බෝංචි (Beans)




උද්භිද විද්‍යාත්මක නාමය - ෆැසිඕලස් වුල්ගාරිස්(Phaseolus vulgaris)
කුලය - ෆැබේසී

දේශගුණික අවශ්‍යතා
බදුල්ල, නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල දැනට බෝංචි බහුලව වගා කෙරේ. උෂ්ණත්වය ඉතා වැඩි හා තද වර්ෂාව සහිත කාලගුණික තත්ව පවතින ප්‍රදේශ බෝංචි වගාවට සුදුසුනැත.මල්හටගන්නා අවධියේදී උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 30 ට වඩා අඩුවිය යුතුය. උඩරට තෙත් කලාපය ද බෝංචි වගාවට සුදුසු නොවේ.

නිර්දේශිත ප්‍රභේද
ප්‍රධාන වශයෙන් පඳුරු හා වැල් බෝංචි ලෙස ආරයන් දෙකකි.


වැල් බෝංචි ප්‍රභේදය
කෙන්තකි වන්ඩර් ග්‍රීන් (K.W.G)

කොළපැහැති, මධ්‍යම ප්‍රමාණයේ, කෙඳි සහිත, නැමුණු අග සහිත කරල්වලින් යුක්තය.

කැප්පොටිපොල නිල්
සෙ.මී 18 - 20 පමණ දිග කොළ පැහැති කරල් සහිත වැල් බෝංච් ප්‍රභේදයකි. පළමු අස්වැන්න දින 60 - 65 දී ලබාගත හැකි අතර, අස්වනු නෙලීම වාර 6 - 8 කළ හැකිය. එක් වැලක සාමාන්‍යයෙන් කරල් 46 ක පමණ සංඛ්‍යාවක් හටගනී. බණ්ඩාවෙල ප්‍රදේශයේ ගොවීන්ගේ ක්ෂේත්‍රවල සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 17 - 18 පමණ අස්වැන්නක් ලබාගත හැකිය. මෙම ප්‍රභේදය මලකඩ, ඇන්ත්‍රැක්නෝස් සහ බීජ පැල කුඩා අවධියේදී වැළදෙන මුල් කුණුවීමේ රෝගයට ඔරොත්තු දේ. බීජ තද දම් පාටය.

බලංගොඩ නිල්
සෙන්ටි මීටර් 14 ක් පමණ දිගැති රවුම්, කොළ පැහැති කරල් හට ගන්නා වැල් බෝංච් ප්‍රභේදයකි. බීජ දුඹුරු පැහැතිය. වැලෙහි ඒකාකාරීව පැතීරී කරල් හට ගනී. මලඛිඤ හා මුල් කුණු වීමේ රෝගවලට ඔරොත්තු දේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 12 - 14 පමණ ලබා ගත හැකිය.

ලංකා බටර්
සෙන්ටි මීටර් 16 -17 පමණ දිගකින් යුත් කහ පැහැති, රවුම් කරල් හටගන්නා වැල් බෝංච් ප්‍රභේදයකි. බීජ කළු පැහැතිය. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 16 පමණ වේ. මුල් කුණු වීම, ඇන්ත්‍රැක්නෝස් හා මලකඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවක්ද මෙම ප්‍රභේදය සතුය.

