බෝග කළමනාකරණය සහ තාක්ෂණය

බෝග කළමනාකරණය සහ තාක‍ෂණය

  • බෝග කළමනාකරණයේදී වැදගත්ම දේ තමයි සුදුසු බෝග තෝරා ගැනීම.

  • උපරිම නිෂ්පාදනයක් ලබාගනිමින් ගෙවතු වගාවේ අරමුණු ඉටු කරගැනීමට නම් ගෙවත්තේ සිටුවීමට බලාපොරොත්තුවන බෝග තෝරා ගැනීමේදී සළකා බැලිය යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

  1. ප්‍රදේශය

  • මෙයින් අදහස් වෙන්නෙ තමන් ජීවත්වන ප්‍රදේශයට උචිත/ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීමයි.

  • එහිදී තමන්ගේ ප්‍රදේශය අයත් වන දේශගුණික කලාපයට, පසට ගැලපෙන බෝග වර්ග තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.
  1. කන්නය

  • තමන්ගෙ ප්‍රදේශය අයත්වන දේශගුණික කලාපය කුමක් වුවත් කන්නය අනුව (යල/මහ) ලැබෙන වර්ෂාපතනය වෙනස් වෙනවා.

  • නිරිතදිග මෝසම් වැසි ලැබෙන අප්‍රේල් - සැප්තැම්බර් දක්වා කාලය යල කන්නය ලෙස හැඳින්වෙනවා.

  • ඊසානදිග මෝසමෙන් වැසි ලැබෙන ඔක්තෝබර් - මාර්තු කාලසීමාව මහ කන්නයට අයත් වෙනවා.

  • අඩුවෙන් වැසි ලැබෙන කන්නය සඳහා නියඟයට ඔරොත්තු දෙන බෝගත් වැඩිපුර වැසි ලැබෙන කන්නය සඳහා තෙතමනය ප්‍රියකරන / තෙතමනයට ඔරොත්තු දෙන බෝගත් තෝරාගැනීමට සැළකිලිමත් වෙන්න.
  1. පවුලේ රුචිය


  • ගෙවත්තක බෝග නිපදවා ගන්නෙ පවුලේ ආහාර අවශ්‍යතාවය සඳහා. පවුලේ එක් එක් සාමාජිකයන්ගේ කැමැත්ත එකිනෙකාගෙන් වෙනස් වෙනවා

  • ඒ නිසා ඔබේ ගෙවත්තෙ සිටුවන්න බෝග තෝරා ගැනීමේදී පවුලේ සාමාජිකයින් වැඩිපුර කැමති බෝග වර්ග තෝරා ගන්න අමතක කරන්න එපා
  1. ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණීය විවිධත්ත්වය
  • ආහාර සුරක‍ෂිතතාවයේදී වසර පුරාම බෝග නිෂ්පාදන අඛණ්ඩව ලබාගත හැකිවීම වැදගත්. එසේම ලබාගන්නා නිෂ්පාදනවල පෝෂණීය විවිධත්වයක් ඇතිවන සේ බෝග වර්ග තෝරන්න
  1. ඉඩකඩ





  • බෝග තෝරා ගැනීමේදී තමන්ගෙ ගෙවත්තෙ බෝග වගාව සඳහා ලැබී තිබෙන ඉඩකඩ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි

  • වගා කිරීමට ලැබී තිබෙන ඉඩකඩ ප්‍රමාණය හා ස්ථානය අනුව බෝග තෝරන්න
  1. හිරුඑළිය
  • හිරුඑළිය බෝග නිෂ්පාදනයට අවශ්‍යම සාධකයක්. ගෙවත්තේ හැමතැනකටම ලැබෙන හිරුඑළියේ තිව්‍රතාවය එක සමාන නැහැ

  • ඒ ඒ ආලෝක තිව්‍රතාවයට ගැලපෙන බෝග වර්ග තෝරා සිටුවිය යුතුයි
  1. ජල සැපයුම




  • එක් එක් බෝග වල ජල අවශ්‍යතාවය වෙනස්. වර්ෂාවෙන් ලැබෙන ජලයට අමතරව අවශ්‍ය විටක බෝග සඳහා ජලය සැපයිය යුතු වෙනවා.

  • යොදාගන්නා ජල ප්‍රභවයන් (ජලය ලබාගන්නා ස්ථාන / ආකාරය), ලබාගත හැකි ජල ප්‍රමාණය හා ජලය සපයන ආකාරයත් බෝග වර්ග තේරීමේදී වැදගත් වෙනවා.

  • ගෙවත්තේ සිටුවීමට තෝරා ගන්නා බෝග වර්ග ජල සැපයුමට උචිත විය යුතුයි.

  • බෝග මාරුවට උචිත වන පරිදි

- නියඟ/සෙවන/ජලය ප්‍රියකරන බෝග

- සහජීවි හා තරඟකාරී බෝග

- කෙටි කාලීන හා දිගු කාලීන බෝග

- ඖෂධ, රසකාරක හා විසිතුරු ශාක

- කොළ පොහොර හා ආවරණ බෝග

- දැව හා තෘණ බෝග තෝරා ගන්න

හිතකර බෝග සංකලන



  • විවිධ බෝග රටා අනුගමනය කරමින් බෝග සංකලනයන් ඇතිකල හැකියි. මේ සඳහා තෝරාගත යුත්තේ හිතකර/මිශ්‍ර බෝගයි. හිතකර බෝග තෝරා ගත්විට එක් බෝගයක් වගා කිරීමෙන් අනෙක් බෝගයට හානියක් සිදුවන්නෙ නැහැ.


    සූක‍ෂම වායව හා භූමි පරිහරණයට බෝග සිටුවීම




ඔබට ගෙවතු වගාව සඳහා ලැබී තිබෙන ඉඩකඩෙන් එහෙමත් නැතිනම් ගෙවතු වගාවට ඔබ යොදාගන්නා ඉඩකඩෙන් උපරිම ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයට බෝග පිහිටුවීම වැදගත්.

ඒ සඳහා භූමිය වගේම අහස දෙසට ඇති ඉඩකඩ (සිරස්/වායව අවකාශය) උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනෙන ලෙස බෝග තෝරා ගැනීමත්, පිහිටුවීමත් අවශ්‍ය වෙනවා.

මේ සඳහා

1- අතුරු/මිශ්‍ර /බහු බෝග

2- බහු ස්ථර වගා

3- මැහි බෝග

4- බෝග වැට

1 - අතුරු බෝග වගාව

  • බෝග 2ක් හරි වැඩි ගණනක් හරි මාරුවෙන් මාරුවට සකස් කරන ලද පේළි අනුව සමාන අවධානයකින් යුතුව එකම භූමියේ වගා කිරීමයි.

