බණ්ඩක්කා (Okra)




උද්භිද විද්‍යාත්මක නාමය- ඇබෙල්මොස්චස් ඒස්කියුලැන්ටස් (Abelmoschus esculantus)
කුලය - මැල්වේසි


ශ්‍රී ලංකාවේ උඩරට තෙත් කලාපය හැර අනෙක් ඕනෑම දේශගුණික කලාපයක වගාකළ හැකි එළවළු බෝගයකි. පහසුවෙන් වගා කිරීමට හැකි වීමත්, වර්ෂය පුරාම අස්වනු ලබාදීමේ හැකියාවත් නිසා එළවළු ගොවීන් අතර බණ්ඩක්කා බෝගය ප්‍රචලිත වෙමින් පවතී. දැනට හම්බන්තොට, කුරුණෑගල, රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල එය සාර්ථකව වගා කරන අතර, අනුරාධපුර, පුත්තලම, මාතර, බදුල්ල, සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි ද එය ව්‍යාප්ත වෙමින් තිබේ.

මෙහි ප්‍රධාන වශයෙන්ම ආහාරයට ගනු ලබන්නේ ලපටි කරල්වේ. නමුත් ඉන්දියාව, අප්‍රිකාව වැනි රටවල බණ්ඩක්කා කොළද ජනප්‍රිය එළවළුවක් ලෙස ආහාරයට ගැනේ.

විවිධ ආකාරයට ආහාර සඳහා සකස්කර ගත හැකි වීමත්, එහි පෝෂණ ගුණයත් නිසා පාරිභෝගිකයන් අතර බණ්ඩක්කා සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. ලපටි කරල්වල ප්‍රෝටීන, කෙදි වර්ග, ඛනිජ, මේද, සහ විටමින අඩංගු වේ. ඛණිජ අතරින් කැල්සියම් හා අයඩීන් ප්‍රධාන තැනක් ගනී. එනිසා අයඩීන් ඌණතාවය නිසා ඇතිවන ගලගණ්ඩය වැනි රෝග වලක්වා ගැනීමේදී වැදගත් මෙහෙයක් ඉටුකරයි.

නිර්දේශිත ප්‍රභේද

එම්.අයි. - 5

  • කරල් ලා කොළ පැහැයට හුරුය
  • පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට පාත්‍රවේ
  • දින 55-60 කදී පළමු අස්වැන්න නෙලාගත හැක
  • වියළි කලාපයේ මාස් කන්නය සඳහා ද අනෙක් කලාපවල යල, මහ දෙකන්නයටමද යෝග්‍ය වේ

එම්.අයි. - 7

  • කරල් ලා කහ පැහැතිය
  • පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට පාත්‍රවේ
  • දින 55-60 කදී පළමු අස්වැන්න නෙලාගත හැක
  • වියළි කලාපයේ යල් කන්නය සඳහා ද අනෙකුත් කලාපවල යල, මහ දෙකන්නයටමද යෝග්‍ය වේ

හරිත

  • කරල් කොළ පැහැතිය
  • පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයට ඔරොත්තුදේ දින 50 කදී පළමු අස්වැන්න නෙලාගත හැක
  • තෙත් කලාපයට වඩා වියළි කලාපයේදී වඩාත් හොඳ වර්ධනයක් පෙන්වයි
  • යල මහ දෙකන්නයටම යෝග්‍ය වේ


පස
ආම්ලික හෝ ක්ෂාරීය නොවන මනා ජල වහනයක් සහිත පසක් බෝගය සාර්ථක වර්ධනය සඳහා යෝග්‍ය වේ.


සිටුවන කාලය
මහ කන්නයේදී සැප්තැම්බර් මස මුල සිට ඔක්තෝබර් මස මුල දක්වාත්, යල කන්නයේදී අප්‍රේල් මස සිට මැයි මස මුල දක්වාත් වගාව ඇරඹිම සඳහා සුදුසුය.


