තක්කාලි (Tomato)


උද්භිද විද්‍යාත්මක නාමය - ලයිකොපර්සිකන් එස්කියුලැන්ටම් (Lycopersicon esculentum)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත වගා තාක්ෂණය

නිර්දේශිත ප්‍රභේද

කේ.ඩබ්.ආර්. (ටී.62)
පඳුරු තක්කාලි ප්‍රභේදයකි. බැක්ටීරියා හිටු මැරීමේ රෝගයට හොඳින් ඔරොත්තු ඳේ ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 50 ක් පමණය. තුනී පොත්තක් සහිත වන බැවින් තැලීමෙන් සිදුවන අස්වනු හානිය වැඩිය.


T 245
පඳුරු ආකාර වර්ධනයක් සහිතය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 85 ක් පමණ වේ. තරමක් පැතලි සහ තරමක් තද පොත්තක් සහිත තැඹිලි රතු ගෙඩි සහිතය. හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 20 ක පමණ අස්වනු විභවයක් ඇත. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දෙන අතර වටපණුවන්ගේ හානියට සහ කොළ කොඩ වීමේ වෛරස් රෝගයට ඔරොත්තු දීමේ හැකියාවක් තිබේ.


රවි
පඳුරු ආකාර වර්ධනයක් හා හෘදාකාර හැඩැති ගෙඩි සහිත ප්‍රභේදයකි. ගෙඩියක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 60 ක් පමණ බර වේ. අස්වනු විභවය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 50 ක් පමණ වේ. මෙම ප්‍රභේදය වැඩි උෂ්ණත්වය සහිත පරිසර වලදී පවා මල් හැලීමකට ලක් නොවේ. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ද ඔරොත්තු දීමේ හැකියාව ඇත.


තරිඳු
පඳුරු ආකාර වර්ධනයක් ඇත. රවුම් හැඩැති ගෙඩි සහිත වන අතර ගෙඩියක් ග්‍රෑම් 45 ක් පමණ වේ. සෝස් වැනි නිෂ්පාදන සඳහා යෝග්‍ය වේ. බැක්ටීරියානු හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දෙන අතර විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 40 ක් පමණ වේ. තද රතු පාට මදයක් සහිත රවුම් ගෙඩි දරන ප්‍රභේදයකි.

තිළිණ
අර්ධ අපරිමිත වර්ධන විලාශයක් ඇත. දිග රවුම් දික්කඩ හෘඋදාකාර හැඩැති ගෙඩි සහිත වන අතර, ගෙඩියක බර ග්‍රෑම් 85 ක් පමණ වේ. ඉතා තද පොත්තක් සහිතය. ගෙඩි පිපිරීමට ලක් නොවේ. ඉදුණු ගෙඩි තැඹිලි රතු පැහැතිය. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථව ඔරොත්තු ඳේ විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 40 ක් පමණ වේ. එක් ගසකින් කිලෝග්‍රෑම් 3 1/2 ක පමණ අස්වැන්නක් නෙලා ගත හැකිය.

රජිත
පඳුරු ආකාර වර්ධනයක් හා තරමක පැතලි ගෙඩි සහිත ප්‍රභේදයකි. ගෙඩියක බර ග්‍රෑම් 100 ක් පමණ වේ. ගසකින් කිලෝග්‍රෑම් 3 ක පමණ සාමාන්‍ය අස්වැන්නක් සහ හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 30 ක විභව අස්වැන්නක් සහිත ප්‍රභේදයකි. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට හා කොළ කොඩවීමේ වෛරස් රෝගයට ඔරොත්තු දේ. ගෙඩි හැලී යාම අඩුය.

රෂ්මි
පඳුරු ආකාර වර්ධනයක් සහිත හා තරමක පැතළි ගෙඩි සහිත වේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 185 ක් පමණ වේ. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 28 ක් පමණ වේ. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථ ලෙස ඔරොත්තු දේ.

ලංකා සවර්
දේශීය ජාන සම්පත් තුලින් වරණය කර ඇති මෙම ගොරකා තක්කාලි ප්‍රභේදය වැඩි ඇඹුල් රසයකින් යුක්ත ඵල දරයි. ඉදුණු ගෙඩියක් ග්‍රෑම් 122 ක් පමණ බර වේ. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 29 ක් පමණ වේ. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දේ.

මහේෂි (දෙමුහුම්)
ඉදුණු ගෙඩියක බර ග්‍රෑම් 125 ක් පමණ වන හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 55 ක පමණ ඉහළ විභව අස්වැන්නක් සහිත දේශීය දෙමුහුම් ප්‍රභේදයකි. ඝනකම් පොත්තක් සහිත හා බැක්ටීරියා හිටුමැරීමට ප්‍රතිරෝධී වේ. ගෙඩි තරමක් පැතලි හැඩැති වේ.

