මුකුණුවැන්න



උද්භිද විද්‍යාත්මක නාමය - ඔල්ටනැන්තෙරා සෙසිලිස් (Alternanthera sessilis)
කුලය -

වාණිජ මට්ටමින් නිෂ්පාදනය කොට වෙළඳපොළේ අලෙවි කරනු ලබන ප්‍රධානතම කොළ එළවළු වර්‍ගය මුකුණුවැන්න වේ. එය ජනප්‍රිය රසවත් පලාවකි. එහි, බහුල වශයෙන් විටමින්, කැල්සියම් සහ යකඩ අඩංගුව ඇත. මුකුණුවැන්න, වෙළඳපොළේ අලෙවි වන ප්‍රධාන පලා වර්‍ගය වීමට පහත සඳහන් කරුණු හේතු වන බව පෙනේ.

  • රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම පහසුවීම.
  • ජනප්‍රිය, පෝෂ්‍යදායි එළවළුවක් වීම හා එයටම ආවේනික වු රසයක් තිබීම. මැල්ලුමක් ලෙස පිළියෙල කර ගැනීමට ඉතා යෝග්‍ය වීම.
  • ප්‍රවාහනයේදී සිදු වන හානි අඩු වීම.
  • ඉතා පහසුවෙන් වගා කළ හැකි වීම.
  • වගාව පිහිටුවීම සහ නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් වැය නොවීම.
  • වගාව පිහිටුවා වසර 2 ක් පමණ අඛණ්ඩව (මාස්පතා) අස්වනු නෙළිය හැකි වීම.
  • අක්කරයක වගාවකින් වසරකදී විශාල ආදායමක් ලබා ගත හැකි වීම.

දේශගුණික අවශ්‍යතා

පහතරට තෙත් කලාපය වගාව සඳහා වඩාත් සුදුසුය. වසර පුරාම ජලය සැපයිය හැකි නම් වෙනත් ඕනෑම ප්‍රදේශයක වුව ද පහසුවෙන් මුකුණුවැන්න වගා කළ හැකි වේ

විටමින්, කැල්සියම් අඩංගු වාණිජ වගාවක් ලෙස ව්‍යාප්ත වු කොළ එළවළුවකි. පහතරට තෙත් කලාපය වගාවට සුදුසුය.

වර්‍ග



වර්‍ධන විලාශය අනුව මුකුණුවැන්න වැල් සහ පඳුරු වශයෙන් ප්‍රධාන ආකාර දෙකකට වෙන් කළ හැකි වේ.

  • වැල් ආකාර
  • පඳුරු ආකාර

වැල් ආකාරය

වාණිජ මට්ටමින් වගා කරනු ලබන්නේ මෙම ආකාරයයි. මේවා පත්‍ර වල හැඩය, කඳේ වර්‍ණය ආදී ලක්ෂණ අනුව වර්‍ග කිහිපයකට වෙන් කළ හැකි වේ.

  • පිලියන්දල වර්ගය(අන්ඩාකාර පත්‍ර සහිත ලා කොළ පැහැති කඳ)
  • ඇරැව්වාවල වර්ගය(අන්ඩාකාර පත්‍ර දුඹුරුහා කොළ පාට මිශ්‍ර කඳ)
  • වෙද මුකුණුවැන්න වර්ගය
  • කොළඹ වර්ගය(ලන්සාකාර පත්‍ර හා කොළ හෝ දුඹුරු කඳ)



අණ්ඩාකාර පත්‍ර හා ලා කොළ පැහැති කඳ සහිත වර්‍ගය. (පිළියන්දල වර්‍ගය)


පිළියන්දල වර්‍ගය නමින් කෘෂිකර්‍ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති මෙය, මල් මුකුණුවැන්න ලෙස ද හඳුන්වනු ලබයි. මෙම වර්‍ගයේ පර්ව කෙටි වන නිසා මිටියක ඇති පත්‍ර ප්‍රමාණය වැඩිය. ඉතාමත් ජනප්‍රිය වර්‍ගය නිසා මේ සඳහා වෙළඳපොළේ වැඩි මිලක් ලැබේ.

