මිරිස් - Capsicum annuum L. (2n = 24)

Kingdom - Plantae

Division - Magnoliyophyta

Class - Magnoliopsida

Order - Solanales

Family - Solanaceae

Genus - Capsicum

Spiecies - Capsicum annuum var. annum

බටු, තක්කාලි, දුම්කොළ සහ අර්තාපල් මෙන්ම මිරිස් ද සොලනේසියේ කුලයට අයත් ශාකයකි.



ලෝකයේ මේ වන විට කැප්සිකම් ගණයට අයත් වන විශේෂයන් 25 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇතත් මිනිස් වාසයට ලංව ඇති (Domesticated) එනම් වගා කරනු ලබන විශේෂ 5 ක් හඳුනාගෙන ඇත.

එනම්,

  • Capsicum annuum L.
  • Capsicum baccatum
  • Capsicum frutescens L.
  • Capsicum pubescens
  • Capsicum chinense Jacq. (IBPGR 1983)

මෙයින් ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන මිරිස් ප්‍රභේදයන් Capcicum annuum විශේෂයට අයත්‍ය. සැරභාවය (pungency) මෙම Capcicum ගණයේ ඵලවලට අයත් ආවේණික වු ලක්ෂණයකි.



මිරිස්වල සම්භවය ලෙස සලකනුයේ මෙක්සිකෝව සහ මධ්‍යම ඇමෙරිකාවයි. Capsicum annuum විශේෂයට අයත් මිරිස්, ඒවායේ ඵලයන්හි ලාක්ෂණික ලක්ෂණ එනම් සැරභාවය, වර්ණය, හැඩය, ප්‍රමාණය, ආවේණික සුවඳ හා ලබා ගත හැකි ප්‍රයෝජන අනුව තව දුරටත් වර්ගීකරණය කළ හැක.

උද්භිද විද්‍යාත්මක ලක්ෂණ

ද්වි බීජ පත්‍රී අපිභෞම ප්‍රරෝහනය පෙන්වන ශාකයකි. බීජ පැළ අවධියේ සිටම මුදුන් මුලක් තිබිම හා පාර්ශ්වික මුල්වල ආරම්භය දැකිය හැක. මූල මණ්ඩලයේ පාර්ශ්වික මුල් පස මතුපිට සෙන්ටි මීටර් 30-50 ක් දුරට හා පස තුළ සෙන්ටි මීටර් 30-60 ක් තරම් ගැඹුරට විහිඳේ .

කඳ වර්ධක අවධියේ දී තරමක කෝණික හැඩයකින් යුක්ත වුව ද, මේරිමේ දී එය රවුම් හැඩයක් ගනී. ගැට හා පර්වවල ඇන්තොසයනින් වර්ණකය නිසා ඇතිවන දම් පාට වර්ණය තිබීමට හෝ නොතිබීමට පුළුවන.



කඳෙහි සියුම් ලෙස බූව (සියුම් රෝම වැනි තත්ත්වයක්) සමහර ප්‍රභේදවල දැකිය හැක. මිරිස් ශාකය අර්ධ අපරිමිතව වර්ධනය වී, ඵල හට ගැනීමත් සමඟ වර්ධනය වීම ක්‍රමයෙන් අඩු වී ගෙන යයි. පත්‍ර 8-15 ක් පමණ හට ගන්නා තෙක් තනි කඳක් ලෙස වර්ධනය වුවත් පළමු පුෂ්පය ඇති වීමත් සමඟ අතු බෙදීම ආරම්භ වේ.

සෑම අත්තකම පත්‍ර 2-3 ට පසුව නැවත නැවතත් අතු බෙදීම සිදුවේ. මෙම සෑම අතු බෙදීමකට පෙරම අග්‍රස්ථ අංකුරය පුෂ්ප අංකුරයක් බවට පත්වන නිසා සෑම බෙදෙන ස්ථානයකම පුෂ්ප හට ගැනීමක් දැකිය හැක.



ප්‍රභේදය අනුව පත්‍ර ප්‍රමාණයෙන්, හැඩයෙන් හා වර්ණයෙන් සුළු වශයෙන් වෙනස් විය හැකි වුවත් බොහෝ විට සමමිතික, දාර රහිත, සරළ ලන්සාකාර (Lanceolate)පත්‍ර සහිතය. පැතලි, සිනිඳුමය පත්‍ර තලයක් හෝ රැළි සහිත හෝ බූව සහිත පත්‍ර දැකිය හැක. පත්‍ර බොහෝ විට කොළ පැහැයෙන් යුක්තවන අතර වෘන්තයේ දිග ප්‍රභේදය අනුව වෙනස් විය හැක.
තනි පත්‍ර සර්පිලාකාරව හට ගන්නා අතර පත්‍ර අග්‍රය උල්ව පිහිටා ඇත. පත්‍ර පාදය ද වෘන්තය දෙසට පටුවන ලෙස උල්ව ඇත.



පුෂ්ප ද්විලිංගික වන අතර අධෝජායාංගී වේ. බොහෝ විශේෂයන්හි දළ පත්‍ර 5-7 කි. තනි කීලයක් පිහිටන අතර කලංකය පරාගධානිවලට වඩා ඉහළින් හෝ පරාගධානි තලයට වඩා මඳක් පහළින් හෝ සමතල සේ පිහිටා ඇත.

පෝෂණ අගය හා ඖෂධීය ගුණය

පෝෂ්‍යදායි ආහාර අතරට නොගැනුන ද මිරිස්වල විටමින් C, කැරෝටින් හා නියැසින් වැනි විටමින් ද කැල්සියම් හා යකඩ වැනි ඛණිජයන් ද අඩංගුව ඇත. මිරිස්වල අඩංගු වන කැප්සයිසින් (Capsaicin)නම් රසායනික සංයෝගය මෙහි සැර ගතිය ඇති කිරීමටත්, ඖෂධීය ගුණයක් ගෙන දීමටත් වැදගත් වේ. කැප්සයිසින් නම් රසායනික සංයෝගය ශ්‍රාවය කරනු ලබන්නේ මිරීස් කරලේ ඇට සවිවී ඇති කොටස වන ඩිම්බ බජ්ධයේ (බීජ බන්ධයේ) (Placenta)පිහිටා ඇති ග්‍රන්ථි විශේෂයකිනි.

මිරිස්වලින් ගනු ලබන කැප්සයිසින් යොදා නිෂ්පාදනය කරන ආලේපන වර්ග සෙම්ගෙඩි, ගලපටලය හා උගුර බැරැන්ඩිය මෙන්ම ශ්වසන රෝගවල දී ප්‍රතිකාර ලෙස යොදාගනී. සර්ප විෂ නැසීමේ ඖෂධ නිෂ්පාදනය හා තුවාල සඳහා ප්‍රතිජස්වක ඖෂධ නිෂ්පාදනයේදීත් කැප්සයිසින්වලට විශේෂ වැදගත්කමක් ලැබී ඇත.

සමේ අසාත්මිකතාව, කුෂ්ඨ රෝග හා හර්පීස් වැනි සමේ රෝග සමනයට ද අධික ලෙස මුත්‍රා පිටවිම වැළැක්විම මෙන්ම මුත්‍රාශයේ ධාරිතාව වැඩි කිරීම සඳහාත් කැප්සයිසින් ඖෂධයක් ලෙස යොදා ගත හැකි බව බටහිර රටවල කරන ලද පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

මිරිස් කරලේ ළපටි අවස්ථාවේ සිට මේරිම දක්වා අඩංගු විටමින් C ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වුවත්, ඉදීමේ සිට වියළීම දක්වා ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. එමෙන්ම අමු කරල් පිසීමේ දී විටමින් C වලින් තුනෙන් එකක් (1/3) පමණ ප්‍රමාණයක් විනාශයට ලක්වන බව ද සොයාගෙන ඇත.

වත්මන් තත්ත්වය හා විභවය

මිරිස් ශ්‍රී ලංකා වාසීන්ට නැතිවම බැරී ප්‍රධාන ආහාරයක් තරමටම වටිනා බෝගයක් බවට පත්වී ඇති අතර, රටේ දේශපාලනයට හා ආර්ථිකයට ද, බලපෑමක් ඇති කළ හැකි බලගතු බෝගයක් වී ඇත. පෝෂණයෙන් එකතු වන අගය කුඩා වුවත් අපේ ප්‍රධාන ආහාරය වන බතට මිරිස් නැතුවම බැරිය. බොහෝ පෝෂ්‍ය ජනක ආහාරවල රුචිය මෙන්ම රසය වැඩි දියුණු කරනුයේ මිරිස් යෙදීමෙනි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල වියළි මිරිස් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 2.10-2.31 ත් අතර වන බවට ගණන් බලා ඇති අතර, එය ලෝකයේ අනෙකුත් රටවල් හා සසඳා බලන විට ඉහළ අගයක් බව පෙනී යයි.

මිරිස් වගාව සඳහා ශ්‍රී ලංකාව තුළ හොඳ විභවයක් පැවතිය ද අපගේ දේශීය වියළි මිරිස් නිෂ්පාදනය ජාතික අවශ්‍යතාවය සපුරාලීම සඳහා ප්‍රමාණවත් නොවන හෙයින් විශාල වශයෙන් විදේශ විනිමය වැයකර වසරක් පාසා මිරිස් ආනයනය කිරීමට සිදුවී ඇත. පසුගිය වසර කිහිපය තුළ දේශිය මිරිස් වගාවේ හා නිෂාපාදනයේ සීඝ්‍ර පසු බැසීමක් පෙන්වන අතර, ආනයනය හා ඒ සඳහා වැයවන විදේශ විනිමය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව පෙනී යයි.

වසර 2013 වන විට වාර්ෂික වියළි මිරිස් පරිභෝජනය ටොන් 42,500 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත.එහෙත් අපගේ වාර්ෂික ඒක පුද්ගල අමු මිරිස් අවශහ්තාවය කිලෝ ග්‍රෑම් 02 ක් පමණ වන අතර මේ වන විට එම අවශහ්තාවය සපුරා ගැනීමට අප සමත්ව ඇත්තෙමු.

ශ්‍රී ලංකාවේ වගා කරන අමු මිරිස් මෙන්ම නයිමිරිස් හා කොච්චිවලට මැදපෙරදිග ඇතුළු අනෙකුත් විදේශීය රටවල ඉහළ ඉල්ලුමක් පවතී. මිරිස් කරලේ සිත් ගන්නා පැහැය හා සැර භාවය වැඩිවීම මෙයට ප්‍රධාන ලෙස බලපා ඇත. එහෙත් අඛණාඩ සැපයීමක් නොමැති වීම නිසා මෙම අපනයන ඉල්ලුම රඳවා තබා ගැනීම අපහසු වී ඇත.

පස හා දේශගුණය

වියළි හා අමු මිරිස් ලෙස ඉතා හොඳ වෙළඳ පොළක් පවතින හෙයින් වියළි කලාපීය ගොවියාගේ මුල් පෙලේ මුදල් බෝගයක් බවට මිරිස් බෝගය පත්ව ඇත. තව ද මුහුදු මට්ටමේ සිට මිටර් 1600 (අඩි 5500) පමණ උස් ප්‍රදේශ දක්වා ද මිරිස් වගා කළ හැකි වීම මිරිස් බෝගය සඳහා ඇති විභවයට හොඳ සාක්ෂියකි. මේ අනුව ශ්‍රී ලංකාවේ බොහෝ කෘෂි දේශගූණික කලාප තුළ පහසුවෙන් මිරිස් වගා කළ හැකිය. ඒ සඳහා හොඳින් හිරුඑළිය පවතින උණුසුම් කාළගුණයක් තිබීම වැදගත් වේ.

වියළි කලාපයේ මාස් කන්නයේ දී වර්ෂාපෝෂිත ගොඩ බෝගයක් ලෙසත්, යල් කන්නයේ දී ජල සම්පාදිත බෝගයක් ලෙස කුඹුරුවලත්, කෘෂි ළිං ආශ්‍රිතවත් මිරිස් වගා කළ හැක. අහස් දියෙන් මිරිස් වගා කිරීම සඳහා මිලි මීටර 600-1000 ත් අතර මැනවින් පැතිරුණු වර්ෂාපතනයක් තිබීම යෝග්‍ය වේ. තෙත් කලාපය වඩා යෝග්‍යවනුයේ අමු මිරිස් නිපදවිම සඳහාය. වගාව සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වය 21-25දක් ත් අතර වේ. වියළි කලාපයේ උෂ්ණත්වය බොහෝ විට මීට වඩා වැඩි වුවත් වර්ෂාව හා ජල සම්පාදිත තත්ත්ව යටතේ දී එය මිරිස් වගාවට බාධාවක් නොවන ලෙස පවත්වා ගත හැකිව ඇත.

විශේෂයෙන් වියළි කාළගුණික තත්ත්ව යටතේ වැඩි අස්වනු ලබාදෙන මිරිස්, ශ්‍රි ලංකාවේ වියළි කලාපයට හා අතරමැද කලාපයන්ට අයත් අනුරාධපුර, හම්බන්තොට, යාපනය, වවුනියාව, මොනරාගල, පොළොන්නරුව, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි ඉතා හොඳින් වගා කළ හැකිය. මෙම ප්‍රදේශවල පවතින වියළි කාළගුණික තත්ත්වය වියළි මිරිස් නිෂ්පාදනයට බෙහෙවින් හිතකර වේ.

හොඳින් ජලය බැස යන ලෝම පසක් වගාව සඳහා වඩා යෝග්‍යය. කුඹුරුවල වගා කිරීමේ දී මනා ජලවහනයකින් යුතු කුඹුරු පමණක් තෝරා ගැනීම කෙරෙහි සැළකිලිමත් විය යුතුය. ජලවහනය දුර්වල කුඹුරුවල මිරිස් හොඳින් නොවැඩෙන අතර, පහසුවෙන් රෝගවලට ද ගොදුරු වේ. මිරිස් ශාකයේ මූල පද්ධතිය සෙන්ටි මීටර් 60 ක් පමණ ගැඹුරට ගමන් කරන බැවින් කාබනික ද්‍රව්‍ය අඩංගු ගැඹුරු සාරවත් පසක් තිබිම වගාවට ඉතා හිතකර වේ.

මහ කන්නයේ අතිරේක ජල සම්පාදිත වගාවට අමතරව අහස් දියෙන් පමණක් හේන් ආශ්‍රීතව ද මිරිස් වගා කරයි.

විශේෂයෙන් හේන් වගාවන් සඳහා වියළි තත්ත්වයනට හොඳින් ඔරොත්තු දෙන දේශීය මිරිස් වගා දර්ශයන් ගොවීන් යොදා ගනී. ලෝම පසෙහි මෙන්ම කාබනික පොහොර එකතු කිරිමෙන් වැලි පසෙහි ද සාර්ථක ලෙස මිරිස් වැවිය හැක. කල්පිටිය ප්‍රදේශයේ කාබනික පොහොර යොදා වැලි සහිත පසෙහි සාර්ථක ලෙස මිරිස් වගා කිරීම මෙයට කදිම නිදසුනකි. තව ද නාගරික නිවෙස් හා ගෙවතු ආශ්‍රීතව ද පෝච්චි හෝ බඳුන් තුළ ද සාර්ථක ලෙස මිරිස් වගා කළ හැක.

වගා කළ යුතු කාලය

මිරිස් වගාවට වැළඳෙන රෝග රාශියක් හා හානි කරන කෘමින් රාශියක් ඇති බැවින් ඒවායින් ආරක්ෂාවීම සඳහාත්, වියළි දේශගුණික තත්ත්ව යටතේ වියළි මිරිස් නිෂ්පාදනය කිරීම සඳහාත්, ක්ෂේත්‍රයේ සිටුවන කාල සීමාව නිවැරදිව තීරණය කිරීම ඉතා වැදගත් වේ. තව ද වෙළඳ පොළේ ඉහළ මිලක් ලබාගත හැකි කාලය සලකා බැලීමෙන් ද වගා කිරීමේ කාලය තීරණය කළ හැක.

මිරිස් වගා කාල සටහන - අතරමැදි කලාපය

මිරිස් වගා කාල සටහන - වියළි කලාපය

මිරිස් වගා කාල සටහන - තෙත් කලාපය

මහ කන්නය තුළ අහස් දියෙන්

වර්ෂා පෝෂිත වගාවේ දී සැප්තැම්බර් මස අග සිට ඔක්තෝම්බර් මස මැද දක්වා වූ කාලය අතරතුර මාස් කන්නයේ වර්ෂාව අරම්භයත් සමඟ ක්ෂේත්‍රයේ පැළ සිටුවිම සුදුසුය. මේ අනුව පෙර ගණනය කර තවාන් දැමිය යුතු අවස්ථාව තීරණය කර ගත යුතුය. හේන් ආශ්‍රීතව වගා කිරීමේ දී මෙය වැදගත්ය.

මහ කන්නය තුළ වාරි ජලයෙන්

නොවැම්බර් මස තද වර්ෂාව අවසන් වූ පසු දෙසැම්බර් මස මුල් භාගයේ දී fක්ෂ්ත්‍රයේ පැළ සිටුවා, ජනවාරි අග සිට මාර්තු දක්වා පවතින නියං කාලයේ දී අතිරේකව ජල සම්පාදනය කළ යුතුය. බොහෝ විට උතුරු පළාතේ මේ ආකාරයට කරනු ලබයි.

යල කන්නයේ වාරි ජලයෙන්

ජුලි මස මැද භාගයෙන් පසු ළපටි මිරිස් පැළ ඉතා දරුණු ලෙස පැළ මැක්කාගේ හානියට ලක්වන බැවින්, යල් කන්නයේ මිරිස් වගාව අප්‍රේල් මාසයේ මැද සිට මැයි මස මුල් දෙසතිය තුළ දී ක්ෂේත්‍රයේ සංස්ථාපනය කිරීම ඉතා වැදගත්‍ය.

වියළි කලාපයේ ජූලි හා අගෝස්තු මාසයන්හි පවතින අධික උෂ්ණත්වය හා තද සුළඟ පැළ මැක්කාගේ හානිය වර්ධනය වීමට හිතකර වේ.

තෙත් කලාපයේ මිරිස් වගාව

තෙත් කලාපයේ මැනවින් ජලය බැසයන ස්ථානවල තද වර්ෂා කාල මඟහරවා අමු මිරිස් සඳහා මිරිස් වගා කළ හැකි වේ. මිරිස් මිලෙහි වැඩිවීම පෙන්නුම් කරන කාල පරිච්ජෙaදයන්හි අස්වනු වෙළඳ පොළට යැවිය හැකි වනසේ සැලසුම් කොට වගා කිරීමෙන් වැඩි ආදායමක් ලබා ගත හැකි බව පැහැදිලි කරුණකි. වගා ළිං යටතේ මේ තත්ත්වය පහසුවෙන් කළ හැකිය.

ප්‍රභේද-එම්.අයි. 1

1962 වර්ෂයේ නිර්දේශ කරන ලද මෙම ප්‍රභේදය Myliddy x Tuticorin යන වර්ග දෙක මුහුම් කිරීම මඟින් ලද ප්‍රතිඵලයකි. මෙම ප්‍රභේදයේ ශාක සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 65-75 ක් පමණ උසට වැඩෙන අතර, උසස් පාලන තත්ත්ව යටතේ දී මීට වඩා උසට ද වැඩේ. එතරම් අතු පතර විහිදී නොයයි, පත්‍ර සෙසු ප්‍රභේදවලට වඩා පුළුල්ය.