භාතිය (දෙමුහුම්)
අපරිමිත වර්ධනයක් සහිත, දේශීයව නිපදවන ලද දෙමුහුම් තක්කාලි ප්‍රභේදයකි. බැක්ටීරියා හිටුමැරීමට ඔරොත්තු දේ. කර්ලි ටොප් වෛරස් රෝගයට කේෂ්ත්‍ර ප්‍රතිරෝධීතාවයක් දක්වයි. රවුම් හැඩැති ගෙඩියක බර ග්‍රෑම් 85 ක් පමණ වේ. පොත්ත ඝනකමය. දිලිසෙන සුලුය. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 60 ක් පමණ වේ.

කේ.සී. 01
පඳුරක් ලෙස පරිමිත වර්ධනයක් සහිත, උසින් අඩු, වැඩි පරිසර උෂණත්වයක් සහිත වියළි කලාපයේ වගා කළ හැකි ප්‍රභේදයකි. ගෙඩියක බර ග්‍රෑම් 55 ක් පමණ සහ පැතැලි හැඩැති වන අතර පුෂ්ප අන්තයෙන් (Blossom end) තරමක බෙදීම් සහිත වේ. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 40ක් පමණ වේ.

ලංකා චෙරි
අපරිමිත වර්ධන විලාසයක් සහිත ප්‍රභේදයකි. ශාකය හොඳින් අතු බෙදෙන අතර, බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ප්‍රතිරෝධී වේ. හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 17 පමණ සාමාන්‍ය අස්වැන්නක් ලබා ඳේ ගෙඩියක බර ග්‍රෑම් 04 ක් පමණ වන අතර සෙන්ටිමීටර් 3 ක් පමණ දිග වේ. ගෙඩි පෙයාර්ස් හැඩැති වේ. මෙම ප්‍රභේදයේ ගෙඩි වියළි මිදි සකසන ආකාරයට ද සකසා ගත හැකි වන අතර ඒවා සලාද වැනි සැකසීම් සඳහා ප්‍රධාන ලෙස භාවිතා කෙරේ.

දේශගුණික අවශ්‍යතා/ජල අවශ්‍යතාවය

දේශගුණික අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට 1300m ක් පමණ දක්වා උස් ප්‍රදේශයන්හි යල සහ මහ කන්න දෙකෙහිම වගා කළ හැකිය.

වගාව සඳහා ප්‍රශස්ත උෂ්ණත්ව පරාසය 200c -270c පමණ දක්වා වේ.

ක්ෂේත්‍රය පිළියෙල කිරීම

පෙර කන්නයේ සොලනේසියේ කුලයේ (මිරිස්, බටු, අර්තාපල්) බෝග වගා නොකළ ඉඩමක් වගාව සඳහා තෝරා ගන්න. ගැඹුරු පස් පෙරළීමකින් පසු පොළොව මට්ටම් කොට මනාව ජලය බැසයන පරිදි ඉඩම සකසා ගන්න. පසුව උස් පාත්ති හෝ සමතලා පාත්ති සකසා ගන්න.

බීජ අවශ්‍යතාවය
හෙක්ටයාරයකට - ග්‍රෑම් 200-250 වේ.
තවාන් පාලනය

තවාන් පිළියෙල කිරීම
මීටර් 1 ක් පළල, මීටර් 3 ක් දිග හා සෙන්ටිමීටර් 15-20 ක් උසට තවාන් පාත්ති සකසා ගන්න. පාත්ති වටා කාණුව සෙන්ටිමීටර් 45 ක් පළලට සකසන්න.

පාත්ති සකසන මතුපිට පස් හා කොම්පෝස්ට් සම ප්‍රමාණ වලින් මිශ්‍රකර, සෙන්ටිමීටර් 5 ක් පමණ ඝනකම තට්ටුවක් සේ පාත්තිය මත අතුරන්න.


ජීවානුහරණය
රසායනික ද්‍රව්‍ය යෙදීමෙන් - කැප්ටාන්/ තිරාම්

පිළිස්සීම මඟින් - පාත්තිය හොඳින් තෙමා මාරුවෙන් මාරුවට දහයියා හා පිදුරු තට්ටු වශයෙන් දමා පුළුස්සා ගන්න.


බීජ තවාන් දැමීම
තවාන් දැමීමට පෙර බීජ ග්‍රෑම් 125 කට කැප්ටාන්/ තිරාම් වැනි දිලීරනාශක ග්‍රෑම් 2 ක් වනසේ මිශ්‍ර කර ගන්න.


තවානේ පේලි අතර පරතරය සෙන්ටිමීටර් 12-15 ක් වනසේ බීජ දමන්න. තවානේ බීජ යොදන පේලියක් තුළ බීජ 2 ක් අතර පරතරය සෙන්ටිමීටර් 01 ක් පමණ තැබීමෙන් වැඩි දිරිමත් බවක් ඇති පැළ ලබා ගතහැකිය.