අණ්ඩාකාර පත්‍ර සහ දුඹුරු හා කොළ පාට මිශ්‍ර කඳ සහිත වර්‍ගය.


මෙම වර්‍ගයේ කඳේ වර්‍ණය වෙනස් වන සුළුය. එය දුඹුරු හා කොළ පාට මිශ්‍රව ද, දුඹුරු හෝ කොළ පාට පමණක් ද විය හැකිය. මෙම වර්‍ගයේ ද පර්ව කෙටිය. පන්නිපිටිය, ඇරැව්වල ප්‍රදේශවල මෙම වර්‍ගය බහුලව වගා කරනු ලැබේ.

දිගටි අණ්ඩාකාර පත්‍ර හා දුඹුරු හෝ කොළ පැහැති කඳ සහිත වර්‍ගය.




මෙම වර්‍ගයේ පත්‍ර විශාල දිගටි ස්වභාවයක් ගනී. කඳ දුඹුරු හෝ කොළ පාට විය හැකිය. පර්ව දිගය. මිටියක ඇති දඬු ප්‍රමාණය සාපේක්ෂව වැඩිය. වෙළඳපොළේ වැඩි වශයෙන් දක්නට ඇති වර්‍ගය මෙයයි.

ලන්සාකාර පත්‍ර හා කොළ හෝ දුඹුරු කඳ සහිත වර්‍ගය.



පත්‍ර, සිහින් දිගටි ස්වභාවයක් ගනී. කඳේ පර්ව දිගය. වෙද මුකුණුවැන්න වශයෙන් ද මෙම වර්‍ගය හඳුන්වනු ලැබේ.

පඳුරු ආකාරය



පඳුරු ආකාරයේ මුකුණුවැන්න විවිධ වර්‍ණ වලින් යුක්ත වේ. රතු, කොළ කහ හා මිශ්‍ර පාටැති මේවා වැඩි වශයෙන් විසිතුරු පැළෑටි ලෙස වගා කරනු ලැබේ. මෙම වර්‍ග අතුරින් කොළ පැහැති වර්‍ගය ආහාරයට සුදුසු බව පෙනේ. මේ හැර ඉතා විශාල කොළ සහිත රට මුකුණුවැන්න යනුවෙන් ව්‍යවහාරික වර්‍ග කිහිපයක් ද තිබේ. ඒවායේ අස්වැන්න අධික වුවත් රසයෙන් අඩු නිසා ජනප්‍රියතාවය ද අඩුය.අලංකාරය සඳහා භාවිතා කරයි.

පස

පස නිතරම තෙත්ව තිබීම සුදුසු නමුත් ජලය රඳා පැවතීම සුදුසු නොවේ. ඒ අනුව ජලවහනය හොඳින් වන පහත් බිම් (කුඹුරු ඉඩම්) වගාව සඳහා යෝග්‍යය. නිතර ජලය සැපයීමට හැකි උස් බිම් වල ද වගා කළ හැකිය. පී.එච්. අගය 6.00 - 7.00 අතර වු ඉතා සුළු වශයෙන් ආම්ලික වු පසක් මුකුණුවැන්න වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ. වාරිමාර්‍ග පහසුකම් නොමැති අවස්ථාවලදී වගාව ආරම්භ කිරීම සඳහා වර්‍ෂා කාලයක් තෝරා ගැනීම සුදුසුය.

පොහොර යෙදීම

කාබනික පොහොර ලෙස ගොම පොහොර හා කුකුල් පොහොර යොදයි. ප්‍රධාන ලෙස කුකුල් පොහොර යොදයි.මේ මගින් වටපනු හානිය වලක්වා ගනී. දැනට කරන ලද අධ්‍යයන වලට අනුව දිගු කාලයක් කොළ එළවළු වගා කරනු ලබන ක්ෂේත්‍ර වල පොස්පරස් මූල ද්‍රව්‍යය අධික ලෙස තැන්පත් වී ඇති බව පෙනි ගොස් ඇත. එබැවින් පස් සාම්පල පරීක්ෂා කර එම විශ්ලේෂණ තොරතුරු පදනම් කරගෙන පොහොර යෙදීම වැදගත් වේ.

