කොහිල
                                          
 

උද්භිද විද්‍යාත්මක නාමය ලැසියා ස්පිෙනා්සා (Lasia Spinosa)

කොහිල ජනප්‍රිය එළවළුවකි. කොහිල දළු සහ ''අල '' ජනප්‍රිය හා ගුණදායක ආහාර වේ. කෙඳි ගතිය වැඩි හෙයින් අර්ශස් රෝගීන්ට හා උදරාබාධ වලට එය ගුණදායක වේ. කොහිල වර්‍ග දෙකක් තිබේ.

  1. දේශීය කොහිල: පත්‍රය බොහෝ කන්ඩිකාවලට බෙදී නැත.
  2. රට කොහිල: පත්‍රය බොහෝ කන්ඩිකාවට බෙදී ඇත.


                         



       දේශීය වර්ගයේ වර්‍ධනය සෙමෙන් සිදු වන අතර අස්වැන්න ද අඩුය. ''අල'' මහත් නොවන අතර මාංශල ගතිය ද අඩුය. රට කොහිල, වැඩි වර්‍ධන වේගයක් පෙන්වන අතර අස්වැන්න ද වැඩිය. දේශීය වර්‍ගයට වඩා ''අල'' මහත් වේ. මාංශල ස්වභාවය වැඩිය.කොහිල වගා කළ හැක්කේ නිතර ජලය රඳා පවතින ස්ථානවල පමණි. කොහිල වගුරු බිම් වලට යෝග්‍ය භෝගයක් වේ. මේ නිසා මෙම වගාව සඳහා සෙවණ තිබීම යෝග්‍ය වේ. සෙවණ නොමැති වූ විට පත්‍ර කුඩා වේ.

            ගෙවත්තේ ලිඳ අසල ජලය රඳා පවතින ලෙස ලියද්දක් සකසා කොහිල වගා කිරීම බහුල වශයෙන් සිදුවන අතර, ග්‍රාමීය ප්‍රදේශවල වාණිජ මට්ටමින් ද කොහිල වගා කරනු ලැබේ. ජල සම්පාදනය යටතේ වියළි කළාපයේ ද ඉතා සාර්ථකව කොහිල වගා කළ හැකි වේ. විශේෂයෙන් වියළි කලාපයේ ජලය රඳා පවතින ස්ථාන වල කොහිල මැනවින් වැඩේ.

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා වැඩි වශයෙන් භාවිතා වන්නේ අඟල් 8 -10 ප්‍රමාණයේ අග්‍රස්ථ දඬු කැබලිය. මේවා හඳුන්වනු ලබන්නේ කොහිල කරටි වශයෙනි. කොහිල කඳෙන් හටගන්නා පාර්ශවික අංකුර ද මේරූ පසුව සිටුවීම සඳහා භාවිතා කළ හැකිය. මෙයට අමතරව මඩ සහිත සෙවන ස්ථානයක සකසාගත් පාත්තිවල නොගැඹුරු ලෙස කඳන් කැබලි වැළලීමෙන් අංකුර හටගැනීමට සලසා, සිටුවීම සඳහා යෝග්‍ය අංකුර වැඩි ප්‍රමාණයක් කෙටි කාලයකදී ලබා ගත හැකිය.

බිම් සැකසීම

       

            හොඳින් ජලය ඇති ස්ථානයක ජලය රදා පවතින ලෙස ලියද්ද සකස් කොට බිම පෙරළා පස බුරුල් කොට බිම සිටවනු ලැබේ.මඩ සහිත ස්ථානයක අඟල් 8 - 10 පමණ ගැඹුරට කිහිපවරක් වරින් වර බිම පෙරළා වල් පැළ විනාශ කිරීමට කටයුතු කරන්න. වැඩිපුර ජලය රඳා පවතින ස්ථානවල, සුදුසු පරිදි කානු යොදා ජලය බැසයාමට සලස්වන්න. ඉන්පසු උපරිම වශයෙන් අඩි 5 පමණ පළලකින් යුතු පාත්ති සකසා ගන්න. පාත්තිවල පළල වැඩි වූ විට වල් පැළෑටි පාලනය බෙහෙවින් අපහසු වේ. අවශ්‍ය විටක ජලය බැඳ වල් පැළෑටි පහසුවෙන් පාලනය කිරීමට කටයුතු කළ හැකිය.

