කැරට්(Carrot)


උද්භිද විද්‍යාත්මක නම - ඩවුකස් කැරෝටා (Daucus carota L.)
කුලය
- Abiaceae

නිර්දේශිත ප්‍රභේද
දෙමුහුම් නොවන ප්‍රභේද
නිව් කුරෝඩා (මාස 3 - 3 1/2)

සිලින්ඩරාකාර හැඩයක් ඇති අල තැඹිලි පැහැයක් ගනී. දැනට උඩරට ප්‍රදේශ වල ගොවීන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ නිව් කුරෝඩා වර්ගයයි. මෙම වර්ගය උඩරට මෙන්ම පහතරට ප්‍රදේශවලද වගා කිරීමට හැකියාව තිබේ.

ලංකා කැරට්

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත කැරට් ප්‍රභේදයක් වන අතර මෙම ප්‍රභේදයේ බීජ දේශීයව නිෂ්පාදනය කළ හැකියි. මාස 2 ½ - 3 දී අස්වනු ලබා ගත හැක. අධික වර්ෂා කාලයේදී පවා හොඳින් වගා කළ හැක. පූර්ව අංගමාරයට ප්‍රතිරෝධී වේ. කෝණාකාර හැඩයක් ඇති කැරට් මුල දිගින් සෙන්ටිමීටර් 12 - 15 පමණ වන අතර කහ පාටට හුරු තැඹිලි පැහැයක් ගනී.

දෙමුහුම් ප්‍රභේද (මාස 3 - 3 1/2)

- ටෙරාකොටා

- මැග්මා

- ෆයර්වේජ්

- ටී.ආර්.අයි. 083

- සී.ආර්.එස්. 042 (Master Carrot)

- රේසර්

- රෙක්ස්

- හර්කියුලස් (අලවල හැඩය සහ පැහැය නිව් කුරෝඩා වලට සමානය)

දේශගුණික අවශ්‍යතා

මුහුදු මට්ටමේ සිට මීටර් 1300 ට වඩා ඉහළ එසේම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 150-200 පවතින ප්‍රදේශවල කැරට් බෝගය ඉතා හොඳින් වගා කළ හැකිය. එසේ වුවද මීටර් 1300 වඩා පහළ හා මධ්‍යම ප්‍රදේශවල ද සාර්ථකව වගා කළ හැකි කැරට් ප්‍රභේද පවතී.


පස
කැරට් වගාව සඳහා කාබනික ද්‍රව්‍ය බහුලව අඩංගු වැලි ලෝම පසක් වඩාත් යෝග්‍ය වේ. සෑමවිටම ගල් බොරළුවලින් තොර පසක් වීම වඩාත් සුදුසුය. ලංකාවේ දක්නට ලැබෙන රතු කහ පොඩ්සොලික් පස්වල කැරට් හොඳින් වගා කළ හැකිය.

බිම් සැකසීම

කැරට් බීජ කුඩා බැවින් බිජ කේෂ්ත්‍රයේ කෙලින්ම වැපිරීම සිදු කළ යුතුවේ. මේ නිසා කැරට් වගාව සඳහා හොඳින් බිම් සකසා ගත යුතුය. සෙන්ටිමීටර් 20 - 30 ගැඹුරට සී සෑමෙන් හෝ කෙටීමෙන් පසු සියුම්ව පස සකස් කර ගන්න. මීටර් 1 පමණ පළල පාත්ති සකසා ගැනීම මඟින් වගා නඩත්තුව පහසුවේ.

බීජ අවශ්‍යතාවය

බීජ කිලෝග්‍රෑම් 4 ක් පමණ හෙක්ටයාර් එකක් වගා කිරීමට අවශ්‍යවේ.

වගා පිළිවෙත්

පරතරය

කැරට් බීජ කේෂ්ත්‍රයේ වැපිරීම ක්‍රම 2 කට සිදු වේ.