සිටුවන ගැඹුර
සෙන්ටිමීටර් 0.5-1.0 ක් පමණ ගැඹුරකින් ලකුණු කර ගත් ඇලි තුළ දමා තුනී පස් තට්ටුවකින් වසන්න. ඉන්පසු පාත්තිය පිරිසිදු පිදුරු වැනි ද්‍රව්‍යකින් තුනීව වසන්න. දිනපතා ජලය දමන්න.

අධික වැස්සෙන්/ හිරු එළියෙන් ආරක්ෂාකර ගැනීම සඳහා තවාන ආවරණය කරන්න. දින 7 කින් පසු වසුන ඉවත් කරන්න. දින 8-10 ක් තුළදී පැළ තුනී කරන්න. වල් පැළෑටි අතින් ගලවා දමන්න.


පැළ ගැලවීමට දින කිහිපයකට කලින් පැළ දැඩිකිරීම සඳහා තවානට ජලය අඩුවෙන් සැපයීම හා වැඩි වේලාවක් හිරුඑළියට පැළ නිරාවරණය කිරීම වැදගත්ය.

වගා පිළිවෙත්

පරතරය
සෙන්ටිමීටර් 80 x 50 කි.


ක්ෂේත්‍රයේ සිටුවීම
නිර්දේශිත පරතරයට වළවල් කපා කාබනික පොහොර වලින් පුරවා ගන්න. මේ සඳහා හෙක්ටයාරයකට කාබනික පොහොර මෙට්‍රික්ටොන් 6-12 ක් අවශ්‍යවේ. සිටුවීමට දින 2-3 කට පෙර නිර්දේශිත මූලික පොහොර මිශ්‍රණ එකතු කර හොඳින් කලවම් කර ගන්න. කේෂ්ත්‍රයේ සිටුවීම තවානේ වයස දින 14-18 කාලයේදී සිටුවීම සඳහා පැළ ගලවා ගත හැකිය.


පැළ සිටුවීම සවස් වරුවේ සිදුකිරීම වඩාත් යෝග්‍ය වේ. පැළ ගැලවීමට දිනකට පෙර තවාන් හොඳින් තෙත් කරන්න. පැළ සිටුවා අධික හිරු රැස් ඇති නම් පැළවල මුල් වැඩෙන තෙක් ආවරණය කොට තබන්න. මේ සඳහා ග්ලිරිසීඩියා කුඩා අතු කැබලි, විශාල පත්‍ර වැනි දෙයක් යෙදා ගත හැකිය.

පොහොර යෙදීම
සකසා ගත් වළවල්වලට පැළ සිටුවීමට දින 2-3 පෙර කාබනික පොහොර සහ මූලික පොහොර වශයෙන් යෙදිය යුතු රසායනික පොහොර යොදා පස් සමඟ මිශ්‍ර කරන්න. කාබනික පොහොර වශයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 10 ක් පමණ කුකුල් පොහොර ද යෙදිය හැකිය.


රසායනික පොහොර
බදුල්ල දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශ සඳහා

යෙදිය යුතු කාලය

යූරියා කි.ග්‍රෑ/ හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි. ග්‍රෑ/ හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ/ හෙක්.

මූලික පොහොර (පැළ

සිටුවීමට දින 1-2 කට

පෙර)

65

325

65

පැළ සිටුවා සති 3 පසු

65

-

-

පැළ සිටුවා සති 6 පසු

65

-

65

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉහත නිර්දේශිත ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 215 ක් වන ලෙස යොදන්න.


ජල සම්පාදනය
බෝගයට ප්‍රමාණවත් ලෙස ජලය ලබා දෙන්න. වැඩිපුර ජලය යෙදීම සුදුසු නැත. විශේෂයෙන් වියළි කාලයකට පසු වැඩිපුර ජලය යෙදුවහොත් ගෙඩි පිපිරීමට ඉඩ තිබේ.


වල් පැළෑටි පාලනය

හැකි සෑම විටම වගාව වල් පැළෑටි වලින් තොරව තබා ගන්න. පැළ සිටුවා සති 3 දී හා 6 දී වගාව වල් පැළෑටි වලින් තොරවීම විශේෂයි. තවද, විශේෂයෙන් සෑම පොහොර යෙදීමකට පෙර ක්ෂේත්‍රයේ වල් මර්දනය කරන්න.


ආධාරක සිටුවීම
ගස් ඇද වැටීම වලකාගැනීම සඳහා මල් පිපීම ආරම්භ වීමට කලින් ගස් අසල සිටුවාගත් කෝටුවලට ගස් තබා ප්‍රවේශමෙන් බඳින්න.

අස්වනු නෙලීම

අස්වනු නෙළීම
ගෙඩි කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන අවස්ථාවේදී නෙලාගන්න. අස්වනු නෙළීම 10-12 වරකට පමණ කළ යුතුය.

