එළබටු


උද්භිද විද්‍යාත්මක නම - සොලනම් ඉන්සානම් (Solanum insanum)

කුලය - සොලනේසි

නිර්දේශිත ප්‍රභේද

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින් මේ දක්වා ප්‍රභේද නිර්දේශ කර නොමැති අතර ගොවීන් බොහෝ විට වගා කරනුයේ විදේශයන්ගෙන් මෙරටට ගෙන්වනු ලබන දෙමුහුම් ප්‍රභේද සහ දේශීය බීජ නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන එළබටු දර්ශයන් වේ.

දේශගුණික අවශ්‍යතා

පස

හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු ලෝම පසක් එළබටු වගාව සඳහා සුදුසුය. පසේ පි.එච් අගය 5.5-5.8 අතර අගයක පැවතීම වඩා යෝග්‍ය වේ.

බිම් සැකසීම

බිම් සකස් කිරීම

තැටි නගුලක් මගින් සෙ.මි. 30 පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර මට්ටම් කිරීමෙන් වගාව ආරම්භ කළ හැකි අතර සොලනේසි කුලයේ 83 භෝගයක් කන්න දෙකක්වත් වගා නොකළ බිමක් වීම විශේෂයෙන් වැදගත් වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයට ග්‍රෑම් 250 - 300

තවාන් පාලනය

තවාන් පිළියෙල කිරීම

එළබටු තවාන් දැමීම සඳහා හොඳින් හිරු එළිය ලැබෙන, පහසුවෙන් ලඟාවිය හැකි, පහසුවෙන් ජලය බැස යන උස්බිමක් වඩා යෝග්‍ය වේ. මිටර් 01 ක් පළලට සහ මීටර් 03 පමණ දිගට පොළවේ සිට සෙන්ටිමීටර් 15-20 අතර උසකට පාත්ති සකස් කළ යුතු අතර පාත්තිය මතුපිට අඟල් 4-6 ක් අතර ප්‍රමාණයකට, හලාගත් මතුපිට පස් කොම්පෝස්ට් 1: 1 අනුපාතයට සකස් කරගත් මිශ්‍රණයක් යොදන්න. බීජ තවාන් කිරීමට පෙර පිළිස්සීම හෝ සුදුසු රසායන ද්‍රව්‍යයක් මඟින් තවාන් පාත්ති ජීවානුහරණය කරගත යුතු වේ. පසුව මතුපිට තුනී පස් තට්ටුව මත අඟල් 04 පරතරය ඇතිව පේලි දිගේ බීජ දමා ජීස්වානුහරණය කරන ලද සියුම් පස් වලින් වසා පිරිසිදු වියළි පිදුරු තට්ටුවකින් ආවරණය කරන්න. බීජ තවාන් කිරීමට පෙර කැප්ටාන්, තිරාම්, හෝමායි වැනි දිලීර නාශකයකින් බීජ ප්‍රතිකාර කිරීම මගින් තවානේදි ඇතිවන දියමලන්කෑම වැනි රෝගී තත්ත්ව වලින් කුඩා පැළ ආරක්ෂා කරගත හැක. දින 25-30 ගතවු පසු පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට යෝග්‍ය තත්ත්වයට පත්වේ. පැළ සිටුවීමට සතියකට පෙර සිට හිරු එළියට නිරාවරණය කිරීම හා ජල සම්පාදන කාලාන්තරය වැඩි කිරීම මගින් පැළ දැඩි කිරීම සිදුකර ගත හැකිය. යල කන්නයේදි වර්ෂාව ලැබීමත් සමඟ සහ මහ කන්නයේ අධික වර්ෂාවෙන් පසුව පැළ ක්ෂේත්‍රයේ සිටුවීම වඩාත් යෝග්‍ය වේ.

වගා පිළිවෙත්

පරතරය
සෙන්ටිමීටර් 90 x 60 පරතරය ඇතිව සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයට පිළියෙල කර ගත් වලවල් වලට කාබනික පොහොර යොදා දින 25ක් 30ක් වූ බීජ පැළ එක් වලකට එක බැගින් සිටුවන්න. හිරු රශ්මිය අධිකව ඇත්නම් කොළ අතුවලින් ආවරණය කරන්න. සවස් වරුවේ පැළ සිටුවීම වඩාත් යෝග්‍ය වේ. පැළ සිටුවා මුල් අවධියේදි පැළය කේෂ්ත්‍රය තුළ හොඳින් මුල් අල්ලාගන්නා තෙක් අවශ්‍ය පරිදි ජල සම්පාදනය කරන්න.


පොහොර යෙදීම
එළබටු වගාවේ බීජ පැළ සිටුවීම සඳහා පිළියෙල කළ වලවල් වලට කාබනික පොහොර අවම වශයෙන් දෝතක් (ග්‍රෑම් 250-300) පමණවත් යෙදීම කළ යුතුය. පැළ සිටුවීමට දින 02 කට පෙර මූලික පොහොර ලෙස යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණයද වලවල්වලට යොදා පස් සමග කලවම් කරන්න.


පොහොර නිර්දේශය

පොහොර යොදන අවස්ථාව (හෙක්ටයාරයට කිලෝග්‍රෑම්)

යොදන අවස්ථාව

යුරියා

ට්‍රිපල් සුපර් පොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

මූලික පොහොර

75

325

80-85

මතුපිට පොහොර

සිටුවා මාස 01 පසු

75

-

-

සිටුවා මාස 02 පසු

75

-

85

සිටුවා මාස 03 පසු

75

-

-

ජල සම්පාදනය
වියළි කලාපයේ වර්ෂා ජලයෙන්ද එළබටු වගාකළ හැකිය. සාර්ථක අස්වැන්නක් ලබාගැනීමට සහ ලාබදායි වගාවක් ලෙස පවත්වාගැනීම සඳහා ජල සම්පාදනය කළ යුතුය. වියළි කාලගුණයක් ඇතිවිට අවම වශයෙන් දින 05 කට වරක් වත් ජල සම්පාදනය කළයුතු වේ.