මිශ්‍ර බෝග වගාව



  • බෝග 2ක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි ලෙස නිශ්චිත පේළිසකස් කිරීමක් නැතිව එකම ඉඩකඩක මිශ්‍රව වගා කිරීමයි

බහු බෝග වගාව

  • යම් භූමියක වසරක් හෝ යම් නියමිත කාලසීමාවක් තුල බෝග එකකට වඩා වැඩි සංඛ්‍යාවක් වගා කිරීමයි

2 - බහු ස්ථර වගා

  • සිරස් අවකාශයේ විවිධ මට්ටම් ප්‍රයෝජනයට ගනිමින් විවිධ බෝග වර්ග වගා කිරීමයි

3 - මැහි බෝග

  • වැල් වශයෙන් වර්ධනය වන බෝග මැහි බෝග ලෙස හැඳින්වෙනවා. මැහි බෝග ලැබී තිබෙන ඉඩකඩ උපරිමව ප්‍රයෝජනයට ගැනීමට වැදගත් වෙනවා

  • මැහි බෝග වල වර්ධනයට විවිධ මැහි වර්ග සකස් කළ හැකි අතර නිවසට යාබදව ඇති දර මඩුවක වහලය වැනි ව්‍යුහයක් වුවත් මේ සඳහා ප්‍රයෝජනයට ගත හැකියි

  • - බෝග වැට ඇතිකර ගන්න

  • මෙහිදී සිදුකළ යුත්තේ සිරස් අවකාශයේ එක් එක් ස්ථර ආවරණය වන පරිදි ලැබෙන ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා බෝග වර්ග තෝරාගෙන වගා කිරීමයි

ඉහළ ආවරණ ශාක

එළවළු - මුරුංගා, කතුරුමුරුංගා, දෙල්, කොස්

පලතුරු - පේර, අලිගැටපේර

දැව - කොස්, කොහොඹ

මධ්‍යම ආවරණ ශාක

පැපොල්, කෙසෙල්, වැල් අල, දඹල

පහළ ආවරණ ශාක

මිරිස්, මඤ්ඤොක්කා, බඩඉරිඟු

සෙවන ප්‍රිය ශාක

අන්නාසි, ඉඟුරු, බතල, කංකුං

  • කුස්සියේ වගාව

- එදිනෙදා ආහාර පිසීමේදී නිතරම වගේ අවශ්‍ය වන කරපිංචා, රම්පේ, සේර වැනි බෝග නිවසේ කුස්සිය අසලින්ම ඇති ඉඩකඩේ වගා කරන්න

- වැඩිපුර තෙතමනය ප්‍රිය කරන වැඩි අවධානයක් යොමුකර රැකබලා ගත යුතු බෝගත්

කුස්සිය අසලින් වගා කිරීම සුදුසුයි

කාල කළමනාකරණය සහ තාක්ෂණය

කාල කළමනාකරණය සහ තාකෂණය



  • අවුරුද්ද පුරාම අස්වැන්න ලැබෙන ආකාරයට ගෙවත්තක බෝග පිහිටුවීම හා නඩත්තු කිරීම සිදු කළයුතු වෙනවා.

  • බෝගයන්ගෙන් ගෙවත්ත පිරවීමේදී අපට ලැබී තිබෙන සීමිත සම්පත් මෙන්ම ඉඩකඩ ද කළමනාකරණය කළ යුත්තේ කාලානුරූපී වන ලෙසයි.

  • එහිදී කන්නයට සුදුසු බෝග තෝරා ගැනීම කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීම වැදගත්.

කන්නයට සුදුසු බෝග තෝරා ගන්න

  • ඔබ ජීවත් වෙන්නේ තෙත් කලාපයේ වුවත් වියළි කලාපයේ වුවත් වැඩිපුර වැසි ලැබෙනතෙත් කන්නයකුත් අඩුවෙන් වැසි ලැබෙන වියළි කන්නයකුත් තිබෙනවා.

  • තෙත් කන්නය සඳහා වර්ෂාවට ඔරොත්තු දෙන බෝගත් වියළි කන්නය සඳහා නියඟයට ඔරොත්තු දෙන බෝගත් තෝරා ගැනීමට වග බලාගන්න.

බෝග මාරුව හා අතුරු බෝග ඇති කරන්න.

බෝග මාරුව

  • එකම භූමියේ එකම බෝගය දිගින් දිගටම වගා කළ විට බෝග වලට රෝග, පළිබෝධ හානි පහසුවෙන් ඇති වෙනවා.

  • පසෙන් ලබාගන්නේ එකම පෝෂක වර්ග නිසා පසේ සරුබව අඩුවී අස්වැන්නත් අඩු විය හැකියි.

  • ඒ නිසා කන්නයෙන් කන්නයට සුදුසු පරිදි මාරුවෙන් මාරුවට විවිධ බෝග වගා කරන්න.

බෝග මාරු සටහන

වගා කරන කන්නය

පාත්ති

පළමු

දෙවැනි

තෙවැනි

සිව්වැනි

01

කොළ බෝග

එළවළු

අල

රනිල

02

එළවළු

කොළ බෝග

රනිල

අල

03

අල

රනිල

කොළ බෝග

එළවළු

04

රනිල

අල

එළවළු

කොළ බෝග

අතුරු බෝග

  • එකම භූමියේ වුවත් සුදුසු පරිදි බෝග 2 ක් හරි වැඩි ගණනක් හරි මාරුවෙන් මාරුවට සකස් කරන ලද පේළි අනුව වගා කිරීම සඳහා තෝරා ගන්න

  • කාලයට අනුකූලව තවාන් / පැළ ප්‍රචාරණය හා සිටුවීම කරන්න

  • ඊලඟ කන්නය සඳහා අවශ්‍ය පැළ නියමිත කාලයට සිටුවීම සඳහා ලබාගත හැකි වන පරිදි තවාන්/පැළ ප්‍රචාරණය කර ගැනීම කළ යුතුයි.

  • මෙසේ ලබාගන්නා පැළ සුදුසු කාල සීමාව ආරම්භයත් සමඟ බිම් සකස්කර සිටුවා ගන්න.

  • වර්ෂාව ලැබෙන කාලය වන විට පැළ හොඳින් වර්ධනය වී ඇති නිසා වර්ෂාවට ඔරොත්තු දිය හැකියි.

  • කාලයට අනුකූලව ජල සම්පාදනය, පොහොර යෙදීම, කප්පාදු කිරීම සිදු කරන්න.

ජල සම්පාදනය

  • වර්ෂාවෙන් ලැබෙන ජලය ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී බෝග වලට ජලය පිටතින් ලබාදිය යුතු වෙනවා. අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය සැපයීමත් වැදගත්.

  • ජලය සැපයීමට වඩාත් සුදුසු වන්නේ හිමිදිරිඋදයේ හෝ සවස් කාලයේය. ඒ නිසා හැකි සෑම විටකම උදේම එහෙමත් නැතිනම් සවස් කාලයේදී බෝග වලට ජලය සපයන්න.

පොහොර යෙදීම

  • මූලික වශයෙන්ම ගෙවතු වගාව සඳහා කාබනික පොහොර යොදාගන්න. ඊට අමතරව අවශ්‍ය නම් බෝගයේ වර්ධන අවස්ථාව අනුව රසායනික පොහොර යොදන්න.