සිටුවීම

       

            සිටුවීම සඳහා යොදාගන්නා අංකුර හෝ කරටි කැබලි සෙ.මී. 30×30 (අඩි 1× 1) පරතරයට සිටුවන්න. සිටුවීමේදී දඬු කැබැල්ලේ පර්ව කිහිපයක් පසට යටවීමට වග බලාගන්න.

වල් පැළෑටි පාලනය

            කොහිල වගාවේ ප්‍රධානතම ගැටළුව වන්නේ වල් පැළෑටි පාලනයට ඇති දුෂ්කරතාවයයි. කරටි හෝ අංකුර සිටුවීමෙන් පසු පොළොව වැසී යන පරිදි පිදුරු වැනි වසුනක් යොදන්න. එසේම වගාවේ විවිධ අවස්ථාවලදී ද වරින් වර නැවත මෙසේ වසුන් යෙදීමෙන් පසු අවස්ථාවලදී ඇතිවන වල් පැළෑටි පාලනය කළ හැකිය.

            කොස් මදුලු ගලවා ගැනීමෙන් පසු ගෙඩියේ ඉවත දමන කොටස් (කොස් කටු) යෙදීමෙන් වගාවේ වල් පැළෑටි හට ගැනීම අඩුවන බවත් ගුණාත්මයෙන් වැඩි ''අල'' සහ දළු අස්වැන්නක් ලබාගත හැකි බවත් වගාකරුවන් ගේ අත්දැකීම් වලින් තහවුරු වේ.කොහිල වගාවේ වල් පැළෑටි පාලනය සඳහා රසායනික වල්නාශක නිර්දේශ කර ඇත. එසේ වුවද වගාවට මාස 6 - 8 පමණ වූ අවස්ථාවේදී ඩයියුරෝන් වල් නාශකය යෙදීමෙන් ගිරා පලා හැර සෙසු වල් පැළෑටි විනාශ කළ හැකි බව වගා කරුවන්ගේ මතයයි.

ජල සම්පාදනය

     

වගාව තුළ තෙතමනය පැවතීම අවශ්‍ය වුවත් දිගු කලක් ජලයෙන් යට වී පැවතීම මඟින් වර්ධනය බාල වේ. එනිසා වරින් වර වගාවට ජලය ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතුය.

පොහොර යෙදීම

      

            කාබනික පොහොර යොදයි. වගාව ආරම්භ කිරීමට පෙර දිරාපත් වූ විවිධ කාබනික පොහොර වර්ග හා කොළ පොහොර වැනි දැ පාත්තිවලට යොදා පසට කළවම් කරන්න. මැනවින් කාබනික පොහොර යෙදීමෙන් පසෙහි තෙතමනය ආරක්ෂාවීමටත්, පසෙහි සාරවත් බව වැඩිකර ගැනීමටත් උපකාරී වේ. කාබනික පොහොරක් ලෙස ගොම යෙදීමෙන් වල් පැළෑටි බහුලව හට ගැනීමේ ඉඩකඩක් පවතී.

රසායනික පොහොර

            කාබනික පොහොරට අමතරව කොහිල වගාවට රසායනික පොහොර ද යෙදීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙන බව නිරීක්ෂණය කර තිබේ. එමඟින් වඩා සාර්ථක '' අල'' අස්වැන්නක් මෙන්ම, පෘෂ්ඨිමත් දළු අස්වැන්නක් ද ලබාගත හැකිය. යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය පසෙහි සාරවත් බව අනුව අඩු වැඩි විය හැකිය.

මූලික පොහොර

            කොහිල සිටුවීමට පෙර පහත සඳහන් රසායනික පොහොර ප්‍රමාණය වර්‍ග මීටර් 100 ක වගාවක් සඳහා යොදා පස සමග කළවම් කරන්න.