- උස් පාත්තිවල විසුරුවා හැරීම

- පේලි ක්‍රමයට ඉසීම (සෙන්ටිමීටර් 25 x සෙන්ටිමීටර් 5)

උස් පාත්ති

ඇලවේලි

බීජ පැළවී සති 3-4 කින් පැළ තුනී කිරීම අවශ්‍යවන අතර සති 8 දී නියමිත පරතරයට සිටින සේ පැළ තුනී කළ යුතුය. පේලි ක්‍රමයට බීජ වැපිරීම මඟින් පැළ තුනී කිරීම හා වගාව නඩත්තු කිරීම පහසු වේ. එමෙන්ම විසුරුවා හැරීමේ ක්‍රමයට වඩා පේලියට බීජ දැමීම මඟින් 50% බීජ ප්‍රමාණයක් ඉතිරි කරගත හැකියි. එසේම නියමිත ප්‍රමාණයක ගැඹුරට බීජ වැටෙන නිසා ඒකාකාරී පැළවීමක් දක්නට ලැබේ. ඒකාකාරී කැරට් අල අස්වැන්නක් ද ලබාගත හැකිවේ.

සිටුවීමේ කාලය
කැරට් බීජ එකවරම පාත්තිවල වැපිරිය යුතුය. මෙම වගාව උඩරට දී වසර පුරාමත් පහතරට දී යල හා මහ කන්නයේත් වගා කරයි. ජලය සපයා ගැනීම හා අනෙකුත් පහසුකම් මත මහ කන්නයේ වගා වපසරිය යල කන්නයට වඩා තරමක් වැඩිය.

පොහොර යෙදීම
හෙක්ටයාරයකට යෙදිය යුතු රසායනික පොහොර ප්‍රමාණය පහත දක්වා තිබේ.

මීට අමතරව පාත්ති සකසා ගන්නා අවස්ථාවේදී කාබනික පොහොර (ගොම පොහොර හෝ කොම්පෝස්ට්) ටොන් 10ක් පමණ හෙක්ටයාරයක් සඳහා යොදන්න.

යෙදිය යුතු කාලය

යූරියා කි.ග්‍රෑ/ හෙක්.

ත්‍රිත්ව සුපර් පොස්පේට්
කි.ග්‍රෑ/ හෙක්.

මියුරියේට් ඔෆ් පොටෑෂ්
කි.ග්‍රෑ/හෙක්.

මූලික පොහොර

-

270

-

සති 3 දී

55

-

43

සති 6 දී

82.5

-

63.5

සති 8 දී

82.5

-

63.5

සති 9 දී

110

-

85

ජල සම්පාදනය
කැරට් වගාවේ ජල අවශ්‍යතාවය භෝගයේ වර්ධනය අනුව වෙනස් වේ. මුළු වගා කාලය පුරාම හොඳ ජල සැපයුමක් ලබා දීම අවශ්‍ය වේ. පස විටින්විට තෙත් වීමට හා තදින් වියළීමට භාජනය වීමෙන් කැරට් අල පැලී යාම දැකිය හැකිය. අධික තෙතමනය නිසා අල කුණුවීම සිදුවේ.


වල් පැළෑටි පාලනය
අතින් වල්නෙලීම හෝ වල්නාශක භාවිතා කිරීමෙන් හෝ වල් පැළ පාලනය කළ හැකිය. මතුපිට පොහොර යෙදීමට කලින් වල්නෙලීම කළ යුතුය.

වල් නාශක ලෙස මෙට්‍රිබියුසින් (සෙන්කර්) 2 g/l හෝ පෙන්ඩිමෙතලීන් (ස්ටෝම්ප්) 8.8 – 10 ml/l ලෙස යෙදූ බීජ සිටුවා දින 3 ක් ඇතුලත යෙදීම කළ හැකිය. බීජ පැළ වීමෙන් සති 4ට පසු අවශ්‍යතාවය පරිදි මෙට්‍රිබියුසීන් 1 g/l ලෙස යෙදිය හැකිය. මිශ්‍ර වගාවක දී වල් නාශක භාවිතා කිරීම නොකළ යුතුය.

අස්වනු නෙළීම

කැරට් වගාවට දින 85-100 පමණ වන විට අස්වනු නෙලාගත හැකිය. වැඩි කාලයක් වගාව ක්ෂේත්‍රයේ තැබීම මඟින් අල පැලීම මෙන්ම කුඩා මුල් හට ගැනීමත් නිසා වෙළඳපොළ වටිනාකම අඩුවේ.