කාබනික පොහොර

කාබනික පොහොර වශයෙන් වාණිජ මට්ටමේ වගාවේ දී බහුල වශයෙන් කුකුල් පොහොර භාවිතා කරනු ලැබේ. ගොම පොහොර භාවිතා කිරීමේදී වල් පැළෑටි බෝ විය හැකි නිසා ගොවීහු ඊට කැමැත්තක් නොදක්වති. කුකුල් පොහොර භාවිතා කිරීමෙන් වටපණු හානිය ද අඩු වේ. කුකුල් පොහොර වලින් ඇමෝනියා වායුව නික්මී පත්‍ර වලට හානි විය හැකිය. එබැවින් කුකුල් පොහොර යෙදු සැනින් ජලය එකතු කළ යුතු වේ. හෙක්ටයාරයකට කාබනික පොහොර ටොන් 10 ක් පමණ යෙදීම අවශ්‍ය වේ. කුකුල් පොහොර යෙදීමේදී මාස 4 - 6 කට වතාවක් බැඟින් යෙදීම වැදගත් වේ.

රසායනික පොහොර

වැඩි අස්වැන්නක් ලබා ගැනීමට කාබනික පොහොර වලට අමතරව රසායනික පොහොර ද යෙදිය යුතුය. ඒවා පහත දැක්වෙන පරිදි මූලික හා මතුපිට පොහොර ලෙස යොදනු ලැබේ. වර්‍ග මීටර් 1000 ක බිම් ප්‍රමාණයක් සඳහා යෙදිය යුතු ප්‍රමාණ පහත සඳහන් කර ඇති අතර, ඒ අනුව වගාවේ ප්‍රමාණයට යෙදිය යුතු පොහොර ප්‍රමාණ ගණනය කර ගත යුතු වේ.

වර්ග මීටර් 1000 (අක්කර 1/4 ක) බිම් ප්‍රමාණයකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය.


මූලික පොහොර

දඬු සිටුවීමට හෝ වැපිරීමට දින 1-2 ට පෙර,

යූරියා - කි.ග්‍රෑ. 9.0

සාන්ද්‍ර සුපර් පොස්පේට් - කි.ග්‍රෑ. 13.5

මියුරියේට් ඔෆ් පොටෑෂ් - කි.ග්‍රෑ. 10.0

මතුපිට පොහොර

  1. පළමුව අස්වැන්න නෙලා දින 2-3 කට පසුව යූරියා කි.ග්‍රෑ. 9 ක්ද
  2. දෙවන අස්වැන්න නෙලීමෙන් පසුව හා ඊළඟ සෑම අස්වනු නෙලීමකටම පසුව යූරියා කි.ග්‍රෑ. 5.5, මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑ. 1.5
  3. සෑම මාස 6 කට වරක් සාන්ද්‍ර සුපර් පොස්පේට් කි.ග්‍රෑ. 6.5 ක් බැගින් යෙදිය යුතු වේ.

මතුපිට පොහොර ඉසිමෙන් පසු පත්‍ර හොඳින් සේදී යන සේ ජලය යොදන්න.

රෝපණ ද්‍රව්‍ය

දඬු කැබලි මඟින් ප්‍රචාරණය කරනු ලැබේ. සෙ.මී. 10 හෝ 12 හෝ ඊටත් වඩා දිග දඬු කැබලි, සිටුවීම හෝ වැපිරීම සඳහා යොදා ගත හැකිය. ස්වභාවික තත්ත්ව යටතේ බීජ මඟින් ද ප්‍රචාරණය වේ. නමුත් එම පැළ වල වර්‍ග පරිශුද්ධතාවයක් අපේක්ෂා කළ නොහැකිය.

බිම් සැකසීම

මුකුණුවැන්න සිටුවීම සඳහා උස් බිම් (ගොඩ) හෝ පහත් බිම් (කුඹුරු) යොදා ගනු ලැබේ. තෝරා ගත් ස්ථානයකට අනුව සුදුසු පරිදි බිම් සකස් කොට වගාව පිහිටු විය යුතුය.