අස්වැන්න
හොඳින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාරයකට ටොන් 20-30 පමණ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වනු සැකසීම හා ඇසිරීම

අස්වැන්න සකසා ගැනීම
නෙළාගත් ගෙඩි, ප්‍රමාණය අනුව වර්ගකර, හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි ලී පෙට්ටිවල අසුරා වෙළඳපොළට යවන්න.

රෝග හා පළිබෝධ හානි

කෘමි පාලනය

තක්කාලි ගෙඩි විදින පණුවා Helicoverpa armigera
කීටයා කහ කොළ පාටය. ශරීරයේ දික් අතට දුඹුරු පැහැයට හුරු තද සහ ලා පාට ඉරි දක්නට තිබේ. තක්කාලි ගෙඩිවල රවුම් හැඩැති සිදුරු සෑදීම මෙම කීටයාගේ ප්‍රධානම හානියයි. එම සිදුරු තුළ කීටයින් සහ අපද්‍රව්‍ය දැකිය හැකිය. ළපටි කොළ හා මල් ද ආහාරයට ගනී.

 

පාලනය
- හානිවූ ගෙඩි කඩා ඉවත් කර ගැඹුරට වළලන්න.

- කීටයන් දුටු විගස නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න.

කෘමිනාශකය

යොදන ප්‍රමාණය ජලය ලීටර් 10කට

හෙක්.ට අවශ්‍ය ප්‍රමාණය

නොවැලියුරෝන් 100 g/l EC

මි.ලී 10

මි.ලී 320-600

ක්ලෝර්ෆ්ලුසුරොන් 50g/l EC

මි.ලී 15

මි.ලී 480-900

ක්ලෝරැන්ත්‍රනිලිප්‍රෝල් 185 g/l SC

මි.ලී 2

මි.ලී 90-130

ස්පිනොසාඩ් 450 g/l SC

මි.ලී 3

මි.ලී 140-220

ෆ්ලුබෙන්ඩියමයිඩ් 24% WG

ග්‍රෑම් 2

ග්‍රෑම් 86-140

තක්කාලි පත්‍ර කනින්නා/ සිතියම් පණුවා Liriomyza sativae

සුහුඹුල් සතා කෝඳුරුවකු තරම් වන කුඩා මැස්සෙකි. ගැහැනු මැස්සන් පත්‍ර විද බිත්තර දමයි. ඒවායින් පිටවන කීටයින් පත්‍රය තුළ සර්පිලාකාර උමං මාර්ග සාදයි. එම මාර්ගවල කෙලවර කහ පැහැති කුඩා කීටයින් දැකිය හැකිය.


පාලනය
- පහළ පත්‍ර වල පමණක් හානිය ඇති විට අස්වැන්නට එතරම් බලපෑමක් නැත. එම හානිවූ පත්‍ර කඩා කේෂ්ත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම (ගිනි ගොඩකට දැමීම) මඟින් බෝවීම පාලනය කළ හැකිය.

- හානිය අඩු අවස්ථාවේ කෘමිනාශක යෙදීම සුදුසු නැත. එමඟින් හානිය උග්‍රවිය හැකිය.

- හානිය අධික අවස්ථාවේදී විෂ අඩු කෘමිනාශකයක් නියමිත මාත්‍රාවෙන් යෙදීම සුදුසුය.

කෘමිනාශකය

යොදන ප්‍රමාණය ජලය ලීටර් 10කට

හෙක්.ට අවශ්‍ය ප්‍රමාණය

ඇබමැක්ටීන් 18 g/l EC

මි.ලී.6

මි.ලී. 240

කොහොඹ ඇට නිස්සාරකය

මි.ලී.400

-

ඇසැඩිරැක්ටීන් 50 g/l EC

මි.ලී.20

-


කුඩිත්තා Myzus persicae
කහ කොළ පාට මෘදq ශරස්‍රයක් ඇති කුඩා සතුන්‍ය. සමූහ (ඝනාවාස) ලෙස දැකිය හැකිය.

 

පත්‍ර කීඩෑවන් Amrasca spp.
කොළ පාට ත්‍රිකෝණාකාර හැඩයක් ඇති කෘමියෙකි. පත්‍රවල යටි පැත්තේ සිට යුෂ උරා බොයි. මෙම කෘමීන් හැමවිටම කේෂ්ත්‍රයේ දැකිය නොහැක.

 

සුදු මැස්සා Bemisia tabaci
සුදු පැහැති ඉතා කුඩා මැස්සෙක් වැනිය. බොහෝවිට පත්‍ර යටි පැත්තේ දැකිය හැකිය.

 

පැළ මැක්කා
ඉතා කුඩා දික් හැඩැති කොළ පාට කෘමියෙකි. වේගයෙන් එහා මෙහා යනු දක්නට ලැබේ.

 

යුෂ උරා බොන කෘමීන් මඟින් සිදුවන හානිය

- වෛරස් රෝග වාහකයන් ලෙස ක්‍රියා කරයි.

