ තරඟකාරී බවක් දැක්වුවද, පාංශු ඛාදනය දක්නට ලැබෙන භූමියක වල් පැළෑටි ඇති විට පාංශු ඛාදනය පාලනය වේ. බෝග වගා කිරීමේදී අදායම් ලැබීම ප‍්‍රධාන කරුණක් බැවින් ක්‍ෂේත‍්‍රයේ වල් පැළැටි සියල්ල ඉවත් කිරීමට ගොවීන් උත්සාහ දරයි.

එමගින් පස නිරාවරණය වී පාංශු ඛාදනය තීව‍්‍ර වේ. එබැවින් වල් මර්දනයේදී බෝගය හා තරඟයක් නොමැති හෝ ඉතාම අඩුවෙන් තරඟකරන වල් පැළැටි ඉතිරිකර බෝගයේ ආර්ථික අස්වැන්නට බලපෑම් කළ හැකි වල් පැළෑටි සියල්ල පමණක් ක්‍ෂේත‍්‍රයෙන් ඉවත් කිරිම වල් මර්දනය වේ. පොල්, රබර්, අපනයන බෝග හා පලතුරු වැනි බහුවාර්ෂික බෝග වගාවේදී වරණීය වල් මර්දනය බහුලව අනුගමනය කරයි. බෝගයක් සමඟ තරඟකාරි වර්ධනයක් පෙන්නුම් කරන වල් පැළෑටි අතින් ගලවා ඉවත් කිරිම හෝ තණකොළ කපන යන්ත‍්‍රයක් මගින් එම වල් පැළෑටි කප්පාදුකර ගැනීම කළ හැකිය.

මීට අමතරව බෝගයේ සකී‍්‍රය මුල් පවතින ප‍්‍රදේශයේ ඇති වල් පැළෑටි ඉවත්කර සෙසු ප‍්‍රදේශවල පවතින වල් පැළෑටි පාලනය කිරිමද අනුගමනය කළ හැකිය. තවද සංස්ථානික නොවන වල් නාශකයක් සුළු සාන්ද්‍රණය යටතේ යෙදීම මඟින් පවතින වල් පැළෑටිවල වර්ධනය පාලනය කිරිම මඟින්ද වරණීය වල් මර්දනය සිදුකළ හැක.

වන වගා හෝ ස්ථිර බෝග සිටුවීම

අධික බෑවුම් සහිත ඉඩම්වල එළවළු හා වෙනත් කෙටි කාලීන බෝග වගා කිරීමෙන් සෝදා පාළුවට ඉඩ ලැබේ. මේ නිසා තද බෑවුම් සහිත ඉඩම්වල බහු වාර්ෂික ස්ථිර බෝග හෝ වන වගා ඇති කිරීම පාංශු සංරක්‍ෂණයට හිතකර කටයුත්තකි.

වගා බිම් කළමණාකරණයේදී විශේෂයෙන්ම පාංශු සංරක්‍ෂණ කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ඉඩමේ ඵලදායීතාවය වැඩි කරගත හැකිවනවා පමණක් නොව සෝදා පාළුව වැළකීමෙන් ජාතික ආපදා තත්ත්වයන් ද පාලනය කෙරේ. සුදුසු පාංශු සංරක්‍ෂණ ක‍්‍රම යොදාගැනීම ඉඩම් සංවර්ධනයේදී සිදුකළයුතු මූලිකම කටයුත්තක් වන අතර මේ සඳහා සියළුම කෘෂිකාර්මික ඉඩම් හිමියන්ගේ අවධානය යොමුකළ යුතුය. පාංශු සංරක්‍ෂණයට අතහිත යෙදවීම යුගයේ ජාතික අවශ්‍යතාවයක්ව පවතී. කන්න බෝගවලට සාපේක්‍ෂව වන වගා හෝ ස්ථිර බෝග සංස්ථාපනයකර ඇති ඉඩම්වල පාංශු ඛාදනය අඩුය. ස්ථිර බෝග වගාවේදී කන්නයක් පාසා බිම් සැකසීම අවශ්‍ය නොවීම, ස්ථිර බෝග වගාවත් සමඟම වරණීය වල් මර්ධනය සාර්ථකව අනුගමනය කිරිමට හැකිවීම, වසුන් භාවිතය පහසු වීම, ස්ථිර බෝගවල මූල මණ්ඩලය මඟින් පසෙහි ස්ථාවරත්වය තහවුරුවීම, ස්ථිර පාංශු සංරක්‍ෂණ ක‍්‍රම ඉඩමේ සංස්ථාපනය කිරිමට වැඩි ඉඩ ප‍්‍රස්ථාවක් තිබිම, ස්ථිර බෝගවල විශාල ශාක වියන මඟින් පාංශු ඛාදනය කෙරෙහි වර්ෂාවේ ඇති බලපෑම අවම කිරිම යනාදිය මෙයට ඉවහල් වේ.