වසර 50 කට වඩා පැරණි මෙම ප්‍රභේදයේ ප්‍රවේණික පාරීශුද්ධතාවය පිරිහීමට ලක්ව ඇති බැවින් මෙහි ආරම්භක ලක්ෂණ මේ වන විට පරිහානියට ලක්ව ඇත.

සිහින්, දිගැති කරල් සෙන්ටි මීටර් 9-13 ත් අතර දිගකින් යුක්ත වන අතර, කරලේ අග දක්වා ක්‍රමයෙන් සිහින්ව ගොස් අග කොටස උලක හැඩය ගනී. ළපටි කරල් තද කොළ පැහැතිය. කරල් පැසීමේ දී ක්‍රමයෙන් තද දම් පැහැය මිශ්‍ර වූ කොළ පැහැයකට හැරී පසුව රත් පැහැවේ. උසස් පාලන තත්ත්ව යටතේ ආර්ථික ජීවිත කාලය මාස 6-7 ක් පමණ වේ. බීජ වැපිරීමේ සිට මල් පිපිමට ගතවන කාලය සෙසු ප්‍රභේදවලට වඩා තරමක් වැඩිය. අමු මිරිස් නිෂ්පාදනය සඳහා ගොවීන් අතර ප්‍රචලිත වූ ප්‍රභේදයකි.

ප්‍රභේද-එම්.අයි. 2

එම්.අයි. 1 ප්‍රභේදයේ වරණයකි (Selection). මෙම ප්‍රභේදය 1974 දී නිර්දේශ කර ඇත. වියළි කලාපයේ රතු දුඹුරු පස්වල වගා කළ විට සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 50-55 ක් පමණ උසකට වැඩෙන අතර ඉතා හොඳ පාංශු තත්ත්ව යටතේ සෙන්ටි මීටර් 75 ක් පමණ වුවද උසට වැඩේ. මැනවින් අතු බෙදී තිරස් අතට පැතිරේ. පර්ව ඉතා කෙටි බැවින් ශාකය පඳුරක් ලෙස (Compact Bush)ඝනව වැඩේ. මැනවින් වැඩුණු ගසක් කප්පාදු කළ කුඩා තේ පඳුරක් ලෙස දිස්වේ. තිරස් අතට අතු වැඩෙන බැවින් අස්වනු නෙළීම පහසු වේ.

කරලක සාමාන්‍ය දිග සෙන්ටි මීටර් 5-8 ක් අතර වේ. කරල ක්‍රමයෙන් මුල සිට අග දක්වා සිහින් වේ. කරල් අග මොට වී ඇත. හොඳින් පැසුණු කරල් තද කොළ පැහැයෙන් යුක්තය.

ආර්ථික ජීවිත කාලය මාස 5-6 ක් පමණ වේ. සිටුවා දින 80-90 කින් පමණ අස්වනු නෙළීම ආරම්භ කළ හැකි වේ. දින 7-10 කට වරක් බැගින් කීප වාරයක් අස්වනු නෙළිය හැකි වේ. කරලක අඩංගු බීජ ප්‍රමාණය අනෙක් වර්ගවලට සාපේක්ෂව වැඩි නිසා කරල් බරින් වැඩිය.

එබැවින් වියළි මිරිස් ඒකකයක් නිපදවීමට අවශ්‍ය වන ඉදුණු මිරිස් එඅකක ගණන 3.5 ට අඩුය. මෙය සෙසු ප්‍රභේදවල 4 කඉක්මවයි.

යල කන්නයේ දී හා මහ කන්නයේ අතිරේක ජල සම්පාදනය යටතේ හෙක්ටයාරයකට ටොන් 2.5-3.0 ක් පමණ ද, මහ කන්නයේ දී වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ ටොන් 1.0-1.5 ක් පමණ ද, වියළි මිරිස් අස්වැන්න ලබා ගතහැකි වේ. තව ද අමු මිරිස් සඳහා ද මෙම ප්‍රභේදය වගා කළ හැක. ගොවීන් අතර වඩාත් ප්‍රචලිත ප්‍රභේදයකි.

සැර භාවය අතින් ඉතා ඉහළ ප්‍රභේදයකි.

ප්‍රභේද-කේ.ඒ. 2

එම්.අයි. 2 හා පී.සී-1 (MI -2 X PC-1) යන ප්‍රභේදයන් මුහුම් කර නිපදවූ මෙම ප්‍රභේදය 1991 වර්ෂයේ දී නිර්දේශ කර ඇත. මුල් කාලයේ දී ශාකයේ හැඩරුව හා වර්ධන විලාශය එම්. අයි. 2 ප්‍රභේදයට සමාන වේ. වර්ධනයේ පසු අවධියේ දී මැනවින් අතු විහිදී යයි. ඝනව නොවැඩෙන ලිහිල් පත්‍ර වියනක් සහිත වේ. සාමාන්‍යයෙන් ශාකය සෙන්ටි මීටර් 50-60 ක් පමණ උසට වැඩේ. කරල් සෙන්ටි මීටර් 8-11 ක් පමණ දික්වන අතර එම්. අයි. 2 ප්‍රභේදයට වඩා පළලින් හා ඝනකමින් යුක්තය.

එනිසා කරල්වල පෙනුම සිත් ගන්නා සුළු වේ. ඒවාට වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් ඇත. ඵලාවරණය ඝනකමින් වැඩි බැවින් වියළීම සඳහා ගත වන කාලය සාපේක්ෂව වැඩිය. යල කන්නයේ වගාව සඳහා වඩාත් යෝග්‍ය වේ.

කොළ කොඩවීමේ සංකීර්ණයට වෙනත් ප්‍රභේදවලට වඩා හොඳින් ඔරොත්තු දෙයි. පැළ සිටුවා දින 60 කින් පමණ වගාවේ 50% මල් පිපීම දැකිය හැක.

ජලසම්පාදනය යටතේ යල කන්නයේ දී හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 2.5-3.0 ක් පමණ ලබා ගත හැකිය. වගාව හොඳින් නඩත්තු කිරීමෙන් බෝගයේ ආර්ථික ජස්විත කාලය මාස 6 කට වඩා දීර්ඝ කර ගත හැකි වේ.

අමු මිරිස් සඳහා වගා කරන්නේ නම් හෙක්ටයාරයකට ටොන් 12 කට වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය.

වියළන ලද මිරිස් මුල් කාලයේ දී මනා පැහැයකින් යුක්ත වුවත් මාස දෙකකට පමණ පසුව රතට හුරු කළු පැහැයට හැරේ. වියළීමට වැඩි උත්සාහයක් ගත යුතු නිසාත්, ඇන්ත්‍රැක්නෝස් රෝගයට පහසුවෙන් ගොදුරු වන නිසාත්, වියළි මිරිස් නිෂ්පාදනය සඳහා මෙම ප්‍රභේදය යෝග්‍ය වනුයේ යල කන්නයටය. කරල් සැරෙන් වැඩිය. මෙම ප්‍රභේදය අමු මිරිස් නිෂ්පාදනය සඳහා වඩාත් යෝග්‍ය වේ.

අරුණළු

1996 දී නිර්දේශ කර ඇති මෙම ප්‍රභේදයේ මව්පිය දර්ශ වනුයේ එම්. අයි. 2 හා සන්තාකා (MI-2 X Santaka) යන ප්‍රභේද දෙකයි. ශාකය සෙන්ටි මීටර් 50-60 ක් පමණ උස් වේ. ළපටි කරල් උඩට හැරී හටගන්නා අතර කරල් මෝරා බර වැඩි වන විට තරමක් දුරට පහළට නැමේ. සිහින් කරල් සෙන්ටි මීටර 8-11 ක් පමණ දිගින් යුක්තය. ඵලාවරණය තුනී බැවින් පහසුවෙන් වියළා ගත හැකි වේ.

කරල් නෙළීම සෙසු ප්‍රභේදවලට වඩා සතියක් පමණ කලින් එනම්, සිටුවා දින 75 කින් පමණ ආරම්භ කළ හැකි අතර දිප්තිමත් රත් පැහැයෙන් යුතු වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත්ම උචිත ප්‍රභේදයකි. පළමු අස්වනු වාර 3-4 තුළ දී ලැබිය හැකි මුළු අස්වැන්නෙන් 75% ක් පමණ ලබා ගත හැක. යල කන්නයේ දී හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 2.5-3.0 ක් පමණ ද, මහ කන්නයේ දී ටොන් 1.5 -2.0 ක් පමණ ද ලබා ගත හැකි වේ. නියඟයට හා ඇන්ත්‍රැක්නෝස් රෝගයට ඔරොත්තු දෙන නමුත් කොළකොඩවීමට ඔරොත්තු නොඳේ. කරල් ඉහළට එසවී ඇති බැවින් අස්වනු නෙළීමේ දී රිකිලි කැඩී යාමට ඉඩ ඇති හෙයින් පරෙස්සමින් කළ යුතු වේ.

ප්‍රභේද-එම්.අයි. හොට්

2002 වසරේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කරන ලද ප්‍රභේදයකි.

(BL- 39 X IR) X KA-2 යන ප්‍රභේද තුනේ එකතුවක් ලෙස මෙය බිහි වී අමු මිරිස් මෙන්ම වියළි මිරිස් නිපදවීම සඳහා ද එකසේ සුදුසුය.

කරලක් සෙන්ටි මීටර 8-9 ක් පමණ දිගය. සෙන්ටි මීටර 60 ක් පමණ උස පරිණත ශාකයේ මධ්‍යස්ථ ලෙස අතු පැතිරී තිබේ. ඇන්ත්‍රැක්නෝස් රෝගයට තරමක් දුරට ඔරොත්තු දෙන නිසා වියළි මිරිස්වල ඇතිවන සුදු කරල් සංඛ්‍යාව අඩුය. සෙසු ප්‍රභේද සියල්ලටම වඩා දිලීර රෝගවලට ප්‍රතිරෝධිතාවයක් දක්වයි.

මහ කන්නයේ දී අහස් දියෙන් උස් බිම්වල වගා කළ හැකි ප්‍රභේදයකි. අඩු තෙතමන තත්ත්වවල දී පවා වගාව හොඳින් නඩත්තු කළ හැකිය.

හෙක්ටයාරයකට වියළි මිරිස් ටොන් 3 ක පමණ අස්වැන්නක් ලබා ගත හැකිය.

සෙසු ප්‍රභේදවලට සාපේක්ෂව සැර භාවය අඩුය.

ප්‍රභේද-එම්.අයි. ග්‍රින්

අමු මිරිස් මෙන්ම වියළි මිරිස් සඳහා ද යෝග්‍ය වන මෙම ප්‍රභේදය 2009 වර්ෂයේ § නිර්දේශ කරන ලදී. මිරිස් අභිජනන වැඩ සටහනෙහි සාර්ථක ඵලයක් වන මෙම ප්‍රභේදයෙහි පෙළපත මිරිස් ප්‍රභේද තුනක ×MI - 2 x IR) ×(MI - 2 x 142A) එකතුවකි. සිරස් ලෙස සෙන්ටි මීටර් 75-100 දක්වා උසට වැඩෙන මෙම ප්‍රභේදය දිවයින පුරා වගා කිරීමට නිර්දේශ කර ඇති වුවත් විශේෂයෙන්ම උතුරු පළාතේ වගාවන්වල දී ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දී ඇත.

සෙන්ටි මීටර 12-14 පමණ Èගින් යුත් කොළ පැහැති සිහින් මේරූ කරල් සිත් ඇද ගන්නා පෙනුමකින් යුක්තය.

වියළි මිරිස් නිෂ්පාදනයේ දී වැඩි කාලයක් පැහැය නොවෙනස්ව තබා ගත හැකි වීමත් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් නිසා වියළි මිරිස් නිෂ්පාදනයට වඩාත් සුදුසුය. ඇන්ත්‍රැක්නෝස් හා සෙසු දීලීර රෝගවලට දක්වන මධ්‍යස්ථ ප්‍රතිරෝධීතාවය නිසා මහ කන්නයේ වගාවන් සඳහා ද යෝග්‍ය වේ.

හෙක්ටයාරයකට ටොන් 03 ඉක්මවූ වියළි මිරිස් අස්වැන්නක් මෙන්ම අමු මිරිස් නිෂ්පාදනයේ දී ටොන් 15 ඉක්මවූ අස්වැන්නක් මෙහි අස්වනු විභවයන් වේ. මිරිස් කරලේ පොත්ත එතරම් ඝනකම් නොවන නිසා ඉදුණු කරල් දින 04 කදී පමණ වියළා ගත හැකි වේ.

ප්‍රභේද-ගල්කිරියාගම වරණය

විශේෂයෙන්ම උතුරු මැද පළාත සඳහා යෝග්‍ය වන මෙම ප්‍රභේදය දඹුල්ල ගල්කිරියාගම ප්‍රදේශයේ ගොවීන් පාරම්පරිකව වගා කළ විවෘත පරාගික වගා දර්ශයකින් තෝරාගත් වරණයක් ලෙස 2009 දී නිර්දේශ කරන ලදී. සෙන්ටි මීටර් 60-65 පමණ උසකින් යුත් සිරස් වර්ධන විලාශයක් පෙන්වයි. පත්‍ර තරමක් කුඩාය.

කරල් සෙන්ටි මීටර් 8-10 පමණ Èගින් යුත් සිහින් දිගටි හැඩයක් ගනී. අමු හා වියළි මිරිස් සඳහා උචිත වන අතර හොඳ සැර භාවයකින් යුක්තය. හෙක්ටයාරයකට අමු මිරිස් ටොන් 12-15 මෙන්ම හෙක්ටයාරයකට ටොන් 3 පමණ වියළි මිරිස් අස්වැන්නක් ද ලැබිය හැකි ප්‍රභේදයකි.

කොළ කොඩවීමට හා දිලීර රෝග සඳහා ඉහළ ප්‍රතිරෝධීතාවයක් පෙන්වන ප්‍රභේදයකි.

හොඳ සැරභාවයකින් යුක්ත වීමත් කරල්වල සිත් ගන්නා කොළ පැහැයක් අමු මිරිස් නිෂ්පාදනයේ දී ඉතා වැදගත් වේ. තවද වර්ණයේ වෙනසක් නොවී වියළි මිරිස් ලෙස මාස 05 ක පමණ කාලයක් ගබඩා කර තබා ගත හැකි වීම මෙම ප්‍රභේදයේ ඇති විශේෂ ලක්ෂණයන් වේ.



ප්‍රභේද-එම්.අයි වැරණියා 1

පහතරට තෙත් කලාපයේ ගම්පහ, කළුතර, කොළඹ, ගාල්ල වැනි ප්‍රදේශවල කුඩා කොරටුවල පාරම්පරිකව වගා කෙරෙන මිරිස් වගා දර්ශයක් ලෙස වැරණියා දැක්විය හැක. අමු මිරිස් ලෙස මෙන්ම තරමක් මේරූ කරල්වල අඩු සැර භාවය නිසා ව්‍යංජනයක් ලෙස ද ආහාරයට ගත හැකි එළවළුවකි.



විවෘත පරාගික වගා දර්ශයන්ගෙන් තෝරා ගත් ගහණයක ලක්ෂණ වැඩි දියුණු කිරීමෙන MI වැරණියා 01 ප්‍රභේදය නිපදවා 2012 දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත බෝග ලැයිස්තුවට ඇතුලත් කරන ලදී. ගෙවත්තේ වගා කිරීමට, නාගරික ගෘහයන්හි බඳුන් තුළ වගා කිරීමට හා කුඩා කොරටුවල වගාව සඳහා උචිත ප්‍රභේදයකි.

සෙන්ටි මීටර් 100 ක් පමණ උසට සිරස්ව වැඩෙන මෙම ප්‍රභේදයේ කරල් සෙන්ටි මීටර් 15-20 පමණ දිගින් යුක්ත වන අතර තරමක් රැළි සහිත සිනිඳු මතුපිටක් සහිතය. කරලේ කෙළවර දෙසට වක්‍රව මෙන්ම ස්රුජුව ද පිහිටයි. කහ පාටට හුරු ලා කොළ පැහැයකින් යුක්ත කරල් ඉදෙන විට තැඹිලි පාටට හුරු රත් පැහැයක් ගනී. කරලක බීජ 60-70 පමණ පවතින අතර පොත්ත මාංශල ගතියකින් යුක්ත වේ. මෙම ප්‍රභේදය හො¢න් නඩත්තු කිරීමෙන් වසරකට වැඩි කාලයක් ක්ෂේත්‍රයේ පවත්වා ගත හැකි වේ.



හෙක්ටයාරයකට ටොන් 20-25 පමණ අස්වැන්නක් ලබා ගත හැකි මෙම ප්‍රභේදය කොළ කොඩවීමට හා වෛරස් රෝගවලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. ඵලාවරණය මාංශල නිසා බීජ නිෂ්පාදනයේ දි ඉදුණු කරල් පලා බීජ නිස්සාරණය කර ගත යුතු වේ. බීජ නිෂ්පාදන වගාවක දී කරල් ඉදෙන කාලයේ දී වියළි කාළගුණයක් තිබීම මඟින් දිලීර රෝග හානි ඇතිවිම බොහෝ දුරට මඟහරවා ගත හැක.

එම්.අයි.සී.එච්.3

අමු මිරිස් නිෂ්පාදනය සඳහා 2012 වර්ෂයේ § නිර්දේශ කළ මෙම ප්‍රභේදය MI -1 ප්‍රභේදය හා Wonder Hot නම් දෙමුහුම් ප්‍රභේදයක එකතුවක් ලෙස අභිජනනය හා වරණයෙන් නිපදවූවකි.



සෙන්ටි මීටර් 60-65 පමණ උස අතු බෙදුනු පඳුරක් ලෙස වැඩෙන මෙම ප්‍රභේදයේ කරල් තද කොළ පැහැවන අතර සෙන්ටි මීටර් 8-10 තරම් දිග මධ්‍යස්ථ ප්‍රමාණයේ හා දිලිසෙනසුළු සුමට මතුපිටකින් යුක්තය. කරලේ අග කෙළවර තරමක් වක්‍රව ඇත. ඵලාවරණය තරමක් ඝනකමින් යුක්ත වන අතර අස්වනු නෙළූ පසු ඉක්මනින් මැලවී නොයයි. සිත් ගන්නා පෙනුමකින් යුත් කරල් අපනයනය සඳහා ද යෝග්‍ය වේ.
ෙකොළ කොඩවීමේ සංකීර්ණ තත්ත්වයට මධ්‍යස්ථව ප්‍රතිරෝධී වන අතර දිලීර රෝග සඳහා එතරම් ප්‍රතිරෝධීතාවයක් නොපෙන්වයි. ඉදුණු කරල් දින 5 කින් පමණ වියළා ගත හැකි හෙයින් බීජ නිෂ්පාදනය සඳහා යෝග්‍ය වන්නේ යල කන්නයයි. හෙක්ටයාරයකට අමු මිරිස් ටොන් 15-18 පමණ ඉහළ ගුණාත්මයෙන් යුත් අස්වැන්නක් ලබා ගත හැකි මෙම ප්‍රභේදය ලංකාවේ මිරිස් වගා කරන ඕනෑම ප්‍රදේශයක් සඳහා සුදුසු වේ. අස්වැන්න සහ ගුණාත්මය සැලකූ විට විදේශීය දෙමුහුම් ප්‍රභේද අභිබවා තරඟකාරීව වගා කළ හැකි ප්‍රභේදයකි.