දේශිය ප්‍රභේද ද ගොවීන් අතර ජනප්‍රිය වේ.
උදා: පීස් බටර්, කටුගස්තොට


පඳුරු බෝංච් ප්‍රභේද
වෙඩ්

තදකොළ, රවුම්, මාංශල, කෙඳි රහිත හා මධ්‍යම ප්‍රමාණයේ කරල් හටගනී.
ටොප් ක්‍රොප්
කරල් ලා කොළ, රවුම්, කෙඳි සහිත හා මධ්‍යම ප්‍රමාණයේ විශාලත්වයකින් යුක්තයි.
වෙරොකි වැක්ස්
පැතලි ඕවලාකාර, කෙඳි සහිත කරල් කහපාටට හුරුය.
සංජය
මෙම ප්‍රභේදය පත්‍ර, මල් හා බීජ වල ලක්ෂණ ටොප්ක්‍රොප් ප්‍රභේදයෙන් වෙනස් වේ. දින 30 - 35 කදී පුෂ්ප පිපීම ආරම්භ වන අතර ආර්ථික කාලය දින 65 කි. ප්‍රභේද අත්හදා බැලීම් පර්යේෂණ වලදී කන්නය හා වගා ප්‍රදේශය අනුව අස්වැන්න හෙක්.ටො. 7.6 - 18.0 දක්වා ලබා දී ඇත. පාමුල කුණුවීම සඳහා ඔරොත්තු දේ. මාංශලමය දිගු කරල් සහිත වේ. ක්ෂේත්‍ර අත්හදා බැලීමේ පර්යේෂණ වලදී ප්‍රමෙල් (Premal) යන නම භාවිතා කර ඇත.

දේශගුණික අවශ්‍යතා
බදුල්ල, නුවරඑළිය, මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල දැනට බෝංචි බහුලව වගා කෙරේ. උෂ්ණත්වය ඉතා වැඩි හා තද වර්ෂාව සහිත කාලගුණික තත්ව පවතින ප්‍රදේශ බෝංචි වගාවට සුදුසු නැත. මල් හටගන්නා අවධියේදී උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 30 ට වඩා අඩුවිය යුතුය. උඩරට තෙත් කලාපය ද බෝංචි වගාවට සුදුසු නොවේ.


පස
මනා ජල වහනයක් ඇති ලොම් පස් හා වැලි ලොම් පස් සුදුසුය. රතු කහ පොඩිසොලික් පස බෝංචි වගාව සදහා වඩාත් උච්ත පස් වර්ගයකි. පී. එච්. අගය 6.5 සිට 7.5 අතර ඇති පසක් වගාවට වඩාත් හිතකර වේ.


බිම් සැකසීම
අඩියක් පමණ ගැඹුරට පස පෙරලා හොදින් කැට පොඩිකර ගන්න.


බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට වැල් බෝංච් බීජ කලෝග්‍රෑම් 75 ක් පමණද පඳුර බෝංච් බීජ කලෝග්‍රෑම් 50 ක් පමණ අවශ්‍ය වේ.


බීජ සිටුවිය යුතු කාලය
බදුල්ල දිස්ත්‍රික්කයේ මහ කන්නයේදී නොවැම්බර් දෙසැම්බර් මාසවලත්, යල කන්නයේදී මාර්තු / අප්‍රේල් මාසවලත් බීජ සිටුවීම කරනු ලැබේ.


පරතරය
පඳුරු බෝංචි සඳහා - සෙන්ටි මීටර් 40 x 10
වැල් බෝංචි සඳහා - සෙන්ටි මීටර් 45 x 30

පොහොර යෙදීම
හෙක්ටයාරයක් සඳහා පහත සඳහන් පොහොර ප්‍රමාණ නිර්දේශ කරතිබේ.


වැල් බෝංචි

යෙදිය යුතු කාලය

යූරියා
හෙ./ කි.ග්‍රෑ

ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ

මියුරියේට් ඔෆ් පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ

මුලික පොහොර

110

270

75

පැල මතුවී සති 3 දී

110

-

75


පඳුරු බෝංචි

යෙදිය යුතු කාලය

යූරියා
හෙ./ කි.ග්‍රෑ

ත්‍රිත්ව සුපර්
පොස්පේට්
හෙ./ කි.ග්‍රෑ

මියුරියේට් ඔෆ්
පොටෑෂ්
හෙ./ කි.ග්‍රෑ

මුලික පොහොර

85

165

65

පැල මතුවී සති 3 දී

85

-

65

වගාවේ වයස සති 2 - 3 වු විට මතුපිට පොහොර යෙදීමෙන් පසුව වැල් බෝංච් සඳහා කෝටු සිටුවීම අවශ්‍ය වේ.

