ආලෝකය

ආලෝකය ශාක වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය මුලික සාධකයකි. එබැවින් ආලෝක තීව්‍රතාවය (intensity) , හා කාල සීමාම (Duration) යන කරුණු දෙකම ශාකවල ජීව ස්කන්ධය (biomass) වැඩිකර අවසානයේ වැඩි ඵලදාවක් ලබා දීමට උපකාරීවේ. එහෙත් හරිතාගාර තුළ වවන උද්‍යාන විද්‍යාත්මක භෝග වර්ග අතරෙන් සමහරක් අඩු ආලෝක තත්ත්වයන්ට අනුවර්තනය වු ඒවා වේ.

උදා - බොහෝ අලංකාරණය සඳහා වවන කොලදාවන් සහිත ශාක (foliage ornamentals)

අඩු ආලෝක තත්වයන්ට අනුවර්තනය වු කොලදාවක් සහිත ශාක වර්ග

තවද තවාන් පාලනයේදී ද දැඩි ආලෝක තත්ත්වය අහිතකර වේ. එහෙත් බොහෝ එළවළු හා කුඩා පලතුරු වර්ගවල තවාන් අවධිය හැර අන් සියළු වර්ධක අවධිවලට අධික ආලෝක තීව්‍රතාවයක් (ප්‍රමාණයක්) අවශ්‍යයි. හරිතාගාරයක ආවරණ වර්ග අනුව ඇතුල්වන ආලෝක ප්‍රමාණය සීමාවේ.මීට අමතරව වගා සෘතුව අනුව (වසන්ත / ශීත ) සහ දෛනික කාලගුණික තත්ත්ව (වර්ෂාව / වලාකුළු / සුර්යාලෝකය ) අනුව ද ආලෝකයේ අඩු වැඩිවීම් ඇති වේ.

හරිතාගාර ආවරණ වර්ගය අනුව ඇතුල්වන ආලෝක ප්‍රමාණය වෙනස් වේ

හරිතාගාරයක ආවරණ මත දුවිලි තැන්පත් වීමෙන් ද ඇල්ගී වර්ග බැදීමෙන් ද වසර කීපයකින් පසුව ආලෝකය ඇතුළුවීමේ හැකියාව අඩුවේ.මෙම කරුණු අනුව ශාක ගෘහය තුළ ආලෝකය පාලනය ඉතා වැදගත් කරුණක් බව පෙනීයයි. එහෙත් පර්යේෂණ තත්ත්ව හැර ශ්‍රී ලාංකික වගාරුවන් කෘත්‍රිම ආලෝකය ලබාදීමට මේ දක්වා පෙළඹී නැත. ඒ සඳහා අවශ්‍ය බලශක්තිය වියදම් අධික වීමත්, එහි වැදගත්කම පිළිබඳ අවබෝධය අඩුවීමත් මිට ප්‍රධාන හේතූන් වේ

දුවිලි තැන්පත් වු හරිතාගාර ආවරණ

එහෙත් ආලෝක තත්ත්වය අඩු කිරීම සඳහා දැල් ගෘහ (net house) භාවිතය සහ සෙවන සඳහා අභ්‍යන්තරයෙන් යොදන ආවරණ (shade nets) යොදා ගැනෙන අවස්ථා බහුලය.බොහො විට කළු හෝ අදුරු වර්ණයන්ගෙන් යුත් මෙම දැල් පාරජම්බුල කිරණවලට ඔරොතතු දෙන ලෙස සාදා ඇත.මෙම දැල්වල ස්වභාවය අනුව 10% සිට 60% පමණ දක්වා සෙවන ලබාදෙන දැල් වර්ග මේ සඳහා වෙළඳපලේ ඇත.

ආලෝක තීව්‍රතාවය පාලනය කිරීම සඳහා පත්‍ර කප්පාදුව සිදු කිරීම

බොහෝ අලංකරණය සඳහා වවන ශාක වර්ග සඳහා හරිතාගාර සැකසීමේදී මෙම තාක්ෂණය යොදා ගැනේ.ආලෝකය පාලනය සඳහා කෘත්‍රිම ආලෝකය යෙදීම හෝ සෙවන සඳහා දැල් ආවරණ භාවිතය වැනි සෘජු ක්‍රමවලට අමතරව වක්‍ර ක්‍රමද භාවිතා කළ හැක.වසුන් (mulches) සහ වෙනත් ගෘහ අභ්‍යන්තර පෘෂ්ඨවල වර්ණය තීරණය කිරීම එක් ක්‍රමයකි.

ආලෝකය පාලනය සඳහා කෘත්‍රිම ආලෝකය යෙදීම

කලින් සාකච්ඡා කළ පරිදි ගෘහයේ දිශාව සහ ආවරණ වර්ගවල ස්වභාවය පාලනය තවත් ක්‍රමයකි.මීට අමතරව හරිතාගරය තුළ භෝග පේළිවල දිශාව, පැළ අතර පරතරය සහ ශාක කප්පාදුව/ පුහුණුව වැනි ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රමද විශේෂයෙන්ම ආලෝක තීව්‍රතාවය පාලනය කිරීමෙහිලා භාවිතා කළ හැක.

ආලෝක තීව්‍රතාවය පාලනය කිරීම සඳහා පත්‍ර කප්පාදුව සිදු කිරීම