ප්‍රභේද-දෙමුහුම් ප්‍රභේද.

දේශීය විවෘත පරාගික ප්‍රභේදවලට අමතරව ආනයනය කරන ලද දෙමුහුම් ප්‍රභේදයන් ද වගා කිරීමට ගොවීන් පෙළඹී ඇත.
දෙමුහුම් දිරියෙන් යුක්ත වීම, උසස් අස්වැන්නක් ලබා දීම හා අස්වැන්නේ ගුණාත්මය වැඩිවීම මෙම ප්‍රභේදවල තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයන්‍ය. ප්‍රධාන වශයෙන් අමු මිරිස් නිෂ්පාදනයටත් වියළි කන්නයේ දී වියළි මිරිස් නිෂ්පාදනය කිරීමටත් දෙමුහුම් ප්‍රභේද යොදා ගත හැක.සාමාන්‍යයෙන් වගා කරන විවෘත පරාගික ප්‍රභේදයන්ගේ මෙන් නොව දෙමුහුම් බීජ යොදා ගැනීමේ දී පළමු වගාවේ දී කරල් වලින් ලබා ගන්නා බීජවල වර්ග පාරිශුද්ධතාවය ඊළඟ පරම්පරාවේ දී බලාපොරොත්තු විය නොහැකිය.



එබැවින් සෑම නව කන්නයක් පාසාම දෙමුහුම් බීජ මිලට ගැනීමට සිදුවේ. මෙම බීජ මිලෙන් අධික බැවින් සාමාන්‍ය ක්‍රමයට ක්ෂේත්‍රයේ තවාන් දැමීමට වඩා බඳුන් හෝ කුට්ටි තවාන් ක්‍රම උපයෝගී කර ගැනීම උචිතය.

තවද බොහෝ ආනයනික දෙමුහුම් ප්‍රභේද අපගේ පරිසර තත්ත්වයනට නොගැලපෙන හෙයින් දෙමුහුම් ප්‍රභේද වගා කරන්නේ නම් එම ප්‍රභේද දේශීය තත්ත්ව යටතේ වගා කිරීම සඳහා යෝග්‍ය බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබීම ඉතා වැදගත් වේ.

ප්‍රභේද-වෙනත් වගා දර්ශ

වියළි හා අමු මිරිස් ලෙස සාමාන්‍යයෙන් අප පරිභෝජනය කරන මිරිස් කැප්සිකම් ඇනම් (Capsicum annuum) විශේෂයට අයත් වන අතර කොච්චි, නයි මිරිස්, හෝමිරිස් හා කැවුම් මිරිස් ලෙස හඳුන්වන වෙනත් වගා දර්ශයන් කැප්සිකම් චයිනෙන්ස් (Capsicum chinense) හා කැප්සිකම් ෆ්රුට්සන්ස් (Capsicum frutescens) විශේෂයනට අයත් වේ. මෙම විශේෂයන්හි පවතින විශේෂත්වය වන්නේ කරල් ඉතා සැරභාවයකින් යුක්ත වීමත් ඒවාටම ආවේණික වූ සුවඳක් තිබීමත් වේ. ලෝකයේ පවතින සැර අධිකම මිරිස් ලෙස මෙම නයි මිරිස් (කැප්සිකම් චයිනෙන්ස්) දැක්විය හැක.

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය හා අතරමැදි කලාපයේ ගෙවතු ආශ්‍රීතව හමුවන මෙම වගා දර්ශයන් සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳ පොළෙහි ඉහළ ඉල්ලුමක් පවතී. කරලේ ප්‍රමාණය (දිග, පළල), හැඩය, වර්ණය, කරලේ පිහිටීම සැරභාවය හා සුවදෙන් මෙන්ම ශාකයේ විලාශයෙන් ද මේවා එකිනෙකට වෙනස් ලක්ෂණ පෙන්වයි. බොහෝවිට කොච්චි දර්ශයන් කුරුල්ලන් මඟින් ව්‍යාප්ත වන බව සොයාගෙන ඇත. කුරුල්ලන් මෙම කරල් ගිල දමන අතර ඔවුන්ගේ මළ ද්‍රව්‍ය සමඟ බීජ පසට එක්වීමෙන් ව්‍යාප්තිය සිදු වේ. එබැවින් මෙම කොච්චි දර්ශයන් කුරුලු මිරිස් (Bird chill ) ලෙස ද හඳුන්වයි.

කරලෙන් බීජ වෙන් කළ පසු දින කීපයකින් වුව ද සමහර වගා දර්ශයන්හි බීජවල ප්‍රරෝහණ ශක්තිය හීනවී යන අතර එය මෙම වගා දර්ශයන්ගේ අඩු ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වී ඇත.

බොහෝ කොච්චි හා නයිමිරිස් වගා දර්ශයන් බහු වාර්ෂික තත්ත්වයක් පෙන්වයි. රෝග හා පළිබෝධ හානිවලට මෙන්ම නියඟයට ද ඔරොත්තු දෙන ලක්ෂණ පෙන්වන වගා දර්ශයන් මෙම කොච්චි හා නයිමිරිස් අතර පැවතිය ද එම ලක්ෂණ කැප්සිකම් ඇනම් විශේෂය සමඟ සම්බන්ධ කර ගැනීමට අපහසු වී ඇත. මෙම විශේෂ අතර අන්තර් අභිජනනය සිදු නොවීම හෝ ඉතා අවම වීම ඊට හේතුවයි.

තවාන් පාලනය

වැදගත්කම

මිරිස් වගාවකින් උපරිම අස්වැන්නක් ලබා ගැනීම සඳහා නිරෝගී, ශක්තිමත්, මනා දිරියකින් යුතු පැළ කේෂ්ත්‍රයේ සිටුවිය යුතුය. විශාල ප්‍රදේශයක් පුරා විසිරුණු පැළ රාශියක් ආරක්ෂා කිරීම අපහසු කරුණක් බැවින් කෙළින්ම බීජ කේෂ්ත්‍රයේ සිටුවීම නිර්දේශ නොකරන අතර දින 25-30 ක් පමණ වයස ඇති නිරෝගී පැළ ක්ෂේත්‍රයේ සිටුවිය යුතු වේ.

නිරෝගී දිරියෙන් යුත් පැළ ලබා ගැනීම සඳහා,

1. කේෂ්ත්‍ර තවාන් පාත්ති

2. කුට්ටි තවාන්

3. බදුන් කළ පැළ යොදා ගත හැක.

ක්ෂේත්‍ර තවාන්

තවාන් සැකසී

නිරෝගී ශක්තිමත් පැළ කේෂ්ත්‍රයේ සිටුවීමෙන් සාර්ථක මිරිස් අස්වැන්නක් ලබාගත හැකි වේ. මේ සඳහා ක්‍රමවත්ව කේෂ්ත්‍ර තවාන් පිහිටුවා ගත යුතුය. හෙක්ටයාරයකට අවශ්‍ය මිරිස් පැළ ලබා ගැනීම සඳහා සෙන්ටි මීටර් 90 × මීටර් 3 ක් ප්‍රමාණයේ පාත්ති 25 ක් පමණ අවශ්‍ය වේ. හොඳින් හිරුඑළිය වැටෙන ජලය මැනවින් බැස යන ගල් බොරළු ඉවත් කළ සරු පසක් ඇති ස්ථානයක් මේ සඳහා යෝග්‍ය වේ.

එමෙන්ම පෙර කන්නයේ සොලනේසියේ (බටු, මිරිස්, තක්කාලි සහ දුම්කොළ) කුලයේ බෝග වගා නොකළ කේෂ්ත්‍රයක් වීම වැදගත්‍ය.

තවාන් පස සියුම්ව සකස් කොට පාත්ති වටා කාණු දමා දිරාපත් වූ කාබනික (කොම්පෝස්ට් හෝ ගොම) පොහොර පාත්තියකට කිලෝ ග්‍රෑම් 10-12 ක් (වර්‍ග මීටරයකට කිලෝ ග්‍රෑම් 3-4) ක් පමණ වනසේ යොදා පසට කලවම් කළ යුතුය.

තවාන් ජීවාණුහරණය කිරීම

පසේ ජීවත් වන රෝග කාරක ක්ෂුද්‍ර ජීවීන් (දිලීර, බැක්ටිරියා වැනි) මඟින් ඇති විය හැකි රෝග ආසාදනයන් වැළැක්වීම මෙහි අරමුණයි. ප්‍රරෝහණය වන බීජ මෙන්ම ළපටි මිරිස් පැළ පහසුවෙන් රෝගවලට ගොදුරු විය හැකි බැවින් තවාන් ජීවාණුහරණය කිරීම ඉතා වැදගත් වේ.

පිළිස්සීම, සූර්යාලෝකයට ලක්කිරීම හා රසායන ද්‍රව්‍ය (දිලීර නාශක) යෙදීමෙන් තවාන් ජීවාණුහරණය කර ගත හැකි වේ. මේ අතුරින් පිළිස්සීම හා සූර්යාලෝකයට ලක් කිරීම වඩාත් සුදුසු ක්‍රම වේ.

තවාන් පාත්ති පිළිස්සීම

ඉහත සඳහන් පරිදි සකස් කරගත් පාත්ති වලට ජලය යොදා සෙන්ටි මීටර් 10 ක් පමණ ගැඹුරට පස තෙත් කරන්න. අනතුරුව ඒ මත සෙන්ටි මීටර් 5 ක් පමණ ඝනකමට පිදුරු තට්ටුවක් ද, නැවත ඒ මත සෙන්ටි මීටර් 5 ක පමණ ඝනකමට දහයියා තට්ටුවක් ද අතුරන්න. නැවතත් ඒ ලෙස පිදුරු හා දහයියා තට්ටු අතුරන්න. මෙලෙස පිදුරු තට්ටු දෙකක් හා දහයියා තට්ටු දෙකක් පමණ තිබීම සෑහේ. උඩින්ම තිබිය යුත්තේ දහයියා තට්ටුවකි. එවිට දැවීම සෙමෙන් සිදු කර ගත හැකිවේ. මෙසේ අතුරන ලද පිදුරු හා දහයියා තට්ටුවලට සුළං හමන දිශාවට විරුද්ධ පැත්තෙන් ගිනි තැබිය යුතුය.



ගිනි ගැනීම නිසා පාත්තියේ පස රත් වී රෝග කාරකයින් විනාශ වී ජීවාණුහරණය වේ. වල් පැළෑටි බීජ විනාශ වේ. පසේ තෙත ගතිය රස්නය පැතිරවීමට ඉවහල් වේ. පිදුරු දහයියා යොදා තවාන් පිළිස්සීම කර බීජ දැමීමට පෙර පස මතුපිට ඇති අළු මතුපිට පස් සමඟ හොඳින් මිශ්‍ර කළ යුතුය. මෙහි දී පිළිස්සීම සිදු නොවූ පිදුරු කොටස් ඉවත් කිරීමත් විශාල පස් කැටිති ඉවත් කිරීමත් කළ යුතුය. ජීවාණුහරණය කරන ලද පාත්ති වල පස් නැවත ගැඹුරට පෙරළීම සුදුසු නැත. පිළිස්සීමෙන් ජීවාණුහරණය වනුයේ සෙන්ටි මීටර් 7-10 ක් පමණ ගැඹුරට ඇති පස් පමණි. පස පෙරලීමේ දී ඊට යටින් ඇති පස් මතුපිටට ඒමට ඉඩ ඇති බැවින් නැවතත් රෝග කාරකයන් බෝවිය හැකිය.

විනිවිද පෙනෙන පොලිතීන් ආවරණයක් යොදා පස රත්කිරීම (සුර්යෝෂාණීකරණය)

කාබනික පොහොර යොදා සකසන ලද පාත්ති හොඳින් තෙමා විනිවිද පෙනෙන තරමක් ඝන පොලිතීන්වලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරන්න. පොලිතීන් ඇතිරිල්ලේ දාරය පස්වලට යට කරන්න. පොලිතීන් ඇතිරිල්ල සහ පස අතර සෙන්ටි මීටර් 2-3 ක පරතරයක් තබාගත යුතුය. මේ සඳහා පොලිතීන් ඇතිරිල්ලට යටින් තැනින් තැන පස් කුට්ටි තැබිය හැකිය.

හිරුඑළිය පතිත වෙත්ම පොලිතීන් ඇතිරිල්ල හා පස අතර ඇති වාතය රත් වී පස තුළට ගමන් කිරීමෙන් පස ජීවාණුහරණය වේ. මෙලෙස සති දෙකක් පමණ සූර්යාලෝකයට නිරාවරණය කර තැබීම සුදුසුය.

හොඳින් හිරු එළිය පතිත වන වර්ෂාව නොමැති කාලවල දී මෙම ක්‍රමය උපයෝගී කර තවාන් ජීවාණුහරණය කර ගත හැක.

රසායනික ද්‍රව්‍ය යෙදීම

වියළි තත්ත්වයේ ඇති තවාන් පාත්තියට දිලීර නාශකයක් යෙදීමෙන් තවාන් පසේ ජීවත්වන රෝග කාරක දිලීර විනාශ කළ හැක. මේ සඳහා,

කැප්ටාන් දිලීර නාශකයකින්

තිරාම් ග්‍රෑම් 25ක් ජලය

තිරාම් + තයෝෆිනේට් මීතයිල ලීටර් 15 ක මිශ්‍රකර

අඩි 3×10 ප්‍රමාණයේ පාත්තියකට යෙදීම ප්‍රමාණවත්‍ය.

තවාන් පාත්තිය දිලීර නාශක මඟින් ජීවාණුහරණය කිරීමේ දී බීජ තවාන් කිරීමට දින දෙක තුනකට පමණ ආසන්නයේ දී කළ යුතු වේ. දිලීර නාශක යොදනු ලබන අවස්ථාව එළඹෙන විට තවාන් පස වියළී තිබිය යුතුය.

බීජ ප්‍රතිකාර කිරීම

බීජ වැපිරීමට පෙර තවාන් පාත්ති ජීවාණුහරණය කළ ද නිරෝගී පැළ ලබා ගැනීම සඳහා බීජ ප්‍රතිකාර කිරීම ද කළ යුතුය. විශේෂයෙන්ම තවානේ දී වැළඳෙන දියමලන්කෑම හා ඇන්ත්‍රැක්නෝස් ආදී දිලීර රෝග මර්දනය සඳහා පහත සඳහන් දිලීර නාශකවලින් එක් වර්ගයක් යොදා බීජ ප්‍රතිකාර කළ හැකි වේ.

කැප්ටාන්

තිරාම්

තිරාම්+තයෝෆිනේට් මීතයිල්

බීජ තවාන් කිරීම හා ප්‍රරෝහණය

තවාන් පාත්ති ජීවාණුහරණය කර ගැනීමෙන් පසු ඉක්මනින් බීජ තවාන් කිරීම වැදගත් වේ. නැතහොත් රෝග කාරක ජීවීන් නැවතත් තවාන් ආක්‍රමණය කිරීමේ අවදානම තිබේ. මීටර් 3 × සෙන්ටි මීටර් 90 පාත්තියකට බීජ ග්‍රෑම් 40 ක් පමණ යෙදීම සුදුසුය. (හෙක්ටයාරයකට අවශ්‍ය බීජ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 01 කි)

දිලීර නාශක යොදා ප්‍රතිකාර කරන ලද බීජීවාණුහරණය කරගත් පාත්තිවල පේළියට වැපිරීම කළ හැකිය.



පේළියට බීජ දැමීමෙන් වල් පැළ ගැලවීම, රෝග හා පළිබෝධ මර්දනය ආදී කාර්යයන් පහසු කරයි. සියුම්ව සකස්කර ගත් පස මතුපිට සෙන්ටි මීටර් 7.5-10 ක් අතර පරතරයක් සිටින සේ පාත්තියේ හරස් අතට කෝටුවකින් ඉරි ගසා බීජ පේළියට වපුරා ඒවා සෙන්ටි මීටර් 1 ක් පමණ ගැබ්ඹ(.රට යටවන සේ සියුම් පස් තට්ටුවකින් ආවරණය කොට ඒ මතුපිට තුනී පිදුරු තට්ටුවක් යොදා ආවරණය කළ යුතුය. බීජ වැපිරූ පසු පළමු වරට ජලය යෙදීමේදී දිලීර නාශක යෙදු ජලය පිදුරු මතට යෙදීම කළ යුතු වේ. මේ සඳහා බීජ ප්‍රතිකාර කිරීමට යොදා ගත් දිලීර නාශකයකින් ග්‍රෑම් 10ක් මල් බාල්දියක ජලය සමඟ දිය කර යෙදීම කළ හැක.

ප්‍රරෝහණය වනතුරු දිනපතා මල් බාල්දියකින් ජලය යොදන්න. පිදුරු වසුන ඕනෑවට වඩා ඝනකම වුවහොත් බීජ ප්‍රරෝහණය සඳහා අවශ්‍ය ජලය ප්‍රමාණවත් ලෙස නොලැඹේ සාමාන්‍යයෙන් දින 7-10 කින් බීජ ප්‍රරෝහණය වේ.

එම අවස්ථාවේ දී පැළවලට හානියක් නොවන ලෙස වසුන ඉවත්කර පිදුරු කොටස් මිරිස් පැළ පේළි අතරට යොදන්න. තවානේ තෙතමනය මිරිස් පැළවලට යෝග්‍ය මට්ටමකින් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

පිදුරු වසුන ඉවත් කළ පසු පළමු වර ජලය යෙදීමේ දී ද ඉහත ආකාරයට දිලීර නාශක යෙදූ ජලය යෙදීම කළ යුතු වේ.

තවාන් රැක බලා ගැනීම

ඉතා කුඩා බීජ පැළ තද සුර්ය රශ්මිය හේතුවෙන් වියළී යා හැකි නිසා තවාන් විවෘත කළ මුල් දින කීපයේ දීස් තවානට සෙවන සැපයීම ද වැදගත්‍ය. තද වර්ෂාවෙන් පැළවලට හානි ඇති විය හැකි බැවින් වර්ෂාව පවතින අවස්ථාවල පමණක් තවාන පොලිතීන් හෝ පොල් අතුවලින් පැළවලට හානියක් නොවන සේ හා දෙපැත්ත විවෘතව පවතින සේ උඩින් පමණක් ආවරණය කරන්න. කෘමීන්ට ඇතුල් විය නොහැකි කෘමි ප්‍රතිරෝධී සියුම් දැල්වලින් තවාන ආවරණය කිරීම මඟින් තවානේ දී ඇති විය හැකි කෘමි හානි බොහෝ දුරට වළක්වා ගත හැක.

ළපටි පැළ කටුස්සන්, මීයන් හා ගොළුබෙල්ලන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තවාන අවට පිරිසිදුව තබා ගැනීමත් පොලිතීන් හෝ පොල් අතු මඟින් තවාන වටා ආරක්ෂක වැටක් ලෙස යෙදීමත් කළ යුතුය.

දියමලන්කෑම තවාන් අවස්ථාවේ පැළවලට බහුලව වැළඳෙන රෝගයකි. මෙය පසෙහි ජීවත්වන දිලීර ගණනාවක් (පිතියම්, ෆයිටොප්තෙරා, ෆියුසේරීයම්, ස්ක්ලෙරෝටියම් විශේෂ) නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. බීජ ප්‍රරෝහනය දුර්වලවීම, පැළ කුණුවීම, පැළවල පාදස්ථය සිහින් වී පැළ කඩා වැටීම ආදී ලක්ෂණ මඟින් මෙය පෙන්නුම් කෙරේ.

