කතුරු මුරුංගා





උද්භිද විද්‍යාත්මක නාමය - සෙස්බෙනියා ග්‍රැන්ඩිෆ්ලෝරා (Sesbania grandiflora)
කුලය - ෆැබේසියේ (Fabaceae)

රනිල කුලයට අයත් කතුරු මුරුංගා අතීතයේ පටන් ආහාරයට ගන්නා ලද වටිනා ඖෂධීය පළා වර්ගයකි. මුඛය දෙපස පැළීම, දිවේ වේදනාකාරී උෂ්ණ ගෙඩි හට ගැනීම හා බඩ වියළීම වලකාලීමට මෙය ප්‍රත්‍යක්ෂ වේ. ආයුර්වේදයේ දැක්වෙන කතුරු මුරුංගා වල ගුණ පිළිබඳව පසු පිටක සඳහන් කර ඇත. පහසුවෙන් වගා කළ හැකි ගුණදායක පලා වර්ගයක් බැවින් ද, කෘෂි රසායනික යෙදීම අනවශ්‍ය ප්‍රණීත පලාවක් ලෙස පිළියෙල කරගත හැකි බැවින් ද. සෑම ගෙවත්තකම කතුරු මුරුංගා එක් පැළයක් හෝ වගා කර ගැනීම ඉතා ප්‍රයේජනවත් වේ.සුදු මල් සහිත, රතු මල් සහිත හා ඉතා අඩුවෙන් මල් හට ගන්නා යනුවෙන් කතුරු මුරුංගා වර්‍ග 03 ක් තිබේ. කලාතුරකින් මල් හට ගන්නා කතුරු මුරුංගා වර්ගය ''හරිත'' වශයෙන් නම් කර තිබේ. බහුලව මල් හට ගන්නා දෙවර්ගයේම කොළ සහ මල් ආහාරයට ගත හැකිය. සුදු මල් සහිත වර්ගය වඩා ජනප්‍රිය වේ.


කතුරු මුරුංගා වර්‍ග දෙවර්ගයකි
.

  • හරිත වර්ගය
  • සාමාන්‍ය වර්ගය


රෝපණ ද්‍රව්‍ය

බීජ මඟින් ප්‍රචාරණය කරනු ලැබේ.බීජ ලබාගත යුත්තේ මෝරා කහ ගැසී වියලුණු අළුත්ම කරල් වලින්ය. වියළි කල්ගතවු කරල් ද ගසේම රැඳි පවතින නමුත් ඒවායේ බීජ වල ප්‍රරෝහණ ශක්තියක් නැති තරම්ය. තෙමී ගිය කරල්වල බීජ ද රෝපණය සඳහා සුදුසු නැත. බීජ වල ජීව්‍යතාවය ඉක්මනින් අහෝසි වන බැවින් බීජ, කරලින් වෙන්කර ගත යුත්තේ රෝපණය කරන අවස්ථාවේදීය.ඉතා අඩුවෙන් මල් හට ගන්නා “හරිත“ වර්‍ගය. දඬු කැබලි මගින් ප්‍රචාරණය කර ගනු ලැබේ.


පැළ සකස් කිරිම


බීජ වලින් පැළ නිපදවා ගැනීම සඳහා ලොකුවට කපා ගත් කුට්ටි සහිත තවාන්, පොලිතීන් බෑග්, කඩදාසි බෑග් හා වෙනත් බඳුන් යොදාගත හැකිය.වැඩිපුර බීජ යොදා පැළවු එකක් ඉතුරු කොට වැඩි පැළ ගලවා දැමිය යුතුය. බීජ ප්‍රරෝහණය වනතුරු දිනපතා ජල සම්පාදනය කළ යුතු වේ. ඉන්පසු කාළගුණය අනුව දින දෙක තුනකට වරක් ජල සම්පාදනය කිරීම යෝග්‍ය වේ. තවානේ පැළ ක්ෂේත්‍රයේ සිටුවීමට පෙර සූර්ය්‍ය රශ්මියට ඔරොත්තු දෙන සේ දැඩි කරගත යුතු බැවින් ක්‍රම ක්‍රමයෙන් තද සූර්ය්‍යා ලෝකයට නිරාවරණය කළ යුතුය. සෙ.මි. 15-20 ක් පමණ උස් වූ පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යෝග්‍ය වේ.පැන්සලක ප්‍රමාණයේ අළුත් අතුවල පොතුවලයක් ඉවත් කොට ඒ වටා තෙත් කළ කොහුබත් තබා ලේයර් කිරීමෙන් (අතු බැදිමෙන්) ද සති 3-4 ක දී පමණ එය ගසින් වෙන් කොට බඳුන් ගත කොට තබා රෝපණය සඳහා සකස් කර ගත හැකි වේ.