සිටුවීම හා පරතරය
සෙන්ටිමීටර් 90 x 60 පරතරයට සෙන්ටිමීටර් 30 ක් පමණ උස, පළල හා ගැඹුර ඇති වළවල් සකස්කර ඒවා දිරාපත්වූ ගොම පොහොර හෝ කොම්පෝස්ට් වලින් පුරවා ගැනීමෙන් පසු බීජ 3 - 4 ක් බැගින් එක වලක සිටුවන්න. බීජ ප්‍රරෝහනය වේගවත් කිරීම සඳහාත්, ඒකාකාරි වගාවක් ලබාගැනීම සඳහාත් බීජ සිටුවීමට පෙර පැය 24ක කාලයක් ජලයේ පොගවන්න. බීජ සිටුවා සති 2කට පසු එක් වලක නිරෝගී ශක්තිමත් පැළ දෙකක් බැගින් ඉතිරිවන සේ වැඩි පැල ඉවත් කරන්න.


බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4.5 කි.


පොහොර යෙදීම

යෙදිය යුතු කාලය

යූරියා
හෙ./ කි.ග්‍රෑ

ත්‍රිත්ව සුපර් පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ

මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ

මුලික පොහොර

50

195

25

පැළ මතුවී සති 2

50

-

25

පැළ මතුවී සති 5

100

-

50

පැළ මතුවී සති 8

100

-

50


වල් පැලෑටි පාලනය
බීජ සිටුවා සති 2-4 දීත් මල් හටගැනීම ආරම්භ වූ අවධියේදීත් වල් මර්දනයද කළ යුතු යුතුවේ.

කෘමි පාලනය
පත්‍ර කීඩෑවන්

වගාවේ වයස සති 2-3 සිට කීඩෑ උවදුරට පාත්‍ර විය හැක. රෝගය බරපතල නම් නිර්දේශිත කෘමිනාශක යොදන්න.


කරටි සහ කරල් විදින්නා
ලපටි පැලවල කරටි විදීම හා කරල් මත සිදුරු ඇති කරයි. හානිය අධික නම් නිර්දේශිත කෘමිනාශක යොදන්න.


කොළ හකුලන දළඹුවා
පත්‍ර හැකිලීම සිදුකරයි. හානි වූ පත්‍ර විනාශ කිරීම මගින් රෝගය වළක්වා ගතහැක. හානිය අධික නම් පමණක් නිර්දේශිත කෘමිනාශක යොදන්න.


රෝග පාලනය

පිටිපුස් රෝගය

පත්‍ර මතුපිට සුදු පැහැති පැල්ලම් දැකිය හැකිය. හානිය අධික නම් නිර්දේශිත දිලීරනාශකයක් යොදන්න.


විචිත්‍ර වෛරස් රෝගය
බෝගයේ මුල් වර්ධන අවධියේදී මෙය වැලදුන හොත් අස්වැන්න 80%ක් පමණ අඩු වේ.

රෝගය වළක්වා ගැනීම සදහා නිර්දේශිත කාලයේදී බීජ සිටුවීම. වාහක කෘමීන් විනාශ කිරීම. ධාරක ශාක විනාශ කිරීම. රෝගයට පාත්‍ර වූ පැල ගලවා විනාශ කිරීම කළ යුතුය. නමුත්, වඩාත් සාර්ථක වන්නේ ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීමයි.

අස්වනු නෙලීම
බීජ සිටුවා දින 50-100 දක්වා කාලය තුළ වාර කිහිපයක් අස්වනු නෙලිය හැක. ගුණාත්මය පවත්වා ගැනීම සදහා දිනක් හැර දිනක් ලපටි කරල්වල නටුව පිහියකින් කපා නෙලාගන්න.


අස්වැන්න
දේශගුණික කලාපය, කන්නය හා ප්‍රභේද අනුව අස්වනු ප්‍රමාණයන් වෙනස් වේ. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 10-15 ක් පමණ අස්වැන්නක් ලබාගත හැකිය.


අස්වැන්න සැකසීම
කරල් නෙලාගත් පසුව තද සූර්යා ලෝකයට නිරාවරණය නොකරන්න. රෝග හා කෘමි හානිවලට ලක්වූ කරල් විකෘති හැඩයක් සහිත හා මේරෑ කරල් තෝරා ඉවත් කරන්න.

හොඳින් වාතාශ්‍රය ලැබෙන ඇසුරුම්වල බහා ප්‍රවේශමෙන් වෙළදපොලට යවන්න.