එවැනි අවස්ථාවල රෝගි පැළ පස් සමඟ තවානෙන් ඉවත්කර තවාන් ජsවාණුහරණය කිරීමට නිර්දේශ කොට ඇති දීලීර නාශක යොදා රෝග තත්ත්වය පාලනය කර ගත යුතුය.

තවානේ පැළවෙන වල් පැළෑටි අතින් ගලවා ඉවත් කරන්න. කේෂ්ත්‍රයේ සිටුවීමට දින 7-10 ට පමණ පෙර තවානට සපයන ජලය සීමා කොට පැළ දැඩිකර ගත යුතු වේ. බීජ සංස්ථාපනය කොට දින 25-30 ක් ගත වූ, පත්‍ර 5-7 කින් යුක්ත පැළ කේෂ්ත්‍රයේ සිටුවිමට යෝග්‍ය වේ.

බඳුන් තවාන්

මිරිස් ඉහළ ආදායමක් ලබා දෙන බෝගයක් බැවින් වැඩි අස්වැන්නක් කේෂ්ත්‍රයෙන් ලබා ගන්නා තරමට ආදායම වැඩි කර ගත හැකි වේ. සාර්ථක වගා ආරම්භයක් ලබා ගැනීම සඳහා නිරෝගී මනා දිරියකින් යුක්ත වූ හා දැඩි වූ පැළ කේෂ්ත්‍රයේ සිටුවිය යුතුය. මනා දිරියකින් යුත් පැළ ලබා ගැනීම සඳහා බඳුන් තවාන් උපයෝගී කර ගත හැකි වේ.

මැනවින් හිරුඑළිය පතිත වන, ජල පහසුව සහිත, හොඳින් ජලය බැස යන, සතුන්ගෙන් හානි නොවන ස්ථානයක් බඳුන් තැබීම සඳහා තෝරා ගත යුතුය.

බඳුන් මිශ්‍රණය

මතුපිට පස් හා දිරූ ගොම පොහොර වෙන වෙනම ගෙන සල්ලඩයකින් හෝ දැල් ගෝනියකින් හලා 1:1 අනුපාතයට මිශ්‍ර කර බඳුන් පිරවීම සඳහා යොදා ගත හැකිය. මතුපිට පස්, ගොම පොහොර, වැලි හා දහයියා අඟුරු (කර දහයියා) 2:2:1:1 යන අනුපාතයට මිශ්‍රකර බඳුන් මිශ්‍රණය සාදා ගැනීම වඩා උචිතය.

බඳුන් මිශ්‍රණය සඳහා යොදා ගනු ලබන පස් මීට පෙර සඳහන් කර ඇති පරිදි ජීවාණුහරණය කර ගන්නේ නම් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි වේ.

දහයියා අඟුරු සාදා ගැනීම සඳහා චිත්‍රයේ දක්වා ඇති ආකාරයට තැනින් තැන සිදුරු යොදන ලද සිලින්ඩරාකාර බඳුනක් හෝ ටින් එකක් ගෙන එහි පතුලට දුම් බටයක් සවිකොට මුනින් අතට නවා ගින්දර දැමීම සඳහා සිදුරක් සාදා ගත යුතුය. සිලින්ඩරය තුළ ගිනි දල්වා එය වටේට දහයියා ගොඩ ගසා වරින් වර කලවම් කරමින් අඟුරු පදමට පුළුස්සා ගත යුතුය. දහයියා අඟුරු සුළු ප්‍රමාණයක් අවශ්‍ය වන විට දී තැටියක දමා කළු පැහැවන තුරු පුළුස්සා ගැනීමට ද පුළුවන.

බඳුන් සැකසීම

බඳුන් සැකසීම සඳහා හකුලා තිබෙන විට සෙන්ටි මීටර 10 ක් (අඟල් 4) පළල හා සෙන්ටි මීටර් 10 ක් උස පොලිතීන් බඳුන් භාවිතා කිරීම වාසිදායක වේ. ජලවහනය සඳහා බෑගයේ පතුලේ කුඩා සිදුරු 4-8 ක් පමණ ඇති කළ යුතුය. පතුල සීල් නොකරන ලද බැගයක් ද මේ සඳහා යොදා ගත හැක. මෙසේ සකස් කරගත් පොලිතීන් බෑගයේ දාරය සෙන්ටි මීටර් 2-3 ක් පමණ ඇතුල් පැත්තට වාටියක් මෙන් නවා පාංශු මිශ්‍රණය පුරවා ගන්න. මෙසේ කිරීමෙන් පොලිතීන් බෑගයේ කට ඇතුළට නැවී යෑම වළක්වා ගත හැකිය.

බඳුන්වලට පුරවන අවස්ථාවේ දී පස් මිශ්‍රණය එකට නොඇලී ලිහිල්ව තබා ගැනීම සඳහා තෙතමනය අඩුවෙන් තිබිය යුතුය. පුරවා ගත් බඳුන් එකිනෙකට ලංව සිටිනසේ බඳුන් තවාන සඳහා තෝරාගත් ස්ථානයක අසුරා ගත යුතුය. මිටරයක් නොඉක්මවන පළලකට හා කැමති දිග ප්‍රමාණයකට බඳුන් අසුරා ගැනීමෙන් බීජ රෝපණ කටයුතු පහසු වේ. පොලිතීන් බඳුන් වෙනුවට කඩදාසි මලු යොදා ගත හැකිය. වෙළඳ පොළේ අලෙවියට තබා ඇති තවාන් සඳහාම වූ බඳුන් හා තවාන් තැටි ද මේ සඳහා යොදා ගත හැකිය.

බඳුන්වල බීජ සිටුවීම හා ආරක්ෂා කර ගැනීම

එක් බඳුනක තිබිය යුත්තේ මිරිස් පැළ දෙකකි. බඳුන තුළ සෙන්ටි මීටර් 1/2 - 1 ක් පමණ ගැඹුරට සිදුරු 2 - 3 ක් සාදා ඒ තුළට බීජ දමා බඳුනේ අඩංගු මිශ්‍රණයෙන්ම වසා ජලය යොදන්න. බීජ පැළවන තුරු වසුන් යෙදීම අත්‍යාවශ්‍ය වේ.

මේ සඳහා සෙන්ටි මීටර් 2-3 ක් පමණ ඝන වූ පිදුරු තට්ටුවක්, සෙවණ දැල් හෝ තෙත ගෝනි යොදා ගැනීම සුදුසු ය. වේයන්ගෙන් හා කුහුබවන්ගෙන් හානි සිදුවේ නම් ඒ සඳහා සුදුසු කෘමි නාශකයක් ජලයේ දිය කොට වසුන මතින් යෙදීම සුදුසුය.

කුඩා පැළ පසෙන් ඉහළට මතු වූ විගස වසුන ඉවත් කරන්න. මුල් අවධියේ දී බීජ පැළ ඉතා මෘදු බැවින් තද සූර්යාලෝකයෙන් හා වර්ෂාවෙන් ආරක්ෂා කර ගත යුතු වේ. බඳුන්වලට ඉහළින් දෙපැත්ත විවෘත වනසේ අර්ධ කවාකාර පොලිතීන් ආවරණයක් හෝ පොල් අතු යෙදීමෙන් අහිතකර තත්ත්වයන්ගෙන් පැළ ආරක්ෂාකර ගත හැකි වේ.

බීජ සිටුවා දින 7-10 ක් අතර කාලයේ දී පත්‍ර දෙකක් සහිත පැළ අවස්ථාව එළඹුන විට බඳුනක පැළ දෙකක් පමණක් ඉතිරි වනසේ සෙසු පැළ ගලවා ඉවත් කරන්න. ඉවත් කරනු ලබන පැළ නැවත බඳුන්වල රෝපණය කිරීමෙන් පැළ අපතේ යෑම වළක්වා ගත හැකිය.

බඳුන් මාධ්‍යයේ තෙතමනය නිසි පරිදි පවත්වාගෙන යෑම සඳහා ක්‍රමවත්ව ජල සම්පාදනය කරන්න. තෙතමනය අධික වුවහොත් දියමලන්කෑම ආදී රෝගවලට ගොදුරු විය හැකිය.

මිරිස් පැළ ක්‍රමයෙන් වර්ධනය වන අතරතුර ඒවා දැඩිකර ගැනීම සඳහා හිරුඑළිය වැටෙන කාල සීමාව ක්‍රමයෙන් වැඩි කර ගත යුතුය. කෘමි හා රෝග හානි පිළිබඳව දැඩි සෙවිල්ලෙන් සිටිය යුතු අතර අවශහ් වන්නේ නම් පමණක් සුදුසු කෘමි නාශකයක් යෙදිය යුතුය.

බඳුන් අතර සැගවී සිට කුඩා පැළවලට හානි කරන ගොළුබෙල්ලන්, කටුස්සන් හා මීයන් සිටිය හැකි බැවින් තවාන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. තවානෙන් මතුවන වල් පැළෑටි අතින් ගලවා ඉවත් කළ යුතු වේ.

බඳුන් පැළ සිටුවීම

බීජ සිටුවා දින 25-30 ක් පමණ ගත වූ පසු බඳුන් පැළ කේෂ්ත්‍රයේ සිටුවීමට යොදා ගත හැක. තවානේ සිට කේෂ්ත්‍රය දක්වා බඳුන් පැළ ගෙන යෑමේ දී වන හානි වැළැක්වීම සඳහා සමතල පතුල සහිත භාජනයක බඳුන් පැළ අසුරා කේෂ්ත්‍රයට ගෙන යා හැකිය. පොලිතීන් බඳුන දෙපැත්තෙන් සිරස් අතට කැපුම් දෙකක් යොදා පොලිතීන් බඳුන ඉවත් කර පස බුරුල් නොවන සේ කුට්ටිය පිටින් කේෂ්ත්‍රයේ සිටුවිය යුතුය.

බඳුන් ක්‍රමයේ වාසි

කේෂ්ත්‍ර තවාන්වලින් පැළ ගලවා සිටුවීමේ දී පැළයේ මූල මණ්ඩලයට හානි සිදුවිය හැකිය. එනිසා පැළයේ වර්ධනය බාල වේ. එවන් පැළයක් ප්‍රකෘති තත්ත්වයට පත්වීමට කාලයක් ගත වේ. තව ද කේෂ්ත්‍රයේ සිටවූ පසු ඇතිවන කම්පනය හේතුවෙන් ද පැළ මැරී යා හැකි බැවින් වගා කේෂ්ත්‍රයේ පාළු ඇති විය හැක. මුල් කැඩුණු ස්ථානවලින් පැළ තුළට රෝග කාරකයින් ද ඇතුල් විය හැකිය. බඳුන් පැළවලට එවැනි හානියක් ඇතිවීමේ ඉඩ කඩ ඉතා සීමිත වේ. බඳුන් පැළ මඟින් හානිවලින් තොර මූල මණ්ඩලයක් සහිත පැළ ලබා ගත හැකිය.

ඒවා කේෂ්ත්‍රයේ දී වර්ධන පසු බෑමකට ලක් නොවී ඉක්මනින් ස්ථාපනය වී මැනවින් වැඬේ. කේෂ්ත්‍රයේ සිටුවීමෙන් පසු මිය යන පැළ සංඛ්‍යාව අඩුවන බැවින් පාළු සිටුවීමේ අවශ්‍යතාවය ද අඩුවේ. සිටුවනු ලබන බීජවලින් උපරීම පැළ සංඛ්‍යාවක් ලබා ගත හැකි වන බැවින් බඳුන් ක්‍රමය වාසිදායක වේ.කේෂ්ත්‍ර තවානකින් ගලවා සිටුවන ලද පැළවලට වඩා ඉක්මනින් මල් හට ගන්නා බැවින් අස්වැන්න ඉක්මනින් නෙළා ගත හැකි වේ. බඳුන් පැළ රෝපණය කිරීම මඟින් පැළයකින් වැඩි කරල් සංඛ්‍යාවක් ලබා ගත හැකි බැවින් ආදායම වැඩි වේ. තවද ඒකාකාරී වර්ධනයක් සහිත වගාවක් පවත්වා ගත හැකිය.

කුට්ටි තවාන්

පැළ උදුරා නැවත සිටුවීමේ දී සිදුවන හානි අඩු කර ගැනීම සඳහා කුට්ටි තවාන් ක්‍රමය ද භාවිත කර ගත හැකිය. මෙම ක්‍රමයට සකස් කරගත් පැළ පසෙන් නොගලවා පස් කුට්ටි සේ තිබියදීම සිටුවනු ලැබේ. කුට්ටි තවානක් සකස් කර ගැනීම සඳහා මතුපිට පස් හා හොඳින් දිරාපත් වූ ගොම පොහොර හෝ කොම්පෝස්ට් පොහොර සමාන කොටස්වලින් ගෙන හොඳින් කුඩුකර ගත යුතුය. සල්ලඩයකින් හලා ඉන් අනතුරුව ජීවාණුහරණය කර ගත හැකි නම් වඩා සුදුසුය.

මතුපිට පසේ මැටි ගතිය වැඩිනම් වැලි ප්‍රමාණයක් ද එකතු කරන්න. මෙම මිශ්‍රණයට ජලය දමා කුට්ටි කැපිය හැකි පදමට අනාගන්න. ජලය පමණට වඩා යෙදීමෙන් අනාගත් මිශ්‍රණය වියළීමේ දී ගල් මෙන් තද වී මුල් ඇදීම අපහසු වීමට ඉඩ තිබේ.

සමතලා පොළොව මත දහයියා හෝ වැලි තට්ටුවක් හෝ පොලිතීන් (හිල් සහිත) අතුරා අනාගත් තවාන් මිශ්‍රණය සෙන්ටි මීටර් 10-12 ක් උසට මීටරයක් දිග පළල ඇතිව හරි හතරැස්ව තුනී කළ යුතුය. මේ සඳහා සෙන්ටි මීටර් 10-12 ක් උස මීටරයක් දිග පළල ඇති ලී රාමුවක් භාවිත කළ හැකි නම් පහසු වේ.

ලෑල්ලක අධාරයෙන් මතුපිට සමතලා කරන්න. මිශ්‍රණය පමණට වඩා තද නොකළ යුතුය. මෙසේ හතරැස්ව සකස් කළ මැටි මිශ්‍රණය පැය 24 ක් පමණ වියළීමට හැර අඟල් 1 1/2 × 1 1/2 පමණ ප්‍රමාණයේ කුඩා හතරැස් කුට්ටිවලට වෙන් වන සේ පිහිතලයකින් කපා එසේම තිබෙන්න හරින්න. හතරැස් කුට්ටිවල මැද සෙන්ටි මීටර 1/2 ගැඹුරට බීජ දමා තවාන් මිශ්‍රණය භාවිතකර සිදුර වසා දමන්න.

බීජ පැළ වන තෙක් පිදුරු හෝ වියළි තෘණ මඟින් ආවරණය කොට වෙනත් තවාන්වලට මෙන් ජලය සපයන්න. බීජ පැළ වූ පසු වසුන ඉවත් කරන්න.

සෙවන සපයන්න. වර්ෂා ජලයෙන් ආරක්ෂා කරන්න. පැළ අවශ්‍ය තරමට වැඩුණු පසු පිහි තලයක ආධාරයෙන් පස් කුට්ටි ප්‍රවේශමෙන් වෙන්කර පස් කුට්ටි සමඟම පැළ රෝපණය කරන්න.

ක්ෂේත්‍ර කටයුතු

මූලික බිම් ක්‍රමය

මිරිස් ශාකයේ මූල මණාඩලය පොළොව තුළ සෙන්ටි මීටර් 60 ක් පමණ ගැඹුරට වර්ධනය වන හෙයින් සාරවත් වගාවක් සඳහා ගැඹුරු සරු පසක් තිබීම ඉතා වැදගත්‍ය. වගාව සඳහා බිම් සකස් කිරීමේ දී උදැල්ලකින් හෝ යන්ත්‍ර මඟින් පස ගැඹුරට පෙරළීමත් ඉන් අනතුරුව කැට පොඩි කිරීම හා පස ලිහිල්ව සකස් කර ගැනීමත් කර ගත යුතු වේ. පස නිසි පරිදී සැකසීම මඟින් ශාකයේ මූල මණ්ඩලයට හිතකර ලෙස වැඩීමට අවශහ් පෝෂක හා ජලය රඳවා තබා ගැනීමට හැකිවනු ඇත.

රෝද දෙකේ හෝ හතරේ ට්‍රැක්ටර් භාවිතයෙන් බිම් සැකසීමේ දී තැටි නඟුල, හැරෝව හා කොකු නඟුල මඟින් පිළිවෙලින් පස පෙරලීම, කැට පොඩි කිරීම සහ ලිහිල්ව සකස් කිරීම කර ගත හැකි වේ. පැළ සිටුවීම සඳහා වැටි සහ කාණු ආකාරයට ක්ෂේත්‍රය පිළියෙල කරන්නේ නම් රිජරය යොදා ගනිමින් ද පාත්ති ආකාරයට පිළියෙල කරන්නේ නම් උදළු මඟින් ද නියමිත පරතරයට පාත්ති සාදා ගැනීම කළ යුතු වේ

පාත්ති සහ කාණු ක්‍රමය (උස් පාත්ති)

සෙන්ටි මීටර් 30-60 ක් පමණ ගැඹුරට ඉඩමේ පස පෙරළා කැට පොඩි කර ගන්න. ජලසම්පාදනය යටතේ වගා කරන විට දී පාත්තියක පළල සෙන්ටි මීටර් 90 ක් පමණ තිබීම සුදුසුය. ඉඩමේ ජලවහනය මැනවින් පවත්වා ගත හැකි වන පරිදි පාත්ති අතර කාණු යොදා ගත යුතුය. විශේෂයෙන් කුඹුරුවල වගා කරන විට දී ජල සම්පාදනය හා ජල වහනය මැනවින් පාලනය කිරීම සඳහා කාණු හා උස් වූ පාත්ති සාදා ගැනීම අතිශයින් වැදගත් වේ.

පාත්තියේ උස තීරණය කළ යුත්තේ පසේ ජලවහන තත්ත්වය, ජල සම්පාදන හැකියාව, වර්ෂාපතනය ආදී කරුණු සැළකිල්ලට ගත් පසුය. සමහර වගාකරුවන් පළලින් වැඩි පාත්ති සකස් කරගැනීම නිසා සාර්ථකව ජල සම්පාදනය හා ජල වහනය කර ගත නොහැකිව අසීරුතාවයට පත් වේ.

පාත්ති අතර ඇති කාණු මඟින් ජල සම්පාදනය කිරීම ද වැඩිපුර ඇති ජලය ක්ෂේත්‍රයෙන් බැහැර කරවීම සඳහා ද යොදා ගත හැක.

ඇලි හා වැටි ක්‍රමය

විශේෂයෙන්ම කුඹුරුවල හා ජල වහනය දුර්වල ක්ෂේත්‍රයන්හි මිරිස් වගා කිරීමේ දී මෙම ක්‍රමය වඩාත් උචිතය. මෙහි දී සෙන්ටි මීටර් 60 පරතරයට ඇලි සහ වැටි සකස් කිරීම සිදු කරයි. රිජරය යොදා හෝ උදැල්ලකින් මෙම වැටි සහ කාණු සකස් කර ගැනීම කළ හැකිය. මතුපිට ජල සම්පාදනයේ දී මෙම ඇලි හරහා බෝගයට ජල සම්පාදනය කළ හැකි අතර අධික වර්ෂාවේ දී හොදින් ජල වහනය වීමටද මෙම ඇලි උපයෝගී කර ගත හැක.