පහත් බිම් (කුඹුරු) වල වගා කිරීම




බිම් පෙරළා වල් පැළෑටි දිරාපත්වීමට ඉඩ හරිනු ලැබේ. පසුව, ලියදි ජලයෙන් පුරවා කැට පොඩි කොට බිම සමතලා කළ යුතුය. වැඩිපුර ජලය බැස යාම සඳහා කුඩා නොගැඹුරු කානු සකස් කිරීම අවශ්‍ය වේ. මෙසේ සකස් කළ බිමේ මුකුණුවැන්න දඬු වැපීරීමට හෝ සිටුවීම කළ හැකි වේ.

වැපිරීම

ලියද්දේ ජලය ඉවත් කරන්න. මඩ වියළීමට පෙර කුඩාවට කපන ලද මුකුණුවැන්න දඬු කැබලි තුනී තට්ටුවක් ලෙස ලියද්ද පුරාම විසුරුවා හරින්න. දඬු යන්තමින් පසට යටවන සේ උදැල්ලෙන් හෝ අත් පෝරුවකින් වැපිරූ දඬු තට්ටුව සෙමින් තද කරන්න. නැතිනම්, යන්තමින් වැසෙන සේ පස් තට්ටුවක් ඉසින්න. ඉන් පසු, වියළි දේශගුණයක් පවති නම් දින 3 - 4 ක් පොල් අතු වලින් ආවරණය කර තබන්න.

උස්බිම් වල වගා කිරීම



බිම් පෙරළා කැට පොඩි කරගත් බිමෙහි, සුදුසු ප්‍රමාණයේ ලියදි (ගිල්වු පාත්ති) සකස් කර ගන්න. ලියදි ක්‍රමය නිසා ජලය සැපයීම සඳහා කුඩා කානු කීපයක් ලියදි වටා සහ මැදින් සකසා ගන්න. මෙසේ සකස් කර ගත් බිම, දඬු සිටුවීම සඳහා සුදුසුය.

සිටුවීම


නියමිත පරතරයකට අනුව හෝ අහඹු ලෙස එක තැනක එක දණ්ඩ බැගින් සිටුවන්න. පේළි දෙකක් අතර පරතරය සෙ.මී. 20 ක් හා පේළි තුළ දඬු දෙකක් අතර සෙ.මී. 10 ක පමණ පරතරයක් ඇතිව සිටුවීම සුදුසුය. දඬු සිටුවීමෙන් පසුව දින 3 - 4 ක් පොල් අතු වලින් ආවරණය කර තබන්න. අවශ්‍ය පරිදි දිනපතා ජලය සපයන්න.


ජලය සැපයීම



මුකුණුවැන්න දඬු සිට වු දින සිටම නොකඩවා පසේ මතුපිට තට්ටුව තෙත්ව සිටින සේ ජලය සැපයිය යුතුය. අවශ්‍ය පමණට වඩා ජලය නොයෙදීමට ප්‍රවේශම් වන්න. මතුපිට ඉසීමෙන් හෝ පාත්ති වලට ගලායාමට සැලැස්වීමෙන් ජලය සැපයීමට පුළුවන. පහත් බිම් වල තෙතමනය රඳා පවතින නිසා නිතරම ජලය සැපයීම අවශ්‍ය නොවේ. උස්බිම් වගාවන් සඳහා නිතර ජලය සැපයීමට සිදු වේ.

මුකුණුවැන්න වගාව, සුළු කාලයක් තුළ ජලය රඳා පවතින තත්වයකට තරමක් දුරට ඔරොත්තු දෙන නමුත් වැඩි කාලයක් ජලය රඳා පැවතීම වගාවට අහිතකර වේ.

වල් මර්දනය



බිම් සැකසීමේදී හැකිතාක් දුරට වල් මර්දනය කර ගත යුතුය. දඬු සිටුවීමෙන් හෝ වැපිරීමෙන් පසු ක්ෂේත්‍රයේ වැඩෙන වල් පැළෑටි ගලවා ඉවත් කළ යුතු වේ. ක්ෂේත්‍රයේ බෝගය පවතින තාක් වරින් වර වල් පැළෑටි ගලවා පිරිසිදුව තබා ගත යුතු වේ.