එබැවින් වන වගා හෝ ස්ථිර බෝග ප‍්‍රචලිත කිරිම මඟින් ඉඩමක පාංශු ඛාදනය පාලනයකර ගත හැකිය. නමුත් කන්න බෝගවලට සාපේක්‍ෂව ස්ථිර බෝගවල ආදායම් උත්පාදන හැකියාව අඩුය. එබැවින් ප‍්‍රායෝගිකව ස්ථිර බෝග මඟින් කන්න බෝග සහමුලින්ම විස්ථාපනය කිරිම අපහසුය. එම නිසා පාංශු සංරක්‍ෂණය හා ගොවිපල ආදායම යන මෙම අංශ දෙකම සලකා බලා මෙම බෝග වර්ග දෙක සමබරව පවත්වාගන යාම වඩා ප‍්‍රායෝගික වේ.

යාන්ත්‍රික ක්‍රම

ප‍්‍රධාන කානු

හැදින්වීම

යම් ක්‍ෂේත‍්‍රයකින් පාර්ශ්වික කානුවලින් රැුස් කරන ජලය පිටතට ගෙන යන ප‍්‍රධාන ජලවහන මාර්ගය මෙය වේ. එනම්, පාර්ශ්වික කානුවල අවසාන සම්බන්ධය ප‍්‍රධාන කානුයි. ප‍්‍රධාන කානුවල වැදගත්කම නම් ක්‍ෂේත‍්‍රයේ එකතුවන ජලය ඛාදනය අවම වනසේ ක්‍ෂේත‍්‍රයෙන් ඉවතට ගෙනයාමට හැකි විමයි. එම නිසා කානුව පිහිටුවීමේ දී වගාකරන්නා විසින් සලකා බැලිය යුතු කරුණු රාශියක් ඇත. ඒවා නම්,

  1. ප‍්‍රධාන කානු යොදා ගැනීමේ දී හැකිතාක්දුරට ස්වාභාවික ජලවහන මාර්ග භාවිතා කිරීම සුදුසු වේ. මෙවිට කානු කැපීම සඳහා වැයවන වියදම් බොහෝ දුරට අඩුවී යයි. බොහෝ විට මෙම ස්වාභාවික ජල මාර්ගවල ඛාදනය අඩුය
  2. කෘතී‍්‍රමව සාදන කානු සහ ප‍්‍රධාන කානු පඩි ආකාරයට සකසා තැබීමෙන් ජලය ගලායාමේ වේගය අඩුකළ හැක. එම නිසා ගලන ජලයේ චාලක ශක්තිය ද අඩු වීමෙන් ප‍්‍රවාහන ධාරිතාව සහ ඛාදන හැකියාව අඩුවේ. ප‍්‍රදේශයේ ගල් වැනි දෑ බහුල නම්, එම පඩිවලට ගල් ඇල්ලීම මඟින් කානු ස්ථාවර කිරීම සුදුසුය. තව ද ඒවා ආපසු බෑවුම් සහිත වන සේ යෙදු විට පාංශු ප‍්‍රවාහනය තරමක් දුරට අඩුකළ හැක
  3. අධික වර්ෂාපතන තත්ත්ව යටතේ දී පවා එකතුවන වැඩි ජලය ගෙනයා හැකි සේ කානුවේ පළල සහ ගැඹුර සැකසිය යුතුය. එම ධාරිතාව ප‍්‍රමාණවත් නොවුනි නම් පිටාර මඟින් යලි පාංශු ඛාදනයකට හේතු විය හැක.
  4. කානුවේ ඛාදනය වළකා ස්ථායි කිරීමක් කළ යුතුයි. මෙම කානුව නිසි ලෙස ස්ථායී තත්ත්වයට පත් කිරීම සඳහා පැස්පලම්, පෙල්විසියම්, ඇග්‍රොටීස් කර්වියුලා ආදි තෘණ වර්ග කානුවේ බෑවුම් පැති මත වගා කළ යුතු අතර එමඟින් පාංශු ඛාදනය ද වළක්වයි.

