වැටකොළු
ලුප්ෆාඇකියුටැන්ගියුලා
Luffaacutangula
කුලය - කුකර්බිටේසි


වැටකොළු ඉතා ජනප්‍රිය එළවළු බෝගයකි. එය පහත රට වියළි අතර මැදි හා තෙත් කලාප වල ද, මැද රට තෙත් හා අතර මැද කළාපයන් හී ද ආර්ථික බෝගයක් වශයෙන් වගාවේ.

නිර්දේශිත ප්රභේද
එල් . 33
අදුරු තද කොළ පැහැති දිගටි කරල් හටගන්නා ප්‍රභේදයකි.

ආසිරි
මෙය නව නිර්දේශීත වැටකොළු ප්‍රහේදයයි. සෙන්ටි මීටර් 30 පමණ දිගකින් යුත් කරල් හට ගනී. දැනට නිර්දේශිත එල්. ඒ 33 වැටකොළු ප්‍රභේදයට වඩා වැඩි පාරිභෝගික රුචියක් මෙම ප්‍රභේදයට ති‍බේ. හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 8 පමණ සාමාන්‍ය අස්වැන්නක් ලබා ගත හැකිය.

දේශගුණික අවශ්යතා
උෂ්ණ දේශගුණික තත්ව ප්‍රිය කරන බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 500 පමණ උස් වූ ප්‍රදේශ දක්වා සාර්ථකව වැටකොළු වගා කළ හැකිය. තද වර්ෂාව සහිත කාලගුණික තත්ව වගාවට හිතකර නොවේ.

පස
ඉතා හොදින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු වැලි ලෝම් පසක් වගාවට සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.5 -7.5 පමණ වීම යෝග්‍ය වේ.

වගා කාලය
තෙත් කලා‍පයේ වසර පුරාම ද වියළි කලාපයේ මහ කන්නයේ දී ප්‍රධාන වශයෙන් වැටකොළු වගා වේ. යල කන්නයේ ජල සම්පාදනය යටතේ වියළි කලාපීය ප්‍රදේශ වල මෙම බෝගය සාර්ථක ව වගා කළ හැකිය. කෙසේ වුව ද තද වර්ෂාව සහිත කාලගුණික තත්ව පවතින කාල සීමාවන් මගහරවා වගා කල යුතුය.

බිම් සැකසීම
බිම් පෙරළා කැට පොඩි කර ගන්න. ඉන් පසු සෙන්ටිමීටර් 30 x 30 x 30 ප්‍රමාණයේ වල වල් නියමිත පරතරයට සකසා ගන්න. වගාව තුල අනවශ්‍ය පරිදි ජලය රදා සිටීම වලකා ගැනීම සදහා ගැඹුරු කානු කිහිපයක් ද සකස් කර ගන්න.

බීජ අවශ්යතාවය
හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 3

පරතරය
මීටර් 15 x 15

බීජ සිටු වීම
සකසා ගත් වල වල් වලට හොදින් දිරාපත් වු කාබනික පොහොර කු‍ඩයක් පමණ බැගින් දමා මතුපිට පස් සමග කළවම් කරන්න. බීජ සිටු වීමට දින 2 – 3 පෙර නියමිත පරිදි මූලික පොහොරද, වලට යොදා පස‍ට මිශ්‍ර කරන්න.

එක් වලක එකිනෙකට තරමක් දුරින් බීජ 3 - 4 පමණ සෙන්ටිමීටර් 2 - 3 ගැඹුරින් සිටුවන්න. ඉන්පසු සිට වූ බීජ වලට හොදින් ජලය සපයන්න.

පැල තුනී කිරීම
බීජ පැල වී සති 2 පමණ ගත වු එක් ස්ථානයක පැල 2 පමණක් ඉතිරි කර සෙසු පැල ගලවා දමන්න.