රෝග

දුඹුරු පුල්ලි රෝගය


සර්කස්පෝරා දිලීර විශේෂයක් නිසා ඇති වේ. පත්‍ර වල රතු පැහැයට හුරු දුඹුරු පුල්ලි ඇති වී, පසුව ඒවා පත්‍රය දුඹුරු පාට වී හැලී යයි. මේරූ පත්‍ර වල වැඩි වශයෙන් රෝග ලක්ෂණ දක්නට ලැබේ.

සුදු මලකඩ රෝගය



ඇල්බියුගෝ දිලීර විශේෂයක් නිසා රෝගය ඇති වේ. පත්‍ර වල යටි පැත්තේ සුදු පාට පුල්ලි ඇති වේ. රෝගය තීව්‍ර වූ විට පත්‍ර වල යට පැත්තේ පුල්ලි වල පිටි වැනි දිලීර බීජාණු දක්නට ලැබේ. රෝගය වැළඳුන ගස් වල කඳේ පාදස්ථ කොටස සහ කඳෙහි ගැට අතර ප්‍රදේශ (පර්ව) සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත් වේ. අග්‍රස්ථ අංකුරයේ පත්‍ර යටි පැත්තට හැකිලී ශාකයේ වැඩීම නවතී.

රෝග පාලනය

මෙම රෝග පාලනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

  • පාත්ති වල ජලය රඳා පැවතීමට ඉඩ නොතැබීම.
  • රෝගී ශාක කොටස් ගලවා ඉවත් කර පුළුස්සා විනාශ කිරීම.
  • පොටෑසියම් අඩංගු පොහොර යෙදීම.
  • අනවශ්‍ය ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් වැළකීම.
  • ඉක්මණින් අස්වැන්න කපා ගැනීම.
  • රෝග වැළඳුන සියළුම ක්ෂේත්‍ර වල අස්වැන්න කපා ඉවත් කිරීම.
  • භෝග මාරුව අනුගමනය කිරීම.

කොළ එළවළු සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හැකිතාක් දුරට වැළැකි සිටීම සුදුසුය. නමුත්, රෝගය වෙනත් ක්‍රම වලින් පාලනය කළ නොහැකි විට පමණක් අස්වැන්න කපා ඉවත්කර ඉන් පසු ක්ෂේත්‍රයට සුදුසු දිලීර නාශකයක් ඉසිය යුතුය.

දිලීර නාශක යෙදීම


පහත සඳහන් දිලීර නාශක වලින් එකක් ජලය ලීටරයකට ග්‍රෑම් 2 කේ අනුපාතයට මිශ්‍ර කොට ඉසින්න. මැන්කොසෙබ්, මැනෙබි, ඩැකොනිල්. දිලීර නාශක යොදා දින 14 ක් ගත වූ පසු පමණක් අස්වැන්න නෙළා ගන්න.

කෘමි හානි

  • පත්‍ර හකුලන දළඹුවා (ඔමියෝඩිස් ඉන්ඩිකාටා)




කීටයා විසින් පත්‍ර හකුලා ඒ තුළට වී පත්‍ර පටක ආහාරයට ගැනීම නිසා හානිය සිදු වේ.

  • පත්‍ර කා දමන පණුවා


ඩිප්ටෙරා ගෝත්‍රයේ සෙලීපුස් විශේෂයට අයත් පණුවකු විසින් පත්‍ර කා දැමීම නිසා හානිය සිදු වේ.

  • පත්‍ර කන කුඩා කුරුමිණියා




කීටෝනිමා විශේෂයක කුරුමිණියෙකු පත්‍ර කා දැමීම නිසා හානිය සිදු වේ.

  • පත්‍ර කන ඉබි කුරුමිණියා


කැසිඩා විශේෂයට අයත් කුරුමිණියන් විසින් පත්‍ර කා දමනු ලබන නිසා පත්‍රවල මැද නාරටි පමණක් ඉතිරි වේ.