කප්පාදු කිරීම

  • නිසිකලට බෝග කප්පාදු කරන්න. විශේෂයෙන්ම අඹ වැනි පලතුරු බෝග වල ගස තුළට අනවශ්‍ය ලෙස සෙවන ඇතිවන වැඩී ඇති අතු ඉවත් කරන්න.

  • දෙහි, දොඩම් බෝග වල දිය රිකිලි ඉවත් කරන්න. රෝග හා කෘමි හානි බහුලව ඇති ශාක කොටස් කප්පාදු කර ඉවත් කරන්න

  • යලි සැලසුම් කිරීම.

  • දිගින් දිගටම බෝග හා අනෙකුත් අංග ගෙවත්තට ඇතුලත් කිරීම සුදුසු වෙනවා. වසර 5 ත් 10ත් අතර කාලයකදී ඔබේ ගෙවත්ත යලි සැලසුම් කිරීම කළ යුතුයි

  • නිසි කාලයට අවශ්‍ය දේ කරන්න. අද වැඩය හෙටට කල් නොදමන්න.

  • ගෙවත්තේ සියළු කටයුතු කලට වේලාවට ඉටු කිරීම වැදගත්. ගෙවත්තක් පවත්වාගෙන යන්නේ අපේ එදිනෙදා කටයුතුවලට අමතරවයි.

  • ඒ නිසාමපවුලේ හැමෝගේම දායකත්වය ඇතිව ගෙවත්ත නිසි අයුරින් කළමනාකරණය කරගෙන පවත්වාගෙන යාම සඳහා අද කළ යුතු කාර්යය අදම ඉටු කරන්න.

  • හෙටට කල් දැමීමෙන් කළයුතු කාර්යයන් එකට ගොඩගැසී කරගත නොහැකි තත්ත්වයකට පත් විය හැකියි.

භෞතික සම්පත් කළමනාකරණය සහ තාකෂණය

භෞතික සම්පත් කළමනාකරණය සහ තාක‍ෂණය

  • අපට ලැබී තිබෙන පස, හිරුඑළිය, ඉඩකඩ ජලය සීමිත ස්වභාවික සම්පත් විදියට සලකන්න පුළුවන්.

  • ගෙවත්තේදී මෙම සම්පත් සඳහා මුදල්මය වටිනාකමක් නැහැ.

  • අපට ලැබෙන මේසීමිත ස්වභාවික සම්පත් ටික ගෙවත්තෙන් උපරිම නිෂ්පාදනයක් ලැබෙන විදියට යොදාගෙන ප්‍රතිලාභ වැඩිකර ගැනීම තමයි භෞතික සම්පත් කළමනාකරණය විදියට හැඳින්වෙන්නේ.

පස

පාංශු කළමනාකරණය

  • දිගින් දිගටම බෝග වගා කරනකොට පසේ සරු බව අඩුවෙනවා. ඒ වගා කරන බෝග මඟින් පසේ තියෙන පෝෂක ද්‍රව්‍ය ලබාගන්න නිසා.
  • පස සෝදාගෙන යාමවළක්වන්න කටයුතු යොදලා නැත්නම් වැස්ස නිසා සෝදා පාළුවට ලක්වෙනවා. එවිට බෝග වගා කරලා සරු අස්වැන්නක් ලබාගන්න බැහැ.
  • පාංශු කළමනාකරණය යන්නෙන් අදහස් වෙන්නේ දිගින්දිගටම බෝග වගාවට යොදාගන්න පුළුවන් වෙන විදියට පස ආරක‍ෂා කිරීම සහ පස නිරන්තරව පෝෂණය කිරීමයි.

පස ආරක‍ෂා කිරීම

  • ගෙවතු පසක් නිසරු බවට පත්වීම පාලනය කල නොහැකි තරම් වූ ක්‍රියාවලියක්.
  • දිගුකාලීනව අඛණ්ඩ පරිශීලනයේ යෙදීමත්, පස කෙරෙහි ගෙවැසියන්ගේ අඩු අවධානයත් මෙයට ප්‍රධාන හේතු වෙනවා.
  • දර්ශීය සරු පසක පැතිකඩක පවතින ස්ථීරභාවය බොහෝ ගෙවතුවල දකින්න ලැබෙන්නේ නැහැ.
  • ගෙවතු පස අපේ ජීවිත කාලය පුරාවටම බෝග වගා කරන්න යොදාගන්නවා.
  • අප වගා කරන බෝග වලින් දිගින් දිගටම සරු අස්වැන්නක් ලබාගන්න නම් අනිවාර්යයෙන්ම ගෙවත්තේ පස ආරක‍ෂා කරගත යුතුයි.
  • මෙහිදී පස සෝදාගෙන යාම වළක්වන්න විවිධ ක්‍රම යොදාගන්න වෙනවා.

ශෂ්‍ය විද්‍යත්මක සංරක‍ෂණ ක්‍රම


  • වගා කිරීමට බෝග තේරීමේ සිට අස්වැන්න නෙළා ගැනීම දක්වා කාළය තුල කරනු ලබන හැම දෙයක්ම ක්‍රමවත්ව සිදු කිරීමයි.

මෙහිදී

  • ශාක වියනකින් පස රකින්න. සෑම විටම පස මතුපිට ශාක වියනක් බෙන්න ඉඩ හරින්න.
  • වගා කිරීම සඳහා මුළු ඉඩමම එකවර නිරාවරණය කරන්න එපා.
  • වගා ප්‍රදේශය පමණක් එළි කරන්න. අනවශ්‍ය ලෙස සෑම තැනකම ඇති වල් උදළු ගා දමන්න එපා
  • වැස්ස වැඩිපුර ලැබෙන කාලයට අනවශ්‍ය ලෙස පස බුරුල් කරන්න එපා.
  • නියමිත පරතර අනුව බෝග වගා කරන්න. එවිට වර්ෂාවට පස කෙළින්ම නිරාවරණය වෙලා පස සෝදා ගෙන යාම අඩු වෙනවා.
  • පිදුරු, දහයියා, ලී කුඩු, කොළ රොඩු, බෝග අවශේෂ ආදිය වසුන් ලෙස භාවිතා කර නිතරම පස ආවරණය කරන්න

යාන්ත්‍රික ක්‍රම

හෙල්මළු



  • පසේ මතුපිට බෑවුම වැඩි වෙනකොට ජලය වේගයෙන් ගලාගෙන යනවා. පස සෝදාගෙන යන ප්‍රමාණය වැඩිවෙනවා.
  • හෙල්මළු යොදන්නේ බෑවුම අඩු කරලා මතුපිට ජලය පසට උරා ගැනීමට සැලැස්වීමටයි.
  • .

ගල්වැටි/ගල්බැමි


පොළොව මට්ටමින් ඉහළට සිටින විදියට පොළොවේ බෑවුම හරහට ගල්වැටි බැඳීම සිදුකළ හැකියි.

මේ සඳහා අවශ්‍ය ගල් ඔබේ ගෙවත්තෙන්ම සපයාගත හැකි නම් මේ ක්‍රමය වඩාත් සුදුසුයි.

