මාළුමිරිස් ( Capsicum)


කැප්සිකම් අන්නුම් Capsicum annuum
කුලය - සොලනේසි
සම්භවය - පේරු (උතුරු ඇමෙරිකාව)

නිර්දේශිත ප්‍රභේද

හන්ගේරියන් යෙලෝ වැක්ස් (H.Y.W.)

කහ පැහැති කරල්වල දිලිසෙන සුළු පෘෂ්ඨයක් ඇත. කරල්වල හැඩය කේතු ආකාර වේ. හොඳ වගාවක කරලක දිග සෙන්ටිමීටර් 15-20 පමණ වන අතර කරල් ශාකයේ උඩු අතට හට ගනී. මෙම වර්ගය පහතරට සහ මැදරට තෙත් කලාප සඳහා නුසුදුසු වන්නේ බැක්ටීරියා හිටුමැරීමට දක්වන අධික සංවේදිතාවය නිසාය.

සී.ඒ. - 8

ලා කොළ පැහැති කරලෙහි රැලි සහිත දිලිසෙන සුළු පෘෂ්ඨයක් ඇත. කරලේ අග, අලි හොඬක් මෙන් ඇතුලට නැමී ඇත. දිග සෙන්ටිමීටර් 15-20 ක් පමණ වේ. කරල අඟක හැඩය දරයි.

ලංකා යෙලෝ වැක්ස්

ලා කහ/ කොළ පැහැති කරල් පවතින අතර කරල් දිගටි ත්‍රිකෝණාකාර වෙයි. කරලක දිග සෙන්ටිමීටර් 12-14 ක් පමණ වන අතර, කරල් ශාකයේ උඩු අතට හට ගනියි. බැක්ටීරියානු හිටු මැරීමට මධ්‍යස්ථ ලෙස ප්‍රතිරෝධී වන අතර H.Y.W. සහ CA 8 ප්‍රභේද දෙමුහුම් කර වරණය කිරීම මඟින් විවෘත පරාගන ප්‍රභේදයක් ලෙස වැඩි දියුණු කර ඇත.

ප්‍රාර්ථනා
දේශීයව සංවර්ධනය කරන ලද ප්‍රථම දෙමුහුම් ප්‍රභේදය වෙයි. කරලක දිග සෙන්ටිමීටර් 13 - 15 ක් පමණ වේ. කරල් පහලට හැරී ඇත. කරල් දික් ත්‍රිකෝණාකාර හැඩැති වන අතර දිලිසෙන සුලු කොළ පැහැති වේ. බැක්ටීරියානු හිටුමැරීමට ම්‍යධස්ථ ලෙස ප්‍රතිරෝධී වේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 22-25 අතර වේ.

දේශගුණික අවශ්‍යතා

ශ්‍රී ලංකාවේ සියලුම දේශගුණික කලාපවලම පාහේ වගාකළ හැකි බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 පමණ දක්වාවූ උස් ප්‍රදේශයන්හි වසර මුලුල්ලේම මාළු මිරිස් වගාකළ හැකිය. යල කන්නයේදී බෝගය වවන විට අතිරේක ජල සම්පාදනය කළ යුතුය.

පස
මාළු මිරිස් සඳහා හොඳින් ජලය බැස යන, ගැඹුරු සාරවත් ලෝම් පසක් අවශ්‍ය වේ. අවශ්‍ය තරම් කාබනික පොහොර යෙදීමෙන් සැහැල්ලු වයනයකින් යුත් පස්වලද බෝගයෙන් සාර්ථක අස්වැන්නක් ලබාගත හැකිය. පසෙහි පී.එච්. අගය 5.5 - 6.8 අතර විය යුතුය.

බිම් සැකසීම

භූමිය සෙන්ටිමීටර් 15-20 ක් දක්වා සීසෑමෙන් අනතුරුව දෙවරක් කැට පොඩි කිරීමෙන් පසු පාත්ති සකස්කර ගන්න. බෝගය සඳහා සාර්ථක ජලවහනයක් පසෙහි පැවතීම අත්‍යාවශ්‍ය වේ.

තවාන් පාලනය

තවාන් පිළියෙල කිරීම
තවාන් සඳහා හොඳින් ජලය බැස යන සෙවන නොමැති ස්ථානයක් තෝරා ගත යුතුය.

පැළ කේෂ්ත්‍රයේ සිටුවීමට මසකට පෙර තවානෙහි බීජ දමන්න. මීටර් 3 x සෙන්ටිමීටර් 90 ප්‍රමාණයේ පාත්ති සකසන්න. මෙම පාත්ති සෙන්ටිමීටර් 15 පමණ උස්විය යුතුය.

