පටක රෝපණ මූලධර්ම

ජීවයේ තැනුම් ඒකකය-සෛලය

මිහිපිට ජීවත් වන්නා වූ සියළු ජීවීන් කුඩා ව්‍යුහමය ඒකක වලින් සෑදී ඇති බවට අදහසක් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ඇරිස්ටෝටල් (Aristotle, ක්‍රි.පූ 384-322)විසිනි.ඉන් සියවස් ගණනකට පසු ඉංග්‍රීසි ජාතික රොබට් හුක් (Robert Hook,ක්‍රි.ව 1635-1703)1665 දී තමා විසින්ම නිපදවන ලද සරල අන්වීක්ෂයක ආධාරයෙන් ජීවී කොටස් වල ඇති "කුටීර"බඳු කුඩා කොටස් නිරීක්ෂණය කළ අතර , ඔහු ඒවා "සෛල " (Cells) යනුවෙන් නම් කළේය.අනතුරුව ක්‍රි.ව.1674 දී ඕලන්ද ජාතික ඇන්තනී වෑන් ලීවන් හුක් (Antony van Leeuwenhoek,1632-1723) විසින් ඒක සෛලීය ක්ෂුද්‍ර ජීවින් මෙම සෛල සෑදී ඇති විවිධ කොටස් , ඔහු විසින්ම වැඩිදියුණු කරන ලද අන්වීක්ෂයක ආධාරයෙන් අධ්‍යයනය කරන ලදී.

ජීවීන්ගේ මූලික තැනුම් ඒකකය සෛලය බවද ,ජීවීන් තනි සෛලයකින් හෝ සෛල රැසක් එක්වීමෙන් සෑදී ඇති බවද 1839 (Theodor Schwann, 1810–1882) දී ජර්මන් ජාතික ශ්ලෙයිඩන් (Matthias Jakob Schleiden, 1804–1881) සහ තිඔඩෝර් ශ්වෑන් (Theodor Schwann, 1810–1882) විසින් "සෛල වාදය"හෙවත් සෛල පිළිබඳ න්‍යාය (Cell theory) මඟින් පෙන්වා දෙන ලදී.ඉන් අනතුරැව 1858 දී සෛල වාදයට නව අදහසක් එක් කළ රුඩොල්ෆ් වර්චෝව් (Rudolf Virchow, 1821 –1902) නව සෛල ඇති වන්නේ කලින් පැවති සෛල බෙදීමේ ප්‍රතිඵලයක් ලෙස බව පෙන්නා දුන්නේය.මෙසේ හඳුනාගත් "සෛල"පිළිබඳව අධ්‍යයන රැසක් සියවස් ගණනක් තිස්සේ සිදු කර ඇති අතර , එහි ප්‍රතිඵල ලෙස සෛල වල ව්‍යුහය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව තොරතුරු රැසක් ලොවට අනාවරණය විය.

ශ්ලෙයිඩින් තිඔඩෝර් ශ්වෑන් රුඩොල්ෆ් වර්චෝව්

සෛලවල ව්‍යුහය

ශාක සෛල මුලික වශයෙන් සෛල සෛල බිත්තිය, සෛල ප්ලාස්මය හා න්‍යෂ්ටිය යන කොටස් තුනෙන් සමන්විතය. සෛල ප්ලාස්මය හා න්‍යෂ්ටිය යන කොටස් දෙකෙහි එකතුව ප්‍රාක් ප්ලාස්මය ලෙස හඳුන්වන අතර, එය සෛල බිත්තියෙන් වටවී ඇත. න්‍යෂ්ටිය, න්‍යෂ්ටික පටලයකින් සෛල ප්ලාස්මයෙන් වෙන්වන අතර එහි පූරකය, න්‍යෂ්ටික ප්ලාස්මය හා එහි විසිරී ඇති වර්ණදේහ (chromosomes) වලින් සමන්විතය. වර්ණදේහ, නියුක්ලික් අම්ල (DNA) හා ප්‍රෝටීන එක්වීමෙන් සෑදී ඇති අතර, ජීවීන්ගේ ලක්ෂණ ඊළඟ පරම්පරාවට රැගෙන යෑම (ප්‍රවේණිය) පිළිබඳ මුලික වගකීම දරා සිටී.