  • කුඩිත්තා




කුඩිත්තන් විසින් යුෂ උරා බීම නිසා හානිය සිදු වේ. හානි වූ පත්‍ර දාර හැකිලුන ස්වභාවයක් ගනී.

  • පැළ මැක්කා



පැළ මැක්කන් විසින් යුෂ උරා බීම නිසා හානිය සිදු වේ. හානි වූ පත්‍ර දාර යටි අතට හැකිලේ.

  • රතු මයිටාවන් - පත්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බීම නිසා මුලින් පත්‍රවල කහ තිත් ඇති වී පත්‍ර කහ වේ. පසුව පත්‍ර දුඹුරු වී මිය යයි. පත්‍ර යටි පැත්තේ ඉතා කුඩා රතු තිත් ලෙස මෙම සතුන් පියවි ඇසට දැකිය හැකිය.
  • වට පණු හානිය - මෙලොඩොගයිනි විශේෂ මුකුණුවැන්න වගාවේ ඉතා බහුලව දක්නට ඇත. ආසාදිත ශාක වර්ධනය දුර්වල වී පත්‍ර කහපාට වේ. මූල මණ්ඩලය පරීක්ෂා කළ විට පණු ආසාදනය නිසා ඇති වූ මූල ගැටිති දක්නට ඇත. වට පණු අසාදනය අවම කර ගැනීම සඳහා නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය, කුකුල් පොහොර පසට මිශ්‍ර කිරීම හා භෝග මාරුව වැදගත් වේ. භෝග මාරුව සඳහා තම්පලා වැනි භෝගයක් භාවිතා කිරීම යෝග්‍ය වේ.

කෘමි හානි පාලනය

පලා වර්‍ග අමුවෙන් හෝ මැල්ලුම් ලෙස ආහාරයට ගන්නා නිසාත්, කෙටි කාල අන්තරයක් තුළ අස්වැන්න නෙළා ගන්නා නිසාත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හැකිතාක් දුරට වැළකී සිටිය යුතුය.

කෘමි හානි වසංගත තත්ත්වයට වර්ධනය වුවහොත් පළමුව දඬු සියල්ල මුළින්ම කපන්න. ඒ අතුරින් ආහාරයට ගත හැකි කොටස් තෝරා සෙසු දඬු පුළුස්සා විනාශ කරන්න. එසේ කිරීමෙන් කෘමින් ගේ ජීවන චක්‍රයේ විවිධ අවස්ථා ඉවත් වේ. සති 1 1/2 - 2 ක් ගතවු පසු අළුතින් දළු ලා වැඩෙන අවස්ථාවේදී කෘමිනාශක යෙදීම අත්‍යාවශ්‍ය බව පෙනී යන්නේ නම් පමණක් පහත සඳහන් කෘමිනාශක වල කාර්යක්ෂමතාවය උපරිම මට්ටමින් ලබාගත හැක්කේ මෙවැනි ලපටි දළු අවස්ථාවේදී යෙදිමෙන් පමණි.

කුඩිත්තන් සඳහා

මුළු තැන් ගෙයින් ලබා ගන්නා අළු, දැල් රෙදිකඩකට දමා පොට්ටනියක් ලෙස සකසා, උදැසන පිණි වියළිමට පෙර පත්‍ර මතට පතිත වන සේ ඉසින්න.

මයිටාවන් සඳහා

ජලයේ දියවන ගෙන්දගම් කුඩු ග්‍රෑම් 6 - 8 ක් ජලය ලීටරයක් බැඟින් මිශ්‍රකර පත්‍රවල යට පැත්තට වදින සේ යොදන්න. දින 3 ක් පමණ ලසු නැවත යොදන්න.

පත්‍ර හකුලන දළඹුවන්, පත්‍ර කන පණුවන් හා කුඩිත්තන් සඳහා

  • කුඩු කරගත් කොහොඹ බීජ ග්‍රෑම් 500 ජලය ලීටර් 10 මිශ්‍රකර යොදන්න.
  • ක්ලෝර්ෆ්ලුඑසුරෝන් (ඇටබ්‍රෝන්) මි.ලී. 10 ජලය ලීටර් 10 බැගින් මිශ්‍රකර යොදන්න.