ගිල්වු පාත්ති ක්‍රමය/කුඩා ලියදි ක්‍රමය/බේසම් ක්‍රමය

ලියදි ක්‍රමය ජල ඌන ප්‍රදේශවලට වඩාත් යෝග්‍ය වේ. මෙම ක්‍රමය අනුගමනය කිරීමෙන් පාත්ති සහ කාණු ක්‍රමයට වඩා අඩු ජල ප්‍රමාණයකින් බෝගවලට ජලය සපයා ගත හැකි වේ.

මෙම ක්‍රමය උපයෝගී කරගනු ලබන කේෂ්ත්‍රවල ජල වහනය මැනවින් සිදුවිය යුතුය. අපතේ යන ජල ප්‍රමාණය ද අඩුය.

රූපයේ දක්වා ඇති ආකාරයට සාමාන්‍යයෙන් මීටර් 3×3 ප්‍රමාණයට ලියදි සකසාගනු ලැබේ. පවතින ඉඩකඩ, බෝගයේ අවශ්‍යතාවය හා පසේ තත්ත්වය අනුව ලියදිවල විශාලත්වය අඩු වැඩි කරගත යුතුය. විශාල ලියදි සකස් කිරීමෙන් ජල සම්පාදන වියදම ඉහළ යයි. වැයවන ජල ප්‍රමාණය වැඩි බැවින් කාර්යක්ෂමතාවය අඩුය. කුඩා ලියදි සෑදීමෙන් නියරවල්වලට වැයවන බිම් ප්‍රමාණය වැඩිවන නමුත් ජල භාවිතය වඩා කාර්යක්ෂම වේ.

ජලය සපයා ගනු ලබන අවස්ථාවේ දී ජලය රඳවා ගැනීම පිණිස ද සෑම ලියද්දක් වටේට සෙන්ටි මීටර් 20-30 ක් පමණ පුළුල්වූ ද, සෙන්ටි මීටර් 10-15 පමණ උස්වූ ද නියරක් සාදාගත යුතු වේ. සෑම ලියද්දකටම ජලය හැරවිය හැකි වන සේ වෙන වෙනම ජල සම්පාදන කාණු හා ජල දොරවල් සකස් කරගත යුතුය.

ජල දොරවල් සඳහා පස් කුට්ටි, ලී කෑලි, පිදුරු, ප්ලාස්ටික් තහඩු ආදී ඕනෑම දෙයක් උපයෝගී කර ගත හැකිවේ. පාත්ති සහ කාණු ක්‍රමයේ දී මෙන්ම ප්‍රධාන ජල සැපයුම් මාර්ගය, භූමියේ පිහිටීම හා අවශ්‍යතාවය අනුව ශාඛාවලට බෙදා ගත යුතුය.

කුඩා හතරැස් ලියැදි සකසා ගැනීමට අපහසු ස්ථානවල ඕනෑම හැඩයකට කුඩා ලියදි ඉදිකර ගත හැකි වේ. කුඩා ලියදි සහ ජල සැපයුම් මාර්ග එකම මට්ටමකට ඉදිකිරීම හෝ ජල සැපයුම් මාර්ග ස්වල්ප වශයෙන් කුඩා ලියදිවලට වඩා උස් වන සේ ඉදිකිරීම සුදුසුය.

පළමු ජල මුරයේ දී ඉහළ සිට පහළටත්, දෙවන ජල මුරයේදී පහළ සිට ඉහළටත් සරළ දොරවල් ඇරීමෙන් සහ වැසීමෙන් අවශහ් පරිදි සෑම ලියද්දකටම ජලය සපයා ගත හැකි වේ.

එක් එක් කුඩා ලියද්දට ප්‍රමාණවත් තරම් ජලය පිරුණු පසු එහි ජල දොර වසා ඊළඟ කුඩා ලියද්දට ජලය සැපයීම කළ යුතුය.

මේ අනුව එක පේළියක ඇති සියලුම කුඩා ලියදි අග සිට මුල දක්වා හෝ මුල සිට අග දක්වා ජලයෙන් පුරවා ගත් පසු එම කුඩා ලියදි පේළියට ජලය සපයන කාණුවේ දොර වසා දැමිය යුතුය. මෙම ක්‍රමය අනුqගමනය කිරීම තුළින් ජලය බොහෝ සෙයින් අරපරිස්සම් කර ගත හැකි වන බැවින් ජල සම්පාදන වියදම් අඩු වේ.

වරක් සකස් කර ගන්නා ලද කුඩා ලියදි සහ කාණු පද්ධතිය කීප වාරයක් බෝග ස්ථාපනය කිරීම සඳහා භාවිතා කිරීමෙන් බිම් සකස් කිරීමේ වියදම් ද අඩු කර ගත හැකි වේ. ගොඩ ඉඩම්වල අතිරේක ආහාර බෝග වගා කිරීමේ දී මෙම ක්‍රමය ඉතාමත් යෝග්‍ය වේ.

කුඹුරුවල අතිරේක බෝග වගා කිරීමේදී ද මෙය ඉතාමත් යෝග්‍ය වුවත් වී වගාවට එලඹීමත් සමඟ පද්ධතිය විනාශ කිරීමට සිදුවේ. වවුනියාවේ හා යාපනයේ ගොවීහු මෙම ක්‍රමය බොහෝ පෙර සිට ඉතා සාර්ථකව අනුගමනය කරති. වගා ළිංවලින් ජලය සපයාගෙන කරනු ලබන ගොවිතැනේ දී ජලය අරපිරිමසා ගැනීමට හා ජල සම්පාදන වියදම් අඩු කර ගැනීමට මෙම ක්‍රමය ඉතා යෝග්‍ය වේ.

පැළ සිටුවීම

දින 30 ක් පමණ වයස් ගතවූ පත්‍ර 5 - 6 ක් (බීජ පත්‍ර හැර) සහිත පැළ කේෂ්ත්‍රයේ සිටුවීම සඳහා සුදුසු ය. වර්ෂාව නොලැබීයාම නිසා නිසි වයසේ දී පැළ කේෂ්ත්‍රයේ සිටුවීමට නොහැකිවන අවස්ථා ද ඇත. වැසි ලැබෙන අවස්ථාව එළඹෙන විට එම පැළවල වයස වැඩිය. මෙය විශේෂයෙන්ම මහ කන්නයේ වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ මුහුණ දෙන ගැටළුවකි.

තවානේ තිබිය දී පැළවල මල් පිපී ඇත්නම් මල් ඉවත්කර සිටුවීම කළ හැක. පැළ හොඳින් මෝරා ඇති බැවින් වර්ෂාව ලැබීමත් සමඟ සිටුවීමෙන් එම පැළ ක්ෂේත්‍රයේ ඉක්මනින් ස්ථාපනය කර ගත හැක. එම පැළවලට දරා ගැනීමේ ශක්තියක් තිබීම එයට එයට හේතුවයි.

විශේෂයෙන්ම හේන් ගොවිතැනේ දී, වඩා මේරු පැළ භාවිතා කිරීම වඩාත් යෝග්‍යවේ.

සාමාන්‍ය තත්ත්ව යටතේ කේෂ්ත්‍රයේ සිටුවීමට දින 7-10 කට පමණ පෙර සිට ජල සම්පාදනය සීමාකර පැළ දැඩිකර ගත යුතුය. තවාන්වලින් පැළ ගැලවීමට පැය 6 කට පමණ පෙර පසට හොඳින් ජලය උරා ගත හැකි වන සේ මැනවින් තවාන් තෙත් කරන්න.

එසේ කිරීමෙන් තවානෙන් පැළ ගැලවීමේ දී මුල් වලට සිදුවන හානිය අවම කර ගත හැකිය. තවානෙන් පැළ ගැලවීම සඳහා කුඩා ඉස්කෝප්පයක් භාවිතා කර පසුත් සමඟ ගලවා කේෂ්ත්‍රයේ රෝපණය කළයුතුය. පැළ ඇඟිලිවලින් ඇද, ගැලවීම නුසුදුසුය.

බඳුන් හා කුට්ටි තවාන්වලින් ලබා ගන්නා පැළ කේෂ්ත්‍රයේ රෝපණය කළ යුතු ආකාරය එම තවාන් ක්‍රමය යටතේ විස්තර කර ඇත.

පැල සිටුවීමේ පරතරය

ප්‍රභේද

අහස් දියෙන්(සෙ.මී)

ජල සම්පාදනයෙන්(සෙ.මී)

එම්.අයි .1

60×60

60×60 හෝ 75×75

එම්.අයි .2

45×30

60×45

කේ.ඒ.2

45×30

60×45

අරුණළු

45×30

60×45

එම්.අයි.හොට්

45×30

60×45

එම්.අයි.ග්‍රීන්

45×30

60×45

ගල්කිරියාගම වරණය

45×30

60×45

වැරණියා මිරිස්

60×60

60×60

දෙමුහුම් ප්‍රභේද

-

60×60

කේෂ්ත්‍රයේ පැළ සිටුවීම සඳහා සෙන්ටි මීටර් 10ක පමණ විෂ්කම්භයකින් යුතු වලක් සකසා පැළ සිටුවීමට සතියකට පමණ පෙර එයට ගොම හෝ කොම්පෝස්ට් පොහොර කිලෝ ග්‍රෑම් 1/2 ක් පමණ හා ඉදිරියෙන් දක්වා ඇති මූලික රසායනික පොහොර ද එකතු කර පස් සමඟ මැනවින් කළවම් කර තැබිය යුතුය.



පොහොර යෙදීම

පොහොර යෙදීම

වගා ආරම්භයට පෙර යෝජිත කේෂ්ත්‍රයේ මිරිස් වගාවට යෙදිය යුතු නිවැරදි පොහොර වර්ග හා ප්‍රමාණයන් දැනගත යුතු වේ.

කාබනික පොහොර

මිරිස් වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා රසායනික පොහොරවලට අමතරව කාබනික පොහොර යෙදීම අතිශයින් වැදගත් වේ.

අංශුමාත්‍ර මූලද්‍රව්‍ය පසට එකතුවීම, රසායනික පොහොර භාවිතයේ කාර්යක්ෂමතාවය වැඩිවීම හා පැවැත්ම, පාංශු ව්‍යුහය ද දියුණුවීම හේතුකොට ගෙන මූල මණ්ඩලය මැනවින් වැඩීම, බෝගවලට විවිධාකාරයෙන් සෙත සලසන ක්ෂූද්‍ර ජස්වීන්ගේ ගහනය වැඩිවීම, තෙතමනය ආරක්ෂාවීම ආදී හේතු කරනකොට ගෙන කාබනික පොහොර යෙදීමෙන් නිරෝගිමත් වගාවක් හා සරු අස්වැන්නක් ලබා ගත හැකිය. කාබනික පොහොර වශයෙන් දිරාපත්වූ ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කුකුළු හෝ එළු පොහොර යොදා ගත හැකි වේ. අක්කරයකට කාබනික පොහොර අවම වශයෙන් ටොන් 4 යෙදීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

මේවාට අමතරව අමු ග්ලිරිසීඩියා හෝ වෙනත් කොළ වර්ග අක්කරයකට ටොන් 2 ක් පමණ පසට කළවම් කිරීමෙන් හෝ වසුනක් ලෙස යෙදීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වී ඇත. වසුනක් ලෙස යොදනවාට වඩා පසට කළවම් කිරීම සුදුසුය. අක්කරයකට සන්හෙම්ප් බීජ කිලෝ ග්‍රෑම් 20 ක් පමණ වපුරා සන්හෙම්ප් වගාවේ 25% - 50% ක් පමණ මල් පිපෙන අවස්ථාවේ දී පසට කළවම් කිරීමෙන් ද කාබනික ද්‍රව්‍ය එක්කර ගත හැකි වේ. පෙර සඳහන් දිරාපත්වූ සත්ත්ව පොහොර, වලකට ග්‍රෑම් 500 ක් පමණ වනසේ පැළ සිටුවීමට සතියකට පෙර පස් සමඟ කළවම් කර තැබිය යුතුය.

රසායනික පොහොර

මිරිස් රසායනික පොහොර සඳහා හොඳින් ප්‍රතිචාර දක්වන බෝගයකි. කාබනික පොහොර මඟින් ලැබෙන ප්‍රධාන පෝෂක සීමිත බැවින් රසායනික පොහොර යෙදීම මඟින් නයිට්‍රිජන්, පොස්පරස්, පොටෑසියම් යන ප්‍රධාන පෝෂක තුන මිරිස් ශාකවලට ලබා දී වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. ජල සම්පාදිත හා වර්ෂා පෝෂිත වගා සඳහා වෙන වෙනම පොහොර නිර්දේශ දෙකක් ලබා දී ඇති අතර, වර්ෂා ජලයෙන් වගා කිරීමේ දී වසුන් යෙදීම මඟින් පොහොරවල කාර්යක්ෂමතාවය වැඩි කර ගත හැකිවේ.

පහත සඳහන් ක්‍රියා මාර්ග අනුගමනය කිරීම මඟින් පොහොර යෙදීමේ ප්‍රතිඵල ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත හැකි වේ.

  • මූලිකව යොදනු ලබන පොස්පරස් හා පොටෑසියම් අඩංගු පොහොර සිටුවීමට දින 2-3 ට පෙර සිටුවීම සඳහා යෝජsත ස්ථානයේ පස සමඟ හොඳින් මිශ්‍ර කිරිම.
  • හෙක්ටයාරයකට වලවල් 35,000 ක් පමණ වන බැවින් මූලික පොහොර මැනවින් මිශ්‍ර කර වලකට ග්‍රෑම් 5-10 බැගින් යෙදීම.
  • සති 02 දී හා සති 04 දී යොදන මතුපිට පොහොර ශාකයට සෙන්ටි මීටර 15 ක් පමණ දුරින් ගස වටා යොදා හොඳින් පස සමඟ මිශ්‍ර කිරිම.

  • සති 08 දී හා 12 දී පැළ පේළි දෙකක් අතරට මතුපිට පොහොර යොදා පසට කලවම් කිරීම.
  • පස යෝග්‍ය තරම් තෙත් වී ඇති විට හෝ ජල සම්පාදනයට පසුව පොහොර යෙදීම.
  • කාබනික පොහොර වශයෙන් කොම්පෝස්ට්, අමු කොළ, හොදින් දිරාගිය සත්ත්ව අපද්‍රව්යෙඅ ආදිය පැළ සිටුවීමට පෙර පසට යොදා මිශ්‍ර කිරීම කළ යුතුය.



පෝෂක ද්‍රව්‍ය (කි.ග්‍රෑ/හෙක්.)

යූරියා

ත්‍රිත්වසුපර් ෆොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

N

P2O5

K2O

මූලික පොහොර

-

100

50

-

45

30

මතුපිට පොහොර මුර

සිටුවා සති 2 කට පසු

65

-

-

30

-

30

සිටුවා සති 4 කට පසු

65

-

-

30

-

-

සිටුවා සති 8 කට පසු

65

-

50

30

-

-

සිටුවා සති 12 කට පසු

65

-

-

30

-

-

එකතුව

260

100

100

120

45

60

යොදන අවස්ථාව

පොහොර වර්‍ග(කි.ග්‍රෑ./හෙක්.)

පෝෂක ද්‍රව්‍ය(කි.ග්‍රෑ./හෙක්)

යූරියා

ත්‍රිත්ව සුපර් ෆොස්පේට්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

N

P2O5

K2O

මූලික පොහොර

-

100

50

-

45

30

මතුපිට පොහොර මුර

සිටුවා සති 2 කට පසු

100

-

-

45

-

-

සිටුවා සති 4 කට පසු

125

-

-

60

-

-

සිටුවා සති 8 කට පසු

125

-

50

60

-

30

සිටුවා සති 12 කට පසු

125

-

-

60

-

-

එකතුව

475

100

100

225

45

60

ජල සම්පාදනය

සෙසු සියළුම බෝගවල දී මෙන්ම මිරිස් වගාවේදී ද, ජල සම්පාදනය හා ජලවහනය ප්‍රශස්ථව තබා ගැනීම වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා අතිශයින් වැදගත් වේ. ජල සම්පාදනය කිරීම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ හැකිය. දින 150ක් පවත්වා ගැනීමට අදහස් කරන මිරිස් වගාවකට සෙන්ටි මීටර් 120ක ජල ප්‍රමාණයක් අවශහ් වේ. එනම් කිසියම් භුමි ප්‍රමාණයක් සෙන්ටි මීටර 120ක් උසට වැසී යන තරම් ජලය අවශ්‍ය වේ. මේ අනුව හෙක්ටයාරයක මිරිස් වගාවක් සඳහා දින 150 කට අවශ්‍ය ජල ප්‍රමාණය ඝන මීටර් 12,000 කි.

වෙනත් ආකාරයකින් දක්වතොත් හෙක්ටයාරයක මිරිස් වගාව සඳහා ජලය අක්කර අඩි 10 ක් අවශ්‍ය වේ. අක්කරයක මිරිස් වගාව සඳහා ජලය අක්කර අඩි 4 ක් පමණ අවශ්‍ය වේ. මල් හා ළපටි කරල් අවස්ථාවල දී ජල හිඟයක් ඇති නොවන සේ රැක බලා ගැනීමෙන් මල් හා කරල් හැලීම වළක්වා ගත හැකි වේ. ලැබෙන වර්ෂාපතනය අනුව බෝගයට අමතරව සැපයිය යුතු ජල ප්‍රමාණය තීරණය කළ යුතු වේ. සෙන්ටි මීටර් 90 ක පළලින් යුතු උස් වු පාත්තිවලට ජලය සැපයීමේ දී පාත්ති අතර ඇති කාණුවල උඩ මට්ටම දක්වා ජලය පිරෙන පරිදි කාණු පුරවා පාත්තිවලට උරා ගැනීමට සැලැස්විය යුතුය. පාත්ති ජලයෙන් යට කිරීම නුසුදුසු වේ.

මිරීස් පැළ සිටුවා ඇත්තේ පාත්ති තුළ කාණුවලට ආසන්නයෙන් බැවින් කාණුවලට ජලය පිරවීම මඟින් ශාකවලට අවශ්‍ය ජල ප්‍රමාණය සපයා දිය හැකි වේ. පළලින් වැඩි පාත්තිවල මැද කොටසට ජලය උරාගනු ලබන්නේ නැති තරම්‍ය. පාත්තිවල සිටුවා ඇති මිරිස්වලට ජලය සැපයීමේ දී කාණුවල උඩ මට්ටම දක්වා ජලය පිරවීම සෑහේ.

මුල් සතිය හා දෙවන සතිය දක්වා මූල මණ්ඩලයේ සාර්ථක වැඩීම තහවුරු කිරීම සඳහා දින තුනකට වරක් පමණ ජලය සැපයීම සුදුසුය. ඉන් අනතුරුව දින 5-7 කට වරක් ජලය සැපයීම සෑහේ. එහෙත් එය පසේ වයනය හා ජලය රඳවා ගැනීමේ හැකියාව මත රඳා පවතී.

මාස 2 කට පසු සතියකට වරක් ජලය සැපයීම සෑහේ. එසේ වුව ද පසේ වියළීමේ ස්වභාවය හා වර්ෂාපතනය ආදී කරුණු සැළකිල්ලට ගෙන ජල සම්පාදනය කිරීම උචිත වේ.