සෛල සමූහයක් එක්වීමෙන් පටක සෑදෙන අතර, එම පටක නිශ්චිත කාර්යයන් සඳහා විශේෂණය වී ඇත. මෙම සංවිධානාත්මක ව්‍යුහය නිසා ශාකය තුළ විවිධ ක්‍රියාකාරකම් ස්වභාවිකවම, නමුත් කිසියම් පාලනයකට අනුව සිදුවේ. මෙම පාලනය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සෛල න්‍යෂ්ටිය තුළ ඇති ජාන මඟිනි.

පටක රෝපණයේ මුලික සිද්ධාන්ත

ශාක සෛල වලට සම්පූර්ණ ශාකයක් බවට විකසනය වීමට හැකියාවයක් ඇත. මෙය සෛල ප්‍රවණතාවය හෙවත් සෛල ජනන විභවය (totipotency) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම සිද්ධාන්තය පාදක කරගෙන සෛල වලින් නව ශාකයක් බිහිකර ගැනීමට විද්වතුන් අතීතයේ සිටම යත්න දැරූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස “පටක රෝපණය“ නම් වූ තාක්ෂණය බිහිවිය. විශේෂිත තත්ත්ව යටතේ සජීවි ශාක සෛල හෝ පටක සම්පුර්ණ ශාකයක් බවට විකසනය කිරීම පටක රෝපණය ලෙස සරලව අර්ථ නිරූපණය කළ හැකිය. සෛල ජනන විභවයට අමතරව පටක රෝපණයේදී වැදගත්වන තවත් මුලධර්ම කිහිපයක් ඇත. සෑම සජීවි සෛලයකටම විභාජනය වීමේ (cell division) සහ නිශ්චිත කාර්යයන් සඳහා විභේදනය වීමේ (cell differentiation) හැකියාවක් ඇත. පටක රෝපණයේදී බොහෝවිට මූලාරම්භක ලෙස භාවිත කරන්නේ ශාක පත්‍ර, අංකුර, මුල් වැනි විභේදනය වූ උපාංගයනය(organ). එසේ වුවද ප්‍රාක් ප්ලාස්මය මෙන්ම සෛලද මූලාරම්භක ශාක කොටස් ලෙස භාවිත කළ හැකිය.

පටක රෝපණ ක්‍රියාවලියේදී පළමුව විභේදනය වූ සෛල නැවත විභාජක (de-differentiation) තත්ත්වයට පත්වේ. අනතුරුව එම සෛල තවදුරටත් විභාජනය වී නැවත වෙනත් ආකාරයකට විභේදනය වීමෙන් (differentiation) සහ සංවිධානය වීමෙන් සම්පුර්ණ ශාකයක් බිහිවේ. මෙම ක්‍රියාවලිය දෙයාකාරයකට සිදුවිය හැකිය. එනම්, දෛහික කළල ජනනය (somatic embryogenesis) හා උපාංග ජනනය (organogenesis) වශයෙනි.

a) දෛනික කළල ජනනය

ස්වාභාවික ශාක ජනනයේදී කළලයක් ඇති වන්නේ පුං හා ජායා ජන්මානු සෛල දෙකක් එක්වීමෙන් (සංසේචනයෙන්) සෑදෙන යුක්තානුවකිනි. එය යුක්තානුක කළල වර්ධනය (zygotic embryogenesis) ලෙස හඳුන්වන අතර, එහි අවසන් ප්‍රතිඵලය ලෙස මව්පිය ලක්ෂණ අන්තර්ගත නව ශාකයක් හටගනී.
සාමාන්‍ය තත්ත්ව යටතේ දෛහික සෛල වලින් කළල හටගන්නේ නැත. එසේ වන්නේ ස්වභාවිකව ශාක සෛල වල වර්ධනය හා විකසනය, ඒවා පවතින භෞතික හා රසායනික පරිසර තුළ මනා පාලනයකට නතුව තිබෙන නිසාවෙනි.