ජල සම්පාදනය
පසේ තෙතමනය උච්ත අයුරින් පවත්වා ගැනීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකිය. වර්ෂාපතනය අඩුවිට ජල සම්පාදනයකළ යුතුය. මල් හා කරල් හටගන්නා කාලයේදී විශේෂයෙන් ජල සම්පාදනය කිරීම වැදගත්ය.


වල් පැලෑටි පාලනය
මතුපිට පොහොර යෙදීමට පළමුව වල් මර්ධනය කරන්න.

කෘමි පාලනය
බෝංචි මැස්සා, කරල් විදින පණුවා හා පත්‍ර කනින්නා බෝංචි වගාවට හානි කරන ප්‍රධාන කෘමීන්ය. බෝංචි මැස්සා සඳහා බෝංචි බීජ පැලවු පසු ෆොමොතියෝන් හෝ මෙටසිස්ටොක්ස් අවුන්ස 01 ක් වතුර ගැලුම් 03 කට යොදා වගාවට ඉසිය යුතුයි. නැවත දින 10 - 12 කට පසු කෘමිනාශකයක් නැවත යෙදීමද නිර්දේශ කරනු ලැබේ.

කරල් විදින පණුවා සඳහා, මල් පිපීම ආරම්භ වීමත් සමඟ සුදුසු කෘමි නාශකයක් යෙදිය යුතුයි. පත්‍ර කනින්නාගේ හානියට සුදුසු කෘමිනාශකයක් මුල් කාලයේදී යෙදිය යුතුය.


රෝග පාලනය
ඇන්ත්‍රැක්නෝස්, මලකඩ රෝගය හා බෝංචි විචිත්‍ර වෛරස් රෝග බෝංචි වගාවේ ප්‍රධාන රෝග වේ.

ඇන්ත්‍රැක්නෝස් මර්ධනය සඳහා නිර්දේශිත දිලීර නාශකයක් යෙදීම හෝ බීජ ප්‍රතිකාර කිරීම හෝ සිදුකල හැකිය. මලකඩ රෝගය මර්ධනය සඳහා දිලීර නාශකයක් යෙදීම හා ඔරොත්තු දෙන ප්‍රභේදයක් වගා කිරීම කලයුතුවේ.

අස්වනු නෙලීම
පඳුරු බෝංචි දින 45 කින් පමණද වැල් බෝංචි දින 60 කින් පමණද අස්වැන්න නෙලිය හැකි. කරල් මේරීමට කලින් අස්වැන්න නෙලාගත යුතුයි.


අස්වැන්න
මනා වගා පාලන තත්ත්ව යටතේ පඳුරු බෝංචිවලින් හෙක්ටයාරයකට ටොන් 5 - 10 හා වැල් බෝංචි වලින් හෙක්ටයාරයකට ටොන් 10 - 15 ක අස්වැන්නක් ලබාගත හැකිය.


පසු අස්වනු කටයුතු
අස්වනු නෙලීමේදී කරල්වලට හානියක් නොවන ලෙස කළ යුතුය. ප්‍රවාහනයේදී හොදින් වාතාශ්‍රය සහිත ඇසුරුම්වල බෝංචි කරල් ඇසිරීම වැදගත්ය.


බීජ නිෂ්පාදනය
දේශියව බීජ නිෂ්පාදනය කළ හැකිය. රෝගවලින් තොර පැලවලින් පමණක් බීජ ලබා ගත යුතුය. පඳුරු බෝංචි හෙක්ටයාරයකින් බීජ ටොන් 01 ක් පමණද වැල් බෝංචි හෙක්ටයාරයකින් බීජ ටොන් 1 ක් පමණද ලබාගත හැකිය. බීජ ගබඩා කිරීමට පෙර හොදින් වියලා ගත යුතුය.