ජීව වැටි (දෙවැටි)

  • මෙහිදී බලාපොරොත්තු වෙන්නේ ගල් වැටියකින් ඉටු කරගන්න කාර්යය ශාක වැටියකින් ඉටුකර ගැනීමටයි.

  • ඒ කියන්නේ පස මතුපිටින් ගලායන ජලය ප්‍රමාණය අඩුකරලා ජලය වැඩිපුර පසට උරාගැනීමට සැලැස්වීම හා සෝදායන පස් රඳවාගැනීම. මෙම ක්‍රමය සෝල්ට් ක්‍රමය (SALT= Sloping Agricultural Land Technology) ලෙසද හැඳින්වෙනවා.

  • දෙවැටි සකස්කර ගැනීමට ග්ලිරිසීඩියා, කැලියැන්ඩ්‍රා වැනි ශාක දඩු යොදා ගැනීම සුදුසුයි. මේ ශාක නයිට්‍රජන් වායුව තිර කරන නිසා පස සරු වෙනවා.

  • සමෝච්ඡ රේඛා ඔස්සේ පස බෑවුම් වන ලෙසට ලම්භකව වැටියක් ලෙස ළං ළංව ග්ලිරිසීඩියා සිටුවීමෙන් ඉහත යහපත් ප්‍රතිඵල උදා කරගත හැකියි.

  • කෝටු පේළි දෙක අතර අඩි 1/2 සිට අඩි 2 දක්වා පරතරයක් තබාගත හැකියි. පේලිය තුල එක් එක් ග්ලිරිසීඩියා කෝටු අතර පරතරය සෙන්ටි මීටර් 15 කුත් කෝටුවක උස සෙන්ටි මීටර් 75 කුත් වීම සුදුසුයි
  • මෙලෙස සිටුවනු ලබන පාංශු සංරක්ෂක වැටි කලින් කලට කප්පාදු කර මෙම ග්ලිරිසීඩියා පේලි අතරට යොදනු ලබන අතරකප්පාදු උස අඩි 1 1/2 සිට අඩි 2 ක් පමණ විය යුතුයි.

  • මෙමවැටියේ සෝදා යන පස් අංශු සහ අනෙකුත් ඓන්ද්‍රීය කොටස් සිරවීමෙන් ගලා යන ජලයට භෞතික බාධාවක් ඉදිවෙනවා. මෙමඟින් ගලා යන ජලයේ වේගය අඩු කරන අතර පාංශු ඛාදනය ද අවම කරනවා.

  • භෞතිකව හා රසායනිකව පස සංවර්ධනය කිරීමේ හැකියාවක් ග්ලිරිසීඩියා වලට තිබෙනවා.

  • මෙම ප්‍රයෝජන එලෙස සිදුවෙමින් තිබියදීම නිපදවන කොළ සතුන්ගේ ආහාර සඳහා යොදා ගැනීමෙන් ඒකක බිම් ප්‍රදේශයක ඵලදායීතාවය ඉහළ නැංවිය හැකියි.

පස පෝෂණය කිරීම

  • දිගින් දිගටම බෝග වගා කරන විට පසේ තිබෙන පෝෂක ද්‍රව්‍ය බෝග වලින් ලබා ගන්නා නිසා පසේ පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා.

  • තවදුරටත් බෝග වර්ග වගා කිරීමෙන් සරු අස්වැන්නක් ලැබෙන්නෙ නැහැ.

  • එම නිසාපස නිරන්තරයෙන් පෝෂණය කළයුතු වෙනවා.

  • ඒ සඳහා හැකි තරම් කාබනික ද්‍රව්‍ය පසට එක් කළ යුතුයි.

කාබනික පොහොර


  • දිරාපත්වන සියළු දෑ කාබනික පොහොර ලෙස සරලව හැඳින්විය හැකියි.

  • කාබනික පොහොර නිරන්තරව එක්කිරීම පසෙහි ආරක‍ෂාව හා පෝෂණය දිගුකාලීනව රැඳීමට හේතු වෙනවා.

  • එවිටදිගින් දිගටම බෝග වගා කලත් හොඳ අස්වැන්නක් ලබාගත හැකියි.

කාබනික පොහොර මඟින් පසේ


  • රසායනික ලක‍ෂණ දියුණු කරනවා. (පසේ ආම්ලිකතාවය හා භාෂ්මිකතාව බෝග වගාවට සුදුසු තත්ත්වයට පත් කරයි)

භෞතික ලක‍ෂණ දියුණු කරනවා.(පසේ ව්‍යුහය හා වයනය දියුණු කරයි)

ජෛව ක්‍රියාකාරීත්වය දියුණු කරනවා. (හිතකර පාංශු ජීවීන්ගේ සංඛ්‍යාව වැඩි කරයි)

කාබනික පොහොර වර්ග

  1. සත්ත්ව පොහොර
  2. කොළ පොහොර
  3. කොම්පෝස්ට් පොහොර
  4. ගැඩවිලි පොහොර

  1. සත්ත්ව පොහොර

  • ගොම, එළු හා කුකුල් පොහොර ගෙවත්තට එක් කළ හැකියි. මෙම පොහොර බෝගවගා කරන පාත්තිවලට හෝ වල්වලට ප්‍රමාණවත් පරිදි එක්කරන්න.

  • කුකුල් පොහොර යොදා ගන්නේ නම් පොහොර යොදා දින තුනක් පමණ ගෙවුනු පසු පැළ හෝ බීජසිටුවීම කළයුතුයි.

  • හොඳින්දිරාපත් වූ කුකුල් පොහොර යොදා ගැනීම වැදගත්.

  • ගොම හා එළු පොහොර වුවත් හොඳින් දිරාපත් වූ විට බෝග වගාවට යොදා ගත යුතුයි.

  1. කොළ පොහොර
  • සෑම ගෙවත්තකින්ම වාගේ පහසුවෙන් සපයාගත හැකි පොහොරක් තමයි කොළ පොහොර. ඉක්මනින් දිරාපත් වන, වැඩි කොළ අස්වැන්නක් ඇති ග්ලිරිසීඩියා ශාක කොළ පොහොර ලබා ගැනීමට වඩාත් සුදුසුයි.

  • ග්ලිරිසීඩියාශාක වරින් වර කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ, පොහොරවීමට පසට යට කළහැකියි.

  • කැප්පෙටියා, පිල, කැකුණ, ඉපිල් ඉපිල් හා වල් සූරියකාන්ත වැනි ශාකවල අතුද කොළ පොහොරක් ලෙස හෝ කොම්පෝස්ට් පොහොර ලෙස සෑදීම සඳහා භාවිතා කළ හැකියි.
  1. කොම්පෝස්ට් පොහොර
  • වැඩි ඉඩකඩක් සහිත ගම්බද ප්‍රදේශවලදී නම් සත්ත්ව පොහොර (ගොම, එළු හා කුකුල් පොහොර) අපහසුවකින් තොරව ලබාගත හැකියි.

  • එහෙත් ඔබ ජීවත් වෙන්නෙ නාගරික පරිසරයක නම් සත්ත්ව පොහොර සපයා ගැනීම අපහසු විය හැකියි.