කානුවේ පතුලේ වැලිස්නේරියා වැනි ජලජ ශාක වර්ග වගා කිරිම මඟින් ද පතුල් ඛාදනය වළකයි. වැලිස්නේරියා ශාකය කුඩා, එමෙන්ම ශක්තිමත් බවින් අඩු, සිහින්, දිගටි, පත‍්‍ර අධික පැළෑටියකි.ජලයේ ගැලීමත් සමඟම ජලය ගලා බසින දිශාවට මෙම පත‍්‍ර නැමීම මඟින් පස මුළුමනින්මවාගේ වසා සිටීමෙන් පාංශු අංශු වෙන්වීම වළක්වයි. එසේම වල් පැළ වැවීමට ඉඩ සැලසීම ද ප‍්‍රධාන කානු ස්ථාවර කිරීමට ඇති තවත් ආකාරයකි.නිසි ලෙසට ස්ථායී නොකළ ප‍්‍රධාන කානුවල නිතර ගලා යන ජලයට අමතරව වර්ෂාව නිසා එකතුවන ආපදා ජලය නිසා එහි පතුල් මත පැති බිත්ති ඛාදනයට ගොදුරු වීමෙන් අගල් ඛාදනය ඇතිවේ. එමනිසා අගල් ඛාදනය වැළකීම උදෙසා පියවර ගත යුතු වේ. මෙහිදී අප විසින්

අනුගමනය කරන ආකාර තුනකි.

1.අගලක් ස්ථාවර කිරීම

2.අගලට එකතු වන ආපදා ජලය ප‍්‍රමාණය පාලනය කිරීම

3. ව්‍යුහ බැඳීම

අගලට එකතු වන ජලය පාලනය කිරීම

අගලකට එකතුවන ජලය අධික නම් ඉන් කොටසක් වෙනත් මාර්ගයකට යොමු කිරීමෙන් අගල් ඛාදනය පාලනය කළ හැක. අගලක ගලන ජලය අධිකවන විට ගලන ජලයේ ප‍්‍රවේගය, ප‍්‍රවාහන ධාරිතාවය ආදී නොයෙකුත් හානිකර බලපෑම් වැඩි වී අගල් ඛාදනය වැඩි වේ.

අගලක් ස්ථාවර කිරීම

අගල් ස්ථාවර කිරීම පිණිස ශාක ගහනයක් වැවීම සුදුසුවන අතර ඉන් අගල්, පැති සහ පතුල ඛාදනය අඩු කරයි. නමුත් ඇතැම් ස්ථානවල දී අගලක හිසක සිට පහළට ජලය වැටීමේ දී අගල් හිසත්, අගල් පතුලත් ඛාදනයට ලක් වේ.

අගල් පතුල ඛාදනය වන විට දී එම ස්ථානයේ වලක් සෑදෙන අතර එවිට එහි ජලය එකතු වේ. මේ මඟින්ම ඛාදනය අඩු කිරීමක් සිදු කරයි. නමුත් මෙහිදී රැුලි කි‍්‍රයා ඇතිවීම නිසා එම ස්ථානය අවට ඛාදනය සිදුවිය හැක. මෙය අගල් හිසත්,අගල් පතුලත් මත ගල් හෝ වෙනත් ඛාදනයට ප‍්‍රතිරෝධී ව්‍යුහයක් තැබීම මඟින් ස්ථාවර කළ හැක.

අගලේ ඛාදනය වැළැක්වීමට තවත් පියවර යෙදිය හැක. එනම් බෑවුම කොටස්කර එම කොටස් අනුව ඛාදනයේ ගලාගෙන එන පස් අංශු සහ ආපදා ජලය ගලන වේගය පාලනය කිරීමයි. මෙම ක‍්‍රමයේ දී ඛාදනයට ප‍්‍රතිරෝධී ද්‍රව්‍යයන් මඟින් බැම්මක් දැමීමෙන් ඛාදනය වළකා ගත හැක. මේ සඳහා ගල් හෝ ලී කොටන් ආදිය හෝ භාවිතා කළ හැකි අතර මේ නිසා අගල් ස්ථාවර වී අගල් ඛාදනය බොහෝ දුරට වළකී.