ක්ෂේත්‍රයේ සිටුවීම




බඳුන් ගත කරන ලද හෝ කුට්ටි තවාන් වල සාදාගන්නා ලද පැළ හෝ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගන්න. සෙ.මි. 45×45×45 පමණට සකසන ලද වළවල් වලට කොම්පොස්ට්, ගොම ආදී පොහොර සමඟ මතුපිට පස් කලවම් කොට යොදා ඒ මත පැළ රෝපණය කරන්න.පැළ රෝපණය කිරීමට පෙර ඒවා දින කිහිපයක් හිරු එළියට නිරාවරණය කොට දැඩි කර ගත යුතුය. තවානකින් ගලවා ගන්නා ලද පැළ හෝ රෝපණය කරන අවස්ථාවේදී බඳුන් වල පස් බුරුල් වු පැළ දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ටික දිනක් ගත වනතුරු දහවල් කාලයේදී ආවරණය කොට තැබීම සුදුසුය. වියළි දේශගුණයක් පවතින කාලයකදී රෝපණය කරන්නේ නම් වසුන් යෙදීම වැදගත්ය. සිටුවන අවස්ථාවේදී හොඳින් පස් තද කිරීම වැදගත් වේ. පස් බුරුල්ව තැබු විට ජල අවශෝෂණයට බාධා වී ශාකය මැලවීමට ඉඩ ඇත. හිරු එළිය ප්‍රියකරන කතුරු මුරුංගා සෙවණ සහිත ස්ථානවල සිටුවීමෙන් සාර්ථක වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. සුළං අධික වේ නම් හා පැළ උසට වැඩී ඇත්නම් ආධාරකයක් සිටුවන්න. මීටර් 2×2 පමණ පරතරයකට පැළ සිටුවීම සුදුසුය බඳුන් ගත කරන ලද හෝ කුට්ටි තවාන් වල සාදාගන්නා ලද පැළ හෝ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගන්න.

සෙ.මි. 45×45×45 පමණට සකසන ලද වළවල් වලට කොම්පොස්ට්, ගොම ආදී පොහොර සමඟ මතුපිට පස් කලවම් කොට යොදා ඒ මත පැළ රෝපණය කරන්න.පැළ රෝපණය කිරීමට පෙර ඒවා දින කිහිපයක් හිරු එළියට නිරාවරණය කොට දැඩි කර ගත යුතුය. තවානකින් ගලවා ගන්නා ලද පැළ හෝ රෝපණය කරන අවස්ථාවේදී බඳුන් වල පස් බුරුල් වු පැළ දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ටික දිනක් ගත වනතුරු දහවල් කාලයේදී ආවරණය කොට තැබීම සුදුසුය. වියළි දේශගුණයක් පවතින කාලයකදී රෝපණය කරන්නේ නම් වසුන් යෙදීම වැදගත්ය. සිටුවන අවස්ථාවේදී හොඳින් පස් තද කිරීම වැදගත් වේ. පස් බුරුල්ව තැබු විට ජල අවශෝෂණයට බාධා වී ශාකය මැලවීමට ඉඩ හිරු එළිය ප්‍රියකරන කතුරු මුරුංගා සෙවණ සහිත ස්ථානවල සිටුවීමෙන් සාර්ථක වර්ධනයක් අපේක්ෂා කළ නොහැකිය. සුළං අධික වේ නම් හා පැළ උසට වැඩී ඇත්නම් ආධාරකයක් සිටුවන්න. මීටර් 2×2 පමණ පරතරයකට පැළ සිටුවීම සුදුසු බඳුන් ගත කරන ලද හෝ කුට්ටි තවාන් වල සාදාගන්නා ලද පැළ හෝ ක්ෂේත්‍රයේ සිටුවීම සඳහා යොදා ගන්න.

