Warning: file_put_contents() has been disabled for security reasons in /home/agridept/public_html/HORDI/templates/hordi/library/Artx/Page.php on line 18
පතෝල

පතෝල (snake gourd)



උද්භිද විද්‍යාත්මක නාම - ට්‍රයිකොසැන්තස් කියුකමෙරිනා (Trichosanthes cucumerina)

කුලය - කුකර්බිටේසි

නිර්දේශිත ප්‍රභේද

ටී.ඒ. 2

මීටරයකට වඩා දිග කරල් අළු සුදු පාටය. මේරීමත් සමඟ කරල්වල තද කොල පාට ඉරි ඇති වේ.


එම්.අයි. (කෙටි)

අළු සුදු පැහැති කරල මීටර් 1/2 පමණ දිගය.


තින්නවේලි

කරලක දිග මීටර් 3/4 පමණ වේ. මාංසල බවින් වැඩි මෙම කරල් අළු සුදු පාටය. මේරීමත් සමඟ කරලේ සුදු පැහැති ඉරි ඇතිවේ.

දේශගුණික අවශ්‍යතා හා පස

උණුසුම් දේශගුණික තත්ත්ව ප්‍රියකරන භෝගයකි. සෙල්සියස් අංශක 25 ට වඩා වැඩි උෂ්ණත්ව වලදී වර්ධනය

වැඩි වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ උසක් දක්වා වූ ප්‍රදේශවල සාර්ථකව වගාකළ හැකිය. වියළි කලාපයේ යල් කන්නයේදී ද තෙත් කලාපයේ වසර පුරාම ද පතෝල වගා කළ හැකිය.

කෙසේ වුවද තද වර්ෂා කාල මඟහැර වගා කිරීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

පස

කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු හොඳින් ජලය බැසයන පසක් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි තිබිය යුතු පී.එච්. අගය 5.5 - 7.5 පමණ වේ.

බිම් සැකසීම

ඉඩම හොඳින් සී සා කැට පොඩි කරගන්න. නියමිත පරතරයට සෙන්ටිමීටර් 30x30x30 ප්‍රමාණයේ වලවල් සකසා ගන්න.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට - කිලෝග්‍රෑම් 4 කි.

වගා පිළිවෙත්

පරතරය

මීටර් 1.5 x 1.5 කි.

සිටුවීම

දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය සහ මතුපිට පස් මිශ්‍රකර වල පුරවාගන්න. සකසාගත් වලෙහි එකිනෙකට තරමක් දුරින් බීජ 3 පමණ සෙන්ටි මීටර් 2 - 3 පමණ ගැඹුරින් සිටුවා හොඳින් ජලය සපයන්න. දින 5-8 දී බීජ ප්‍රරෝහනය වේ.

පැළ තුනී කිරීම

සිටුවා සති 2 කට පසු එක් වලක නිරෝගී පැළ 2 ක් ඉතිරිවන සේ අනෙක් පැළ ගලවා ඉවත් කරන්න.

වැල් පුහුණු කිරීම

මීටර් 2 පමණ උස ශක්තිමත් පන්දලමකට වැල් යොමු කරන්න. පන්දලමට පහතින් වැලෙහි ප්‍රධාන කඳෙන් හටගන්නා පාර්ශ්වික අතු ඉවත් කරන්න. ගැහැණු හා පිරිමි මල් එකම වැලේ වෙන් වෙන්ව හට ගනී. රාත්‍රී කාලයේදී මල් පිපේ.

පොහොර යෙදීම

හොඳින් දිරූ කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10 ක් යොදන්න. මූලික පොහොර යෙදීම සිටුවීමට දින 1 - 2 කට පෙර සිදු කර පසට මිශ්‍ර කරන්න.

යෙදිය යුතු කාලය

යූරියා කි.ග්‍රෑ/ හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි. ග්‍රෑ / හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි. ග්‍රෑ/ හෙක්.

මූලික පොහොර

75

195

60

පැළ මතුවී සති 4

75

-

60

පැළ මතුවී සති 8

75

-

60

ජල සම්පාදනය

බීජ ප්‍රරෝහනය වන තෙක් දිනපතාම පාහේ ජලය සපයන්න. ඉන්පසු අවශ්‍යතාවය අනුව වරින් වර ජලය සපයන්න. වැල් වටා වසුනක් යෙදීමෙන් වියළි කාලගුණික තත්ත්ව පවතින විට පස වියළී යාම අඩුකර ගත හැකිය.

වල් පැළෑටි පාලනය

බෝගයේ මුල් අවස්ථාවේ දී වල්පැළ පාලනය පිලිබඳ සැලකිලිමත් වන්න. වැල් හොඳින් වැඩී මැස්ස ආවරණය කරගත් පසුව වල් පැළෑටි පාලනය එතරම් ගැටළුවක් නොවේ.