එහෙත් ඇතැම් විට ස්වභාවිකව දෛහික කළල ඇතිවන අවස්ථා අඹ, දොඩම් වැනි ශාක වල දැකිය හැකිය. සාමාන්‍ය යුක්තානුක කළලයට අමතරව ඇතැම් විට දෛහික කළල ද ඇති වන අතර එය බහු කළලතාව යනුවෙන් හඳුන්වයි. මෙහිදී සිදුවන්නේ ඇතැම් දෛහික සෛල ශාකයේ සමස්ථ පාලන යන්ත්‍රනයෙන් මිදී දෛහික කළල තත්ත්වයට පත්වීමය. ප්‍රධාන වශයෙන් මෙවැනි ක්‍රියාවලියන් ශාක හෝමෝන මඟින් පාලනය වේ. පටක රෝපණයේදී ද දෛහික කළල ඇතිවීම ඉහත කී ආකාරයට හෝමෝන මඟින් කෘතිමව උත්තේජනය කළ හැකිය. එවිට සාමාන්‍ය දෛහික සෛල, දෛහික කළල බවට පත්වී එම කළල ප්‍රරෝහණයෙන් නව ශාක හටගනී. දෛහික කළල ජනනය දෙයාකාරයකින් සිදුවිය හැකිය.

සෘජු දෛනික කළල ජනනය (direct somatic embryogenesis)

මෙහිදී සෘජුවම පුර්වකයේ දෛහික සෛල වලින්, දෛහික කළල හට ගනී. එම කළල ප්‍රරෝහණයෙන් නව ශාක බිහිවේ. කළල ජනනයෙන් සම්පූර්ණ ශාක බිහි කිරීමේදී ද කළල වල ද්වී ද්‍රැවීය (bipolar) ස්වභාවය හේතුවෙන් එකම පියවරකදී ප්‍රරෝහය සහ මුල් ජනනය වේ. මෙලෙස හටගන්නා පැළ මව් ශාකයට සමාන වේ.

වක්‍ර දෛනික කළල ජනනය(indirect somatic embryogenesis)

පටක රෝපණයේදී ආරම්භකය ලෙස භාවිත කරන ශාක කොටස පුර්වකය (explant) ලෙස හඳුන්වයි. මෙහිදී පළමුව පුර්වකයේ දෛහික සෛල වේගවත් බෙදීමකට ලක්වීමෙන් විශේෂණය නොවු සෛල සමූහයක් ඇති වේ. මෙම සෛල ගොනු “කිණකය“ (callus) ලෙස හඳුන්වනු ලැබේ අනතුරුව එම කිණක සෛල වලින් දෛහික කළල හටගන්නා අතර, එම දෛහික කළල ප්‍රරෝහණයෙන් නව ශාකයක් හට ගනී.
b) උපාංග ජනනය (organogenesis)
පටක රෝපණ ක්‍රියාවලියේදී පුර්වකයේ තිබෙන විභාජක සෛලයන් මෙන්ම විභාජක නොවන සෛල, නව උපාංග බවට විභේදනය වී විකසනය වීම උපාංග ජනනය ලෙස හඳුන්වයි. මෙහිදි දෛහික කළල ඇති නොවීම ප්‍රධානතම වෙනසයි. උපාංග ජනනයද දෙයාකාරයකින් සිදු කළ හැකි.

සෘජු උපාංග ජනනය (direct organogenesis)

මෙහිදී නව උපාංග සෘජුවම පුර්වකයෙන් ජනනය වීමක් සිදු වේ. පටක රෝපණයේදී ශාක පත්‍ර, අංකුර, මුල් ආදීයෙන් සෘජුවම නව අංකුර හටගැන්වීම බහුලව දක්නට ලැබෙන අතර, මේ සඳහා ද හෝමෝන උත්තේජනය අත්‍යාවශ්‍ය වේ. පටක රෝපණය මඟින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේදී මෙම ක්‍රමය බහුලව යොදා ගනී.

වක්‍ර උපාංග ජනනය(indirect organogenesis)

මෙහිදී පළමුව පුර්වකයේ සෛල වලින් කිණක සෛල හටගන්නා අතර අනතුරුව එම කිණක සෛල වලින් අංකුර ජනනය වීම සිදුවේ. මෙහිදී අංකුර හා මුල් හට ගැනීම පියවර දෙකකදී සිදුවන අතර ඒ සඳහා හෝමෝන උත්තේජනය අත්‍යාවශ්‍ය වේ.

පටක රෝපණ තාක්ෂණය භාවිතයේ අරමුණ අනුව පටක රෝපණ ක්‍රම කිහිපයකි.

පටක රෝපණ ක්‍රම

  • බීජ රෝපණය (seed culture)
  • කළල රෝපණය (embryo culture)
  • උපංග (ශාක කොටස්) රෝපණය (organ culture)
  • කිණක රෝපණය (callus culture)
  • සෛල රෝපණය (cell culture) සහ සෛල අවලම්බන රෝපණය (cell suspension culture)
  • ප්‍රාක් ප්ලාස්ම රෝපණය (protoplast culture)

බීජ රෝපණය

පටක රෝපණ තත්ත්ව යටතේ බීජ රෝපණය කිරීමෙන් නව ශාක ලබා ගත හැකිය. බීජයක් තුළ ඇති කළලය ද්වී ද්‍රව ස්වභාවයක් පෙන්නුම් කරන අතර එහි බීජාග්‍රප හා මූලාග්‍රප ඇති බැවින් එයට පහසුවෙන් ශාකයක් බවට පත්විය හැකිය. බීජ රෝපණය විවිධ කාර්යයන් සඳහා යොදාගත හැකිය. උඩවැඩියා ශාක වල බීජ අපූති තත්ත්ව යටතේ රෝපණ මාධ්‍යයක රෝපණය කිරීමෙන් විශාල පැළ සංඛ්‍යාවක් නිපදවා ගත හැකිය. එසේ නමුදු බොහෝවිට බීජ රෝපණය මඟින් ලබා ගන්නා පැළ, මව් ශාකයට වඩා වෙනස් ලක්ෂණ පෙන්නුම් කළ හැකි බැවින් ශාක ප්‍රචාරණය සඳහා මෙම ක්‍රමය භාවිත නොකරයි. අංකුර, පත්‍ර වැනි ශාක කොටස් ජිවානුහරණය කිරීමට වඩා බීජ ජිවානුහරණය කිරීම පහසු වන හෙයින් විවිධ අධ්‍යයන සඳහා අවශ්‍ය පූර්වක ලබා ගැනීමට බීජ රෝපණය බහුලව භාවිත කරයි. මෙහිදී ජිවානුහරණය කළ බීජ නාලස්ථිතව රෝපණය කර ඉන් හට ගන්නා පැළ වලින් අංකුර හෝ පත්‍ර හෝ ලබා ගත හැකිය.එම පැළ ජීවානුහරිත තත්ත්වයේ පවතින බැවින් සෘජුවම රෝපණ මාධ්‍යයයේ ස්ථාපනය කළ හැකිය.

කළල රෝපණය

නොමේරූ කළල පටක රෝපිත තත්ත්ව යටතේ රෝපණය කිරීම කළල රෝපණය නම් වේ. බොහෝවිට ශාක අභිජනනයේදී පරාගනයෙන් පසු ඇතිවන කුඩා ඵල හැලී යන අතර එවැනි ඵල වල ඇති නොමේරූ කළල රෝපණ මාධ්‍යයක රෝපණය කර නව ශාක බවට විකසනය කළ හැකිය. ශාක විශේෂ අතර සිදු කරන ලද දෙමුහුම් මඟින් (දුරස්ථ අභිජනනය) ශාක වැඩිදියුණු කිරීම කළ හැකි වුවද, විවිධ අසංගතික තත්ත්ව නිසා මෙසේ ඇතිවන කළල විනාශ වීමට හෝ වර්ධනය නොවීමට ඉඩ ඇත. එවැනි අවස්ථා වලදී ද එම නොමේරූ කළල බීජයෙන් වෙන්කර ගෙන රෝපණ මාධ්‍යයක වගාකර නව ශාක බවට පත්කර ගත හැකිය. එමෙන්ම පටක රෝපණය කිරීමට අසීරු (recalcitrant) කාශ්ඨීය ශාක ප්‍රචාරණයේදී එම බෝග වල කළල රෝපණය බොහෝ අවස්ථා වලදී සිදු කරයි. කළල, අනෙකුත් පටක හෝ උපාංග වලට වඩා පටක රෝපණය සඳහා හොඳින් ප්‍රතිචාර දක්වයි.

උපාංග (ශාක කොටස්) රෝපණය

a.අංකුර රෝපණය
අංකුර රෝපණයේදී පූර්වක ලෙස අග්‍රස්ථ හෝ කක්ෂීය අංකුර භාවිත කරයි.

අංකුර රෝපණය


මෙම අංකුර පටක රෝපණ තත්ත්ව යටතේ සුදුසු මාධ්‍යයක රෝපණය කිරීමෙන් පළමුව අංකුර කිහිපයක් ද (multiple shoots) ඒවා නැවත උප රෝපණයෙන් අංකුර රැසක් ද ඇතිවේ. අනතුරුව එම අංකුර මුල් ඇද්දවීමෙන් විශාල පැළ ගහනයක් ලබාගත හැකිය. මෙහිදී මව් ශාකයට වඩා වෙනස් පැළ ඇතිවීමට ඇති ඉඩකඩ ඉතා අඩු හෙයින් මෙම ක්‍රමය පැළ නිෂ්පාදනයේදී බහුලව භාවිත කරයි.

b. විභාජන පටක රෝපණය
මෙහිදී ජීවානුහරිත තත්ත්ව යටතේ අන්වීක්ෂයක ආධාරයෙන් පත්‍ර ප්‍රමුඛාංග (leaf primordia) 2-3 සමග වෙන් කරගත් අග්‍රස්ථ විභාජක ජීවානුහරිත තත්ත්ව යටතේ සුදුසු මාධ්‍යයක රෝපණය කරයි. මේ මඟින් වෛරස් වලින් තොර පැළ නිෂ්පාදනය කළ හැකිය. වෛරස් ආසාදිත පැළයක වුවද විභාජක පටක බොහෝ වෛරස් වලින් සම්පූර්ණයෙන්ම තොරය. එසේ වීමට බලපාන හේතූන් කිහිපයකි.
  • විභාජක පටකයෙහි සෛල ගුණනය වේගයෙන් සිදුවන අතර පරිවෘත්තීය ක්‍රියාද ඉහළ සීඝ්‍රතාවයකින් සිදුවේ. බොහෝවිට එවැනි පරිසරයක වෛරස් වලට ගුණනය වීමේ හැකියාවක් නොමැත.
  • විභාජක පටක තුළ සනාල කලාප දක්නට නොලැබේ මේ නිසා සනාල කලාප හරහා පැතිරෙන වෛරස් විභාජක පටකයට ඇතුල් නොවේ. උදා: අර්තාපල් පත්‍ර රෝල් වීමේ වෛරසය.
  • විභාජක පටකයෙහි ඇති ඉහළ ඔක්සීන සාන්ද්‍රණය වෛරස් ගුණනය වීම නිශේධනය කිරීම සඳහා බලපාන බවටද සාධක ඇත.
c.පරාග/පරාගධානි සහ ඩිම්බ රෝපණය

පටක රෝපිත තත්ත්ව යටතේ පරාග,පරාගධානි හෝ ඩිම්බ රෝපණය කළ හැකි අතර එමඟින් ඒකගුණ (a) ශාක පරම්පරාවක් ලබාගත හැකිය. මෙම රෝපණ ක්‍රම වඩාත් වැදගත් වන්නේ පැළෑටි අභිජනනයේදී වන අතර බහුලව භාවිත වන්නේ පරාගධානි රෝපණයයි.

වී,තිරිඟු, බාර්ලි වැනි ධාන්‍ය වර්ග අභිජනනයේදී මෙම තාක්ෂණය භාවිත කර සමයෝගී ශාක ලබා ගනී. ප්‍රභේද දෙකක් අතර මුහුන් කිරීමෙන් ලබා ගන්නා F1 ශාක වල පරාග හෝ පරාගධානි රෝපණය කිරීමෙන් ඒකගුණ ශාක ලබාගත හැකිය. කොල්චිසින් වැනි රසායන ද්‍රව්‍ය භාවිත කර හෝ සමහර අවස්ථා වලදී ස්වභාවිකවම එම ඒකගුණ ශාක වලින් සමයෝගී ශාක ලබා ගත හැකි අතර මේ මඟින් නව ප්‍රභේද බිහි කිරීමට ගතවන කාලය අඩුකර ගත හැකිය.

පරාග රෝපණය


d.මුල් රෝපණය


මෙහිදී පූර්වකය ලෙස මුල් කැබැල්ලක් භාවිත වන අතර එය පටක රෝපණ මාධ්‍යයයේ රෝපණය කිරීමෙන් විශාල මුල් ප්‍රමාණයක් නිපදවා ගත හැකිය. මුල් වලින් නිස්සාරණය කරනු ලබන විවිධ ද්විතීක පරිවෘත්තීය ඵල උපයෝගී කර සිදු කරන නිෂ්පාදන සඳහා ස්වභාවික මුල් භාවිතය වෙනුවට ඉහත දැක්වූ ආකාරයට පටක රෝපණයෙන් ලබා ගන්නා මුල් යොදා ගත හැකිය.

කිණක රෝපණය




පත්‍ර, පුෂ්ප කොටස් ආදිය ජීවානුහරිත තත්ත්වයකදී කිණක රෝපණය සඳහා සකස් කෙරුණු මාධ්‍යයක රෝපණය කිරීමෙන් කිණක ලබා ගත හැකිය. කිණක ලෙස හඳුන්වන්නේ විශේෂීකරණය නොවූ ලිහිල්ව බැඳුණු සෛල ගොනුවකටය. මේවා උප රෝපණය කිරීමෙන් කිණක ගුණනය කර ගත හැකිය. කිණක රෝපණය සෛල විභාජනය අධ්‍යයනය කිරීමටත්, ප්‍රයෝජනවත් ප්‍රවේණික වෙනස්කම් සහිත ශාක බිහිකර ගැනීමටත් බහුලව භාවිත කෙරේ.

මව් ශාකයට වඩා වෙනස්කම් (විකෘති) සහිත පැළ බිහිවීමට ඉඩ ප්‍රස්ථා වැඩි හෙයින් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මෙම ක්‍රමය බොහෝවිට භාවිත නොකෙරේ. එසේ වුවද වෙනත් ක්‍රම මඟින් පැළ නිෂ්පාදනය අපහසු අවස්ථා වලදී මෙම ක්‍රමය ශාක ප්‍රචාරණය සඳහා භාවිත කරන අවස්ථා ද දක්නට ඇත. (උදා:- ඇන්තූරියම් පැළ නිෂ්පාදනය) එවැනි වැඩසටහදී ගුණනයේ කිසියම් අවස්ථාවක කිණක හටගත හොත් ඒවා ඉවත් කිරීමටද වග බලා ගත යුතුය.

පූර්වකයෙන් හටගත් කිණකයක්

කිණකයකින් දෛහික කළල හට ගැනීම


විකෘති ඇති කිරීම මඟින් බෝග වැඩිදියුණු කිරීමේ වැඩසටහන් වලදී කිණක රෝපණය බහුලව භාවිත කරයි. කිණක, විකිරණ (උදා: ගැමාල පාරජම්බුල කිරණ) වලට නිරාවරණය කිරීමෙන් හෝ රසායනික විකෘතිකාරකයන් මඟින් හෝ විකෘතිකරණයට ලක් කර, ඉන් වෙනස්කම් සහිත ප්‍රභේද ඇතිකර ගත හැකිය.

දෛහික කළල වලින් අංකුර හට ගැනීම

සෛල අවලම්බන රෝපණය

පූර්වකයකින් හෝ කිණකයකින් ලබාගත් සෛල සමූහයක් චලිත ද්‍රව මාධ්‍යයක රෝපණය කිරීම සෛල අවලම්බන රෝපණය යනුවෙන් හඳුන්වයි. මෙහිදී ශාක පටකයකින් සෛල වෙන් කිරීමෙන් හෝ කිණකයකින් සෛල ලබාගත හැකිය.