පොහොර භාවිතය


ක්ෂේත්‍රයේ රෝපණය කරන අවස්ථාවේදී හා මාස 5-6 කට වරක්, හැකිතාක් දුරට ගොම, කොම්පොස්ට් පොහොර, කුකුල් පොහොර ආදි ඓන්ද්‍රිය පොහොර යෙදීම ඉතා සුදුසුය. කතුරු මුරුංගා මුල් වල මූල ගැටිති බැක්ටීරියා ජීවත් වන බැවින් ඒවා මඟින් තිර කරනු ලබන නයිට්‍රජන්, ගසට අවශෝෂණය වේ. උෂ්ණත්වය වැඩි ප්‍රදේශවලදී ඓන්ද්‍රිය පොහොර යෙදීමෙන් අස්වැන්න වැඩි කර ගත හැකි වේ. මේ හැර දැව අළු ආදිය යෙදීම ද සුදුසුය. කතුරු මුරුංගා සඳහා රසායනික පොහොර නිර්දේශයක් එළි දක්වා නොමැත. ඓන්ද්‍රිය පොහොර යෙදීමෙන් හා වියළි කාලගුණයක් පවතින අවස්ථාවේදී ජල සම්පාදනය කිරීමෙන් සරු කොළ අස්වැන්නක් ලබාගත හැකි වේ.පැළ අවස්ථාවේදී වර්‍ධනය දුර්‍වල නම් යූරීයා ස්වල්පයක් යෙදීමෙන් වර්‍ධනය වේගවත් කර ගත හැකිය.

අස්වැන්න නෙළීම


සිටුවා මාස 8 ක් පමණ ගත වූ පසු කොළ අස්වැන්න ද, වසරකට පමණ පසු මල් අස්වැන්න ද ලබා ගත හැකිය. කොළ පමණක් අස්වැන්න ලෙස ලබා ගැනීමට අදහස් කරන්නේ නම් මල් කිණිති ඉතා කුඩා අවස්ථාවේදීම (නියපොත්තට හසුවන තරම් අවස්ථාව) ඉවත් කිරීමෙන් කොළදාව සරු කර ගත හැක. වරින් වර කප්පාදු කිරීමෙන් ද කොළදාව සරු කර ගත හැකිය. වෙළඳපොළට යැවීම සඳහා උදය කාලයේදී, එනම් කොළවල මැනවින් ජලය අඩංගු වී ඇති අවස්ථාවේදී අස්වැන්න නෙළීම වඩා යෝග්‍ය වේ.

කප්පාදු කිරීම



කතුරු මුරුංගා බහු වාර්ෂික භෝගයක් බැවින් නඩත්තු කිරීමේ සාර්ථකත්වය මත වසර තුනකට වැඩි කාලයක් ශාකය පවත්වා ගත හැකිය. කප්පාදු කිරීමෙන් තොරව වැඩීමට ඉඩ හැරියහොත් සමහර අවස්ථාවලදී මීටර් 6 ක් ඉක්මවා ශාකය වැඩේ. එවැනි උස ගස් වලින් මල් හා කොළ නෙළා ගැනීම අපහසුය. උසට වැඩිම නිසා ගසේ ආයූ කාලය කෙටි වේ. එම නිසා කතුරු මුරුංගා ගස් කප්පාදු කිරීම අත්‍යාවශ්‍ය වේ. කප්පාදු කොට ජල සම්පාදනය කිරීමෙන් මල් හට ගැනීම අඩු වේ. වැඩිපුර කොළ හට ගනී.