  • දිරාපත්වන ඕනෑම ද්‍රව්‍යයක් කොම්පෝස්ට් සෑදීම සඳහා යොදාගත හැකියි.

උදා :-

- ගෙවත්තේ එකතුවන වියළි ශාක පත්‍ර

- ගලවා දමනු ලබන වල් පැළෑටි

- කුස්සියෙන් ඉවත්කරන එළවළු හා පලතුරු ශේෂ

- පොල් කුඩු හා තේ කොළ

- ලිපෙන් ඉවත් කරන අළු

- වැටවල් හා ගස් කප්පාදු කිරීමෙන් ලැබෙන කොළ

- සත්ත්ව වසුරු

කොම්පෝස්ට් කුළුණ

  • පහසුවෙන් කොම්පෝස්ට් පොහොර සාදා ගැනීම සඳහා කොම්පෝස්ට් කුළුණු සකස් කරගත හැකියි.

  • ග්ලිරිසීඩියා කෝටු ළඟින් ළඟින් සිටුවා ගැනීමෙන් කොම්පෝස්ට් කුළුණක් සාදාගත හැකිවෙනවා.

  • ග්ලිරිසීඩියා කෝටු වෙනුවට මේ සඳහා ඉපිල් ඉපිල්, එරබදු වැනි කෝටු වර්ගත්භාවිතා වෙනවා.

  • මුළුතැන්ගෙයින්ඉවත්කරන අප ද්‍රව්‍ය වගේම ගෙමිදුල අතුගා එකතුවන කොළ රොඩුත්, ගෙවත්තෙන් ඉවත් කරන බෝග අවශේෂත් දිනපතාම මේ කොම්පෝස්ට් කුළුණට දමන්න.

  • සිටුවන ලද ඉනි පැළවේ නම් ඒවාද වරින්වර කපා කොම්පෝස්ට් කුළුණට එකතු කිරීමට හෝ කොළ පොහොරක් ලෙස භාවිතා කිරීමටයොදාගත හැකියි.

  • මේ කොම්පෝස්ට් කුළුණ දිනපතාම පිරවිය හැකි අතරම කලින් කලට එහි අඩියෙන් කොම්පෝස්ට් පොහොර ලබාගත හැකියි.

කොම්පෝස්ට් බැරලය


  • බැරලයක් භාවිතයෙන් කොම්පෝස්ට් නිපදවීම ඉඩකඩ ඉතා අඩු නාගරික ගෙවත්තට වඩා සුදුසුයි. මෙය ඉතා සරල ක්‍රමයක්.

  • මෙමක්‍රමයට කොම්පෝස්ට් නිපදවීම සඳහා අඩිය සම්පූර්ණයෙන්ම ඉවත්කරන ලද බැරලයක් හෝ වෙනත් භාජනයක් භාවිතා කල හැකියි.

  • කොම්පෝස්ට් සාදන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් වායුව ලබාදීම සඳහා බැරලයේ බඳ වටේට සිදුරු සකස් කළ යුතුයි. මේ ආකාරයට සකස්කළ කොම්පෝස්ට් බැරල් ඔබට වෙළඳපොලෙන් මිලදී ගැනීමටත් පුළුවන්.

  • කොම්පෝස්ට් බැරලයට ගෙවත්තේ එකතුවන කොළ රොඩු, මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය හා අළු දිනපතාම එකතු කරන්න. බැරලය තුළ කොම්පෝස්ට් නිපදවීමට ප්‍රමාණවත් තරම් තෙමනයක් ඇතිවන සේ ජලය එකතු කරන්න.

  • සති තුනක් පමණ ගතවුනාට පසුව බැරලය සෙන්ටි මීටර් 15ක් පමණ පොළොවෙන් ඔසවා ගල් කිහිපයක් මත තබන්න. එවිට ඒවන විට කොම්පෝස්ට් බවට පත්වෙලා තියෙන කොටස ප්‍රයෝජනයට ගත හැකියි.

  • බැරලය එසේම තිබියදී හෝ නැවත වරක් පෙර සේ තබා අමුද්‍රව්‍ය පිරවීම හා වරින්වර කොම්පෝස්ට්ලබාගැනීම කළ හැකියි.
  1. ගැඩවිලි පොහොර

ඔබේ ගෙවත්තෙත් ගැඩවිලූන් රැ ගැඩවිලි පස් දකින්න ලැබෙනවා නම් එය ගෙවත්තේ පස සරු බවට සාධකයක්

ගැඩවිලා

- කාබනික ද්‍රව්‍ය දිරාපත් කරනවා.

- පස තුළ ගුල් හාරන නිසා පසේ වායු හුවමාරුව දියුණු කරනවා.

- ගැඩවිල් පස් පසට පෝෂක ද්‍රව්‍ය එක් කරමින් පස සරු කරනවා.

- පාංශු සංඝටක කැබලි හා කුඩු කරවමින් ජීර්ණ කාරකයෙකු ලෙස ක්‍රියා කරනවා.

- ජෛව උත්ප්‍රේරකයක් ලෙස වැදගත් වෙනවා.

- රෝග හා පළිබෝධ වලින් බෝග ආරක්ෂා කරගැනීමට උදව් වෙනවා.

ගැඩවිලි පොහොර නිෂ්පාදනය

සරල ක්‍රමයක් භාවිතා කරමින් ඔබට ගැඩවිලි දියර පොහොර හා ගැඩවිලි කොම්පෝස්ට් පොහොර නිපදවා ගත හැකියි

ජලය

  • ජලය බෝග වගාවට නැතුවම බැරි වටිනා සම්පතක්. ජලය නොමැති තැන ගස් වැල් වලට පැවැත්මක් නැහැ.

  • ගෙවතු වගාවේදී අපට මූලිකවම වැදගත් වෙන්නේ වර්ෂා ජලයයි. ඒත් අපි හැමෝගේම ගෙවත්තට ලැබෙන වර්ෂාපතනය එක වගේ නැහැ.

  • වර්ෂාව ලැබෙන ප්‍රමාණය වගේම කාල සීමාවත් තමන් ජීවත්වන කෘෂි දේශගුණික කළාපය අනුව වෙනස් වෙනවා.

  • මේ නිසාම වියළි කළාපය, වියළි කන්නය සඳහාත් තෙත් කළාපය, තෙත් කන්නය සඳහාත් ගෙවත්තක ජල කළමනාකරණයේදී අනුගමනය කළ යුත්තේ පරස්පර කාර්යයන්.

වියළි කළාපය/කන්නය

  • වියළි කලාපයට මෙන්ම තෙත් කලාපයේදී වුවත් වියළි කන්නයේදී වැස්ස ලැබෙන්නේ අඩුවෙන්.

  • මෙහිදී වඩාත් වැදගත් වන්නේ ලබාගත හැකි සීමිත ජල ප්‍රමාණය සංරක්ෂණය කරගනිමින් උපරිම නිෂ්පාදනයකට දායක කරගැනීමයි. ඒ සඳහා විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කළ හැකියි.