            යූරියා                           -කි.ග්‍රෑ.1

            සාන්ද්‍ර සුපර් පොස්පේට් -කි.ග්‍රෑ.1 1/2

            මියුරේට් ඔෆ් පොටෑෂ්   -කි.ග්‍රෑ.1

මතුපිට පොහොර

වර්‍ග මීටර් 100 වගාවක් සඳහා පහත සඳහන් පොහොර ප්‍රමාණයන් පහත අවස්ථාවන්හිදී යෙදීම සුදුසුය.

  • සිටුවා සති 4 කට පසු යූරියා කි.ග්‍රෑ. 1 යි.
  • සෑම මාස 6 කට වරක් සාන්ද්‍ර සුපර් පොස්පෙට් කි.ග්‍රෑ. 1 යි.
  • සෑම අස්වැන්න නෙලීමකින් පසු යූරියා කි.ග්‍රෑ. 1/2 යි, මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ. 1/2 යි.

සෙවන සැපයීම

            සෙවනට ලැදි ශාකයක් නිසා තද සූර්යාලෝකය ලැබෙන ස්ථානවල කොහිල වගාකරන විට සෙවන සැපයීමට කටයුතු කිරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

කෘමි හානි

            කොහිල වගාව සඳහා විශාල වශයෙන් හානි කරනු ලබන වැදගත් කෘමි පලිබෝධකයකු මෙතෙක් වාර්තා වී නැත. නමුත් සමහර වගාවන්හි ලපටි දළු ආහාරයට ගන්නා කෘමියෙකු පිළිබඳව නිරීක්ෂණය කර තිබේ. මෙය දරුණු තත්ත්වයකට පත්වුවහොත් මුළු වගාවේම දළු කපා දමා වගාවට අළු ඉසීමෙන් පාලනය කර ගත හැකිය. මෙම කෘමි හානිය වියළි කාලවලදී සහ වගාවේ වල් පැළෑටි ගහණය වැඩි අවස්ථාවලදී වැඩිපුර දක්නට ලැබෙන බව පෙනීගොස් තිබේ. එනිසා වගාව හා එය අවට නිරතුරුව වල් පැළෑටි පාලනය කිරීමට පියවර ගැනීම වැදගත්ය.

රෝග පාලනය

අල කුණුවීමේ සහ පත්‍ර කහවීමේ රෝගය

            ලංකාවේ වැඩි වශයෙන් කොහිල වගා කරනු ලබන මහනුවර, කෑගල්ල, ගම්පහ හා කුරුණෑගල යන දිස්ත්‍රික්ක වල කොහිල වගාවන් තුළ මෙම කොහිල අල කුණුවීමේ හා පත්‍ර කහවීමේ රෝගය දක්නට ලැබේ.

            මෙම රෝගය ඇති වගාවන් දෙස බැලීමේදී වගාවේ තැනින් තැන පත්‍ර කහ පැහැයට හැරුණු කොහිල පඳුරු දැකගත හැකිය. එසේ පත්‍ර කහ පැහැ වූ කොහිල පඳුරු වල කොහිල අලය පරීක්ෂා කිරීමේදී කොහිල අලයේ තැනින් තැන ඇතුලට ගිළුණු කළු පැහැති කුණුවීම් දැකගත හැකිය. මෙම රෝගී තත්ත්වයේදී පළමුවෙන්ම කොහිල අලය කුණුවීම සිදු වේ. එබැවින් පෝෂක හා ජලය ගසේ ඉහළ කොටස් වෙත ගමන් කිරීම දුර්වල වන බැවින් කොහිල පත්‍ර කහ පැහැවීමත්, එම පත්‍ර, පුල්ලි රෝග වලට ගොදුරුවීමත් සිදු වේ. මෙවැනි රෝගී කොහිල පඳුරු දැකගත හැක්කේ ජලයෙන් යටවී ඇති ලියැදි වල ඇති ජලයෙන් උඩට මතුවන ස්ථාන වලය.

            කොහිල අල කුණුවීමේ රෝගය, ඇතිකරනු ලබන්නේ රයිසොක්ටෝනියා සොලනයි හා ෆියුසේරියම් විශේෂයට අයත් දිලීර වර්‍ග මඟිනි. එසේම පත්‍ර පුල්ලි රෝගය ද මෙම දිලීර ආකාර දෙක මඟින්ම ඇති වන බව හඳුනාගෙන තිබේ.