අගල් ඛාදනය වැළැක්වීමට යෙදිය හැකි තවත් ක‍්‍රමයක් නම්, එම ප‍්‍රදේශය හරහා වැටියක් හෝ නියරක් බැඳ භූමිය නියරක් බවට පත්කර වී වගා කිරීමයි. එසේ නොමැති නම් බෑවුම් ඉතාම අඩුවන සේ අගලේ පැති සකසා තෘණ හෝ වෙනත් බෝගයන් වැවීම ආදී කටයුතු කළ හැක.

ව්‍යුහ බැඳීම

අගල් හරහා ව්‍යුහ බැඳීම අගල් ඛාදනය සිදුවීම වැළැක්විය හැකි එක් ආකාරයකි. මෙම ව්‍යුහය මඟින් අගලේ පතුලේ ඛාදනය වළක්වන අතර ජලය අඩු කාලවලදී පවා පසේ තෙතමනය ආරක්‍ෂා කරයි. ඒ නිසා ඒ මඟින් අගල පතුලේ ශාක ගහනයක් පවත්වා ගත හැක. මෙම ව්‍යුහය නිසා අගලේ ජලය සමඟ ගසා ගෙන යන පස් අංශු ද රඳවා ගත හැක.

ව්‍යුහ තාවකාලිකව සහ ස්ථිරව සකස් කළ හැකි අතර තාවකාලික ව්‍යුහයන් ශක්තිමත් කිරීමේ දී පිදුරු හා අතු වර්ග ද සමහර විට කම්බි දැල් ආදිය හෝ ගල් ද යොදා ගනී.

ව්‍යුහ දිගු කාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය වූ විටත්, ඒ සඳහා වැඩි ප‍්‍රාග්ධනයක් යෙදිය හැකි වූ විටත්, ස්ථිරව සාදනු ලැබේ. මේ ක‍්‍රමයෙන් මුල් ඇලක ස්වරූපය පසුව මුළුමනින්ම වෙනස් විය හැකි අතර එසේ වෙනස් කිරීම් සඳහා වැඩිපුර ශ‍්‍රමය, කාලය සහ මුදල් වැය වේ. මෙසේ යොදන ස්ථිර ව්‍යුහයන් නිසා,

1.විශාල ඇලක හෝ ජලමගක හිසේ සිට ජලය වැටීම පාලනය කරයි. ඒ නිසා පතුල් ඛාදනය අඩුවේ

2.ඇලක ඇති විවිධාකාර බැසීම්වල දී ජලය ක‍්‍රමානුකූලව බැස යාම සිදුවේ එකවර අධික ජල ප‍්‍රමාණයක් ගලා යාම නිසාවන ඛාදක බලය වැඩිවීම පාලනය කිරීම ජලයේ ප‍්‍රවාහන ධාරිතාවය අඩු කිරීමක් ද සිදු කරයි

3.පාංශු පිරවුම්වලදී එම ස්ථානවලට හානි නොවන සේ ජලය ගලා යාම සිදු වේ.

වැටි බැඳීම

වැටියක් බෑවුමක හරස් අතට දමන ලද බාධකයක් සේ හඳුන්වා දිය හැක. බෑවුම් වැඩි ප‍්‍රදේශවල වැටි ඉදිකිරීමෙන්, ඛාදනයවන පස් අංශු වැටිය අසල නතර වීම නිසා කලක දී බෑවුම තීව‍්‍රතාවය අඩු වේ. ඒ නිසා වැටි කීප ආකාරයකින් වැදගත් වේ.

1.බෑවුම් කොටස්වලට බෙදා එහි තීව‍්‍රතාවය අඩු කරන නිසා

අ.පහලට ගලා එන ජලයේ ප‍්‍රවේගය අඩු කරයි

ආ.ගලන ජලයෙන් වැඩි කොටසක් පසට අවශෝෂණය වීමට ඉඩකඩ සලසන නිසා ආපදා ජලය ප‍්‍රමාණය අඩු කරයි

ඇ.වැටි හරහා ගලා බසින ආපදා ජලයේ ඇති වැටිය හා වෙනත් අංශු, වැටියේ අතර රැඳෙන නිසා අංශු ප‍්‍රවාහනය අඩු කරයි. මේ නිසා වැටි අතර වැඩි ජලය ප‍්‍රමාණයක් සංරක්‍ෂණය කරගැනීමට හැකි වේ.