අස්වැන්න
ඉතා හොඳින් නඩත්තු කළ දෙමුහුම් නොවන වගාවකින් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 30-35 වඩා වැඩි අස්වැන්නක් මෙන්ම දෙමුහුම් ප්‍රභේද වගා කිරීමෙන් හෙක්ටයාරයකට ටොන් 55- 60 වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

අස්වනු සැකසීම

කැරට් අල ගැලවීමෙන් පසු හිරු එළියට නිරාවරණය නොවන ලෙස සෙවනේ තැබිය යතුය. කොල කපා ඉවත් කළ කැරට් අල ගෝනිවල හෝ ප්ලාස්ටික් ඇසුරුම්වල අසුරා වෙළඳපොළට යැවිය හැකිය. අවශ්‍යතාවය අනුව ක්ලෝරින් මිශ්‍ර පිරිසිදු ජලයෙන් සෝදා තෙතමනය අවම වූ පසු අලයේ ප්‍රමාණය අනුව ශ්‍රේණිකර වෙළඳපොළට යැවීම සිදුකළ හැකිය. බැක්ටීරියා විශේෂ, අලවල රැඳී සිටීමෙන් කුණුවීම සිදුවිය හැකි නිසා සැලකිලිමත් විය යුතුය.

රෝග හා පළිබෝධ හානි

කෘමි පාලනය

කියත් පණුවා

කුඩා පැළ අවධියේ දී පැළ කපා දමයි. හානිය වළක්වා ගැනීම සඳහා වගාවට සති 6 ක් පමණ වනතුරු වගාව පරීක්ෂා කර නිර්දේශිත කෘමි නාශක යොදන්න.

 

මූල ගැටිති වටපණුවන්

අලවලට හානි කරයි. හානි වූ විට අලවල ගැට වැනි ලක්ෂණ පෙන්නුම් කරයි. ශාකයේ මුල් වර්ධනය වන අවධියේ දී හානිය ඇති වූ විට බෙදුනු, විකෘති අල දැකිය හැකිය. පාලනය සඳහා හොඳින් පස පෙරලා හිරු එළියට විවෘත කරන්න. බෝග මාරුව සිදුකරන්න. බීජ වැපිරීමට සතියකට පෙර කුකුල් පොහොර හෙක්ටයාරයකට ටොන් 10 පස සමඟ මිශ්‍ර කරන්න.

 

රෝග පාලනය

පත්‍ර අංගමාරය

මේරූ පත්‍ර වල කළු දුඹුරු පැහැති අක්‍රමවත් ලප ඇතිවේ. ලප වටා කහ පැහැති දාරයක් දැකිය හැක. ආර්ද්‍රතාවය වැඩි වැසි සහිත කාල වලදී රෝගය වේගයෙන් ශාකය පුරාම පැතිරේ. නිර්දේශිත දිලීර නාශකයක් යෙදීමෙන් අංගමාරය වළක්වා ගත හැකිය.

 

බැක්ටීරියා මෘදු කුණු වීම

කැරට් අලයේ බාහිරින් සිදුවන හානි වීම හේතුවෙන් මෙම රෝග කාරකය අලය තුළට ඇතුළු වී ආසාදනය සිදුවිය හැකිය. එම හේතුවෙන් අලය කුණුවී විනාශ වී යා හැක. එයට කොළ වල පෝෂණ ඌණතා දැකිය හැකිවෙයි. ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීමෙන් හා වැඩිපුර ජලය සැපයීමෙන් වැළකී සිටීමෙන් බැක්ටීරියා කුණු වීම වළක්වා ගත හැකිය.

 

කබොළු රෝගය

පසේ පී.එච්. අගය නියමිත පරිදි පවත්වා ගැනීමෙන් කබොළු රෝගය වලක්වා ගත හැකිය. නොයෙක් දළඹු වර්ග, මයිටාවන්, කුඩිත්තන්, වේයන් වැනි කෘමි හානි, නිර්දේශිත කෘමි නාශක යෙදීමෙන් පාලනය කළ හැකිය.

කැරට් වගාව පිළිබඳ වැඩිදුර තොරතුරු