තවාන් පාත්තියෙහි වර්ග මීටරයකට හොඳින් දිරාපත්වූ කාබනික පොහොර කිලෝග්‍රෑම් 3-4 බැගින් යොදා පස සමඟ කළවම් කරන්න.

තවානේදී පැළවලට වැළඳිය හැකි රෝග පාලනය කිරීම සඳහා බීජ තවාන් කිරීමට පෙර තවාන් පාත්ති ජීවානුහරණය කළයුතුය. මේ සඳහා පාත්ති මත පිදුරු සහ දහයියා තට්ටු කිහිපයක් අතුරා හොඳින් පුළුස්සා ගන්න. මෙහිදී රෝගකාරක ජීවීන් හා වල් පැළ බීජ විනාශ වී යයි.

විනිවිද පෙනෙන තරමක් ඝනකම් පොලිතීනයක් මඟින් තවාන් පාත්ති වසා සති දෙකක් පමණ හිරු රැස්වලට නිරාවරණයකර තද පස තම්බා ගැනීම මඟින් ද කැප්ටාන් හෝ තිරාම් වැනි දිලීර නාශකයක් යෙදීම මඟින් ද රෝග පාලනය කර ගත හැකිය.

මීට අමතරව දියමලන් කෑම සහ ඇන්ත්‍රැක්නෝස් වැනි දිලීර රෝග මර්දනයකර ගැනීම සඳහා තවාන් දැමීමට පෙර කැප්ටාන් හෝ තිරාම් වැනි දිලීර නාශකයක් යොදා බීජ ප්‍රතිකාර කර ගන්න.

සකස් කරගත් තවාන් පාත්තිවල වල් මර්දනය සහ පොහොර යෙදීම වැනි කටයුතු පහසු වනසේ සෙන්ටිමීටර් 10-15 පරතරයකින් පේලි සකසා පේලිය දිගේ සෙන්ටිමීටර් 01 පමණ ගැඹුරට සෙන්ටිමීටර් 1-2 පරතරයකින් බීජ දමා සියුම් පස් තට්ටුවකින් වසන්න. පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යයක් භාවිතාකර තවාන් වසුන් කරන්න.

බීජ තවාන්කර දින 05-06 කින් වසුන ඉවත් කරන්න. බීජ දමා දින 08-10 ක් ගතවන විට සියලුම බීජ පැළවී අවසන් වේ. ලපටි පැළ වර්ෂාවෙන් සහ තද හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සඳහා විනිවිද පෙනෙන පොලිතීන් හෝ පොල් අතුවලින් ආවරණයකර ගන්න.

කේෂ්ත්‍රයේ සිටුවීමට පෙර පැළ දැඩි කරගත යුතු හෙයින් කේෂ්ත්‍රයේ සිටුවීමට දින 10 කට පමණ පෙර පැළවලට ජලය සපයනු ලබන කාලාන්තරය වැඩිකර ආවරණය ඉවත් කරන්න.

වගා පිළිවෙත්

පරතරය

දින 21 පමණ වයස් වූ පැළ, කේෂ්ත්‍රයේ සිටුවීමට සුදුසු වේ.

H.Y.W.- සෙන්ටිමීටර් 15 x සෙන්ටිමීටර් 30

CA 8 - සෙන්ටිමීටර් 40 x සෙන්ටිමීටර් 40

L.Y.W. - සෙන්ටිමීටර් 40 x සෙන්ටිමීටර් 40

ප්‍රාර්ථනා - සෙන්ටිමීටර් 40 x සෙන්ටිමීටර් 40

පැළ සිටුවීමේ කාලය

මහ කන්නය - නොවැම්බර් සහ දෙසැම්බර්
යල කන්නය - අප්‍රේල් සහ මැයි

පොහොර යෙදීම

යෙදිය යුතු කාලය

යූරියා කි.ග්‍රෑ/ හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑ/ හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/ හෙක්.

මූලික පොහොර සිටුවීමට දින 2ට පෙර)

100

220

65

සති 4 දි

100

-

65


ජල සම්පාදනය

මාළු මිරිස් යනු ජලය සඳහා ඉතා සංවේදී භෝගයක් වන බව දැඩි ලෙස අවධානය යොමු කළ යුතු කරුණකි.