ගස මීටරයක් පමණ උසට වැඩුණු පසු අග්‍රස්ථ අංකුරය කඩා දැමිය යුතුය. එවිට පාර්ශවික අතු වැඩීම ආරම්භ වේ. එමඟින් විවිධ දිසාවන්ට මුහුණලා සිටින සේ අතු 3 - 4 ක් ඉතුරු කොට සෙසු ඒවා ඉවත් කළ යුතුය. මෙම පාර්ශවික අතු මීටර් 1 - 1 1/2 ක් පමණ උස් වූ පසු නැවත මුදුන් කප්පාදු කළ යුතු වේ. එම ස්ථානවලින් මතුවන රිකිළි මල් හට ගැනීමට පෙර කපා කොළ අස්වැන්න ලෙස ප්‍රයෝජනයට ගත හැකි වේ. කල් යෑමේ දී මෙම කප්පාදු කළ ස්ථානය ගැටයක් මෙන් සකස් වේ. සමහරු කතුරු මුරුංගා ගස් මීටර් 1 1/2 ක් පමණ උස් වන සේ කප්පාදු කොට පහසුවෙන් අස්වනු නෙළාගත හැකි වන පරිදි සකස් කර ගනී. අස්වැන්න නෙළීමෙන් පසු ඓන්ද්‍රිය පොහොර යෙදීම සුදුසුය. යූරියා ස්වල්පයක් මිශ්‍ර කිරීමෙන් නැවත දළු ලෑම කඩිනම් වේ. කප්පාදු කිරීමේදී හා අස්වැන්න නෙළීමේදී තිබෙන සියළුම අතු රිකිලි (කොළ සහිත) ඉවත් කිරීම සුදුසු නැත.

කෘමි හා රෝග පාලනය


පැළ කුඩා අවස්ථාවේදී ගොළුබෙල්ලන්ගේ හා කොළ කන දළඹුවන්ගේ හානිය ඇති විය හැකිය. මෙම කෘමීන් අතින් අහුලා ඉවත් කිරීමට හෝ අළු යොදා පාලනය කිරීමට හෝ පුළුවන. පැළය තරමක් වර්ධනය වන තෙක් කොළ ආහාරයට ගනු ලබන දළඹුවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම බෙහෙවින් වැදගත් වේ.

වියළි කාලයේ දී පිටි පුස් රෝගය වැළඳිය හැකිය. එවැනි අවස්ථාවල කොළ ආහාරයට ගැනීම අපහසු බැවින් කප්පාදු කොට ඉවත් කිරීම සුදුසුය. ජල වහනය දුර්‍වල වූ විට වර්‍ධනය බාල වේ. පත්‍ර හැලී ශාකය මිය යයි. පාමුල කුණුවීමට ද ඉඩ ඇත.

ආහාරයට ගැනීම

තල තෙල්, පොල් තෙල් හෝ වෙනත් තෙලක් භාවිතා කොට ගැඹුරු තෙලේ බැදගත් කතුරු මුරුංගා කොළ ආහාර රුචිය වැඩි කරන රසවත් බැඳුමකි. නොමේරූ කතුරු මුරුංගා කොළ වලින් ද, වෙනත් කොළ වලින් මෙන් රසවත් සම්බෝලයක් සාදා ගත හැකිය. කොළ, කිරි හොදි සමඟ තම්බාගෙන හෝ මැල්ලුම් වශයෙන් හෝ ආහාරයට ගත හැකිය. කතුරු මුරුංගා මල්, තෙලෙන් බැඳ හෝ ව්‍යාංජනයක් ලෙස සකසා ආහාරයට ගත හැකිය. බිත්තර ඔම්ලට් සකස් කිරීමේදී මල් එකතු කොට රසවත් කර ගත හැකිය. මල් පෙති, දිය කර ගත් පිටි වල ගිල්වා තෙලෙන් බැද ගත් විට රසවත් ආහාරයක් වේ. අතින් කැබලිවලට කැඩිය හැකි තරමට මේරු කතුරු මුරුංගා කරල්, උණුදියෙන් තම්බා, අනතුරුව වෙනත් ව්‍යාංජන ආකාරයට පිසගත් කල රසවත් ආහාරයකි.