කුඩිත්තා - පිපිඤ්ඤා, විචිත්‍ර වෛරස් රෝගය

කීඩෑවා - කර්ලි ටොප් වෛරස් රෝගය

සුදු මැස්සා - කොළ කොඩවීමේ වෛරස් රෝගය

පැළ මැක්කා - තක්කාලි මැලවීමේ වෛරස් රෝගය

- යුෂ උරාබීම නිසා ශාකවල වර්ධනය බාලවීම, පත්‍ර යටි අතට රෝල්වීම, රැලිවීම, කහවීම, මැලවීම වැනි ලක්ෂණ ඇතිවේ.

 

යුෂ උරා බොන කෘමීන් පාලනය

- වගාව තුළ හා අවට වල් පැළෑටි මර්දනය කිරීම.

- කහ පැහැති ඇලෙන සුළු උගුල් කේෂ්ත්‍රයේ තැනින් තැන සවි කිරීම.

- කොහොඹ ඇට නිස්සාරකය සතියකට වරක් පමණ පත්‍රවල යටි පැත්තට හොඳින් වදින ලෙස ඉසීම.

- සතුන්ගේ ගහණය වැඩිනම් නිර්දේශිත කෘමිනාශකයක් නියමිත මාත්‍රාවෙන් යෙදීම.

- කෘමිනාශක නියමිත සාන්ද්‍රණයට වඩා යොදා ඉසීම මඟින් සහ එකම කෘමිනාශකය එක දිගට ඉසීමෙන් ප්‍රතිරෝධී සතුන් (ඔරොත්තු දෙන සතුන්) ඇතිවිය හැකිය. එම නිසා නිර්දේශිත කෘමිනාශක නියමිත සාන්ද්‍රණයට මාරුවෙන් මාරුවට ඉසින්න.

කෘමිනාශකය

යොදන ප්‍රමාණය ජලය ලීටර් 10කට

හෙක්.ට අවශ්‍ය ප්‍රමාණය

තයෝසික්ලේයිම් 50% SP

ග්‍රෑම් 25

-

ෆිප්‍රොනිල් 50 g/l EC

මි.ලී. 10

-

තයමෙතොක්සාම් 25% WG

ග්‍රෑම් 3

-

කාබෝසල්ෆාන් 200 g/l SC

මි.ලී. 20

මි.ලී. 640-800

 

මූල ගැටිති වටපණුවා Meloidogyne spp
ඇසට නොපෙනෙන කුඩා ජීවියෙකි. ජීවීන් මුල් තුළ ජස්වත්වීම නිසා හානිය සිදුවේ. හානිය ආරම්භයේ දී හඳුනාගැනීමට නොහැකිවීම ප්‍රධාන ගැටළුවකි.

හානිය

- ශාක මැලවුණු ස්වභාවයක් පෙන්වීම.
- වර්ධනය බාලවී කුරුවීම.
- පත්‍ර කුඩාවීම සහ කහ පැහැවීම.
- ශාක ගලවා බැලූවිට මුල්වල ගැටිති දක්නට ලැබේ.

පාලනය
- බෝග මාරුව.
- බෝගය සිටුවීමට පෙර පස පෙරලා අව්වට නිරාවරණය කර තැබීම.
- බෝග අවශේෂ (මුල්) පුළුස්සා දැමීම.
- ආසාදිත කේෂ්ත්‍රයක් නම්, අළුත් කුකුල් පොහොර යොදා දින කිහිපයක් හොඳින් ජලය සපයා පසුව බෝග සිටුවීම හෝ දාස්පෙතියා, සන්හෙම්ප් වැනි බෝගයක් සිටුවා මල් පිපෙන අවස්ථාවේ පසට එක් කර පසුව බෝග සිටුවීම.


කොළකන පණුවන්/ කීටයින් Spodopter exigua

කොළ පාට සිට තද කළු දුඹුරු පැහැය දක්වා කීටයාගේ පාට වෙනස් වේ. මෙම කීටයන් කොළ, මල්, ගෙඩි ආදිය ආහාරයට ගනී.


පාලනය
හානිය අධික නම් පමණක් නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න.

 

ඉල්මැස්සා Bactocera diversa/ Bactocera cucarbitae

සුහුඹුල් මැස්සා ගෙඩි විද බිත්තර දමයි. එම බිත්තර පුපුරා ඇතිවන කීටයන් ගෙඩි තුළ ආහාර ගනිමින් ජීවත් වේ. ඒ නිසා ගෙඩි ඉදෙන විට කුණුවීම සිදුවේ. ගෙඩි ඇතුළත පණුවන් දැකිය හැක.

පාලනය

- හානිවූ ගෙඩි කේෂ්ත්‍රයේ නොදමා එකතුකර ගැඹුරට වැළලීම හෝ විනාශ කිරීම.
- ඇම උගුල් තැබීම.