ජල ඌනතාවය නිසා ශාකවල වැඩීම බාලවී මල් හා කරල් හැළීමට ඉඩ ඇති බැවින් ද අවශහ් පමණට වඩා ජලය සැපයීමෙන් පසේ වාතනය දුර්වලවී දිලීර හා බැක්ටීරියා රෝග පැතිරීමට ඉඩ ඇති බැවින් ද ප්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගැනීම උචිත වේග බදුන් කළ පැළ හෝ කුට්ටි තවාන් පැළ සිටුවන්නේ නම් වගාව ආරම්භයේ දී කෙටි කලාන්තර තුළ ජලය සැපයීම අවශ්‍ය නොවනු ඇත.

බෝග මැනවින් කේෂ්ත්‍රයේ ස්ථාපනය වීමෙන් පසු පසේ තෙතමන තත්ත්වය පරික්ෂාකර බලා අවශ්‍යතාවය අනුව ජල සම්පාදන කාලාන්තරය තීරණය කළ යුතුයග බේසම් ක්‍රමයට සිටුවන ලද මිරිස් පැළ සඳහා වැටි සහ කාණු ක්‍රමයට වඩා පිරිමැසුම්දායකව ජලය සැපයිය හැකි වේග මෙම ක්‍රමය ජලය ඉතා සීමිත සාධකයක් වන වියළි කලාපයට ඉතා යෝග්‍ය වේ.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම

මිරිස් වගාවට ඉතා කාර්යක්ෂමව ජල සම්පාදනය කිරීම සඳහා ක්ෂුද්‍ර ජල විසිරණ (Micro Sprinkler)හා බිංදු ජල සම්පාදන (Drip Irrigation) උපාංග යොදා ගත හැකිය.මෙමඟින් සෑම අවස්ථාවකම පසේ තෙතමනය ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගැනීමල වගාවට හිතකර පාරීසරික තත්ත්වයක් පවත්වා ගැනීම කළ හැකියග බිංදු ජල සම්පාදනයේ දී ජලය සමග ප්‍රශස්ථ ලෙස රසායනික පොහොර ද සැපයීම සිදු කළ හැකග ක්ෂුද්‍ර ජල සම්පාදන කට්ටල මිල දී ගැනීම සඳහා වන මුලික ආයෝජනය වැඩි වුවත් දිගු කාලීනව ප්‍රතිඵල හා ප්‍රයෝජන ලබා ගත හැකි ක්‍රමයක් බැවින් මිරිස් වගාව සඳහා උපයෝගී කර ගැනීමට සුදුසු ක්‍රමයකි.

මේ සඳහා මඩ හා රොඩු මිශ්‍ර ජලය යෝග්‍ය නොවේ. ජලයේ අධික ලෙස හුණු මිශ්‍රවී ඇති විට බිංදු ජල සම්පාදන නොසල හිරවීමට ඉඩ ඇති ක්ෂුද්‍ර ජල සම්පාදන කට්ටල භාවිත කිරීමට පෙර ඒ පිළිබඳව මනා පුහුණුවක් ලබා ගත යුතුවේ.

තවද ක්ෂුද්‍ර ජල සම්පාදනය සඳහා අවශ්‍ය ජල පීඩනය ලබා හැකි ද යන්න පිළිබඳව ද සැළකිලිමත් විය යුතුය.

බඳුන්ගත වගාව

ආහාර පිළියෙල කිරීමේ දී එදිනෙදා අමු මිරිස් අවශ්‍යතාවය සපුරා ගැනීමටත් අමතර නිෂ්පාදනයෙන් වියළි මිරිස් සකසා ගැනීමටත් බඳුන්ල පෝච්චි හෝ වගා මළු තුළ වගා කිරීමේ තාක්ෂණය යොදා ගත හැක.ගෙවත්තේ ඉඩ පහසුකම් ඇති ස්ථානවල හා තට්ටු නිවාසවල කොන්ක්‍රීට් වහලයන් ද (Roof Tops)මේ සඳහා යොදා ගත හැකිය.

ගෙවත්තේ ඉඩකඩ තිබුණ ද පස නිසරුවීම නිසා වගා කළ නොහැකි අවස්ථාවල දී බඳුන්ගත වගාව වඩාත් හිතකර වේ.

වගා මාධ්‍යය පිරවූ පසු අඟල් 10-12 ක් පමණ විෂ්කම්භයකින් හා අඟල් 15 පමණ උසක් ඇති වගා මළු හෝ බඳුන් මේ සඳහා වඩාත් උචිත වේ. කිලෝ ග්‍රෑම් 10 ප්‍රමාණයේ පොලිසැක් උර හෝ පළල අඟල් 14ල ගේජ් 500 කළු පොලිතීන්වලින් මෙම බඳුන් පිළියෙල කර ගත හැකියග පොලිතීන් මළු යොදා ගන්නේ නම් ජලවහනය හා වාතාශ්‍රය හොදින් සිදුවීමට අවශ්‍ය සිදුරු සකසා ගැනීම වැදගත් යග පරෙස්සමින් පරිහරණය කිරීමෙන් මෙම පොලිතීන් බඳුන් වගා කන්න දෙකක් සඳහා ද ප්‍රයෝජනයට ගත හැක.

වගා මාධ්‍යය

මතුපිට පස් , දිරාගිය ගොම/එළු/කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් සමඟ කොටස් දෙක බැගින් මිශ්‍රකර වගා බඳුන් පුරවා ගැනීම වැදගත් වේ. තව ද දහයියා අගුරු කොටස් එකක් ද මෙම මිශ්‍රණයට එකතු කර ගැනීමෙන් එහි ගුණාත්මය වැඩි කර ගත හැකග සාමාන්‍යයෙන් මිරිස් වගාවේ දී පැළ අතර පරතරය සෙන්ටි මීටර් 60×60 වන හෙයින් බඳුන් අතර පරතරය ද එම ප්‍රමාණයේම පවත්වා ගැනීම වැදගත්‍යග එක් බඳුනක පැළ 2ක් වනසේ සිටුවීම යෝග්‍යයග මේ සඳහා බඳුන් තවාන් හෝ ක්ෂේත්‍ර තවාන්වලින් ලබා ගන්නා පැළ සුදුසුය.

ජල සම්පාදනය, පොහොර යෙදීම හා නඩත්තු කටයුතු

බඳුන් වගාවේ දී පැළයේ මූල මණ්ඩලය බඳුන් තුළ වගා මාධ්‍යයට පමණක් සීමා වේ. එබැවින් දෛනික ජල අවශහ්තාවය ලබා දීම අනිවාර්ය වේ. වර්ෂාව නොමැති අවස්ථාවල දී බඳුන තුළ ප්‍රශස්ථ තෙතමනයක් පවත්වා ගත යුතුය. දිනපතා ජල සම්පාදනය කරන හෙයින් වරකට අවශ්‍ය වනුයේ ඉතා සුළු ජල ප්‍රමාණයකි. වාණිජ වගාවක දී බිංදු ජල පද්ධතියක් ද මේ සඳහා යොදා ගත හැක.

බඳුන් සඳහා රසායනික පොහොර යෙදීමේ දී එය ඉතා පරෙස්සමින් කළ යුතු කාර්යයකි. ශාකයේ මූල මණ්ඩලය ඉතා සීමිත පාංශු පරිසරයක තිබෙන නිසා එක් වරක දී යොදන පොහොර ප්‍රමාණය ශාකයට විෂ නොවන මට්ටමක තිබිය යුතුවේ. මේ සඳහා වෙළඳපොළ ඇති මිරිස් පොහොර භාවිතා කළ හැක. එසේම යූරියා :ත්‍රිත්ව සුපර් පොස්පේට් : මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර 3:2:2 අනුපාතයට සාදාගත් මිශ්‍රණය ද සුදුසුය. පොහොර යෙදීමේ දී වරකට ග්‍රෑම් 5-10 අතර ප්‍රමාණයක් ශාකයේ වර්ධන අවධිය අනුව සති 2 කට වරක් යෙදිය යුතුය.

වර්ෂාව මඟින් හෝ දිනපතා එකතු කරන ජලය හේතුවෙන් වගා බඳුනෙන් පස් ක්‍රමයෙන් ඉවතට යාමත් බඳුන තුළ පස තරමක් තද වීමත් සිදුවේ. පොහොර යොදන අවස්ථාවල දී පැළය අවට තරමක් බුරුල් කොට පොහොර යෙදීමත් අනතුරුව වගා බඳුන් පිරවීමට යොදා ගන්නා පස් මිශ්‍රණයෙන් පස් එකතු කිරිමත් සුදුසුය. තව ද වගා බඳුනේ ජල සංරක්ෂණයටත් පස් ඉවත්වීම හා තදවීම වැළැක්වීම සඳහා පැළ වටා පිදුරු හෝ වියළි තණකොළ ආස්තරණයක් යෙදීමත් සුදුසුය. මේ සඳහා ග්ලිරිසීඩියා කොළ යොදන්නේ නම් ශාකයට අමතර පෝෂණයක් ද ඉන් ලබා දේ.

පැළ වර්ධනය වන අවස්ථාවන්හි දී වගා බඳුන් නිතර එහා මෙහා කිරීමෙන් වැළකිය යුතුය. සමහර අවස්ථාවල දී වගා බඳුනෙන් ඉවතට වැඩෙන මුල් බඳුන් නිතර එහා මෙහා කිරීමෙන් කැඩීයාමට ඉඩ ඇති නිසා එමඟින් ශාකයේ වර්ධනය දුර්වල විය හැකිය.

බඳුන් පැළවල මල්, කරල් හට ගැනීම ආරම්භයත් සමඟ පෝෂක අවශ්‍යතාවය වැඩි වන හෙයින් ක්ෂුද්‍ර පෝෂක අඩංගු සමබර පෝෂක සහිත දියර පොහොරක් සති දෙකකට වරක් යෙදීමෙන් ඵලදාව වැඩිකර ගත හැක.



පළිබෝධ පාලනය

පළිබෝධනාශක මිනිස් ශරීරයට අහිතකර හෙයින් වගාවන්වල දී පළිබෝධනාශක පරිහරණය හැකිතාක් දුරට සීමා කිරීම ඉතා වැදගත්‍ය. එබැවින් ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමයක් අනුගමනය කිරස්ම ඉතා වැදගත්‍ය.

බඳුන් තුළ මෙන්ම බඳුන් අවට පරිසරය වල් පැළවලින් තොරව තබා ගැනීම හා පළිබෝධකයින්ට වාසස්ථාන සැපයෙන ධාරක ශාක ඉවත් කර තිබීම කළ යුතුය.

කෘමි විකර්ශක භාවිතය, ඇලෙන සුළු උගුල් භාවිතය සහ පළිබෝධ පාලනය සඳහා මිනිසාට හානිකර නොවන ශාකසාර භාවිතය වැදගත් ය.

කොහොඹ ඇට සාරය පිළියෙල කොට ඉසීම, මදුරුතලා, ගඳපාන, පොඩිසිංඤෝමරං, ග්ලිරිසීඩියා ආදී ශාක කොටස් යොදා පිළියෙල කළ හැකි සාරයන් කෘමි විකර්ශක ලෙස යෙදීම මෙහි දී කළ හැකි වේ.

තවද අමු ගොම දියකර යෙදීම, අළු ඉසීම, සබන් හෝ රෙදි සෝදන කුඩු දියකර ඉසීම මඟින් වගාවේ රෝග පළිබෝධ බොහෝ දුරට පාලනය කර ගත හැකිවේ.

බඳුන් වගාවේ දී බඳුන් 100-200 සඳහා රසායනික පළිබෝධනාශක යෙදීම එතරම් ප්‍රායෝගික නොවන්නකි. එහෙත් වාණිජ මට්ටමෙන් වගා බඳුන් තාක්ෂණය යොදා ගන්නේ නම් නිර්දේශිත කෘෂි රසායන යෙදීම කළ හැක.

අස්වනු නෙළීම

සාමාන්‍යයෙන් බඳුන්ගත මිරිස් පඳුරකින් පැළ සිටුවා මාස දෙක හමාරකට පසුව අස්වනු නෙළීම අරඹා එක් වගා බඳුනකින් අමු මිරිස් ග්‍රෑම් 500-1000 ප්‍රමාණයක් ලබා ගත හැකිය. වගාව හොඳින් නඩත්තු කිරීමෙන් මාස 3-4 තුළ § කරල් 200 කට වැඩි ප්‍රමාණයක් ලබා ගත හැකිය.

වගාව නඩත්තු කරන ආකාරය හා රැකබලා ගන්නා ආකාරය අනුව මෙය වෙනස්විය හැකිය.

දිලීර රෝග

දියමලන්කෑම

පසේ ජීවත් වන ෆියුසේරියම් (Fusarium spp.)පිතියම් (Pythium spp.) රයිසොක්ටෝනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටියම් (Sclerotium spp. )ආදී දිලීර නිසා හට ගන්නා රෝගයකි. මේ නිසා බීජ ප්‍රරෝහණය දුර්වල වේ. බීජ පැළවල පාදස්ථ කොටස කළු පැහැ වී, කුණු වී කඩා වැටේ. සමහර අවස්ථාවල දී පාමුල හා මුල් කළු පැහැ වී, මුල් වියළි කුණුවීමක් ඇති වේ. හොඳින් ජලය බැස යන ස්ථානයක තවාන් දැමිම, තක්කාලි, බටු ආදී සොලනේසි කුලයට අයත් බෝග වගා නොකරන ලද ස්ථානවල තවාන් දැමීම හා මීට ඉහත විස්තර කර ඇති ක්‍රම මඟින් තවාන් ජීවාණුහරණය කර ගැනීම මඟින් රෝගය වළක්වා ගත හැකි වේ. බීජ ප්‍රතිකාර කිරීම තවත් රෝග පාලන පියවරකි.

තවාන් දැමීමෙන් පසු මෙම රෝගය වැළඳුන හොත් රෝගී පැළ පස් සමඟ ඉවත්කර ඉහත දී සඳහන් කර ඇති පරිදි පැළ සහ පස් හොඳින් තෙමී යන පරිදි දිලීරනාශක යෙදිය යුතු වේ. ෆියුසේරීයම්, ස්ක්ලෙරෝටියම් හා රයිසොක්ටෝනියා වැනි දිලීර මඟින් ඇති කරන දියමලන්කෑම සඳහා තයෝෆීනේට් මීතයිල් 50% සහ තිරාම් 30% වඩාත් සුදුසුය. පීතියම් සහ පයිටොප්තෙරා දිලීර සඳහා මෙම දිලීර නාශක සුදුසු නැත.

දියමලන්කෑමේ රෝග කාරකය හඳුනාගෙන නොමැති අවස්ථාවක කැප්ටාන්, තිරාම්, ක්ලෝරොතැලොනිල් 75% ක තෙත් කුඩු වැනි දිලීරනාශක භාවිත කිරීම සුදුසුයි.

ඇන්ත්‍රැක්නෝස්

කොලෙට්‍රොට්‍රිකම් කැප්සිසි (Colletrotrichum capsici)දිලීරය නිසා හටගන්නා රෝගයකි. මහ කන්නයේ දී හා වර්ෂාව බහුල අවස්ථාවල දී වැඩිපුර පැතිරෙන රෝගයකි.

මෙම රෝගය වැළඳුණු කරල්වල අළු පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුතු ගිලුනු කැළැල් ඇති වේ. ඉදුණු කරල්වල මෙම ලක්ෂණ පැහැදිලි ලෙස දැකිය හැකි වේ. කල් ගත වෙත්ම මෙම කැළැල් මත කුඩා කළු තිත් වැනි දිලීර බීජාණු ඒක කේන්ද්‍රීය වලයක් ලෙස දක්නට ලැබේ.

මෙම කැළැල් පසුව විශාල වී වියළියයි. ශාකයට වැළඳුණු විට කරටිවලින් පටන්ගෙන අතු මැරී ගොස් පසුව ශාකය ද මැරීයයි.

රෝගය වැළැක්වීමට නම් නිරෝගී මව් ශාකවලින් පමණක් කරල් තෝරා, වියළා බීජ සකස්කර ගත යුතුය. එම බීජ සුදුසු දිලීරනාශකයක් සමග මිශ්‍රකර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝපණය කළ යුතුය. හෙක්ටයාරයක වගාව සඳහා සාමාන්‍යයෙන් දිලීර නාශක මිශ්‍රණය ජලය ලීටර් 400 ක් පමණ යෙදිය යුතු වේ. එහෙත් මෙම ප්‍රමාණය වගාවේ වර්ධන අවස්ථාව අනුව වෙනස් වේ.

කොළ පුල්ලි රෝගය

මෙම රෝගය සර්කස්පෝරා කැප්සිසි (Cercospora capsici)දිලීරය නිසා හටගනී. පත්‍ර වල කහ පැහැති වලයක් සහිත රවුම් දුඹුරු පුල්ලි එකක් හෝ කිහිපයක් ඇතිවිය හැකිය. පත්‍ර කහ පැහැ වී අකාලයේ හැළී යයි.

රෝගය තදින්ම ආසාදනය වූ විට කඳේ සහ කරල් නටුවල ද මෙලෙස පුල්ලි හට ගනී. එසේ වු විට කරල් ද හැළී යයි. වගා බිම් හා ඒ අවට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීමෙන් ද, ඇන්ත්‍රැක්නෝස් රෝගය පාලනය කිරීම සඳහා දී ඇති උපදෙස් පිළිපැදීමෙන් ද, රෝගය පාලනය කර ගත හැකි වේ.

පාමුල කුණුවීම

පසේ ජීවත් වන ස්ක්ලෙරෝටියම් (Sclerotium)දිලීරය මඟින් මෙම රෝගය වැළඳේ. රෝගය ආසාදනය වූ විට පස මට්ටමෙන් ශාක කඳ කුණු වීමට පටන් ගනී. ක්‍රමයෙන් පත්‍ර කහ පාටට හැරී පැළ මැරී යයි. හානිය තදින් පවතින විට ගස පාමුල සුදු පැහැති දිලීර ජාලයක් දැකිය හැකි වේ. ගස් ගලවා බැලු විට සුදු පැහැති දිලීර ජාලය හා අබ ඇට වැනි දිලීර බීජාණු දැකිය හැකිය. තවාන් පාත්ති ජීවාණුහරණය කිරීම මඟින් තවානේ දී රෝගය වැළඳීම සාර්ථක ලෙස වළක්වා ගත හැකිය.

වගාව පවතින අතරතුර රෝගය වැළඳුනහොත් රෝගී ශාක පසත් සමඟ ඉවත්කර එම ස්ථානයේ හා අවට පස් මැනවින් තෙමී යන පරිදි මෙහි ඉහතින් දක්වා ඇති පරිදි පාංශු ප්‍රතිකාර සඳහා සාදා ගැනීමට නිර්දේශකර ඇති දිලීරනාශක එපරිදීම යෙදීමෙන් රෝගය පාලනය කළහැකි වේ. ජලය රඳා සිටීම රෝගය පැතිරීමට හිතකර බැවින් ජලවහනය දියුණු කිරීමෙන් ද රෝගය පාලනය කළ හැකි වේ.