2.කානු සහ හෙල්මළු යොදා ඛාදනය වැළකීමට අපහසු වූ විටක දී වැටි යොදන නිසා වැටි වැඩි කාර්යක්‍ෂම බවක් දක්වයි

3.ගල් අධික ඉඩම්වල කානු කැපීම අපහසුය. ඒ නිසා ගල්වලින් වැටි යෙදීම පහසු ක‍්‍රමයකි

4.මෙතෙක් සොයාගෙන ඇති කරුණු අනුව 10%ක බෑවුමක් තෙක්, වැටි ඉතා කාර්යක්‍ෂම වේ.

5.වැටි දැමීම මඟින් පාංශු අංශු රඳවා ගන්නා නිසා වැටි දැමූ ප‍්‍රදේශයේ උප පසේ ඇති ජල මට්ටම ඉහළ නගී. ඒ නිසා මෙය ජල සංරක්‍ෂණයේ දී ද වැදගත් කාර්යයක් ඉටු කරයි

පාංශු සංරක්ෂණ හා අදාල උපකරණ
A රාමුව

A රාමුව යනු ඉඩමක සමෝච්ච සලකුණු කිරිම සඳහා භාවිතාකරන සරල උපකරණයකි. සරල උපකරණයක් වීම, උපකරණය සෑදීමට ගන්නා ද්‍රව්‍ය ගොවිපල ඉඩම්වල සුලභව පැවතීම, පරිහරණය ඉතා පහසුවීම යනාදී කරුණු නිසා මෙම උපකරණය ගොවීන් අතර ඉතා ප‍්‍රචලිතය.

(1) උපකරණ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය

මෙම උපකරණය පිළියෙල කරගැනීමට ග්ලිරිසීඩියා හෝ රීප්ප පටිවලින් පිළියෙල කරගත් ශක්තිමත් ලී තුනක්, ලණු, නූල්, ලඹයක් හෝ කුඩා ගල් කැබැල්ලක් හා පිහියක් අවශ්‍යවේ. රූප සටහනේ දක්වා ඇති අයුරු ඉහත ද්‍රව්‍යවලින් උපකරණය පිළියෙල කරගන්න.

(2 ) භාවිතය

උපකරණය බෑවුමේ හරස් අතට තබන්න. පසුව වම් පාදය පිහිටි ස්ථානයේ කූඤ්ඤයක් සිටුවන්න. දකුණු පාදය බෑවුමේ ඉහළට හා පහළට සිරුමාරු කරමින් ලඹ නූල ස්ථිර ලක්‍ෂයට සමපාත වන අවස්ථාව සොයාගන්න. පෙර ලෙසම වම්පාදය සිරුමාරුකර නැවත වරක් සම උස ලබාගන්න. මෙලෙස පැති මාරු කිරිම නොකඩවා කරගෙන යාමෙන් ඉඩම මත සමෝච්ච පිහිටීම් සලකුණු කරගත හැකිය.

(3) වාසි

මෙම උපකරණය තනි පුද්ගලයෙකුට භාවිත කල හැකිය. උපකරණය සෑදීමට සුළු මුදලක් වැයවේ. උපකරණය සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය ගොවිපලවල සුලභව පවතින අතර ගොවිපලේදීම පිළියෙල කරගත හැකිය.

(4) අවාසි

මෙම උපකරණය පිළියෙල කිරීම සඳහා අමු ලී භාවිතා කරන්නේනම් ලී වියලි යාම නිසා දිගු කාලයක් භාවිතා කල නොහැකිය. තවද එළිපෙහෙලි නොකල ඉඩම්වල මෙම උපකරණය භාවිතාකළ නොහැකිය. භූමියේ ස්වභාවික පිහිටිමේ විෂමතාවයක් දක්වන අවස්ථාවේදී මෙම උපකරණය භාවිතය අපහසුය.

උපකරණය භාවිතයේදී බාධකයක් හමුවීමේ දී ඉදිරියට සලකුණු කරගෙන යාම අපහසුය. ගස් ගල් ඉවත්කර කන්න දෙක තුනක් බෝග වගාකරන ලද ඉඩම්වල පාංශු සංරක්‍ෂණ ක‍්‍රම යෙදීමේදී ඉහත බාදක පැන නොනගින අතර එවන් ඉඩම් සඳහා මෙම උපකරණය ඉතා යෝග්‍ය වේ.