සුදුසු බෝග තේරීම


  • මෙහිදී කළ යුත්තේ ස්වභාවයෙන්ම වියළි තත්ත්ව සඳහා ඔරොත්තුදීමේ හැකියාවක් ඇති බෝග වර්ග සිටුවීමට තෝරා ගැනීමයි.

  • ගැඹුරු මූල පද්ධතියක් සහිත බෝග වර්ග මේ සඳහා සුදුසුයි.

  • රනිල බෝග නියං තත්ත්ව වලට හොඳින් ඔරොත්තු දෙනවා.

  • ඒ නිසා මුරුංගා, කතුරුමුරුංගා, සෝයා බෝංචි, බෝංචි, මෑ වැනි රනිල කුලයේබෝග වියළි කළාපීය ගෙවත්තට / වියළි කන්නයට වඩාත් සුදුසුයි.

ගිල්වූ පාත්ති වල සිටුවීම


  • පාත්තිය වටේටම වැටි දැමීමෙන් ගිල්වූ පාත්ති සකස්කර ගත හැකියි. මේ ආකාරයට පාත්ති සකස්කල විට ජලය බැස නොයන නිසා පාත්තිය තුළ රඳවා ගැනීමට පහසු වෙනවා.

පොල් ලෙලි ආස්තරණ පාත්ති හා වළවල් සැකසීම.

  • පොල් ලෙලි වල කෙඳි සහිත ස්වභාවය නිසා හොඳින් ජලය උරා ගන්නවා. ඉන්පසු තෙතමනය දිගු කලක් රඳවා තබාගැනීමේ හැකියාව පවතිනවා.

  • ඒ නිසා පාත්ති සැකසීමේදී හෝ වළවල් සැකසීමේදී පොල් ලෙලි ආස්තරණයක් යොදා ගත හැකියි.

බෝග අවට ජලය සංචිත කිරීම


  • විශේෂයෙන්ම ස්ථිර බෝග (පොල්, අඹ) සඳහා මෙම ක්‍රමය වඩාත් සුදුසුයි.

  • ජලය සංචිත කර ගැනීමට කුඩා මැටි බඳුන් භාවිතා කල හැකියි.

හිමිදිරියේ හා සවස් කාලයේ ජලය සැපයීම

  • බෝග වලට ජලය සැපයීමට වඩාත් සුදුසු වන්නේ හිමිදිරි උදය හා හවස් කාලයයි.

  • ඒ නිසා හැකි සැමවිටම උදේම එහෙම නැතිනම් හවස් කාලයේ ජලය යෙදිය යුතුයි.

තෙත් කළාපය / කන්නය


  • තෙත් කළාපයට එසේම වියළි කළාපයේදී වුවත් තෙත් කන්නයේදී වැඩිපුර වර්ෂාව ලැබෙනවා.

  • වැඩිපුර ජලය රැදීම / ලැබීම බෝග වගාවට සුදුසු නැහැ. මෙම අහිතකර තත්ත්වය මඟහරවා ගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගත හැකියි.

උස් පාත්ති වල සිටුවීම

  • පාත්ති වටේටම කාණු දැමීමෙන් උස් වූ පාත්ති සකස් කරගත හැකියි. මෙලෙස පාත්ති සකස් කර ගත්විට හොඳින් ජලය බැස යනවා.

ජලයට සංවේදී නොවන බෝග තේරීම

ඇතැම් බෝග ජලයට ඉතා සංවේදියි. මෙවැනි බෝග තෙත් කළාපයට / කන්නයට වඩා සුදුසු බෝග නොවේ.

උස් වූ මලූ / පෝච්චිවල වගාව


  • උස්වු මලූ හා පෝචිච් වල වගා කිරීමෙන් ජලය හොඳින් බැස යාමට සැලැස්විය හැකියි.

මැහි භාවිතය

  • බිම සිටවූසහ පෝච්චි වල / මලූ වගාකළ වැල් බෝග සඳහා මැහි භාවිතා කිරීමෙන් එම බෝග වලට වර්ෂාවෙන් / පසේ ජලය රැඳීසිටීමෙන් වන හානිය අඩුකරගත හැකියි.

හිරුඑළිය කළමනාකරණය


  • හිරුඑළිය නොමිලේ ලැබෙන නමුත් ගෙවතු වගාවේදී සීමාකාරී සාධකයක්.

  • බෝග වගාවට අවශ්‍යම සාධකයක් නිසා ලැබෙන සීමිත හිරුඑළියෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන ලෙස ගෙවත්ත සැළසුම් කළයුතුයි. මේ සඳහා.

  • හිරුඑළිය උපරිමව ප්‍රයෝජනයට ගැනීමට සුදුසුවන සේ වගා රටා අනුගමනය කිරීමත් පැළ සිටුවීමත් සිදුකරන්න.

  • දකුණු හෝ නැගෙනහිර දිශාවට යොමුවන්නට ගෙවත්ත සැලසුම් කරන්න. මෙවිට බෝග සඳහා වඩාත් හිතකර උදෑසන හිරුඑළිය ගෙවත්තට ලැබීම අවහිර වෙන්නෙ නැහැ.

ලැබෙන හිරුඑළියේ තීව්‍රතාවය මත තැනට සුදුසු බෝග වගා කරන්න

  • අප වගා කරන සමහර බෝග. (උදා. පලතුරු) හිරුඑළිය ප්‍රිය කරනවා. බෝග/ගෙඩි හටගන්නා බෝග)

  • තවත් සමහරබෝග. (උදා. කිරි අල, ඉඟුරු, කහ) සෙවන තත්ත්ව යටතේ වුවත් හොඳින් වැඩෙනවා.

  • මේ නිසා ගෙවත්තේ එක්එක් තැන්වලට හිරුඑළිය ලැබෙන කාලසීමාව හා තිව්‍රතාවය අනුව සුදුසු බෝග තෝරාගෙන වගා කරන්න.

  • දිගුකාලීන විශාල ශාක ගෙවත්තේ උතුරු කෙළවරට වන්නට පිහිටුවන්න.

  • දිගුකාලීන පලතුරු වැනි විශාල ශාක නිවසට ආසන්නව නොසිටුවා ඉඩමේ වැටට ආසන්නව සිටුවීම විශේෂයෙන්ම සෙවන පාලනයට වැදගත් වෙනවා.

  • හිරුඑළිය පාලනයෙන් වල් මර්දනය හා තවාන් ජීවානුහරණය සිදු කර ගත හැකියි.

  • ගෙවත්ත ශාක වියනකින් හොඳින් ආවරණය වූ පසු කරදරකාරී ලෙස වල් බිහිවීම ඉබේම අඩුවෙනවා. ඒ පහතම ස්ථරවලට හිරුඑළිය ලැබීම පාලනය වන නිසා.

ඉඩකඩ


ඔබේ ගෙවත්තට ගැලපෙන පරිදි පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් ගෙවතු වගාවට යොදා ගන්නා ඉඩකඩෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකියි.

- වැවිය හැකි සෑම ඉඩකම උචිත බෝග ඇතුලත් කරන්න.