රෝග පාලනය

  • කොහිල වගා කිරීම සඳහා බිම් සකස් කිරීමේදී පස හොඳින් මට්ටම් කර ජලය සෑම තැනකම ඒකාකාරීව රැදෙන ලෙස සකසා ගන්න.
  • දඬු කැබලි සිටුවීමට පෙර හෝමායි හෝ තිරාම් යන දිලීර නාශකයක විනාඩි 20 ක් පමණ ගිල්වා තබා පූර්ව ප්‍රතිකාර කර, කොහිල දඬු සිටුවන්න.
  • දඬු සිටුවීමට පෙර අළුහුණු (වර්‍ග මීටරයට අළුහුණු ග්‍රෑම් 100 ක්, 200 ක් පමණ) හා අර්ධ ලෙස පිළිස්සු දහයියා යොදන්න.
  • රෝගී කොහිල පඳුරු දක්නට ලැබුණ වහාම ඒවා ක්ෂේත්‍රයෙන් ඉවත් කර ලියද්දේ ජලය කඩාහැර හෝමායි හෝ තිරාම් යන දිලීර නාශක දෙකෙන් එකකින් රෝගී ගස් අවට පස හොඳින් තෙමී යන ලෙස මල් බාල්දියකින් යොදන්න. දින 2 කට පසුව ලියැදි සඳහා නැවත වතුර බැඳීම සිදුකළ හැකිය.

අස්වැන්න නෙලීම

           

            කොහිල සිටුවා මාස 8-12 ක පමණ කාලයක් ගත වූ පසු දළු අස්වැන්න ලබා ගත හැකි වේ. ඉන්පසු සති 5-6 ට වරක් බැඟින් දළු නෙලිය හැකිය. අවුරුදු 2 ට වරක් අල අස්වැන්න ලබා ගත හැකි වේ. එක් කොහිල ගසකින් එක් වරක් දළු නෙලා ගැනීමෙන් පසුව නැවත දළු නෙලා ගැනීම සඳහා දින 14 ක් පමණ ගතවේ. හටගන්නා සියළුම දළු නෙලා ගැනීමෙන් ගසෙහි වර්ධනය දුර්වල වේ. එනිසා වරක් දල්ලක් නෙලාගත් පසු ගසෙහි නඩත්තුව සඳහා ඊලඟ දල්ල පත්‍රයක් ලෙස වැඩීමට ඉඩ හැරීම කළ යුතුය.

            දළු නෙලා ගැනීමේදී ඊළඟ පත්‍ර අංකුරයට හානි නොවන පරිදි කඳට අඟල් 2 - 3 පමණ ඉහළින් නෙලා ගන්න. මේරීමට පෙර දළු නෙලා ගැනීමෙන් අලෙවිය පහසු වේ. නෙලාගත් දළු මිටි වශයෙන් බැඳ වෙළඳපොල වෙත ඉදිරිපත් කෙරේ. දළුවල කැපුම් පෘෂ්ඨය ජලයේ ගිල්වා සෙවන සහිත ස්ථානයක තැබීමෙන් දින 3 - 4 පමණ කාලයක් සාර්ථකව ගබඩා කර තබා ගත හැකිය.

            අල අස්වැන්න නෙලාගත හැකි වන්නේ වගාවට වසර දෙකක් පමණ ගත වූ පසුවය. අල නෙලා ගැනීමෙන් පසුව කටු ඉවත් කළ යුතුය. මෙය ශ්‍රමය වැඩිපුර අවශ්‍යවන තරමක් අපහසු කාර්යයකි. මෙලෙස සකසාගත් අල වරින්වර ජලය ඉසීම මඟින් දින කිහිපයක් සාර්ථකව තබාගත හැකිය.

අස්වැන්න

වර්‍ග මීටර් 50 පමණ වගාවකින් කි.ග්‍රෑ. 2,000 - 2,500 පමණ ''අල'' අස්වැන්නක් ද, වරකට දළු මිටි 150 පමණ අස්වැන්නක් ද ලබාගත හැකිය.