පත්‍ර කන කුරුමිණියන් හා ඉබි කුරුමිණියන් සඳහා

ෆෙන්වැලරේට් (සුමිසිඩීන්) මි.ලී. 10, ජලය ලීටර් 10 බැගින් මිශ්‍රකර යොදන්න.

පැළ මැක්කන් හා කුඩිත්තන් සඳහා

ෆින්රොනිල් (රීජන්ට්) මි.ලී. 10 ජලය ලීටර් 10 මිශ්‍රකර යොදන්න. මෙය පැළෑටියට උරාගන්නා (සංස්ථානික) කෘමිනාශකයක් නිසා අස්වැන්න නෙලීමට සති 3 කට පෙර යෙදීම වැදගත්ය. ඉහත සඳහන් සෙසු කෘමිනාශක යෙදීමෙන් පසු දින 14 ක් ගතවන තුරු අස්වැන්න නෙළීම නොකළ යුතුය.

අස්වැන්න නෙළීම


මුකුණුවැන්න නෙළීමෙන් සති 4 කට පමණ පසු පළමු අස්වැන්න නෙළා ගත හැකිය. අස්වැන්න නෙළීමේදී පොළොව මට්ටමට මඳක් ඉහළින් දෑකැත්තක ආධාරයෙන් දඬු කපා ගන්න. අස්වැන්න කපා ගැනීමට පෙර දිනයේ වගාවට හොඳින් ජලය සපයන්න. එසේ කිරීමෙන් අස්වැන්න නෙළීමෙන් පසු ඉක්මණින් පැළවී යෑම වළක්වා ගත හැකි වේ. නෙළීමද පහසු වේ.

ශාකය හොඳින් ජලය උරා ගෙන ප්‍රාණවත් ස්වභාවයෙන් පවතින උදය කාලයේ අස්වැන්න කපා ගැනීම සුදුසුය. පළමු අස්වැන්න ලබා ගැනීමෙන් පසු සෑම සති 3 - 4 කට වරක් අස්වනු කපා ගත හැකිය. සති 4 කට වඩා කල් ගත වුවහොත් දඬු මෝරා මල් පිපී අස්වැන්නේ තත්ත්වය බාල වේ.

මුල් අවධියේදී වගාවේ අස්වැන්න අඩුය. පසුව ක්‍රමයෙන් වැඩි වී අවුරුදු 2 කට පමණ පසු නැවතත් අඩු වේ. කපා ගත් මුකුණුවැන්න දඬු ග්‍රෑම් 150 - 200 ක් පමණ බර වූ මිටි ලෙස සකසා එවැනි මිටි 100 ක් හෝ 150 ක තොගයක් වශයෙන් ගෙන තෙත ගෝනිවල ඔතා හෝ දැල් මළු වල අසුරා එදිනම වෙළඳපොළට යැවිය යුතුය.

වර්‍ග මීටර 1000 (අක්කර 1/4) මුකුණුවැන්න වගාවකින් වරකට කි.ග්‍රෑ. 1000 - 1200 ක පමණ අස්වැන්නක් (වසරකදී අස්වනු වාර 8 -10 ක් පමණ) ලබා ගත හැකිය.

භෝග මාරුව


අවුරුදු 2 කට පමණ පසු මුකුණුවැන්න වගාවේ අස්වැන්න ක්‍රමයෙන් අඩුවේ. එවිට එම බිමෙන් වගාව ඉවත් කළ යුතු වේ. එම ක්ෂේත්‍රයේ නැවත මුකුණුවැන්න වගා නොකොට කෙටි කලකට හෝ වෙනත් භෝගයක් වගා කළ යුතුය.

එකම ක්ෂේත්‍රයේ එක දිගට නැවත නැවත එකම භෝගය වගා කිරීමෙන් රෝග සහ පළිබෝධ හානි වැඩි වන අතර පසේ සාරවත් බව රැක ගැනීම ද අපහසු වේ. එම නිසා, අනිවාර්යයෙන් භෝග මාරුවක් අනුගමනය කළ යුතු වේ.