තක්කාලි මකුණා Necidiocoris tenuis
සමහර ප්‍රදේශවල කලාතුරකින් දැකිය හැකි හානියකි. මල්, ළපටි පත්‍ර ආදියේ යුෂ උරා බොයි. එමනිසා මල් හැලීම, ළපටි කොටස් මැලවීම සිදුවිය හැකිය. මල් කිනිති වලට විදීම නිසා සිදුකරන හානිය මඟින් ඒවා කඩා වැටීම සිදුවේ.

 

රෝග පාලනය
තවාන් රෝග
දිලීර වර්ග කිහිපයක් නිසා දියමලන්කෑම නොහොත් පාමුල කුණුවීම ඇතිවිය හැක. රෝගී පැළවල කඳෙහි පාමුල ප්‍රදේශය කුණුවී පැළ ඇදවැටීම හෝ මැලවී පසුව මැරී යාම සිදුවේ.

 

පාලනය
තවාන් පසේ රෝග ඇති කරන දිලීර වර්ග ඇති බැවින් තවාන් සකස් කරන විට තවාන් පාත්තිවල පස පුළුස්සා ගන්න. එසේ නොමැති නම් පහත සඳහන් දිලීර නාශක වලින් එකක් භාවිතා කර බීජ ප්‍රතිකාර කර සිටුවන්න.

දිලීරනාශකය

බීජ කිලෝග්‍රෑම් 1ට මිශ්‍ර කළ යුතු ප්‍රමාණය

කැප්ටාන් 50% තෙත් කුඩු

ග්‍රෑම් 6

තිරාම් 80% තෙත් කුඩු

ග්‍රෑම් 5

තයෝෆනේට් මීතයිල් 50% + තිරාම් 30% WP

ග්‍රෑම් 4

එලෙසම ඉහත දිලීර නාශක ප්‍රමාණ ජලය ලීටර් 5 ක දියකර වර්ගමීටර් 1 කට පමණ යොදන්න. නැතහොත් පහත සඳහන් දිලීරනාශක සමඟ මිශ්‍රකර බීජ සිටුවන්න.

දිලීරනාශකය

බීජ කිලෝග්‍රෑම් 1 කට යෙදිය යුතු ප්‍රමාණය

කැප්ටාන් 50% WP

ග්‍රෑම් 6

තිරාම් 80%

ග්‍රෑම් 7

තයෝෆනේට් මීතයිල්

ග්‍රෑම් 3

තයෝෆනේට් මීතයිල් 50% + තිරාම් 30%

ග්‍රෑම් 5

දිලීර මැලවීම
දිලීර වර්ග කිහිපයක් නිසා ඇතිවේ. දිලීර ආසාදනය වූ විට ගස මැලවී යයි. ගසේ පාමුල හා මුල් කුණු වී යයි. සමහරවිට මුල් හා පාමුල කොටසේ සුදුපාට දිලීර ජාලය දැකිය හැකිය.

පාලනය
කාණු ගැඹුරුකර හොඳින් ජලය බැස යාමට සලස්වන්න. ඉහත දිලීර නාශක රෝගී පැළයේ මුල් හා ඒ අවට ඇති පැළවල මුල් හොඳින් තෙමෙන සේ බාල්දියකින් යොදන්න.


බැක්ටීරියා හිටුමැරීම

පසේ ඇති බැක්ටීරියාවක් මඟින් ඇති වේ. ආසාදනය වූ විට පැළ මැලවීම සිදු වේ. ගසේ පාමුල හෝ මුල් කුණුවීමක් පිටතින් දක්නට නොලැඹේ පස මට්ටමට අඟලක් පමණ උඩින් කඳ කපා පිරිසිදු වතුර භාජනයකට දැමූවිට කිරිපාට නූල් මෙන් බැක්ටීරියා පිටතට පැමිණේ නම්, මෙය බැක්ටීරියා හිටුමැරීම බව ස්ථීරවම නිගමනය කළ හැකිය. මේ අනුව දිලීර හිටුමැරීමෙන් මෙය වෙන්කර හඳුනාගත හැකිය.

පාලනය

- රෝගී ශාක පස් සමඟ කේෂ්ත්‍රයෙන් ඉවත් කරන්න.
- කාණු ගැඹුරුකර හොඳින් ජලවහනය ඇති කරන්න.
- ප්‍රතිරෝධී වර්ග වගා කරන්න. KWR ඉතාමත් ප්‍රතිරෝධීය.
- T - 146තරමක් මෙයට ප්‍රතිරෝධී වේ.
- පසට කාබනික පොහොර යොදන්න.


අංගමාරය

කොළවල හා කඳේ දුඹුරු හෝ කළුපාට පුල්ලි ඇති වේ. ඒවා වැසි හෝ මීදුම සහිත කාලගුණයේදී ඉක්මණින් විශාල වී කුණු වී යයි. පුල්ලිවලට උඩින් ඇති ගසේ කොටස් කඩා වැටීම හෝ මැලවීම සිදුවේ. මෙම පුල්ලි ගසේ ඕනෑම තැනක ඇතිවිය හැක. ගෙඩිවලද එම පුල්ලි ඇතිවී ගෙඩිද කුණුවි යයි.