රෝඞ්ටේ‍්‍රසරය

රෝඞ්ටේ‍්‍රසරය යනු ඉඩමක සමෝච්ච සලකුණු කිරීමට හා අනුක‍්‍රමණයක් (නැග්මක් හෝ බැස්මක්* සලකුණු කිරීම සඳහා භාවිතාකරන සරල හා පහසු උපකරණයකි.

මෙම උපකරණයේ ප‍්‍රධාන කොටස් තුනකින් සමන්විතය.

  • ක‍්‍රමාංකික දර්ශක නලය
  • ආධාරකය
  • ටි යෂ්ඨිය

මෙම උපකරණයේ දර්ශක නලය පිත්තලවලින් සදා ඇති අතර ආධාරකය හා ටි යෂ්ඨිය දැවයෙන් සාදා ඇත. තවද මෙම උපකරණය භාවිතයේදී දර්ශක නලය හා ටි යෂ්ඨිය එක සමාන උසක් විය යුතුය.

භාවිතය

රෝඞ්ටේ‍්‍රසරය ආධාරකයේ නිදහසේ එල්ලා දර්ශකය 0 අගයට තබා බැවුමේ හරස් අතට තබන්න. රෝඞ්ටේ‍්‍රසරයේ සිට අඩි 10 ක් පමණ ඉදිරියෙන් බෑවුමේ හරස් අතට ටි යෂ්ඨිය තබන්න. රෝඞ්ටේ‍්‍රසරයේ උපනෙතින් අවනෙත හරහා ටි යෂ්ඨියේ ඇති සලකුණ පෙනෙන විට එම අවස්ථාවේ රෝඞ්ටේ‍්‍රසරය හා ටී යෂ්ඨිය සමෝච්චයේ සම උස මට්ටමේ පිහිටයි.

රෝඞ්ටේ‍්‍රසරය එම ස්ථානයේ ස්ථිරව තබා ටි යෂ්ඨිය ඉදිරියට ගෙන යන්න. මේ ආකාරයට ටි යෂ්ඨිය අඩි 10 න් 10 ට ගෙන යන අතර, ටි යෂ්ඨියේ ස්ථිර සලකුණු නොපෙනෙන විට රෝඞ්ටේ‍්‍රසරය ටි යෂ්ඨිය අවසානයට තිබු ස්ථානයට ගෙන යන්න.මේ ආකාරයට නොකඩවා ඉඩම මත සමෝච්ච පිහිටීම් සලකුණුකර ගැනීම පහසුවෙන් කරගත හැක.

මෙම උපකරණය භාවිතයේ වාසි

ඉතා කෙටි කාලයකින් වැඩි බිම් ප‍්‍රමාණයක සලකුණු කිරීමකළ හැක. ඕනෑම ක්‍ෂේත‍්‍රයකට ක්‍ෂේත‍්‍රයේ හමුවන බාධක (විෂමතාවයක්) මගහැර පහසුවෙන් සලකණු කිරීම් කළහැක. උපකරණය භාවිතය පහසුය, සරලයි. නඩත්තු කටයුතු නැත. දිගු කාලයක් භාවිතාකළ හැක.

අවාසි

මෙම උපකරණය පිළියෙල කිරීම සඳහා සැලකිය යුතු මුදලක් අවශ්‍ය වේ.උපකරණය භාවිතා කිරීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු අවශ්‍යවන අතර පුහුණුවක් තිබිය යුතුය. මහා පරිමාණව සංරක්‍ෂණ ක‍්‍රම යෙදීමේදී මෙම උපකරණය ඉතා යෝග්‍ය වේ.

ඇබිනි ලෙවලය

ඇබිනි ලෙවලය යනු කාර්යයන් කිහිපයක් පහසුවෙන්කර ගත හැකි සරල උපකරණයකි. එනම් බෑවුම සොයා ගැනීමටත්, සමෝච්ච සලකුණු කිරීමටත් කිසියම් ස්ථානයක උස සොයා ගැනීමටත් භාවිතා කරයි.

මෙම උපකරණය භාවිතය තරමක් දුෂ්කර බැවින් ගොවීන් අතර භාවිතයක් නැත.