රිකිලි කුණුවීම රෝගය

වර්ෂාව අධික මහ කන්නයේ දී හා ආර්ද්‍රතාවය අධික කාලවල දී කොඇනිෆෝරා (Choanephora) දිලීරය නිසා රෝගය හටගනී. රෝගය වැළඳුන විට පුෂ්ප අංකුර හා පුෂ්ප දුඹුරු පැහැවූ කළු පැහැයක් ගනී. රිකිලි ඉහළ සිට පහළට ඉක්මනින් මැරී යයි. රෝගී පටකවල මෘදු කුණුවීම හා අළු පැහැති බීජාණු දක්නට ලැඹේ

විශේෂයෙන්ම උදෑසන වගාව නිරීක්ෂණය කිරීමෙන් ආසාදිත ශාකයන් වඩා හොඳින් දැක ගත හැකිය. රෝගී ශාක කොටස්වල ඇති දිලීර බීජාණු සුළඟ මඟින් සහ ස්පර්ශයෙන් නිරෝගී ශාක කොටස් වෙත යා හැකි බැවින් රෝග ලක්ෂණ දුටු මුල් අවස්ථාවේදීම රෝගී රිකිලි කඩා ඉවත් කිරීම හා විනාශ කිරීම කළ යුතුය. කොළපුල්ලි රෝගය සඳහා නිර්දේශකර ඇති පරිදි දිලීර නාශක යොදන්න.

පිටිපුස් රෝගය

ඔයිඩියෝපීස් (Oidiopies) දිලීර නිසා උණුසුම් තෙත් පරිසරවල දී රෝගය හටගනී. මුලදී පත්‍ර මතුපිට කහ පැහැති පැල්ලම් ඇතිවී පසුව ඒවා දුඹුරු පැහැයට හැරී මැරී යයි. පත්‍රවල යටි පැත්තේ සුදු පැහැති පිටි වැනි බීජාණු දක්නට ලැබේ. රෝග පාලනය සඳහා වගාව මනාව නඩත්තු කිරීමෙන් හා රෝගය වැළඳුන පසු පහත සඳහන් දිලීර නාශකවලින් එකක් යෙදීමත් නිර්දේශ කෙරේ. හෙක්ටයාරයක වගාව සඳහා සාමාන්‍යයෙන් ජලය ලීටර් 400 ක් පමණ අවශ්‍ය වේ.

බැක්ටීරියා හිටුමැරීම

සියුඩොමොනාස් සොලනේසියාරුම් (Pseudomonas solanaciarum) බැක්ටීරියාව නිසා හටගන්නා රෝගයකි. රෝගය ආසාදනය සමඟ ක්ෂණිකව ගස් මැලවී යයි. මුල් හා කඳ පාමුල කුණු වේ. කඳේ හරස් කැපුමක් යොදා බැලූවිට දුර්වර්ණ පැහැයක් ගෙන තිබෙනු පෙනේ. රෝගය වගාව තුළ ඉතා වේගයෙන් පැතිරී යාමට ඉඩ තිබේ. පොළොව මට්ටමට ආසන්නයෙන් කඳ කපා වතුර වීදුරුවකට දැමු විට කැපුම් පෘෂ්ඨයෙන් සුදු පැහැති බැක්ටීරියා ශ්‍රාවය පිටතට එන ආකාරය බලා ගත හැකිය.

එය දිලීර තත්ත්වය නිසා ඇති වන හිටුමැරීමෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වේ. මිය ගිය ශාක උදුරා පස සමඟ ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න. අසාධිත ක්ෂේත්‍ර මඟින් නිරෝගී ක්ෂේත්‍ර වෙත ජලය ගෙන යාම නොකළ යුතුය. ක්ෂේත්‍රයේ ජලවහනය දියුණු කිරීම ඉතා වැදගත් වේ. මෙම රෝගයෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා පෙර කන්නයේ සොලනේසි කුලයේ බෝග (බටු, මිරිස්, තක්කාලි, දුම්කොළ, අර්තාපල්) වගා කරන ලද ඉඩම්වල මිරිස් වගා නොකළ යුතුය. ශෂ්‍ය බෝග මාරුව අනුගමනය කළ යුතුය.

කාබනික පොහොර සැළකිය යුතු පරිදි පසට යෙදිය යුතුය. රෝගී ශාක ඒ අවට ඇති පසත් සමඟ ක්ෂේත්‍රයෙන් ඉවත් කළ යුතුය. තවද දිගින් දිගටම මෙම රෝගී තත්වය මතුවන ක්ෂේත්‍රයන් පළමු බිම් සැකසීමෙන් පසු සති 2-3 ක් තද සූර්යාලෝකයට නිරාවරණය කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගත යුතුය.

වෛරස් රෝග



කූඩිත්තන්, පැළ මැක්කන් හා මයිටාවන් මඟින් විවිධ වෛරසයන් මිරිස් ශාකයට ඇතුල් වීමට ඉඩ තිබේ. කුඩිත්තන් විසින් මිරිස්වලට බෝ කරනු ලබන වෛරස් බොහොමයක් හඳුනාගෙන ඇත. කොළ කොඩවූ මිරිස් ගසකට මෙම වෛරසයන් සියල්ලම සමහර අවස්ථාවල දී ඇතුල් වී තිබීමට පුළුවන. වෛරස් වාහකයන් පාලනය කරනු විනා වෛරස් රෝගවලට රසායනික ප්‍රතිකාර නැත. රෝගය වැළඳුනු පසු පාලනය අපහසු නිසා රෝගය සෑදීම හෝ පැතිරීම වැළැක්වීම කළ යුතුය.

කූඩිත්තන් මඟින් බෝවන වෛරස් රෝග

පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය

(Cucumber Mosaic Virus)

මෙම වෛරසය වැළඳුනු විට පත්‍ර මත කොළ හා කහ පැහැති පුල්ලි ඇති වේ. නාරටි පැහැදිලිවීම, පත්‍රවල හැඩය වෙනස්වීම සිදුවේ.පත්‍ර කහවී ප්‍රමාණයෙන් කුඩා වී ඉතාමත් සිහින් වේ. තීව්‍ර වූ විට ශාක කුරු වේ. කරල් කුඩා වේ. රෝගී ශාකවල යුෂ තැවරුණු පිහි, නියපොතු හෝ වෙනත් ආකාරයකින් නිරෝගී ශාකවල තැවරීමෙන් ද රෝගය බෝ වේ. රෝගය වැළඳුනු විට අස්වැන්න අඩු වේ.

පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය දරා සිටින ශාක සංඛ්‍යාව අධික බැවින් ක්ෂේත්‍රය තුළ හා අවට ඇති වල් පැළෑටි ඉවත් කළ යුතුය. පිපිඤ්ඤා කුලයේ හා සොලනේසියේ කුලයේ බෝග සමඟ මිරිස් වගා නොකළ යුතුය. පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගයට ප්‍රතිරෝධිතාවය දක්වන ප්‍රභේද වගා කිරීම සුදුසුය.



වෛරස් වාහකයින් මර්දනය කිරීම සඳහා මෙහි පසුව සඳහන් කොට ඇති පරිදි නිර්දේශිත කෘමිනාශක යෙදිය යුතුය. සමබරව රසායනික පොහොර හා ඓන්ද්‍රිය පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ.

නාරටි පෑදීමේ වෛරස් රෝගය

(Chilli Veinal Mottle Virus)

රෝගය වැළඳුන විට පත්‍ර මත අක්‍රමවත් කහ පැහැති ලප ඇති වේ. පත්‍ර නාරටි දෙපස තද කොළ පැහැයක් ඇති වේ. කරල් කුඩා වේ. ශාකය කුරු වේ. මෙම වෛරස් ධාරක ශාක සොලනේසියේ කුලයේ (බටු, තක්කාලි, මිරිස්, අර්තාපල්, දුම්කොළ ආදී) බෝග හා වල් පැළෑටිවලට සීමා වේ. රෝගී ශාකවල යුෂ නිරෝගී ශාකවල තැවරීමෙන් ද රෝගය පැතිරේ.

පැළ මැක්කන් නිසා බෝවන රෝග

තක්කාලි පුල්ලි මැලවීමේ වෛරස් රෝගය

මෙම රෝගය වැළඳුන විට පත්‍ර මත රවුම් තද කොළ හෝ කහ පැහැති පැල්ලම් ඇති වේ. අතු දුඹුරු පැහැවී මැළ වේ. මෙම රෝගී ශාකවල යුෂ නිරෝගී ශාකවල තැවරීමෙන් රෝගය පැතිරේ. කරල් මත රවුම් කහ පැහැති ලප ඇති වී පසුව දුර්වර්ණ වේ.

මෙම රෝගය සොලනේසියේ කුලයේ වෙනත් ශාකවලට (තක්කාලි,දුම්කොළ,අර්තාපල්)හාරටකජුවලට වැළඳෙන නිසා එම බෝග සමඟ මිශ්‍රව වගා නොකළ යුතුය.



රෝගය දරා සිටින වල් පැළෑටි සංඛ්‍යාව අධික බැවින් වල් පැළ මර්දනය කළ යුතුය. ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතා කළ යුතුය. රෝග වාහකයින් මර්දනය කිරීම සඳහා මෙහි පසුව දක්වා ඇති පරිදි කෘමිනාශක යෙදිය යුතුය. මිරිස් වගාවට විශේෂයෙන් යල කන්නයේ දී කෘමි හානි බහුල වන බැවින් ඉහත සඳහන් වෛරස් රෝග සියල්ලම එකවර වැළඳිය හැකිය.

කොළ කොඩවීම

දේශීය මිරිස් ගොවීන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටළුව කොළ කොඩවීම වේ. තවාන් අවස්ථාවේ සිට වගාවේ ඕනෑම අවස්ථාවක දී කොළ කොඩවීම ඇතිවිය හැක. කොළ කොඩවීම දෙආකාරයකට සිදු වේ.



පැළ මැක්කන්, කුඩිත්තන් හා මයිටාවන් විසින් මිරිස් පැළවල යුෂ උරාබීම නිසා ද, සුදු මැස්සන් විසින් මිරිස් වගාවට බෝකරනු ලබන කොළ කොඩවීමේ වෛරසය නිසාද සිදු වේ. මේ නිසා මෙම තත්ත්වය කොළ කොඩවීමේ සංකිර්ණය යනුවෙන් ද හඳුන්වනු ලැබේ.

කොළ කොඩවීමේ වෛරස් රෝගය

සුදු මැස්සන් විසින් රෝගී ශාකවල යුෂ උරාබීමේ දී උන්ගේ සිරුරු තුළට එම යුෂ ඇතුල් වේ. නැවත නීරෝගී ශාකයක යුෂ උරා බීමේ දී වෛරසය එම පැළයට ඇතුළු වීමෙන් කොළ කොඩවීමේ වෛරසය නිරෝගී මිරිස් වගාවට වැළඳේ. වෛරස් නිසා ඇති වන කොළ කොඩවීමේ රෝගය බහුලව හටගනුයේ තෙත් කලාපයේ ය. වියළි කලාපයේ දී වගාවේ අවසාන කාල සීමාව තුළ ද මෙම රෝගය දක්නට ලැබේ.
පත්‍ර ලා කහ පැහැයට හැරී නාරටි පැහැදිලිව දිස්වීමට පටන් ගනී. කඳේ පර්ව කෙටිවීම නිසා රෝගී ශාක කුරු වේ. අධික රිකිළි සංඛ්‍යාවක් හට ගනී.

පත්‍රවල විශාලත්වය අඩු වී, ඝන වී, බෝට්ටුවක හැඩය ගනී. ශාකවලට ඇතුල් වී ඇති වෛරස් විශේෂය, කාළගුණික තත්ත්වය, වගාවේ වයස හා අනුගමනය කොට ඇති වගා පාලන ක්‍රම ආදී හේතූන් හා මිරිස් ගස් මඟින් දැක ගත හැකි රෝග ලක්ෂණ අනුව වෙනස් විය හැකිය. රෝග වාහක සුදු මැස්සන් මර්දනය කිරීම විනා වෛරස් රෝගයට ප්‍රතිකාර නොමැත. මේ සඳහා පැළ මැක්කන්, කූඩිත්තන් සඳහා යොදන කෘමිනාශක යෙදිය හැක.

වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට

(1) බෝගය කන්නයට වගා කිරීම

(2) මෙම වෛරසය තක්කාලි, දුම්කොළ වැනි

සොලනේසියේ කුලයේ බෝගවලට වැළඳෙන බැවින් එම බෝග සමඟ මිරිස් වගා කිරීම නොකළ යුතුය.

කොළ කොඩවීම පාලනය කිරීම

මෙහිදී මිරිස්වල කොළ කොඩවීම පාලනය කිරීම සඳහා කෘමිනාශක පමණක් භාවිතා කිරීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබිය නොහැකි වේ. මේ සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. පෙර කන්නයේ මිරිස් වගා කරන ලද ස්ථානයක් තෝරා ගැනීමෙන් වැළකිය යුතුය. එසේ කිරීම අපහසු වේ නම් පෙර කන්නයේ මිරිස් වගාවේ ශේෂ සහමුලින්ම විනාශකර දැමිය යුතුය.



උසස් ගුණාත්මයෙන් යුත් බීජ භාවිතය, නිර්දේශිත තවාන් ක්‍රම හා තවාන් හොඳින් නඩත්තු කර දිරීමත් පැළ ලබාගෙන නියමිත දින වකවානු තුළ දී ක්ෂේත්‍රයේ රෝපණය කළ යුතුය. යල් කන්නයේ මිරිස් වගාව සඳහා මාර්තු මස මුල් සතිය තුළ තවාන් දමා අප්‍රේල් මස මුල් දෙසතිය තුළ ක්ෂේත්‍රයේ රෝපණය කළයුතුය.

විශේෂයෙන්ම පොහොර යෙදීමේ දී නිර්දේශිත ප්‍රමාණය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීමත් අනවශ්‍ය ලෙස අධිකව පොහොර යෙදීමත් නොකළ යුතුය.



අධික ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් පටක මෘදු වන බැවින් කෘමීන්ගේ පැවැත්මට හිතකර තත්ත්වයක් ඇතිවේ. එසේ කිරීමෙන් ජූලි සහ අගෝස්තු මාස තුළ අධික වන පැළ මැක්කන්ගේ ගහනය නිසා වන හානියෙන් වගාව බේරා ගත හැකි වේ.

තවානට සහ වගාවට ඓන්ද්‍රිය පොහොර නිර්දේශිත ප්‍රමාණවලින් පමණක් යෙදිය යුතුය. වගාව අවට වල් පැළෑටි තිබීම කෘමීන්ගේ වර්ධනයට හිතකර වේ. එනිසා ක්ෂේත්‍රය සහ අවට වල් පැළෑටි වලින් තොරව තබා ගත යුතුය.



කූඩිත්තන් ආදී කෘමීන් මුලින්ම වගාව තුළ දක්නට ලැබෙන මුල් අවස්ථාවේ දීම ඉසින යන්ත්‍රයක් භාවිතකර ජලය පමණක් යොදා, ශාකවල මතුපිට සහ යට පැත්ත හොඳින් තෙත් වනසේ ඉසීමෙන් ද, අතින් විනාශ කිරීමෙන් ද, මුල් අවස්ථාවේ දීම කෘමීන් මර්දනය කරගත යුතුය.



මිරිස් වගාව වටා හෝ සුළං හමන දිශාවට මුහුණලා බඩඉරිඟු, සෝගම්, කුරක්කන් ආදී බෝග පේලි 2-3 ක් ආවරණ බෝග ලෙස වගා කිරීමෙන් ද, පැළ මැක්කන්ගේ ව්‍යාප්තවීම වළක්වා ගත හැකි වේ. කෘමිනාශක යෙදිය යුත්තේ නිර්දේශිත වර්ගවලින් හා ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වුවහොත් පමණි.

එපමණක් නොව වගාව ආරක්ෂා වන පරිදි හා සුළං බාධක ලෙස පොල් අතු හෝ කෘමි ප්‍රතිරෝධී දැල් යොදා ආවරණයක් යෙදීමෙන් සුළං ප්‍රවාහය සමඟ ගසා ගෙන එන කෘමින් වගාවට ඇතුල් වීම වළක්වා ගැනීමෙන් ද මිරිස් කොළ කොඩවීමේ තත්ත්වය හා වෛරස් රෝග බොහෝ දුරට වළක්වා ගත හැකි වේ.

රසායනික මර්දනය

කෘමිනාශක යෙදීමෙන් කොළ කොඩ වීමට හේතු කාරක වන පළිබෝධකයින් සංඛ්‍යාව පාලනය කර ගත හැකි වේ. කෘමිනාශක ඉතා විෂ සහිත බැවින් නිර්දේශිත සියලුම ආරක්ෂිත පියවර ගත යුතුය.
යුෂ උරාබීම නිසා මිරිස් ශාකයට වන හානියත්, වෛරස් රෝගවල පැතිරීමත් එමඟින් අඩු වේ. රසායනික ද්‍රව්‍ය යෙදීමට පෙර වගාව මැනවින් පරීක්ෂාකර බලා කොළ කොඩවීම පැතිරවීමට ඉවහල් වන කෘමීන් සිටි දැයි තහවුරු කර ගත යුතුය.



විශේෂයෙන්ම පත්‍ර යටි පැත්තේ මයිටාවන් සිටී දැයි පරීක්ෂාකර බැලිය යුතුය. වරක් කෘමිනාශක යෙදීමෙන් පසු නැවත කෘමිනාශක යෙදිය යුත්තේ දින 10-14 ක් ගතවූ පසුවය. කෘමිනාශක යොදා දින 7 කට පමණ පසුව වගාව මැනවින් පරීක්ෂාකර බැලීමේ දී, අලුතින් හටගත් පත්‍ර හැකිලී ඇත්නම් පමණක් දින 10 කට පසු නැවත කෘමිනාශක යෙදීම සුදුසුය. කෙසේ වුව ද බෝගයේ ජීවිත කාලය තුළ 5-7 වාරයක් කෘමිනාශක යෙදීම සෑහේ.



මිරිස් කොළ මත ජලය රැඳී සිටීමේ හැකියාව අඩුය. කෘමිනාශකවල ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීම සඳහා තැවරුම්කාරකයක් (surfactant) සමඟ මිශ්‍රකර යෙදීම සුදුසුය.

පත්‍ර සිහින්වීමේ‍ අසාමාන්‍යතාව

(Narrow Leaf Disorder)

මෙය වියළි කලාපයේ කුඹුරු ඉඩම්වල මිරිස් වගාවේ දී දක්නට ලැබෙන අසාමාන්‍ය තත්ත්වයකි. මෙම තත්ත්වය හට ගැනීමට බලපාන හේතුව තවම සොයාගෙන නැතත්, ජල වහනය දුර්වල අවස්ථාවල දී බහුලව දැකිය හැකි බව වාර්තා වී ඇත.
විශේෂයෙන්ම දුර්වල ජල වහනය පවතින කුඹුරු ඉඩම්වල මිරිස් වගා කිරීමේ දී එම වගාවන් පත්‍ර සිහින් වීමේ අසාමාන්‍යතාවයට ගොදුරුවීම සමහර ප්‍රදේශවල වගාකරුවන් මුහුණපාන ගැටළුවකි. මෙතෙක් මෙම තත්ත්වය ඇති කිරිමට හේතුවන රෝග කාරකය සොයාගෙන නොමැත.