පාලනය
වැසි සහිත කාලගුණයක් ඇතිවිටදී රෝගය ඉක්මනින් පැතිරී ගස් සියල්ලම විනාශ වී යා හැකි බැවින් රෝග ලක්ෂණ දුටුවහාම පහත දිලීරනාශකවලින් දෙකක් තෝරාගෙන මාරුවෙන් මාරුවට සති 2 කට වරක් යොදන්න.

දිලීරනාශකය

ජලය ලීටර් 10 ක දියකළ යුතු ප්‍රමාණය

ක්ලෝරෝතැලොනිල් (ඩැකොනිල්)

මිලිලීටර් 30

ප්‍රෙපිනෙබ් (ඇන්ට්‍රකෝල්)

ග්‍රෑම් 20

මැන්කොසෙබ්

ග්‍රෑම් 20

මැනෙබ්

ග්‍රෑම් 20

ප්‍රොපමොකාබ් (ප්‍රෙවිකර්)

මිලි ලීටර් 30

ඉහත දිලීරනාශක ප්‍රමාණය ජලය ලීටර් 10 ක දියකර ගස් හොඳින් තෙමෙන සේ යොදන්න.


නිර්දේශිත ආකාරයට පොහොර මිශ්‍රණ යොදන්න. වැඩියෙන් යූරියා පොහොර නොයොදන්න. රෝගී ගස් හා ගෙඩි ක්ෂේත්‍රයෙන් ඉවත්කර විනාශකර දමන්න.


පිටිපුස් රෝගය

මුලින්ම සුදුපාට පිටි වැනි දිලීරයේ කොටස් කොළවල යටි පැත්තේ ඇති වේ. මේ නිසා කොළවල උඩ පැත්ත කහපාට වේ.

පාලනය
රෝග ලක්ෂණ දුටු වහාම සල්ෆර් කුඩු ග්‍රෑම් 50 ජලය ලීටර් 10 ක දියකර ඉසින්න. අවශ්‍ය නම් නැවත සතියකින් ඉසින්න.


ඇන්ත්‍රැක්නෝස් රෝගය

ගෙඩි කුණුවීම හා කඳ ඉහළ සිට කුණුවීම, මල් හැලීයාම සිදු වේ. වැසි සහිත කාලගුණයේදී රෝගය දරුණු වේ.

පාලනය
පහත සඳහන් දිලීරනාශක වලින් එකක් යොදන්න.

දිලීරනාශකය

ජලය ලීටර් 10 ක දියකළ යුතු ප්‍රමාණය

ක්ලෝරෝතැලොනිල් (ඩැකොනිල්)

ග්‍රෑම් 20

මැන්කොසෙබ්

ග්‍රෑම් 20

මැනෙබ්

ග්‍රෑම් 20

කාබන්ඩසිම් (බැවිස්ටන්)

ග්‍රෑම් 7

 ඉහත දිලීර නාශක ප්‍රමාණ ජලය ලීටර් 10 ක දියකර ඉසින්න.


ගෙඩිවල යට කුණුවීම

මෙය බෝගයකට ලැබෙන ජල ප්‍රමාණය වැඩිවීම හෝ අඩුවීම නිසා ඇතිවන්නකි. ගෙඩියේ යටි පැත්ත කුණු වී යයි.

පාලනය
වතුර වැඩි කාලවලදී කාණු ගැඹුරුකර වතුර බැස යාමට සලස්වන්න. වතුර හිඟ කාලවලදී වතුර සපයන්න.

තෙතමනය ඒකාකාරීව පවත්වා ගැනීමට පිදුරු, කොළ වර්ග ආදිය යොදා පැළ අවට වසුන් කරන්න.


වෛරස් රෝග

ලංකාවේ තක්කාලි වගාවට බලපාන වෛරස් රෝග කිහිපයකි.

- පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය (CMV)
- දුම්කොළ විචිත්‍ර වෛරසය (TMV)
- ටොමැටෝ ස්පොටඩ් විල්ට් වෛරසය (TSWV)
- තක්කාලි කහපැහැ කොළ කොඩවීමේ වෛරසය (TYLCV)
- කර්ලි ටොප් වෛරසය (CT)

 

පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝග ලක්ෂණ (CMV)
ශාක කුරුවීම, පත්‍ර කහවීම, පත්‍ර සිහින්වීම, ගෙඩි කුඩාවීම, අඩුවීම හා ප්‍රමාදවී මේරීම.

බෝවීම
කුඩිත්තන් මඟින් රෝගී ශාකවල යුෂ නිරෝගී ශාකවල තැවරීමෙන් කෘෂි උපකරණවල තැවරීමෙන් බෝවිය හැක.