මෙම උපකරණයේ කොටස්

  • උපනෙත
  • අවනෙත
  • සිරුමාරුකරණය
  • ක්‍රමාංකික කොටස
  • දර්පනය
  • පොයින්ටරය

බෑවුම සොයා ගැනීමට කිසියම් ස්ථානයක ඇස් මට්ටම ලකුණු කරගනි. ඉන්පසු පොයින්ටරයට තබා ගෙන ඇස් මට්ටම ලකුණු කරගත් ස්ථානය දෙස උපනෙතින් අවනෙත හරහා බලා ලක්‍ෂ්‍යයත් වාබුබුලත් එහි හරස් කම්බියත් සමපාතවන අවස්ථාවේ කෝණය හා බැවුමේ ප‍්‍රතිශතය පරිමාණයෙන් (ක‍්‍රමාංකික කොටසින් කියවා ගනු ලැබේ. සමෝච්ච ලකුණු කිරිමේදි ඇබිනි ලෙවලය ආධාරකයක් මත තබා උපනෙතින් අවනෙත හරහා බලා යම් නිශ්චිත ලක්‍ෂ්‍යයක් සකස් කරගනි. ඉන්පසු එක් පුද්ගලයෙකු පමණක් මෙම උපකරණය භාවිතාකර සමෝච්ච ලකුණු කරයි. මෙහිදි ඇබිනි ලෙවලය සහිත ආධාරකය වෙනස් නොකරන අතර යෂ්ඨිය අඩි 10න් 10ට ඉදිරියට ගෙන යන්න.යෂ්ඨියේ ලක්‍ෂ්‍යය නොපෙනෙන විට අවසානයට යෂ්ඨිය තිබු ස්ථානයට ඇබිනි ලෙවලය ගෙන යයි. මේ ආකාරයට දිගින් දිගටම සමෝච්ච ලකුණු කිරිම කළ හැක.

වාසි

  • උපකරණය පහසුවෙන් ක්‍ෂේත‍්‍රයට රැගෙන යා හැක. නඩත්තු කටයුතු පහසුය.

අවාසි

  • උපකරණය මිල අධිකයි.භාවිතා කිරිම සඳහා පුහුණු ශ‍්‍රමයක් අවශ්‍ය වේ.

ඩම්පි ලෙවලය

ඉඩම් සංවර්ධන කටයුතුවලදි භාවිතා කරන ඉතාමත් නිරවද්‍ය උපකරණයකි ඩම්පි ලෙවලය. මෙය දුරේක්‍ෂයක් සහිත උපකරණයකි. තෙපාවක් මත සවිකිරිමට හැකිවන සේ ඩම්පි ලෙවලය සාදා ඇත. තෙපාව මත සවිකර මට්ටම්කර ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා ස්පි‍්‍රතු ලෙවලයක් මෙම උපකරණයට සවිකර ඇත. මට්ටම්කර ගැනීමට විශේෂ ස්කුරුප්පු තුනක් ඇත. එනම්,

  • ඩම්පි ලෙවලය
  • තෙපාව
  • මට්ටම් යෂ්ඨිය

මෙම උපකරණයේ කොටස් වේ.

තෙපාව ක්‍ෂේත‍්‍රයේ දි ඩම්පි ලෙවලය සවිකර ගැනීමට වැදගත් වේ. මට්ටම් යෂ්ඨිය ඩම්පි ලෙවලය මඟින් මට්ටම් ගැනීමේ දි පාඨාංක කියවීම සඳහා භාවිතා කරයි.

භාවිතය

සමෝච්ච සලකුණු කිරිමට නියමිත ස්ථානයෙහි එක් කෙළවරක තෙපාව මත ඩම්පි ලෙවලය මට්ටම් කරගනී. ඩම්පි ලෙවලයේ උපනෙතින් අවනෙත හරහා මට්ටම් යෂ්ඨියේ පාඨාංකය ගනු ලැබේ. එම ස්ථානයේ කූඤ්ඤ සිටුවා ගන්න. ඊළඟ ස්ථානයට මට්ටම් යෂ්ඨිය ගෙන ගොස් පළමු පාඨාංකය සමපාත වන තෙක් මට්ටම් යෂ්ඨියේ බැවුමේ ඉහළට හා පහළට ගෙන යන්න. මේ ආකාරයට දිගින් දිගටම සමෝච්ච ලකුණුකර ගත හැක.