හිරුඑළිය ලැබෙන ඕනෑම තැනක් බෝග වගාවට යොදාගත හැකියි. ලැබෙන හිරුඑළිය ප්‍රමාණය සීමිත වූ විට සීමිත හිරුඑළියක් යටතේ වැඩෙන බෝග ඒ ඒ තැන් සඳහා තෝරා ගන්න.

උදා :- කිරි අල, ඉඟුරු ස්ථානය අනුව සුදුසු ආකාරයට බඳුන් වල වගා කිරීම ද කළ හැකියි.

  • හිතකර පැළ ගහනයකට පරතර සපයන්න.

- පැළ අතර පරතරය ඉතා වැඩි වූ විට වගාවට යොදාගත හැකි ඉඩකඩ අපතේ යනවා. වගා බිමේ වල් පැළෑටි බිහිවීම වැඩි වෙනවා.

- පැළ වඩාත් කිට්ටුවෙන් සිටවූ විට බෝග වල වර්ධනය දුර්වල වෙනවා. රෝග පළිබෝධ ව්‍යාප්ත වීම කෙරෙහිත් අස්වැන්න කෙරෙහිත් එය බලපානවා.

- ඒ නිසා පැළ අතර හා පේලි අතර සුදුසු පරතරයන් අනුව පැළ /බීජ සිටුවීම වැදගත්. සැපයිය යුතු පරතරය බෝග වර්ගය අනුව වෙනස් වෙනවා.

කප්පාදුව හා පඳුරු පාලනය ඇති කරගන්න

- අතුපතර විහිදී ඇති ශාක නිසි පරිදි කප්පාදු කිරීමෙන් ගෙවත්තට ලැබෙන හිරුඑළිය වැඩිකර ගත හැකි වෙනවා. ඒ සමඟම බෝග වගාවට වැඩි ඉඩක් ලබාගත හැකියි.

- පඳුරු දමන ශාකවල පඳුරු අවශ්‍ය ප්‍රමාණයට පාලනය කරගත යුතුයි. මෙමඟින් ලැබෙන අස්වැන්න වැඩිකරගත හැකියි.

  • සූක්ෂම වායුව හා භූමි භාවිතයකට වගා ක්‍රම යොදාගන්න.
  • ඉඩකඩ සීමා වූ විට විකල්ප මාර්ග අනුගමනය කරන්න.

- ඉඩකඩ සීමා වූ විට හොඳම විකල්පයක් වන්නේ සිරස් අවකාශය එනම් අහස දෙසට ඉහළට ඇති ඉඩකඩ ප්‍රයෝජනයට ගැනීම. ඒ සඳහා විවිධ වගා ව්‍යුහ හා වගා උපක්‍රම භාවිතා කළ හැකියි.

- වගා කුළුණ

- නිර්පාංශු වගාව

- වගා බෝතල්

- වගා බඳුන්

- වගා රාක්ක

- වගා රාමු

- විවිධ වූ උපස්ථර

- වගා බිත්ති

  1. වගා කුළුණ

  • මෙයින් අදහස් වන්නේ සිරස් පස් කුළුණක් සකස් කරගෙන එහි විවිධ බෝග වර්ග වගා කිරීමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

- ලොකු ප්‍රමාණයේ පොලිසැක් මලූ 2 ක් හෝ පොලිතීන් බෑගයක්

- අඩි 7 1/2 ක් දිග අඟල් 4 ක් විශ්කම්භයක් ඇති උණ බටයක් හෝ පැත්තක් වසන ලද පී.වී.සී. බටයක්

- වැලි තාච්චි 10 ක්

- කුඩා ගඩොල් කැබලි තාච්චි 4 ක්

- අවශ්‍ය ප්‍රමාණයට බඳුන් මිශ්‍රණය (මතුපිට පස්, කොම්පෝස්ට් පොහොර 1 : 1 මිශ්‍රණය)

සාදාගන්නා ආකාරය




- ලොකු ප්‍රමාණයේ පොලිසැක් මලූ 2ක් එක්කර මසා එක මල්ලක් සාදා ගන්න.

- උණ ලීයේ අවසන් ගැටය හැර ඉතිරි ගැට අලවංගුවකින් සිදුරුකර පුරුක් ළඟ බුරුමයකින් විද සිදුරු කරන්න.

- උණ ලීය වෙනුවට පී.වී.සී. බටයක් භාවිතා කරන්නේ නම් බටයේ එක් කෙළවරකින් අඟල් 6 ක්ද අනෙක් කෙළවරින් අඟල් 12 ක්ද ඉතිරිවන සේ බටයේ සර්පිලාකාරව සිදුරු විදගන්න. අඟල් 6ක් ඉතිරිකල කෙළවර හැකි ක්‍රමයකින් වසා ගන්න.

- සාදාගත් උණ ලීය / පී.වී.සී. බටය මල්ල ඇතුලට බස්සා හරි මැදට ගෙන අඩි 1 ½ ක් පොලොව යටට යන සේ ලීය සිටුවන්න.

- මල්ල පතුලට අඟල් 6ක් උසට ගඩොල් තට්ටුවක් ද ඉන්පසු අඟල් 6ක් උසට වැලි තට්ටුවක්ද යොදන්න.

- ඉන්පසු වගා මිශ්‍රණයෙන් මල්ල පුරවා ගන්න. මිශ්‍රණය අනවශ්‍ය ලෙස තද නොකිරීමට වගබලා ගන්න.

- මල්ලේ අඩියෙන් අඩියට පමණ සිදුරු සාදා ගන්න.

- උණ ලීය / පී.වී.සී. බටය මල්ල මුදුනින් අඩියක් පමණ එළියට තැබිය යුතු අතර මේ ඔස්සේ බෝග වලට අවශ්‍ය ජලය යෙදීම කල හැකියි. අවශ්‍ය නම් දියර පොහොරද මේ ආකාරයට සැපයිය හැකියි.

- මේ ආකාරයට සකසා ගත් වගා මල්ලේ සිදුරුවල බෝග වගාකල හැකියි.

- කංකුං, නිවිති, ගොටුකොළ, සාරණ ආදී පලා වර්ග මෙන්ම තක්කාලි, කරවිල, ස්ට්‍රෝබෙරි වැනි බෝග වර්ග වගා කිරීම සඳහාත් වගා කුළුනු භාවිතා කළ හැකියි.

- වැල් යන බෝග සීමිතව සිටුවා ගැනීමත් ඒ සඳහා ඉනි සහ ආරුක්කු පිටතින් සැපයීමත් වැදගත් වෙනවා.

නිර්පාංශු වගාව

  • නිර්පාංශු වගාව කියලා කියන්නේ මේ ක්‍රමයට බෝග වගා කරද්දී වගා මාධ්‍ය විදියට පස් භාවිතා කරන්නේ නැති නිසා.

  • ශාක වැඩෙන්න අවශ්‍ය වන සමබර පෝෂක අඩංගු ජල ද්‍රවණයක් තමයි මෙහිදී භාවිතා කරන්නේ. මේ ක්‍රමයට විශේෂයෙන්ම කංකුං, සලාද වැනි කොළ එළවළු පහසුවෙන් වගා කරගන්න පුළුවන්.