වල් පැළෑටි පාලනය
බොහෝ කෘමින්ගේ ධාරක ශාක ලෙස වල් පැළෑටි ක්‍රියාකරන බැවින් වල් පැළෑටිවලින් තොරව ක්ෂේත්‍රය පවත්වාගැනීම තුළින් කෘමි හානි අවම කර ගත හැක. තවද සෑම පොහොර යෙදීමකටම පෙර වල් පැළ ඉවත් කීරිම සිදුකළ යුතුය.

අස්වනු නෙළීම

පැළ සිටුවා දින 50-55 ක් අතර කාලයේදි මල් පිපීම ආරම්භ වන අතර සති 10-12 අතරේදි පළමු අස්වැන්න නෙළිය හැකිය. මෙලෙස අස්වැන්න නෙළීම වාර 8-10 මඟින් ලබාගත හැක.

රෝග හා පළිබෝධ හානි

කරටි හා ගෙඩි විදින පණුවා රෝග කාරකය - Leucinodes orbonalis
එළබටු වගාවේ දක්නට ලැබෙන ප්‍රධානතම කෘමි හානියකි. සුහුඹුල් කෘමියා විසින් දමන ලද බිත්තර වලින් දහස් වන කීටයන් එළබටු ඵලය තුළ සහ ශාකයේ කරටිවල අභ්‍යන්තර පටක මත යැපීම නිසා කරටි මැලවීම හා ගෙඩි ආහාරයට ගත නොහැකි තත්ත්වයට පත්වේ. දිගින් දිගටම එකම ක්ෂේත්‍රයේ බටු වගා කිරීමේදි මෙන්ම වගාවෙන් පසු ශාක කොටස් නිදැල්ලේ භූමියේ දිරා යාමට සැලැස්වීමෙන් ඊළග කන්නයේදී මෙම හානිය උත්සන්න වීමට ඉඩ ඇත.

වගාකර ඇති ශාකවල මෙම හානිය පළමුවෙන්ම දක්නට ලැබුණු විට එම කරටි කොටස් ශාකයෙන් කඩා ඉවත් කර විනාශ කර දමන්න. 50% මල් පිපෙන අවස්ථාවේදී නිර්දේශිත කෘමිනාශකයක් යෙදීම. හානි කළගෙඩි වළ දැමීම මඟින් විනාශ කිරීම හා නිර්දේශිත කෘමිනාශක අත්‍යාවශ්‍ය අවස්ථාවේ පමණක් යෙදීම. එකම කෘමිනාශකය දිගටම භාවිතා නොකරන්න. අස්වනු නෙළීමට පෙර යොදන ලද කෘමි නාශකයේ පසු අස්වනු කාලය පිළිබඳව විමසිලිමත්වන්න.

පත්‍ර කීඩෑවා

රෝග කාරකය - Amrasca spp

එළබටු ශාකයේ පත්‍රවල යටි පැත්තේ යුෂ උරා බීම සිදුකරයි. ආසාදිත පත්‍ර දාර උඩු අතට රෝල්වීම දක්නට ලැබෙන අතර හානිය ඉතාමත් වැඩි වූ විට පත්‍ර දාර කහ පැහැවී පිලිස්සුනු ස්වභාවයක් ගැනීම, පත්‍ර කුඩා වීම හා පත්‍ර මත කහ පැහැති විචිත්‍ර ස්වභාවයක් ගැනීම සහ අස්වැන්න අඩුවීම දක්නට ලැබේ. වල් පැළෑටි වලින් තොරව ක්ෂේත්‍රය නඩත්තු කිරීම සහ නිර්දේශිත කෘමිනාශක භාවිතය මඟින් කෘමි පාලන කටයුතු සිදුකරගත හැක. මෙයට අමතරව මයිටාවන් හා පත්‍ර රෝල් කරන පනුවන් නිසාද එළබටු වගාවට හානි ඇතිවිය හැකිය.

රෝග පාලනය

බැක්ටීරියා හිටු මැරීම

රෝග කාරකය - Ralstonia solanacearum

එළබටු වගාවට හානි කරන ප්‍රධානම රෝගය බැක්ටීරියා හිටු මැරීමයි. පසේ ජීවත් වන බැක්ටීරියාවක් මගින් වැළඳෙන මෙම රෝගය ශාකයේ තුවාල වූ මුල් මඟින් ශාකයට ඇතුළු වී ශාකයේ ජලය සංසරණය කරන පටක (ශෛලමය) තුළ ගුණනය වී ශාකය තුළ ජල පරිවහනයට බාධා ඇති කරයි. මේ නිසා පළමුවෙන් ශාකය මලානික වීමත් පසුව ශාකය මියයාමත් සිදුවේ. ඉහළ උෂ්ණත්වයක් සහ ආර්ද්‍රතාවයක් ඇති විට මෙම රෝගයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබේ. තවද රෝගී ක්ෂේත්‍රයන් හරහා ජල සම්පාදනය කිරීම මගින් නිරෝගී වගාවන්ටද මෙම රෝගය ව්‍යාප්ත වේ. මෙම රෝගය පාලනය සඳහා ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම, බෝග මාරුව සහ ක්ෂේත්‍රයේ ජල වහනය හොඳින් පවත්වා ගැනීමට පියවර ගැනීම මෙහිදී වඩාත් වැදගත්වේ.