මෙම තත්ත්වය නිසා සමහර ප්‍රදේශවල මිරිස් වගා කිරීම කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. රෝගය වැළඳුන විට ළපටි පත්‍ර කහ පැහැති වී, පසුව පත්‍ර නාරටි තද කොළ පැහැයක් ගනී. පත්‍ර සිහින්වීමේ තත්ත්වයට පත්‍ර දාරය සිහින්වී හැකිළීමක් සිදු වේ. පාර්ශ්වික අංකුර විශාල සංඛ්‍යාවක් වැඩීමට පටන් ගනී. පර්ව අතර දුර අඩු වේ. වර්ධනයේ මුල් අවස්ථාවේදීම රෝගයට පාත්‍ර වුවහොත් මුළු පැළයම කුරු වේ. කරල් හට නොගනී.
ජල සම්පාදන කාලාන්තරය වැඩි කිරීම හා ක්ෂේත්‍රයේ පස් බුරුල් කොට ශාකවල මූල මණ්ඩලයට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් මෙම තත්ත්වය තරමක් දුරට හෝ පාලනය කර ගත හැක.

අස්වනු නෙළීම

අමු මිරිස් ලෙස වෙළඳපොලට යැවීම හෝ වියළි මිරිස් නිෂාපාදනය කිරීම යන කරුණු මත අස්වනු නෙළීමේ අවධිය තීරණය වේ.  හොඳින් මේරූ, තද කොළ පැහැයෙන් යුතු කරල් අමු මිරිස් වශයෙන් නෙළා වෙළඳපොලට ඉදිරිපත් කළ හැකිය. ප්‍රථම අස්වැන්න අමු මිරිස් වශයෙන් නෙළා ගැනීමෙන් වියළි මිරිස් අස්වැන්න අඩු නොවේ. එනිසා පළමු මුරය අමු මිරිස් වශයෙන් නෙළා ගැනීම වාසිදායක වේ. වෙළඳපොලෙහි වියළි මිරිස් මිල තරමක් ස්ථාවරව පැවතුන ද අමු මිරිස් මිල විචලනය වන හෙයින් වෙළඳපොළ මිල අනුව කුමන ආකාරයෙන් අස්වනු නෙළීම කළ යුතු ද යන්න තීරණය කළ යුතුය. 

අමු මිරිස් ලෙස අස්වනු නෙළන්නේ නම් පැළ සිටුවා දින 70-80 ක් පමණ ගතවු පසු අස්වනු නෙළීම ආරම්භ කළ හැකිය.

ඉන්පසු දින 7-10 ක කාලයන් අතර අස්වනු නෙළිය හැකි වේ. ජල සම්පාදනය යටතේ වගා කරන අක්කරයක වගාවකින් අමු මිරිස් කිලෝ ග්‍රෑම් 5000 ක් පමණ ද, අහස් දියෙන්  කෙරෙන වගාවකින් කිලෝ ග්‍රෑම් 2000 ක් පමණ ද ලබා ගත හැකි වේ.



අපනයනය සඳහා මිරිස් සැකසීම

මැදපෙරදිග රටවලට ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවෙන් මිරිස් අපනයනය කෙරේ. හොඳින් මේරූ, කොළ පැහැති සෙන්ටි මීටර් 7.5-10 (අඟල් 3-4) දිග කරල් මේ සඳහා සුදුසුය. විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් හා  එක්සත් රාජධානිය හා අනෙකුත් යුරෝපීය රටවලට ද මිරිස් අපනයනය කෙරේ.

කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා ගුවන් මඟින් අපනයනය කෙරේ. කාඩ්බෝඩ් පෙට්ටි තුළට ටිෂූ කඩදාසියක් යොදා ඇසිරීමෙන් කරල්වල ගුණාත්මය ආරක්ෂා කර ගත හැකි වනවා මෙන්ම එයට ආකර්ෂණීය තත්වයක් ද ඇති වේ. අමු මිරිස්වලට අමතරව වියළි මිරිස් කුඩු ලෙස ද, මිරිස් අපනයනය කළ හැක. මෙහිදි පිරිසිදු බව හා පැහැය ඉතා වැදගත් වේ. මේ හැරුණු විට කෘෂි රසායන ද්‍රව්යෙඅවලින් තොරව නිෂ්පාදනය කරන මිරීස් සඳහා අපනයන වෙළඳපොලෙහි ඉහළ මිලක්  පවතී.

වියළි මිරිස් නිෂ්පාදනය

වියළි මිරිස් නිෂ්පාදනය කිරීම සඳහා රත් පැහැවු කරල් හා කරලෙන් හතරෙන් තුනක් පමණ රත් පැහැවු කරල් නෙළීම සුදුසුය. වියළි කාළගුණයක් ඇති දිනයක අස්වනු නෙළීම වඩාත් උචිතය.

ප්‍රථමයෙන් රෝග හා පළිබෝධ හානි ඇති කරල් ඉවත් කරන්න. ඉතිරි කරල් සියල්ල ඒකාකාරීව රත් පැහැවන තුරු, මැනවින් වාතාශ්‍රය ලැබෙන කාමරයක් තුළ දිනක් හෝ දෙකක්  ගොඩ ගසා තබන්න. නොඉදුණු අමු කරල් වියළීමේ දී, සුදු පැහැවන අතර මිරිස්වල ගුණාත්මය ද ඉන් බාල කරයි.

අනතුරුව ගෝනි හෝ ටාපොලීන් ෂීට් මත තුනීකර වියළා ගන්න. පොළව මත හෝ  තාර පාරේ වියළීමෙන් අපවිත්‍ර ද්‍රව්‍ය එකතු වීමටත් ඉන් තත්ත්වය බාලවීමටත් ඉඩ තිබේ. පස් මත තුනී කිරීමෙන් දිලීර ආසාදන ඇති වී, වියළි මිරිස්වල ගුණාත්මය අඩු වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ.

සාමාන්‍යයෙන් ඉදුණු මිරිස් කිලෝ ග්‍රෑම් 4-4.5 කින් වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1 ක් ලබා ගත හැකි වේ.  වියළන කාලයේ දී හා වේළා ගත් පසු ද, අවපැහැවූ කරල් හා තත්ත්වයෙන් බාල කරල් ඉවත් කරන්න.

 ජල සම්පාදනය යටතේ අක්කරයකින් වියළි මිරිස් කිලෝ ග්‍රෑම් 1000ක් පමණ ද, අහස් දියෙන් කරන වගාවකින් කිලෝ ග්‍රෑම් 500 ක් පමණ ද ලබා ගත හැක. එහෙත් මෙම ප්‍රමාණයන් ප්‍රභේදය හා කන්නය අනුව වෙනස් විය හැක. ඉදුණු මිරිස් කරල් වියළා ගැනීම සඳහා රුපයේ දක්වා ඇති ආකාරයට උඳුනක් සකස්කර ගත හැකිය. මෙය වරිච්චි ක්‍රමයට හෝ ගඩොල්වලින් ඉදිකළ හැකිය. මිරිස් වියළීම සඳහා කුටිය තුළ කෝටු, ගෝනි, කම්බිදැල් ආදිය යොදාගෙන රාක්ක සාදාගත යුතුය. රාක්ක තට්ටු දෙකක් අතර අඟල්  8-12 ක පමණ පරතරයක් තිබීම සෑහේ.

වර්ෂා කාලයේදී මිරිස් අස්වනු වියළීම සඳහා උඳුන් භාවිතා කළ හැක. උඳුන් භාවිතයේදී මිරිස්වලට දුම් නොවදින ලෙස ගින්දර දමන කොටස යකඩ තහඩුවකින් වෙන් කළ යුතුය. මෙම යකඩ තහඩුව මත මිරිස් වියළීම සුදුසු නැත. යටින්ම තිබෙන තට්ටුවේ මිරිස් මුලින්ම වියළේ. මිරිස් ඇතුළු කිරීමට හා එළියට ගැනීමට කවුළුවක් සාදා ගත යුතුය. මිරිස් වියළීමට රාක්ක කිහිපයක් සාදා ගත යුතුය. කුටිය තුළ  550ක් ක පමණ උෂ්ණත්වයක් තිබීම සුදුසුය. කිසිවිටෙකත් මිරිස්වලට දුමාරය වැදීමට ඉඩ නොතැබිය යුතුය.

 ගබඩා කිරීම

වියළි මිරිස් ගබඩා කිරීම සඳහා හණ (ජූට්) ගෝණි හෝ පොලිසැක් මළු යොදා ගැනීම සුදුසුය. ගෝණි හිරවන ලෙස තදකර වියළි මිරිස් පිරවීම නුසුදුසු වේ. මිරිස් අඩංගු ගෝණි හෝ පොලිසැක් උර පොළව සමඟ ස්පර්ශ නොවන ලෙස ගබඩා කළ යුතුය. ඒවාට හොඳින් වාතාශ්‍රය ලැබිය යුතුය. මාසයකට වඩා ගබඩා කරන්නේ නම් වරින් වර අව්වේ දමා වියළා ගත යුතුය. මාස 3 කට වඩා ගබඩාකර තැබීමෙන් කරල්වල වර්ණය ක්‍රමයෙන් අඩුවී වටිනාකම අඩුවේ.

බීජ නිෂ්පාදනය

සැලකිය යුතු කරුණු

මිරිස්  විවෘත පරාගනය (ස්ව පරාගනය හා පර පරාගනය යන දෙකම) සිදුවන ශාකයකි. පරාගනය බොහෝ විට සිදුවන්නේ කෘමීන් මඟිනි. ඒ නිසා සහතික බීජ නිෂ්පාදනය සඳහා පිහිටුවනු ලබන වගාවක් වෙනත් වර්ගයක මිරිස් වගාවක සිට මීටර් 200ක් පමණ දුරස්ථ විය යුතුය. බීජ නිෂ්පාදනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලික බීජ භාවිතා කළ යුතුය. වගා කේෂ්ත්‍රය ද ඊට පෙර කන්නයේ දී සොලනේසියේ කුලයට අයත් බටු, තක්කාලි ආදී බෝග වගා නොකරන ලද කේෂ්ත්‍රයක් විය යුතුය.

රෝග හා කෘමි හානි වළක්වා ගැනීම සඳහා මෙය ඉවහල් වේ. මල් හා කරල් හට ගන්නා අවධියෙහි වගාව  හොඳින් පවත්වා ගැනීම බීජ නිෂාපාදනයේ දී ඉතා වැදගත්‍ය. වගාවේ විවිධ වර්ධන අවස්ථාවන්හි දී වගාව හොඳින් පරීක්ෂාකර බලා, අදාල ප්‍රභේදයට අයත් නොවන ශාක සහ රෝගී ශාක උදුරා ඉවත් කළ යුතුය. අස්වැන්න නෙළීම සඳහා ප්‍රභේදයේ ලක්ෂණවලට අනුකූලතාවය දක්වන ගස් පමණක් තෝරා ගත යුතුය. දෙවන, තෙවන හා සිව්වන අස්වනු වාරවල දී හොඳින් ඉදුණු කරල් බීජ නිෂ්පාදනය සඳහා ඉතා සුදුසුය. නෙළන ලද කරල් මැනවින් වියළා පෙර සඳහන් කළ පරිදි ගබඩා කර තබා ගත යුතුය.

කරල් පිටින්ම තබා ගන්නා බීජවල ජීව්‍යතාවය වැඩි කලක් පවත්වා ගත හැක. තව ද, වියළි කරල්වලින් බීජ ඉවත්කර බොල් වූ සහ අවපැහැ වූ බීජ ඉවත්කර මඳ පවනේ වියළා (බීජවල තෙතමනය 6-7% පමණ සිටින සේ) පොලිතීන් පැකට්වල අසුරා ශීතකරණයක තැබීමෙන් දීර්ඝ කාලයක් තබා ගත හැක.

කරල් ලෙස ගබඩා කළේ නම් රෝපණය කිරීමට ආසන්නයේ දී කරල්වලින් බීජ වෙන්කර ගත යුතුය. වියළි මිරිස්වල බරෙන් 30% ක් පමණ බීජ ලබා ගත හැකි වේ.

ස්වයං බීජ නිෂ්පාදනය

වගා කන්නය ආරම්භයේ දී හොඳ ගුණාත්මයෙන් යුත් බීජ සපයා ගැනීමට නොහැකි විමෙන් බොහෝ විට වෙළඳපලෙහි ඇති බාල වර්ගයේ බීජ මිල දී ගැනීමට ගොවි මහතාට සිදුවේ. එබැවින් ගෙවතු වගා හා සුළු පරිමාන ගොවීන් සඳහාත්, ස්වයං බීජ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් ප්‍රායෝගික බවක් පෙන්වයි. මෙහි දී කෘමි ප්‍රතිරෝධී දැල් යොදා මිරිස් ශාක ආවරණය කොට ලබාගන්නා කරල්වලින් බීජ ලබා ගැනීම සිදු කරයි.

මිරිස්  බීජ නිෂ්පාදනයේ දී ප්‍රභේද අතර තිබිය යුතු අවම දුර වන මීටර් 400 පවත්වා ගත නොහැකි අවස්ථාවල දී ද මෙය වැදගත් වේ.

පළමුව අදාළ ප්‍රභේදයේ ලක්ෂණ පෙන්වන  බීජ නිෂ්පාදනය කර ගත යුතු ශාක තෝරා ගැනීම සිදු කරයි. දෙවනුව එම ශාකයේ තිබෙන පිපිණු  මල් සහ සියළුම අවධිවල කරල් ඉවත් කරයි. මෙහිදී ඉතිරි කළ යුත්තේ මල් පොහොට්ටු පමණි. ඉන්පසු මීටරයක් පමණ උස කෝටු හෝ යකඩ කූරු 4 ක් තෝරාගත් ශාකය මැදිවන සේ සිටුවා, සකස් කර ගත් කෘමි ප්‍රතිරෝධී බෑගය මඟින් ශාකය වසන්න.

කෘමි ප්‍රතිරෝධී ආවරණය

මේ සඳහා මදුරු දැල් හෝ වර්ග මිලි මීටර් 1 ට වඩා අඩු ප්‍රමාණයේ සිදුරු සහිත දැල් යොදා ගත හැක.  

මිටර් 1 x 2 ප්‍රමාණයේ කොටසක් එක් ආවරණයක් සඳහා ප්‍රමාණවත්‍ය. වල් මර්දනය, පොහොර යෙදීම හා කෘෂි රසායන යෙදීම සාමාන්‍ය ආකාරයට සිදු කරන්න. හොඳින් ඉදුණු කරල්  වරින් වර නෙළා ගත හැක. බීජ වෙන් කිරීම සඳහා ලබා ගන්නා කරල් වියළීමෙන් හෝ ඉදුණු කරල් වියළීමට පෙර පලා ගැනීමෙන් හෝ සිදු කළ හැක.

මෙලෙස එක් මිරිස් ශාකයකින් බීජ ග්‍රෑම් 20-25 ක් පමණ නිපදවා ගත හැක. මඳ පවනේ හොඳින් වේලා ගත් බීජ පොලිතීන් අසුරණයක දමා ශිතකරණයක ගබඩා කර තැබිය හැක. එසේම මෙම ලබා ගත් බීජ ඊළඟ වගාව සඳහා ද යොදා ගත හැක.



 

 

නිෂ්පාදන

අමු මිරිස් සෝස්

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටෝරු අංක 01

අමු මිරිස් පල්පය : ග්‍රෑම් 500

වට්ටක්කා පල්පය : ග්‍රෑම් 500

රතු ලූනු : ග්‍රෑම් 10

සුදු ලූනු : ග්‍රෑම් 2

සීනි : ග්‍රෑම් 75

විනාකිරි : මිලි ලීටර් 75

ලුණු : ග්‍රෑම් 20

සියඹලා : ග්‍රෑම් 25

කුරුඳු, ඉඟුරු : ග්‍රෑම් 01

කරඳමුංගු, කරාබු නැටි, එනසාල්, සාදික්කා

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටෝරු අංක 02

අමු මිරිස් පල්පය : කිලෝ ග්‍රෑම් 01

රතු ලූනු : ග්‍රෑම් 10

සුදු ලූනු : ග්‍රෑම් 02

ඉඟුරු : ග්‍රෑම් 01

සීනි : ග්‍රෑම් 75

විනාකිරි : මි.ලි 60

සියඹලා : ග්‍රැම් 50

ලුණු : ග්‍රෑම් 20

මඤ්ඤොක්කා පිටි : ග්‍රෑම් 20

කරඳමුංගු, කරාබු නැටි, එනසාල්, සාදික්කා, කුරුඳු

සාදන ආකාරය

  • රතු ලූනු, සුදු ලූනු හා කුළුබඩු සියල්ල විනාකිරි ස්වල්පයක් සමඟින් අඹරා සුදු රෙදි කඩක ඔතා ගන්න.
  • පල්පයට ලුනු මිශ්‍ර කර ඉහත අඹරා ගත් කුළුබඩු මිශ්‍රණය ද දමා රත් කරන්න.
  • උකුවන විට සීනි එක් කරන්න.
  • සියඹලා සහ විනාකිරි ද එක්කරන්න

(මඤ්ඤොක්කා පිටි ජලය මිලි ලීටර් 100 ක පමණ දියකර එයට එකතු කර ගන්න)

  • මිශ්‍රනයට සෝස් කිලෝ ග්‍රැම් 01 ක් සඳහා සෝඩියම් බෙන්සොඒට් මිලි ග්‍රෑම් 295 වනසේ මිශ්‍ර
  • ජල බඳුනක ගිල්වා විනාඩි 20ක් තැම්බීමෙන් ජීවාණුහරණය කරගත් බෝතලවලට අසුරා ගන්න.
  • මූඩියෙන් වසන සීල් කළ ජල බඳුනක ගිල්වා විනාඩි 20ක් තම්බා ගන්න.
  • සිසිල් වියළි ස්ථානයක ගබඩා කරන්න.
  • අවුරුදු 01ක් පමණ කල් තබා ගත හැකිය.


ටින් කිරිම/බෝතල් කිරීම

අවශ්‍ය ද්‍රව්‍ය

අමු මිරිස් : කිලෝ ග්‍රෑම් 01

ලුණු : ග්‍රෑම් 50

ජලය : ලීටර් 02 මිලි ලීටර් 450

සිට්‍රික් අම්ලය : ග්‍රෑම් 01

කුඩා ජෑම් බෝතල් : 15


  • ලුණු ජලයේ දිය කර රත් කර පැය 1/2 පමණ තබන්න.
  • ද්‍රාවණය පෙරාගෙන සිට්‍රික් අම්ලය එයට එක්කර දිය කරගන්න.
  • බෝතල් සහ මූඩි ජල බඳුනක ගිල්වා රත් කර ගන්න (සෙන්ටිග්‍රේඩ් අංශක 95-100 විනාඩි 20ක්)
  • මිරිස් කරල් බෝතල්වලට අසුරා ගන්න.
  • එයට සාදා ගත් ලුණු ද්‍රාවණය මිරිස් කරල් සහිත බෝතල්වලට දමන්න.

  • බෝතල්වල මූඩි නොවසා ජල බඳුනක තබා බෝතලයෙන් 2/3 ක් උසට ජලය වැසෙන සේ) විනාඩි 45ක් පමණ රත් කරන්න. (බෝතලය තුළ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 80ක් වූ පසු විනාඩි 20 ක්)
  • මූඩි සෝදා බෝතල් හොදින් සීල්කර ජල බඳුනක ගිල්වා තම්බා ගන්න. (සෙන්ටිග්‍රේඩ් අංශක 95-100 විනාඩි 20l ක්)
  • බෝතල් සිසිල් ජලයේ ගිල්වා මඳ වේලාවක් සිසිල් වීමට ඉඩ හරින්න.

බෝතල් වියළි හා සිසිල් වූ පසුව ගබඩා කර ගැනීමට කටයුතු කරන්න. සිසිල් වියළි ස්ථානයක අවු 01-02 තැබිය හැක.