  • අපට වගා කරන්න ලැබිලා තියෙන ඉඩකඩ සීමා සහිත අවස්ථාවලදී මේ ක්‍රමය හොඳ විකල්පයක්. තට්ටු ගෙයක හිරුඑළිය වැටෙන ඉඩකඩ තියෙන තැනක හරි, කොන්ක්‍රීට් ස්ලැබ් එකක් උඩ හරි තියලා මේ වගාව නඩත්තු කළ හැකිවීම විශේෂ වාසියක්.

අවශ්‍ය ද්‍රව්‍ය

- නයිලෝන් දැල්/ග්‍රීන් නෙට් කැබැල්ලක් (සෙන්ටි මීටර් 75x15 )

- සෙන්ටි මීටර් 45X40X35 ප්‍රමාණයේ සෘජුෆෝම් පෙට්ටියක් (පියන සහිතව)

- සෙන්ටි මීටර් 10 ක් පළල සෙලෝටේප් කැබැල්ලක් (මීටර් 2)

- ජලය ලීටර් 40

- ඇල්බට් පොහොර ග්‍රෑම් 80

- පෙට්ටියේ පියනේ සිදුරු කැපීම සඳහා තියුණු පිහියක්/ආයුධයක්

- විශ්කම්භය සෙ.මී. 6-7 ක් හා උස සෙ.මී. 8-10 වන නෙට් කප් ඩිස්පෝසබල් කප් 6 ක් (ඉවතලන ප්ලාස්ටික් කෝප්ප)

- නිරෝගී තවාන් පැළ 6 ක් (උදා : සලාද)

- ජීවානුහරණය කරගත් කොහුබත්

  1. මුලින්ම සෘජුෆෝම් පෙට්ටියේ පියනගෙන එහි සිටුවන බෝගයට අවශ්‍ය පරතරය සිටින සේ (උදා : සලාද හා කොළ එළවළු සඳහා සෙන්ටි මීටර් 15 පරතරයට පෙට්ටිය දිගේ සිදුරු පේලි 3ක් හා සෙන්ටි මීටර් 20ක් පරතරයට පෙට්ටිය පළල අතර සිදුරු පේලි 2ක් වන සේ සලකුණු කර) නෙට් කප්/ඩිස්පෝසබල් කප් 6ක් රැඳවිය හැකි සේ සිදුරු සෙන්ටි මීටර් 6-7 විශ්කම්භයට කපා ගන්න.
  2. වායු හුවමාරුව සඳහා පියනේ මැද කොටස් සෙන්ටි මීටර් 5 ක පමණ සිදුරු 1 ක් හෝ 2 ක් කපා විවෘතව තබන්න. (ඒවායින් මදුරුවන් ඇතුළු වීම වැළැක්වීමට මදුරු දැල් කැබැල්ලක් සවි කරන්න)
  3. සෘජුෆෝම් පෙට්ටිය (පියන රහිත) ගෙන එයින් ජලය කාන්දුවීම වැළැක්වීමට කළු පොලිතීනය පෙට්ටිය ඇතුලේ පතුලට හා පැතිවලට හොඳින් හේත්තු කර මුදුනෙන් බාහිරව ද සෙන්ටි මීටර් 7.5 - 10 ක් පමණ බාහිර පැත්තට වන සේ තබා සෙලෝටේප් පටියෙන් පෙට්ටියේ බාහිරින් වටේට අලවා ගන්න.

4 අලවන ලද පොලිතීනය පිරිසිදු ජලයෙන් සෝදන්න.

  1. ඉන් පසුව ඇල්බට් ද්‍රවණය ගෙන (ග්‍රෑම් 80 ජලය ලීටර් 40 ක් දියකර සාදාගත්) පෙට්ටියේ උසින් 2/3 ක් පමණ වනතුරු පුරවා ගන්න
  2. ඊළගට සිදුරු සකසාගත් පියන පෙට්ටිය උඩින් තබන්න.
  3. අනතුරුව නෙට් කප්/ඩිස්පෝසබල් කප් ඇතුලට දැල් කැබැල්ලක් තබා කොහු බත් පුරවා ගන්න.
  4. ඊලගට තවානෙන් ලබාගත් පැළ සිටුවාගෙන එම නෙට් කප්/ඩිස්පෝසබල් කප් සෘජුෆෝම් පෙට්ටියේ පියනේ සිදුරුවලට බහාලන්න.
  5. දැන් එම පැළ සිටුවා ඇති නෙට් කප්වල පතුල සෙන්ටි මීටර් 2-5 ක් පමණ පහළකෙලවරින් එම ද්‍රාවණයේ ගිල්වී තිබෙන පරිදි අවශ්‍ය නම් ඇල්බට් ද්‍රාවණය එකතු කිරීමහෝ ඉවත් කිරීම සිදු කරන්න.
  6. මේ විදියට සකස් කරගත්ත පැළ සහිත පෙට්ටිය ආරක‍ෂිත ගෘහයක තැන්පත් කර ඉදිරි නඩත්තු කටයුතු සිදුකිරීමට පියවර ගන්න.
  7. ආරක‍ෂිත ගෘහයක් නොමැති විට විවෘත පරිසරයේ තබා වුවත් මෙය නඩත්තු කරන්න පුළුවන්.
  8. මෙම පැළ සති 2-3 ක් පමණ වයස් වනවිට මුල් පද්ධතිය නෙට් කප් එකේ සිදුරු වලින් එළියට ඇවිත් පෝෂක ද්‍රාවණයේ ගිලිලා තියෙනවා ඔබට දැකගන්න පුළුවන්. මේ අවස්ථාවේදී කප් එකේ ඉදලා සෙන්ටි මීටර් 2.5 ක් හා පහතින් ඇති මුල් ගිලී තිබෙන පරිදි ද්‍රාවණ මට්ටම සකස් කරගන්න ඕන. එවිට උඩ තියෙන මුල් වලින් අවශ්‍ය වාතය (ඔක්සිජන්) ලබා ගැනීමටත් පහළ ගිලී ඇති මුල් වලින් පෝෂක හා ජලය ලබාගැනීමටත් පුළුවන් වෙනවා.

  1. මේ විදියට තබා ගනිමින් අපි වගා කරන බෝගය අනුවත්, ඒ බෝගයේ වර්ධන අවධිය අනුවත් පෝෂක ද්‍රාවණයේ මට්ටම නඩත්තු කරන්න ඕන.

  1. අපි වගා කරන්නේ සලාද නම් අස්වනු නෙළන්න යන අවධිය දක්වා (සති 6) පෙට්ටියේ ද්‍රාවණය සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වෙනවා. ඊට වැඩියෙන් කල් තියාගන්න බෝගයක් නම් සති 4-6 කට වතාවක් නියමිත සාන්ද්‍රණය සහිත පෝෂක ද්‍රාවණයකින් මාරු කරන්න ඕන.

  1. අපි හිටෙව්වෙ කංකුං පැළ නම් සති 4-6 කට විතර පස්සේ සති 2-3 කට සැරයක් අස්වැන්න නෙළාගන්න පුළුවන්.