වැල් පුහුණු කිරීම
වැටකොළු වගාවකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සදහා මීටර් 2 පමණ උස පන්දලමකට වැල් යොමු කළ යුතුයි. මේ සදහා මීටර් 3 පමණ පරතරයට ශක්තිමත් කණු සිටුවා ඒ මත ලණුවලින් හෝ කම්බි වලින් පන්දලම සකසා ගත හැකිය. පන්දලම දක්වා වැලෙහි ප්‍රධාන කදෙන් හටගන්නා අංකුර ඉවත් කරන්න.

ගෙවතු වලට වැටකොළු වගා කරන විට කම්බි වැටකට වුව ද වැල් යැවීම කළ හැකිය.

පොහොර යෙදීම
බීජ සිටුවීම සදහා සකසා ගත් වල වල් වලට යෙදිය යුතු කාබනික පොහොර වලට අමතරව පහත සදහන් අන්දමට රසායනික පොහොර ද යොදන්න.

යෙදිය යුතු කාලය

යූරියා
හෙක් / කි.ග්රෑ.

ත්රිත්ව සුපර් පොස්පේට්
හෙක් / කි.ග්රෑ.

මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙක් / කි.ග්රෑ.

මූලික පොහොර

75

200

60

පැල මතු වී සති 4 දී

75

-

60

පැල මතු වී සති 8 දී

75

-

60


වැටකොළු වලට ඇත්තේ නොගැඹුරු මුල පද්ධතියකි. එනිසා වල් පැලෑටි පාලනය කිරීමේ දී මුල් වලට හානි නොවන පරිදි කටයුතු කිරීමට වග බලා ගන්න.

 

කෘමි හා රෝග පාලනය

ඉල් මැස්සා
පළතුරු මැස්සා ගේ කීටයින් විසින් වැටකොළු කරල තුල සිදු කරන හානිය නිසා කරල් කුණු වී යයි. මෙම හානිය වලකා ගැනීමට කෘමි නාශක යෙදීම අත්‍යාවශ්‍ය‍ නොවේ. සෙන්ටි මීටර් 15 පළල හා සෙන්ටිමීටර් 40 පමණ දිග දෙපැත්තෙන් ම විවෘත වූ පොලිතින් කැබලි වලින් ලපටි කරල් ආවරණය කරන්න. මෙම පොලිතින් කැබලි ගෝනි ලණු වලින් නටුවට හෝ වැලට ගැට ගසන්න. එමගින් ඵල ආරක්ෂා වේ.


අවුලකපෝරා කෘමියා

බෝගය ලපටි අවධියේ දී පත්‍ර වලට හානි කරයි. කෘමිනාශකයක් මේ සදහා යෙදිය හැකිය.
පසෙහි දිගු කලයක් ජලය රදා පැවතුන හොත් පාමුල ප්‍රදේශය දිලිර වර්ග නිසා කුණු වීමකට භාජනය විය හැකිය. නිර්දේශිත දිලිර නාශකයක් වැල පාමුල ප්‍රදේශයට යෙදීම හා පසෙහි ජලවහනය දියුණු කිරීම මගින් මෙම තත්වය මග හරවා ගත හැකිය.


අස්වැන්න නෙලීම
මේරීමට ප්‍රථම කරල් නෙලා ගන්න. බෝගයේ වයස දින 60 – 70 දී පළමු අස්වැන්න ලබා ගත හැකිය. ඉන් පසු දින 4 පමණ වරක් බැගින් මාස 1  - 2 පමණ කාලයක් තුල දී අස්වනු වාර 10 – 15 පමණ නෙලා ගැනීමට පිළිවන.

අස්වැන්න සැකසීම
නෙලා ගත් කරල් මතට තද හිරු රැස් වැටීමෙන් වලකා ගන්න. කරල් වලට හානි නොවන සේ හොදින් වාතාශ්‍රය ලැබෙන පරිදි කුඩ වල අසුරන්න.