 

දුම්කොළ විචිත්‍ර වෛරස් රෝග ලක්ෂණ (TMV)

- ශාක කුරුවීම
- පත්‍ර, මීවන පත්‍ර මෙන් සිහින්ව දික්වීම.
- පත්‍ර විචිත්‍රය හා පත්‍ර රැලි ගැසීම.
- ගෙඩි ඉදීම ඒකාකාරව සිදුනොවීම.

 

බෝවීම

- රෝගී ශාකවලින් ලබාගත් බීජ මඟින්
- රෝගී වගාවන්හි පස් හා මුල් මඟින්
- රෝගී ශාක කොටස්වලින්

 

තක්කාලි මැලවීමේ වෛරස් රෝග ලක්ෂණ (TSWV)
- පත්‍රවල තඹ පැහැයක් ඇති වේ.
- ලපටි පත්‍ර මත තද පැල්ලම් හට ගනී.
- අග්‍රස්ථය මියයාම හා ශාක මත ඉරි ඇතිවේ.
- අතු මැලවී කඩා වැටේ. ගෙඩි මත රවුම් පැල්ලම් ඇති වේ.

 

බෝවීම

පැළ මැක්කන් මඟින්, බීජ මඟින් ශාක යුෂ මඟින්.
තක්කාලි කොළ කොඩවීමේ වෛරස්

 

රෝග ලක්ෂණ (TYLCY)

- කඳෙහි අග්‍රස්ථය සෘජුව තිබීම හා පසුව කෙටි වීම.
- පත්‍ර කුඩාවීම
- පත්‍ර උඩට හෝ යටට හැකිලීම.
- වර්ධනය බාලවීම

බෝවීම
සුදු මැස්සා මඟින් බෝවේ. නමුත් බීජ හා ශාක යුෂ මඟින් මෙම රෝගය බෝ නොවේ.


කර්ලිටොප් වෛරස් රෝග ලක්ෂණ (CT)

කුඩා කළ රෝග ශාක වියළී මිය යයි. ශාක කුරු වේ. පත්‍ර නටු පහතට කඩා වැටේ. පත්‍ර උඩ අතට හැකිලේ. පත්‍ර දුඹුරු පැහැවී නාරටි දම් පැහැවේ. ගෙඩි මත දුඹුරු පැහැති පැල්ලම් හටගනී.


බෝවීම
කොළපාට කීඩෑවන් මඟින් බෝවන මෙම රෝගය ශාක යුෂ මඟින් ව්‍යාප්ත නොවේ.


වෛරස් රෝග පාලනය
වෛරස් රෝග වැළඳුන පසු සුව කිරීම සඳහා ප්‍රතිකාර නොමැති බැවින් පැළෑටි කුඩා අවධියේ රෝගය වැළඳීම වලක්වා ගැනීම වැදගත්‍ය. මේ සඳහා ඒකාබද්ධ වෛරස් රෝග පාලන ක්‍රම යොදා ගත යුතුය. මේ සඳහා,

- අලුත් වගාව සිටුවීමට පෙර පැරණි වගාවේ සුන්බුන් පුළුස්සා විනාශ කිරීම.
- පැළ සිටුවීමට පෙර ක්ෂේත්‍රය වටා බඩඉරිඟු වැනි සජීවි කෘමි බාධක වැටක් යෙදීම.
- මිරිස්, පිපිඤ්ඤා වැනි බෝග සමඟ මිශ්‍ර බෝග ලෙස තක්කාලි වගා නොකිරීම.
- කන්නයට හෝ යායක් ලෙස එකවර වගා කිරීම.
- නිරෝගී බීජ භාවිතය.
- බෝග මාරුව.
- වල් සහ වෙනත් ධාරක ශාක විනාශ කිරීම.
- රෝගී ශාකයක් දුටු වහාම ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම
- කෘමි උගුල් භාවිතය - ක්ෂේත්‍රයෙහි තැන තැන වාහක ඇම ලෙස ග්‍රීස් ආලේපකර කහපැහැති පොලිතීන් කැබලි එල්ලීමෙන් වෛරස් වාහකයන් පාලනය කළ හැකිය.

වෛරස් රෝග වාහකයා පාලනය සඳහා බීජ සිටුවීමට පෙර කෲසර් (Thiamethoxam 70% WS) හෝ ගවුචෝ (Imidacloprid 70 WS) මඟින් බීජ ප්‍රතිකාර කිරීම හා තවාන් පැළ සඳහා දෙවරක් කොහොඹ ජලීය නිස්සාරකය යෙදීම සහ ක්ෂේත්‍රයේ සිටවූ පසු දින 7කට වරක් කොහොඹ ජලීය නිස්සාරකය යෙදීම.

තක්කාලි වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු

වැඩි විස්තර හා තාක්ෂණික දායකත්වය

පර්යේෂණ විද්‍යාඥ

ගැටළු සඳහා