වාසි

1.විශාල ඉඩමක වුවද සමෝච්ච රේඛා

2.පහසුවෙන් ලකුණු කළ හැක. ගතවන කාලය අඩුය.

අවාසි

1.උපකරණයේ වියදම අධිකයි

2.තාක්‍ෂණය සංකීර්ණයි.

3.භාවිතය තරමක් අපහසුයි.

4.නඩත්තු කටයුතු අවශ්‍යයි.

5.ප‍්‍රවාහනය අපහසුයි.

6.ඕනෑම විෂමතාවයෙන් යුත් ඉඩම්වල සමෝච්ච ලබා ගැනීමට මට්ටම් ගැනීමට භාවිතාකළ හැකි උපකරණයකි.

නල ලෙවලය

ඉඩමක සමෝච්ච සලකුණු කිරිම සඳහා භාවිතාකරන සරල උපකරණයකි. උපකරණය සරල වීම, උපකරණය සැදීමට ගන්නා ද්‍රව්‍ය පහසුවෙන් සොයා ගත හැකිවිම, පරිහරණය ඉතා පහසු වීම යන කරුණු නිසා ගොවින්ට භාවිතා කිරිම පහසුය.

උපකරණය සැදීමට ගන්නා ද්‍රව්‍ය

  • ශක්තිමත් ලී දෙකක්
  • විනිවිද පෙනෙන රබර් නලයක්
  • නූල්
  • ජලය
  • පාට තීන්ත වර්ගයක්

උපකරණය සැකසීම

කණු දෙකේම දෙකෙළවර මට්ටමට කපා ගන්න. කණු දෙක සිරස්ව තබා තමාගේ ඇස් මට්ටම ලකුණු කරන්න. එම ඇස් මට්ටම සලකුණු කරගත් ස්ථානයේ සෙ.මි. 0 සේ සලකා සෙ.මි. 10 දක්වා පහළට ලකුණු කරන්න.එක් කොටසක් සෙ.මි. 10 සේ සලකන්න. කණු දෙකේ ඉහත ආකාරයට ක‍්‍රමාංකනය කළ පසු රබර් නලය එම කණු දෙකේ ගැට ගසන්න. කණු දෙක සමතලා පොළොවක තබා නලයට ජලය පුරවන්න. නලයේ දෙකෙළවර කඩා සිදුරක් ඇති ප්ලාස්ටික් පියන් දෙකකින් වසන්න.

භාවිතය

උපකරණය බැවුමේ හරස් අතට තබන්න. එක් කණුවක් ස්ථිර කණුව වන අතර අනෙක් කණුව ඉදිරි කණුව වේ. මෙම කණු දෙක පුද්ගලයින් දෙදෙනෙක් විසින් අල්ලා ගත යුතු අතර ස්ථිර කණුවට වඩා ඉදිරි කණුව කිසියම් දුරකින් තබා ගත යුතුයි. ස්ථිර කණුවේ ඇති පාඨාංකය හා ඉදිරි කණුවේ ඇති පාඨාංකය සමපාතවන තෙක් ඉදිරි කණුව බෑවුමේ ඉහළට හා පහළට ගෙන යන්න.එම අවස්ථාවේ ස්ථිර කණුව හා ඉදිරි කණුව ඇති ස්ථානයේ කූඤ්ඤ සිටුවා ගන්න. කූඤ්ඤ දෙක සලකුණුකළ ස්ථාන දෙක සමෝච්චයේ පිහිටයි. ඉන්පසු ඉදිරි කණුව පිහිටි ස්ථානයට ස්ථිර කණුව ගෙන යන්න. මෙලෙස පාද මාරු කිරිම නොකඩවා කරගෙන යාමෙන් ඉඩමේ සමෝච්ච පිහිටිම් සලකුණු කිරිම පහසුවෙන්කර ගත හැක.

වාසි

  • භාවිතය හා සකස් කිරිම පහසුය.
  • ප‍්‍රවාහනය පහසුය.
  • වියදම අඩුය.

අවාසි

  • උපකරණය භාවිතය සඳහා පුද්ගලයන් දෙදෙනෙකු අවශ්‍යයි
  • විශාල ගස්, ගල්, හුඹස් වැනි බාධක නොමැති කුඩා ඉඩම්වල භාවිතයට වඩාත් සුදුසුය.