අස්වනු නෙළීම

සිටුවා දින 60 - 75 දී අස්වනු නෙළීම ආරම්භ කළ හැකිය. දින 4 කට වරක් පමණ බැගින් අස්වනු නෙළාගත හැකිය.

අස්වැන්න

උසස් වගා පාලන තත්ත්ව යටතේ හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 20,000 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න සැකසීම

නෙළාගත් කරල්වලට තුවාල වීම වලකා ගැනීම සඳහා ලණු පැදුරු හෝ පොල් අතුවලින් ආවරණයකර මිටි බඳින්න. හොඳින් පරිහරණය කරන ලද කරල් දින 7 - 10 පමණ ගුණාත්මය පහත නොවැටී තබා ගත හැකිය.


ගබඩා කාලය සති 2 පමණ තබා ගැනීම සඳහා සෙල්සියස් අංශක 16 උෂ්ණත්වයේ, සාපේක්ෂ ආර්ද්‍රතාවය 85 - 90% ගබඩා කළ හැකිය.

මිහිකත දිණුවෝ
ගොවිබිමට අරුණළු
ක්ෂේත්‍ර ගැටළු

රෝග හා පළිබෝධ හානි

කෘමි පාලනය

ඉල් මැස්සා

ඉල් මැස්සාගේ සුහුඹුල් ගැහැණු සතුන් කරල සිදුරු කර එහි බිත්තර දමයි. ඉන් පිටවන කීටයින් කරලේ මාංශලය

ආහාරයට ගනිමින් වැඬේ කරලේ වර්ධනය ඕනෑම අවස්ථාවකදී හානි සිදුකළ හැකිය. ඉල් මැස්සාගේ කීටයින් කරල තුළ සිදුකරන හානිය නිසා කරල් කුණු වී යයි. වැල් අවට පොළව රේක්කයකින් ඇවිස්සීමෙන් පිලා අවස්ථාව විනාශ කළ හැකිය. හානි වූ කරල් වගාවෙන් ඉවත් කර විනාශකර දමන්න. කුඩා අවධියේදීම කරල් තුනී පොලතීනයකින් හෝ කඩදාසි මඟින් ආවරණය කිරීමෙන් කරල් වලට හානි කිරීම පාලනය කර ගත හැක. (කරවිල වගාවේ ඉල් මැස්සා පාලනය පිළිබඳ බලන්න.)

මීට අමතරව අවුලකපෝරා කුරුමිණියන්, හබල්පාද මකුණන් හා එපිලැක්නා කුරුමිණියන් නිසාද වගාවට හානි සිදුවිය හැක. මූල ගැටිති වටපණු හානිය නිසා ශාකයේ වර්ධනයට අවශ්‍ය පෝෂක හා ජලය ලබා ගැනීම අඩු වේ. මෙහිදී ශාක මැලවුණු ස්වභාවයක් පෙන්වීම, පත්‍ර කුඩා වීම හා වර්ධනය බාල වී කුරු ශාක ඇති වීම මඟින් හානිය හඳුනාගත හැකියි. අඛණ්ඩව කාබනික පොහොර යෙදීම මඟින් පසේ තෙතමනය දියුණු කර එහි ඇති හිතකර ජීව ගහණය වැඩි කිරීම තුළින් වටපණු හානිය අවම කරගත හැකිය. මීට අමතරව පතෝල වගාවේ, ගඩු මැස්සාගේ

හානිය සුලභව දක්නට ලැබේ. ගඩු සෑදෙන මුල් අවස්ථාවේම එම රිකිලි කඩා ඉවත් කරන්න. හානිය උග්‍ර නම් පමණක් ප්‍රොපෙනොෆොස් කෘමිනාශකය දින 14 කට වරක් යොදන්න.

රෝග පාලනය

පතෝල වගාවන් සඳහා යටිපුස් රෝගය හා පිටි පුස් රෝගය දරුණු ලෙස වැළඳිය හැකිය. එවිට නිර්දේශිත දිලීර නාශකයක් පත්‍රවලට යොදන්න. මෘදු කුණුවීම නිසා වැලෙහි පාදස්ථ කොටසට හානි ඇතිවුවහොත් පසෙහි ජලවහනය දියුණු කරන්න. පස බුරුල්කර වාතනය දියුණු කරන්න. (වට්ටක්කා රෝග පාලනය බලන්න)

පසු අස්වනු කටයුතු
ආශ්‍රිත නිෂ්පාදන
අලෙවිකරණය
බීජ නිෂ්පාදනය
විශේෂ වගා තාක්ෂණ ක්‍රම