දින 4-5 කට වරක් මුල් කාලයේදී ද, ඉන්පසු සතියකට පමණ වරක් වන පරිදි ද ජල සම්පාදනය කළ යුතුය. කෙසේ වුවද වර්ෂාපතනයේ ව්‍යාප්තිය අනුව ජල සම්පාදන කටයුතු වෙනස් වේ. පොහොර යෙදීමට පළමු හා පසු ජල සම්පාදනය අනිවාර්ය වේ.

පුෂ්ප පිපීමේදී හා ඵල හට ගැනීමේදී බෝගයට ඇතිවන ජල ඌණතාවය නිසා පුෂ්ප සහ කරල් වැටී යාමට හේතුවේ. එම නිසා ඒ අවස්ථාවේදී ප්‍රමාණවත් පාංශු තෙතමනයක් පවත්වා ගැනීම වැදගත්ය.


වල් පැළෑටි පාලනය
සිටුවා සති 2 න් පසු ගස් පාමුලට පස් එකතු කරමින් අතින් වල් මර්ධනය කරන්න. මේ මඟින් ශාකය හොඳින් පසේ සංස්ථාපනය වේ. සති 2, 4 හා සති 8 කාලයේදී වල් නෙලීම කළ යුතුය. රසායනික ද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් සිටුවා දින දෙකකට පසු ඇලක්ලෝර් 45% කිලෝ ග්‍රෑම් 1.4-2.4 හෙක්ටයාරයකට යෙදිය හැකිය.

අස්වැන්න නෙළීම

අස්වැන්න

සිටුවා දින 75 කදී පමණ පළමු අස්වැන්න නෙලා ගත හැකිය.

H.Y.W.- (අස්වනු වාර 3-4)

හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 10-15

CA 8 - තෙත් කලාපයේදී (අස්වනු වාර 8-10)

හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 6-8

වියළි කලාපයේදී (අස්වනු වාර 8-12)

හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 10-15

ප්‍රාර්ථනා (අස්වනු වාර 15 - 18)

මහ කන්නයේදී - හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 22-23

යල කන්නයේදී - හෙක්ටයාරයට මෙට්‍රික් ටොන් 14-15

අස්වනු නෙළීම

කරල් මත පිනි නොමැති, වියළි දිනයක් අස්වනු නෙලීම සඳහා යෝග්‍ය වේ. වර්ෂාව සහිත දිනයන්හිදී අස්වනු නෙලීමෙන් හැකි පමණ වලකින්න.

අස්වනු සැකසීම හා ඇසිරීම

පසු අස්වනු කටයුතු

අස්වැන්න නෙළා ගත් පසු හැකි ඉක්මනින් ප්‍රවාහනය සහ අලෙවිය කළ යුතුයි. මෙහිදී හොඳින් වාතාශ්‍රය ලැබෙන සිදුරු සහිත උර හෝ ප්ලාස්ටික් පෙට්ටි භාවිතා කළ හැකිවේ. ප්‍රවාහනයට පෙර ඉදීමට ආසන්න කරල් වෙන් කිරීමෙන් මේරූ කරල්වල ඉදීම ප්‍රමාද කළ හැකි වේ. ශීත ගබඩා තුළ තැන්පත් කිරීම සාර්ථකව කල් තබා ගැනීමේ ක්‍රමයකි.

රෝග හා පළිබෝධ හානි

කෘමි පාලනය

සුදු මැස්සා/ පැළ මැක්කා/ කුඩිත්තා/පිටි මකුණා

කෘමිනාශකය

ජලය ලීටර් 10 ක දියකළ යුතු ප්‍රමාණය

සල්ෆොක්සෆ්ලෝ 50% WG

ග්‍රෑම් 8

පයිමෙට්‍රෝසින් 50% WG

ග්‍රෑම් 5

බියුප්‍රොෆෙසින් 25% SC

මිලිලීටර් 28

බියුප්‍රොෆෙසින් 40% SC

මිලිලීටර් 15

ඇබමැක්ටින් 1.8 EC

මිලිලීටර් 6

මයිටා හානිය

Abamactine 18g/l EC - 10ml/16l

රෝග පාලනය

දියමලන් කෑම

තවානේ තැනින් තැන කුඩා කලාප වශයෙන් පැළ ඇද වැටීම, පැළයේ පොළවට ආසන්නයේ පටක වල තෙත් කුණුවීමක් ඇතිවේ.