ශාක පටකයකින් සෛල වෙන් කිරීමේදී යාන්ත්‍රික හෝ රසායනික ක්‍රම භාවිත කරයි. කුඩා කොටස් වලට කැපූ ශාක පත්‍ර ද්‍රව මාධ්‍යයක් තුළ හෝමජීනයිසරයක (homogeniser) ආධාරයෙන් යාන්ත්‍රිකව සෛල වෙන්කර ගැනීම මෙහිදී භාවිත වන එක් ක්‍රමයකි. මෙයින් ලැබෙන සමජාතිමය (homogenate) ද්‍රාවණයෙහි ඇති අපද්‍රව්‍ය කේන්ද්‍රාභිසාරක (centrifuge) යන්ත්‍රයක් මඟින් ඉවත් කරනු ලැබේ ඉන් ලබාගන්නා අවක්ෂේපය සමජාතීය සෛල වලින් සමන්විතය. රසායනික ක්‍රම භාවිතයේදී ආස්‍රැති පීඩනයක් යටතේ අදාළ එන්සයිම මඟින් ශාක පටකයකින් සෛල වෙන්කර ගැනෙ.

මීට අමතරව ලිහිල් කිණකයක් ද්‍රව මාධ්‍යයක රෝපණය කර කලතනයක් ආධාරයෙන් නිරන්තරව චලනයට ලක් කිරීමෙන් ද සෛල අවලම්බනයක් ලබා ගත හැකිය. මෙම සෛල අවලම්බන, ද්‍රව මාධ්‍යයක නැවත නැවත උප රෝපණය කිරීමෙන් ගුණනය කර ගත හැකිය. ඉන් විශාල සෛල ප්‍රමාණයක් ලබා ගත හැකි අතර වරින්වර උපරෝපණය කිරීම මඟින දිගු කාලයක් පුරා නඩත්තු කර ගැනීමට පුළුවන.

ශාක පටකයකින් වෙන්කරගත් තනි සෛල රෝපණය (single cell culture) හෙවත් තනි සෛල ක්ලෝනකරණය (single cell cloning) මඟින් තනි සෛලයකින් අරඹා එක සමාන වූ සෛල විශාල ප්‍රමාණයක් (ක්ලෝනයක්) ඇති කර ගත හැකිය. සෛල අවලම්බන රෝපණයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන රැසකි. සෛල වල ද්වීතියික පරිවෘත්තීය ඵල නිස්සාරණයෙන් ප්‍රයෝජනවත් රසායනික සංයෝග රැසක් ලබා ගැනීමට හැකිවී ඇත. තවද ජාන විකෘති ඇති කිරීදී ද සෛල අවලම්බන යොදාගත හැකි අතර, ඉන් විකෘති සහිත පැළ බිහි කරගත හැකිය. මෙය බෝග වැඩිදියුණු කිරීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. එමෙන්ම විවිධ පරිවෘත්තීය ක්‍රියා අධ්‍යයන කටයුතු සඳහා ද මෙම ක්‍රමය උපයෝගී කරගනී.

ප්‍රාක් ප්ලාස්ම රෝපණය

යාන්ත්‍රික හෝ රසායනික ක්‍රම භාවිතයෙන් සෛල වල ඇති සෛල බිත්ති ඉවත් කිරීමෙන් ප්‍රාක් ප්ලාස්මය වෙන්කර ගත හැකිය. එසේ වෙන්කර ගත් ප්‍රාක් ප්ලාස්ම, ද්‍රව මාධ්‍යයක රෝපණය කිරීම ප්‍රාක් ප්ලාස්ම රෝපණය යනුවෙන් හඳුන්වයි. මෙය ද බෝග වැඩිදියුණු කිරීමේදී බෙහෙවින් වැදගත් වන තාක්ෂණයකි. එකිනෙකට වෙනස් ශාක විශේෂ වලින් වෙන්කර ගත් ප්‍රාක් ප්ලාස්ම එකම මාධ්‍යයක වගා කර, රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් හෝ විද්‍යුත් ක්‍රම (electro fusion) භාවිතයෙන් ඒවා සංයුග්ම කිරීමක් සිදුකළ හැකි අතර ඉන් නව දෛහික දෙමුහුම් ප්‍රභේද (somatic hybrids) ඇතිකළ හැකිය. එමෙන්ම ප්‍රාක් ප්ලාස්මය තුළට පහසුවෙන් අණු ඇතුල් කිරීමට හැකියාවක් ඇති නිසා ප්‍රාක් ප්ලාස්ම  රෝපණය ජාන ඉංජිනේරු විද්‍යාවේදීද (genetic engineering) යොදාගත හැකිය.