දියමලන්කෑම රෝගය පාලනය

- දිලීර නාශක යෙදීම

- හොඳින් තවාන් පාලනය

- ජලවහනය හොඳින් සිදුකිරීම


දියමලන් කෑම රෝගය සහ පාදස්ථ කුණුවීම පාලනය සඳහා

- තිරාම් 80% WP - 7g/5l/m2

- තයෝෆනේට් මීතයිල් 70% WP - 3g/5l/m2

- තයෝෆනේට් මීතයිල් 50 % + තිරාම් 30% WP - 5g/5l/m2

- කැප්ටාන් 50% WP - 6g/5l/m2

 

ඇන්ත්‍රැක්නෝස් රෝගය

කරල්වලට වැළඳේ. කරලේ දුඹුරු පුල්ලි ඇති වේ. පුෂ්පවෘන්ත, පුෂ්ප අංකුර හා රිකිලි දුර්වර්ණ වේ. රෝගය ශාකය පුරා පැතිරී පසුව මැරී යයි.

ඇන්ත්‍රැක්නෝස් රෝගය පාලනය

- නිරෝගී බීජ භාවිතය

- බීජ ප්‍රතිකාර කිරීම

- බෝග මාරුව

- රෝගය බහුල වශයෙන් පවතින ප්‍රදේශ වල රෝගය වළක්වා ගැනීම සඳහා මල් පිපෙන අවධියේ පටන් දින 7-10 ට වරක් බැගින් නිර්දේශිත දිලීරනාශක ඉසීම.

දිලීරනාශකය

ජලය ලීටර් 10 ක දියකළ යුතු ප්‍රමාණය

මැන්කොසෙබ් 75% WP

ග්‍රෑම් 20

තයෝෆනේට් මීතයිල් 70% WP

ග්‍රෑම් 10

කාබෙන්ඩසිම් 50% WG

ග්‍රෑම් 7

කාබෙන්ඩසිම් 500g/15C

මිලිලීටර් 7

ක්ලෝරොතැලොනිල් 500g/1SC

මිලිලීටර් 30

ප්‍රොපිකොනසෝල් 250g/1EC

මිලිලීටර් 10

හිටුමැරීම
ක්ෂණිකව ගස් මැලවේ. මුල් හා පාදස්ථ කොටස් කුණුවේ. බෝග මාරුව හා ජලවහනය දියුණු කිරීම මඟින් මෙය වලක්වා ගත හැකිය.


හිටුමැරීම පාලනය

- රෝගී ශාක පසුත් සමඟ ඉවත් කිරීම.

- රෝගී කේෂ්ත්‍ර හරහා නිරෝගී කේෂ්ත්‍ර වලට ජල සම්පාදනය නොකිරීම

- සොලනේසියේ කුලයේ නොවන බෝග සමඟ බෝග මාරුව

- පාලනය සඳහා රසායනික ප්‍රතිකාර නොමැත

කොල කොඩවීමේ වෛරස් රෝගය

- සුදු මැස්සා මඟින් පැතිරේ

- පත්‍ර කහ වී ප්‍රමාණයෙන් කුඩා වීම

- පත්‍ර බෝට්ටුවක ආකාරයට උඩු අතට වක්‍ර වීම

- ශාකයේ පුරුක් අතර දුර කෙටි වීම

- ශාක කුරු වීම

කොල කොඩවීමේ වෛරස් රෝගය පාලනය

වාහකයා පාලනය කිරීම

- බීජ ප්‍රතිකාර කිරීම - කෲසර් හෝ ගවුවෝ මඟින්

- කේෂ්ත්‍රයේ පැළ සිටුවූ පසු දින 7 කට වරක් කොහොඹ ජලීය නිස්සාරකය යෙදීම.

 

පත්‍ර ලප රෝගය

- පත්‍ර මත ලා අළු පැහැ සහ වටේට තද දුඹුරු පැහැ වන වටකුරු ලප ඇතිවේ.

- රෝග පාලනය සඳහා දිලීර නාශක යොදන්න.

පාලනය

ඇන්ත්‍රැක්නෝස් ආකාරයටම පාලනය කළ හැකිය.

 

පිටි පුස් රෝගය

දින 7 කට හෝ 14 කට වරක් නිර්දේශිත දිලීර නාශකයක් යොදන්න.

දිලීරනාශකය

ජලය ලීටර් 10 ක දියකළ යුතු ප්‍රමාණය

කාබෙන්ඩසිම් 50% WP

ග්‍රෑම් 7

කාබෙන්ඩසිම් 500g/15C

මිලිලීටර් 7

තයෝෆනේට් මීතයිල් 70% WP

ග්‍රෑම් 10

සල්ෆර් 80% WP

ග්‍රෑම් 50

පොටෑසියම් බයිකාබනේට් 82% SP

ග්‍රෑම් 15

මාළු මිරිස් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු